Thursday, December 26, 2013

පරිමන්දිත අනුවර්තී චලිතය

සිහිනයට බිය අයට
යථාර්ථය ද

යථාර්ථයට බිය අයට
සිහිනය ද

විනෝදය ලැබිය හැකි මාවත් ය...

සිහින දැකුම තහනම් කළ අයට
ඔවුනගේ සිහිනයේ කොටස් වන්නට
තහනම් සිහින දකින්නන්ට සිදුවනු ඇත

සිහින තහනම් නොවන දෙසකට
පැන යා යුතුය සිහින ප්‍රිය අය
යථාර්ථයට ප්‍රිය අයට
තහංචිකරුගේ සිහිනයේ කොටස් විය හැක

අනෙකා ගේ සිහින සැමෙකක්ම
අපගේ සිහින නොවීම
මෙන්ම
අපගේ සිහින ද
ඔවුනගේ සිහින නොවනු ඇත...

සිහිනයෙන් මිදීම
එක්කෝ
තවත් සුන්දර සිහිනයක ට
නැත්නම්
කටුක යථාර්ථය වෙත...

නැවත චක්‍රය ඇරඹේ
යන්න පළමු පේලිය වෙත...

 26/12/2013

Wednesday, December 25, 2013

අමතකව ගිය සිහින

මට සිහිනයක් තිබුණි
දැන් අමතකව ගිය
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්

ධරණි තලය මත ගැඹුරුම ගැඹුරු සිදුරක්ව
මම සිටියෙමි; සියලු දේට වැටෙන්නට ඉඩ හැර
දූෂිත වායුගෝලය උරා පුරවා ගත් පෙණහලුවලින්
ගිනි කඳු අක් වක් මුල් ජාලා නහර දිගේ

මුදා ලූයෙමි ජීවයට හිතකර සුසුම් පොද
මිනිස් හදවත් පුබුදු කර
මේ රුදුරු අඳුරු යුගයක ශේෂය
කිසිවෙකුත් නොතකන නමුත් මා නිරතුරු සිතවන

මට සිහිනයක් තිබුණි
දැන් අමතකව ගිය
මට අමුතුම සිහිනයක් තිබුණි
වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්!

25/12/2013



මුලින් ලියන ලද ඉංග්‍රීසි පෙළ මෙතනින්

Friday, December 20, 2013

බොකයියා

බොකයියා

මහ මුහුදෙන් ගොඩ දාපු
පිත්තල සෙම්බුවක් වැනි
දිස්නෙ දෙන අඳුරු මුහුනෙන් යුතු
බොකයියා

ලවණ උරා ගත් කෙහෙරොද
කිසිදා වියලි නොවුනු තෙතමන
හිස මත තියාගෙන-වෙරළේ වැනෙන
බොකයියා

රැලි කඩාගෙන සිතිජෙට
ඔරු දියත් කරන අත් කීපෙට
සිගරැට් දෙක තුනක් දික්කරන
බොකයියා

මාළු ඇතත් නැතත් නිදි කිරන
කුණාටුවට පසු මුහුද මෙන් නිශ්චල
කරදිය වළල්ලෙන් මෙපිට නොඑන
බොකයියා

20/12/2013

Friday, December 13, 2013

ඉපැරණි ෆොසිල සහ ඒක සෛලිකයන්ගේ කුසුම

වැඩුනු විට සිරුර අතු ඉති පැතිර
ගලා යද්දී රුහිරු ප්ලෝයම පටක තුළ
අගිස්සක පිපෙයි මලක් රජස් ඉතිරුන
සැලි සැලී තුඩ තුඩ පැතිර යන ලෙස

මහා කල්ප කාලාන්තර ඉම් ගෙවා ගෙන
දරා සිටි ඒ සුනේ සුං ගති ගුණ
පොළොව හිල් විද මුදා ගෙන ආ සඳ
දැල්වෙයි පහනක් ඒ ටැම් කුළුන මුදුනත

මහ පොළව ගැඹර පතුල සිර වුන
ෆොසිලමය ජීවිත කාබනික අඟ පසඟ
මිරිකී තැවී වෙලී අති මහත් පීඩනයට උණුසුමට
මුදා හැර ඇත සිය වෛරය සිළු දල්වා ඉන්ධන ලෙස

අමතක වූවන් ක්ෂුද්‍රයන්-ඇමීබාවන් සහ ඒක සෛලිකයන්
දියව ඇත නොදැනුනු ෆොසිල මත තෙතමන
වැලි කඳු ඝණ අඳුරු පොලෝ කුහර සිට
දිය මතින් දියව ගලා එයි රස පොළොව ඉහළ ස්තර වෙත

උරා ඉන් බිඳක් වැතිරුනු තුඟු වෘක්ෂ මූලයක
ඉහළට නැගෙයි තත්පරෙන් තත්පරය තත්පරව
මේ අමතක ව ගිය කාබනික ජරපත් බව
විකසිත කරයි කුසුමක් මහ වනස්පතියක කුදු අතු අගිස්සක

13/12/2013

Sunday, October 20, 2013

ආවර්ජනය


බීජයක් තබා දෝතින් සයනය මත
විවර කරමි උළු වහලය අහසට
වළාකුළු තැම්බූ වතුර කැට
ඇද වැටෙන්නට සලස්වමි තෙත බරිත හීනය මත

දළු ලා නොවැඩෙන අඟුරු කැටයක
ධවල පැහැය ඇති කරවන ආදරය
හදවතින් වෑස්සෙන්නට ඉඩ හැර
ජීවය අත් හරිමි ගෙන ආ මෙතෙක් දුර

දිරාපත් වන සයනය මිස
හදවතක් දං දුන් මිනිසෙකු පිළිබඳ
පුරා වතක් නැති බව
දනී දළු ලෑ එ රුක මිහි මත


20/10/2013

Saturday, October 19, 2013

දස දහසක් කවි

Ten Thousand Poems

If I create 10,000 poems,
my room and the halls
would be filled with paper,
And the roof would break
and shatter the windows,
fill the city and break someone’s clan,
fill up the country and takeover the lakes,
cover the rivers,
cut down all the trees,
stack so high and touch the sky

Filled with poems,
it would reach in space,
reach mars,
take all the planets and connect them,
break all the spaceships,
and fall down
covering the entire North America,
making a bridge to Asia,
takeover half of Russia

And after a few minutes
the world would be covered in papers,

If that happened…

The globe would be gray,
from all the papers,

I used…

Sindusara Munasinghe (Age 9 Yrs)
October 15, 2013

 

මේ නිර්මානය වයස අවුරුදු නවයක් වූ සිඳුසර මුණසිංහගේය; කුඩා දරුවෙකුගේ ය.
 
මුළු ලොවම කඩදාසි ගුලියක් වන තරමට ම කවි ලියන්නට වැර දරන දරු පැටියෙකු වැළඳ ගන්නට මාගේ දෑත් දිග මදිය. එනමුදු මගේ වචන ඔහු වටා එතේ යයි සිතා බොහෝ ආදරයෙන් මෙය ලියා තබමි.
 
"ඔබ දස දහසක් කවි ලියා තබන මතු දිනයක අලුත් ලොවක්-අලුත් අහසක්-අලුත් සුසුමක් අප සැමට උරුම වනු ඇත."
 
 
p.s.

The poet would die of hunger if there were no shepherds. The shepherd would die of sadness if he could not sing the words of the poet.
 
Through the Offering you are allowing others to love you. And you are teaching others to love through what you offer them.
 
-Manuscript found in Accra by Paulo Coelho Page 123
 
 
 

Thursday, October 17, 2013

පිරිමි ගොඩයි මං විතරයි

උපුල් ශාන්ත සන්නස්ගල සිය ලේඛන දිවියේ සුවිශේෂී සැතපුමක් සනිටුහන් කරන්නට ඔහුගේ අලුත්ම නවකතාව තුළින් සමත් වී ඇතැයි යන්න මගේ අදහසයි. සන්නස්ගලගේ කෘති අතර නොදුටු දැවැන්ත ස්ත්‍රී කේන්ද්‍රීය සමාජ කියවීමක් "පිරිමි ගොඩයි මං විතරයි" කෘතිය තුළ හමුවීම පමණක් ඊට හේතුව නොවේ.

තමා අනුදත් කතාන්දරය හෝ පණිවිඩය හෝ මේ කිසිවක් නොවන දෙය හෝ පාඨකයා වෙත පිරිනමන්නට නවකතාවක භාෂා ශෛලීන් කුමනාකාරයකින් නිර්මානශීලි ලෙස උපයෝගී කරගන්නේ ද යන්නට සජීවි උදාහරණයක් ලෙසින් ද ස්ත්‍රිය කේන්ද්‍ර කර ගත් ලිංගික කතාන්දර මුද්‍රිත පිටු අතරට ගෙන ඒමේ සංඥාවේදයේ නිර්මානශීලි අවස්ථා ද මෙම කෘතියේ අන්තර්ගත බැවින් එම භාෂා අත්දැකීම්  සිංහලෙන් කියවන පාඨකයන් වෙත ගෙන එන්නට සමත් වී ඇතැයි යන්න මම විශ්වාස කරමි.

කොතෙකුත් ලිංගිකත්වය කේන්ද්‍ර කරගත් සාහසිකත්වයන් සුඛාන්ත/දුඛාන්ත සිංහල සාහිත්‍ය ලිපි ලේඛන නිර්මාන අභ්‍යාස අප පසුකර ගොස් ඇතත් ඒ සියල්ලට වඩා වෙනස් අයුරකින්-නවතාවයකින් බොහෝ අශ්ලීල පිරිමි ලිංගික පරිකල්පනයන් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළට වැද්දාගත යුතු ස්වරූපය ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන්නට මෙම කෘතිය සමත් වී ඇත්තේ පසුගිය වසර හතර පහක පමණ කාලයක් තුළ සිංහල බෞද්ධ කේන්ද්‍රීය මාධ්‍ය අවකාශය තුළ වඩාත් ප්‍රචලිත හෝ වෙනත් අයුරකින් කුප්‍රකට වූ කට තුළ තැලී පොඩි වී හැඩ ගැන් වූ කතා අටෝරාසියක් සුසංයෝගී ලෙස භාවිතාවේ යොදවමිනැයි මම සිතමි. එබඳු නිර්මානශීලීත්වයක් ප්‍රකට කරන්නට සිය භාෂාවේ නන්වැදෑරුම් පැතිකඩෙහි සුගම බව මෙන්ම තම වටපිටාව-නාගරික ජීවිතය-ඕප දූප-සයිබරය-දේශපාලනික චරිත- ආගමික චරිත මෙකී නොකී සියල්ලෙන් කැළතුනු- කැළඹුනු-තැම්බුනු- තෙම්පරාදුවක් ලේඛකයෙකුට ඇවැසියැයි මම සිතමි. කෘතිය එවැනි ලේඛකයෙකු ගැන සුපැහැදිලි නිර්ණායකයක් මතු කරන්නට සමත් වී ඇත.  කෘතිය ගැනත් එහි කතෘ ගැනත් මාගේ මේ සටහන මෙලෙස නිදහසේ ලියැවෙන්නේ මා ලියමින් සිටින්නේ විචාරයක් නොවන නිසා ය.

කෘතියේ අන්තර්ගතයෙන් මා ඉහත දැක්වූ අදහස් සත්‍යාපනය කරන්නට නොයෙකුත් උදාහරන උපුටා දැක්විය හැකි මුත් එය විඳුම් සටහනක පරිමිතිය ඉක්මවා යාමකි.

Tuesday, October 15, 2013

සෙංකොට්ටං

සෙංකොට්ටං කියවා අවසන් කළෙමි. බත්තලංගුණ්ඩුවෙන් පසු මා කියැවූ රසවත්ම නවකතාව සෙංකොට්ටං යැයි මම සිතමි.

