Monday, October 1, 2012

"සඳ දුටු සඳ" නිර්මාන සංග්‍රහය ගැන සටහනක්


නැවුම් ආකෘති ඔස්සේ නිර්මාන සංග්‍රහ එළිදැක්වීම වර්තමානයේ සුලබය. මෙසේ ආකෘතිය යැයි මා අදහස් කළේ නිර්මාන පමණක් නොව ඒවා පෙළ ගස්වා ඇති අයුරු හෝ ඒවා කෘතිය තුළ සංවිධානය වී ඇති ආකාරය ද ඇතුළත් අදහසකි.
 
ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම් වූ කිවිඳිය විසින් රචිත නිර්මාන සංග්‍රහයේ ආකෘතිය වී ඇත්තේ චන්ද්‍ර චාරය හෙවත් සඳ ගමන යි. සඳ දුටු සඳ ලෙස නම් කර ඇති මෙම නිර්මාන සංග්‍රහය සමස්තයක් වශයෙන් පෙළ ගැසී ඇත්තේ චන්ද්‍රයා කේන්ද්‍ර කරගත් ආකෘතියක වුව ද එහි අන්තර්ගතය විසින් එබඳු කේන්ද්‍රීය තේමාවක් එහි රූපිකයන්ගේ අගයන් උඩුයටිකුරු කර විතැන් කරවන්නට සමත් වන අයුරු සළකා බැලීම ද සිත් ගන්නා සුළුය.
 
එක්තරා අයුරකින් සඳ දෙස හෙලූ විවිධාකාර දෘශ්ටිකෝණයන් සමස්තයක එකතුවක් ලෙසත් මෙම නිර්මාන සංග්‍රහය දැක්විය හැකිය. අනෙක් අතට සඳ මිනිස් සිතෙහි උත්පාද වන්නා වූ විවිධ චෛතසිකයන් කෙරෙහි බලපෑ අයුරු චිත්‍රනය කිරීමක් ලෙසද දැකිය හැකිය. නොඑසේ නම් කිසියම් නිරීක්ෂණයක පසුබිමේ වූ සඳ එම සිදුවීමත් සමග පාත්‍රවර්ගයා කෙරෙහි උපදවන හැඟුම් නිර්මාන බවට පත් කරවීමක් ලෙසද දැකිය හැකිය. මෙකී සියළු ආකාර වූ නිර්මාන මේ නිර්මාන සමුච්චය තුළ ඇත. කෙසේ වුව ද වැඩේ අලුත්ය. ආකෘතිය නැවුම් ය.
 
විශ්වීය වූ සංකල්පනයන් අතර ස්ත්‍රීත්වය ට චන්ද්‍රයා ද පුරුෂත්වයට සූර්යයා ද වන සේ පවත්නා දෙබෙදුම තුළ මෙම නිර්මාන සංග්‍රහය ස්ත්‍රියක විසින් ස්ත්‍රීත්වය ඉස්මතු කරවමින් නිර්මානකරනය වූ ව්‍යාපෘතියක් ලෙස ද දැකිය හැකිය. එය එලෙසින්ම ඇතැම් නිර්මාන තුළ ගම්‍ය නොවන්නේ තරු හෝ සඳ සාවිය ද ඈඳා ගන්නා අවස්ථාවල දී ය.
උදාහරණයක් ලෙස කුටුම්බය නම් වූ නිර්මානයේ සඳ රූපිකව නිරූපනය කරන්නේ පුරුෂත්වය වන අතර සඳ සාවිය විසින් නිරූපනය කරන්නේ ස්ත්‍රිය යි.
 
කුටුම්බය
 
වෙනස් වෙන
සඳ හැඩවල
මිරිකි
මිරිකීත්,
සිනාසෙයි
සාවියක්!
 
(මේ නිර්මානයේ නිමිත්ත ඉතා සුලබ අත්දැකීමක් වන කුටුම්බය හෙවත් ගෘහය තුළ ස්ත්‍රිය අත්දකින පීඩනය තුළ ස්ත්‍රියගේ ඔරොත්තු දීම ප්‍රකාශ කිරීමකි. ඇත්තටම පීඩාවට පත්වන්න පත්වන්න ඉන් සිනා සී සතුටට පත්වීම යථාර්ථයක් වන්නේ කුමන ක්ෂේත්‍රයක් තුළ ද? මා නිවැරදි නම් මෙය නිශ්චිතවම ලැකානියානු ස්ථානගත වීමකි.)
 
ඊට ප්‍රතිපක්ෂව "අරුණෝදයක්" නම් වූ නිර්මානයේ සඳ නිරූපනය කරන්නේ ස්ත්‍රීත්වය වන අතර හිරු පුරුෂත්වය නිරූපනය කරයි.
 
අරුණෝදයක්
 
හිරු පිපුණ
උදයක
සඳක් හිනැහෙයි,
අහසක.
 
ඉහත උදාහරණ දෙකෙන් පැහැදිලි වන්නේ සඳ යන රූපකය කෘතිය තුළ ඒ ඒ අවස්ථාවලට ගැලපෙන ලෙස සිය ස්ත්‍රීත්වය හෝ පුරුෂත්වය මාරු කරගන්නා බවයි. නෛසර්ගිකව සඳ යන රූපකයට අයත්වන්නේ ස්ත්‍රීත්වයක් වුව ද මෙම කෘතිය තුළ එය සාපේක්ෂ අරුත් ගෙන ස්ත්‍රී සහ පුරුෂ භූමිකා අත්කර ගනී. තරු යනු අහසේ දුර්වලම අංගය හෝ කොටස යැයි සැළකූ විට ආරෝහණ පටිපාටියෙන් අහසේ ඇති කාව්‍යමය රූපකයන් මෙයාකාර ලෙස පුරුෂත්වය වර්ධනය කරගනී.
 
