Friday, December 3, 2010

බත් වෙනුවට බූන්දි කමු ද? දීප්ති කුමාර ගුණරත්නට නිවැරදි කිරීමක්



ඊයේ 2010-12-02 වන බ්‍රහස්පතින්දා "24වන සියවසේ භෞතිකවාදය" නම් වූ තේමාවෙන් වූ දීප්ති කුමාර ගුණරත්නගේ දේශනය අසන්නට මම ජයවර්ධන කේන්ද්‍රය වෙත ගියෙමි.

"පෙරදිග සුළං" අලුත්ම කලාපයක් සහ පෙරටුගාමී පක්ෂයේ ඉදිරි ‍වැඩපිළිවෙල පිළිබඳ වූ ඩීවීඩි තැටියක් ද ඔවුන් එම ශාලාවේ මිල දී ගැනීමට කටයුතු ‍යොදා තිබුණි.  
මෙම ඩීවීඩි තැටිය පරිගනකය ආධාරයෙන් නැරඹිය හැකි බැව් දැන ගතිමි.

"පෙරදිග සුළං" අලුත්ම කලාපය ‍මින් පෙර පළ වූ කලාපවලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. එය පිටු 250කින් යුත් මධ්‍යම ප්‍රමාණයේ ග්‍රන්ථයකි. එහි මිල රුපියල් 150ක් ලෙසම පවත්වා තිබීමද සුවිශේෂි කාරණයකි.

පොතක් වශයෙන් එය සාරගර්භය. නැවත නැවතත් කියවීමට ලක් කරන්නට හදාරන්නට බොහෝ දෑ එහි අන්තර්ගතය.

මාගේ මෙම සටහන එම පෙරදිග සුළං 7 වන කලාපයේ 99 වන පිටුවේ සඳහන් කරුණක් අරභයා කිසියම් නිවැරදි කිරීමක් කිරීමේ අභිලාෂයෙනි.
99 වන පිටුවේ උපමාතෘකාවක් මෙසේ දැක්වෙයි.

උපු‍ටා දැක්වීම ආරම්භය.

බත් වෙනුවට බූන්දි කමු ද?

හේතුව එය යොදා වැඩක් නැති ක්ෂේත්‍රවලට එනම් ආත්මය ලෝකය දෙවියන් වැනි දෑ යෙදූ විට අප ගමන් කරන්නේ මායාවන් දෙසටය.කෙනෙකු මිනිසාට ආත්මයක් යනුවෙන් සාරාර්ථයක් පවතින්නේ යැයි සිතා එය ඔප්පු කිරීමට ගිය හොත් සිදු වන්නේ කුමක් ද? මේ මෑතක දී වෙබ් අඩවියක ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපටයක් ගැන පරිවර්තනයක් පළ වූ අතර එය කියවූ පාඨකයෙක් පරිවර්තකයා ගෙන් මෙසේ අසා තිබුණි.

"මේ ගැන දීප්ති මොනව හරි ලියල තියෙනවද? එහෙනම් ඒ ඒ කොතන ද? "

මින් දැඩිලෙස ප්‍රකෝප වූ පරිවර්තකයාගේ උත්තරය මෙවැනිය.

"මට පේන විදියට දීප්ති ගැන භක්තියක් තියෙන චෑං චූං කෙනෙක් ඔයා. දීප්ති මනෝවිශ්ලේෂණය හැමදෙනාටම යොදනව. හැබැයි එයා කිසිදවසක එයාගේ ස්වාත්මය විශ්ලේෂණය කරන්න මනෝවිශ්ලේෂණය යොදා ගන්නේ නැහැ."

මේ පරිවර්තකයා නොදන්නේ මනෝවිශ්ලේෂණයට අනුව ස්වාත්මය කියා දෙයක් නොමැති බවය. ලංකාවේ ලින්ච් පරිවර්තකයන් සමීප වන්නේ ලින්ච්ගේම ප්‍රබන්ධ චරිතයක් වූ බොබී පේරුටයි. බොබී පේරු යනු ඔබගේ ෆැන්ටසිය අවුස්සා එය හෙළිදරව් කර "පස්සේ හැමනෙමු-දැන් බැහැ" කියන වර්ගයේ චරිතයකි.