සෙංකොට්ටං කතාවේ පසුබිමෙන් දැලක් මෙන් වැටී ඇති බෝ පැලයේ රූපකය එහි අවසානය දක්වා ගෙන එන නිහඩ අරුතට මම ප්‍රිය වෙමි. එම අරුත ම බත්තලංගුණ්ඩුවේ දී ගෙන එන්නේ ශුද්ධ බයිබලයෙන් උපුටා ගත් දේව දූතයන් නවකතා පිටු අතර තැනින් තැනින් මතු වෙමින් අප අතරින් පියඹා යමිනි.

සෙංකොට්ටං අතිශය ගැඹුරු වේදනාත්මක පහුරු ගෑම් සිත මතුපිට ලන්නට සමත් රචනාවකි. කාලයත් අවකාශයත් අනවරතව ගලා යන්නට සැලැස්වූ ඒකමාන කතාවක් බැවින් එහි අවසානය සිනමාපටයක් නරඹා අවසන් කළාක් මෙන් තීර්‍වර හැඟුමකට විවර කරවයි.

කතාව ඒකමාන වුව ද එහි එන සිදුවීම් ඒ ඒ තැන්වල මහා ගැටුම් ඇති කර පුපුරුවා ලන්නට සමත් වෙයි.
කුල බේදය කේන්ද්‍රීය වුව ද එය ලිංගිකත්වය හා බැඳුනු දෘශ්ඨාන්තයක් ලෙස ද කියවා ගන්නට මම ප්‍රිය කරමි. ගැහැනිය ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට කෙසේ වෙතත් පොඩිනා ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට මස්ඉඹුලගෙ නවකතාව සමත් වී ඇත.

එමෙන්ම පොඩිනා ගේ ආශාවේ කෙළවර හමු වන වල් නයිදේ හෙවත් කැලෑ සතා මෙන්ම සියළු ආශාවන්ගේ අවසන එළඹෙන කුරිරු යථ මනා සේ හසුරුවා නවකතාව ගොඩනගන්නට මස්ඉඹුල ගේ ඉසියුම් පරිකල්පනයත් රචනා ශෛලියත් ඔහුට උපකාර වී ඇතැයි මම සිතමි.

පොඩිනාගේ මරණය සහ එහි  ප්‍රාප්තිය සෙංකොට්ටං හි මා වඩාත්ම සිත්ගත් පරිච්ඡේදය යැයි මම සිතමි. එය ස්ත්‍රියක හඹා යන ආශාව ද ආශාව හැර අන් දෙයක් ද යන්න ලෙහෙසියෙන් වටහා ගන්නට නොහැකි වන සේ ගැට ගසා ලන්නට මස්ඉඹුල සූක්ෂම වී ඇති සැටි දැකුම ආනන්දයකි. ලිහිය නොහැකි ගැට ලිහීමට තැත් කිරීමට වඩා තව තවත් ගැට දමා ගැටපිට ගැට දැමීමෙන් ගැටළු බවට පත් කිරීම ප්‍රායෝගික බැව් මස්ඉඹුල සොයා ගෙන ඇති සෙයක් මට දැනේ.

බත්තලංගුණ්ඩුවේ ඇති බොහෝ දේ අතර වඩාත් සුවිශේෂීත්වය නම් ධීවර ජීවිතයේ සියුම් තැන් අල්ලා ගන්නට මංජුල දරා ඇති වෙහෙස මහන්සිය එහි පිටු පුරා සැහැල්ලුවෙන් අතුරන්නට ඔහු දක්වා ඇති පරිණත බවයි. සෙංකොට්ටංහි මදකට හෝ අඩුවක් ලෙස මා දකින්නේ රදා කුලයට ආවේනික වූ චාරිත්‍ර වාරිත්‍ර විශ්වාස සහ චර්යාවන් සියුම් ලෙස ග්‍රහණය කොට (එබදු මානසික ශ්‍රමයක් මස්ඉ‍ඹුල දරා ඇති බවට සැකයක් නැති මුත්) නිර්මානශීලි ලෙස කිසියම් අධ්‍යාපනික වටිනාකමක් කියවන්නාට අත් කර දෙන්නට ගත් වෙහෙසක් ලියමන තුළ හමු නොවීම යැයි මට සිතේ.

එසේ අධ්‍යයන ශ්‍රමයක් නවකතාවකින් මතු කරන්නට අත්‍යාවශ්‍ය යැයි රීතියක් නොවූ ව ද එවැනි මද හෝ දීර්ඝ විස්තරාත්මක දෑ තුලින් නවකතාවේ රසයට හානියක් වේ යැයි මම නොසිතමි.
කෙසේ වුව ද නිර්මානයක අඩුපාඩු සෙවීම පහසුය. සියල්ලන් සංතෝෂ කළ හැකි නිර්මානයේ සමර්ථයෙක් සෙවීම ද දුෂ්කරය.

සිනමාත්මක වියමනක් ලෙස විභව ගැන් වූ මෙම නිර්මානයේ ඇති ක්ෂතිමය තීර්‍වතාවය සමාජ-දේශපාලනික-සංස්කෘතික  මෙන්ම ආගමික හර පද්ධති පිළිබද ව ද නානාවිධ වරනැංවීම් විසින් පෝෂණය වී ඇතැයි මට සිතේ.
සෙංකොට්ටං ලෙහෙසියෙන් මතකයෙන් මැකී නොයන කියවීමේ අත්දැකීමක් ලෙස මම දකිමි.

ප.ලි.

රත්න ශ්‍රී විසින් රචිත ගීතයක් (ගායනය ඉන්දීවරී අබේරත්න) පසුගිය දිනෙක ලසිත බෙනරගම සොයුරා මා වෙත යොමු කළෙන් ඒ ගීතයේ පද වැලේ මුසු වූ හැඟුම් යලි ගොඩනගන්නට සෙංකොට්ටං සමත් වූයේ යැයි මට හැඟේ.

සළු සෝදනා මම ලෙංචිනා

මෙහි එන "ලේ කොලොම්බුව" යනු කිමැයි පහදා දෙන්නෙකුට කෘතඥ වෙමි.

Friday, October 11, 2013

ප්‍රොජෙක්‍ටර ක්‍රියාකරවන්නා දුටු සිහින‍ය

මා කාලයක් මාතර නිව් සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නකු ලෙස පුහුණුවක් ලැබුවා.  ඒ මා උසස් පෙළ අවසන් කර නිකරුණේ ගත කළ කාලයෙන් බිඳක් වැය කරන්නට සිතූ අයුරකි. ඒ දවස්වල සිනමා ශාලාවේ පැවැති බොහෝ සිනමාත්මක කටයුතු දැක බලා ගන්නට ද ප්‍රසිද්ධ නළු නිලියන් කීප දෙනෙකු ද නොයෙක් සිනමා නිර්මානකරුවන් ද උත්සවාකාරී අවස්ථා සඳහා ඉඳහිට පැමිණියෙන් ඔවුන් සැබැවින් දැක බලා ගැනීමට ද මට හැකි වුනි.

ඒ දවස්වල අදූර් ගෝපාලක්‍රිෂ්නන්ගේ සිනමා උළෙලක් ද මාතර පැවැත් වුනි. ඒ සිනමාපට සියල්ලම අඳුරු කුටියේ ජරමර සද්ද මැද සිනමා තිරය මතට යොමු වුන කවුළුවකින් අනෙක් ඔපරේටර්වරයාට නොදැනෙන සේ බැලීමට මම යොමු වූයෙමි.

සිනමාපටයක් ප්‍රොජෙක්ටරයකට ඇතුළු කර එය ධාවනය කරවීමේ පරිචය ලබන්නට වැඩි කාලයක් ගත නොවුනෙන් එම ඒකාකාරී පුහුණුවෙන් මම පළා ගියෙමි.

දැනුදු මාතර නිව් සිනමා ශාලාව ඇසුරේ අසූ ගනන් අග මතකය ඉඳහිට ඇවිලෙන්නේ අතීතය වසාගත් අමුතු අඳුරක් ද සමගිනි.

මේ සිනමා ප්‍රොජෙක්ටර සිදුවීම මගේ මතකයට යළි නැගුනේ අහම්බෙන් ගොඩවන්නට ලැබුණු කවි බ්ලොගයක දුටු නිර්මානයක් නිසාවෙනි.

ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය නම් වූ එම නිර්මානය කවි සෙවණැල්ල නම් වූ බ්ලොගයේ ඇත. එය ප්‍රියන්ත ෆොන්සේකාගේ වැඩකි. ඔහු ද සිනමා අධ්‍යයනයක සිටිනා අයෙකු බැව් සඳහන් ය.

අවසන් වශයෙන් ප්‍රොජෙකටර ආලෝකය දිගේ තිරය දෙසට ගොස් දිවි ගලවා ගත් එකම කුරුල්ලා මම දැයි සිතන්නට මගේ කලබල සිත දැඟලූ බැව් පමණක් ලියා තබමි.

Wednesday, September 18, 2013

රඟපෑම් ඉවරයි




"රඟපෑම් ඉවරයි" නාට්‍ය මා හඳුනා ගන්නේ එකිනෙකට වෙනස් විඳීම් අන්තර්ගත නාට්‍ය ත්‍රිත්වයක් ලෙසිනි. මුල් කොටස ඉදිරිපත් කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. ඔහු මිය ගිය අයෙකු ලෙස පැමිණ නොමැරුනු මිනිසුන් සහ මැරුනු මිනිසුන් පිළිබඳ දීර්ඝ දාර්ශනික සාකච්ඡාවක් හා සමාන ඉදිරිපත් කිරීමක් කරමින් ඔහුගේ කොටස අවසන් කරන්නේ දේශපාලකයෙකු බවට රූපාන්තරනය වීමෙනි. කතා කරන මළ මිනියක් දේශපාලකයෙකුට පරිවර්තනය වීම පිළිබඳව ඕනෑතරම් විශ්ලේෂණ කළ හැකි අතර එම විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේ සුදුස්සෝද ඇති තරම් ලංකාවේ විචාරකයන්-න්‍යාචාර්යවරුන්-මහාචාර්යවරුන් අතර සිටිනා බැවින් ඊට එහා යමක් ඒ කොටස ගැන ලියන්නට මට නොසිතේ.

දෙවැනි කොටස ඉදිරිපත් කරන්නේ නිළියක විසිනි. සුබුද්ධි ලක්මාලි නමැති රංගන ශිල්පිනිය ඉදිරිපත් කරන එම කොටස පළමු කොටස නැරඹීමෙන් අත් වූ ක්ෂතිමය අද්දැකීමෙන් මිදීමට සැළසුම් සහගතවම එහි අදියුරුවන් විසින් සිහින සහ යථාර්ථය අතර ගීතමය ජවනිකා ද රැගත් වඩාත් සෞන්දර්යාත්මක එබ්බවීමක් ඇතුලත් කර ඇති ලෙස මට හැඟුනි.

මුල් කොටස සංකේතීය නම් දෙවැනි කොටස පරිකල්පනීය යැයි ද කීමෙන් මට පහසුවක් දැනේ යයි මම සිතමි.
එවිට අපට තෙවැනි කොටසේ දී හමු විය යුත්තේ බොරෝමියානු ගැටයේ ඉතිරි ටික විය යුතු යැයි මම සිතමි. එනම් රියල් එකයි. යථයි.

කමල් අද්දරආරච්චි අප වෙත ගෙන එන්නේ පහසුවෙන් අත් කර ගත නොහැකි වචන සංකේතවලට පෙරලීමට මැලි බියකරු යථයි.

(මේ මට හිතෙන හැටිය. මට හිතෙන්නේ ලැකානියානු ත්‍රිකයෙනි. වෙන අයට වෙනත් ත්‍රිකයන්ගෙන් සිතිය හැකිය. රත්න ත්‍රිකය හෝ රත්නත්‍රය හෝ බුද්ධ-ධම්ම-සංග කියා ද ඕනෑ නම් කෙනෙකුට ත්‍රිකයක් සාදා ගෙන කමල්ගේ කොටස සංග ත්‍රිකය ලෙස ගෙන විචාරය වැනි දෙයක් කළ හැකිය. මොන ත්‍රිකයත් ඕනෑවට වඩා ඕනම නැත.)

