Wednesday, June 13, 2012

යුනිකෝ ගැන මතකය

වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් රැඳී තිබේ. මගේ සොයුරිය මට වඩා සිවු වසරකින් වැඩිමල් වූයෙන් ඇයට කතන්දර කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණි. රුසියානු කතන්දර පොත් කියවා මා විනෝදයට පත් කරන ඇයට මේ අමුතු කතන්දර පොත කියවන්නට පෙර කියවීම පිළිබඳ නොයෙකුත් පැටලිලි හටගන්නා බැව් මට දැනුණි.

දෙබස් මෙන්ම සිතන දේ ද ලියා "වදන් වළාකුළු" මෙන් සටහන් කර ඇති රූප රාමු වෙසක් තොරණක් පිළිවෙලින් වටහා ගන්නා අයුරින් කියවා තේරුම් ගත යුතු බවට ඇය පෙන්වා දුන් අතර අකුරු කියවා ගැනීමේ හැකියාවක් නොවූ මා හට ඈ ඇගේ සිත්ගත් කතා කියවා අවසන් වන තුරු රූප දෙස බලමින් සිටින්නට සිදු විය. අක්කා ඉතිං ඊට පස්සේ චිත්‍ර කතාව මහත් අභිරුචියකින් කියවන අයුරු පසෙක සිට නරඹන මා ඇය කියවා අවසන් වන තුරු ඉවසා බලා සිටීම බැරිම වූ කලෙක අකුරු කියවා ගන්නට මට උපකාර කරනා මෙන් ඇයට ඇවිටිලි කළ අයුරුද මට හොඳින් මතකය. පසුව මා සොයුරිය මා වෙත හෝඩි පොතක් ගෙනැවිත් දී ඉන් අකුරු ඉගෙනීමටත් වචන කියවා ගැනීමටත් උගන්වන ලද්දෙන් මා ඉතා ඉක්මනින් සිත්තර පත්තරය මගේම ආකාරයකට කියවා ගැනීමට ඇරඹුවේ මට යම්තම් වසර පහක පමණ වයසක් වෙද්දී ය.

එකල කියවන්නට යෙදුනු රුසියානු කතන්දර පොත්වලට වඩා සිත්තර චිත්‍රකතා පත්තරයේ එන සිදුවීම් අතර පරතරය ඉතා විශාල බැව් මට පෙනුනත් එය වටහා ගැනුමට තරම් මේරු මනසක් මට එකල නොවීය. මට සිතුනේ සිත්තර පත්තරයේ එන කතන්දරවල සිදුවීම් තවමත් අපගේ ජීවිත කාලයේ සිදු නොවී ඇති බවත් අනාගතයේදී මේවා අපගේ ජීවිතවලද අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවත්ය. එනයින් ඉක්මනින් කතන්දරවල රූපනය වී ඇති චරිතවල වයසට මෝරා වැඩිහිටි විය යුතුය යන හැඟීම නිරන්තරයෙන් පස්හැවිරිදි මා තුළ ලියලන්නට විය.

මා සිත්තර පත්තරයේ ඉමහත් අශාවෙන් කියවූ එකම කතාව යුනිකෝ ය. මා යුනිකෝ චරිතයට කොපමණ ඇළුම් කළේ දැයි කීවොත් මා හට ද ඔහු මෙන් දෑස් වසා ගෙන කඩු සටන් කිරීමේ උමතුවක් මද කලෙකින් වැළඳුනි. ඒ 1976 වසර ය. මා නිතරම යුනිකෝ ගේ දෑස් බැඳි ආවරණය වැනි හැඩයෙන් යුතු කඩදාසි කපා ඒවා පැළඳ වටපිට බලන්නට උත්සහ කළ ද කිසි දිනෙක කිසිම දෙයක් එම කඩදාසි හරහා දකින්නට නොහැකි වීමෙන් ඉමහත් කම්පනයටත් කනගාටුවටත් පත්වූ අයුරු මට ඉතා හොඳින් මතක තිබේ. එකල මා හමු වන බොහෝ වැඩිහිටියන් සිත්තර පත්තරය කියවන පාඨකයන් වූ බැවින් මා ඔවුන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ යුනිකෝ ගේ මේ අසාමාන්‍ය දැක්ම කුමක් දැයි කියාය. යුනිකෝ දෑස් වසා සිටියද ඔහුට සාමාන්‍ය අයෙකුට සේම දෑස් පෙනීම මා හට වටහා ගැනීමට අවශ්‍ය වූයෙන් මගේ ප්‍රශ්න කිරීම් උග්‍ර විය. ගෙදර යන එන අයට ඒ ගැන විස්තර කරනවා හැර වෙනත් අනෙකුත් දෙයක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට මගෙන් ඉඩ නොලැබිණි. එවිට මාගේ පියා ඇතුළු සියල්ලන් මට සිත්තර පත්තරය බැලීම වාරණය කරන්නට පවා උත්සුක වූයේ මගේ අනවශ්‍ය කුහුල නිසාවෙන් බැව් මට හොඳින් මතකය.

