Friday, January 15, 2010

වලයාකාරය සූර්යග්‍රහණය නොහොත් පැරදුන චන්ද්‍රා


නගරය බිහිදොර
යෝධ කටවුට් අහස සිඹ සිඹ

වසන්නට දෝ හෝ හිරු
කාඩ්බෝඩ් දෑත් අහසට දිගු වුන

නගර මාවත් පටු මං පෙත්
කටවුට් සෙවණැලි වලින් අඳුර විහිදුන

චන්ද්‍රා ද සිහිසුන්ව සපැමිණ
මේ සුනඛ තරගයට අද දින

විලියෙන් ඇඹරී වසා සූරිය අඩලය
බැස ගියේ පරාජිතව ද රැඳී හෝරා කීපය?
කටවුට් වලට පැරදුන දුර්වල චන්ද්‍ර වංකය
ආයේ කවදා දකිමුද පූර්ණ සූර්යග්‍රහණය?

සූර්යයා වැසී යන්නට තරම් අහස උස කටවුට් නැගි දෙරණ ඉහලින් චන්ද්‍රයා ද සිය ගමන් පථයෙන් සපැමිණ සූර්යයා වසා දමන්නට හැකි දැයි බලා අසමත්ව මුසුප්පුවැ අහස් කුසින් මිදී ගිය හැටි නිමිති විය.

ඊ ඒ ඩෝසන් ප්‍රීති
150110

Thursday, January 14, 2010

ලන්ඩන් වගෙද හුංගම


ලන්ඩන් කවියක් ඇවිත් තටු විදා
මොනිටරේ හැපි හැපි ලතැවුනා
හිම කෙඳිති දිය සැඟවු
කඳුළු ලෙස වැගිරුනා

පැරණි කිවිඳුන්ගේ ශෛලමය ප්‍රතිමාව
නුඹ මෙන්ම ගැහි ගැහී හීතලේ හිම වැසී
වේදනාභරිතව ඇනී ගත සියුම් කටු තුඩු
සීතල තියුණු හිමමය ඇල්පෙනෙති වැනි

මුමුණන අලුත් කවියක්...

එනමුදු කොතරම් ලං වුවත්
නුඹටවත් නො ඇසෙන
නියොන් දත් ලන්තෑරුම් නියවන
ලන්ඩන් සීතලේ

දැල්වී අඟුරු
සපැමිණි පතලකින් ලෝ පතුල
උදුනකින් වෑස්සෙන
රන් පැහැති රශ්මි ගිනි දළු
අතරින් වැගිරුන ශෝකයේ උණුසුමින්
දුක්භරිත හදවතේ දැල්වූනේ නිල් දැල්ල
අධික තාපයෙන් රක්ත තප්තව

ලෝකයේ උස් මිටි කම් තව ඇද්ද?

ජනේලෙන් පිටතට

විසිකරන නුඹේ ඇස්...

නොදුටු තැන් ‍‍‍
නොවිඳි රස
නොනැගි මුදුන්
නොනිදි සයනයන්
නිදිනොවැදි ලඳුන්
තව කොතරම් ඉතිරි ද?

කොයි තරම් වෙනස් ද ලන්ඩන් අහස?
සුළඟෙත් ඇතිය විටමින්
නොදැනේ ද
කිලිපොලන සිරුරට?

උත්තරාර්ධ ගෝලය ද මේ?
තරු වුනත් ලස්සනයි වටකුරුයි
වෙනස් වගෙයි
ඇඹිලිපිටි අහසේ තිබ්බට වඩා

සිතමි මම ‍
නුඹගේ ඇස්වල තැවරුන
නොනිමි ‍ඒ කවි රාව

ආකාහේ කෙළවරක
කිසිදාක ‍
යළි නොඑන ලෙස
මළ හිරු ද
සිය රැස් දහරේ
මන්ද දීප්තියෙන් ගිලී
මළානිකව දිලෙන අයුරු
මරු දැක දැක ක්ෂිතිජ ඉම...
කොළඹ අහස වාගෙම ද?
හමනව ද කඩල සුවඳ මුසු දූවිලි හුළං පොද

ලන්ඩන් කවිය
තී නිසා
දුටිමි මම නුඹේ ඇස්වල
හිම කැටිති ලෙස මිදී ගිය
උණුසුම් කඳුළු බිඳු
ඒ මළානික හිරු එළියේ...

ලන්ඩන් වගෙද හුංගම
නර බිල්ලකුත් අරං දන්නව ද නුඹ?
හීතල නිසා නුඹෙ සිත
නොපවසමි තව විස්තර

ලන්ඩනය දුක්බරද ඔතරම්ම?

උත්තර අරන් එන බව දනිමි
අහස් ගැබ පලා හෙට අනිද්දට නුඹ

ඊ ඒ ඩෝසන් ප්‍රීති
140110

හෂිත අබේවර්ධන ගේ ලන්ඩන් කවියක් නිමිති වුනි.