ඒ කෙසේ වෙතත් කමල් ගැන මා පෞද්ගලිකව අතිශය සතුටට පත් වන්නේ ලංකාවේ දී එමෙන්ම වර්තමානයේ දී ඔහු ඉදිරිපත් කරන එම චරිතය නිරූපනය කළ හැකි එකම  නළුවා හෙවත් ඉතිරි වූ නළුවා කමල් පමණක් නිසාවෙනි යැයි මම සිතමි.

කමල් සිය සිරුරේ රෝම කූපයක් නෑර සෛලයක් නෑර සිය රංගන කාර්යයට දායක කරවන්නේ මුළු සිරුරම කිසියම් ක්‍රමලේඛනයකට අනුව ක්‍රියාත්මක වන්නට ඉඩ හැරි තරම් සංහිඳියාවකිනි. මට දැනුනේ ඔහු විනාඩි හතලිස් පහක් පමණ එක දිගට කිසිදු දෙබසක් වරද්දන්නේ නැතිව -මේ අදහස විවාදාපන්නය-දෙබස් නිවැරදිදැයි සැසඳීමට මා අත එහි පිටපත නොවීය- එක එල්ලේ රැඟුමින් දෙසුමින් ඉඟියෙන් බිඟියෙන් දස දහසක් සංකේතයන් ද සංඤාවන් ද විහිදා පතුරමිනි.
මේ නම් අතිශය මනරම් රංගන කාරියකැයි මම සිතුවෙමි. එබඳු රංගනයක් ඉදිරිපත් කළ හැක්කේ කමල්ටම පමණකැයි මම සිතමි. ඒ චරිතය ඒ ආකාරයෙන් වෙන කිසිවෙකුට හෝ මේ මිහිමත ඉදිරිපත් කළ හැකි දැයි විශ්මයට පත් වෙමි.

කමල් ඔබ රංගනයේ උත්තරීතරත්වය සීමාවේ උපරිම ලකුණ සිංහල වේදිකාවේ සනිටුහන් කළේ යැයි මම සිතමි. රඟපෑම් ඉවර වන්නේ එබැවිනි.

රඟපෑම් ඉවරයි නාට්‍යය අති විශාල දේශපාලනික උත්ප්‍රාසයකි. ඒ පිළිබදව වර්ණනා කිරීමට විග්‍රහ කිරීමට කම්මැලිය. එබඳු නිර්මානයක් අප වැනි අපතයන් වෙත දිරවන සුළු ලෙසින් ප්‍රහසනාත්මකව ඉදිරිපත් කිරීම ගැන කෙටියෙන් හෝ එහි අදියුරු උදයසිරි වික්‍රමරත්න වෙත ගෞරවය පුද කළ යුතුය.

(මමත් කලකට පෙර විඳුම් සටහන් කියා ජාතියක් ඉඳහිට ලීවේ විචාර වැනි බාරදූර නාමික කටයුතු මගහැරීමට ය. කිසියම් කරුණක් අරභයා විචාර කිරීම් කළ යුතු වන්නේ ඒ පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇතියවුන් බැවින් අප වැන්නවුන් ලිවිය යුත්තේ විඳුම් සටහන් යැයි මම සිතමි. කමල් අද්දරආරච්චි රඟන රඟපෑම් ඉවරයි නාට්‍ය පිළිබඳව මේ සටහන තැබුවේ ඒ පසුබිමේ සිටය. )

Sunday, July 21, 2013

අනේ ද කියන්නේ...

යථාර්ථය
චිත්‍රපටයකටත් වඩා මායාකාරී නම්,

අපට
අමුතුවෙන්
චිත්‍රපටි
මක්කටෙයි??

"i am a good hegalian. if you have a good theory, forget about the reality"- Slavoj Zizek

Tuesday, June 25, 2013

පුද්ගලිකත්වය


මම ඉතා බය වෙමි
මගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි!
මගේ රහස් එළිවේයැයි!!

මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලි
අන් අය දැන ගනී යැයි
මම ඉතා බය වෙමි

මගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයි
මගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙකු අසා දැයි
මගේ කෙටි පණිවිඩ වෙන අයෙකු දකිතැයි
මම අසීමිත ලෙස බිය වෙමි

මන්ද යත්

ඒවායේ ඇත්තේ සැබැවින්ම
ගොලු කළ මගේ ම්ලේච්ඡත්වය බැවිනි

මා විටෙක කිසියම් ගැහැණියකට
පෙම සිඟා ලියූ කියූ දෑ
ඒවායේ සැඟව ඇත
මා විටෙක කිසියම් ගැහැණියකට
සරාගී උසුළු විසුළු ලියමින්
සැඟව කළ ප්‍රහාර ඒවායේ සැඟව ඇත

මගේ බැංකු පොත ට වඩා
ධනය මා සතුයැයි
මා මටම පවසමින් සිටින බැවින්
ඒ බොරුව අන් අයෙකුට අනාවරණය වීම
මට බියකරු සිහිනයකි

මගේ ණයවර පත
මා කොතරම් දුගී දැයි මුනිවතින් රකිනා බැවින්
එය අන් අයෙකුට අනාවරණය වීම
මා හිස මත ඛේදවාචකයක් කඩා පාත් වීමකි
මගේ ගර්වය සිඳ ගැනීමකි

මගේ උප්පැන්න සහතිකය
මගේ සැබෑ වයස-උපන් ස්ථානය
මවුපියන්-කුලය මලය-ආගම නිහඩවතින් රකිනා බැවින්
එය අන් කෙනෙකු හට අනාවරණය වීම
මගේ සමාජ ජීවිතය විනාශ කර ගැනීමකි

වෛද්‍ය වාර්තා අතිශය රහසිගත විය නො යුතු ද?
මගේ සෞඛ්‍ය දුබල ව ඇත්තේ
මගේම දුරාචාරී දිවි පෙවෙත නිසා බැව්
අනෙකා දැන ගත් විට මා කොතැනක සැඟ වෙම් ද?

අන්තර්ජාලයට වන් විගස
වැල බලමින් ගෙවූ අනේක වරු ගණන් කාලය
මා සෙවූ විපරිත කාම ලෝකය -කාම ආශ්වාදය
අන් අය දනී නම්
ගෙදරකට මා වැද්ද ගනී දැයි බිය වෙමි
මේ සියල්ල එක රැයකින් මකා ලා
අලුත් මිනිසෙකු ලෙස හෙට මට
නින්දෙන් මිදී නැගිට ගත හැකි ද?
එසේ බැරි බව ඒත්තු යන හැම මොහොතක
මගේ රහස් රැක ගන්නට සියලු වෙර වීරිය යෙදිය යුතුව ඇත

මුහුණු පොතේ දකින දකින දේ වෙත
"ලයික්" දැමීමෙන් මා මගේ ආශාවන් හෙලිදරව් කර ඇත!
අන් අයට මගෙ ලයික් දැමිලි නොපෙනෙන ලෙස ඒවා "ඉනැක්ටිව්" කරන ලෙස
මම යදිමි ඉතා ගෞරවයෙන්
මම මගේ ආශාවන් අන් අය දැන ගන්නවාට බිය වෙමි
එනමුත්
මගේ ආශාවන් මම ලයික් දමමින් ප්‍රදර්ශනය කරමි
ඒ ලයික් දැකිය යුත්තේ මා ලයික් අය පමණි
අන් අය එය දැකුම මට භීතියකි...

මගේ පුද්ගලිකත්වය රැක ගැනීමට
කරුණාකාර ඔබ සැවොම එක පෙලට එනු මැනවි...

ඔබගේ පුද්ගලිකත්වය රැක ගැනීමට ඇවැසි නම්
මගේ පුද්ගලිකත්වය රැක ගැනීමේ අරගලයට
ඔබ ද එකතු විය යුතුය
මේ මොහොතේම

එසේ නොමැති නම්
අපි කෙසේ අපගේ ම්ලේච්ඡ ආශාවන්
තවදුරටත් රහස් ලෙස රැක ගනිමු ද?

25/06/2013

Wednesday, June 12, 2013

අතුරුදන් වී

අනාගතයෙන් ඇවිත්
මා ඉපදෙන්නට නියමිතව තිබූ
කාලයට පෙර
අතීතය ට ගොස්
ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ
ශුක්‍රාණුව උගුලා දමා
ගියා නම්
මා
සැනින්
අතුරුදන්
වේ!

අප මේ ජීවත් වන වකවානුව
ඒ තරම්ම පුදුම සහගතයැ
මේ අප අතර හිටි මිනිසුන්
හිටිගමන් අතුරුදන් වී යයි
ඔවුන් කෑ-බී-ගමන් ගිය-හැසිරුනු
සියලු තැං හිස්ව යයි
කිසියම් දිනයකට පසු
කිසිවෙකුත් ඔහු දුටු බව නොකියයි
කිසිවෙකුත් ඔහු දැක නැති බව කියයි

අනාගතයෙන් ඇවිත්
අප ඉපදෙන්නට නියමිතව තිබූ
කාලයට පෙර
අතීතය ට ගොස්
ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ
ශුක්‍රාණුව උගුලා දමා
ගියා නම්
අපි
දැං
මෙතන
නැත!

ඉතිං තාම
කාල තරණ යන්ත්‍ර
හදා නැතැයි
කියන්නේ කවුද?

Saturday, June 1, 2013

සංසාර චක්‍රය ඔබව තව තවත් කරකවනු ඇත!

මට මතක් වෙයි
එක්තරා සිලින්ඩරාකාර
කැටයම් රෝදයක්1
කරකැවිය හැකි බඳක්
උඩැක්කියක් වාගේම
අතේ තබා උස්ව පද්දා

යාඥා මන්ත්‍රයක් එහි මතුපිට අලවා-කරකැවිය හැකි
ඔබ වෙනුවෙන් යාඥාව දිගටම මතුරන අජීවී යන්ත්‍රයකි

ඔබ වෙනුවෙන් යාඥා කරන
අජීවී යන්ත්‍රයක්!

මට මතක් වෙයි
එක්තරා පිළිමයක්
කැටයමින් වැසී ගිය අනුරුවක්
නිසොල්මනේ සමාධිගත
දෑතේ නෙක සංඥා මවාගත්
බුදුවරයෙක් වාගේම

ඔබ වෙනුවෙන් ධ්‍යානගතව ඔබ වෙනුවෙන් භාවනානුයෝගීව
පාෂාණීභූතව දුක වළඳන
අව්වට වැස්සට නිරාවරිත ශෛලමය පිළිමයක්

ඔබ වෙනුවෙන් භාවනා කරන
අජීවී යන්ත්‍රයක්!

ඉතිං ඔබ නිදහස්
කළ හැකිය ඕන වරදක්!
විනාශයක්!!
සමූල ඝාතනයක්!!!

අර පිළිම
ඔබ වෙනුවෙන් හැමදාමත්
ධ්‍යාන වඩමින් සිටිනු ඇති...
ඒ පිළිම වටා රොද බැඳි
කෝකාලික2 වංශ බඹරුන්
නොයෙක සජ්ජායනා කරනු ඇති
තටු සලමින්
අජීවි යන්ත්‍ර සේ...

ජීවය ඉවත් කළ පසු
ජීවියා රසවත් ආහාරයක්-තවත් ජීවියෙකුට
විශ්වාසය ඉවත් වූ පසු
ඉතිරි වන
විශ්වාසය මරණීය ආයුධයක්-තවත් බැතිමතෙකුට3

01/06/2013

1. Tibetan prayer wheels; Zizek, Sublime Object of Ideology, p.31
2.  සීහ කොත්ථුක ජාතකයේ (545 වැනි ජාතකය) එන කෝකාලික මහණුන්.
3. Hegel's comment apropos Ancient Greece: "The statues are now only stones from which the living soul has flown, just as the hymns are words from which belief has gone"; Zizek, Sublime
Object of Ideology, p.X Preface

Friday, May 31, 2013

හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක්

(අජිත් කුමාරසිරිට සිංදුවක්)

මම The බෞද්ධයා?