තරු < සඳ සාවිය < සඳ <  හිරු
 
මේ අයුරින් තරු ද සඳ සාවිය ද ඇතුලත් කවියක් මේ කෘතිය තුළ ලියැවෙන්නේ තරු ස්ත්‍රීත්වය ද සඳ සාවිය පුරුෂත්වය ද නිරූපනය කරමිනැයි කිව හොත් තර්කානුකූලය. මන්ද යත් සඳ සාවිය සහ සඳ එක්තැන් වන කවියක් වන කුටුම්බය තුළ සඳ පුරුෂත්වය අත්කර ගත් අයුරු මැනවින් පෙනෙන නිසාවෙනි. කෙසේ වුවත් රූපකයන් එකිනෙකා කෙරෙහි පවත්වා ගන්නා සාපේක්ෂ අගයන් පෙන්වා දීම වැනි වීජ ගණිතමය කටයුත්තක් සඳහා නිර්මාන භාවිතා කිරීම නිර්මානයක සාහිත්‍යමය ලක්ෂනයක් පිළිබඳ සාකච්ඡා කිරීමක් ලෙස සැළකිය හැකි නොවුනත් මෙවැනි අපූරු සම්බන්ධතා මතුකර පෙන්වා දීම ද එක්තරා රස වින්දනයක් නොවේ දැයි කවරෙකුට හෝ සැළකිය හැකියැයි මට සිතේ.
එනමුත් එවැනි වීජ ගණිතමය සම්බන්ධතා මතු කරන්නට ඉඩක් අප නොලබන්නේ ඊට ප්‍රතිපක්ෂ ලෙස දුබලයන් ද ප්‍රබල අර්ථ නිරූපිතයන් බවට පත්වන නිර්මාන ද මේ කෘතිය තුළ හමුවන බැවිනි.
 
ස්මරණ
 
පුරපස සඳම පෑයූ දා අහස මත
සැක නැත බැඳුණු වග ඈ වෙත තරුවෙ සිත
අමාවකේ විඳ විඳ ඈ නොමැති දුක
සතුටට කරුණ තරුවට ඈ මතක එක
 
මේ නිර්මානය තුළ නැවත සඳ ස්ත්‍රීත්වය ලකුණු කරන අතර තරු ලකුණු කර ඇත්තේ පුරුෂත්වය යි. මින් අප විසින් ඉහත නිපදවා ගත් වීජ ගණිතය දෙදරවයි.
 
මෙම නිර්මාන තුළ රූපකයන් ලෙස මතුව ඇති සඳ සහ අහසේ දිස්වන වස්තු කිසිවක් ස්ථිතික අරුත් මවන්නේ නැති බැව් මින් පැහැදිලිව පෙනේ. ඒවා එකිනෙකට පරස්පර, වියවුල් හෝ අවිනිශ්චිත අරුත් එකිනෙක හා බැඳෙන අනෙකුත් කොටස්වලට සාපේක්ෂව අරුත් නිපදවයි. මින් පැහැදිලි වන වෙනත්ම මානයක වූ දැනුමක් නම් භාෂාවක සංකේත ඒවා ස්ථානගත වන වියමන් මත ඒවාට ආවේණික වූ අරුත් ඉක්මවා රූපික අරුත් මවා ගන්නා බවයි. කවියක හෝ භාෂාත්මක නිර්මානයක දී වැදගත් වන්නේද භාෂාවක් තුළ පවත්නා එතරම් අවුල් වියවුල්කාරී බව ප්‍රයෝජනයට ගැනීම යැයි මම සිතමි. ඒ අරුතින් ගත් කළ මෙම නිර්මාන සංග්‍රහය විසින් අපට සන් කරන්නා වූ වැදගත් පණිවිඩයක් ඇත්තේ යැයි මට සිතේ.
 
අහසේ සංසිද්ධි තවත් සංකීර්ණ ලෙස වියන්නට දැරූ ප්‍රබල උත්සාහයක් ලෙස "බැමි" නිර්මානය මම දකිමි.
 
බැමි
 
සඳකට අයිති අහසක්
රැයකට සොරා ගත්තෙමි
මගෙ තරු එළිය පතුරා
කළුවර තුනී කෙරුවෙමි
 
පුර හඳ නොදුටු දුක් ගිනි
විමසා කඳුළු සින්දෙමි
තේවාව අවසන බැතිනි
ගෙන ගියෙමි, හද බැඳි බැමි
 
නුබ ගැබ ඇවිද හිනැහෙන
සඳවත කැළුම් ඉවසමි
ඉඳහිට මතුව දුර හිඳ
අහසක රහස් සුරකිමි.
 
දැන් තරු, සඳ සාවි, සඳ,  හිරු යන අමුද්‍රව්‍යන්ට අමතරව අහස සහ රැය ද වස්තු විෂය වී ඇත. මේ නම් සඳත් අහසත් තම තරු එළියත් එකට මුසු වන නිර්මානයක් බැවින් සරලව ප්‍රේම ත්‍රිකෝණයක අංගෝපාංග ලෙස වෙස් ගැන්වූ රූපක පෙලක් යැයි කල්පනය කළ හැකිය.
 
