Monday, March 19, 2012

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්
මේ ස්වභා දහමේ නිර්මාන කාලයේ ඇරඹුමේ සිටම අපට ප්‍රත්‍යක්ෂ වෙමින් හෝ නොවෙමින් අප අතරම පැවතුනි. ඒවා ගවේෂණය කිරීමෙන් අපට ප්‍රත්‍යක්ෂ වන මාදිලි බවට පරිවර්තනය කරන්නට කවදා කවුරුන් හෝ මූලික වන්නේද යන්න මිස ඒවා අලුතින් ප්‍රාදූර්භූත වීමකින් තොරව සනාථනිකව තම පැවැත්ම රඳවා ගනී.
-රොජර් පෙන්රෝස්

Those designs were already ‘in existence’ since the beginning of time, in the potential timeless sense that they would necessarily be revealed precisely in the form that we perceive them today, no matter at what time or in what location some perceiving being might have chosen to examine them.

page 47: Roger Penrose The Road to Reality- A Complete Guide to the Laws of the Universe


කාලය ඒක මාන ද?

භෞතික විද්‍යාව එහි මූලාරම්භයේ පටන්ම මෙතුවකට අචලව පවත්වා ආ මූලික ලක්ෂණ අතුරෙන් අතිශය වැදගත් සංකල්පයක් වන්නේ කාලයේ මාන විෂයෙහි ඒකීයත්වය යි. නිව්ටෝනියානු කාලය විශ්වයේ සියලු තැන්හි එකම සීඝ්‍රතාවයකින් ගලා යද්දී අයින්ස්ටයිනියානු කාලය නිරීක්ෂකයාට අනුව සීඝ්‍රතා වෙනස් කරගන්නා බව පෙන්වා දුන්නා හැර ඉන් ඔබ්බට කාලයේ ස්වරූප සංකල්පීය ලෙස වෙනසකට බඳුන් වී නැත.

කාලය පිළිබඳ සම්ප්‍රදායික පිළිගැනීමට වෙනස් මතවාදයක් ප්‍රථම වරට ලොවට ගෙන එන්නට සමත් වන්නේ ඉතාම මෑතක දී  ඉත්ෂාක් බාර්ස් නම් වූ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ එලඹුමට අනුව සෛද්ධාන්තික භෞතික විද්‍යාව මාන 6කින් යුක්ත වන අතර ඉන් 4ක් අවකාශ මාන වන අතර 2ක් කාලයේ මාන වෙයි. මෙයාකාර වූ කාලයේ ද්විමාන ස්වරූපයක් මුල් වරට භෞතික විද්‍යාවට හඳුන්වා දෙන ඔහුගේ ආන්දෝලනාත්මක ලිපිය වර්ෂ 2007 ඔක්තෝබර් 13 වැනි දා නිකුත් වූ නිව් සයන්ටිස්ට් සඟරාවේ මුල් පිටුවේ කතාව ලෙස ප්‍රකාශයට පත් කර ප්‍රසිද්ධ කරන ලදී. ඉත්ෂාක් බාර්ස්ගේ එම ද්විකාල භෞතිකය පිළිබඳ කරනු ලබන සම්මුඛ සාකච්ඡාවක් මෙතැනින් කියවා ගත හැකිය. එම අදහස ඉන් ඔබ්බට කවර ආකාර සංවර්ධනයකට ලක් වූයේ දැයි එතරම් ප්‍රචලිත නැති වුව ද එම අදහස වඩාත් පළල් වපසරියකට ගෙන ඒමට දරන තැතක් ලෙස මේ ව්‍යායාමය හඳුන්වා දෙනු කැමැත්තෙමි.

කාලය විසින් කිසියම් සිදුවීමක තත්වය තීරණය කරන්නේ එම සිදුවීම නොසිදුවීමේ සියළු හැකියාවන් ගණනය කිරීමෙන් අවම තත්ත්වයන් හෝ උපරිම තත්ත්වයන් ඇති කාලාවකාශ මාර්ගය තෝරා ගැනීමෙනි යනුවෙන් පැවසූවොත් එය කිසියම් කාල සන්ධර්භයක් තුළ සත්‍ය වන බැව් පෙන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස කාලාවකාශයේ සිදුවීම් දෙකක් ඒ සහ බී වශයෙන් සළකමු. ඒ සහ බී අතර කාල අන්තර ව‍ශයෙන් අනන්‍ය වූ කාල ප්‍රමාණයක් ඇති අතර එම සිදුවීම් දෙක අතර අනන්‍ය වූ ඛණ්ඩාංක අතර වෙනසක් ද පැවතිය හැකිය. එකම ස්ථානයක සිදුවන නිරීක්ෂණ දෙකක් පමණක් වන්නේ නම් එහි පැවතිය හැක්කේ කාල ප්‍රාන්තර වෙනස පමණි. මන්ද යත් ස්ථානීය වෙනසක් හෝ විස්ථාපනයක් සිදු නොවන්නේ නම් එහි ඛ‍ණ්ඩාංක නොවෙනස්ව පවතින බැවිනි. මෙබඳු අවස්ථාවක කාලය පමණක් සිය ඛණ්ඩාංක වෙනස් කරගන්නා බැවින් කාලයට ගත හැකි වෙනස් අගයන් අපරිමිත ප්‍රමාණයකින් එම කාල ප්‍රාන්තරය පමණක් තෝරා ගැනීම නිරීක්ෂණය මත පමණක් පදනම් වන්නේ යැයි සැළකිය හැකි බැවින් උක්ත ප්‍රමේය සාධනය නොවන විශේෂ අවස්ථාවක් නිර්මානය වන බැව් වටහා ගත හැකිය. නමුත් මෙම විශේෂ අවස්ථාව සාමාන්‍යකරනය වන්නේ කෙසේදැයි නැවතත් පරීක්ෂාවෙන් බැලීමෙන් වටහා ගත හැකිය. සියළු මිනුම් සිදුවන්නේ නිරීක්ෂකයකුට සාපේක්ෂව බැවින් නිරීක්ෂකයා තීරණය කරනු ලබන මොහොත යනු සිදුවිය හැකි අපරිමිත සිදුවීම් අවකාශයකින් තෝරා ගත් අවස්ථාවක් නිර්මානය කිරීමයි. නිරීක්ෂණයක් උදෙසා සිදුවන අහඹු තෝරා ගැනීම යනු ද සිදුවිය හැකි අපරිමිත කාල ප්‍රාන්තර සන්තතියකින් එක්තරා අගයක තෝරා ගැනීමක් වන බැවින් නොතේරු සියළු කාල ප්‍රාන්තරයන් යනු අවම හෝ උපරිම තත්වයන් නිරීක්ෂණයට සාපේක්ෂව තෘප්ත නොවූ අවස්ථා බවට පත් වේ. කාලයේ සමස්ත ස්වරූපය සන්තතිකව රේඛීය ලෙස ගලා යන්නා වූ ලෙස පවතින ජ්‍යාමිතික නිරූපනයක් බැවින් එහි එම ගති ලක්ෂණය විසින් කිසිදු උපරිම අවම තත්වයක් නිර්මානය නොකිරීම හේතුවෙන් තෝරාගත් ඕනෑම ලක්ෂ්‍යයක් විසින් තෘප්ත කරනු ලබන්නේ උපරිමයක් හෝ අවමයක් හෝ යැයි සැළකීම ගණිතමය වශයෙන් දෝෂ සහගත වුව ද භෞතික අරුතින් ප්‍රායෝගික බැව් පෙනේ. ඒ මන්ද යත් නොතේරු සියළු ඉහල අගයන් සීමාවේ අවමය තෝරා ගත් ලක්ෂ්‍යය විසින් තෘප්ත කිරීමෙන් අවම අවස්ථාව නිර්මානය වීම හෝ නොතේරු අගයන් ගේ පහල සීමාවේ උපරිම අගය තේරු අගය විසින් තෘප්ත කිරීමේ හේතුවෙන් උපරිම අවස්ථාව තෘප්ත වීමත් යනා දී වශයෙනි. එනයින් අප මුලින් දැක්වූ කාලාවකාශයේ තෝරා ගත් සිදුවීම් දෙකක් අතර නොසිදූවීම් සියල්ලේ අවමය සහ උපරිමය ගණනය වීම සිදුවන්නේ කෙලෙසක දැයි වටහා ගැනීම තුළින් කාලයේ බහුමානික ගුණය මතු කරලන්නට උත්සහ කරමු.

