Wednesday, May 26, 2010

කාන්චනාගේ අහස සහ පොලොව


කාන්චනාගේ මේ 'දෘශ්‍ය කවිය' ගැන ලියමි.

මෙම 'දෘශ්‍ය කවි' යැයි මා සඳහන් කළ දෙය ගැනද කිසියම් පැහැදිලි කිරීමකින් අනතුරුව කවියක් ගැන කෙටි අදහස් දැක්වීමක් පෙළ ගස්වමි. මෙම කවි 'දෘශ්‍ය කවි' වන්නේ ඒවායේ වියමනට වචන හා සමානවම වර්ණ හැඩතල මුසුවූ පසුබිමක්ද වන බැවිනි. මගේ සිතට ආවේ නගරයේ බිත්ති තාප්පවල පෝස්ටර ඇලවූ විට ඒවා හුදෙක් පෝස්ටරයේ අන්තර්ගතය ඉක්මවා පසුබිමද සමගින් ම කියවීමකට ලක් වීම නොවැලැක්විය හැකි තත්වයක් වන්නේ යම් සේද මේ දෘශ්‍ය කොටස හේතුවෙන් එම කවිය කියවා ගැනීමේ දී ද එම සන්තෑසියම සිදුවන බැවින් ඒ කවි ප්‍රවර්ගය වෙන්කොට නාමකරණය කරනු වස් 'දෘශ්‍ය කවිය' යැයි මම සඳහන් කරමි. 'දෘශ්‍ය කවි' යන වර්ගය ගත් විට ඒවායේ කිසියම් මිම්මක් ආදර්ශනයක් ගැනීමට කදිම උදාහරණ චරිත් සේනාධීරගේ හෝ අජිත් තිලකසේනගේ එබඳු නිර්මාණ ඔස්සේ සාදා ගත හැකිය. ඒවා 'සංයුක්ත කවි' ලෙස හැඳින්වීමට අතිශය සාධාරණය. 'සංයුක්ත' වීමට දේවල් අතර සම්බන්ධය විෂයමූලික විය යුතුය. එනම් සරල උදාහරණයකින් පැහැදිලි ‍කලොත් ද්‍රව්‍ය සහ අවකාෂය සංයුක්ත සම්බන්ධයකින් පවතී. මන්ද යත් ද්‍රව්‍ය අතර නොපවතින ද්‍රව්‍ය හේතුවෙන් එම හිස් තැන හෝ අඩුව හෝ නොපැමිණි දෙය අවකාෂය විසින් අත් කරගන්නා නිසයි. එම නිසා ද්‍රව්‍ය සහ අවකාෂය සංයුක්තව පවතී. එකින් එකක් විස්ථාපනය වීමෙන් අනෙකා ජනනය කරගනී. මේ ආකාරයෙන් සංයුක්ත යන වදනේ භාවිතය එය යෙදෙ‍න සන්දර්භය තුළ ප්‍රතිපක්ෂයන් ගේ ඒකීයත්වයක් ගොඩනගයි.
වියුක්තව පවතින්නේ එවිට එම ප්‍රපංචයන් විසින් අත්කරගන්නා නෛසර්ගික අගයන්ය. මැටි ගොඩක් හෝ එයම බුදු රුවක් හෝ බවට පත් වූ විට එහි නෛසර්ගිකත්වය ඉක්මවා ඒවා තුළට වියුක්ත අගයන් ආ‍දේශ වේ. බහිෂ්කරණයක් සිදු වේ. එබැවින් මැටි සහ බුදු යන සංකල්ප සංයුක්ත නොවේ. ඒවා වියුක්තය. බුද්ධ ප්‍රතිමාවට වැඳීමේ දී මේ වඳින්නේ මැටි ගොඩකට ය යන්න සංයුක්ත නොවේ. බුදුන් පවතින්නේ මැටි නිසා නොවන බැවිනි. එනයින් සංයුක්ත සහ වියුක්ත යන කාරණා කවිය සම්බන්ධව මේ ආකාරයෙන් වටහා ගත හැකිය.‍ වෙනස් කියවීම් ද නැතිවා නොවේ. මේ මගේ අදහසයි.