උපු‍ටා දැක්වීම අවසානය.

මෙම සඳහන් කිරීමේ දී දීප්ති විසින් කරන ලද උපකල්පනය නම් එම ලිපියේ ප්‍රශ්න ඇසූ අයට පිළිතුරු සපයා ඇත්තේ එහි පරිවර්තක වන මා විසින් යැයි කියාය. මෙය සාවද්‍ය නිගමනයකි. මා එම ලිපිය පරිවර්තනය කර බූන්දි වෙබ් අඩවියේ පළකරන්නට එහි වැඩ දෙපාර්තුමේන්තුවට යොමු කළ පසු කිසිදු ආකාරයක අතරමැදි වීමකට යොමු වූයේ නැත. කොටින්ම පළමු ප්‍රතිචාරයෙන් දුර්මුඛ වූ මා හට එහි දෙවන කොටස පළ කිරීමට පවා උනන්දුව ගිලිහී යන්නට තරම් විය.

නැවතත් අවධාරණය කළ යුත්තේ මවිසින් 2010-03-25 වන දින බූන්දි වෙබ් අඩවියේ පළ කළ ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා [1] යන පරිවර්තන ලිපියට පහත දක්වා ඇති ප්‍රතිචාර ලැබී තිබුණු බවත් මෙම ප්‍රතිචාර කිසිවකටත් මාගේ සම්බන්ධයක් නැති බවත්ය. එම ලිපියේ පරිවර්තක ලෙස මා එම බාහිර පුද්ගලයන් නැගූ කිසිදු ප්‍රතිචාරයක් උදෙසා පිළිතුරු බැන්දේ නැත.

[A. Amarasekara] මෙහෙම කියනවා :
@green sun
where has deepthi kumara gunarathna written on this film? can you give me the reference pls.

@dosan
I dont find any problem with your translation. all these are nonsense. green sun looks to be a "චෑං චූං" who has a faith on DKG. DKG applies psycho-analysis on all others. but ridiculously he never examines his own soul.

කිවුව වෙලාව- 2010-04-05 22:11:44

[green sun] මෙහෙම කියනවා :
Deepthi kata puka dunnama moakda...mama kiyanne mama kiwe oya film eka gana leyala thiyena Deepthige Article eka kiyawanna kiyala.......hamogema puka nathiwela enna rate Deepthi puka depuhama mokadda thiyena prassne....
කිවුව වෙලාව- 2010-04-03 01:49:40

[Pathum Senanayake] මෙහෙම කියනවා :
Deepthita Baninna Deyak Deepthi Methana Karala Nane.
Eya Me Issue Ekata Kisima Sambandayak Nane.
Ai Eyata Baninne?
කිවුව වෙලාව- 2010-03-31 23:26:42

[Anno] මෙහෙම කියනවා :
@green sun
oya deepthita puka denna kalin apita kiyanawada deepthi dan me dawaswala katada puka denne kiyala?
mangalatada? ruwantada? raniltada?
කිවුව වෙලාව- 2010-03-29 23:16:27

[Pathum Senanayake] මෙහෙම කියනවා :
green sun Deepthige Mona Article Ekada Kiyawanna Ona
කිවුව වෙලාව- 2010-03-29 01:19:54

[ කුන්දේරා] මෙහෙම කියනවා :
''මහලු මළවුන් තරුණ මළවුන්ට ඉඩ දිය යුතුය.''
කිවුව වෙලාව- 2010-03-28 00:23:18

[green sun] මෙහෙම කියනවා :
translat eka anthimai....Deepthige Article tikak kiyawanna....ethakota wede goda daganna puluwan wi.....
කිවුව වෙලාව- 2010-03-26 06:29:43

මෙම කාරණය මා දීප්තිගේ දේශනය අවසානයේ වූ කෙටි පිළිසඳරේ දී ඔහුට පැහැදිලි කර දුන් අතර මෙම සාවද්‍ය නිගමනය මතු යම් දවසක නිවැරදි කරණු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

ඔබේ සිහිනය ලේඛකයකු වන්නද?