මේ නිර්මානයේ හමු වන්නේ තිදෙනෙකි. සඳකට අයිති අහසක් නම් සඳ රූපික වන්නේ පුරුෂත්වයට වන අතර අහස ස්ත්‍රීත්වය නිරූපනය කරයි. රැයකට සොරා ගත් අහස නම් වූ ස්ත්‍රියක ඇගේ සඳ නම් වූ පුරුෂයා නොදකින දුක් ගිනි විමසා නිවා දමන්නේ නිර්මානකරු අනියම් පෙම්වතකු ලෙස පුරුෂත්වය ආරෝපනය කරගෙනය. ඉන්පසු තරුවක් සේ ඈත සිට සඳ අහසට ආ කළ විහිදන සඳ කැළුම් ඉවසා අහස නම් වූ ස්ත්‍රියගේ රහස් සුරකිමින් සිටී. මේ නිර්මානයෙන් කියැවෙන පරිදි ගැහැනියක අසරණ වූ විට කොහේ හෝ ඉන්නා පිරිමියෙක් ඇයව සනසා දුක් ගිනි නිවා දුරට වී බලා සිටින්නට ගනී. මේ අවංක අනියම් පෙම්වතා වන්නේ ද මෙහි නිර්මානකරුවා මය. මෙය ඇගේ අදහසක් වුව ද යථාර්ථය නොවේ. බැතියෙන් පෙම් කර ඈතට වී සිටින අනියම් පෙම්වතුන් ලොව නැත. ඉන්නේ තම ලිංගික ආශාවන් වෙනුවෙන් පෙම් බස් කියා ගැහැනුන් රවටා මාරුවන අනියම් පෙම්වතුන් ය. කෙසේ වුව ද නිර්මානයක් ලෙස ව්‍යාජ අදහසක් වුවද බැහැර කරලන්නට තරම් අප ගොරහැඩි විය යුතු නොවේ යැයි හිත හදාගත යුතු නිර්මානයක් ලෙස මම මෙය දකිමි. රූපක භාවිතයේ දී දක්වා ඇති කෞෂල්‍ය අගය කිරීමට එය බාධාවක් නොවේ. අශ්ලීලත්වය වසා දමන්නට සවිඥානිකව කරනු ලබන ව්‍යාජ සැරසිල්ල නොවන්නට මෙය නිර්මානකරුවාගේ අවිඥානික ෆැන්ටසියක් ලෙස වටහා ගත හැකිය.

(මෙහි සම්පූර්ණ විරුද්ධාර්ථය නැවත ගොඩනැංවූ විට ද මේ සියළු තතු සමාන අරුත් ගන්නා මුත් ගැහැනුන් ආශා කරන්නේ පුරුෂ කේන්ද්‍ර යේ කුමක්දැයි සෙවීම කිසිදු තේරුමක් නොමැති බැවින් කිසියම් ගැහැනියකට හිමි පුරුෂයෙකු වෙනත් ගැහැනියක සතු කර ගැනීමේ ප්‍රයාමයේ අවසාන අරුතට ද තේරුමක් සෙවීම ද නිරර්ථකය. එබැවින් අන්සතු පිරිමියෙකු තාවකාලිකව හෝ තමන් සතු කර ගත් ගැහැණියකගේ අතින් ලියැවුනු මේ කව අපට ගෙන එන්නේ පැරඩොක්සීය තත්වයකි. පිරිමි, ගැහැනුන් ඔස්සේ තම ලිංගික ආශාව කෙරෙහි ලොල් වීම සෘජු ප්‍රකාශයක් වුව ද ගැහැණු ආශා කරන්නේ පිරිමින්ගේ කුමන දේට දැයි කීමට කිසිවෙකු සමර්ථ නොවේ. ඊට පිළිගත හැකි හේතුවක් ඇතොත් එය මෙහි ලියන්නට ඉඩ මදිවනවා විය යුතුයැයි මම සිතමි. )
 
මේ ආකාරයේම අවිඥානිකත්වය මතුවීම නිසාවෙන් අශ්ලීලත්වය වසාලන්නට නොහැකි වූ නිර්මානයක් ලෙස "පුංචි රහසක්" හඳුනා ගත හැකිය.
 
පුංචි රහසක්
 
හිරු නොදත්තාට
ඇතැම් මල්
පිපී හිනැහෙනවා
සඳ එළියට.
 