සංයුක්ත කවි ගත් විට ඒවායේ අන්තර්ගතය පසුබිමක් ඉක්මවා යන දේවල් වලින් අන්තර්ගත වන අතර එක පදාර්ථයක් අනෙක් පදාර්ථයේ පැවැත්ම නිශේධනය කරමින් පවතී. එවිට එහි අන්තර්ගත වන ඕනෑම අංගයක් එහි ප්‍රතිපක්‍ෂයේ නොපැවැත්ම තුළ පවතී‍. එහෙයින් අකුරක කොටස් හෝ රූපයක කොටස් හෝ අසම්පූර්ණ කිසිවක් විසින් එහි අත්හළ හෝ මගහැරුණු කොටස සමග හෝ නොපැමිණි කොටස සමග අපගේ සංකේත විශ්වය ක්ෂතිමය අත්දැකීමකට මෙහෙය වයි. මෙම හැඟුමට අපි කලකට පෙර හෂිත යෝජනා කළාක් මෙන් මෙව්වා එක යැයි අපි වචනවලට පෙරළගන්නට උත්සාහ කරමු. මෙබඳු ආකාරයේ වචන හමු නොවන දැනීම් මනෝවිශ්ලේෂණය තුල හඳුන්වන්නේ යථ හමුවීමක් ලෙසිනි. මේ හමු වන යථ කියවන්නාගේ විඥානය තුල පරිකල්පනීයත්වය සහ සංකේතීයත්වය ගැටීමෙන් හට ගන්නා රේඛාවක් තුලින් විශද වන දෙයකි. ලැකානියානු අරුතින් ගත් විට සංකේතීය විශ්වයේ හැසිරීම මනසට ගෝචර නොවේ. නමුත් එහෙම දෙයක් පවතී. හරියටම කීවොත් විචල්‍යයන් ප්‍රමාණය ඉක්මවා ගිය සමගාමී සමීකරණ පද්ධතියක විසඳුම් භෞතිකව අර්ථ දැක්වීමට නොහැකි වන්නා සේම එම තීරක සමීකරණ විසින් මනසේ කරනු ලබන දෙයට විග්‍රහයක් මනසට සකස් කරගත නොහැකි වීමේ තත්වය සේමය. සංකේතීය විශ්වයට ප්‍රතිපක්ෂව පරිකල්පනීය විශ්වය තුළ අති සරල සමගාමී සමීකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රතිඵල නිරන්තරයෙන්ම භෞතික තේරුමක් අත්කර ගනී. එක්ස් වර්ගය සමානයි හතර යැයි කී විට එක්ස් යනු හතරේ වර්ගමූලයයි යනාදී වශයෙන් එය සරලම තර්කනයකින් ඉපිද දෘශ්‍යමය සී‍මාවේ දී ම එහි අරුත් විකේතනය කරයි. දැං සංයුක්ත කවියක ඇති සංකීර්ණත්වයත් දෘශ්‍ය කවිය ඉන් මෙපිට අප හා කරන සරල ගනුදෙනුවත් වටහා ගැනීමට හැකිය.
අහස පොලොව ලෙස මතුවන කවිය ගැන ද එම සන්දර්භයේම සාකච්ඡා කළ හැකිය. අහස උඩින් ද පොලොව යටින් ද දෘශ්‍ය කවියේ සිය සීමා සළකුණු කොට ඇත‍. එය සවිඥානික වැඩකි. එසේ උපකල්පනයෙන් පටන් ගමි. අහස පොලොව යා වන ක්ෂිතයද මෙම කවියේ තීරණාත්මක කටයුත්තක් කරයි. 