Thursday, December 2, 2010

හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero


කිසියම් අගයක් සහිත පුද්ගලයෙකුට [1] නිකම්ම නිකං කිසි වටිනකමක් නැති හිස් මිනිස්සු [0] එකෙක් දෙන්නෙක් එකතු වුනාම ඒ සමස්තයට කොයිතරම් ඉහල වටිනාකමක් එනවද කියල හිතා ගන්න පොළඹවන අයිරනි නාමකරණයකින්ම ඇරඹි මේ "වැඩේ" දී අර එක වගේ ඉන්න පරිපූර්ණ ඒකක පුද්ගලයා කවුද-කින්ද-මන්ද කියන එකත් යට වෙලා යන තරමට දැං "වැඩේ" සංවර්ධනය වෙලා "වැඩේට" එකතු වුන සියල්ල ම සමපිළිගැනීමට ලක්වෙලා තියෙද්දියි මේ සටහන ලියන්නේ. ඇත්තටම විය යුත්තේ පුද්ගලයන් ඉස්මතු වීමට වඩා කණ්ඩායම් ප්‍රතිඵල ඉස්මතු වීමයි. එතන දී අර මූලිකත්වය ගත් පරිපූර්ණ හෝ අපරිපූර්ණ හෝ මොංගල් හෝ වේවා, පුද්ගලයා හෝ පුද්ගලයන් වැදගත් වන්නේ නැහැ. මේක අපේ රටේ දී අලුත් අත්දැකීමක්. කොහොමටත් ඕනම දේක මූලිකත්වයක් ගන්න අයෙකු අවශ්‍ය වුවද කාලයත් සමග එය පුද්ගල ප්‍රපංචයක් ඉක්මවා යන ඊට ව‍ඩා විශාල දෙයක් බවට පත්වීම, මාධ්‍ය සහ නිර්මාණකරණ ලෝකයේ සුලභ අත්දැකීමයි. ශ්‍රම විභජනය යනුම සූරා කෑමේ සංවර්ධිත අවස්ථාවකි. සාහිත්‍ය, කලා, මාධ්‍යය නිර්මාණ ක්ෂේත්‍රයේදී ආශිර්වාදයකි.

තවත් අතකට මේ අයිරනි කෙ‍රුවාව මේ විදියට ද විකේතනය කර ගත හැකිය.

එක [1] කියන්නේ හරියට ශරීරයක් නම් බින්දුව [0] කියන්නේ ඔලුවක් නම් ඔලුවක් නැති ශරීරයකට, ශරීර නොමැති ඔලු එකක් දෙකක් සම්බන්ධ වීමෙන් හට ගන්නා අලුත් ප්‍රපංචය මේ වන් සීරෝ සීරෝ [100] වෙබ් අඩවිය ලෙසද දැක්විය හැකිය.

ඔලුවක් නැති ශරීරයක් විය හැක්කේ කාලා- බීලා තර වෙච්ච, අධිපෝෂණයට ලක් වූ දෙයක්. බත් ගූ කරන මැෂිමක් හා සමාන ජීවියෙක්. ඒ වගේ ශරීර මේ කාර්තුවේ ඕනම පෙදෙසකින් සොයා ගන්න පුළුවන්. ශරීරයක් නැති ඔලුවක් විය හැක්කේ සැප සම්පත් අවම වුවද තම ඥාන වර්ධනයට කාලය කැප කළ කැම්පස් කොල්ලෙක් වැනි හැඟවුමක්. කැම්පස් වෙන්නම ඕනත් නෑ. සබුද්ධික එවුන් ඕන තරම් මේ ඉන්නේ...

අයිරනි විකේතනය එතකින් නවතමු.

මෙවර රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම වෙබ් අඩවිය ලෙස One|Zero|Zero සම්මානිත වී ඇති බැව් සටහන් කරන්නේ, අනෙකාගේ ප්‍රමෝදයෙන් උතුරා යන අංශුමාත්‍රයක් මගේ ප්‍රමෝද අතිරික්තය බවට පත් කරගෙනය.

විශේෂයෙන් මෙම වෙබ් අඩවිය ගැන සටහනක් තබන්නේ ද එය සුවිශේෂි "දෙයක්" බැව් මා කලකට පෙර සිටම නිරීක්ෂණය කරමින් සිටි බැවින්මය. මෙතැනදීත් කලින් සටහන් කළ ආකාරයේම විවිධ රසඥතා සහ හැකියාවෙන් ප්‍රමුදිත සහෘද රැහැනක් වෙති. 