එකල යුනිකෝ නිර්මානය කරන සරත් මධු මට හැඟුනේ සුපිරි තත්වයක ජීවත් වූ පිටසක්වල ජීවියකු වැනි අතිශය ගුප්ත ස්වරූපයකිනි. මන්ද යත් ඔහු අතින් ඇඳෙන යුනිකෝ යනු ඔහුගේ නිර්මානයක් බැවින් එබඳු සුවිශේෂී හැකියාවක් ඇති අයෙකු නිර්මානය කරනු ලබන්නා කොතරම් සුවිශේෂි හැකියාවන් ප්‍රභලතාවයන් ඇති අයෙකු දැයි සිතා ගන්නට මගේ සිත කුඩා වැඩි වූ බැවිනි. මට නිරන්තරයෙන්ම යුනිකෝ ට වඩා විශාලව දැනුනේ සරත් මධු ය. විටෙක සරත් මධු යනු යුනිකෝටත් වඩා විශාල දැවැන්තයෙකු විය යුතුයැයි මට හැඟුනු අවස්ථා අප්‍රමාණය. බාගවිට සරත් මධුට සැබෑ යුනිකෝ හමු වී ඇතිවාට ද මට සැකයක් නොවීය.

මා සිත්තර පත්තරයේ යුනිකෝ සමග කොතරම් බද්ධ වූයේ දැයි කීවොත් මා යුනිකෝ ගේ ප්‍රතිරූ කඩදාසි මත අඳින්නට දැරූ උත්සාහයෙන් මා ක්‍රමයෙන් සිත්තරකු බවට ද පරිවර්තනය වෙමින් සිටියේ අප විසූ නිවසට යනෙන බොහෝ අයවලුන් විශ්මයට පත් කරවමිනි. වඩාත් විශ්මයජනක දෙය වූයේ සරත් මධු අතින් නිමැවෙන යුනිකෝ ගේ මස් පිඩුවලට වඩා විශාල ප්‍රමාණයක මස් පිඩු ප්‍රමාණයක් පෙන්වන්නට මගේ සිතුවම්වලට හැකි වීමයි. ඊට හේතුව මගේ පියා සතු වූ දැවැන්ත සිරුර නිසාවෙන් වන්නට ද හැකිය. මගේ පියා ද සතු වූයේ අයෝමය පුරුෂයෙකුට නොදෙවෙනි වූ දැවැන්ත සිරුරකි. ඔහු තරුණ කාලයේ බර ඉසිලීම් වැනි කාය වර්ධන ව්‍යායාම්වල යෙදීමෙන් උපයා ගත් දැවැන්ත මස්පිඩු සහිත සිරුරක් සතු වූ බැව් මට සිහිවේ. කාලයත් සමග ක්‍රමයෙන් වැහැරුනු මගේ පියාගේ සිරුර එක්දාස් නවසිය අනූ දෙකේ දී ජීවයෙන් තොර වූ කාබනික වස්තුවක් බවට පත් වූ අවස්ථාවේදී එය තැන්පත් කිරීමට සුවිශේෂි පෙට්ටියක් තනන්නට පවා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට සිදු විය.

සිත්තර පත්තරය සමග ඇරඹුන මාගේ කියවීමේ කලාව නිසාවෙන් ඉන් පසු පාසැල් යන්නට පටන් ගත්තා වූ 1979 දී පාසැලේ බොහෝ දරුවන් අභිබවා කියැවීමේ හා ලිවීමේ හැකියාවන්ගෙන් ප්‍රවීණව ඉහලින් සිටින්නට මා හට හේතු වූ බැව් සිත්තර පත්තරය සහ යුනිකෝ නිර්මාතෘ සරත් මධු මහතා වෙතද කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුය.