මෙහි අශ්ලීලත්වය වසා දමන්නට යෙදූ පුංචි රහස යන යෙදුම කිසිවෙකුටත් රහසක් නොවේ. එය කවුරුත් දන්නා රහසකි. කොතනත් කවුරුනුත් මෙලෙස "එයා දන්නේ නෑ මම කරන දේවල්" යැයි සිතා කරන දේවල් සැබැවින්ම ඔවුනට ඔවුන් බලාපොරොත්තුවන සතුටට හේතු වන්නේ නොදන්නවාට වඩා දන්නා මුත් නොදන්නා සේම ඉඳීම තුළය. මෙය තවදුරටත් රහසක් නොවන්නේ එබැවිනි. කිසියම් තහනමක් නොබිඳේ නම් තහනම් යැයි සම්මත දෙයක් බිඳීමෙන් තෘප්තියක් අත් නොවෙයි. සැබැවින්ම ආශාව වන්නේම නීතියක් බිඳුමෙන් ලබා ගත හැකි දෙයක මිස අනෙකක් නොවේ. මෙය හොඳින්ම දන්නා ස්ත්‍රීන් එවුන්ගේ මේ අශ්ලීල ආශාව එළිදක්වන්නට පෙරමුණ ගැනීම ගැන පුරුෂ අප සතුටු විය යුතු ය. (වඩාත් වෙනස් උදාහරණයක් ගත හොත් දුම්බීම සිරුරට හානිකර වුව ද එය ආණ්ඩුව විසින් තහනම් කෙරන්නේ නැති තත්වය මත මතුවන සංසිද්ධි සලකා බැලිය හැකිය. දුම්පානය හානිකර බැව් දැන දැනත් එය විසින් උපදවන විශාල බදු හේතුවෙන් කිසිදාක දුම්වැටි පරිභෝජනයෙන් ඉවත් කරන්නට ආණ්ඩුව ක්‍රියා නොකරයි. එනමුත් දුම්බීමෙන් හටගන්නා සෞඛ්‍ය ගැටළු හේතුවෙන් රෝහල්ගත වන්නන්ට සිදු වන්නේ දොස්තරවරුන්ගෙන් නොසෑහෙන බැනුම් අහන්නට ය. මෙහි ඇති අශ්ලීලත්වය කුමක් ද? එය කාගේ ආශාවක් ද? අශ්ලීලත්වය නම් සෞඛ්‍යයට හානි වන බව දැන දැනත් එය නොදන්නා සේ එය උපදවන අති විශාල බදු වලින් ආණ්ඩුව භාණ්ඩාගාරය පුරවා ගැනීමයි. එය ආශාවක් වන්නේ අවිඥානික ක්ෂේත්‍රයේ පරිභෝජනය කරන්නා තුළය. සැබැවින්ම දුම්වැටියක් ඉරීම තුළ යථාර්ථ වන්නේ මවගෙන් වෙන්ව අහිමි වූ සංකේතනය කරගන්නට අසමත් වූ ඒ මව් සෙනෙහසයි. (කුඩා අත දරුවන් ආශාව යනු කුමක්දැයි නොදනී. මව ඔවුන් හා දක්වන අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයට හේතුව නොදනී. දරුවාගේ ගැටළුව වන්නේ ද ඇය තමන්ව මෙතරම් ආරක්ෂා කරගන්නේ මන්දැයි අසංකේතීය ලෙස විමසීම මය. මන්ද යත් ඔවුනට එබඳු දේ වටහා ගැනීමට ඇවැසි සංකේත හමු වන්නේ කාලයත් සමග බැවිනි. මුල් කාලයේ දී ඔවුන් අත්දකින සියල්ල ඔවුනගේ අවිඥානය ක්‍රියාත්මක වන භෞතික මොළය තුළ රසායනිකව ලියැවුන ද ඒවා මොනවාදැයි නැවත කියවා විග්‍රහ කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැති බැවින් ඒවා සංකේතීකරණය වන්නේ අහඹු රසායනික ලියැවිලි ලෙසින් බැවින් ඒවා අවිඥානික තලයේ නැවත මතුවන ආකාරයන්හි උල්පත් වැඩිහිටියන් වූ පසුව පවා වටහා ගැනීමට නොහැකි වන්නේය.) එනම් පියයුරක් උරා බීමෙන් ලද නිශ්චිත සංකේතකරණයට ලක් නොවූ හඳුනා නොගත් තෘප්තිය කරා අවිඥානිකව ගමන් කිරීමයි. මේ අයුරින් ආශා ක්ෂේත්‍රය තුළ අශ්ලීලත්වයේ ක්‍රියාකාරිත්වය කිසියම් දුරකට හකුළුවා දක්වන්නට මේ නිර්මානය සෘජුව දායකත්වය සපයා ඇතැයි මට සිතේ.)
 
මරණීය රමණයක්
 
දුම්රියේ කුටියක
සිහින් සඳ එළියක
දියවෙයි
ඉරක්.
 
මේ නිර්මානය තුළ අන්තර්ගත මරණීය රමණය-දුම්රිය කුටිය-සිහින් සඳ එළිය-ඉර යන රූපිකයන් විසින් කියවන්නා තුළ ගොඩනගන්නේ පැරඩොක්සීය ෆැන්ටසියකි. එනම් දුම්රිය කුටියක් ඇතුළත වැටී ඇති සඳ එළියක ආලෝකයෙන් දියව යන ඉරක් යන සමස්ත චිත්‍රයටම දෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන එන මරණීය රමණයක් යන හෙඩිම නිසාවෙන් හට ගන්නා ක්ෂතිමය අත්දැකීමයි. එය ක්ෂතිමය අත්දැකීමක් වන්නේ පළමු වර මෙය කියවන්නා මෙහි හෙඩිමේ අරුත ඉතිරි පේලි තුළ සොයන්නට යාමෙන් ඉච්ඡාබංගත්වයට පත්වීමෙනි. මෙහි ඉර නියෝජනය කරන්නේ ෆැල්ලසය යි. එනම් පුරුෂත්වයේ සංකේතාත්මක ව්‍යූහය යි. සඳ එළියක දියව යන ෆැල්ලසයක රූපිකාර්ථය කුමක් ද? දුම්රියේ චලනය මාරාන්තික වන සංඥාවේ දිගුවක් වන අතර මේ රමණ රූපිකය කාගේ ෆැන්ටසියක ආකෘතිය ගනී ද? මාරාන්තික රමණය හා බැඳුනු යථාර්ථය කුමක් ද? ලිංගික තෘප්තිය මරණ ආශයේම දිගුවක් නිසාවෙන් හුදෙක් මෙය නිර්මානකරුවාගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් වචනවල පැටැලී අවිඥානිකව ප්‍රකාශ වීමක් ද? අපට මෙතැනින් නවතින්නට සිදු වේ.
 
