Tuesday, December 2, 2008

පැරණි සටන් සගයෙකුට කී කව-චූලානන්ද සමරනායක

පැරණි සටන් සගයෙකුට කී කව

ඉල් මසක ගිනි බිඳුණ
රතු කැකුළු පොකුරක
දුක්බරම මතකය දරාගෙන
බස් පොළට ගිය දිනක
ඒත් ඉල් මසකම
දුටිමි නුඹ කෙසග රුව

ලෑලි කඩ පේලියේ කෙළවර
බුකියේ ලෑලි හිඩැස් අතරින්
පෙනුණු අසරුවාගේ මුහුණේ
අතීතේ ලකුණු බොහෝ විය

තබා වම් පය සෑදල වළල්ලේ
සූදානමින් නගින්නට අසුපිට
නේරංජනාවෙන් ඔබ
සිහින කහවනුවක් නෙලන්නට

පළමු මොහොතේම
ඇසට ඇස පැටලුණ
සොඳුරු මදහසමය
දහ අට වසරකට පෙර පුරුදු
සැණින් එය මරාගෙන
නාඳුනන බවම ඇගවෙන
බැල්මකිය
තුරග උප්පැන්න සහතික පළාගෙන

සොයුර පෙර දවස
ගිනි ඇවිල සටන් බිම
උරෙන් උර ගැටී උන් සගයා
මම වෙමිය

ජය වෙවා භංග වෙවා
නගා රණ ගොස
බැටන් පොලු රබර් ඊයම් මූනිස්සම්
දැක දැක
රතු ධජය ගෙන
පෙළපාලියේ නුඹ සමග නුඹ අසලින්ම
ගිය සගයා මම වෙමිය

බූස්සේ පූනානියේ
පැලවත්තේ තෙලවල
ඇල්දිය සමග කදවුරු බත කා
එකට කොක්කෙ එල්ලී
ගුටි කෑ දත් මිටි කමින් උසුලාන උන්
සගයා මම වෙමිය

වැටෙන්නේ අහවල් දෙටද මහත්තයෝ
තෙරෙනවා නම් අපොහකෙ
නිබඳ නුඹ දිරි වදන්
අසා හුන් සගයා මම වෙමිය

අනන්තය සේ ගෙවී ගිය
වසර ගණනක කාලයක පසුව
අද අහම්බෙන්
ඇස ගැටුණ නිමෙෂයක
ඇයි ද නාඳුනන බැල්මක
වහං වී පලායන තැත

එදා ළග නොසිටි අසු ඇති මුත් අද
කො එදා ළග තිබූ අසිපත
එන්නේ නැද්ද කවමදාවත් ආයෙ නුඹ
උරෙනුර ගැටී
ජය වෙවා භංග වෙවා කියන්නට

චූලානන්ද සමරනායක

ලංකා ඉරිදා සංග‍්‍රය 30-11-2008 උපුටනය විල්තෙර කවි පිටුව -සංස්කරණය රත්න ශ‍්‍රී

අකීකරු පුත‍්‍රයාට ලියමි- ඉසුරු ප‍්‍රසංග

අකීකරු පුත‍්‍රයාට ලියමි

පූර්විකාව

කවියකු උපන් කල

මව්වරු හඩා වැලපෙති
ඒ දරුවා තමාට නොව
ලෝකයට හිමිවන බැව් දැන

ස්ටෙපාන් ත්සනෙව් බල්ගේරියාව

නුඹ උපන් කල
හඩා වැළපිනි මව
කවියකු නිසා නොව
උපන් එ සැනෙහි
නාඩාම නුඹ හුන් වග දැක...

ලොව දැක නිබඳ
හඩා පල නැතියෙන
හුනිව ද දරා සිත දැඩිකර...

විනම් කවියකු මෙරට
වලඳින ගුහා සුව මිස
ලොවට උන් හිමි නැතියෙන
දුක්වන කරුණු නැත මව්නට...

වැළපෙයි අදත් නුඹ මව
කවියකු නොවු පුතු ගැන...

කවි සිත කවියටම
නොව ලෝකයට පුද කර

රතු මලෙක රූ ලැබ
නුඹ පිපෙන ගොහොරෙහි තතු දැන...

ඉසුරු ප‍්‍රසංග
තුරු හිසක තරු සැගව 2006 කාව්‍ය සංග‍්‍රහයෙන්


tbc