Friday, August 5, 2011

තානාපතිවරු සහ අන්ධ බිංදුව

තානාපතිවරු සහ අන්ධ බිංදුව
[සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම]


මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත.

"තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ The Ambassadors (1533) නමින් වූ ලෝ ප්‍රකට සිතුවමයි. අන්ධ බිංදුව නම් ඇසේ දෘශ්ටිවිතානය මත පිහිටි රූප සංඥා මොළයට සම්බන්ධ කරන ස්නායු රැහැන් ඇරඹුම් ලක්ෂ්‍යය යි. එතැන ඇති සුවිශේෂත්වය නම් එම කුඩා පෙදෙසෙන් ඇසට පෙනීම නමැති සංවේදනය ඇති නොකිරීමයි. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එම කුඩා පෙදෙස ඇස තුළ ඇති අන්ධ පෙදෙසක් වීමයි.

හෑන්ස් හෝල්බින්ගේ ලෝ ප්‍රකට තානාපතිවරු සිතුවමේ ඇති හිස් කබලේ විරූපිතය [ANAMORPHOSIS] සිතුවම දෙස සාමාන්‍ය ලෙස බැලූ විට නොපෙනී යන දෘශ්‍ය වස්තුවකි. අප සාමාන්‍ය යෙන් සිතුවමක් දෙස බලන්නේ එයට අභිලම්බකව ඇති දෘශ්‍ය රේඛාවක ඇස තබා බැව් අප ඉතා හොඳින් දන්නා කාරණයකි. එබඳු දෘශ්‍ය රේඛාවක් හරහා අපට මෙම සිතුවමේ ඇති විරූපිත හිස් කබල අප ප්‍රත්‍යක්ෂ කරගන්නා දැක්ම නමැති ක්‍රියාවලියේ අත්දැකීමක් ලෙස දැක ගැනීමට නොහැකිය. එම විරූපිත හිස් කබල දැක ගැනීමට අපගේ දෘශ්‍ය රේඛාව වෙනත් කෝණයකට විස්ථාපනය කරන්නට සිදු වන්නේ ය. මෙම අවස්ථාව සාමාන්‍ය දෘශ්‍ය රේඛාව අතික්‍රමණය කිරීමට කරනු ලබන නියෝගයකි. පෙළඹවීමකි. මින් අදහස් වන්නේ අපට ලෝකය දැකීමට ඇත්තේ එකම දෘශ්‍ය පථයක් නොවන බවයි. සමහර විට අප එදිනෙදා දකින බොහෝ දේ තුළ පවා විරූපිතයන් සැඟව තිබෙන්නට ඉඩ ඇත. අපගේ දෘශ්‍ය රේඛාවේ සාමාන්‍ය භාවිතය හේතුවෙන් එම සැඟවුනු දෘශ්‍ය වස්තූන් අපගේ දැක්මෙන් ගිලිහී යන්නට ද ඉඩ ඇතැයි යමෙකුට සිතෙන්නට ගත්තොත් එහි ඇති වරදක් ද නොමැත්තේ යැයි පැවසිය හැකිය.

අනෙක් අතට අපගේ ඇස තුළ පිහිටා ඇති අන්ධ බිංදුව අපට සාමාන්‍ය අවස්ථාවල දී ප්‍රත්‍යක්ෂ නොවේ. එය ද අපගේ ඇස විශේෂ අවස්ථාවකට දෘශ්‍ය රේඛාව පිහිටුවා බැලූ විට පමණක් එම අන්ධ බිංදුවේ ප්‍රායෝගික ඵලය අත්දකින්නට ලැබෙන්නේය. මේ ආකාරයෙන් බාහිරින් පවතින විරූපිතයක් යළි දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම අප ඇස තුළ ඇති විරූපිතයක් ලෙස දැක්විය හැකි අන්ධ බිංදුව දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය ද එකිනෙකට ප්‍රතිසම එමෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙකක සම්බන්ධයක් ඇති බැව් දැන් පෙනී යා යුතුය.