නොතේරු කාලාවකාශ ඛණ්ඩාංක තේරු ඛණ්ඩාංකය විසින් යටපත් කරවූයේ කෙසේදැයි වටහා ගැනීම හෝ එම සියළු නොතේරු අගයන් ගණනය කර සැසඳීම සිදු වූයේ කෙසේදැයි වටහා ගැනීමේ අසම්ප්‍රදායික එළඹුම නම් අන් කවරක් හෝ නොව කාලය බහුමානිකව එකිනෙකට වෙනස් එනමුත් එකම සන්තතියක් තුළ ඒ ගණනය කිරීම් එකිනෙකින් ස්වායත්තව සිදුවීම ඔස්සේ අවම හෝ උපරිම අගය සිදුවිය යුතු අවස්ථාව තෝරාගත් බවයි.

කාලයේ බහුමානික බව අප ප්‍රත්‍යක්ෂ කරගන්නේ අවිඥානික සහ ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධියක් ලෙස යැයි උපකල්පනය කළ ද එය සංකේතීය ලෙස ප්‍රකාශ වන අවස්ථාවක් ලෙස බුදු දහමේ එන ප්‍රතිසන්ධි තල පිළිබඳ විග්‍රහයත් ඒ ඒ තල තුළ පැවැත්ම ගන්නා වූ විවිධ සංකේතීය සිරුරු පිළිබඳ අධ්‍යයනයත් මහෝපකාරී වේ.

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල 31

ප්‍රතිසන්ධි තල 31ක් බුදු දහමේ ප්‍රකාශිත ය. එම තල 31 සංකේතීය ව්‍යුහයන් ඇසුරෙන් විග්‍රහ කරගැනීමෙන් එම තලයන්හි පවත්නා භෞතික ගතිගුණ විදහා දැක්විය හැකි වන්නේය. එම තල අරභයා පවතින්නා වූ ප්‍රබේද තීරණය කරන්නා වූ අවකාශ සහ කාල මාන ඇසුරෙන් එම සන්තතික අවකාශයන් හි ශක්තිය හෝ ස්කන්ධය හෝ විද්‍යුත් ක්ෂේත්‍රයන් හි පැවැත්ම ගණිතානුකූලව විග්‍රහ කිරීමෙන් කිසියම් භෞතික විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා අවබෝධයක් ලබා ගැනීම ප්‍රායෝගික ය.

මූලික වශයෙන් ප්‍රතිසන්ධි තලයක් යනු බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන කුසලාකුසල කර්ම ඵලයෙන් කිසිවෙකු තමා ජීවත් වූ ලොවෙන් චුත වූ පසු උත්පත්තිය ලබන ස්ථානයකි. මිනිස් ලොව ඉපදීම ඉතා දුර්ලභ යැයි ද අනෙකුත් අවරගනයේ (අසුර-ප්‍රේත-තිරිසන්-අපාය) ලෝක තුළ උත්පත්තිය ලැබීම සුලභ බව ද බුදු දහමේ කදිමට ඉගැන්වේ. මේ පිළිබඳ සවිස්තරාත්මක කතන්දර නොයෙක් බෞද්ධ පොතපතින් කියවා ගත හැකිය.

මෙම ලෝකයන්හි පැවැත්ම පෘථග්ජන අපට ප්‍රත්‍යක්ෂ නොවන බැව් ඉගැන්වේ. ඒවා දැක ගැනීමට බුදුවරයෙකුට හෝ එබඳු නිවීමකට පත් අර්හත් තත්වයකට පත් වූ හෝ විඥානයක් සහිත අයෙකුට පමණක් සාක්ෂාත් වන බැව් ද ඉගැන්වේ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ එක්තරා තැනක බුදුන් වහන්සේ මෙසේ එබඳු ලෝක අනෙකා සඳහා දැකගැනීමේ අවස්ථාව සැලසූ අයුරු මෙලෙස විස්තර කර ඇත.

"එම අවස්ථාවේ දී බුදුන් වහන්සේ ඌර්‍ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරාවක් නිකුත් කරවා ඒවායින් එකක් වත් අත් නොහැර පෙරදිග දෙසට ඇති ලෝකයන් දහ අට දහස ද යටි පැත්තට යමින් අවිචී මහා නරකාදිය දක්වා ද උඩ පැත්තට යමින් අකනිෂ්ඨ දිව්‍ය ලෝකය දක්වා ද සියළු ලෝකයන් ඒකාලෝක කළහ. එම ලෝකයන්හි ජීවත් වන්නා වූ සහ ආකාරයේ සත්වයන් ඉතා පැහැදිලිව දැක ගත හැකි විය. එම ලෝකයන්හි වැඩ වසන්නා වූ බුදුන් වහන්සේලා ද දැක ගත හැකි විය. එමෙන්ම එම බුදුවරයන් වහන්සේලා විසින් දේශනා කරමින් සිටින්නා වූ සූත්‍රධර්මයන් ඇසීමට හැකි විය. ඒ අතර එහි වාසය කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර සිටි ආධ්‍යාත්මික ප්‍රාගුණ්‍යය තුළින් ඵලාධිගමය කළා වූ අය (ඵලාධිගමය කළා වූ අය ද නොකළා වූ අය ද ) දැක ගත හැකි විය. තව දුරටත් එම බෝධිසත්ව මහසත්වයන් වහන්සේලාගේ පසුපස ඇත්තා වූ විවිධ හේතූන් සහ ප්‍රත්‍යයන් ද උන්වහන්සේලාගේ විශ්වාසයන්ගේ සහ අධිමුක්තීන්ගේ විවිධ වූ මට්ටම් ද උන්වහන්සේලා බෝධිසත්ව චර්‍ය්‍යාවෙහි හැසිරෙන්නට යොදා ගන්නා වූ විවිධ වූ උපායකෞෂල්‍යමය චර්‍ය්‍යාවන් ද (පෙනී සිටින්නා වූ ආකාරයෙන් ද) දැකිය හැකි විය. එම බුද්ධ ක්ෂේත්‍රයන් හි පිරිනිවීමට වැඩම කළා වූ බුදුන් වහන්සේලා ද දැක ගත හැකි විය. එමෙන් ම බුදුවරුන්ගේ පිරිනිවීමෙන් පසු ව උන්වහන්සේලාගේ ශාරීරික ධාතුන් ගෙන සෑදු රත්නමය ස්ථූපයන් ද දැක ගත හැකි විය."
-සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය page 3

මේ ආකාරයෙන් බුදුවරයෙකුට අපට නොපෙනෙන මෙබඳු ලෝක සිය ශක්තිය යොදවා විහිදුවන ආලෝකයක් මගින් ඒකාලෝක කොට දෘශ්‍යමය තත්වයකට පත් කළ හැකි බැව් පෙනේ. ත්‍රිමානය ඉක්මවා ගිය බහුමාන අවකාශයෝ අතිශය ක්ෂුද්‍ර විය යුතුය යන්න නූතන භෞතික විද්‍යාවේ පිළිගැනීමයි. එනම් ත්‍රිමානය ඉක්මවා යන අවකාශීය මාන තිබිය යුත්තේ ප්ලාන්ක් මට්ටමේ අතිශය කුඩා දුරවල් තුළ එකිනෙක සර්පිලාකාරව හෝ නූල් බෝල වැනි අවකාශ මාන පැටලුම්වල බැව් ගණිතානුකූලව පෙන්වා දෙති. මේ බහුමාන ක්ෂුද්‍ර ලෝක භෞතික විද්‍යාවේ කතාබහට ලක්වන්නේ ක්වොන්ටම් භෞතිකය තුළය. ක්වොන්ටම් භෞතිකය වර්තමානයේ අත්කරගෙන ඇති සංවර්ධනයේ නිම්වළල්ලක් ලෙස තන්තු සිද්ධාන්තය හෝ එහිම දිගුවක් වන එම් සිද්ධාන්ත පද්ධතිය හෝ සැළකිය හැකිය. මෙයාකාරයෙන් ගණිතමය ලෙස සංවිධිත ලෙස ගොඩනැගෙන බහුමාන කාලාවකාශ තුළ අංශුවලට පමණක් පැවතිය හැකි බැව් පෙනේ. ඊට හේතුව වඩාත් විශාල අණුක ජීවින් පැවැත්මට මෙම ප්ලාන්ක් මට්ටමේ දී නොහැකි වීමත් ත්‍රිමානය ඉක්මවන අනෙකුත් මාන පවතින්නේ පැටළුම් ස්වරූපයෙන් වීමත්ය. කාලය බහුමානික වූ විට එය කෙලෙස පවතී දැයි අදහසක් ලේඛකයාට මේ අවස්ථාවේ නැත.