නමුත් නම් සඳහන් නොකරම බැරි පුද්ගලයන් ද මට අනුව මේ කණ්ඩායම තුළ සිය හැකියාවන් සියුම්ව ආයෝජනය කරමින් ඉන්නා බැවින්, ඒ අය මා දන්නා පමණින් කෘතඥතාපූර්වකව සඳහන් කිරීම මගේ යුතුකමක් යැයි සළකමි.

මේ "සීයේ වැඩේ"දී මට සිහිවෙනවා තුන් හතර දෙනෙක්. ඉන් දෙදෙනෙක් පමණයි මට මුණගැහිලා තියෙන්නේ සැබෑ ලෝකයේදී. ඒ ලසිත් බෙනරගම සහ රචින්ත ජයවර්ධන සහෝදරයන් පමණයි. අනෙක් කීප දෙනා නම් වශයෙන් කීවොත් ලීෂාන් සහ සඳුන්. මම ලසිත්, රචින්ත, ලීෂාන් සහ සඳුන්ගේ සාහිත්‍ය-කලා ඇම්ම ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ඒ අය සයිබරයට- නිර්මාණශීලි ලෝකයට ආශිර්වාදයක්. අපේ අනාගත බලාපො‍රොත්තු දල්වන්නෝ යැයි කට පුරා කිව හැකි සයිබර් වැඩ බිමේ පුරෝගාමී ගමනක යෙදෙන්නෝ. ඔවුන් සිව්දෙනා ඇතුළු One|Zero|Zero බ්ලොග් අඩවියේ සමස්ත ශ්‍රම දායකත්වයට ‍මේ සම්මානිත අවස්ථාවේ මගේ ගෞරවාදරය මෙලෙස පිරිනමමි.

ප.ලි.

ඇගයීමට ලක් වූ සියළු වෙබ් අඩවි පිළිවෙලින් මෙසේ ය. උපුටා ගැනීම w3lanka වෙබ් අඩවියෙනි. ජයග්‍රාහී සියළු වෙබ් අඩවි වෙත මාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමි.

හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව
හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය – හැකර්.lk
හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය – සංචාරකයාගේ බ්ලොග් සටහන
හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – සයිබර් යාය
හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3Lanka
හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය – ලිෂාන්ගේ බ්ලොග් රෝල
හොඳම සමූහ බ්ලොග් අඩවිය – විද්‍යාව.com
පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවිය – පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය
නැණසල අංශයේ හොඳම බ්ලොග් අඩවිය – අතීතයේ භාරතීය සමාජය පිළිබඳ තොරතුරු බිඳක්
හොඳම බ්ලොග් අඩවිය – One|Zero|Zero
ජූරියේ විශේෂ ඇගයීම් - SkyLK සහ නිකමට වගේ

Wednesday, December 1, 2010

Tuesday, November 30, 2010

ජීවිතය සුන්දරය! -පියන්කාරගේ බන්දුල ජයවීර

ජීවිතය සුන්දරය!


ඔබ වාගෙමයි මමත්
යන්නේ බෝ බැති සිතින්
ඔබ රජමහා වෙහෙරට
මම සැඳෑ අවන්හලට!

දවසක් පුරා
දාහයෙන් තැවුණු ගත
දොවා සිහිලැල් දියෙන්
සන්සුන් වූ සිතින්

ඔබ වගේමයි මමත්
සිත පිරුණු ප්‍රීතියෙන්
ඇවිද යන්නේ හෙමින්
ඔබ රජමහා වෙහෙරට
මම සැඳෑ අවන්හලට!

තබන්නී ඔබ පුදසුනේ
මල් පහන් හඳුන්කූරු
සීරුවෙන් බැති සිතින්

තබයි වේටර පැමිණ
මධුවිත කටගැස්ම
සීරුමාරුවට
මගේ මේසය මත

සෑ රදුන් - බෝ රදුන්
බුදු රදුන් - දෙව් රදුන්!
පුදන්නී ඔබ
මල් පහන් සුවඳ දුමින්
සිහින් ස්වරයෙන්
ගාථා මුමුණමින්

සිහින් සත්සර රාව
අවන්හල පුරා යයි
මධු විතින් සිත මුදුව
දුක ඈත පාව යයි‍

ජීවිතය මධුවිතකි
එක හුස්මට බී
අහවර නොකළ යුතු
හෙටත් මෙහි ආ යුතු!