දුම්රිය ගමන් ගන්නා විට සඳ එළිය දුම්රියේ කුටි තුළ පතිත වී ඉතා වේගයෙන් නිවි නිවී චලනය වන්නේ රමණයේ යෙදෙන්නාක් වැනි අයුරකිනි යැයි කියා ඇඟ බේරා ගන්නට මේ නිර්මානය අපට ඉඩ නොදෙන්නේ කොහෙන්දෝ පැමිණි ඉරක් මෙහි පේලි අතර ලැග සිටින නිසාවෙන් බැව් උක්ත පරීක්ෂාවන් විසින් සනාථ කෙරේ.
 
පිරිමි
 
කළුව
රුදුරුව
අකුණු පෑවත්
අහස
එක
සඳකට
යටයි!
 
මේ නිර්මානය අයත් වන්නේ අවසාන විග්‍රහයේ දී පිරිමි ගැහැණුන්ට යටත් ය යන ස්ත්‍රීන් තුළ වන ග්‍රාම්‍ය ෆැන්ටසිය එළිදැක්වීමට යැයි මම සිතමි. එය ග්‍රාම්‍ය ෆැන්ටසියක් යැයි මා කියන්නේ නාගරික සමාජය තුළ යථාර්ථයට එය වඩාත් ලංව ඇති ලෙස විද්‍යමාන වන ෆැන්ටසියක් බැවිනි. පිරිමි සේරම කොන්ට්‍රෝල් වෙන්නේ භාර්යාවන් අතිනි යන මෙය යථාර්ථයෙන් බැහැර එනමුත් එසේ වන්නේ නම් එය වඩාත් දියුණු සමාජයකැයි සිතන්නට ස්ත්‍රීන් පෙළඹෙන මිථ්‍යාමය නිර්මිතයක් බැවිනි මේ නිර්මානය එළියට එන්නේ. මෙවැනි නිර්මානයක් ලියැවෙන්නේ ද ස්ත්‍රීන් අතින් පමණකැයි මට සිතේ. සැබැවින්ම නාගරික ස්ත්‍රීන් සිතන්නේ මේ ආකාරයෙන් (යැයි මම සිතන) බැවිනි. නිර්මානයක් හරහා පුරුෂෝත්තම සමාජය දෙස මෙවැනි ෆැන්ටසික නියෝග නිකුත් කිරීමෙන් කිසිවක් සිදු වන්නේ යැයි මම නොසිතමි. යථාර්ථය වන්නේ (ප්‍රබන්ධයක් බැවින්) පිරිමි ලෝකය විසින් ගැහැණුන් අතින් තමන් පාලනය වන්නේ යැයි අතාත්වික තලයක වූ විශ්වාසයක් ගැහැණුන් තුළ නිර්මානය වන්නට හැර පිරිමින් පිරිමින්ගේ (වංචනික) ලෝකවල වාසය කිරීමයි. කෙටියෙන් ස්ත්‍රීන් විසින් "ඇඳගෙන සිටීම" සවිඥානිකව මඟහැර පිරිමින් හැසිරීම ලෙස දැක්විය හැකිය. අද ඔබගෙන් ඇසුවොත් "උඹ ගෙදර ගෑනි කියන ඒව අහල ඉන්න ජාතියෙ පොන්නයෙක් දැ"යි ඔබේ පිළිතුර විය හැක්කේ බොහෝ විට "ඔව් මම ඒ ජාතියේ පොන්නයෙක් තමයි" යන්නය.
 
අප තුළ විශ්වාසය ක්‍රියාත්මක වන ස්වරූපය සළකා බැලූ විට පිරිමින්ට ගැහැණියට යටත් වී හෝ යටත් නොවී හෝ සිටීමෙන් අනේකත්වය ඉදිරියේ සිදුවන සංකේතීය ලාභයක් හෝ පාඩුවක් නොවේ. අනෙක් අතට එයාකාර වූ හෝ විකල්පමය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් පවතින්නේ ද නැති නිසාවෙනි. ස්ත්‍රී සහ පුරුෂයන් අතර ඇත්තේ කුමන සම්බන්ධතාවයක් ද? ලිංගික සම්බන්ධතාවයක් යැයි නම් කළ හැකි කිසියම් සම්බන්ධතාවයක් ලැකානියානු විශ්වය තුළ නොපවතින බැවින් අනෙක් සම්බන්ධතාවය වහාම ප්‍රබන්ධගත කර ගත යුතුව ඇත. ඒ සඳහා වඩාත් විචිත්‍ර ප්‍රබන්ධය මෙය හැර වෙන කුමක් විය හැකි ද?
 
සරණ බන්ධනයක්
 
තරුවක් එළිකරන්නට
සැරසෙයි
සඳක්
පායා තිබූ අහසක්!
 
මෙය ද ත්‍රිකෝණාකාර ව්‍යූහයක් අප වෙත ඉදිරිපත් කරන නිර්මානයකි.
 