වර්තමාන භෞතික විද්‍යා ක්ෂේත්‍ර යේ ඉමහත් ආන්දෝලනාත්මක සිද්ධාන්ත පද්ධතියක් වන තන්තු සිද්ධාන්තය (String Theory) ගණිතමය පදනමක් ලෙස කල්පනය කිරීමෙන් මෙම ක්ෂුද්‍ර ලෝක සැසඳීම් පහසු වේ. එනයින් වර නැගෙන නොයෙකුත් භෞතික පැහැදිලි කිරීම් බුදු දහමේ එන ප්‍රතිසන්ධි තල අවකාශ කෙරෙහි හෙලන භෞතිකමය විවරණය පෘථග්ජනයාට එම අතාත්වික ලෝක කෙරෙහි භෞතික චිත්‍රයක් මවා ගැනීමට ඉවහල් වනු ඇත.

ප්‍රථමයෙන් බුදු දහමේ එන ප්‍රතිසන්ධි තල ඒවායේ විවිධ ගුණාංගවල ආරෝහණ පිළිවෙලින් දක්වමු. (1,2)

1 නිරය
2 තිරස්චීන ලෝකය
3 ප්‍රේත ලෝකය
4 අසුර ලෝකය
5 මනුස්ස ලෝකය
6 චතුර්මහාරාජිකා
7 තාවාතිංස දේව
8 යම දේව
9 තුසිත දේව
10 නිම්මානරති දේව‍
11 පාරානිම්මිතවසවත්ති දේව
12 බ්‍රහ්මපරිසච්ජ දේව
13 බ්‍රහ්මපුරෝහිත දේව
14 මහා බ්‍රහ්ම
15 පරිත්තභ දේව
16 අප්පමානාභ දේව
17 ආභස්සර දේව
18 පරිත්තසුභ දේව‍
19 අප්පමානසුභ දේව
20 සුභාකින්න දේව
21 වේහප්පහල දේව‍
22 අසඥ්ඥසත්ත
23 අවීහ දේව
24 අතප්ප දේව‍
25 සුදස්ස දේව
26 සුදස්සි දේව‍
27 අකනිත්ත දේව
28 ආකාසානඤ්චායතන
29 විඥ්ඥානඤ්චායතන
30 ආකිඤ්චඤ්ඤායතන
31 නේවසංඤ්ඤානාසඤ්ඤායතන

මෙනයින් 3D+1T යනුවෙන් සංකේතීය (Manifold Notation) ලෙස ප්‍රකාශ කළ හැකි අප ජීවත් වන්නා වූ මෙම සන්තතික අවකාශය අවකාශීය මාන ත්‍රිත්වයකින් ද කාල මාන ඒකකයකින් ද සමන්විත වේ. සියළු භෞතික ශරීර අයත් වන්නේ මෙම ත්‍රිමාන අවකාශයට බැව් මෙහිලා සඳහන් කළ යුත්තේය. ත්‍රිමානය ඉක්මවා යන අනෙකුත් බහු අවකාශ මාන ඇති අවකාශයන්හි ශරීර පැවතිය නොහැකි බැව් ද ඒවායේ පැවැතිය හැක්කේ තන්තුමය හෝ ආසන්න වශයෙන් සංවෘත තන්තු ලෙස පැවතිය ලක්ෂීය වස්තු පමණක් බැව් ද තන්තු සිද්ධාන්තය ඇසුරෙන් නිගමනය කළ හැකිය. එනයින් බහුමාන අවකාශ තුළ පවතින ශරීරවලට ඉන්ද්‍රිය පද්ධති පැවතිය නොහැකිය. එම අවකාශවල පැවතිය හැක්කේ විඥානය පමණක් බැව් පැහැදිලි වේ. විඥානය කිසියම් ශක්ති ප්‍රබේදයක් ලෙස ගත් විට ශක්තිය සහ ස්කන්ධය අතර පවතින අයින්සටයිනියානු සම්බන්ධය නිසාවෙන් අංශුමය ශරීරයක් එම සත්වයන්ට අයත් වන්නේ යැයි නිගමනය කළ හැකිය.

දැන් අපට පිවිසිය හැක්කේ බහු කාල මාන අවකාශය කුමක් වැනිදැයි සාක්ෂාත් කරගැනීමේ ව්‍යායාමයටය. හුදෙක් ත්‍රිමාන අවකාශයේ අප අවිඥානිකව සංවේදනය කරගන්නා වූ ඒක කාල මානය බහු කාල මානීය ගුණයෙන් යුක්ත නම් එම බහු කාල මාන ප්‍රත්‍යක්ෂ වන ඉන්ද්‍රියයෝ ද පැවැතිය යුතු වන්නේ මනස ඇසුරු කර ගෙන බැවින් එබඳු ජීවින් වෙත් නම් ඔවුනගේ මානසික යාන්ත්‍රනයන් බහුඛන්ඩණය වී තිබිය යුතුබැව් අවිවාදිතය. මෙය අප සංකේතීය ව්‍යූහ ඇසුරෙන් වටහා ගන්නට ප්‍රතිසන්ධි තල තුළ පැවැත්ම තහවුරු කරගන්නා අතාත්වික සිරුරු කීපයක් විග්‍රහ කර බලමු.

ප්‍රතිසන්ධි තල 31න් 14 වන තලය වන්නේ මහා බ්‍රහ්මයා පවතින තලය යි. එම තලයේ භෞතික මාන විග්‍රහ කර ගැනීමට උපකල්පනය කළ හැකි සාධාරණ ඉඟියක් ලෙස මහා බ්‍රහ්මයා සංකේතීය ලෙස මිනිස් පරිකල්පනයෙන් නිර්මිත ග්‍රැෆික ව්‍යුහය සළකා බලමු. මහා බ්‍රහ්මයා මිනිසා අතින් සංකේතනය වන්නේ හිස් හතරක් ඇති මිනිස් රුවක් ලෙසිනි. මෙහි හිස් හතරක් මගින් නිරූපනය වන්නේ කුමක් දැයි අනාවරණය කරගත් විට එම 14වන ප්‍රතිසන්ධි තලයේ භෞතිකය නිරාවරණය වේ. මෙම හිස් හතරින් නියෝජනය වන්නේ කාලයේ මාන හතරක් යැයි සැළකූ විට මහා බ්‍රහ්මයා පවතින තලයේ ඇති මාන ඇසුරින් 4ක් කාල මාන බැව් උපකල්පනය කළ හැක්කේය. මහා බ්‍රහ්මයා ඇතුළත් වන්නේ රූප ලෝකයකට බැවින් ද එම රූප ලෝක කාම ලෝක වලින් වෙනස් බැවින් ද කාම ලෝක පැවැතිය හැක්කේ ඉන්ද්‍රිය පද්ධති ඇති සිරුරු සඳහා පමණක් වන බැවින් ද 14වන ප්‍රතිසන්ධි තලය ත්‍රිමානය ඉක්මවා අවකාශීය මාන ඇති ලෙස උපකල්පනය කළ හැක්කේය. ඉන්ද්‍රිය පද්ධතියක් පැවැතීමට ත්‍රිමාන අවකාශයක් අවශ්‍ය බැව් මින් ඉහත දක්වා ඇත්තේය. එනයින් 14 වන ප්‍රතිසන්ධි තලය දැනට අපට මෙලෙස මැනිෆෝල්ඩ් සංකේතනය ඇසුරෙන් ලියා දැක්විය හැක්කේය. nD+4T (n>3) -Manifold Index

ප්‍රතිසන්ධි තල 31 ඒවායේ ගති සොබා අනුව බෙදී යන අයුරු විග්‍රහ කළ විට කාම ලෝක ලෙස සැලකෙන තල 11 පවතින්නේ ප්‍රථම ප්‍රතිසන්ධි තලය වන නිරයේ සිට එකිනෙකින් ආරෝහණය වන්නා වූ පිළිවෙලින් ඉහලටය. ඉන් පසු රූප ලෝක ලෙස සැලකෙන ප්‍රතිසන්ධි තල 12 වැන්නෙන් ඇරඹී 27 වන තලය දක්වා පැතිරේ. 28 වන ප්‍රතිසන්ධි තලයේ සිට 31වන තලය දක්වා හැඳින්වෙන්නේ අරූප ලෝක ලෙසිනි.