වැඳ පුදා අවසන
භාවනාවෙහි ගිලී ඔබ
ලොව සියල් සත්වයින්
නිදුක් වෙනු පතන්නී
කළ සියලු පින් මටත්!
අනුමෝදන් කරන්නී

රෑ බෝවෙනු පෙර
තබා අදට "මතට තිත!"
පියවි සිහියෙන්
කෙළින් කටින්
ගෙදර එමි

බොහෝ පින් රැස් කර
සිත නිවා සනහාන
මගේ පින්බර සොඳුර
මට කලින් ගෙට පැමිණ
බලා ඉන්නී
මා එන පෙරමග!

මා සොඳුර පින්බරය!
ජීවිතය සුන්දරය!


පියන්කාරගේ බන්දුල ජයවීර


මේ කවියේ අපූර්වත්වය වන්නේ එකිනෙක පරස්පර පුරුෂාර්ථ යුගලයක් එකිනෙක මත සමපාත කර දකින්න ට කවියා දරා ඇති උත්සාහය යි. මෙම එකිනෙක පරස්පර වෘත දෙක මධුපානය සහ ආගමික ශ්‍රද්ධාව යන යුගලයයි. මෙම ශ්‍රද්ධාව යනුම සෑ රදුන් - බෝ රදුන්, බුදු රදුන් - දෙව් රදුන් යනාදී ලෙස බෞද්ධ ශ්‍රද්ධාවේ සංකේතීය අවයව කෙරෙහි පවත්වන භක්තිමත් අභිනන්දනය යි. වෙහෙර බෝගස බුදු පිළිමය සහ දේව ප්‍රතිමා යනාදී දේ පිළිවෙලින් වැඳ පුදා ගන්නා සිය භාර්යාවගේ බැති සිත මෙන්ම තමන් ද සැඳෑ අවන්හලේ මියුරු සංගීතය ,කටගැස්ම, මන්දාලෝකය, කෙලි කවට සිනා බස් යනාදී දේ ද සමගින් බොහෝ ශාන්ත සිතින් මධුවිතින් සප්පායම් වී ජීවිතයේ කම්කටොළු සිඳ බිඳ දමා බිරිඳ කෙරෙහි සර්ධා සිතින් නිවස්න වෙත එන බැව් කවියේ මතුපිට අරුතයි. අනෙක් අතට කවියේ යටිපෙළ අරුත් ගන්වන්නේ මේ සමාජයේ න්‍යෂ්ටික පවුල නමැති ඒකකය දරා සිටිනා මව, පියා සහ දරුවා යන පුද්ගල බැඳීම් තුළ පවතින එකිනෙක පරස්පර අධ්‍යාත්මයන් සමාජය තුළ ශාන්තභාවය උපයා ගනු පිණිස දරන ශ්‍රමයේ විකාරරූපී ස්වභාවයයි.

මෙම කවිය තුළ ගම්‍යමාන වන සංස්කෘතික ගැටුම වටහා ගන්නට තැත් කරද්දී මා හට ප්‍රතිමාර්ක්ස්වාදී අදහස් දැරූ හර්බට් රීඩ් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික අරාජිකවාදියා මතක් වෙයි. ඔහු මාර්ක්ස්වාදී ලෝක දෘෂ්ටිය පිළිබඳ උග්‍ර විවේචනාත්මක මතවාද දැරූවෙකු ලෙස ප්‍රසිද්ධය. ඔහුගේ ටු හෙල් විත් කල්චර් [To Hell with Culture;Herbert Read- සංස්කෘතිය යකාට පල] නම් වූ විචාර කෘතියේ දෙවන ලිපිය වෙන් වන්නේ එනමින්ම වූ ප්‍රජාතාන්ත්‍රික සමාජය තුළ සංස්කෘතිය එහි නිර්මාණකරුවන් වෙත බලපාන අයුරු විශ්ලේෂණය කරන්නටය.


