Tuesday, March 1, 2011

මතක හැටියට අප ද සිටිය යුතු තැන් ගැන...

සුදු වළාකුළු කිහිපයක් සහ
කන්ද මුදුනේ උන්නු පුරසඳ
කපා ගත්තෙමි කතුරකින්


හෙන්දිරික්කා මල් වගේකුත්
කඩා ගත්තෙමි පඳුරකින්


කළු පැහැති කඩදාසියක් මත
ඉහළ කෙළවර ඇලෙව්වෙමි සඳ
වළාකුළු සහ මල් ද අලවා
තබමි තැන තැන පුංචි පිනි කැට


පාට කූරක් අරන් ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
ඇඳලා දෙනවද මතක හැටියට
හිටපු හැටි අපි දෙන්නා සඳ යට....


රුවන් බන්දුජීව


මේ කවිය අද උදෑසන මගේ ඊමේල පෙට්ටියට වැටී තිබුණේ බූන්දි බ්ලොග් එකෙන් ස්වයංජාතව පාව ආවක් ලෙසින්. රුවන් බන්දුජීවගේ මේ කවිය ගෙන ආ නැවුම් ප්‍රබෝධය නිසාවෙනි පූර්ණ අවිවේකී තත්වයක වුවද මේ කෙටි සටහන තබන්නට මට සිතුණේ.

කැමරූන් රාජ්‍යය ද වීදි සටන්වලට කෙමෙන් කෙමෙන් බසිමින් සිටිනා බැව් ඊයේ පුවත් පත් කීපයක් බැලීමෙන් මට වැටහුණි. පෝල් බියාගේ වසර විසි අටක පාලනය අවසන් කළ යුතු බවට මිනිසුන් අතර හාහූවක් ගොඩනැගෙමින් පවතින්නේ මේ මොහොතේ මධ්‍යධරණී මුහුද වටා ඇති රාජ්‍යයන් කීපයක් තුළම ගොඩනැගුණු සාමකාමී මහජන විප්ලව ජයග්‍රහණය කරමින් පවතිද්දීමය.

කැමරූන්හි ජනාධිපතිවරණය ද මේ වසරේ යෙදෙන්නට වෙයි. මැතිවරණ ප්‍රචාරක උණුසුම ද ප්‍රචණ්ඩ ක්‍රියාද නිතර පුවත්පත්වල වාර්තා වේ. ඒවා මට එතරම් විශ්මය දනවන පුවත් නොවේ.

ඊයේ හදිසියකට නගර මධ්‍යයට ගිය වේලේ පුවත්පත් කීපයක් මිලදී ගන්නට මම අමතක නොකළෙමි. ඒ පුවත්පත් කඩලෑල්ලේ එල්ලා තිබූ අලුත්ම පුවත්පත්වල ඡායාරූප කීපයක් ගන්නට ද මට හැකි විය.

මතක හැටියට අප ද සිටි තැන් මේ සිතුවමේ ඇඳිය හැකි දවසක් ගැන මට සිහිකැඳවූ රුවන් බන්දුජීවට තුති.