මෙහි ද්විඝඨනයක් ඇති බැවින් එක් අවස්ථාවක් පළමුව තෝරා ගමු. තරුවක් යනු ගැහැණියකි. සඳක් යනු ද ගැහැණියකි. අහස මෙම අවස්ථාවේ දී පුරුෂ රූපික ය. ඒ අනුව මේ කියැවෙන්නේ වඩාත් හොඳ ස්ත්‍රියක හා පෙමින් සිටි පුරුෂයෙකු ඊට වඩා ගුණයෙන් අඩු ස්ත්‍රියක හා විවාහ වන්නට යන බවයි.
 
දෙවෙනි අවස්ථාව සළකා බලමු. එහි දී තරුවක් යනු පුරුෂයෙකි. සඳක් යනු ද පුරුෂයෙකි. අහස යනු ස්ත්‍රියකි. මේ අනුව මින් කියැවෙන්නේ වඩාත් ප්‍රබල තරුණයෙකු හා පෙමින් බැඳී සිටි ස්ත්‍රියක ඊට වඩා දුබල පිරිමියෙකු හා සරණ බන්ධනයකට යන බවකි.
 
දැන් මේ අලකලංචිය අපට ගෙනෙන සංකේතාර්ථය කුමක් විය හැකි ද? මින් කියැවෙන්නේ අවසානයේ දී අප නිරන්තරයෙන්ම ලබන්නේ වඩාත් දුර්වල දෙය බව ද? මේ නිර්මානයේ හැඟවුම සරණ බන්ධනයක් යනුම තම සහකරු ලෙස ලබන්නේ ලැබිය යුත්තා නොව වඩා දුර්වලයෙකු බවයි. මෙය යථාර්ථයක් ද? ඔව්. මේ ලෝකයේ කිසිම යුවලක් එකිනෙකට ප්‍රබල හෝ දුබල වන්නේ නැත. ගැලපෙන්නේ නැත. මනුෂ්‍යත්වය යනුම දුර්වලකම්වලින් පිරී ඇති දෙයක් බැව් පමණි අප දන්නා පරම සත්‍යය. එනයින් සරණ බන්ධනය වනාහී එතරම් තැකිය යුතු අවසන් නැවතුමක් නොවන බැව් සත්‍යාපනය වේ. ප්‍රථම ප්‍රේමයෙන් එකතු වන දෙදෙනකුගේ සරණ බන්ධනය මේ නිර්මානයේ වපසරියට හසු නොවීම හැරෙන්නට වෙන කිසිදු අවුලක් මට මේ නිර්මානයේ නොපෙනේ.
 
කලියුගය-යුගාන්තය-නූතන කවිය (යුගය) යන නිර්මාන ත්‍රිත්වය මා සළකනූයේ එකම රැහැනකින් බැඳි නිර්මානයක් ලෙසිනි.
 
කලියුගය
 
සොළොස් කලාවම
පිරි සඳක්
සිනාසෙනවා
මඩ වගුරක...
 
යුගාන්තය
 
සඳ කඳුළු බිංදුවක් වැටී
ලුණු වැඩි වී තිබුණා
අම්මා
අමතක කර දමා ගිය ගෙදර,
අප්පච්චි පිසූ බත.
 
 
නූතන කවිය
 
සඳක් නැති අහසක් යට
සඳ නමින් අකුරු අමුණන
සඳ නොදුටු කවියෝ ද වෙති
සඳෙන් විවරණ නොලබන
 
කලියුගයේ තත්වය කියා පාන්නට රූපිකව මතු වන්නේ මඩ වගුරක සිය ප්‍රතිබිම්බය පාන පුන් සඳකි. ඒ නම් අන් කිසිවක් නොව ගොහොරු මඩ වලක වැතිරී සිනා පාන සඳවත නම් සුදුස්සන් නුසුදුස්සන්ගේ පීඩනයට පත්ව දුකට පත් ව එය ද දුකක් නොව සතුටක් ලෙස ඉවසන්නට වී සිටින්නට සිදු වීමයි. (වෙනත් අනෙක් අරුත් ද මැවිය හැකිය. )
 
අනෙක් අතට යුගාන්තය නම් අම්මාවරුන්ට ගෙවල් අමතකව පලා ගිය කල අසරණ වන පියවරුන්ගේ ශෝකය විඳ දරා බෙදා ගන්නට ඉන්නේ දුරක සිට දිස්වන සඳ පමණකි යන්න ය. මිනිස් සබඳතා විනාශයට පත් වූ කලෙක ශේෂ වන තාපය මුදා හරින්නට ඉතිරි වන්නේ අචේතනික වස්තු පමණිය යන්න මින් ගම්‍ය වේ.
 
නූතන යුගය හෙවත් නූතන කවිය තුළ සාකච්ඡා වන්නේ ඉහත සිදුවීම් දෙකටම වඩා ත්‍රාසජනක සත්‍යයකි. සඳකුත් නැති අහසක් යට එනමින් අකුරු අමුණමින්, නැති නිසාවෙන්ම සඳ නොදුටු නමුදු ඉන්ම විවරණ ද නොලබන කවියන් සිටී ය යන්න ස්වයං නාශක බෝම්බයක් වැනි නිර්මානයක් යැයි මම ලියා තබමි.
 
ප.ලි.
 