"අතීත සංස්කෘතියේ ප්‍රබල චරිතවල විශ්වීය වටිනාකමින් වූ නිර්මාණ අපට පරිශීලනය කරන්නට ලැබෙන හේතුවෙන් විශ්වීයත්වයට පත් වූ ඊසිකීලස් , දාන්තේ සහ ෂේක්ස්පියර් යන ඔව්හු එම ගෞරවයේ අසම්පූර්ණ හෝ අවිධිමත් ලෙස හෝ උරුමකරුවන් වෙති. ඊසිකීලස්, දාන්තේ සහ ෂේක්ස්පියර් යන ඔව්හු අමරණීය වෙති. එනමුත් ඔවුන් ගේ නිර්මාණ විසින් ආමන්ත්‍රණය ලද්දේ කඩතොළු සහගත අවිධිමත් අසංවිධානාත්මක සමාජයන් ය. සදාචාරාත්මක කෲරත්වයෙන් යුත් සමාජයන් ටය. සමාජීයව සාපරාධි සහ මුරණ්ඩු මිථ්‍යාදෘෂ්ටික සමාජයන්ටය. ඔවුන්ගේ අදහස් සහ නිර්මාණ එම සමාජයේ පොදු මිනිසාට සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවමය රුධිරයට දැනුනේ ඒවායේ ගර්වයට‍ සහ ප්‍රතාපවත්බවට විරුද්ධව විෂ පොවන ලද විෂම අදහස් වශයෙනි. ඔවුන්ගේ අදහස් වෙනුවෙන් සිටි ප්‍රේක්ෂාගාරය අතිශය ස්වල්ප පමණකට සීමා කළ ද ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔවුහු නොපැකිල ඉදරිපත් වූහ."
-උපුටනය සහ පරිවර්තනය කතෘ විසිනි

මේ අදහස් සමගින් මේ කවියේ පුළුල් අරුත සමාජගත කරවීම උදෙසා කවිත්වය විසින් ඇණවුම් කර ඇති එකිනෙක ව්‍යුහාත්මකව පරස්පර එනමුත් විකාරමය අදහස් ජාලය පවත්නා සමාජ සංස්ථා තියුණු ලෙස ප්‍රශ්න කරයි. බන්දුල විසින් ද කරමින් සිටින්නේ කෲර සමාජයක් වෙත එහි නිසරු වෘතයන් කවි බවට පත්කර දමා ගැසීමයි. ‍මේ කවි විසින් සොලවා ලනු ඇත්තේ හුදෙක් සමාජ මිථ්‍යාවන් පමණක් නොව ඒවා රඳවා පෝෂණය කරන දේශපාලනික සමාජ අවකාශය යි.