විරූපිතයක් දෙස අප බලන්නට සුවිශේෂි ලෙස දෘශ්‍ය රේඛාව හසුරුවා ගන්නට සිදුවනවා සේම අපගේ ඇස තුළ ඇති අන්ධ බිංදුව දැක ගැනීමට ද අපට අපගේ දෘශ්‍ය රේඛාව කිසියම් සුවිශේෂි ඉලක්කයක් කරා ගෙන යාමට සිදු වේ. මේ අවස්ථා දෙකේ දී ම අප අත්දකින්නේ අපගේ දෘශ්‍ය පථයේ පවතිද්දී ද අපට ගෝචර නොවී පවතින යමක් නැවත ගෝචර වන ආකාරයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියයි.

දැන් අපට මෙම ද්විත්ව දෘශ්‍ය ක්‍රියාකාරකමේ ඇති පරස්පර සබඳතාවය පැහැදිලි වුව ද පැණයක් ඉතිරි වේ. එනම් අපගේ ඇසේ නෛසර්ගිකව පිහිටා ඇති මෙම අන්ධ බිංදුව අපට සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාකාරිත්වය තුළ දී බාධාවක් නොවන්නේ මන්ද යන්නයි. ඊට ප්‍රධාන හේතුව අපගේ දෘශ්‍ය පද්ධතිය ද්විප්‍රකාර වූ දෘශ්‍ය සංඥා මොළයට ගෙන යන ආකාරයටත් ත්‍රිමාන ව්‍යූහයන් මනසේ ප්‍රතිනිර්මානය කර ගැන්මට උපකාරී වන ලෙසත් සකස් වී තිබීම නිසා එක ඇසකින් බාධාවන අන්ධ බිංදු කොටසේ දෘශ්‍ය ඡායා ඌණතාවය අනෙක් ඇසෙන් පිරිමසා එය සූචනය කර ගන්නට ඇවැසි දත්ත මොළය කරා නිරන්තරයෙන්ම යැවෙන බැවිනි. මේ හේතුවෙන් අපට එක ඇසක අන්ධ බිංදුවේ හිස් තැන අනෙක් ඇස විසින් අනුපූරක ලෙස පුරවා දමන බැවින් සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාවලියේ දී ඉන් බලපෑමක් ඇති වීම වැළකී ඇත. එනමුත් එක ඇසකින් පමණක් ලෝකය දකින අයෙකුට නිරන්තරයෙන් මෙම අන්ධ බිංදුවේ හිස් තැන අත්විඳින්නට වනු නොඅනුමානය. එනම් ඔහුට නිරතුරුවම තම දෘශ්ටි පරාසයේ කිසියම් තැනක් මග හැරෙනු ඇත. එනමුත් අපගේ ඇස් නිරන්තර චලිතයේ යෙදෙන බැවින් මෙම ස්ථානය ගතික විය හැකිය. එබඳු ගතික පරාසයක අංශුමාත්‍ර ගිලිහී යාමක් තනි ඇසක් විසින් මොළයට සංඥා කරවන්නට තරම් සූක්ෂම වීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම හිස් තැන ඌණනය වන්නේ මනසේ අවිඥානික කොටසට විය යුතුය. අප නොදකින දේ දකින්නට සමත් වන්නේ අපේ අවිඥානය පමණි.