මම අලුත් කාර් එක අරං
කතරගම ගියේ
කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි
කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ
ආරක්ෂාවටයි
රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ
ඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයි

ඕලෙවල් ලියන වුන්
විභාගෙට කලිං දවසේ
පංසලේ පෝලිමේ යැව්වෙ
පාඩම් කරපුවටත් වඩා
දෙයියො බුදුං ෂුවර් නිසයි
නමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේ
දෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයි

බඩ තඩි කිසිම සිල් ගතියක් නැති
අසපුවෙ සෙක්සි හාංදුරුවං ගෙදරට වඩම්මල
බත් ගිල්ලෙව්වේ
මගේම මැරිච්ච අම්ම අප්පා පෙරේතයො වෙල
මට අණවින කරයි කියල බයටමයි
කට්ටඩි පූසාරියොංටත් වඩා
බඩ තඩි හාංදුරුවෝ මළවුංට කිට්ටුයි-පිං දෙංඩ දස්සයි
දෙසූ බණ හරිම කාලෝචිතයි-කොට සාය ගැන කී ටික මනෝරම්‍යයි
මම බුදුන් කිච කළේ-මගේ පරාණ බයටමයි

........
........
........

මං මැරිච්ච වෙලේ
අහල ගං හතේ
හාංදුරු ටික වළ වටේ තියං
පාංසුකූලේ දුන්නේ
සංසාර චක්කරේ මං අතරමං වේවි කියලා
මගේ ගෑණි හිතු නිසයි
දවස් හතේ බණ දවසේ
වැලි අතුරලා බණ ශාලාවේ කොනේ
කවුරුත් බලං උන්නේ මම බණ අහන්න එයි කියලයි
මගේ පා සළකුණු වැලි මත ඇඳෙනවා බලා ගන්නයි
මම බුදුන් කිච කළේ-කිසිම ලැජ්ජාවක් නැතුවමයි!

........
........
........

හේයි බුද්ධගයා
අපි දැං හරක් මරන්නේ නෑ
අපි හරක් වෙනුවෙන් මැරෙනවා..!

(කෙටියෙන්
මේ කාලයේ
මට සංඝ රත්නය තේරෙන්නේ නෑ
බුදුන් දිගටම කිච වෙනවා-එච්චරයි මට තේරෙන්නේ...)

Monday, May 27, 2013

මරණය අමතකව

කාටවත් මතක ද
මා මිය ගිය හැටි?
අනේ
කවුරුවත් දුටුව ද
මා පණ නල
වා තලයට මුසුව ගිය හැටි?

නොදුටු අයගෙන් නොවිමසමි
දුටු අය
නොදුටු අයටත් වඩා
නොදුටු බැවින්
ඒ අය ද නොවිමසමි

මට අමතකය මා මිය ගිය බව
මට අතපසු වී ඇත
වැළලෙන්නට නියමිත තැන
කිසිවෙකුත් මට මතක් කර නොදෙන
ඒ අමතකව ගිය රමණීය මරණය

කවුරුන් විසින් සඟවාලන්න ද
කුමට සඟවාලන්නද
මගේ නිහඩ මරණය?
හඩක් නොමැතිවම මිය ගිය
මගේ නිහඩ මරණය
කන් බිහිරි කරවූ හඩ මැද

මා මගේ අමතකය නිසාවෙන්
ඔබ අතර තවමත් ගැවසෙමි
කරුණාකර
මට මතක් කර දෙන්න
මා මිය ගිය බව...

මා මෙන් නොව ඔබ
සදාකල් ජීවත් වනු ඇත

එනමුදු මා මළ මතකය
සදාකල් ජීවත් වන ඔබගේ
මරණය
අමතක වන සෑම මොහොතක
යලි යලිත් මතක් කරමින්
සැරිසරනු ඇත ඔබමොබ

ඔබට ද
සදාකාලික අමතකයකි
මගේ මරණය!


Saturday, May 18, 2013

සිහින සාප්පුවේ මෙනුව


මම සිහින සාප්පුවට වැද
එකත්පස්ව හිඳ ගනිමි

කේඩෑරි
බැරෑරුම් පෙනුමැති සිහින විශේෂඥයාගෙන්
(සර්පයාගෙන් නොවේ)
සිහිනයක් ඇණවුම් කරමි

උණුසුම්
සරාගී
හැපි එන්ඩ් එකකින් යුතු
සිහිනයක්!

කාල් මාර්ක්ස්ගේ අතිරික්ත වටිනාකම
ලැකාන්ගේ අතිරික්ත ප්‍රමෝදය
එකට කැටි කළ
සිහින සාප්පුවේ මෙනුව
මම දෑසින් ස්පර්ශ කරමි

තේරෙන්නට
ඉඩ
හරිමි

Friday, May 17, 2013

ඒ සැඳෑ...

අප දෙදෙනකුට පමණක්ම
හුදෙකලාවේ නිවැසිය හැකි
කුඩා රෙස්ටොරන්ටුවක්
තිබින ඒ සැඳෑවල

අත් වැසුම් පැළැඳි අත්
නෙක භෝජනාදිය පිරිනැමෙන
දියර ගැල්වූ මිහිරි
ඩෝනට්ටු දීසි මතු වෙන
අරුම පුදුම වේවැල් මේසය
දෙපස අප; මැද මල් පොකුරු
අහසේ සැඳෑව ලකුණු කර හිරු
බලා සිටියේ අප නැගිට යන තුරු

අප නැගිට ගිය පසු
හිරු ද බැස ගිය අයුරු පුදුමය...


Friday, May 3, 2013

සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම

ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Physics World (පිසික්ස් වර්ල්ඩ්) වෙබ්සයිට් එකේ.

ඒ ලිපියේ හෙඩිම යොදා ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වන ලයිෆ් ඔෆ් පයි (Life of Pi) අනුව යමින් ලයිෆ් ඔෆ් ප්සයි (Life of Psi) යනුවෙනි. මේ ප්සයි යනු ෂ්රෝඩිංගර් සමීකරණයේ විසඳුම් ලෙස එන තරංග සමීකරණය හඳුනා ගන්නා ග්‍රීක සංකේතය යි. එම ලිපියෙන් සාකච්ඡා වෙන්නේ එම තරංග ශ්‍රිතය කොතරම් දුරට භෞතික යථාර්ථයට සමීපදැයි යන්න විමසීමය. රසවත් ලිපියකි. මා හට එම ලිපිය කියවද්දී හිතුනේ එය සිංහලට පරිවර්තනය කළා නම් හොඳයි නේද කියා ය. නමුත් මගේ අතීත අත්දැකිම් මට සිහිපත් කළේ අනෙකකි.

Ontology:
1 (computing) a rigorous and exhaustive organization of some knowledge domain that is usually hierarchical and contains all the relevant entities and their relations.
2.The metaphysical study of the nature of being and existence

Epistemology:
1.The philosophical theory of knowledge

මේ අර්ථකථන මා උපුටා ගත්තේ "වර්ඩ්වෙබ්" (WordWeb) ශබ්දකෝෂයෙන්. මේ වචනවලට සිංහල වචන නිර්මානය කිරීම දුෂ්කර කටයුත්තක් වුනත් ඒවා ඉංගිරිසියෙන්ම කියවා අවබෝධ කර ගැනීමේ දී කිසිදු පටලැවිල්ලක් සිදු නොවන බැව් පෙනේ. සිංහල පමණක් කියවන පාඨකයන් ඉංගිරිසි ඉගෙන ගැනීම අනිවාර්ය විය යුත්තේ ඔවුන් ඉංගිරිසියෙන් ප්‍රකාශිත දැනුම තම තමන්ගේ අවබෝධය පිණිස උපයෝගි කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පමණි යනුවෙන් ද පැවසිය නොහැක. මන්ද යත් තම තමන්ගේ දැනුම ප්‍රසාරණය කරගැනුමට ද බටහිර දැනුම භාවිතා කරන්නන් අප අතර සිටින බැවිනි. ඔවුහු විශේෂ දැනුම ප්‍රචාලනය හෝ සංවාදගත වීම හෝ වෙනත් දේශපාලනික ව්‍යාපාරයක නියැලුනෝ හෝ නොවෙති. විශේෂයෙන් ඉංගිරිසි පොත්වල දැනුම භාවිත කරන්නට සිදු වන වර්තමානයේ ඉංගිරිසි භාෂාව හැකි තරම් ඉහළට ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බැව් පෙනේ. නොඑසේ නම් ඉංගිරිසි පොත් පත් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නට යන සෑම විටෙකම අදාළ සිංහල වචන අලුතෙන් නිර්මානය කිරීම හෝ තිබෙන වචනවලට අලුත් අර්ථකථන සම්පාදනය කිරීමට හෝ සිදුවන බැවින් වඩාත් සුදුසු වන්නේ අප ඉංගිරිසි භාෂාව ඉගෙන ගැනීම යැයි මම සිතමි.

මේ ළඟක දී මගේ හිතවත් සහෝදරයෙකු ස්ලාවෝ ජිජැක්ගේ කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කර ඇති මුත් මගේ අදහස නම් එය ඔහුගේ කාලය අපතේ යැවීමක් ලෙසටත් වඩා (අනාගත) කියවන්නන් දැඩි අපහසුතාවයකට ලක් කිරීමක් ලෙසය. ලංකාවේ ජිජැක් කියවන අය කොහොමත් ඔහුගේ ඉංගිරිසි පොත් කියවා ගන්නා බව ස්‍ථිරය. ඔවුහු ඒවායේ සිංහල පරිවර්තන එනතුරු බලා නොසිටිති. නමුත් ලංකාවේ ඉංගිරිසි නොකියවන අයට ජිජැක් කියවන්නට අවකාශයක් තනා දීම අගය කළ යුත්තක් ලෙස යමෙක් වටහා ගන්නේ නම් මට ඒ ප්‍රාර්ථනාව සමග එරෙහි විය නොහැකිය. එනමුත් මගේ යෝජනාව ඒ ආකාරයෙන් ජිජැක් ගේ කියැවීම් ගැන උනන්දු අය වහවහා ඉංගිරිසි ඉගෙන ගත යුතු බවයි. මන්ද යත් සිංහලට නැගෙන එම අදහස් බොහෝ විට වචන ගොඩවල් පමණක් වීමයි. විකෘති සංකල්ප පොම්ප කිරීමක් පමණක් වීමයි. මා දන්නා තරමින් වර්තමානයේ මනෝවිශ්ලේෂනය හෝ ක්වොන්ටම් භෞතිකය හෝ වෙනත් බටහිර දැනුම කේන්ද්‍රකරගත් පරිවර්තිත බොහෝ සිංහල ලිපි ලේඛන ඒවායේ ඉංගිරිසි මුල් පොත්වල සම්පාදිත අදහස්වලට වඩා විකෘති සහ ව්‍යාජ අර්ථකථනයන්ගෙන් බහුල බවයි. සමහර වගන්ති පටන් ගන්න තැනේ සිට අවසානය දක්වාම ඇත්තේ ජීවිතේට අසා නැති සිංහල වචන එකකට එකක් ගැටගසා ඇති අපභ්‍රංසය. (මේ නිසාවෙන් ඉංගිරිසි ලිපි සිංහලට පරිවර්තනය කිරීම මා විසින් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.) ඉංගිරිසියෙන් එම අදහස්ම කියවද්දී සරලව වැටහෙන එම අදහස් ම සිංහලට නැගීමේ දී ව්‍යාජ සංකීර්ණබවක් ඔබ්බවා ඇතැයි කිසිවෙකුට දැනේ නම් එය වැරදි නොවේ. ඒවා ගැන කිසියම් විමර්ෂනයක් කර වැරදි නිවැරදි කිරීම් කළ හැකි අය ද (එම ලිපි සම්පාදකයන්ම හෝ වෙනත් අය) සිංහල භාෂා ක්ෂේත්‍රයේ හෝ දැනුම් ක්ෂේත්‍රයේ හෝ එක්කෝ නැත- නොඑසේ නම් ඔවුනට ඒ ගැන වගක් නැත.