1. ඉහත උදාහරණ ලෙස ගත් නිර්මාන ඔස්සේ මා කරන ලද විවරණයන් හුදෙක් එම කාව්‍ය ග්‍රන්ථ රචිකාව උනන්දු කරවීමට දරණ ලද අවංක උත්සාහයක් විනා විශිෂ්ට කවි හෝ නිර්මාන ඇය විසින් කර ඇතැයි කියා ඇයව මුරුංගා අත්තේ තියන්නට වැය කළ ශ්‍රමයක් නොවේ. අනෙක් අතට සරලව අදහස් ඉදිරිපත් නොකර කීප දෙනෙකුට පමණක් තේරෙන්නට ලිවීමෙන් කාටවත් කිසිදු ප්‍ර යෝජනයක් නැති බැව් මා කලක සිට වටහා ගෙන සිටි බැවින් මනෝ විශ්ලේෂණාත්මක යෙදුම් හැකිතාක් අවම ලෙස සහ තාක්ෂණික වදන් භාවිතය අවම කරන්නට උනන්දු වූයෙමි. මේ ලියා ඇති විග්‍රහ තව දුරටත් විස්තාරණය කිරීම හෝ සංවර්ධනය කිරීම ද කළ හැකිය.
2. නිර්මාන සංග්‍රහය විසින් සඳ මිනිසා කෙරෙහි බලපවත්වන ලද සියල්ල අන්තර්ග්‍රහණය කර ඇතැයි එහි නිර්මාන පිරික්සද්දී හැඟුන ද හඳ නිසාවෙන් පිස්සු හැදුන හෝ උමතු වූ සිදුවීමක් මේ නිර්මාන අතර නොවීම කනස්සල්ලක් සිත තුළ මවන්නේ යැයි මට සිතේ.

5 කුළිය:

තිසර said...

කරුණාකර මේවා පහදාදිය හැකිද?

*ලැකානියානු ස්ථානගත වීම
*අවිඥානික ෆැන්ටසියක්
*පැරඩොක්සීය තත්වයකි
*පැරඩොක්සීය ෆැන්ටසියකි
*ෆැල්ලසය

Hermitian said...

@තිසර

කිසියම් සන්දර්භයක් උදෙසා එහි නිර්මාතෘවරයෙකු ඇත්නම් එනයින් කිසියම් සංසිද්ධියක් එම සන්දර්භයට අයත් බැව් කීමට හැකි කෙටි ක්‍රමයක් ලෙස එම නිර්මාතෘගේ නාමකරණයට අයත්ව ස්ථානගත වීම හඳුන්වා දිය හැකිය.

උදාහරණයක් ලෙස කිසියම් අංශුවක චලිතය ගැන අප නිරීක්ෂණයක් කළ විට එම නිරීක්ෂණ සම්ප්‍රදායික භෞතිකයට අනුගතව සිදුවන්නේ යැයි අපට නිගමනය කළ හැකි නම් එම අංශුවේ හැසිරීම කෙටියෙන් නිව්ටෝනියානු ස්ථානගත වීමක් ලෙස කෙටියෙන් හඳුන්වා දිය හැකිය.

මෙහිදී මා සංකල්පගත කර ඇති හැසිරීම ද සන්දර්භීය ලෙස ලැකානියානු මනෝවිශ්ලේෂණ පථයට අයත් වන්නේ යැයි යන අනුමානය ඔස්සේ එය ලැකානියානු ස්ථානගත වීමක් ලෙස හඳුන්වා ඇත්තෙමි.

මා දන්නා තරමින් මූලික වශයෙන් ෆැන්ටසි වර්ග දෙකකට අයත් වේ. සමහර ෆැන්ටසි අප විසින් සිතා මතා නිර්මානය කරගන්නා ඒවා වන අතර ඒවා සවිඥානික ෆැන්ටසි වේ. තවත් සමහරක් ෆැන්ටසි අප තුළ අපගේ සවිඥානික මැදිහත් වීමකින් තොරව නිර්මානය වන අතර ඒවා අපට අත පෙවිය නොහැකි පාලනය කළ නොහැකි මනසේ අවිඥානය නම් වූ කොටස තුළ ක්‍රියාකාරී වේ. ඒවා අවිඥානික ෆැන්ටසි ලෙස මා හඳුන්වා ඇත.

පැරඩොක්සීය තත්වයක් යනු ලස්සන සිංහලෙන් කිය හැකි අදහසකි. විරුද්ධාභාෂය කියා කියන්නේ ද පැරඩොක්සීය තත්වයටමය. එනම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් යුවලක් එකවර සත්‍ය වන්නා සේ ඇගයෙන අවස්ථාවකි. මෙහි දී මා එම වදන ඒ ආකාරයෙන්ම භාවිතා කර ඇත්තේ විරුද්ධාභාෂයට වඩා පැරඩොක්සීය යනුවෙන් කී විට බොහෝ අයට පහසුවෙන් වැටහෙන බැව් අත්දැකීමෙන් දැන සිටි නිසාවෙනි.

