Sunday, October 26, 2014

මෙබඳු විචාරයක්!

මේ හෂිත අබේවර්ධන හකාවතිය දෙස බැලූ අයුරය.
මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර?

හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!

සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-

හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කීවාය. ඇය කවර හෝ කෘතියක 'භාෂාවේ' කොන් ඉලිප්පී තිබෙනු දැකීමට අකමැත්තීය. 'හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි' මම එහි කමෙන්ට් කළෙමි.

වෛද්‍ය ෆ්‍රොයිඩ්ගෙන් ඉහත උපුටා ඇති වැකිය කෙටිකතාවක් කියවා ගැනීම පිණිස පිවිසුමක් සපයයි. හකාවති කෙටිකතා කුඩා දවල් සිහින වැනිය. සමහරක් සංගීතය සහිත භ්‍රාන්තික සිහිනයන් ය. සමහරක් සංගීතය රහිත භ්‍රාන්තීන් ය. සිහින ප්‍රක්ෂේපණය වන ෆැන්ටසි තිරය මතට ප්‍රොජෙක්ටර් ආලෝකයක් එල්ල කළ විට පමණක් එබඳු සෙවණැලි භ්‍රාන්තීන් දැකිය හැකිය.

අජිත් තිලකසේන සිය කෙටිකතා මගින් ලංකාව නම් මනෝ දූපතේ වාසය කරන සත්ත්වයාගේ ද පුද්ගලයාගේද මනෝභාවය වෙත සිය ප්‍රොජෙක්ටර් එළි ධාරාව මුල් වරට විහිදුවා ලූ පසු ආපසු ගමනක් නැති විය. ඔහු අතින් සිදු කෙරුණේ පසු යටත්විජිතයක මිනිස් සබඳතා විශ්ලේෂණීයව කියවා ගැනීමට අවශ්‍ය ඛන්ඩණීය මැදිහත් වීමයි. ඉන්පසු තිරය මත වූ අංශු පමණක් නොව තිරය ඉදිරිපස හා පසුපස පාවෙමින් තිබෙන අංශූන් පවා පෙනෙන්නට විය. 

ෆැන්ටසි තිරයට අරක්ගත් එහි මෝස්තරය වන සළාවැටුමක් වෙයි. පවුල නම් එම සළාවැටුම් මෝටිෆ් එක [මාතිකාව]තිරයෙන් එළියට නොඉල්පෙයි හෝ පසුපසට එබී නොයයි. මේ කුඩා සළාවැටුම් රාශිය වෙත වෙනත් තරංග ආයාමයකින් යුත් එළිදහරක් එල්ල කිරීමට 1982 තෙක් කාලය ගත යුතුව තිබිණි. 'සර්පයෙකු හා සටන් වැද' [කේ කේ සමන් කුමාර] කෙටිකතා සංග්‍රහය උපදින්නේ එම සළාවැටුම් පමණක් බිම්බායමාන කෙරෙන කතා එකතුවක් ලෙසිනි.  සර්පයා සිය කෙටිකතා පොත පුරා කරන්නේ පවුල නම් කුඩා සිපිරි ගෙය චිත්‍රණය කිරිමයි. බෞද්ධ ප්‍රඥාමාර්ග සාහිත්‍යය යනුම මේ සිපිරි ගෙය හා එහි කැණිමඬල විදාරණය කිරීමයි. සර්පයා සයිමන් හා ජයසේන ජයකොඩි ගෙන් ප්‍රඥා මාර්ගය තවමත් සොයමින් සිටින්නේ නම් ඒ දැඩි මුළාවකි. 'කුටුම්භ විශ්ලේෂණය' නම් විෂයය තවමත් ඉපිද නැත. එහි විවිධ පැතිකඩ තාක්ෂණයන්ට සීමා වී වියුක්තව තැන තැන විසිර පවතී. තමන් වයස 18දී ලියූ මේ කතා ගොන්න කොන්ටම් ඔපරේටරයක් කර ගැනීමට සමත් වීමෙන් පමණක් සර්පයාගේ චතුෂ්කෝටිකය විසඳා ගත හැකි වෙනු ඇත.  