අප ජීවත් වන්නා වූ මනුස්ස ලෝකය අයත් වන්නේ 5වැනි ප්‍රතිසන්ධි තලයට බැවින් එය මැනිෆෝල්ඩ සංකේතනයෙන් 3D+1T ලෙස දැක්වූ විට ඉන් පහලින් පවත්නා වූ අවරෝහණාකාර ලෙස අසුර ප්‍රේත තිරස්චීන සහ නිරය යන තල කෙරෙහි වන්නා වූ මැනිෆෝල්ඩීය සංකේතනයන් උපකල්පනය කරන්නට උත්සහ කරමු.

මනුශ්‍ය ලෝකය 3D+1T=4
අසුර ලෝකය 3D+(0)T=3
ප්‍රේත ලෝකය 3D+(-1)T=2
තිරස්චීන ලෝකය 3D+(-2)T=1
නිරය 3D+(-3)T=0

මේ ආකාරයට මැනිෆෝල්ඩීය සංකේතනය භාවිතා කළ විට පැහැදිලිව පෙනී යන කරුණක් නම් මෙම අවකාශ සහ කාල මාන වල සංගුණකයන් සෘණ අගයන් ද අත්කර ගන්නා බවයි. මෙම මැනිෆෝල්ඩීය සංකේතනය භාවිතා කිරීමේ දී උපකල්පනය කරන ලද්දා වූ එකම දේ නම් මෙම මනුස්ස ලෝකයෙන් පහල පවතින්නා වූ සියළු රියලම් (Realm) හි විඳවීම් ඇති හෙයින් ද ඒවා කාම ලෝක ලෙස බුදු දහමේ නිර්වචනය වන්නා වූ ද හෙයින් පසිඳුරන් හෝ එබඳු සංවේදනා ග්‍රාහක කරගැනීමට සංවේදී ඉන්ද්‍රිය පද්ධති ඇවැසි හෙයින් මේ සියලු අවකාශයන් හි අවම වශයෙන් ත්‍රිමාන අවකාශීය මාන පවතින ලෙසිනි. එනම් 3D+(n)T ලෙස සාමාන්‍යකරණය කළ මැනිෆෝල්ඩීය දර්ශකයක් ඇතැයි උපකල්පනය කිරීමෙනි.

කාලයේ සෘණ මාන ද කාලයේ ධන මාන සේම විඥාන කේන්ද්‍ර කරගෙන පවතින්නේ යැයි සැලකූ විට එවා කල්පනය කරගැනීමේ මානුෂික බාධාව ඉවත් කර ගත හැකිය. කොටින්ම ඒ ගැන ගණිතමය සංකල්පනයක් විනා භෞතික චිත්‍රනයක් කළ නොහැක්කේය. වඩාත් සන්නිකර්ෂණීය ලෙස මෙම මැනිෆෝල්ඩීය අවකාශයන් පැහැදිලි කරන්නේ නම් අසුර ලෝකයේ කාලය පිළිබඳ කිසිදු ගති ලක්ෂණයක් නොපවතින අතර ප්‍රේත ලෝකය කාලය ඌණතාවයෙන් පෙලේ. එනම් ප්‍රේත ලෝකයේ යථාර්ථය විය හැක්කේ එහි සංකේතීය ව්‍යූහාත්මක ලක්ෂණය වන කුසගින්නේ අනවරත ලෙස පෙලීමයි. සෘණ කාල මානයක ස්වභාවය එහි පවත්නා විඥානයේ රික්තකමය පැවැත්ම යැයි උපකල්පනය කළ හැක්කේ මෙම ප්‍රේත කුසගින්න නොයෙකුත් බෞද්ධ පොතපතේ සඳහන් බැවිනි. මෙනයින් ප්‍රේත ලෝකවාසීන් නිරන්තරයෙන් අතෘප්තියෙන් පෙලෙන්නේ කාලයේ හෙවත් විඥානයේ පැවැත්ම සෘණාත්මක ඒකජ රික්තයකින් පෙලීම යැයි භෞතිකව විග්‍රහ කළ හැක්කේය. මෙය සන්නිකර්ෂණීය ප්‍රවාදයක් විනා පෘථග්ජනයකුට විඥාන වර්ධනයකින් තොරව පරිකල්පනය කළ හැකි සීමාවේ භෞතික චිත්‍රනයකි. මේවා අතිශය නිරවද්‍ය දෑ නොවන මුත් භෞතිකත්වය ට අත්කර ගත නොහැකි සංකල්ප වටහා ගැනීම උදෙසා භෞතික මාදිලි සකස් කරගැනීමේ විචිත්‍රත්වය මවන්නා වූ ක්ලේෂයක් යැයි බෞද්ධ ධර්මයට අනුව කිව හැකිය. තිරස්චීන ලෝකය තුළ විඥානය ද්විගුණයකින් සෘණව පැවතීම ප්‍රේත ලෝකයේ තත්වයටත් වඩා බරපතල බැව් වටහා ගත හැකිය. නිරය ගැන පරිකල්පනය කර ගැනීම පාඨකයාට බාර කරමි. මෙම මැනිෆෝල්ඩීය සංකේතනය මා භාවිතා කරන්නේ මෙම ප්‍රතිසන්ධි තලවල භෞතික ගතිගුණ අමනෝඥ ලෙස විදහා දැක්වීමේ අභිප්‍රායකින් නොවන බැවින් මෙබඳු විස්තර කිරීම් ලුහු දෑ ලෙස මගහැර යන්නේ නම් මැනවි. එමෙන්ම ධ්‍යාන වැඩීම යනු එක්තරා අයුරකින් විඥානය ත්‍රිමානය ඉක්මවා බහු අවකාශීය තලයන් කරා මෙහෙය වීම මෙන්ම ඊට සමාන්තරව බහු මාන කාල අවකාශ කරා ගමන් කරවීමත් යැයි කීම ඒවායේ සැබෑ අනුභූතින් වටහා ගත් විදර්ශනා භාවනා විසින් මනස වර්ධනය කරගත් අයවලුන් දරන සිය අත්දැකීම් හා සමපාත වීමක් හෝ අපේක්ෂා නොකරයි. මෙම භෞතික විග්‍රහයට එබඳු සැබෑ ධ්‍යානලාභීන්ගෙන් කිසිදු ආකාරයක අදහස් එකතු කිරීමක් හෝ එබඳු අයගේ සැබෑ අත්දැකීම කෙරෙහි කිසිදු අභියෝගයක් ඉදිරිපත් නොකරන බැව් කරුණාවෙන් සැලකිය යුතුය.

සාරාංශයක් වශයෙන් ගත් කළ කාලයේ මාන වැඩි වීම විඥානය හා සෘජුව බැඳී පවත්නා වූ දෙයක් බැව් වටහා ගත හැකිය. එමෙන්ම ධ්‍යාන වැඩීම යනුම ක්‍රමානුකූලව ඒකීය කාල මානයෙන් හෝ ත්‍රිමාන අවකාශ මානයෙන් ඉහලට විඥානය සංවර්ධනය කිරීම යැයි උපකල්පනය කළ හැකිය. මෙය ප්‍රඥාව වැඩීමේ බෞද්ධ ඉගැන්වීමේ භෞතික පදනම යැයි ලුහුව වටහා ගත හැකිය. එනමුත් එය එසේම දැයි සාක්ෂාත් කරගැනීම පෘථග්ජන ඥානය ඉක්මවන්නක් බැව් සැළකිය යුතුය.

වඩාත් වැදගත් වන්නේ බටහිර සංවර්ධනය වන්නා වූ භෞතික විද්‍යාවට ආගන්තුක වූ බහු කාල මාන පිළිබඳ වඩාත් සංවිධිත දැනුමක් නිර්මානය කර ගැනීමට තැත් දැරීම යි.