පැරඩොක්සීය ෆැන්ටසියක් යනු එකිනෙක පරස්පර හිතළු දෙකක් හෝ වැඩි ගණනක සමාකලනයෙන් උපදින විකාර සහගත අවස්ථාවක් ලෙස මම භාවිතා කොට ඇත්තෙමි. උදාහරණයක් ලෙස සමහර අය තමන් බෞද්ධයන් යැයි කියමින් ප්‍රාණඝාතයට අනුබල දෙති. මේ ගැන ඔවුනගෙන් විමසූ විට ලැබෙන උත්තරය බොහෝ විට ඔවුන් දෙනු ලබන්නේ මෙයාකාර වූ විකාර සහගත මනසකින් යුතුවය. එනම් ඔවුනට එකවර සත්‍ය වූ හා අසත්‍ය වූ ෆැන්ටසි කීපයක් අතර දෝලනය වෙමින් ඒ ගැන කතා කරන්නට සිදු වීමයි. අප කතා කරන විට එම කතා සියල්ල සංකලනය වන්නේ අපට අවිඥානිකව බැවින් ඒවා අවිඥානයේ ක්‍රියාකාරී වන ව්‍යූහයන් ඔස්සේ පාලනය වේ. ව්‍යූහයන් විකාර සහගත වූ විට කතා කරන දේ හෝ සිතන දේ ද අවුල් සහගත වේ. එබඳු අවුල් සහගත ව්‍යූහයන් නඩත්තු කරනා පිරිසක් අතර ඒවා එකිනෙකාට බාධාකාරී ලෙස නිරීක්ෂණය නොවේ. එනයින් සමූහයක් තුළ පවා එබඳු විකාර සහගත ව්‍යූහයන් අවිඥානය තුළ ක්‍රියාකාරී වීමේ හේතුවෙන් ඒවායේ අභ්‍යන්තර යොමුකිරීම් නිසාවෙන් සාමුහික පිළිගැනීම් හටගැනීමට හැකිය.

ෆැල්ලසය යනු ෆේලස් (phallus) යන ඉංග්‍රීසි වචනයට සිංහලෙන් යොදා ගත් ආසන්න හැඩරුවින් යුතු වචනයකි. මෙබඳු ලැකානියානු මනෝවිශ්ලේෂනයට අදාල සිංහල බොහෝ වදන් නිර්මානය කරන්නට පුරෝගාමී වූයේ දැනට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා මීට වසර විස්සකට පමණ පෙර සිට ලංකාව තුළ දියත් කරන ලද සාමුහික දේශපාලන ව්‍යාපෘතියක අතුරු ඵල වශයෙන් බැව් කෘතවේදී ව සිහිපත් කළ යුතුය.

තාක්ෂණික වදන් භාවිතා කිරීම බාගදා අදහස් සම්ප්‍රේෂණයට බාධාවක් වුව ද මනෝ විශ්ලේෂණ විෂයට අදාල පොත් පත් පරිශීලනය කරද්දී සිංහලෙන් සෘජු ලෙසම කියා පෑ නොහැකි නොයෙකුත් සංකල්ප රැගත් ඉංග්‍රීසි වචන හමු වේ. ඒවා කිසියම් ආකාරයකට අදහසට උචිත ලෙස සිංහලට පෙරළා ගැනීමට මම උත්සහ කරමි.

තිසර said...

ලැකානියානු යන්න ජාක් ලකාන් නම් ප්‍රංශ මනෝ විශ්ලේෂකයාගේ මතවාද වලට අනුකූල යන්න බැව් සිතමි. කලින් දැන නොසිටියෙමි, ඔබගේ පැහැදිලි කිරීම මත ගූගල් කර සොයා ගතිමි (අනේ විමල් මහත්තයා ගූගල් පිටුදකිමු යැයි කීවේ මොන හිතකින්ද කියාත් ඔය අල්ලපනල්ලේ හිතුනි )

අනෙක් වචන භාවිතයන් නම් පැහැදිලි කල පසු පැහැදිලිය.

දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වටා ගොනු වූ පිරිස 'X කණ්ඩායම' යැයි සිතමි. අහෝ කියවා තේරුම්ගත නොහැකිවූ කල අත්හැර දැමූ ඔහුගේ ලිපි නම් අපමණය.

ඔබ කියූ පරිදි දැනට අප භාවිතා කරන සිංහලෙන් පැහැදිලි කල නොහැකි ඉංග්‍රීසි වචන බොහෝ ඇති බව පිළිගනිමි.

ඒ සමගම එවැනි වදන් භාවිතයෙන් අදහස් හුවමාරුවට යම්කිසි බාධාවක් ඇතිවිය හැකි බවද සැබෑය. භාවිතා කරන යම් යම් විශේෂ වදන් සඳහා ලිපිය අවසානයේ හෝ යම් පැහැදිලි කිරීමක් කරන්නේ නම් මේ තත්වය යම් පමණකට වලක්වා ගත හැකිය යන්න මගේ අදහසයි. ඔබගේ ලිපි කියවීමේදී, පොදුවේ භාවිතා කරන වචන අතර විෂයානුබද්ධ යෙදුම් හඳුනා ගැනීමට ඔබට හැකිවිය යුතුය යන්න අසාධාරණ සිතුවිල්ලක් නොවේ.

ඔබ ඉදිරිපත් කල පැහැදිලි කිරීම් වලට බොහොමත්ම ස්තූතියි.

රතු රජරට said...

කවි පොත කියව්න්නට අවස්තාවක් නොලද මුත් ඔබේ විචාරය කියෙව්වා ,,ඒ පිළිබදව අදහසක් පළකරනවා නම් එය දීර්ඝ එකක් වෙනවා. කොහොම නමුත් ඔබේ විචාරයේ දුරවබෝධ තැන් කිහිපයකුත් තිබෙනවා. පැරඩොක්සීය සහ දයලෛක්තිකය අතර සම්බන්ධයක් ? ස්තූති. දිගටම ලියන්න ජයවේවා...
-කොමෙන් කරන්නට තිබෙන විදිහ වෙනස් කළොත් නරකද-

කඳු said...

ඩෝසනියානු විචාර මඟ!! අගෙයි!!