සිංහල කෙටිකතා සාහිත්ය ය එහි තෙවෙනි විශ්ලේෂණාත්මක පිම්ම පනින්නේ ඩෝසන් ප්‍රීති ගේ ‘හකාවති’ නිසා යැයි කීමට මම ප්‍රගල්භ වෙමි. [එයින් සංස්ලේෂණීය වින්දනාත්මක කෙටිකතා අවැඩදායි යයි ගම්‍ය නොවෙන බව සැළකිය යුතුය].  මිරැන්ඩා හි 'මිරැන්ඩා' හා 'සඳලතා' නම් ශ්‍රෝඩිංගර් බැළලියන් දෙදෙන සිංහල කෙටිකතාවට කැඳවා ඒම ම ඒ සඳහා ප්‍රමාණවත්ය. සඳලතා මියගියා නම් මිරැන්ඩා ජීවත් වුනාද? නැතහොත් සිදුවුනේ එහි අනෙක් පැත්තද? මේ 'ඉමැජිනරි පැරඩොක්සයේ' එක් පද්ධතියක් නැවතී අනෙක පටන් ගන්නා  තැන අතර සම්බන්ධය [අති පිහිතය] ප්‍රශ්න කිරීම ම දේශපාලනික අභියෝගයකි. බී 5 පිටු පහකින් මේ න්‍යායික අභියෝගය සූත්‍ර ගත කිරීම ෆැන්ටසි තිරයේ ප්‍රක්ෂේපණයන් කෙළ පැමිණි කෙනෙකු අතින් පමණක් සිදුවිය හැකිය.   

සුජාත පුත්‍රයින්ගේ වස්තුවේ යතාර්ථය වංගුවක් ගසන්නේ කාලයේ නැමීමක් ලෙස අවකාශය ද අවකාශයේ නැමීමක් ලෙස කාලය ද පවත්නා ලෙස උපකල්පනය කරවන 'පුරෝකථනය කළ නොහැකි' අවස්ථා ගණනාවකිනි. එහි ඇත්තේ සසම්භාවී අවකාශයක් පමණකි. කියවන්නා සවිඥානක වන්නේ එහි අන්ත ඵලයට පමණි එය 'හකාවති ගේ' උප්පරවැට්ටියකි. කතාවේ හරය වන්නේ ග්‍රහණය කරගත නොහැකි සිදුවීම් අවකාශයයි. කතාකරු 'ඩබල් ස්ලිට් [ද්විත්ව විවර]' පරීක්ෂණයේ මෙන් අපට පෙන්නන කොටස නිසා නොපෙනෙන කොටස උපකල්පනය කර ගැනීමට අවකාශ සලසයි. ආලෝකය අංශුමය නොවේ නම් මොන රෙද්දක් දැයි ඇසිය නොහැකි බව සුජාත පුත්‍රයාගේ මරණය සිහිකැඳවයි.    

රෝලන්ඩ් බාර්ත මහතා වියමන් වර්ග දෙකක් ගැන විමසයි. ඔහු රීඩර්ලි ටෙක්ස්ට් හා රයිටර්ලි ටෙක්ස්ට් යනුවෙන් බෙදන වියමන් වර්ග දෙක හකාවති සුගතදාස මහතා ගේ ජීවන වෘතාන්තය හා විනෝදාත්මකව පාහයි. කියවන්නිය අභියෝගයට ලක් නොකරන සුගතදාස මහතාගේ වෙබ් සාහිත්‍ය නොහොත් හෝද හෝදා මඩේ දැමීම නොහොත් අනවරත ස්වයං මෛථූනය -සුරතාන්තය මෙහි පරමාර්ථ නොවේ- නම් රීඩර්ලි ටෙක්ස්ට් එක විනිවිද දැකීමට උවමනා එක්ස් කිරණ ප්‍රහාරය 'විනෝදය' කෙටි කතාව විසින් කියවන්නිය වෙත ලබා දෙයි. විනෝදය රයිටර්ලි ටෙක්ස්ට් එකක් වන්නේ මේ විනිවිද යාම සංජානනය කර ගැනීම විසිනි. එම විනිවිද යාමෙන් අත්පත් වෙන 'දිව්‍ය සැපත' විනෝදයට වඩා පරමාර්ථ ය ට ආසන්න වෙයි.