වත්මන් ආර්ථික රටාව තුළ එදිනෙදා ජීවත්වීම අරභයා මිනිසුන් වගුරන ශ්‍රමය ඔවුන්ගේ සීමාවන් අතික්‍රමණය කරමින් ප්‍රමාණයෙන් විශාල වන්නට වූයෙන් සැම අයෙකුම තමන් තවමත් උපයා නැති ඉමහත් ධනස්කන්ධයක් වෙනුවෙන් තම අනාගත ඉපයීම් ද සන්තක කර ඇති තත්වය අතිශය තීරණාත්මකය. මෙබඳු සමාජයක් පවතින්නේ ලොවේ අන් තැනක මිනිසුන් තම ශ්‍රමය වගුරා උපයන ලද මුදල් ණය ලෙස ලබා ගෙන බැවින් අප සියල්ලන් කොතරම් ඉපයීම් කළ ද ආර්ථික ව්‍යූහයේ මර්මස්ථානවල රුධිරය ලෙස ගලා යන්නේ නම් අන්‍ය මානව ප්‍රජාවන් විසින් සිය ශ්‍ර‍මයෙන් උපයා ගත් ධනය නිර්ලජ්ජිත ලෙස පොම්ප කිරීමෙනි. මෙබඳු ආර්ථික ක්‍රියාවලියකට නතුව ඇති තතු යටතේ කිසිවෙකු හෝ තම ශ්‍රමයට නිසඟ ආත්මීය වටිනාකම නොලබයි. මිනිසුන් මරණයේ ජීවිතයේ වෙනස නොදැකම ජීවත් වෙයි. එනයින්ම ඔවුහු තම ආත්මීය හිස්බව පුරවා ගනු පිණිස මිථ්‍යා දෙසට හැරෙයි. ඉන් ප්‍රභලම ආසක්ත ස්ථානය වන්නේ ආගමයි. ඊට‍ නොදෙවෙනි ලෙස මායාකාරී සිහින ලෝක කරා හෝ මතිභ්‍රම වෙත ඇදී යාම වෙනුවෙන් කෘත්‍රිම ලෙස හැලුසිනේට් වීම තෝරා ගැනීමට නොපැකිලේ. මේ බැව් මධ්‍යසාර පරිභෝජනයේ දත්ත සංඛ්‍යා ලේඛන පරීක්ෂාවෙන් බැලීමට හැකි වුවද එය සුප්‍රසිද්ධ කාරණාවකි. ශ්‍රී ලංකාවේ මධ්‍යසාර ඒක පුද්ගල පරිභෝජන ඒකක ප්‍රමාණය අග්නිදිග ආසියාවේ වැඩිම ඉලක්කම බැව් කලකට පෙර සමීක්ෂණ සහ වාර්තා විසින් පිළිගෙන තිබුණි. මෙනයින් මෙබඳු සමාජ තුළ පවතින ආර්ථික ආතතිය යම් ආකාරයකට සංසිඳවා ගැනීමට පොදු මිනිසා යොමු වන්නේ අරක්කු දෙසට නම් පොදු ගැහැණිය තල්ලු වන්නේ ආගමික වෘත දෙසට බැව් උපකල්පනය කළ හැකිය. මෙය ද සාදෘශ්‍ය වශයෙන් සත්‍ය වන්නේ ලංකාවේ බහුතරයක් ස්ත්‍රී පක්ෂය තුළ ආගමික නැඹුරුව පිළිබඳ සාර්ථක ඇගයීමක් ලබා ගැනීමට උපකාරී වන්නේ ලංකාවේ ඡන්ද පදනම තුළ යම් යම් කොට්ඨාශ තුළ ස්ත්‍රී නියෝජනය වැඩියෙන් ආගමික පක්ෂවලට ඡන්දය දීමේ ප්‍රවණතා දැකීමෙනි. මේ පිළිබඳ කදිම විග්‍රහයක් කළකට පෙර මහරගම සහ තදාසන්න පෙදෙස්වලින් ඡන්ද ව්‍යාපාරයට පිලිපන් ජාතික හෙළ උරුමය වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය ලැබීම පිළිබඳ කළ වි‍ශ්ලේෂණයක් සාක්ෂි සපයයි. [එම විග්‍රහයේ මුලාශ්‍ර කතෘට මතක නැත. නමුත් එය පෙරටුගාමී පක්ෂයේ ප්‍රකාශනයක් බැව් මතකය.]  මෙනයින් මධ්‍යම පාංතික සමාජයේ පොදු ගති ලක්ෂණ දෙකක් මේ කවිය තුළින් විකාරමය ලෙස දැක්වීමේ දේශපාලනික කියැවීම සංකීර්ණය.

අනෙක් අතට රෝලන්ඩ් බාත්ස් ගේ මිතෝලොජීස් [Mythologies]පොතේ එන වයින් සහ කිරි [Wine and Milk] නම් වූ විචාර ලිපියේ ආකාරයට ම ප්‍රතිවිරුද්ධ ගති ගුණ සහිත වන අදහස් යුවලක් මේ කවිය තුළින් ඒකාබද්ධ වීම නැවත කියවිය හැකිය.

මත්පැන් පොදකින් දිවි දාහය නිවා ගන්නා මිනිසෙකු තම ආගමට ශ්‍රද්ධාවන්ත බිරිය හමුවට මද පමණින් සප්පායම් වී එදාට අදාළව මතට තිත තැබුම මේ සමස්ත සමාජ ව්‍යුහයේම වර්තමාන දේශපාලනික තතු විදහා දක්වන්නට ප්‍රමාණවත්ය.