සිත්තර පත්තරය හා සබැඳි මාගේ මේ අතීතය මෙලෙසින් සටහන් කරන්නට නිමිති වූයේ මුහුණු පොතේ රංජිත් ගමගේ සොයුරා පසුගිය වසරේ එක්තරා දිනෙක යුනිකෝ ගේ සිතුවමක් සිය තෙලිතුඩින් නිමවා ප්‍රසිද්ධ කිරීමත් සමගමය. ඒ දවස්වල මා රැකියාවේ යෙදී සිටියේ කැමරෑන් රටේ බැවින් ද ඔහු සිටියේ ඇමරිකාවේ බැවින් ද ඉතා ස්වල්ප කාලයක් දුරකතනයෙන් කතා කළ මා හට දැනුනේ වසර ගනනාවකින් ඉපැරණි අතීතයට ගොස් ඒ අතීත මතකයන් අතර සැරිසැරූ බවකි. රංජිත් ගමගේ ද මා මෙන්ම සිත්තර පත්තරයෙන් අකුරු කළ තවත් සහෘදයෙකු යැයි මම සිතමි.

ඉහත කළු සුදු යුනිකෝගේ සිතුවම රංජිත් ගමගේ විසින් නිර්මිතය.
පහත සිත්තර පත්තරයේ මුල් පිටපතේ කවරය මා ලබා ගත්තේ ලේඛනාරක්ෂකයෙනි.



23 කුළිය:

කතන්දර Kathandara said...

ඇයි එතකොට
ටෝගා ?

කතන්දර Kathandara said...

Comments by Dawson in 2009:

http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html?showComment=1257471856213#c5015658467439255600

2. http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html?showComment=1257569287418#c5548756805224823820

3. http://kathandara.blogspot.com/2009/11/blog-post_06.html?showComment=1257569712150#c1842999493394289969

hare :-) said...

ඔබතුමාට සිත්තර පත්තරේ වගේ මට අහුවුණේ 'රසික' පත්තරය. ඕක ගත්තෙ අපේ මාමලා. සතී කීපයකට විතර සැරයක් එයාලගෙ ගෙදර ගියාම පත්තර මිටියක් උස්සන් තමයි එන්නේ. අර කිව්වත් වගේ ඒ දවස්වල ඔය පත්තරේ ගිය රෆීක් ඩීන්ගෙ නින්ජා, ඇන්ටන් තානාපතිගෙ කුංග්ෆු එතකොට බන්දුල හරිස්චන්ද්‍ර මහත්තයගෙ බෙලරපන් වගේ වීර කතා කියෙව්වෙ ඒවයෙ චරිතයක් වෙලා කිව්වොත් හරි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ලියන කියවන සහ අඳින හැකියාවල් මුවහත් වෙන්න ඒ චිත්‍රකතා බලපෑවා.

පහුගිය 3 වෙනිද පකිස්ථානෙත් එක්ක මැච් එක බලද්දි පකිස්ථාන් බෝලර් කෙනෙක්ට තිබුණ හතරැස් මූණ ඔය වීර චරිත මතක් කලා. (මැච් බැලෙන්නෙ නැති නිසා පොරගෙ නම ෂුවර් නෑ. සොහයිල් තන්වීර් වෙන්න පුළුවන්)

චමිදේවා said...

මමත් ඉස්කෝලේ කාලේ චිත්‍රකතා පිස්සෙක්... අපේ ගෙවල්වලට පත්ත ගන්නේ නෑ.. හංදියේ එක කඩේකට සහ සැලුන් එකට විතරයි ගන්නේ... ඉතින් සමහර දවස්වලට ඉකෝලේ ඇරිලා එනකොට, නැත්තන් ගෙදරට බොරුවක් කියලා හංදියට ඇවිත් තමා බැලුවේ.. එහම ඇවිදිනුත් නිදහසේ බලන්න ලැබුනේ නෑ.. මොකද අපිට ඉගැන්නුව එක සර් කෙනෙක් ගමේ කෙනෙක්මයි.. එයත් නොවැරදීම පත්තරේට වහ වැටිච්ච කෙනෙක්... චිත්‍රකතා පත්තරයක් බලනවා මාට්ටු උනොත් පහුවදාට ඉතින් බඩුම තමයි..:) මම මේ කියන්නේ 90 දශකයේ විතර ඒවා... ඒ දවස්වල බැලුවේ සිත්තර සහ සත්සිරි පත්තර දෙක... කතා නම් ඉතින් ඔක්කොම වගේ බලනවා...

අවතාර් said...

matath podi mathakayak thiyenawa chithra katha gana.