2009 ඔක්තෝබරය වෙන විට ‘ලේ’ යනු ඉතා සුලබ හා ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය කොමෝඩිටියකි. සැපයුම ඉල්ලුම ඉක්මවා යාම ද එකවිටම සිදු වීම පල්ලමකට චූ කළ කුඩාවුන් දෙදෙනෙකුගේ චූ ගැලීමේ වේග තරඟයක් මෙන් විය. ලේ බීට් රූට් වතුර තරම් තුනී විය, චූ තරම අතිරික්ත විය. නිරීක්ෂකයා කතාවේ අග වෙන විට නැවතත් යතාර්ථය හා පැරඩොක්සිකව සම්මුඛ වෙයි.අර්බුදයට ගොස් ඇත්තේ යතාර්ථය නොව නිරීක්ෂකයා බව නිරීක්ෂකයාට ඒත්තු නොයන්නේ බොරැල්ලේ දාස ගොඩනැගිල්ල පාඩු ලබන බිල්ඩිමක් බව එය ඉදිකරන මොහොතේම තෙරුම් නොගත් මුදලාලි ට සිදුවූ අයුරිනි.

මේ අයුරින් හකාවති කියවා ගැනීම පහසු-අපහසු ක්‍රියාවක් වන්නේ එහි මතු පෙළ කියවා ගත හැකි නමුත් යටි පෙළ කවර වූ හෝ විශ්ලේෂණීය න්‍යායක් හා බැඳි ඇති බව සංජානනය කළ පසුවයි. හකාවති බ්ලොග් අඩවිය ලංකාවේ මුල්ම කෙටිකතා බ්ලොග් අඩවිය විය. 100% බ්ලොග් කෙටිකතා මුල්වරට පොතක් වූයේ හකාවති ගෙනි. ගැඹුරු කියවන්නන් අන්තර්ජාලයෙන් ඈත ඉන්නා නමුත් ගැඹුරු ලියන්නන් අන්තර්ජාලයෙන් ඇරඹිය හැකි බව හකාවතිගේ දෘශ්‍යමාන උදාහරණයයි. 

හකාවති ට දැන් බකන්නිලා සිටිය නොහැකිය. ඊළඟ පියවර තැබිය යුතුය.  

හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි !


Thursday, October 23, 2014

හකාවති ලද ප්‍රතිචාර


හකාවති එක්ක නොමග යාම

ඊ.ඒ. ඩෝසන් ප්රී තීගේ  'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පැමිණ තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන්ප්රීතතීරචකයාත් , මේ ලෝකයට පිටතදී ඇසු දුටු චරිත සේ මවා පා, ඒවා  මේ ලෝකයේ දී අසන්නට දකිනට ලැබෙන චරිත හා ගළපා ගන්නටඉඩ දී අපව නොමඟ යවයි.

ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්රීයතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්නට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති,  ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි.හකාවතියේ ජනප්රි යම කථාව 'මිරැන්ඩා' වන්නේ ඇයිදැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරැන්ඩා නිමවා ඇති සිනමාරූපී ගතිය මගින්  ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා, ඒ වූවා ද නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විලාසය කියවන්නා අවුස්සනේ දැයි මම නොදනිමි.

හකාවතී, කතා එකතුවේ සියලුම කතා පිළිබඳ මා තුළ බොහෝ දුරට ඇත්තේ  සමාන හැඟීමකි. ඒ කතා සියල්ලම එකක් අනෙක පරදවන තරමේ ප්රිබල හෝ දුබල ලක්ෂණ නැති ඒවා ලෙස මා දකිනා නමුත්, හැම කතාවක්ම එකිනෙකින් වෙනස් වූ ඒවා මිසක නැවත නැවත එකම දේ කියා පාඨකයාව පීඩාවට පත් කරවන ගතියක් ඒවායේ නැත. ඩෝසන් ප්රීකතී මරණයත්, විද්යා වත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත් ඔහුගේ අනෙක් නිර්මාණ නොවිඳ නිගමනයකට එළඹීම නිවැරදි නොවේ. සමහර විටෙක මේ කථා එකතුවේ ඔහුගේ කථා සැරසවීමේ උපාංගය විද්‍යාව වූවා විය හැකිය. මරණය කොහොමටත් කොතැනත් නොවැළක්විය හැකි කාරණාවකි.

