Saturday, December 19, 2009

දඩයමේ යද්දී



දඩයමේ යද්දී
මුකලාන වල
මහ රාත්තිරියේ
විදුලි පන්දම ඉහත්තාවෙන් අල්ලන්
ඇඟෙන් එලියට අත දිග ඇරන්
අනිත් අතින් කෙවිටක් අරන්
කෙවිටෙන් මග පහර පහර යන හැටි
දඩයම හුරු අයට
කියන්නට ඕන නැත

මුකලානේ සතා සරුපයා පැන්නත්
පනින්නේ එලියට!
එලිය දිහාට
ආලෝක පුල්ලියට
ආලෝකය සොයමින් තමයි
සතා සරුපයත් ඝණ අන්ධකාරේ ඉන්නේ
උන් එලියට බය හින්දයි
ඒක ඉලක්ක කරලම පනින්නේ

ඒ හින්දා ඉස්සරහට කරන් පන්දම අල්ලන්
දඩයමේ නොවෙයි
නිකමටවත් මුකලානේ නොයන්
රාත්‍රියේ...

ඊ ඒ ඩෝසන් ප්‍රීති
191209

Friday, December 18, 2009

පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය


පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය

තව මාස කීපෙකින්
පුවත් පත් පිටු පුරා
ලියැවෙනු ඇත

විග්‍රහ
විශ්ලේෂණ
සමාලෝචන
ඡන්ද පදනම පිළිබඳ ගණිතය

කියනු ඇත කවුරුත්
ඥාති මිත්‍රාදීන් දිවුල් ගහ මුල

තම තමන් තම යුතුකම
ඉටු කළ බව
මහජන මුදල් විසි කොට
බිලියන ගණනක!

අච්චු ගැසූ නෝට්ටු කොල
පාව යනු ඇත
ලයිට් කනු මත වොරැඳුනු
ධජ පතාක ගුවනේ ලෙල දුන්
වේරම්බ වාතයට හසුව තැන තැන

නිදිගත් මහැදුරන්
එලි බහිනු ඇත
ලියැවෙනු ඇත
කප්පරක් ප්‍රහසන

තාන්න මාන්න ගිලිහුනු
ක‍දෝපැණියන්
දඟලනු ඇත මරු විකාරෙන්

ඇදෙනු ඇත එලියට
ගිල ගත් ගොදුරු අජීර්ණව
දුර්ගන්ධයෙන් විසාලාවද
පරදවනු ඇත

ගිනි ගනු ඇත සක්වල
දියව යනු ඇත හිමගිර
ලෝකාවසානයට පෙර
අතුගෑවෙනු ඇත ගෝත්‍රික ක්‍රීඩාව

කන්නට නැති වුවද කුසට
ඉවසිය නොහැකි දුක්ඛාන්තයන් මැද
අනන්ත ප්‍රහසනයෙන්
පිරී ඇත හෙට දවස


ඊ ඒ ඩෝසන් ප්‍රීති
181209

Tuesday, December 15, 2009

වානිජ කලාකරුවනි


වානිජ කලාකරුවනි

නුඹලා වානිජ කලාවේ නියුතු වූවෝ වෙති
කතෘභාගයෙන් ජීවත් වන්නාහු වෙති
ප්‍රතිභාව විකුණා කමින් ඉන්නාහු වෙති
පාලකයන්ගේ දෙපතුල් සිප ගන්නෝ වෙති

වරප්‍රසාද වෙනුවෙන් රසික ජනයා ගිලටීනයට තල්ලු කරන්නාහු වෙති
සත්‍ය වෙනුවට අසත්‍ය වර නංවා පද තනු පිහිටුවා ගායනා කරන්නාහු වෙති
සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය සාධාරණය කරනු පිණිස ලියන්නො වෙති
සමානාත්මතාව වෙනුවට සිය කුස පුරවා යෙහෙන් කල් ඇරීමේ වෘතය රඟ දක්වන්නෝ වෙති