ඉංගිරිසි ලිපි ඒ ආකාරයෙන්ම සිංහලට නැගීමට වඩා අතරමැදියා විසින් අචේතනිකව කරනු ලබන වැරදිවලට හෝ දෝශවලට ඉඩක් තැබුමට පොඩි ලංසුවක් තබා කළ යුත්තේ අනුවර්තනය කිරීම යැයි මම සිතමි. කෙසේ වුවත් අපැහැදිලි සිද්ධාන්ත විසින් පැහැදිලි කරනු ලබන විග්‍රහයන්ගෙන් ගහණ ජිජැක්ගේ පොත් අනුවර්තනය කිරීම ද ඒ විශයයන් ප්‍රමාණාත්මකව හදාරා නැති අය විසින් නොකළ යුතු යැයි මම සිතමි. එනයින් ජිජැක් පරිවර්තනයේ සමර්ථයෝ ලංකාවේ වෙත්දැයි කුකුසක් උපදී.

මා විසින් ද නොයෙක් වර විවිධ අපභ්‍රංස පරිවර්තනය කොට ඇති අතර ඒවා ගැන අද මම ඉමහත් සේ ලැජ්ජාවට පත්වන බැව් ද මෙහි සඳහන් කරමි. ඒ සඳහා මා වැය කළ කාලය හෝ ශ්‍රමය ගැන ද කනගාටු වෙමි. ඒ කිසිවක් සිංහලට පරිවර්තනය නොකළ ද ඒවායේ ඉංගිරිසි මුල් පිටපත් අදාල මිනිසුන් වෙත යොමු කළා නම් මැනවියැයි මට සිතෙන්නේ වැඩි හොඳ කරන්නට ගොස් රට්ටුන්ගෙන් අවලාද ඇසීමට ද සිදු වූ බැවිනි. මුහුණු පොතේ හමු වූ ඇනෝනිමසයෙකු මා හට තර්ජනය කළේ මා විසින් පරිවර්තනය කරන ලද ඉංගිරිසි ලේඛනවල දෝෂ මතු කොට "විසංයෝජනය" (Deconstruction) කරන බවයි. ඒ එක් අවස්ථාවකි. තව කීප විටකම නොයෙකුත් පරිභවයන්ට පාත්‍රවන්නට සිදු විය.

එහෙම දේවල් වෙන්නේ අර මගේ හිතවතා වගේ බහුජන හිතාය-සුඛාය වැඩ කරන්න ගියාම-විශේෂයෙන් දන්නව කියල හිතන් ඉන්න අයවත් බහින්නේ නැති තාලේ කරන්න බැරි වැඩ කරන්න පුළුවන් කියල හිතල කරන්න ගියාම!

කෙසේ වුවත් කාට කාටත් ඉංගිරිසි හොඳින් ඉගෙන ගැනීමේ වැදගත්කම කියා පෑම මේ කෙටි සටහනේ අරමුණයි. එක්තරා ඉංගිරිසි-සිංහල පරිවර්තකයෙක් ඉංගිරිසියෙන් කතා කිරීම ඉගෙන ගත යුතු බැව් මට පැවසීය. ඒ ඔහුගේ අවංක අදහස වුවද එක අතකට ඉංගිරිසියෙන් කියවා යමක් හොඳින් අවබෝධ වන්නාට ද එම අදහසම සිංහලට පෙරළීමට ඇවැසි වන්නේ හොඳ සිංහල වාග්කෝෂයකින් පිරිපුන් මනසක් පමණි. ඔහු ඉංගිරිසි කතා කිරීමෙහි නිපුණයෙකු වීම අවශ්‍ය නොවේ යැයි මම ද සිතමි. නමුත් මෙබඳු පරිවර්තකයන් හමු වන්නේ ලංකාවේ දී පමණකි යැයි මට සිතේ.

Tuesday, April 30, 2013

බලන විදිය සහ පේන විදිය

ඉන්දික* මට දුන් විඩියෝ වාර්තා වැඩසටහන් අතර "නිල් ග්‍රහයා" (Blue Planet) නමින් වූ අපගේ පෘථිවිය පිළිබඳ වාර්තා වැඩසටහනේ නිතරම අපගේ ග්‍රහලෝකය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද දුරස්ථ චලන රූපවලින් පෙන්වූ බැවින් එය බලා සිටීමට අතිශය ප්‍රිය උපදවන වාර්තා වැඩසටහනක් විය.

 

අප ජීවත් වන මේ ග්‍රහ ලෝකය ගෝලාකාර යැයි කිසිවෙකුත් පවසද්දී එය එසේමදැයි තත්ත්වාකාරයෙන් දැන ගැනීමේ හැකියාවක් සාමාන්‍ය මිනිසුන් වන අපට නැත. එක්කෝ අප අන් අය කියන දේ විශ්වාස කළ යුතුය. නැත්නම් අප විසින්ම අභ්‍යවකාශයට ගොස් මේ ග්‍රහ ලොවේ ගෝලාකාර බව දෑසින් දැක තෘප්ත විය යුතුය. පෘථිවිය ගෝලාකාර බවට පොළව මත සිට කළ හැකි නිරීක්ෂණ කීපයක් අපට ද්විතීයික අධ්‍යාපනය ලබන අවධියේ දී හෝ තෘතීයික අධ්‍යාපනය ලබන අවධියේ හෝ ගුරුවරුන් විසින් කියා දී ඇති හෙයින් ඒ ගැන යළි යළිත් ලිවීමට වෙහෙසීම නිරර්ථක ය. නමුත් ඒ කිසිවක් අප වසන පෘථිවියේ ගෝලාකාර බව අපට දෑසින් දකින්නට සළස්වන උපක්‍රමයෝ නොවෙති. එවා හුදෙක් තර්කයෙන් ව්‍යංගයෙන් හෝ වක්‍රාකාරව සාක්ෂිමය ලෙස පොළවේ ගෝලාකාර බව ස්ඵුට කරවන සාධකයෝම වෙති. (මා කලක් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ලාංකිකයෙකු මුණ ගැසුනේ හෙතෙම පෘථිවිය ගෝලාකාර යැයි ද සූර්යයා වටා අපගේ ග්‍රහ ලෝකය පරිභ්‍රමණය වන්නේ යැයි ද ඇසූ විට තූෂ්ණිම්භූත විය.ඔහු මේ පිළිබඳව අවිශ්වාසය පළ කළ අතර ඔහුව ඒත්තු ගැන්වීමට මට සෑහෙන කාලයක් ගත කරන්නට සිදු විය. ඒ වර්ෂ 2000 දී පමණය. මට හමු වන විට ඔහු හොඳ වැටුපකට හිමිකම් කියන තාක්ෂන නිලධාරියෙකු ලෙස වසර දහයක් පමණ සෞදි අරාබියේම වාසය කොට තිබුණි. ඔහුගේ කුඩා දරුවන් පවා ලෝක ගෝලවලින් සෙල්ලම් කරද්දී ඔහු මේ ගැන නොදැන සිටීම මට මහ පුදුමයක් විය. ඔහු කීවේ ගත කළ ජිවිතේ අතිමහත් ගැටළු නිසාවෙන් මෙවන් සුළු සුළු දේවල් අධ්‍යයනය කිරීම මගහැරුණු බවයි. මා ද ඔහුට කීවේ එබඳු දේ නොදැන සිටීම දෛනික ජීවිතයට බල නොපාන බවයි.)

ඇත්තටම කිසිවෙක් අභ්‍යාවකාශයට ගිය හොත් ඔහුට හෝ ඇයට අප වසන පෘථිවියේ දැකිය හැක්කේ කුමන ප්‍රමාණයක් ද යන්න ගැන යමක් ලිවීමට මට සිතුනේ ඒ විඩියෝ පටය නරඹද්දී ඇති වූ සිතුවිලි නිසාවෙනි. මා මීට පෙර ද නොයෙක් විට පෘථිවියේ දුරස්ථ දෘශ්‍ය චලන රූප දැක ඇතිමුත් එම දෘශ්‍ය රූප වඩාත් සමීපව දකින්නට සහ ඒ ගැන සිතන්නට මෙවර අවස්ථාව ලද්දේ අහඹු සිදුවීමක් ලෙසිනි. එම වාර්තා වැඩසටහනේ අන්තර්ගත පෘථිවි නිරීක්ෂණ දෘශ්‍ය පටිගත කිරීම් සිදු කර තිබුනේ පොළවෙන් අභ්‍යවකාශය දෙසට සැතපුම් දෙසීයක පමණ දුරක සිට ය. ගූගල් අර්ත් (Google Earth)වැනි පරිගනක වැඩසටහනකින් ද ලෝක ගෝලය දෙස අභ්‍යාවකාශයේ සිට අතාත්වික බැල්මක් හෙලිය හැකි නමුත් මා මේ සාකච්ඡා කරනු ලබන විශාල වස්තුවක දෘශ්‍ය ප්‍රමාණය සහ විශාලත්වය පිළිබඳව එහි කිසියම් ගණනය කිරීමක් ඇත්දැයි නිවැරදි ලෙස කීමට මම නොදනිමි. ගූගල් අර්ත් පරීක්ෂා කරද්දී මට දැනෙන්නේ ඔවුන් ඇසට පෙනෙන සීමාව පිළිබඳ සැළකිය යුතු අවධානයක් යොමු කොට ඇත්තේ සමීප දසුන්වල දී පමණකැයි ද දුරස්ථ දසුන් සැබෑ පියවි ඇසකට හමුවන යථාර්ථය නොවන බවත් ය.

පෘථිවිය වැනි විශාල වස්තුවක් දෙස අප බලද්දී එහි කොතරම් ප්‍රමාණයක් අපගේ දෘශ්‍ය ඉන්ද්‍රිය වෙත ග්‍රහණය වන්නේ දැයි සොයා බැලීමට මම උත්ත්සාහ කරමි. මෙම ප්‍රමාණය තීරණය වන ප්‍රධාන සාධකය වන්නේ අප එම වස්තුවට කොතරම් දුරකින් නිරීක්ෂණය කරන්නේ දැයි යන කාරණාව මත ය.

සුලු ගණිතමය ආකෘතියකින් මේ ප්‍රමාණය පිළිබඳ ගැටළුව ලිහාගත හැකිය. ගෝලාකාර වස්තුවක් දෙස කිසියම් දුරක සිට බැලූ විට අපට පෙනෙන්නේ කුමක් ද? වෘත්තාකාර ප්‍රතිබිම්බයකි. මෙම වෘත්තාකාර ප්‍රතිබිම්බයේ විශ්කම්භය සැම විටම එම ගෝලයේ විශ්කම්භයට වඩා අඩුවෙන් පෙනීම වටහා ගැනුමට පහත රූප සටහන පරීක්ෂාවෙන් බැලිය යුතුය.

 
ගෝලයකින් අපේ ඇසට ආලෝකය ඇතුළු වන්නේ එහි ස්පර්ශීය කේතුවක සීමාවේ සිටය. එම කේතු සීමාවට පිටතින් කිසිදු ආලෝකයක් ඇතුළු නොවන බැවින් එම ස්පර්ශීය රේඛාවෙන් ඇතුලත කිසිදු ජ්‍යාමිතික තොරතුරක් අප ඇස වෙත ගමන් නොකරයි.

මෙම සටහනේ රතු ත්‍රිකෝණයෙන් දැක්වෙන්නේ නිරීක්ෂක ඇස පෘථිවියට සමීප අවස්ථාව වන අතර කොළ පාටින් දැක්වෙන ත්‍රිකෝණයෙන් දැක්වෙන්නේ කළින් අවස්ථාවට වඩා වැඩි දුරකින් පෘථිවිය නිරීක්ෂණය කරන අවස්ථාවයි. රතු පාට T1P1 රේඛාවෙන් දැක්වෙන්නේ O1 ස්ථානයේ සිට බැලූ විට පෙනෙන පෙදෙසේ තල පෘෂ්ඨීය වෘත්තයේ විශ්කම්භය යි. කොළ පාට T2P2 රේඛාවෙන් දැක්වෙන්නේ O2 ස්ථානයේ සිට බැලූ විට පෙනෙන පෙදෙසේ තල පෘෂ්ඨීය වෘත්තයේ විශ්කම්භය යි. එය T1P1 වඩා විශාල බැව් පෙනේ.