ප්‍රතිසන්ධි තලය/ අවකාශ මාන/කාල මාන/mD+nT/Description
1 3 -3 0 නිරය
2 3 -2 1 තිරස්චීන ලෝකය
3 3 -1 2 ප්‍රේත ලෝකය
4 3 0 3 අසුර ලෝකය
5 3 1 4 මනුස්ස ලෝකය
6 4 1 5 චතුර්මහාරාජිකා
7 5 1 6 තාවාතිංස දේව
8 6 1 7 යම දේව
9 7 1 8 තුසිත දේව
10 8 1 9 නිම්මානරති දේව‍
11 9 1 10 පාරානිම්මිත වසවත්ති දේව
12 9 2 11 බ්‍රහ්ම පාරිසච්ජ දේව
13 9 3 12 බ්‍රහ්ම පුරෝහිත දේව
14 9 4 13 මහා බ්‍රහ්ම
15 9 5 14 පරිත්තාහ දේව
16 9 6 15 අප්පමානාහ දේව
17 9 7 16 ආභස්සර දේව
18 9 8 17 පරිත්තසුභ දේව‍
19 9 9 18 අප්පමානසුභ දේව
20 9 10 19 සුභාකින්න දේව
21 11 9 20 වේහප්පහල දේව‍
22 13 8 21 අසඥ්ඥසත්ත
23 15 7 22 අවීහ දේව
24 17 6 23 අතප්ප දේව‍
25 19 5 24 සුදස්ස දේව
26 21 4 25 සුදස්සි දේව‍
27 23 3 26 අකනිත්ත දේව
28 25 2 27 ආකාසනාසංචානුපග
29 27 1 28 විඥ්ඥානායංචානුපග
30 29 0 29 ආකිංචනායංත
31 30 0 30 නේවසංඥානාසඥ්ඥායතන



ඉහත දැක්වෙන ප්‍රතිසන්ධි තල පිළිවෙලින් කාල සහ අවකාශ මාන ආරෝහණය වන ආකාරයට මා විසින් සකස් කළ ආකාරයකි. එහිදී අවකාශ මාන 5 දක්වා වර්ධනය වූ අවස්ථාව විශේෂත්වයක් ගනී. එය තාවතිංසය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ බල ප්‍රදේශයයි. අවකාශ මාන පහ දක්වා වර්ධනය වූ අවකාශයක කිසියම් ආකාරයකට සංවෘත කරන ලද්දා වූ ගෝලයක පරිමාව එම සංවෘත කරන ලද්දා වූ අනෙකුත් බාධාවන් අතරින් පෙරී බාහිරට මුක්ත වන බැව් එම අවකාශයේ පරිමා පිළිබඳ කරනු ලබන ගණිතමය පැහැදිලි කිරීම්වලින් විග්‍රහ වේ. මෙනයින් එම තලයේ ශක්‍රයාගේ බල පරාක්‍රමයට භෞතික අරුතක් සම්පාදනය කරගත හැකි නොවේ දැයි කිසිවෙකුට හෝ යෝජනා කළ හැකිය.

28 වැන්නේ සිට 31 වැන්න දක්වා වූ තල අරූප ලෝක ලෙස දැක්වේ. ඒවායේ පිළිවෙලින් අවකාශය අනන්ත වන්නා වූ ආකාසානංචායතනය ද විඥානය හෙවත් කාල මාන අනන්ත වන්නා වූ විඤ්ඤානංචායතනය ද සියළුම මාන ශූන්‍ය වන ආකිංචනායතනය ද කිසිදු සංඥාවක් හෝ සංඥාවක් නොවන කිසිවකුත් හෝ සංවේදනය නොවන නේවසංඤ්ඥානාසඤ්ඤායතනය ද උපරිම තලය ලෙස දැක්වේ.

අංශුවක විද්‍යුත් ආරෝපණය ශූන්‍ය වන තෙක් කාලාවකාශ මාන වැඩි කරගෙන යයි නම් එය මාන 26 දී සිදුවන බැව් තන්තු ප්‍රවාදය ගණිතමය වශයෙන් පෙන්වා දෙයි. මෙම අවස්ථාවේ අවකාශ මාන 25ක් ද කාල මානය ද අන්තර්ගත වන මැනිෆෝල්ඩයක් ලෙස කාලාවකාශය පරිවර්තනය වේ. 27 වන ප්‍රතිසන්ධි තලයේ දී අවකාශ මාන ප්‍රමාණය අපරිමිත වන බැවින් එම මැනිෆෝල්ඩයේ දී කිසිදු ආරෝපණයක් පවතිනු නොමැති බැව් කල්පනය කිරීම සාධාරණ යැයි සිතිය හැකිය.

ස්කන්ධය අනන්ත වන්නේ කිසියම් අංශුවක් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නා විට දී බැව් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් අභ්‍යූපගමනය වන්නකි. එමෙන්ම බහුමාන අවකාශයක මාන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරගෙන යද්දී අංශුවක පරිමාව ක්‍රමයෙන් මාන 5ක් තෙක් වැඩි වී ඉන්පසු ශූන්‍ය කරා එළඹෙන බැවින් මාන අපරිමිත ලෙස වැඩිකරද්දී අංශුවක ඝණත්වය අපරිමිත වන බැව් භෞතිකව සාධනය වේ. මෙනයින් අපරිමිත අවකාශ මානයන්ගෙන් යුත් අවකාශයක් වන 28වන ප්‍රතිසන්ධි තලය හෙවත් ආකාසානඤ්චායතන අවකාශයේ දී ද අංශුවක හෝ පදාර්ථයක ස්කන්ධය අපරිමිත විය යුතුය. මෙනයින් ආලෝකයේ වේගය අත් වූ තත්වයකට මෙම පදාර්ථය ලක් වන බැව් වටහා ගත හැකිය-කල්පනය කළ හැකිය. මෙයාකාරයෙන් භෞතිකව පිරිසිඳ ගන්නා වූ බහු මාන අවකාශ චිත්‍රය කාලයේ බහුමානත්වය දක්වා සංවර්ධනය කරගත යුත්තේ කෙසේදැයි වටහා ගැනීම එතරම් සරල නොවේ. මන්ද යත් අවකාශීය බහු මාන එකිනෙක ගැට ගැසීමට පෛතගරස් සම්බන්ධය ඇතුවා සේ කිසියම් සූත්‍රගත ව්‍යූහයක් කාලයේ බහුමාන උදෙසා මෙතුවකට මිනිසා විසින් නිර්මානය කර නැති බැවිනි.

මෙම ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහය මෙතෙකින් නොනිමි වේ. මාන 26න් සමන්විත තන්තු සිද්ධාන්තයේ විග්‍රහ වන අංශුමය පැවැත්ම පිළිබඳවත් සුපර්සිමේට්‍රික් තන්තු සිද්ධාන්තයේ දැක්වෙන මාන 10න් යුත් විශ්ව ආකෘතියත් ඒවා මෙම සාකච්ඡාවට බඳුන් වූ තල අතර දක්වන සබැඳියාවන් පිළිබඳ විවරණයන් මෙබඳු කෙටි ලිපියකින් විවරණය කිරීම අතිශය දුෂ්කරය.

මෙම භෞතික විද්‍යා ඇසුරු කිරීම කිසි විටෙකත් බුදු දහම භෞතික විද්‍යා සන්දර්භය තුළ ස්ථානගත කිරීමක් ලෙස හෝ භෞතික විද්‍යාව තුළ බුදු දහම ස්ථානගත කිරීමක් හෝ ලෙස දැකීම නිරවද්‍ය නොවන එළඹුමක් බැව් වටහා ගත යුතුය. මෙබඳු සැසඳීමක් සැළකිය හැක්කේ එම ද්විප්‍රකාර ධර්මයන් එකිනෙකා කෙරෙහි පවත්වා ගන්නා සමරූපීතාවයන් සැසඳීමක් ලෙස පමණි. එනයින් කිසිදු පාර්ශවයක් එකිනෙකින් පරයා යාමක් නොසිදු වේ. අනෙක් අතට මෙම උත්සහය බුදු දහමේ ඉගැන්වෙන සත්‍ය ධර්මය ඇසුරෙන් නූතන භෞතික විද්‍යා ක්ෂේත්‍ර යේ අතිශය දුරවබෝධ සංකල්ප කීපයක් වඩාත් අසම්ප්‍රදායික ලෙස විග්‍රහ කොට භෞතික විද්‍යා ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ආලෝකමය මැදිහත් වීමක් ලෙස ද කල්පනය කළ හැකිය.