'එකම එක වැහි බිඳක් නැතුව' යන හැඟවුම ක්ෂිතිජයේ මතුපිට පිහිටුම අවිඥානික වැඩකි. එනම් කාන්චනා එය සිතා කළ දෙයක් නොවේ. එය අහස උඩ අත් කර ගනිද්දී පෙළ අනුක්‍රමයෙන් සිය ස්ථානය සොයාගත් හේතුවෙන් ක්ෂිතිජය මතුපිටට පැමිණ ඇත්තේ අහසින් ලැබෙන දෘශ්‍යමය දෙය වැහි බැවින් එය ලැබෙන කරාම කට හෙවත් වෙන්වීමේ අතුරු මුහුණත වශයෙනි. නොඑසේ නම් සවිඥානිකව ක්ෂිතජය රූපයේ හරියටම 1/3 පංගුවකට පැමිණියේ මන්දැයි සැළකූ විට එය තව දුරටත් අවිඥානික ක්‍රියාදාමයක් නොවන වග පැහැදිලි වේ. එනම් ක්ෂිතජය ස්ථාන ගත වී ඇත්තේ කවියේ වචන හමුවූ පසු ඒවා ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය තුළම විය යුතුය. මෙනයින් පැහැදිලි වන්නේ කවියේ වචන සහ පසුබිම සංයුක්ත බවයි. වචන හේතුවෙන් පසුබිමද පසුබිමේ හේතුවෙන් වචන ද සිය ස්ථානීය අගය සොයා ගෙන ඇත. එනයින් මේ කවිය ක්ෂිතජයෙන් තොරව කියවා ගැනීමක් යනු ම කිසියම් ක්ෂතියකට අත වැනීමකි. එනම් පසුබිම මේ වචනවල හැඟවුම සමග කුමන ගනුදෙනුවක් කරන්නේද යන සරල ප්‍රශ්නය අභිමුවට එයි. පොලොව අහසට සාපේක්ෂව කුඩා බැව්ද මෙහි අහසේ පොලොවේ ප්‍රමාණාත්මක අනුපාතයෙන් පෙන්වයි. අහස සඳ තරු එක්ක මුකුළුවන්නේ අප්‍රමාණත්වය තුළය. පොලොව වැහි බිඳකට හූල්ලන්නේ ප්‍රමාණාත්මකවය. එතැනද එකිනෙකින් ප්‍රතිරෝධය ගොඩනගන්නා වූ පැවතුම්වල ඒකත්වය පෙන්වයි. දැන් කවියේ සං‍කේත තලයට හැරුණු විට ගම්‍යමාන වන්නේ මේ මිනිස් විෂය කෙරෙහි දක්වන සබැඳියාව නීති රීති මතුපිටින් බිඳෙන බවයි. මන්ද යත් සංකේත විශ්වයේ නීති රීති මිනිස් විෂයට පිටින් පවතින් නොහොත් වියුක්ත කාරණයක් බැවිනි. දෙයක් අවිනිශ්චිත වීමේ ප්‍රමාණය සංකේතීය විශ්වයේ සීමාවෙන් ඇහිරී ඇති හෙයින් අපට විනෝද විය හැකි තැන මෙතැනින් මතුවේ. විනෝදයේ එක් ආකාරයක් උදාහරණයකට මම මතු කරමි. මේ අහස නම් පිරිමියා ය. පොලොව නම් ගැහැණිය ය. පිරිමි අප්‍රමාණ ගැහැණුන් ඇසුරේ මුකුළුවේ. ඔවුන් නිදහස්ය. ගැහැණිය එසේ නොවේ. ඇයට එබඳු නිදහසක් නැත. ඇයට ඇත්තේ එක ස්වාමියෙකි පෙම්වතෙකි. ඔහුගේ එකම ඇල්මකට බැල්මකට පාත්‍ර නොවී ඇය හූල්ලයි. දැං අපේ ක්ෂිතිජය මැකී යයි. ඒ වෙනුවට ඇගේ වැලපිල්ල හමු වෙයි.