ඩෝසන් said...

ටෝගා කතාවත් මා ප්‍රිය කළ චිත්‍රකතාවක්. මා මේ සටහන ලීවේ මූලිකවම යුනිකෝ ගැනයි. යුනිකෝ ගැන තවත් දේ ලියන්නට බලාපොරොත්තු වන නිසාවෙන් ටෝගා සහ අනෙකුත් මා ප්‍රිය කළ චිත්‍රකතා චරිත මදකට අමතක කළා.

ඇත්තටම මේ සටහන මා ලියන බවට රංජිත් ට පැවසූවේ මීට වසරකට පමණ පෙරයි. හදිසියේම ඒ පොරොන්දුව මතක් වීමෙනුයි මේ ලියමන එලිදැක්වූයේ.

Ranjith Gamagea said...

xxබොහෝම ආසාවෙන් ඩෝසන්ගේ මේ ලිපිය කියෙව්වා..ආයේ දෙකක් නෑ මෙහි අන්තර්ගතය මේ විදියටම 100% ක්ම මගේ අතීතයත් එක්කත් ගැලපෙන්නේ ඔය ආකාරයටමයි.අපි දෙන්න සමවයසේ නිසා මේ කරුණුකාරණා අපි දෙන්නටම හරියටම ගැලපෙනවා ඇති..සිත්තර පත්තරෙයි,සුහද කියලා තව චිත්‍රකතා පත්තරයක් තිබුණා ඔය පත්තර දෙක මම අකුරු ගැටගගහා කියෙව්වේ මොන්ටිසෝරි යන්නත් ඉස්සරින්..හෝඩි පොත අනෙක් හැමෝටම ඉස්සරින් පාඩම් දීලා ඉවරකරන්න පුලුවන් උනේ මේ පත්තර දෙකට පිංසිද්දවෙන්න...මට මතකයි වාර විභාගක් තියන හැමවිටකදීම වාගේ අපි විභාගේට අරගෙන යන කාඩ්බෝඩ් ෆයිල් කවරෙ ඉස්සරයින් අනිවාරයෙන්ම අදින්නේ යුනිකෝව තමයි..මම විතරක් නෙවෙයි හැම පන්තියකම කොල්ලෝ මේ වීරයන්ගේ රුවක් තමන්ගේ ෆයිල් එකේ එස්සරහයින් ඇඳගෙන එන්නේ..තමන්ට බැරිනම් කාටහරි කියලා හරි ඇඳගෙන එනවා..ඒ අතීත මතකයන් ඇත්තටම හරිම ..හරිම සුන්දර මතක සටහන් අපේ ජීවිත කාලය පුරාම කවදාවත් මැකී නොයන...
ස්තුතියි ඩෝසන් ඔයාගෙ මේ ලිපිය ආයෙත් සැරයක්
ඒ රසපිරුණු අතීතයට මාව සැනෙන් අරගෙන ගියා...xx

ඩෝසන් said...

ඔබ කියන්නා සේම තවත් බොහෝ චිත්‍රකතා සහ චරිත අප ඒ කාලයේ ඇසුරු කළා.

ඇත්ත අපේ නොයෙකුත් හැකියාවන් මුවාත් වෙන්න මේ චිත්‍රකතා බලපෑවා. මම අත් අකුරු ලස්සනට ලියන්න ඕන කියල හිතට ගත්තෙත් චිත්‍රකතා නිසයි. මුල් කාලෙදි හෝඩියේ ටීචර් මට දොස් කීවා පෝස්ටර් අකුරු ලියන්න එපා කියලා...

ඩෝසන් said...

මා ජීවත් වූ පරිසරය චිත්‍රකතා වැනි නාගරික සංස්කෘතියේ සෑම ප්‍රවණතාවයක්ම හදිසියට මෙන් මිනිසුන් ගිලි දමනා පෙදෙසක්ව පැවතීම අප හට එම ප්‍රවණතා පරිශීලනයට බාධා නොපැන වූ බැව් සඳහන් කළ යුතුය. හැත්තෑව දශකයේ සිට අසූව දශකය තෙක් ගාලු පාර අයිනේ හෝටලයක සොල්දරයක ගෙවූ මාගේ ළමා විය ගැන කොතරම් දේ ලියා තබන්නට ඇත්දැයි මෙබඳු අවස්ථාවක මට සිතේ...

ඩෝසන් said...

e gena liyanna.

ඩෝසන් said...