අනෙක් අතට කැමරාවකට ඇස තබා ඡායාරූපයක් ගන්නා සෑම අවස්ථාවකම එම කැමරාව ක්‍රියාත්මක කරවන්නා නොදකින යමක් කැමරා පටලය තුළ සටහන් වේ. එය නිරීක්ෂකයාගේ දෘශ්ටි පරාසයේ අන්ධ බිංදුව වුව ද කැමරාවකට අන්ධ බිංදුවක් නොමැති හෙයින් එය සවිඥානිකව ගිලිහී ගිය ලපය ඡායාරූපයේ අවිඥානිකව සටහන් වීම කැමරාකරුගේ හෝ නිරීක්ෂකයාගේ සවිඥානයට ඔබ්බෙන් තම පැවැත්ම සටහන් කරගන්නා දෙයක් බවට පත්වේ. ඡායාරූප මිනිස් සවිඥානික දෘශ්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බේ වූ යමක් නිරතුරුව සටහන් කරන බැව් මින් ගම්‍ය වේ. එනමුත් මේ කුඩා ලපය බිංදුවක් ලෙස අප නාමකරණය කර ඇත්තේ ද එය නොසළකා හැරිය හැකි තරම් කුඩා පෙදෙසක් වීම වුව ද සත්‍ය වශයෙන්ම එය පරිමිත වර්ගඵලයක පවතින දේකි.

අපට දැන් නිරීක්ෂණය නම් වූ ක්‍රියාත්මක වීම ගැන වඩාත් ආදර්ශීය මොඩලයක් ඇත. අන්ධ බිංදුවක පැවැත්මෙන් පීඩාවට පත් වූ දෘශ්‍ය රේඛාව හැසිරවීමේ සමස්ත ක්‍රියාවලියට නිරීක්ෂණය යැයි නැවත නම් කළ හැකි නම් එම නිරීක්ෂණය විසින් අපගේ සංජානන අවකාශය විරූපනය කරත හැකිය යන්න මින් ගම්‍ය වේ. භාග්‍යයකට මෙන් මෙම විරූපණය විසින් අපගේ සවිඥානික අන්තර්ඥානයට සිදුවන බලපෑම මගහරවා ගන්නට අවිඥානික අනුපූරක ක්‍රියාදාමයක් අතරමැදි වේ. එනම් එක ඇසකින් මග හැරෙන දෙය අනෙක් ඇසෙන් වසා දැමීමයි. අපට ඇස් දෙකක් තිබීමේ අරුමය නිසාවෙන් නොවන්නට අන්ධ බිංදුව අපගේ දෘශ්‍ය විද්‍යාවේ ප්‍රමූලික රංගනයක් අත් කර ගන්නවා නිසැකය. කෙසේ වුවත් මෙම අනුපූරක ක්‍රියාදාමය දෘශ්‍ය සංජානනය පිළිබඳ ස්වාභාවික මවා පෑමක යාන්ත්‍රණයක් පමණි. අපට යමක් නිරතුරුවම දෘශ්‍ය පථයෙන් ගිලිහෙයි.

පැහැදිලි ලෙසම දෘශ්‍ය පරාසය තුළ අපගේ සංජානනය අත්කර ගත නොහැකි පරිපූර්ණත්වයක් ලෙස මෙලෙස පැහැදිලි කර ගත හැකිය. අපට කිසි විටෙකත් ඇස දකින පරිපූර්ණ චිත්‍රය මනසට ගොඩනගා ගත නොහැකිය. එහි හිදැසක් නෛසර්ගිකව පවතී. එම හිදැස පුරවා ගන්නට එදෙස බලන විට වෙනත් පෙදෙසකට එම හිදැස විතැන් වෙයි.