වැඩිපුර මිනිසුන් ලොල්‍ දේ සොයමින් ඉන්නාහු වෙති
මිනිසුන් ගේ ඥානාක්ෂිය පොට්ට කරමින් නිර්මාණයේ යෙදෙන්නාහු වෙති
‍තොපි කවර කලෙකවත් සැබෑ මිනිසුන්ට කලාවේ ආලෝකය දැල්වූවෝ නොවෙති
තොපේ නිර්ණායක අසන්නට තවමත් රසිකයන් රොද බැඳ ඇතැයි සිතන්නා වූ මුග්ධයෝ වෙති

කොම්පැනිවල මොණර කොල මිටියේ ආනුභාවයෙන් ද
ඔවුන්ගේ බඩු මුට්ටු විකුණා ගත හැකි ලෙස ඉඩ කඩ පාදා දෙවන ම්ලේච්ඡ මාධ්‍ය තරගයේ
පිටපත් රච‍කයෝ වෙති‍
ජනතාව සදාකල්හිම අඥානයන් කිරීමේ කොන්ත්‍රාත්තුව විහින් පවරා ගත්තවුන් වෙති

තොපේ ප්‍රතිභාවේ ආනුශංසයෙන් බාල කිරිපිටි සහ කෑම සාමාන්‍ය මිනිසුන්ගේ ඇගේ ගැසෙති
තොපේ ප්‍රතිභාවේ ඇනවුමෙන් මිනිසුන් ලොතරැයි සූරා දෛවය සොයති
නාඩගම් කරුවන්ට වෙස් අඳිති
තොපේ ප්‍රතිභාවේ අත්‍යන්ත ඵලය මිනිසුන් වල්මත් කරන්නට පමණි
තොපේ ව්‍යාජ නිමැවුමේ රසාස්වාදයෙන් තරුණයෝ නින්දට වැදෙති
තොපේ නිරුවත් කුහක ජීවිත පුවත්පත් පිටු අතර වෛවර්ණ ඡායාරූප මත පනුවන් සේ නලියවති

තොපගේ නිර්මාණ ද
තොපගේ අනුශාසන ද
පාලක පන්තියේ මුග්ධයන්ගේ වහසි බස් අතර
දියව යනු ඇත

නුඹලා නියම ගණනට විකිණුනේ යැයි වහසි බස් බෙනෙනු ඇත

ඊ ඒ ඩෝසන් ප්‍රීති
151209

Monday, December 14, 2009

අලුත්ම අලුත් ...


අලුත්ම අලුත් ...

රැයක් ගෙවී හිරැ උදාවන
ඇසිල්ලක මට යලි උපත ලද හැක
දින සති ගෙවී වසරක් පිරිසරා
එළඹිය හැකිය නව කාල පරිච්ඡේදයකට

අලුත්ම අලුත් මිනිසෙකු ලෙසින්!

කොයි තරම් අලුත් දැයි කියතොත්

අලුත් අම්මෙක් අප්පෙක්
සහෝදරියක් සහෝදරයෙක්
ගමක් බිමක් වටපිටාවක්
යහලුවන් යෙහෙළියන්
විතරක් නොවෙයි
අලුත්ම අලුත් අතීතයක්
අලුත්ම අලුත් ඉතිහාසයක්
අලුත්ම අලුත් දැක්මක්
අලුත්ම අලුත් දර්ශනයක්

තව තියේ...

අලුත්ම අලුත් ...
පාක්ෂිකයන් නායකයන්
අනුගාමිකයන් උපදේශකයන්
පාලකයන් බලධරයන්
සතුරන් විරුද්ධ පාක්ෂිකයන්
කෙටියෙන් කියතොත්
අලුත් ආණ්ඩුවක් වුනත්!

අලුත්ම අලුත් කර ගත හැකි තරමට
ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී ඇත

එසේ අලුත් නොවිය හැකි නම් මිනිසෙකුට
පෙරදින හමගසා ලූ ඌරකු සමග
අද දින මගුල් කෑ හැකි ක්‍රමවේදයක්
මිහි මත වෙත්දැ?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
141209