Monday, May 24, 2010

ඉසිවරයා (08) -Ransirimal Fernando's translation

ඉසිවරයා (08)


“කියන්න අපට සතුට සහ දුක ගැන”
ගැහැණියක් කීවාය
ගැහැණියක් කීවාය


“නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය”
කීය ඔහු

උද්දාමයේ බුබුළු බිඳ ඔබේ සිනා රැල් ගලා එන
ප්‍රීතියේ උල්පත
පිරී ඇත්තේ බොහෝවිට
කඳුලින්ය ඔබේම

අන් කවර ලෙසකින් විය හැකිද මෙය?

වේදනාව කිඳා බසීද කොතරම් ගැඹුරට
එපමණම ගැඹුරුය
රැඳිය හැකි සතුටත් ඔබේ හද තුල

ඔබේ මධුවිත පිරෙන
කදා බඳුනම නොදැවුනිද
බුර බුරා දඟලන ගිනි සිලක උණුසුමින්
ඇඹෙන්නට බඳුනක්ව?

ලයාදර හඬින් ගයමින් ජීවිතය පිරිමදින වීණාව
දැව කඳක් නොවෙද අසරණ
පාරා සිදුරු කර හදවතම හෑරූ
තියුණු සැතකින්?

පිරී ඉතිරෙන විට සතුට බලන්න එබී හද ගැඹුරට
දකිනු ඇති ඔබ සතුට වගුරනු
සිත පෙළූ ‍හැඬවූ දෙයම

වේදනාවෙන් රිදුම් දෙන කල සිත බලන්න නැවතත් එබී
දකින්නට යථාර්තය අසන්නට ඔ‍බේ වැලපීම
ඔබේ ප්‍රමෝදය වූ දෙයටම

සමහරෙක් කියනු ඇති සතුටමයි අගනා උතුම් ...
තව කෙනෙක් කියනු ඇත
නැත නැත ශෝකයයි වඩා වැදගත්
ලද යුතු පිදුම්...!

මම කියමි ඔබ හට ...
වෙන්කල නොහැක කිසි දින
මේ ද්වන්ද්වය
සතුට ශෝකය...!

පැමිණෙති උහු දෙපල පටලවා අත්වැල්
එකෙක් හිඳිනා කල ඔබ අසල
සිටී අනෙකා ඔබේ සයනේ වැතිර

අසරණව ප්‍රලම්බව දෝලනය වෙයි ඔබ
තුලාවක දෙබඳුන
දුවන සේ උඩ පහල‍
ශෝකයත් සතුටත් අතර ...
හිස් ව ගිය ඇසිල්ලක නිසලවනු ඇත ඔබ
බඳුන් සමතුලිතව

එසැවෙනා දින ඔබ ඉහල
නිදන් පල්ලා අතින්
ගිණෙන්නට ඔබ දිනූ
ජීවිතේ රන් රිදී
මිණෙනු ඇත නොවැරදී
ශෝකයත් සතුටත්.

- ඛලීල් ගිබ්රාන් -

ඛලීල් ගිබ්රාන්ගේ ඉසිවරයා (The Prophet - (1923)) පද්‍ය එකතුවේ අටවන පරිච්ඡේදයේ ඡායානුවාදයකි.
සිත්තම: කමිලා, ඛලීල් ගේ මව (ඛලීල්ගේ සිතුවමකි )

රන්සිරිමල් ප්‍රනාන්දු [ලොකු]


ලොකුගේ මෙම ඛලීල් ජිබ්රාන්ගේ මුනිවරයා හෝ ඉසිවරයා කාව්‍ය සමුච්චයෙන් උපුටාගත් පරිවර්තන කාව්‍ය මගේ හැඟුම් අවුලුවා ලීය. ඒ හැඟුම් ගුමු ගුමුව ලියා දක්වන්නට දරන තැතකි මේ. එතැනට මට එන්නට තව වැකි කීපයක් අමුණන්නට සිදු වන්නේය.

මේ කවිය මොනිටරයේ දිග හැරෙන්නට මත්තෙන් මා සිටියේ නාරද දිසාසේකරයන්ගේ වියොව විඳිමිනි.

රූපං ජීරති මච්චානං
නාම ගොත්තං න ජීරති///
ලස්සන සැමදේ මොහොතක සුව දේ
එහි කෙළවර දුක දේ//
ලස්සන සැමදේ මොහොතක සුව දේ
එහි කෙළවර දුක දේ//
ලස්සන සැමදේ මොහොතක සුව දේ


දෙනෙත පෙනේනම් සුවඳ දැනේ නම්
සවන බිහිරි නැතිනම්//
දැල්වෙන අතරේ සදහම් ගීතේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි//
දිරා ජරාවට යයි//


සැපත දකිවී විපතට ලං වී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
බුදු දහමින් තොර සැපක් නැතේ
පරම සුවය ඒකයි///