අපගේ සංජානන අවකාශය විරූපණය කළ හැකි ක්‍රියාවලියක එනම් නිරීක්ෂණයේ ඊටම අයත් ප්‍රතිලෝමය කුමක් විය හැකි ද? අප දේවල් දෙස බලද්දී ඒවා අප දෙස බලත් ද? නොඑසේ නම් ඒවා අපට ප්‍රතිචාර දක්වයි ද? එම ප්‍රතිචාරය අපගෙන් සඟව ගන්නා අන්ධ බිංදුව කුමක් විය හැකි ද? අප ආත්මීය ලෙස භාහිර ලෝකය නිර්වේෂණය කරන විට අපගෙන් ගිලිහෙන ආත්මීය පැල්ලම අපව වස්තුවක් ලෙස අප දෙස බලන වස්තුවක් විසින් ගිලිහෙනු ලබන එම දේම අපගේ ආත්මීයත්වයෙන් ගිලිහෙන දේ හා ප්‍රතිසම ද? කෙටියෙන් අපට ගිලිහෙන දේම අප දකින වස්තවේ දෘශ්ටි පථයෙන් අප දෙස බලද්දී ද ගිලිහෙන්නේ ද?

මේ ප්‍රශ්නාවලිය අපව කැඳවා යන පෙදෙස් නම් එක් අතකින් මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ ගොඩ නැගෙන බැල්ම [GAZE] නම් වූ සංකල්ප ක්ෂේත්‍රය සහ අනෙක් අතට මනෝ විශ්ලේෂණයට පරිබාහිරින් පවතින පදාර්ථයේ ප්‍රමූලික න්‍යාය වන ක්වොන්ටම් යාන්ත්‍රිකයේ නිරීක්ෂණය යන සංකල්පනයන් වෙතය.

එක්තරා විග්‍රහයක දී ඇසේ අන්ධ බිංදුව වනාහි දැක්ම සංවිධානය කරනු ලබන මධ්‍ය කේන්ද්‍රයයි. අන්ධ බිංදුව ජීව විද්‍යාත්මකව ඇසේ සියළු සංඥා මොළය කරා ගෙන යන ස්නායු රැහැනේ ආරම්භක ලක්ෂ්‍යය යි. එම සන්ධිය දෘශ්ටිවිතානය මත නොවන්නට කිසිදු දෘශ්‍ය සංඥාවක් මොළය කරා යාමනය නොවන්නේය. ඒ ආකාරයෙන් ගත් විට අන්ධ බිංදුව අපගේ දෘශ්ටි සංඥා සංවිධානය කොට සංවේදනය පරිපූර්ණ කිරීමේ අත්‍යාවශ්‍ය සේවාවේ පැවැත්ම තහවුරු කරන ස්ථානයයි. එනම් එම අන්ධභාවය තුළ සියලු දෘශ්‍ය සංඥා සංවිධානය වේ.

දැක්ම සංවිධානය වන ආකාරය ගැන මෙහි වැදගත් ලක්ෂණයක් ගම්‍ය වේ. එනම් එය කිසියම් හිස්තැනක් වටා ඒකරාශී වන බවයි. මෙය ජීව විද්‍යාත්මක ආරම්භක ලක්ෂ්‍ය යේ ස්වභාවය වුව ද මෙය පරිභාහිර ලෝකය අන්තර්ඥානය කරවන විට අදාල වන්නේ දැයි යන්න පැටලිලිසහගත ය.

මෙම පැටලිල්ල ලිහා ගැන්මට දෘශ්‍ය අවකාශයේ පවතින මෙම නොපෙනෙන පෙදෙස හෝ සැමවිටම දැක්මෙන් ගිලිහෙන මේ පැල්ලම තුළට තවත් ගැඹුරට කිමිදෙමු.  මෙම ඇසට අවිශය වන හෝ සවිඥානිකව මග හැරෙන ලපය හෝ දෘශ්‍ය අන්ධ වස්තුව කුමක් ද? එය දැක්ම සංවිධානය කරන්නේ කෙසේ ද?

ලැකාන්ට අනුව බැල්ම හෝ දැක්ම යනුම විශය කෙරෙන් අත්කරගත නොහැකි එනමුත් වස්තුව හෝ අනෙකා විසින් අත් කර ගන්නා වූ විශය කෙරෙහි බැල්මයි.