ස්තුතියි රංජිත්.

යුනිකෝ ගැන වෙනස් ආකාරයක ලිපියක් ලියමින් සිටිමි. එය තව නොබෝ දිනකින් මෙහි තබමි.

මේ ලිපිය ලිවීමට මා පෙළඹූ ඔබේ සිතුවමටත් ඔබගේ දිරිමත් වදන්වලටත් මාගේ ළබැඳි තුති.

Nandasiri Wanninayaka said...

Thanks for sharing. Very interesting write up. I too will write a post about my experiences with cartoon papers. Thanks for sharing the two images too.

Sarath Chandrasiri said...

ගෙනිච්චා නේද ටිකකට අපිවත් අතීතෙට. මටත් ඒකාලේ ඔය අසනීපේ තදටම හැදිලා තිබුනා. මට මතකයි සිකරි,ඔමේගා, ස්කාගස්,සුද්දි,නෙලුම් සහ සමන්මලී,සදා,සඩ්න් වගේ ගොඩාක් කතා.පුදුම උනන්දුවකින් අපි ඒවා කියවුවේ. ස්තුතියි මතක්කල එකට නැවත. ජය...!

Chinthaka said...

මේ එක්තරා යුගයක්.... අපි මේ වින්ද දේ වෙනත් මාධ්‍ය වලින් මේ විධියටම නූනත් අද දරුවොත් විඳිනවා ඇති. ඔවුන්ගේ පෞරුෂයන් ඒ අනුව වැඩේවි. අතීත කාමය නැමැති සුන්දර ගංජා සුරුට්ටුව ඇදලා ඒ ලෝකෙට ගිහිං ආතල් ගන්න අපි හැමෝම ආසයි. ජයශී‍්‍ර ලගෙ සිංදුවක් තියෙනව ලමා විය ගැන කියවෙන. ඒකෙත් යුනිකෝ නිවිරෝ ගැන සහ චිත‍්‍රකතා පත්තර ගැන කියවෙනවා.

Dude said...

ඔවු ඩෝසන්, මටත් යුනිකෝ ප්‍රිය කරපු කාලයක් තිබ්බා. නමුත් මම වඩා ප්‍රියකලේ ජනක රත්නායකගෙ චිත්‍ර කතා වලට. 'කබලෙන් ලිපට', 'සුසීමා', 'අත්තික්කා මල්', 'පාට පාට හීනයක්' මතකද?

henryblogwalker the Dude

Anonymous said...

මමත් ඔබ සේම චිත්‍ර කතා පත්තර රස විඳි කෙනෙක්. සිත්තර , සුහද , මධුර, සිතුවම්, ආදී පත්තර ගණනාවක් ඒ කාලයේ තිබුනා. රූපවාහිනිය නොතිබුණු ඒ යුගයේ මෙය ජනප්‍රියම කලා මාධ්‍යයක්. සරත් මධු , ජානක ඉලුක්කුඹුර, ගුණපාල ජයලත්, රෆීක් ඩීන්,සුසිල් ප්‍රේමරත්න , ගොන්ගිතොට ප්‍රේමරත්න, සිංහ (ටෝගා ලියු) බෙම්මුල්ලේ හෙන්රි , ජනක රත්නායක මගේ මතකයට එන ශිල්පීන් කිහිපදෙනෙක්. සුමතිපාල ජෝතිපාල තවමත් පත්තරවල කාර්ටූන් කරනවා. ඉතින් ඊට පස්සේ ටෙලි ඩ්රාමා එකකුත් වුනා . වික්ටර් රත්නායක ගයන ඉතින් ඊට පස්සේ කියන ගීතය සහ තවත් ගීත කිහිපයක් එම කතා ඇසුරෙන් නිර්මාණය වුනා. මට මතක හැටියට සිත්තර පත්තරේ සන්වත්සරයකට තමය් ඒවා ලියවුනේ . ඒ මිහිරි මතකය යලි අවදි කලාට ස්තුතියි.
l

nihal gurusinghe said...

ඔබේ ලිපිය මා කොතරම් ඈතට අරන් ගියාද කියල කියන්නත් බැරි තරම්.
සතුට පත්තරේ කියවල ඉවර කරන තුරු ඉස්පාසුවක් නෑ. මමයි , නංගියි සතුට පත්තරේට කොච්චර රණ්ඩු වෙලා ඇද්ද ? මට මතකයි යුනිකෝ.. සනාරා දේවිය. ඒ සරත්මදුගෙ චිත්‍ර නිසා. ජනක රත්නායකගේ සුසීමා..ඉතින් ඊට පස්සෙ..