වෛයාහ අස්ථියේ [hyoid bone] දැවටී පැදකුණු කරමින් සප්ත ස්වර යාතිකා මිමිණූ ස්වරාලයක කාටිලේජ අක්‍රිය වී ඇත. කිසි කලෙකත් මා හට කිසිවෙකුටත් නිවණ ප්‍රාර්ථනා නොකළ හැකි වුවද මම ඔහුට නිවන් ප්‍රාර්ථනා කරමින් හීල්ලුවෙමි. ඒ මට නොහැඟෙන අභූත සිතිවිලි දාමයක මා පැටලී හුන් හෙයිනි. යලි යලිත් ඉපදෙමින් මිනිසුන් අතර වැඩ කරන්නට ප්‍රාර්ථනා කළ පරාක්‍රම කොඩිතුවක්කු සිය සංසාරෙට මං ආසයි කාව්‍ය සංග්‍රහයේ අයුරින් නොවුවත් මේ අප යලි යලි ඉපදෙන්නට පතන දේශය කුමක් වැනිදැයි පරිකල්පනයේ අඳුරු ඡායා ප්‍රතිරූපනය වද්දී ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කර යලි ඉපදුමෙන් මිදී ඉන්නේ නම් යහපති යැයි මට සිතුන බැවිනි.


එසඳ මා නෙත මේ පරිවර්තිත කවියේ දැවටුනි. එක්තරා පෙලකදී මගේ සිත ඇවිලුණි. ඒ පෙල මෙසේය.

“නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය”

Your joy is your sorrow unmasked.
ලොකු ජෝයි [joy] යන ඉංගිරිසි වදනට සියුමුව ගැළපෙන සිංහල වදනක් සොයා අමුණා ඇත්තේ වෙනත් අනෙක් සමරුත් පදාවලියකින් ව්‍යවච්ඡේදනය කොට මැණිකක් ගරා ගන්නා ලෙසිනි.

කුමක්ද මේ ප්‍රමෝදය?

මා නැවතත් ‍‍ජෝයි [joy] යන ඉංගිරිසි වචනයට සමරුත් පද සෙව්වෙමි.
ප්‍රීති ප්‍රමෝදය-ප්‍රීතිය-ප්‍රමෝදය උපදවන්න යන නාම පද මලලසේකර අපට ‍යෝජනා කරයි.
ජෝයිෆුල් යන්නට සමරුත් ලෙස සතුටු දනවන-ප්‍රීතිමත් අවස්ථාවක්-ප්‍රීතිය දනවන යනාදී වශයෙන් ගොස් ජෝයි රයිඩ් යන්න විනෝදයට යන ගමන ලෙසින්ද දක්වා වරහන් තුළ විශේෂයෙන් සොරාගත් කාරයකින් [stollen car] යන්න ද සඳහන් කර ඇත.