මේ අනුව ගෝලයේ විශ්කම්භයම ඇසට පෙනීමට නම් ඇස තැබිය යුතු වන්නේ අපරිමිත දුරක බැව් මේ සටහන අනුව පෙනේ. ගණිතමය වශයෙන් ප්‍රකාශ කළහොත් එය අනන්ත දුරක සිට නැරඹිය යුතුය. නො එසේ නම් අපට සෑම විටකම පෙනෙන්නේ සැබෑ ගෝලයේ විශ්කම්භයට වඩා අඩු විශ්කම්භයකින් යුතු වෘත්තයකි.

අපේ ඇස්වලට දේවල් පේන්නේ සෑම විටකම එක්තරා ප්‍රක්ෂිප්ත තලයකට වෑස්සෙන ප්‍රමාණය බැවින් ගෝලීය විශාල වස්තුවක සැබෑ විශ්කම්භය ම දැකීමට මිනිස් ඇස අසමත් වන බැව් මින් පෙනේ. පෙනෙන දුරක සිට බලද්දී නිරතුරුවම අප දකින්නේ විශාල ගෝලීය වස්තුවේ සැබෑ උපරිම වෘත්තයට වඩා කුඩා වෘත්තය කි.

අනෙක් අතට දේවල් අපට පෙනෙන ප්‍රමාණය තීරණය කරන අනෙක් සාධකය වන්නේ වස්තු විසින් ඇස මත ආපාතනය කරනු ලබන කෝණය යි. ඉහත තර්කයේදී ද අප මුහුණ දෙන්නේ මේ ආපාතන කෝණයේ සීමාව ගෝලය විසින් ගොඩනගන්නේ එහි ස්පර්ශීය දාර හේතුවෙන් වීම නිසයි අපට අර ආලෝක කේතුකයකින් සීමා වන බව දක්නට ලැබුණේ.

අප අනන්ත දුරකට කෙසේ හෝ ගියත් එවිට විශාල වස්තුව විසින් ඇස මත ආපාතනය කරන කෝණය ද ඉතා කුඩා අගයක් බවට පත්වන බැවින් විශාල ගෝලීය වස්තුවක සැබෑ විශ්කම්භය දැකීමට කිසිදු ප්‍රායෝගික හැකියාවක් මනුෂ්‍යා වෙත නොමැති බැව් මින් පැහැදිලි වේ.

ඉතා විශාල වස්තු සේම අතිශය කුඩා අංශු ද අපට පියෙවි ඇසින් දැක ගත නොහැක්කේ ද මේ හේතුවම නිසාය. ඉතා කුඩා දේවල් පියවි ඇස මත ආපාතනය කරන කෝණය ඉතා කුඩා බැවින් ඒවා අපට දැකිය නොහැකිය. මේ හේතුවෙන් විවිධ අන්වීක්ෂ මගින් කුඩා වස්තුවල ප්‍රතිබිම්බ විශාලනය කරන කාච උපක්‍රම යොදා ඇසේ ආපාතන කෝණය වැඩි කිරීමෙන් දැක ගන්නට සළස්වයි.

ඒ කෙසේ වුව ද ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය වැනි පරමාණුක අංශු අපට තනි තනිව පියෙවි ඇසකින් දැකීමට නොහැකිය. කිසිදු උපක්‍රමයකින් ඒවා නරඹන්නට නොහැකි වන්නේ ඒවා එසේ නරඹන්නට සැකසුම් සකස් කරද්දීම ඒවායේ ස්වභාව වෙනස් කර ගන්නා බැවිනි. වක්‍ර ක්‍රම වලින් පවා ඒවා නැරඹිය හැක්කේ ෂර්ලොක් හෝම්ස් ක්‍රමයටය. එනම් රහස් පරීක්ෂකයෙකු සේ අංශු විසින් ඉතිරි කොට ඇති ඇඟිලි සළකුණු වැනි දෑ පරීක්ෂා කිරීමෙන් අපරාධකරු මේ ආකාරයේ විය යුතුය වැනි අනුමාන කිරීම් ඔස්සේ ය.

මේ දෑස කුමට දැයි (මක්කටෙයි?) දැන් දැන් සිතේ නම් එහි වරදක් ද නොපෙනේ. අපි යථාර්ථය යැයි කී විට අපට සිතට නැගෙන්නේ මේ අප ඇස් දෙකෙන් දැක මනසින් ගොඩනගා ගත් ලෝකයට යි. යථාර්ථය යනුම දෘශ්‍යාවලියකි. පින්තූර ලෝකයකි.නමුත් එය කොතරම් ඒ යථාර්ථයෙන් පවා දුරස් දැයි මේ අනුව සිතා ගත හැකිය.

ස්ලාවෝ ජිජැක් එක්තරා වාර්තාමය විඩියෝ වැඩසටහනක දී දෘශ්‍ය රූප ගැන පවසන දේ අපට වැදගත් වේ.

මේ එම වැඩසටහනේ ඇරඹුමයි. ජිජැක් වට කොට විශාල තිර මත ඔහුගේම මුහුණේ සමීප රූප විඩියෝ දර්ශන සජීවි ලෙස ඔහු අසල සිටින කැමරාකරු විසින් ග්‍රහණය කොට තිර මතට ප්‍රක්ෂේප කරමින් සිටියි. ජිජැක් තමා වටා තමාගේම දැවැන්ත ප්‍රතිරූප විසින් නිමවන කැළඹුම්කාරී රූපාවලිය නිසාවෙන් තරමක් තිගැස්මකට ලක්ව සිටියි.

මේ අතරතුර වැඩසටහනේ මෙහෙයවන්නා පසුබිමෙන් අවකාශයෙන් ඔහු වෙත කතා කරන අතර මේ සැකැසුම හෝ වැඩසටහනේ ආකෘතිය පිළිබඳ ජිජැක්ගේ පළමු ප්‍රතිචාරය කුමක් දැයි විමසා සිටියි. එවිට ඔහු මෙසේ කියයි “Images are the true reality today, I claim! Yeah, I like this idea that you will bombard me with images from reality. Images are the true reality today; I claim. We cannot simply say discard the images and you see reality. If we discard images, nothing remains just some pure abstraction. Images are reality for us today.”

"දෘශ්‍ය රූප තමයි වර්තමානයේ සැබෑ යථාර්ථය වී ඇත්තේ; මමයි කියන්නේ. ඔව්, මම කැමතියි මේ යථාර්ථයේ දෘශ්‍ය රූප මා වෙතට බෝම්බ ලෙස ප්‍රක්ෂේප කරවන මේ අදහසට. දෘශ්‍ය රූප තමයි වර්තමානයේ සැබෑ යථාර්ථය වන්නේ. මම කියන්නේ. අපට බැහැ සරලව කියන්න දෘශ්‍ය රූප මගහරින්න එතකොට ඔබට යථාර්ථය පෙනේවි කියලා. අපි දෘශ්‍ය රූප මග හැරියොත් කිසිවක් ඉතිරි නොවේවි සමහර විට ශුද්ධ වියුක්ත බවක් ඉතිරි වෙයි. අද වන විට දෘශ්‍ය රූප යනු අපේ යථාර්ථය බවට පත් වී ඇත."

මෙතන මේ ජිජැක් දක්වා ඇති "පියෝ ඇබ්ස්ට්‍රෑක්ෂන්" කියන යෙදුමේ තේරුම දෘශ්‍ය රූප ඉවත් කළ විට ඉතිරි වන දෙය පිළිබඳ හැඟවුමකි. එය කුමක්දැයි දෘශ්‍ය රූපවලින් තොරව වටහා ගත නොහැකි බව අප වටහා ගත යුතුය. අවශ්‍ය නම් සිංහල ඉංගිරිසි ශබ්ද කෝෂයක් පෙරළා ඇබ්ස්ට්‍රෑක්ෂන් යන්නේ සිංහල පදය උපුටා මෙහි ලිවිය හැකි වුව ද ඉන් එම අදහස වටහා ගැනීමට කිසිදු ආධාරයක් නොවනු ඇති බැව් ද සඳහන් කරමි.

අපි වස්තු දිහා බලද්දී ඒ වස්තු වලින් අපට පෙනෙන ප්‍රමාණය සහ විශාලත්වය යනු දෙයාකාරයක පරාමිතීන් බව වටහා ගැනුමට අපගේ ඉහත ලෝක ගෝල උදාහරණය තව දුරටත් විග්‍රහ කර ගනිමු. අප ලෝක ගෝලය දිහා බලද්දි ඉන් අපට පෙනෙන ප්‍රමාණය වන්නේ අපේ ඇස මතට පතිත වන ආලෝක කේතුවේ වාටියේ ප්‍රමාණය බැව් අපට පැහැදිලිය. නමුත් එය ප්‍රමාණාත්මකව ගතහොත් එම කේතුකයේ පතුලේ ඇති වෘත්තයේ වර්ගඵලය ට සමානුපාතික වේ. (නොඑසේ නම් ගෝලයේ එම කේතුක ස්පර්ශයෙන් ඇවිරෙන වක්‍ර වර්ගඵලය ලෙස ද ගත හැකිය. වක්‍ර වර්ගඵලය ගණනය කිරීම තරමක් දුෂ්කර බැවින් පැතැලි වර්ගඵලය ඊට අනුලෝමව සමානුපාත බැවින් භාවිතා කරමි.) අප ගෝලයෙන් ඈතට යත්ම මෙම කේතුකයේ පතුලේ වර්ගඵලය ප්‍රමාණාත්මකව වැඩි වුව ද එය විසින් ඇසෙහි ආපාතනය කරනු ලබන කෝණය අඩුවන බැව් පෙනේ. මෙය අවශ්‍ය නම් ගණිත සමීකරණ ආධාරයෙන් ශ්‍රිත ගොඩනගා වඩාත් ලස්සනට ප්‍රස්තාරික ලෙස පෙන්විය හැකිය. දෘශ්‍ය ආධාරක රහිතව මෙය මනසින්ම වටහා ගන්නට තැත් දැරීම මදක් දුෂ්කරය.

මෙනයින් අපට පැහැදිලි වන්නේ ලෝක ගෝලයේ මතුපිට අපට වැඩිපුර නිරාවරණය වද්දී එහි ඇසට පෙනෙන විශාලත්වය ක්‍රමයෙන් කුඩා වන බවයි.

සාමාන්‍යයෙන් අපට වඩා හොඳින් වස්තු පෙනෙන්නේ ඒවාට වඩාත් ලංව බැලූ විටයි. නමුත් විශාල වස්තු වඩා හොඳින් බලා ගැනීමට නම් අප දුරස් විය යුතුයි. දෘශ්‍ය දේ යථාර්ථයක් වන්නේ අප ඇස තැබිය යුතු තැන නිවැරදිව තැබූ විට බැව් මෙයින් දළ වශයෙන් වටහා ගත හැකිය.

* විශේෂ ස්තුතිය
මා හට විඩියෝ වාර්තා වැඩසටහන් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කළ ඉන්දික සංජීව සමරවික්‍රම සහෘදයාට.

Friday, April 12, 2013

Gaze! (ගේස් එක භෞතිකය ඇතුලටත් ඇවිත්!)

අන්තිමට විතර
"ගේස්" එක භෞතිකය ඇතුලටත් ඇවිත්!

අප අංශු දිහා බලද්දී
අංශු තම හැසිරීම
වෙනස් කරගන්න එක
කුරිරු යථාර්ථයකි
ඒ කාලේ!

ක්වොන්ටම් භෞතිකය තිත්තයි
කර්ණ කටුකයි-පසිඳුරන්ට ගෝචර නොවේ
යථාර්ථයෙන් පරිබාහිරයි
යථා ලෝකයට කිසිදු අදාලත්වයක් නොමැති
ජංජාලයකි!
පටලැවිල්ලකි!!
හුටපටයකි!!!