යම් දුරකට අසාර්ථක කථාවක් ලෙස 'විනෝදය' මා දිකින්නේ තනිකරම රචකයා විසින්එකතු කළ'ප.ලි.' කොටස නිසාවෙනි. ඒ කිරි කළයක් දොවා ගොම බින්දුවක් දැම්මා සේය. ඩෝසන් ප්‍රීති එවැන්නක් කරන්නට ඇත්තේ ඒ කථාවේ එන ‘සුගතදාස’ නම් චරිතය අහවල් පුද්ගලයා වේ යැයි සමාජය විසින් තීරණය කිරීම නැවැත්වීමට විය යුතු යැයි මට හැඟේ. නමුත් ඒ බේරා ගැනීම පහළින් නොලියා කථාව තුළම ඉදිරිපත් කිරීමේ දක්ෂකම ඔහු අතින් මඟ හැරීම අපරාදයකි. නො එසේ නම් අමුතුවෙන් තේරුම් කරන්නට නොගොස්, කියවන්නාට රිසි ලෙස අර්ථය පහදාගන්න ඉඩ දෙන්නට තිබුණේ යැයි මට හැඟේ.ලේඛකයෙක් පිළිබඳ තවත් කෙනෙකු තුළ ඇති ඉරිසියා සහගත මානසිකභාවය සහ අවිචාරක හැඟීම කියවන්නාට දැනෙන ලෙස ලියා ඇති ඒ කථාව පාද සටහනක් නොයොදා සම්පූර්ණ කළ යුතු වූ එකකි.නමුත් 'ඔන්ලයින් පාංශකූල' කථාවේ එන සටහන් දැමීම, ඉතා ඵලදායි ලෙස කථාව ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් වන අතර ඒ අපූරු සැලැස්ම සිත් ගන්නා සුළු එකකි.කථාවක් ලියන්නට නියමිත නිතී රිතී නැති කාලයක, ඩෝසන් ප්රීනති ශිල්පය එලෙස අත්හදා බැලීම පැසැසුමට ලක් කළ යුතුය.

හකාවතී තනිකරම, සමාජය පිළිබඳ සෝදිසියෙන් සිටිනා පාඨකයින් වෙනුවෙන් එවැනිම රචකයෙකු අතින් ලියැවුණ කතා එකතුවකි. ජංගම දුරකථනයේ මුහුණ ඔබාගෙන ජීවත් වෙන, කිසි දිනෙක තරුවක් කඩා වැටෙණු නොදකින, වැහි බිඳුවක හැඩය නොදන්නා තරුණ පරපුරක් බිහි වී ඇතැයි ගතු කීව ද, එසේ ඇබ්බහි වීමට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කළ වැඩිහිටි පරපුර අපි වන්නෙමු. අපටම අප සොයා ගත නොහැකි ලෙස තැන තැන අතරමං වී ඇති අප, ස්වභාවික උවමනාවන්, ඒවා පිරිමහන්නයි ඉල්ලා කෑ ගසද්දී, ගහල ගාලකට මුවාවී, සරණංකර පාරට හෝ අන්තර්ජාලයට ගොඩ වැදී හෝ ඒවා නිදහස් කරන්නට හැකි නම් එසේ කරණා ස්වභාවික සත්තු කොට්ටාශයක් බව හකාවති කථාවල අවංකව කියැවේ. 

මානුෂික හැඟිම් සහ සම්බන්ධතා හුදෙක් ප්රේදර්ශනය පිණිස ම හැඩ ගසා, බොන්සායි පැළ සේ හීලෑ කිරීමක නිරත වන, නිතර අනෙකා දෙස පූර්ව වීශ්වයකට එළඹී සිටිය යුතු යැයි බියෙන් පසු වෙන සමජායකට ඩෝසන් ප්රීනතිගේ හකාවතී කතාවලින් ඉගෙන ගත හැකි දේ බොහෝය.