අන්තිම පිටුවේ ලොකු අඬු විහිදා ගත් අරුම පුදුම සත්තු ඉන්න චිත්‍ර කතාව.

නැවත වරක් ස්තූතියි මාව සුන්දර අතීතයට අරන් ගියාට.

Indika Dissanayake said...

ඇත්තටම...මට කියවන්න ආසාව ඇතිවුනෙත් චිත% අදින්න ආසාව මතුවුනෙත් යුනිකෝ නිසා... සුන්දර මතකයක්...ජය...

රොබින් said...

දැන් දැන් චිත්‍ර කතාවලට තිබුන තැන අඩුවෙලා නේද ? මමත් ඉස්සර චිත්‍ර කතා රසිකයෙක් තමා ..

Raigama said...

මාත් ඔබගේ සටහන ආසාවෙන් කියවූවා. මන් චිත්‍ර කතා පත්තර බැලුවා විතරක් නොවේ ඒවා එකතුත් කළා. සිත්තර කියන්නේ චිත්‍රකතා යුගයේ ස්වර්ණමය අවධියයි. අපේ ගෙදර පළමු සිත්තර පත්තරේ විතරක් නොවේ පළමු චිත්‍ර කතා පත්තරේ වන සතුටේ මුල් පිටපත පවා තිබුනා

itnishantha said...

අයියෝ මගේ සුන්දර ළමා කාලය. නැවත ඒ කාලය ලැබෙනවනම් ඕනෑම දෙයක් කැප කරන්න පුළුවන් කියලා හිතෙන්නේ

Anonymous said...

1980 දසකයේ මුල් කාලයේ චිත්‍ර කථා පත්තර වලට ලොකු ඉල්නුමක් කිබුනා මමත් ඒ කාලයේ ච්ත්‍ර තථා පිස්සෙක් සිත්තර සත්සිරි, සතුට , මධුර, දසුන,මිත්‍ර මිත්‍ර. ඹය තියන පත්තර ඔක්කොම අපේ ගෙසරා ගේනවා

Anonymous said...

ඩෝසන්ගේ වයස ගැන ලිපිය අනුව හිතාගන්න පුළුවන්. චිත්‍රකතා ගැන ඩෝසන් දන්න සියල්ල මෙපමණ නම් මේ ලිපිය නොලියන්නයි තිබුණෙ. මම අදහස් කරන්නෙ තීසිස් මොඩල් එකක් නොවෙයි. ඒක සිද්ද වුණු විදිහ. මේ කාලෙ දැනුම කියන්නෙ සල්ලි නිසා මම ලියන්නෙ නෑ. නමුත් එක උදව්වක් කරන්නම්. චිත්‍රකතා කේෂත්‍රය තුළ බන්ධුල සමරසිංහ යනු කවුද? චින්තන ජයසේන සහ බන්ධුල අතර තිබුණු වෙනස කුමක්ද? පුරවිජය සහ සුසිල් මාස්ටර් දක්වා ආභාෂ කොට ගැණුනු එංගලන්ත චිත්‍ර ශිල්පියා කවුද? යුනිකෝ සරත්මධු විසින් ස්කෙච් කරන කොට 1965 මුද්‍රණය කළ සගරාවක් බන්ධුල සමරසිංහට දුන්නා. ඒ සගරාවෙ නම මොකද්ද? මේ ලිපිය කියවල ආතල් ගත්ත කවුරුවත් චිත්‍රකතා සම්ප්‍රදායය එක්ක ජීවත් වුණු අය නොවෙයි. ඇත්තට ම බොරුවට ආතල් ගන්න එක මාර සොමි ඇති නේද? පත්තර තට්ටුවල තිබුණු පත්තර ශත විසිපහට අරගෙන ආතල් ගත්තු මහත්තුරු. අපිත් ඒ දවස්වල රෙන්ඩ ගියා දිවුල් ගස් යටට. රෙන තැන වැටිල තිබුණු දිවුල් අහුලං කකා අපි රීව. මම ගාව තියනව සිත්තර පත්තරේ මුල ඉදල. සත්සරිත් තියෙනව ඔක්කොම.ලංකාවේ ගහපු ඔක්කොම චිත්‍රකතා පත්තර තියෙනව කාමරයක් පුරවල. දෙන්ඩ ද පත්තර..... තාත්ත යුනිකෝ ද?