ෆෝන් එකෙන් ඇස් ඉවත් වෙද්දි
විඩියෝ නවතින්න ගත්තම
ගේස් එක භෞතිකයටත් ඇවිත්
ගේ දොරකඩටත් ඇවිත්
අත උඩටත් ඇවිත්!

පුංචි ක්වොන්ටම් පද්ධතියක්
විශ්වයේ රහස් අත්ලටම ගෙනැවිත්
සුළු මිලකට විශ්වයම-ගැලැක්සියම
සාක්කුවට බහාලන්න!

ඇස් වහ-හෝ වහ-කට වහ
ප්‍රේත-භූත-යක්ෂ දිශ්ටි
කලුකුමාර මහසෝන් ද -අනංග හීසර
ඒ වගේ ගේස් එක
එක එක වහ විදියට
එක එක දිශ්ටි වෙලා
කුරිරු බව වසං කර
වෙස්වලා ගෙන තිබ්බේ
ඒ කාලේ!

දැං ඔන්න ගේස් එක
භෞතිකය ඇතුලටම ඇවිත්!
අපි බලද්දි එයා දිහා
එයා බලයි අපේ දිහා
ගේස් එක අත්ල මතටම ඇවිත්!

බුදුන් දෑස් බුදු අනුරුව
මිනිස් දෑතින් තැනුන ද
සිමෙන්ති ඇස් දෙක මත
කලු ඉංගිරියාවක් තැබුම
සෘජු ඇසෙන් බලා
නොකරන් සකි
වස් වැදී-දෑස් අන්ධ වන්නේ
හිස සී සී කඩව යන්නේ...

කෙලින් බලං බුදු ඇස් මත
නේත්‍රා තැබුම නොකළ යුතුමය
අනන්ත ගුණ කඳ නිසාවෙන් උපදින
ගේස් එක එතරම්ම කුරිරු දැයි
මම නොදනිමි
මට නොවැටහේ කිසි දින!

පුංචි ක්වොන්ටම් පද්ධතියකි
පිළිමයක නැවුම් බුදු ඇස!

බලන විට අවනත වන
තවත් විටෙක
බලන විට රුදුරු විනාශය මවන
ගේස් එක කුරිරු දැයි
සොයා වෙහෙසිය නොහැකි
වට පිට බලන විට
සියලුම ගේස් වග කුරිරු වී ඇති සෙයකි...

අන්තිමට විතර
ගේස් එක භෞතිකය ඇතුලටත් ඇවිත්!




P.S.

Gaze:
 ...the gaze becomes the object of the act of looking,or, to be more precise, the object of the scopic drive. The gaze is therefore, in Lacan’s account, no longer on the side of the subject; it is the gaze of the Other. And whereas Sartre had conceived of an essential reciprocity between seeing the Other and being-seenby-him, Lacan now conceives of an antinomic relation between the gaze and the eye: the eye which looks is that of the subject, while the gaze is on the side of the object, and there is no coincidence between the two, since ‘You never look at me from the place at which I see you’ (S11, 103). When the subject looks at an object, the object is always already gazing back at the subject, but from a point at which the subject cannot see it. This split between the eye and the gaze is nothing other than the subjective division itself, expressed in the field of vision.
-An Introductory Dictionary of Lacanian Psychoanalysis (p.73)

Thursday, March 14, 2013

අනේ ඇල්බට් නොදුටි මොක් පුර!


අද ඇල්බට් අයින්ස්ටයින්ගේ උපන් දිනය යි.

අයින්ස්ටයින් ගැන ඔහුගේ සාපේක්ෂතාවාදය ගැන අද වන විට ලංකාවේ භෞතික විද්‍යාව දන්නා අය අතර ඇති ඔවුන්ගේ දන්නා ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ලංකාවේ සාපේක්ෂතාවාදය අඩුම තරමින් කතා කරන්න අවශ්‍ය මට්ටමටවත් දන්නා අය වෙත් ද? ඒ අය කොහෙද ඉන්නේ?

මට නම් මේ ගැන කිසිදු අදහසක් නැත.

මා දන්නා තරමින් ආලෝකයේ ප්‍රවේගයෙන් දර්පණ අරගෙන යන අය හෝ අතේ තියෙන විදුලි පන්දම්වලින් නිකුත්වන ආලෝකය හැසිරෙන විදිය හෝ ඒවා රැගෙන යන අයගේ වයස් වෙනස් වන හැටි හෝ කාල උමං තුළින් ගියාම සිදුවන දේවල් ගැන හෝ තේරවිලි කියමින් තෙපර බාමින් "අපි සාපේක්ෂතාවාදයේ කෙල පැමිණියවුන්" ලෙස සංවාද- සාකච්ඡා පවත්වන කිසිම අයෙක් අඩුම තරමින් අයින්ස්ටයින් නිර්මානය කළ සමීකරණය ඇස් දෙකෙන් දැකවත් නැති තක්කඩියන් බැව් නිර්භයව කිව හැකිය.

අනෙක් අතට අතිශය සංකීර්ණ විශයයන් ලෙස තම තමන් හඳුන්වා ගන්නා යම් යම් ක්ෂේත්‍රවල උගතුන් තම දැනුම ලෙලවමින් ලිඛිත අලිඛිත වාග් සංග්‍රාම මෙහෙයවන උදවිය, සාපේක්ෂතාවාදය වැනි සරල ගණිතමය සිද්ධාන්ත මත ගොඩනැගුනු සංකීර්ණ සංකල්පයක් දුටු විට  පවසන්නේ ඒවා තමන්ට අදාල නැති බවයි. එය උගෙනීමෙන් ඵලක් නොමැති බවයි. එනමුත් ඔවුහු නොයෙක් විට සාපේක්ෂතාවාදයේ එන සංකල්ප තම තමන්ට උචිත ලෙස වෙනස් කොට භාවිතා කරන්නට උත්සුක වෙති. සමහර අය කියන්නේ උතුර නිසා දකුණත් අඳුර නිසා ආලෝකයත් හට ගන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසාවෙනි කියාය. ඊට වඩා දෙයක් එහි නැති බවත් උදක්ම කියනා පිරිස් ද වෙති.

බොහෝ අය සාපේක්ෂතාවාදය පිළිගත නොහැකි සිද්ධාන්තයකැයි කීමෙහි පවා නිර්භය වන්නාහු එහි දිගක් පළලක් හෝ උඩක් පල්ලක් නොදන්නාහු වෙති. වර්ෂ 2005 දී ද කිසියම් අයෙක් විශාල ප්‍රචාරයක් පුවත්පත් හරහා දෙමින් පවසා සිටියේ සාපේක්ෂතාවාදය වැරදි බවයි. මා එකල තූෂ්ණිම්භූතව බලා සිටියේ එය න්‍යායිකව පෙන්වා දෙන අයුරු කියවා බලා ගන්නටය. එබන්දක් කවර කලෙකවත් නොදුටිමි. ඊට හේතුව වචන සංග්‍රාම කොතරම් කළ ද ගණිතමය වශයෙන් බොරු කිරීමට නොහැකි බැවින් එම ගණිතමය භාෂාව හැසිරවීමේ අසමර්ථ ඔවුනට යන එන මං නැති වෙන හෙයිනි.

සංකේත ඔස්සේ යථාර්ථය සෙවිය නොහැකි යැයි කෙටියෙන් පවසා සාපේක්ෂතාවාදය නිසරු දැනුමකැයි ප්‍රකාශ කොට ධ්‍යාන වඩා සියලු සත්‍ය එක රැයින් දැනගන්නෙමුයි කියා ආරණ්‍යගත වන සත්‍ය ගවේෂකයෝ ද වෙති. ඔවුහු බොහොමයක් යන ආරණ්‍යයක් ද නැත. එනමුත් ඔවුහු බොහෝ අයට භෞතිකය එපා කරවන්නට වැඩ කිරීමෙහි නිරත වෙති. අන්තිමේ දී ඔවුනට අනුව බටහිර ක්‍රිස්තියානු භෞතිකයත් පෙරදිග බෞද්ධ අධ්‍යාත්මික සුවයත් යන දෙකම නැති මොට්ටයන් බවට පත්ව සිංහ නාද පවත්වති.

නොයෙකුත් විශයයන් වෙනුවෙන් අධිගෘහිත අයිතිකාරයන් සිටියත් සාපේක්ෂතාවාදය කෙරෙහි කිසිවෙකුත් තමං බලපුළුවංකාරයෙකැයි ප්‍රසිද්ධියේ කීමට ඉදිරිපත් නොවෙති. ඒ මත පිහිටා දේශපාලන ව්‍යාපෘති ගොඩ නොනගති. දාර්ශනික මැදිහත් වීම් පවා නොකරති. ඒ මන්ද යත් එය දන්නවා යැයි කී විගසින් එහි ගණිතමය මූලධර්ම ඔස්සේ හැරෙන්නට වෙන අන් ක්‍රමයකින් බහුබූත දෙඩවීමේ ක්‍රමයක් නැති නිසාවෙනි. සාපේක්ෂතාවාදයේ ගණිතය ලංකාවේ බහුතරයක් අවිද්‍යා චක්‍රවර්තීන්ට අවිශය වේ.

අනෙක් අතට ලංකාවේ සංවාද තල වල සිටින්නේ විදග්ධ ලෙස ප්‍රශ්න අසන්නන් පමණි. ඔවුහු ප්‍රශ්නය අසා පිළිතුරක් ලදත් නොලදත් තමන් අනෙකා ගේ පුක බිම ඇනෙන්න ප්‍රශ්නය ඇසුවා නේදැයි ස්වයං තෘප්තියට පත්ව ගැලරිය ද සංතුෂ්ටියට පත් කරවති. ඔවුහු ප්‍රශ්න අසන්නේ දැනුම සොයා ගැනුමට නොවෙතත් දැනුම වෙනුවෙන් වෙහෙසෙන එකෙකු හෙම්බත් කරවන්නට ය. ඌට, ඌවම එපා කරවන්නට ය. නො එසේ නම් තමන්ට ද කල්පනා කොට සොයා බලා දැනුම හාරා අවුස්සා පිළිතුරු සොයාගත හැකි ප්‍රශ්න ප්‍රසිද්ධියේ  හෝ අප්‍රසිද්ධියේ ඇසීමට ඉදිරිපත් වන්නට කාරණයක් තිබිය යුතුය.

අයින්ස්ටයින්ගේ උපන්දිනය සමරන, ලංකාවේ  භෞතිකය ප්‍රතික්ෂේප කොට සිය අධ්‍යාත්මික දියුණුවේ හිනි පෙත්තේ සිටිනා අයට මතක් කළ යුතු දේවල් අතර මට මේ වෙලාවේ සිහියට එන්නේ එපමණි.

Monday, March 11, 2013

"වසර 50යි. නිහාල් ඇවිත්."

නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල දී ගත් කැසට් පට තුනකුත් සමග බැව් මට මතකය.

එම කැසට් පට තුන තවමත් මගේ සිතේ ඇඳේ.

එකක් ප්‍රියා සූරියසේන ගේය. අනෙකක් රුක්මණී දේවී ගේය. ඉතිරි එක නිහාල් නෙල්සන් ගේය. මා හට  ප්‍රියා සූරියසේනගේ කැසට් පටය හොඳින් මතක ඇත්තේ එය ඔහුගේ ඡායාරූපයකින් ද සමන්විත ඔහුගේම ගීත පමණක් අඩංගු, මතක හැටියට, තරංගා ලේබලයෙන් යුත් කැසට් පටයක් ලෙසය. අනෙකුත් කැසට් පට දෙක මාගේ පියා විසින් නම් කරන ලද ගීත පමණක් තෝරා පටිගත කරවන ලද්දක් බැවින් ඒවායේ විශේෂ පිට කවර පිළිබඳ මට මතකයක් නොමැත.

කෙසේ වුව ද මා වඩාත් ප්‍රිය වූයේ නිහාල් නෙල්සන් ගේ ගීත ඇසීමටය.