අවසාන වශයෙන් මාර දිව්‍ය පුත්‍රයා ගැන සඳහනක් කළ යුතුමය. මාර දිව්‍ය පුත්‍රයා යනු බෞද්ධයින් අතර ඉතා ප්‍රකට වසවර්ති දෙවි නමින් වූ ආශාවන් සහ සියළු ක්ලේෂයන්ගේ කාරකයා ය. ඔහු මරණයට ද අධිපති වේ. ඔහු වැජඹෙන්නේ පරනිම්මිත වසවත්ති නම් වූ දිව්‍ය භවනේය. අපගේ ගණනය කිරීම් අනුව 11 වැනි ප්‍රතිසන්ධි තලය වන මෙය අවකාශ මාන 9න් සහ කාල මාන එකකින් යුත් මැනිෆෝල්ඩයකි. කාලය මාන එකකින් යුතු කාලාවකාශයන් අතර අවකාශ මාන උපරිම ඇත්තේ මෙම මැනිෆෝල්ඩයේමය. එනයින් මාරයා ට කාම ලෝක සියල්ලේම සැරිසැරිය හැකි බැව් පෙනේ. අනෙක් අතට පරනිම්මිත වසවත්ති නම් වූ මෙම මැනිෆෝල්ඩයේ පවතින්නෝ සියල්ලෝම අනුන්ගේ මැවුම් වලින් තෘප්තිය ලබන්නෝ වෙති. එම ස්වභාවය එගර්ටන් සී බැප්ටිස්ට්ගේ කෘතියේ දක්වා ඇත්තේ අනුන් ගොඩ නැගූ දෙයින් සැප විඳීමට ලොල් බවක් දක්වන්නන් පිරිසක් බවයි. වැඩි දුරටත් ඔහු දක්වා ඇත්තේ අපේ වචන වලින් පැහැදිලි කරතොත් අනුන් සූරා කන ධනවාදීන් පිරිසක් බවයි. ධනවාදී පිරිසක් සිටිනා මැනිෆෝල්ඩයේම මාර පුත්‍රයා විසීමත් අතිශය උත්ප්‍රාසාත්මක ස්වභාවික සංසිද්ධියකැයි පෙනෙයි.
කෙසේ වෙතත් ක්වොන්ටම් භෞතිකයට බහු මාන කාල සංකල්පය කොතරම් දුරට ගණිතමය ලෙස පෑහේ දැයි විමසීම මතුවට තබමි.

ආශ්‍රිත ග්‍රන්ථ/වෙබ් අඩවි/පර්යේෂණ පත්‍රිකා
1 The Thirty-one Planes of Existence by Ven. Suvanno Mahathero
2 බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල තිස් එක-එගර්ටන් සී බැප්ටිස්ට්-අනුවාදය පියසීලි ජයසිංහ-ප්‍රකාශනය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
3 String Theory Demystified by David McMahon
4 Relativity Demystified by David McMahon
5 Quantum Mechanics Demystified by David McMahon
6 Quantum Field Theory Demystified by David McMahon
7 THE ROAD TO REALITY-A Complete Guide to the Laws of the Universe by Roger Penrose
8 Higher Dimensional Conundra by Steven G. Krantz
9 The Thirty-one Planes of Existence
10 සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය-කුමාරජීව හිමියන්ගේ චීන පරිවර්තනය-සිංහල පරිවර්තනය ගුණපාල ධර්මසිරි

විශේෂ ස්තුතියමෙම විෂය අරභයා නිරන්තර කර්ණකටුක සාකච්ඡා දුරකතනයෙන් පවත්වමින්  මා හා නිබඳ සම්බන්ධ වූ හෂිත අබේවර්ධන සොයුරා වෙත කෘතඥ වෙමි. ඊට අමතරව ඇවැසි පොතපත පිළිබඳ ඉඟි සපයා ඡායා පිටපත් ඊමේල් කර මා දිරිමත් කිරීම ද වෙනුවෙනි. සිය දෛනික ජීවිතයෙන් බහුමාන නොවූ කාලය මා හා බෙදා හදා ගන්නට සිය කුටුම්භයට ණය ගැති වූ වෛද්‍ය රුවන් රයිගම්කෝරළේගේ සහ නිලංග ආරියවංශ යන සුමිතුරන් ද වඩාත් සංවර්ධනාත්මක නිර්මානාත්මක විවේචන දක්වා මා දිරි ගැන්වූ වෛද්‍ය චන්දන අබේසේකර, ලලිත් වීරසිංහ, කොමර්ෂල් බැංකුවේ මොහාන් සේරසිංහ යන පාසැල් මිතුරන් ද  මගේ අත්පිටපත් නොයෙක් වර කියවා විවිධ අදහස් දැක්වූ මා ප්‍රිය බිරිඳ අනූෂාට ද අනේක වාරයක් තුති පුදමි.

7 කුළිය:

uditha said...

I think We humans are simply not capable of sensing explain or understand these other dimensions and only we can sens time as being always linear. you are wasting your time

DawsonP said...

@උදිත

yes sir, thank you very much for your comment.

dawson

දර්ශන කස්තුරිරත්න said...

ප්‍රශ්න කීපයක් තිබෙනවා මේ විග්‍රහයේ

1. බුදු දහමේ සහ භෞතික විද්‍යාවේ කාලය අර්ථ දැක්වෙන්නේ එකම ආකාරයට නොවේ භෞතික විද්‍යාවේ කාලය පිළිබද ප්‍රධාන මතය වන්නේ එය apriori - ප්‍රාග් අනුභූතික දෙයක් බවයි. අවකාශයත් එහෙමයි. අවකාශ කාලයත් එහෙමයි. නමුත් බුදු දහමේ කාලය ප්‍රඥප්තියකි. අප විසින් පනවාගන්නා දෙයකි. එවිට කාලය භූතාර්තයක් ලෙස ගෙන කරන පැහැදිලි කිරීම් බුදු දහමට කොපමණ වලංගු වන්නේද යන්න ප්‍රශ්නයකි. විශේෂයෙන්ම කාලයේ ආරම්භයක් ගැන දැක්වෙන අදහස බුදු දහමට පටහැනිය. බුදු දහමට අනුව සංසාරයේ අගක් මුලක් නැත.


2. මෙතනදී විඥාණය ගැන සදහනක් වෙනවා. නමුත් විඥාණය ගැන මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ පැහැදිලි අර්ථකථනයක් නැහැ. විඥාණය සහ භෞතිකය අතර සම්බන්ධය වන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ. බුදු දහමේනම් එවැනි සම්බන්ධයක් පටිච්ච සමුප්පාදයේ තිබෙනවා. එමගින් හොද පැහැදිලි කිරිමක් කර ඇති බැවින් විඥාණය ක්වොන්ටම් භෞතිකය සමග පටලැවීමේ අවශ්‍යතාවය කුමක්ද?


3. අනිත් ප්‍රශ්නය නම් මේ ඊනියා ‘භෞතික විග්‍රහය‘ කොතරම් භෞතික වන්නේද යන්නයි. බහුමාන පිළිබද අදහස හුදෙක් සංකල්පීය (මනසෙන් මවා ගත්) දැයක් මිස ඉන්ද්‍රිය ගෝචර නොවේ. එය ඉන්ද්‍රිය ගෝචර කර ගන්නා මාර්ගයක්ද පෙනෙන්නට නැත. බුදු දහමේ ඉගැන්වෙන ඥාණ ලබා ගැනීමට අඩුම තරමින් මාර්ගයක් හෝ ඇත. එනයින් බැලු කල බුදු දහමේ ඉගැන්වෙන ලෝක ගූඨ දෑ නොව මිනිසෙකුට ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දේවල් වෙයි. ඊට අවශ්‍ය කැපකිරීම සිදු කිරීමට මිනිස්සු සුදානම් නැති වීම වෙනම කතාවකි. ඉන්ද්‍රිය ගෝචර නොවන බැවින් බහු මාන නම් ගූඨ සංකල්පයක් වෙයි.