වර්ඩ්වෙබ් ශබ්දකෝෂයෙන් එම වදනේම පර්යාය වන ඉංගිරිසි නිර්වචන කීපයකට ගියෙමි.
Noun: joy
1. The emotion of great happiness
2. Something or someone that provides a source of happiness
Verb: joy
1. Feel happiness or joy
2. Make glad or happy
'ප්‍රමෝදය' යන වචනය මට හමුවන්නේ වෙනස් සන්දර්භයක් නියෝජනය කරමින් ලැකානියානු මනෝ විශ්ලේෂණය තුළ දීය. [සත්‍ය වශයෙන්ම දීප්ති කුමාර ගුණරත්නලා X කණ්ඩායමේ අපරිමිත ශ්‍රම‍ විභජනයෙන් එලි දැක්වූ හිස්ටීරියාව කෘතියෙනි.] ඒ මන්ද යත් ලැකානියානු '‍jouissance' යන ප්‍රංශ වචනයට සමාන වචනයක් ඉංගිරිසි භාෂාව තුළ නොවූයෙන් ඊට සමරුත් වචනයක් ඔවුන් ආදේශ කළ බැවිනි. එම අරුතට අනුව එහි දිහහැරුම ලියා දක්වන්නට එම නිර්වචනය අඩංගු වන හිස්ටීරියාව පොතේ පෙර වචනයෙන් වාක්‍ය ඛණ්ඩ කීපයක් උපුටා දක්වමි.
"එබැවින් මනුෂ්‍ය ජීවිතය යනු අතිරික්තය විසින් චලනය කරන්නකි. ජීවිතය තල්ලු කරන බලවේගයක් අදෘෂ්‍යමාන ව ජීවිතය තුළම ඇත. එය ජීවිතයට වඩා දෙයකි. තමා සහ සමාජය අතර ඇති නිරන්තර පරතරය පුරවන්නට යන මිනිසා සැමවිටම එම ක්‍රියාවෙන් අසාර්ථක වෙයි. එනම් යථාර්ථවාදී මූලධර්මය අසාර්ථක වෙයි. එවිට ඉහත පැල්ම හෝ පරතරය පිරවීමට මිනිසා තුළ පෙලඹවීමක් ඇති වේ. ෆ්‍රොයිඩ් මේ පෙලඹවීම නම් කෙරුවේ 'මරණ හඹායාම' [death drive]0 නමිනි. ෆ්‍රොයිඩ්ට අනුව මරණය යමක අවසාන වීම නොවේ. ඔහේ පැවැතීම හෝ ජීව විද්‍යාත්මක සිරුරක් වශයෙන් හෝ පැවතීම වෙනුවට මනෝමූලිකත්වය මිනිසා ව රැඩිකල් ආස්ථානයකට රැගෙන යයි. එනම් අමරණීය ආත්මයක් සහිත මිය යන ශරීරයක් හැටියට මිනිසා තමන්ගේ සත්තාව හඳුනා ගනියි. එබැවින් මිනිසාට මෙම මනෝමූලිකතාවය මනසක් සහිත වීම රැඩිකල්භායකට අමතරව විනෝදවන්නක් ද වෙයි. [කෙනෙකු නොදන්න දෙයක් දැන ගත් පසු විනෝද වෙයි. එබැවින් විනෝදය දැනුමට මඟ පෙන්වයි.] මේ නිසා මිනිසා තුළ මෙම විනෝද වීම කෙරෙහි එනම් තම දෛනික ශාරීරික පැවැත්ම අභිබවා දැඩි ආශක්ත වීමක් මෙන්ම පෙලඹවීමක්ද දක්නට ලැබේ. මෙම මානුෂික තත්ත්වය ‍මෙම පොත තුළ ප්‍රමෝදය යනුවෙන් හඳුන්වනු ලැ‍බේ. මෙමගින් මිනිසා අප අර කලින් සඳහන් කළ සමාජය සහ පුද්ගලයා අතර දෙබෙදුම පරතරය ඉඩ වසා දමයි. එමගින් මිනිසා සත්තාව අත්පත් කර ගනියි. සරලව මිනිසා එමගින් සංකේතීය සත්වයෙක් බවට පරිවර්තනය වෙයි."

-හිස්ටීරියාව-පෙරවදනෙන්

අනෙක් අතට ප්‍රමෝදය වනාහි තැවුමක් ඉවසීම තුල හට ගන්නා විනෝදය බවද එනයින් දුක සහ සැප අතර භාෂාමය සම්බන්ධය මෝබියස් නිරූපණයකින් වටහා ගැනිම කළ යුතු බවද මෙම හැදෑරීම් තුලින් ගම්‍යමාන වේ. මෝබියස් පටිය ගැන මෙතැනින් කිසියම් අවබෝධයක් ලැබිය හැකිය.

පොත්පත් වලින් කොටස් උපුටා‍ මෙලෙස දක්වන්නේ මේ කාරණා ගැන අධ්‍යයනය කරන්නන්ට, උනන්දු වන්නන්ට එම පොත් හඹා ගොස් දැනුම අත් කරගෙන විනෝද වන්නට ආරාධනා කරන්නටය. විනෝදය දැනුමටත් දැනුම ක්‍රියාවටත් මග පෙන්වනු ඇතැයි මා විශ්වාස කරන නිසාය.

එතර සිට කරන ඉල්ලීමකි -සුනිල් ගෝවින්නයන්

ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ද්විභාෂා පාරප්‍රාප්ත කිවිඳා වන සුනිල් ගෝවින්නයන් මා වෙත කවියක් එවා තිබුනේ ඊයේ ය. හෙතෙම තම මතක දිවයිනේ හැඟුමන් මතකයෙන් ජීවය ගන්වා වදන්වලට පෙරලා කොළඹ ගංවතුර ගැන පද බැන්ද ඒ මනෝහර කවිය මා සිත කැළඹුවේය. මේ එම කවිය සහ මා විසින් පිළිතුරු කොට යැවූ කවිද එක්කොට මෙහි තබමි.