"the gaze becomes the object of the act of looking, or, to be more precise, the object of the scopic drive. The gaze is therefore, in Lacan’s account, no longer on the side of the subject; it is the gaze of the Other."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

එනම් වඩාත් නිවැරදිව තානාපතිවරු සිතුවම දෙස ඔබ බලා සිටිනා විට ඔබගෙන් ගිලිහෙන දේ විසින් ඔබව නිරීක්ෂණය කිරීමයි. එනිසාවෙන් ඔබට එම ගිලිහෙන දෙය බැලීමට වෙනත් ස්ථානයක් වෙනත් ඉරියව්වක් හෝ දෘශ්‍ය රේඛාවේ විතැන් කිරීමකට හුවමාරු වන්නට සිදුවීමෙන් වස්තුවේ අණට කීකරු වන්නට සිදු වේ. එනම් වස්තුව සමග දෘශ්‍ය රීතිමය සමපාත වීමකට තල්ලු වේ. මේ යනු ඔබ විසින් දැක්ම සංවිධානය කරගනු නොව වස්තුව විසින් හෝ නොපෙනෙන අන්ධ බිංදුවක් විසින් ඔබව සංවිධානය කරනු ලැබීමයි. බැල්ම යනු හුදෙක් බැලීමට ඔබ්බෙන් ඔබව වස්තුවේ නීති පද්ධතිය තුළට බලහත්කාරයෙන් හසුරුවා ගැනීමයි. අනෙකා යනුම මෙහි ඔබව මෙහෙයවන පද්ධතිය යි.

හුදෙක් දෙයක් දෙස බැලීම විසින් එම වස්තුව ඔබගේ පිහිටුම හෝ හැසිරුම බලහත්කාරයකට ලක්කර ගනු ලබයි. මෙහි ප්‍රතිලෝමය හමු වන්නේ ක්වොන්ටම් නිරීක්ෂණය තුළ ය. ඔබගේ දැක්ම විසින් ක්වොන්ටම් අංශුවේ පිහිටුම හෝ තත්වය තීරණය කරනු ලබන්නේ වඩාත් සංකීර්ණ සමීකරණමය අවශ්‍යතා රාශියක ප්‍රතිඵලයක් ලෙස වුව ද දැක්ම තුළ වන අනේකත්වය කෙරෙහි ඔබගේ බලපෑම ඉන් සාක්ෂාත් වේ.

මේ ආකාරයෙන් තානාපතිවරු මෙන්ම අන්ධ බිංදුවේ දැක්ම සංවිධානය ලැකානියානු භාෂාවෙන් ආශාවේ ක්ෂුද්‍ර වස්තුව හා සමපාත වීම වටහා ගත හැකිය.  ක්ෂුද්‍ර වස්තුව [OBJECT PETIT a ] සංකේතනය හසු නොවීම හේතුවෙන් නිරන්තරයෙන් අපගේ දැක්ම සංවිධානය කරනු ලබන අන්ධ බිංදුව භාෂාව තුළ අනේකත්වය තුළ සිරව ඇත.

"When the subject looks at an object, the object is always already gazing back at the subject, but from a point at which the subject cannot see it.
This split between the eye and the gaze is nothing other than the subjective division itself, expressed in the field of vision."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

සරසවි බැල්ම ලද්දෝ කිවියෝ වම්හයි කව්සිළුමිණේ සඳහන් වේ. මේ බැල්ම අනෙකාගේ බැල්ම නොවන්නේ නම් එය මිනිසෙකු කිවියෙකු කරන්නේ කෙසේ දැයි පැණයක් දැන් නොනැගේ.

සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ


අර්ථය: සරස්වතියගේ මඳ බැලුමෙකිනිදු ජනයා කිවිහු වෙත්වා. කාව්‍ය යෙහි රස හා භාව විඳියහැක්කාවූ අය නම් ඉතා දුර්ලභයහ.
[කව්සිළුමිණ දෙවන පැදිය]


සටහන්

Gaze:
1. Look at with fixed eyes
2. A long fixed look

ANAMORPHOSIS :
A distorted projection or perspective; especially an image distorted in such a way that it becomes visible only when viewed in a special manner. By playing with the conventions of seeing, both trompe l'oeil and anamorphosis should remind us that what you see has a great deal to do with where you are looking from.
ආශ්‍රිත ග්‍රන්ථ සහ වෙබ් අඩවි
1 An Introductory Dictionary of Lacanian Psychoanalysis
2 The Real Gaze- Film Theory after Lacan BY Todd McGowan
3 Blind Spot Test
4 Anamorphosis
5 කව්සිළුමිණ දෙවන පැදිය උපුටා ගත්තේ සුබස වෙබ් අඩවියේ පොත් ගුලෙනි.
6 Hans Holbein’s The Ambassadors (1533)

විශේෂ ස්තුතිය
පෞද්ගලික පොත් ගුලෙන් දුර බැහැරක වෙසෙමින්, සිංහල පැරණි කාව්‍ය ග්‍රන්ථ සොයා ගැනීමේ අපහසුවෙන් පීඩා විඳි මා හට එම ඇවැසි කෘති කීපයක් සොයා ගැනුමට මග පෑදුනු මුහුණු පොතේ "සුබස වෙබ් අඩවිය" පිළිබඳ ඔත්තුව තබා ලූ සමර විජේසිංහ වෙත.

Thursday, August 4, 2011

කුළ මත රැඳි අත

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

ඝණ අඳුරු වන පෙත
සිසාරා දෙදරවමින
මරු වැල් විදුලි රේඛා තලා
ලුහු බැඳ ආ මා පසු පස

ශ්‍රී නද දුන්
මාර තෙම
කන් අඩි කොකියවා
ගුගුරුවයි නුබ ගැබ

කාම ගින්නෙන් ඇවිලුනු මා
දිය සෙවෙළ තනපට ඉරා
පාෂාණ පියයුරු විවරයෙන්
මුව තබා තන පුඩුව මත
වැටී දෙදණින් කුළ බඳ
උරමි අවසන් හිස්කම ගිජු ලෙස

මරු නගන ඝෝර සිනහව
ඇසෙන සඳ දෝනාවකින්
සර්පිලාකාර ලෝකාන්තේ
ඇරඹුම් ලක්ෂ්‍ය යෙන්
වෙනස නොදැනෙයි
ශිලා පියයුර බෝර ලූ දැයි
මා සියුම් තොල් පෙති මතින්
එසැණෙන අශ්ලීල ලෙස

නිවි නිවි දිලෙන
හෘද එළිය
කනමැදිරි පරිභ්‍රමණ
මැද්දෙන් පෙනි පෙනි

රාගයේ කෙන්ද
ආත්ම රැහැණින්
කිටි කිටියේ ගැට පුපුරුලන හඩ
මරු හඩ යටකර නැගෙන සඳ

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

  
පින්තූරය ගත්තෙ මෙතැනින්.

දුරස්ථකරණය, අල්පෝක්තිවාදය සහ සමෝධානීකරණය- අගෝස්තු 7

Monday, August 1, 2011

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!



චින්තක කොඩිකාර මිනිස් සංහතියට වැඩක් කරන්නට ඉපදුන මනුස්සයෙකැයි සිතිය හැකි දුර්ලභ චරිතයකැයි මට සිතේ.

ඔහුට අපගේ උපකාරය ඇවැසි වී ඇත. ඒ ස්වභාවයෙන් ලද ශ්‍රව්‍ය ආබාධයෙන් සමුගන්නට ය.

ඔබටත් යමක් ඔහු වෙනුවෙන් කළ හැකිදැයි සොයා බලන්නට කරුණාවෙන් ආරාධනා කරමි.

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!

චින්තක කොඩිකාර ගැන වැඩි විස්තර කියවා ගන්නට මෙතැනට යන්න.