හිමාලි එන්.ලියනගේ


Wednesday, October 1, 2014

Saturday, September 20, 2014

සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!

සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!

හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත.

නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ.

ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න.
එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ප්‍රශස්ත ලියැවිලි ත්‍රිත්වයකට සුචරිත ගම්ලත් ශබ්දකෝෂය බැගින් ත්‍යාග ප්‍රදානය වේ.

පොත් පත් කියවන සැමට ආරාධනා!

f


Friday, September 19, 2014

හකාවති


හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.
හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.
හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු කතා හකාවති බ්ලොග් අඩවියේ එල්ලා තැබුණි.
හකාවති ජනප්‍රිය බ්ලොගයක් නොවුණි. මගේ අත්වල ඇඟිලි ගාණටත් අඩු පිරිසක් වෙනුවෙන් ඒ කතා මම ලියා පළ කළෙමි.
කියවූ අය අතර පමණක් මෙය මුද්‍රිත මාධ්‍යය වෙත යොමු කළ යුතු යැයි අදහසක් ගොඩනැගුනේ මීට වසර ගණනාවකට පෙර සිටම ය. ඒ මන්දැයි කිසිවෙකුත් පැහැදිලි නොකළද මට ඒ වදන් ඇසූ වාරයක් පාසා ඇති වූයේ අතිවිශාල භීතියකි. මේ මා ලියන්නේ සාහිත්‍යයක් නොවන බැව් මම ඉඳුරා දත් නිසාවෙනි.
හකාවති ලියන්නට මා හට රුකුලක් වූයේ තරංග ජයසේන ය. හකාවති බ්ලොග් අඩවියේ ප්‍රථම පසුතලය සාදා දුන්නේ ද ඔහුය. ඔහු මාගේ කතා කියවා මා දිරි ගැන්වීය. මා ලියූ දැයක රහක් ඇතත් නැතත් තලුමරා අගේ කොට මා රවටා ඇති බැව් මා දැන ගන්නා විට බොහෝ කතා මා ලියා අවසානය. ඒවා දැං ඒ ලියූ තැංවලම එල්ලී පණ අදිමින් සිටිති. තවත් කතා එලෙස එල්ලී සිට මැරී ගොස්ය.
මේ පණ අදිමින් මැරි මැරී ඉපදෙමින් හුන් කතා වස්තුවලට නව ජීවයක් පිඹින්නට සහෘදයන් පිරිසකට වුවමනා විය.
ඒ හමු වූ ස්වල්ප අය අතරින් බොහෝ අය හකාවතිය සමග බැඳුනි. ඒ අය අතර හෂිත අබේවර්ධන සහ සචී පනාවල ද මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ද සුවිශේෂී වෙති. මේ අය මගේ කතාවලට සැබැවින් ම එබී බැලූ අය වූහ. මුල්ම ලියැවිලිවල මගේ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස සකස් කර මා දිරි ගැන්වූවෝ ද ඔව්හු ය.
ලිෂාන් පුවක්ඕවිට හකාවතියේ පසුතල සකස් කරමින් මට උදව් වූයේ සෑහෙන කලක සිටය.
තවත් බොහෝ අය මට නොයෙක් ආකාරයෙන් සමීප වන්නට මේ හකාවති කතා හිණිමගක් විය.
කෙසේ වුවත් මුද්‍රිත මාධ්‍යයට මේ හකාවතිය ගෙන ඒමේ ප්‍රමුඛයෝ කීප දෙනෙක් වෙති. හෂිත අබේවර්ධනගේ අතිමහත් කැපවීමෙන් සකස් කෙරු‍නු අත් පිටපත සම ප්‍රකාශකයන් විසින් මුද්‍රිත මාධ්‍ය යෙන් එළි දක්වන්නේ සංජීව වඩිගමංගාව මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය යන සොහොයුරන්ගේ අප්‍රමාණ කැප වීමෙනි.