Tuesday, May 13, 2014

කවරය හැර ගිය ලියමනක් ලෙස...

මහ රැයේ
ආදරයේ උණුසුම් වදන් ලියා
සිව්කොන් නවා-කවරෙක බහා
යටිතොල අතුරා-තිර ලෙස අලවා
පොත් තුනක බරින් තෙරපා
උදෑසන හිරු එළිය වැටෙන තුරු
දෑසින් දෝවමි
ඒ ආදර වදන් කීපය
උණුසුමින් රැකෙනු ලෙස
සීතලෙන් නොමියෙන ලෙස

ගර්භාෂයේ සිටියාටත් වඩා
උණුසුමින් තෙරපී හුන්
පැටිවියේ ඔබෙ වස්ත්‍ර ජාලයේ
මල් සුවඳ පරයා-බූමිතෙල් සුවඳින් පෙඟුනු
රතු නිල් කහ මල් වැටුනු-චීත්ත රෙදි ආදර සන්නාහයේ
නැහැය ඔබා ගෙන මා සිහින දුටු අතීතේ
යලි සිහිකරවන-මග හැරුනු බව-අතැර යන්නට
ඒ දුක්ගැහැට අතීතෙන්

යලි යලිත් මා පුබුදන
යලි යලිත් මා අවදි කරන
ඒ නැලවිලි මිමිණිලි ඔස්සේ
මම යලි යලිත් ඔබට ලියමි

ආදර අම්මේ
ඔබේ දෑස් මත පතිත වනු තුරු

ඔබේ ආදරය ගැන
මේ කුරුටු යාදින්න
අකලට ලියැවුනු
කවරය හැර ගිය ලියමනක් ලෙස...

13/05/2013