එතර සිට කරන ඉල්ලීමකි

ලියන්නේ කවි කුමට මතක සඟවන රටට
ලැබෙන්නේ නැත සරණ ලියූමුත් කවි නිබඳ
පතන්නේ කවි බසක් නොව හදකි බස් දොඩන
සිතන්නේ ගං වතුර ඔබේ රට ගොදුර වෙන

දෙරට තොරතුරු අතර ශෝකයකි ගං වතුර
ලියන කවියක් වුව ද පාරුවක් නොවනු ඇත
බඩගින්න මැද හඬන දුක් තැවුල් මැකෙනු නැත
කවි මගින් එවන්නට නොමැත තිළිණයක් අද

දෙව් බඹුන් උරණ වී එවූ මහ වැස්සක් ද
සරණ නැති දන නෙතට නැගි කඳුළු ගංඟා ද
රට රකින නිරිඳුන්ට එවු සාප වැස්සක් ද
ලියා දන්වනු මැනවි දිනෙක කිවිසුරු සබඳ


2010 මැයි 20
SG

පැරකුම් මැතිඳු මෙන්
ලියමි කෙටියෙන්
නො ඉල්ලනු නැවුම් කවි
නැත එබන්දක් ලියැවී!

දෝර ගලා යන
දෙව් මිනිස් ගැටුමක ලේ යුෂ
නගර බිහිදොරින් ඇරඹි
පල්දෝරු පිසිමින් ගලා යයි
ඉතිං තවත් කොහෙන්ද දෙවිවරු
උන්ගේ ලේ කඳ නොවැ මේ විසිරුණු
මඩ පාටින් මේ සුගන්ධයෙන් රුදු
ගලා යන්නේ පිස මැදුරු දේවතා කොටු
නො ඉල්ලනු මැනවි නැවුම් කවි
නැත එබන්දක් ලියැවි මා සුමිතුරු
පාරු ගමන සැසලෙයි හද බැඳි ගුරු
වාරු වෙමින් සිටිමි වෙත ලොව්තුරු

DP


පැනයක්

වෙද තවත් නැවුම් කවි මතක දිවයින සබඳ
රජ මැදුරු පිරී ගිය කිතු යසස් ගී මිසෙක?

දෙව් මිනිස් ගැටුම් ගැන නැත අසා සබඳ තව
රජුන් ගැන දෙඩු කතා පමණි එතරට ඇදෙන!

දේවතා කොටු මැදුරු තවත් ඉතිරිව ඇද්ද
මඩ පාට සුගන්ධයෙ දියර ඇදෙනා රටක?

ගං වතුර ගැන පුවත් අසා දුක් වූ දිනෙක
කියවීමි රජතුමා මලණුවන් යැවූ බව
දඬු මොනර-යක් තුළින් දුක් පුවත් සොයන්නට!

මුළු ලොව ම වියරු කළ ත‍්‍රස්තයන් දැවූ රට
ගංවතුර නැති කරන බල නැද්ද රජුන් වෙත?

ඔබ ද මා පිය මිතුර
ලිය යුතුව නැත ලගුව
නොවේ පැරකුම් කිවිඳ
වේය ඔබ මහ කිවිද!

SG

ලයිෆ් ඔ‍ෆ් පයි කියවමින් සිටිමි මම දියබරියෙකුව
සීතල කැඳවයි උණුසුම් පොත් මා තුරුළට; කෝපි කෝප්ප මුවටද!

සාගරයක් මැද සිරවුනු හැටි ලිහෙයි මා මසැස මත
කොල්ලෙකු කොටියෙකු සහ බෝට්ටුවෙකු අනාතව
අපට නම් සාගරය අපරිමිතය හැම කල මේ කියවන තුරු
එහිද සිරවන්නන් හමුවේ මෙබඳු පොත්පත් තුළ ගරු කටයුතු

මහ වැසි වැස හිස ගිනි ගත් සඳ හාත්පස දියත
වැසිවලටද ඇවිලවිය හැකි බැව් දැනෙයි දුරුවල සිත
නොලා දන මන සිහිසුන්ව; රජ මැති සඳ ඉගිලෙන අහස් කුස
හෙලිකොප්ටරය බැගින් දිළිදන්ට දන් දෙන දිනය මෑතය සොයුරු

DP