4. අවකාශ කාල බහුමාන ක්‍රමවේදයකින් එක් එක් ලෝකවල පවත්නා දුක් සැපවල වෙනස පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? ඒ ඒ ලෝකවලින් චුතව අන් ඒවායේ ඉපදීම පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? මීට වඩා දහස් ගුණයක් සංගත නැද්ද පටිච්ච සමුප්පාදය ඇසුරින් දැනට පිළිගැනෙන ක්‍රමවේදය? මට නම් පේන්නේ මෙවැනි ව්‍යායාම වලින් වන්නේ අන්තෝ ජටා බහි ජටා කියන එක තවත් තහවුරු වෙන එකයි. ඔක්කොම පැටලෙනවා. ඒ ඒ දැනුම පද්ධති වන ක්වොන්ටම් භෞතිකය හෝ බුදු දහම ගොඩ නැගිලා තිබෙන්නේ යම් මූලික රාමුවක් තුළයි. ඒවා එහෙන් මෙහෙන් පුරුද්දන්ට යාමෙන් වන්නේ දෙකම අවුල් වෙන එකයි කියලා මමනම් හිතන්නේ.

DawsonP said...

@Dharshana Kasthurirathna

1. බුදු දහමේ සහ භෞතික විද්‍යාවේ කාලය අර්ථ දැක්වෙන්නේ එකම ආකාරයට නොවේ භෞතික විද්‍යාවේ කාලය පිළිබද ප්‍රධාන මතය වන්නේ එය apriori - ප්‍රාග් අනුභූතික දෙයක් බවයි. අවකාශයත් එහෙමයි. අවකාශ කාලයත් එහෙමයි. නමුත් බුදු දහමේ කාලය ප්‍රඥප්තියකි. අප විසින් පනවාගන්නා දෙයකි. එවිට කාලය භූතාර්තයක් ලෙස ගෙන කරන පැහැදිලි කිරීම් බුදු දහමට කොපමණ වලංගු වන්නේද යන්න ප්‍රශ්නයකි. විශේෂයෙන්ම කාලයේ ආරම්භයක් ගැන දැක්වෙන අදහස බුදු දහමට පටහැනිය. බුදු දහමට අනුව සංසාරයේ අගක් මුලක් නැත.

1 එකිනෙකට වෙනස් සන්දර්භ තුළ කාලය හෝ වෙනත් කිසියම් සංකල්පයක් හෝ රාශියක් අනෙකුත් රාශි සමග හෝ සංකල්ප සමග අර්ථ දැක්වීම එකම ආකාරයකට විය යුතු යැයි නියමයක් නැත. ආර්ථික සහ ව්‍යාපෘතිමය සන්දර්භය තුළ කාලය යනු මුදල්ය යනාදී වශයෙන් ගැනීම සමහරවිට උදාහරණයකට ගත හැකිය. කාලය ප්‍රාග් අනුභූතිකය යන්න භෞතික විද්‍යාව පිළිගත් ආස්ථානයකට වඩා එය අයත් වන්නේ කාන්ටියානු දාර්ශනික අදහසක් වශයෙනි. අනෙක් අතට සියවස් දෙක තුනකට පෙර බටහිර චින්තකයන් විසින් කාලය සහ අවකාශය පිළිබඳ මතු කළ දාර්ශනික අදහස් නැවත වරක් සොයාගැනීමේ අවශ්‍යතාවයක් ද මේ ලිපියේ අරමුණු අතර නොමැත. නිව්ටෝනියානු යාන්ත්‍රිකය ප්‍රවර්ධනයට හේතු වූ කාලය සහ අවකාශය පිළිබඳ දාර්ශනික අදහස් කාන්ටියානු ඥාන විභාගාත්මක දර්ශනයේ හමු වෙයි. අනෙක් අතට සම්මුති ලෝකයේ සියළු දැනුම අප විසින් පනවා ගන්නා ප්‍රඥප්ති මාත්‍ර පමණක් බැව් වටහා ගත යුත්තේය. බුදු දහමේ කාලය පමණක් ප්‍රඥප්තියක් වන්නේ නැත. එනයින් බුදු දහමට වලංගු නොවන බොහෝ දෑ මෙබඳු සම්මුති දැනුම නිර්මානයේ දී පහළ වීම ඒවායේ ප්‍රායෝගික භාවිතයන්ට අභියෝග නොවෙයි. බුදු දහමට අනුව සංකල්පයක් නොවන්නේ නිර්වානය පමණි.

2. මෙතනදී විඥාණය ගැන සදහනක් වෙනවා. නමුත් විඥාණය ගැන මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ පැහැදිලි අර්ථකථනයක් නැහැ. විඥාණය සහ භෞතිකය අතර සම්බන්ධය වන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ. බුදු දහමේනම් එවැනි සම්බන්ධයක් පටිච්ච සමුප්පාදයේ තිබෙනවා. එමගින් හොද පැහැදිලි කිරිමක් කර ඇති බැවින් විඥාණය ක්වොන්ටම් භෞතිකය සමග පටලැවීමේ අවශ්‍යතාවය කුමක්ද?

2 බටහිර විද්‍යාවට විඥානය පිළිබඳව පමණක් නොව ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හෝ ලක්ෂ්‍යය රේඛාව වැනි දේ ගැන ද පැහැදිලි අර්ථකථන නැත. එනමුත් සම්මුතික වශයෙන් එකඟ වන කිසියම් සන්නිකර්ශනමය අවබෝධයන් ඇත. ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් උදෙසා මවා ගත් භෞතිකයන් ය. පදාර්ථය එහි උපරිම යහපත් ආකාරයෙන් සකස් වූ විට විඥානය උපදින බවත් විඥානය සිය අවම යහපත් ආකාරයට සකස් වීම තුළින් පදාර්ථ උපදින බවත් යන්න මා කියවා ඇත්තේ ස්ලාවෝ ජිජැක්ගේ දේශනයකිනි. එය වඩාත් චමත්කාරජනක සම්මුතියකි. ක්වොන්ටම් භෞතිකය සමග විඥානය පටලවන්නේ මා නොවේ. එය මට පෙර බොහෝ අය කර ඇති අතර කරමින් ද සිටී. කෙසේ වෙතත් විඥානය හෝ වෙනයම් දෙයක් ක්වොන්ටම් භෞතිකය සමග පටලවන්නට නොහැක්කේ මන්දැයි යන්න මට වටහා ගත නොහැකිය. එබන්දක් කිරීමට කාගෙන් හෝ අවසර ගත යුත්තේදැයි මට නොවැටහේ. විඥානය යනු අපගේ දෙයකැයි කියමින් එයට අත නොතබන ලෙස කියමින් සිටිනා කිසියම් කල්ලියක් සිටී දැයි අසනු කැමැත්තෙමි.

DawsonP said...

@Dharshana Kasthurirathna

3. අනිත් ප්‍රශ්නය නම් මේ ඊනියා ‘භෞතික විග්‍රහය‘ කොතරම් භෞතික වන්නේද යන්නයි. බහුමාන පිළිබද අදහස හුදෙක් සංකල්පීය (මනසෙන් මවා ගත්) දැයක් මිස ඉන්ද්‍රිය ගෝචර නොවේ. එය ඉන්ද්‍රිය ගෝචර කර ගන්නා මාර්ගයක්ද පෙනෙන්නට නැත. බුදු දහමේ ඉගැන්වෙන ඥාණ ලබා ගැනීමට අඩුම තරමින් මාර්ගයක් හෝ ඇත. එනයින් බැලු කල බුදු දහමේ ඉගැන්වෙන ලෝක ගූඨ දෑ නොව මිනිසෙකුට ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කර ගත හැකි දේවල් වෙයි. ඊට අවශ්‍ය කැපකිරීම සිදු කිරීමට මිනිස්සු සුදානම් නැති වීම වෙනම කතාවකි. ඉන්ද්‍රිය ගෝචර නොවන බැවින් බහු මාන නම් ගූඨ සංකල්පයක් වෙයි.