ඉන්පසු සති කීපයක් ගෙවී යන්නට මත්තෙන් තාත්තා විසින් මොහිදීන් බෙග්-අමරදේව-ජිප්සීස් යනාදී වූ එකල බොහෝ ජනප්‍රියත්වයට පත් ගායකයන්ගේ කැසට් පට මිල ට ගෙන තිබූ බැවින් ඒවායේ පැමිණීම හෝ රස විඳීමේ පිළිවෙල මට මතක නැත.

අමරදේවයන් ගායනා කරන "රෑ දුරු රට මේ..." යන ගීතය එකල මා වඩාත් සිත්ගත් ගීතය විය. එය අසද්දී මට ඉතා ඈත දුරක සිට කවුදෝ අමතන්නා වැනි හැඟුමක් ඇති වුනා විනා අන් යමක් පද රචනා ඔස්සේ වටහා ගැනුමෙහි මා අසමත් විය.

"සන්නාලියනේ" ගීතය අසද්දී මට වචනයෙන් කිව නොහැකි භීතියක් හටගත් බැව් නොකියාම බැරිය. එම ගීතය වාදනය වන සෑම අවස්ථාවකම අම්මා හෝ අක්කා අසල දැවටීමට තරම් මට ඒ ගීතය භයානක චිත්තරූප සමූහයක් මවා දුන් අයුර මට තාමත් මතක තියේ.

ගීතවල වචන ඔස්සේ එම ගීතවලට කිසියම් තේරුමක් ඇතැයි යන අදහස මා හට ඇති වූයේ ඊටත් බොහෝ කලකට පසුවය. ස්පාඤ්ඤ ගී තනුවකට අනුව ගැයුනු, වර්තමානයේ කීර්ති පැස්කුවල් ගායනා කරනා ගීතයක් මට හොඳින් මතක ඇත්තේ තාත්තා විසින් පවත්වනු ලබන මධු සාදවල දී තාත්තාගේ මිතුරන් ඒ ගීතය ඉතාම ලස්සනට ගායනා කළ බැවිනි. ඒ මුල් ගීතය ගායනා කරන්නේ කවුදැයි මා දැන සිටියේ නැත. ඒ නිහාල් නෙල්සන් යැයි මා සිතා සිටින්නට ඇත්තේ ඒ ගීතය ද අන්තර්ගත වූයේ නිහාල්ගේ ගීත අඩංගු කැසට් පටයේම වීම නිසා විය හැකිය.

කෙසේ වෙතත් ඉතා කුඩා කාලයේ දීම අමරදේවයන්ගේ ගීත ශ්‍රවණය කරන්නට මා හට ලැබීම හේතුවෙන් වර්තමානයේ දී පවා ඒ ගීත අසද්දී එම අතීතයට මා කැඳවා යන්නට සමත් වන්නේ යැයි මට සිතේ. එපමණක් නොව රුක්මණී දේවී ගේ හෝ නිහාල් නෙල්සන් ගේ ගීත පවා ඇසෙද්දී මගේ මතකය ඒ අතීතය කරා ඇදී යනු මට දැනේ. එකල සිංහල අලුත් අවුරුදු කාලයේ දී මුලු දවසේම ගීත ධාවනය කරමින් පැවැත්වෙන මධුසාදවල මේ සියළු ගීත ගැයුනු වැයුනු හැටි මට මතක තියේ. ඒ නාගරික ජීවිතයේ එක්තරා කඩඉමක් කැසට් සංගීතයත් සමග මුහුව ගලා ආ බැවිනැයි මට සිතේ. (තවත් අඩක් චිත්‍රකතා පත්තර සමග ගලා ආ බවක් මා මීට පෙර සරත්මධු ගැන ලියූ අතීතාවර්ජනයක සටහන් කර තිබේ.)

නවසිය හැත්තෑ ගණන්වල මා ජීවත් වූයේ ද ගාලු පාරේ කඩකාමරයක සොල්දරයක බැවින් එකල සමාජ වටපිටාව ගැන මා සිතේ මැවුනේ ද නිහාල් නෙල්සන්ගේ බහුතරයක් ගීත විසින් එලිදරව් කරන්නා වූ නාගරික සමාජ තීරුවල හැසිරීම මය.

හැත්තෑ ගණන්වල මගේ මතකයේ ඇති කාලයේ දී නම් මාතර නගරයේ විවිධ චණ්ඩි අයියාර්සී කාරයන් මෙන්ම බේබද්දන් ද ගැවසුනේය. අප නිවැසි ගාලු පාර අයිනේ පවා හොර අරක්කු විකුණන්නන් මෙන්ම බූරු පොලවල් ද රහසිගතව පැවැතුනි. ඒ සියල්ල අභිබවමින් මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාවට ඇදී යන සිනමා ප්‍රේක්ෂකයන් ගෙන් ගාලු පාර පිරී පැවතුනේ සැන්දෑ යාමයේ දී පමණක් ම නොවේ. එකල සිනමා ශාලාවල ගුටි බැට රණ්ඩු සරුවල් නිතිපතා සිදු විය. ඒ කාලයේ ම ජනප්‍රිය වූ "ගුණෙ අයියගේ කාමරේ" ගීතය ද මෙම සමාජ හරස්කඩ මැනවින් පිළිබිඹු කළේ යැයි මට දැන් සිතේ.

මට ඒ දවස්වල "ගුණෙ අයියා" යනු "මැන්ඩිස් අප්පු" ලෙස ප්‍රකට හොර අරක්කු විකුණන්නා බැව් මෙහි සඳහන් කළ යුතුය. ඔහු පරණ යකඩ බඩු කඩයක ස්වරූපයෙන් හොර අරක්කු විකිණීමෙහි නියැලුනි. ඔහු ගැන මා සිතේ මැවෙන ඇවිස්සෙන මතකයන් බොහෝ බැවින් එතෙකින් නවතිමි.

වෙසක් උත්සව කාලය වන විට සෑම තැනකම ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගායනාවන් මය. මා එකල බෙග් මාස්ටර්ගේ නොඇසූ ගීතයක් නැති තරමට ඒවා වෙසක් කාලයේ දී ගාලු පාර පුරා ඇසෙන්නට සලස්වන්නේ කවුදැයි මට සිතා ගත නොහැකිය. ලවුඩ් ස්පීකර ලයිට් කණුවල බැඳ, රතු කළු වයර් දිගින් දිගට ඇද එම ගීත එකම තැනකින් ගාලු පාරේ තොරන් ඇති සෑම තැනක් දක්වාම, නල ජලය පොම්ප කරන්නා සේ පොම්ප කරන්නේ කවුදැයි මා කුතුහලයෙන් සිතමින් සිටියා මට හොඳට මතකය.

නිහාල් නෙල්සන් ගේ ගීත ගායනාවන්ට වසර පණහක් පිරෙන්නට තව දින කීපයක් ඇති බැව් මා ඊයේ දැනගත්තේ රූපවාහිනි සේවාවක් විසින් ඔහුව කැඳවා කරන ලද සාකච්ඡාමය වැඩසටහනක දී ය. එම වැඩසටහනට ටෙනිසන් කුරේ ද කැඳවා තිබුණි. ටෙනිසන් කුරේ අපූරු පුද්ගලයෙකු ලෙස මාගේ මතකයට ඇතුළු වන්නේ පෙරලිකාරයෝ චිත්‍රපටයේ ඔහුගේ රංගනයන් නිසාවෙනි. මා පෙරලිකාරයෝ චිත්‍රපටයත් එහි හින්දි ඔරිජිනල්-කොපියත් නැරඹූවේ 1986 දී පමණ ය.

"වසර 50යි. නිහාල් ඇවිත්."


මේ නිහාල් නෙල්සන් ගේ වසර පණහක් පිරෙන ගායනා දිවියේ සුලකුණ තබන්නට සංවිධානය කර ඇති  සංගීත සංදර්ශනය යි.  එම සංගීත ප්‍රසංගය පැවැත්වෙනු ඇත්තේ 2013 මාර්තු මස 15වැනිදා කොළඹ මියුසියස් විදුහල් පරිශ්‍රයේ දී ය.

පාදඩබව සරලව සුන්දරව සහ නග්නව සමාජය වෙත පෙරලා හරවා පෙන්වා දුන් ගායකයෙකුගේ අඩසියවසක ගමනකට සාක්ෂි වන්නට ලැබීම ද භාග්‍යයක් නොවන්නේ දැයි මම විමසමි.

නිහාල් නෙල්සන් එකල සංගීත වේදිකා මත ප්‍රාතිහාර්ය පෑ ගායකයෙකි යි මට සිතේ. සංගීත සංදර්ශන ගැන මෙනෙහි කරද්දී මාතර උයන්වත්තේ ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශන නරඹන්නට මා ගිය කාලය සිහිපත් වේ. ඒ නවසිය අසූ ගණන්ය. වේදිකා වටා තුංග ලෙස නැගුනු අති දැවැන්ත ශබ්ද නිපදවන ස්පීකර පෙට්ටි ඔස්සේ පපුවට කුළුගෙඩියකින් පහර දෙන්නා සේ නැගෙන බේස් හඩවල් මැද්දේ ඔහුගේ හඩ නිම්නාද දුන් අයුරු මට ඉතා හොඳින් මතකය. වයසින් මුහුකුරා නොගිය අපි ඒ නාදයට කරකැවෙමින් නැටූ හැටි මතක් වන විට අපූරු අතීතයක් සිහි වී මැකී යේ.

නිහාල් නෙල්සන් ගේ ගායනාවන් ගැන මෙන්ම ජෝතිපාල ගේ ගායනාවන් ද මාගේ මතකයේ කිසිදා මැකී නොයන ලෙස සටහන් ව තිබේ. සමාජයේ පාදඩ යැයි සම්මත තීරුවල මාගේ ළමා කාලය ගත වීම සහ ඒවා සමීපව ඇසුරු කරන්නට ලැබීම පිළිබඳ අද මා හට ඇත්තේ ගෞරවනීය හැඟීමකි.

නිහාල් ගැයූ සාර්ථකම ගීතය ලෙස මා සිතන්නේ "ගුණෙ අයියගේ කාමරේ" ගීතය ය. එය මා කොතරම් ඇසූවත් ඒ අසන සෑම වාරයකම තව තවත් වෙනස් නැවුම් රූප මවා දීමට අපූරු හැකියාවකින් යුතු ගීතයකැයි මට සිතේ.
"රෝස මලකුයි- නෙලුම් මලකුයි" ගීතය ද මා අතිශය ආශා කරන ගීතයකි. තවත් බොහෝ ගී ඔහුගේ විශිෂ්ට පද රචනාවෙන් ද සංගීතයෙන් ද අසදෘශ ගායනා විලාසය ද මුසුව සමාජයේ විවිධ කොටස් අතර දියව පදම්ව ගොස් ඇති සේය. එම ගී ද ඔහුගේ ගායනා පෞරුෂය ද අපගේ මනස් තුළ අචලව- ඝණීභූතව තවත් බොහෝ කාලයක් පවතිනු ඇත.

නිහාල් නෙල්සන්, ඔබ මාගේ ජීවිතයේ අහුමුල්ලක නොව එළිමහනක සැඟව ගත් යෝධයෙකි.

(ඡායාරූපය ගත්තේ 1 මෙතැනින්, 2 මෙතැනින්.)

Thursday, February 14, 2013

අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුස්තකාලයට පොත්

මා ලද SMS පණිවිඩයක්!

පිණක් කරගන්න... අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුංචි දුප්පත් පාසැලක්. අපි ඒ පාසැලේ පුස්තකාලයට පොත් ටිකක් දෙන්නයි යන්නයි හදන්නේ. ඉතිං අපට ඔබේ උදව් ගොඩක් වටිනවා. දරුවන්ගේ දෙනෙත් පාදන්න පොතකින් හෝ ඊට වැඩි ඕනම විදියකින් මේ පිංකමට දායක වෙන්න.
කතා කරන්න ගාමිණි බස්නායක 0716015434 ලහිරු කිතලගම 0715468431
අපි ඔබ කතා කරනකම් බලං ඉන්නවා.

කෙටි පණිවිඩය එව්වේ 0715303534

Tuesday, January 8, 2013

කලාවේ සත්‍යය