3 මේ ලිපිය මා ලියා ඇත්තේම ඔබ කියනා අයුරින්ම එය ඊනියා භෞතික විග්‍රහයක් ය යන්න ඉස්මතු වන ආකාරයටය. මා මේ ලිපියේ කොහේවත් මා මේ ලියනා දෙය අතිශය සාර්ථක සම්මුති දැනුමකියි යන්න හුවා දක්වා නැත. එසේ දැක්විය නොහැකි බැව් පමණක් සඳහන් කර ඇත. එය කිසියම් ආකාරයක මනස දියුණු කර නොගත් පෘථග්ජනයකුගේ මනසේ සීමාව හේතුවෙන් හුවා දක්වන්නට යෙදුනු සැසඳීමක් බැව් සෘජුව ප්‍රකාශ කොට ඇත. අනෙක් අතට ඉන්ද්‍රිය ගෝචර නොවන විද්‍යුත් චුම්බක තරංග-විකිරණශීලිතාවය-ගුරුත්වාකර්ෂනය-ඉලෙක්ට්‍රෝනය-ප්‍රෝටෝනය ද ගූඨ සංකල්පයන් ලෙස බැහැර කළ යුතු වගක් ඔබගේ පැහැදිලි කිරීම්වලින් ගම්‍ය වේ. අපට පසිඳුරන්ගෙන් ප්‍රත්‍යක්ෂ වන දේවල් පමණක් ගූඨ නොවන්නේ යැයි කීමට ඔබට ඇති හදිසිය කිමැයි මට නොවැටහේ. විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියේ ඇසට ගෝචර වන්නේ දෘශ්‍ය වර්ණාවලිය පමණකි. එනයින් අනෙකුත් විද්‍යුත් චුම්බක තරංගවලින් අපට ප්‍ර යෝජන ගත නොහැකි ද? මා මෙම ලිපියෙන් ප්‍රවේශයක් ලබා ගන්නේ බටහිර භෞතික විද්‍යාව පට්ට ගසා ඇති බහු අවකාශීය මානවල පැවැත්මක් ගැන ද නොවේ.


4. අවකාශ කාල බහුමාන ක්‍රමවේදයකින් එක් එක් ලෝකවල පවත්නා දුක් සැපවල වෙනස පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? ඒ ඒ ලෝකවලින් චුතව අන් ඒවායේ ඉපදීම පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? මීට වඩා දහස් ගුණයක් සංගත නැද්ද පටිච්ච සමුප්පාදය ඇසුරින් දැනට පිළිගැනෙන ක්‍රමවේදය? මට නම් පේන්නේ මෙවැනි ව්‍යායාම වලින් වන්නේ අන්තෝ ජටා බහි ජටා කියන එක තවත් තහවුරු වෙන එකයි. ඔක්කොම පැටලෙනවා. ඒ ඒ දැනුම පද්ධති වන ක්වොන්ටම් භෞතිකය හෝ බුදු දහම ගොඩ නැගිලා තිබෙන්නේ යම් මූලික රාමුවක් තුළයි. ඒවා එහෙන් මෙහෙන් පුරුද්දන්ට යාමෙන් වන්නේ දෙකම අවුල් වෙන එකයි කියලා මමනම් හිතන්නේ.

4 භෞතික විද්‍යාව රඳා පවතින්නේ කිසියම් රාශි පද්ධතියකට සාපේක්ෂව මිනුම් කළ හැකි සංකල්ප ඔස්සේය. දුක සැප යනාදිය කිසියම් රාශි පද්ධතියකට සාපේක්ෂව මිනුම් කළ හැකි දිනයක භෞතික විද්‍යාවක් ඒ අරභයා ගොඩනැගෙනු ඇති අතර එවැනි සම්මුති දැනුමක් නිර්මානය වූ කලෙක එක් එක් ප්‍රතිසන්ධි තල තුළ උපදින සත්ව ශරීර අත්විඳින දුක සැප පිළිබඳ භෞතික ගතිගුණ සාකච්ඡා කළ හැකි වනු ඇත. එමෙන්ම සත්වයාගේ මරණය හා මරණින් මතු ලක්ෂණ මිනුම් කළ හැකි භෞතිකාර්ථ බවට හැරුණු දිනයක කලින් දක්වා ඇති ආකාරයටම ඒ ගැනද සාකච්ඡා කළ හැකි වනු ඇත. මිනුමක් කළ නොහැකි කිසිවක් ගැන භෞතික විද්‍යාවට සම්මුති සත්‍යයන් හෝ දැනුමක් නිපදවිය නොහැකිය.

බුදු දහමේ අන්තර්ගත සර්වඥ දැනුම අපගේ පෘතග්ජන මනසින් වටහා ගන්නට සම්මුති දැනුම උපකරණයක් කර ගැනීමේ කිසිදු වරදක් මට නොපෙනේ. වරද වන්නේ බුදු දහම වැනි සර්වඥයෙකු දෙසූ දැනුමක් හුදු භෞතික විද්‍යාත්මක සම්මුති දැනුමට සාපේක්ෂව නිර්ණය කරන්නට හෝ විනිශ්චය කරන්නට යෑමෙනි. එය විහිලුවකි. මා එවැන්නක් මේ ලිපියේ කරන්නට උත්සහ දරා නොමැත. මාගේ ව්‍යායාමය තන්තු සිද්ධාන්තය වඩාත් සංවර්ධනය කිරීමට කාලයේ බහුමානත්වය නම් වූ බටහිර භෞතිකයට ආගන්තුක සංකල්පය වඩාත් ප්‍රායෝගික තලයකට ගෙන ඒමට සුදුසු ගණිතයක් නිර්මානය කළ හැකිදැයි පරීක්ෂාවට ලක් කිරීමයි. එය මෙබඳු කෙටි ලිපියකින් එලිදැක්විය හැකි දෙයක් නොවන අතර ජීවිත කාලයක කැප කිරීම් ඇවැසි වන පෘථුල කටයුත්තක් බැව් ද මට වැටහේ. මේ ලිපියේ අධ්‍යාශය කාලය බහුමානික විය හැකියැයි මා සිතට ඇති වූ සංකල්පනය රෝපණය වන්නට හේතු සාධක වූ ප්‍රතිසන්ධි තල පිළිබඳ මාගේ කියැවීම ප්‍රකාශයට පත්කිරීමයි. එය සම්පූර්ණයෙන්ම වැරදි කියැවීමක් වුව ද විය හැකිය. එනමුත් කාලයේ බහුමානත්වය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සහ සාපේක්ෂතාවාදයේ ගණිතමය ආකෘති තුළට රිංගවා බැලීමේ කුතුහලයෙන් මා තවම මිදී නොමැත.

මාගේ ලිපිය කියවා මේ අයුරින් තම අදහස් දැක්වීම පිළිබඳ මාගේ කෘතඥතාවය ඔබට හිමි වේ. ස්තුතියි.

Anonymous said...

ඔබේ ලිපිය ඉතා වෙහෙසකර ව්‍යායාමයක ප්‍රතිඵලයක් බව පෙනෙන අතර එය අගය කරමි. එතුල වූ ඇතැම් කරුනු ගැන මා තුල ප්‍රශ්න කීපයක් පැන නැගුනත්, ඒවා මෙතෙක් ගොනු කර ගත නොහැකි විය. මේ ප්‍රතිචාරය ඔබේ ඉහත පිලිතුර සම්බන්ධවයි.

//2 බටහිර විද්‍යාවට විඥානය පිළිබඳව පමණක් නොව ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හෝ ලක්ෂ්‍යය රේඛාව වැනි දේ ගැන ද පැහැදිලි අර්ථකථන නැත.//

මෙය (බටහිර විද්‍යාවට ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හෝ ලක්ෂ්‍යය රේඛාව වැනි දේ ගැන පැහැදිලි අර්ථකථන නැත) තරමක සාහසික ප්‍රකාශයක් ලෙසයි මට නම් පෙනෙන්නේ. අර්ථකථන තිබුනත් ඒවා අපට අවශ්‍ය තරමට (සහ ඕනෑම සන්දර්භයක යෙදිය හැකි තරමට ) පැහැදිලි නැති බවද ඔබ අදහස් කලේ?

මෙම ප්‍රකාශය කිරීමට යොදාගන්නා මූලාශ්‍ර මොනවාදැයි දැනගැනීමට හැකිද? මෙය බටහිර විද්‍යා ක්ශේත්‍රයේ ස්ථාපිත කරුනක් (established fact) නම් මගේ නොදැනීම ගැන සමාවන්න.

මගේ දැනීමේ හැටියට නම්, "බටහිර විද්‍යාවට විඥානය ගැන පමනක් නොව කර්මය, පරචිත්ත විජානනය, අති-ඉන්ද්‍රිය සංජානනය ගැන පමනක් නොව සදෙව් ලොව, ජ්‍යෝතිශය, හූනු ශාස්ත්‍රය වැනි දේ ගැන ද අර්ථකථන හෝ පැහැදිලි කිරීම් නැත!!"

- බුද්ධික

Koojana said...

ඔබගේ ලිපිය පිලිභ්ද මා සතුටු වෙන්ව.එහෙත් යම් යම් කාරනා පිළිබද ගැටළු තිබේ.මම කැමති ඔබත් සමග සාකච්චා කිරීමට ....