වර්තමානයේ වරදත් නිවරදත් අවස්ථවෝචිතව සිය හැඩරුව වර්ණය වෙනස් කරගන්නා ගතිකය දැන් දැන් සමාජයේ තීරණාත්මක සාධකය බැව් සියුම්ව පරීක්ෂා කරද්දී වටහා ගත හැකිය. මේ සමාජය එතරම්ම අමානුෂිකය. කෲරය. සියල්ලෝ වැරදි කරමින් එහි ප්‍රමාණවත් බැව් නඩත්තු කරමින් සිටිනු හැර කරන්නට දෙයක් යෝජනා නොවීම ගැන සංකල්පනා නො උපදවති.

Monday, November 29, 2010

ශාස්තෲ එළි දැක්ම හෙට

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෲ නවකතාව නොවැම්බර් 30දා අඟහරුවාදා සවස තුනට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දකී.


නවකතාව පාදක කරගෙන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන හා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ලංකාවේ කැරැලි හා සාහිත්‍යය තේමා කරගෙන කතා කරති.


අග්නීමා සංගීත කණ්ඩායම සමග ඔව්න් නිර්මානය කළ ගී කීපයක් ද ගැයේ.

ශාස්තෲ දොරට වඩින දා එන්න ඔබටත් ආරාධනා!

Sunday, November 28, 2010

සර්පයාගෙන් ඉගෙන ගනිමු

සර්පයාගෙන් ඉගෙන ගනිමු


සර්පයා හෙවත් කේ. කේ. සමන් කුමාර අලුත් වැඩක් පටන් අරගෙන. එනම් නිර්මාණශීලි ලේඛන කලාව ගැන ඉගැන්වීමයි. ඔහු ලේඛකයෙක්, ගීත රචකයෙක්, පරිවර්ථකයෙක් මෙන්ම ඉතා දුර්ලභ ගනයේ චින්තකයෙකුද වේ. යමකු නිර්මාණශීලි වීමට නම් ඔහු සමාජයේ සිදුවන දේ අපූර්වත්වයකින් දැකිය යුතුය. වයසින් මුහුකුරා ගිය සර්පයා සතුව ඉගැන්වීම සඳහා බොහෝ මෙවලම් ඇත. නූතන ලේඛනයේ විවිධ ධාරාවන් ලෝක ප්‍රවණතා, විචාර මතවාද, රසවින්දනය, පැරණි සාහිත්‍ය, ජන සාහිත්‍යයේ උරුමයන් පමණක් නොව ස්ත්‍රීවාදය ගැන, මනෝවිශ්ලේෂණය ගැන, මාක්ස් ගැන, පශ්චාත් නූතනවාදය ගැන, වාමාංශික හැදෑරීම් වල ලංකාවේ මෑතකාලීන භාවිතයන් ගැන, ලංකාවේ උත්තාරාරෝපිත බුදුදහම ගැනත් අනන්‍යතා දේශපාලනය ගැනත් ව්‍යුහවාදය අධිතාත්වික වාදය දෘශ්‍යකලා සිද්ධාන්ත, පශ්චාත් මාක්ස්වාදය, බෝද්‍රලාල්, සෝෂියර්, හෙබර්මාස් ,ගැඩමර් ඩෙරීඩා ගැනත් ලැකාන් ගැනත් සර්පයාගෙන් අහගන්නට පුළුවන. ඔහු යමක් දන්නා පුද්ග‍ලයෙකි. මේ සියල්ල සමග ඔබට ඔබ ගැනමත් ඉගෙන ගැනීමට සර්පයා දකින්න අවස්ථාවයි මේ.


අමතන්න
0778 661 654 කේ. කේ. සමන් කුමාර



සර්පයාගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය පළ වන්නේ 1984 දීය. එය "සර්පයකු හා සටන් වැද" නම් වේ.

සර්පයාගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන "එසඳ මම බලා සිටියෙමි (1995)" කෘතියෙන් උපුටා ගත් "ඕ නගරයට පැමිණියාය‍" කෙටිකතාව පාඨක ඔබගේ රසාස්වාදනයට මෙහි තබමි.


ඕ නගරයට පැමිණියාය‍.


ප්ලොරසන්ට් පහන දෙකොනෙහි පන ගැහෙමින් තිබිණි. ඒ සීතල එළියේ ඈ විලි පහරමින් උන්නාය. ගැබ දරා සිටියාටත් වඩා විලි පැහැරූ කාලය දිගින් වැඩිය. මේ මොහොත වන විට ඈ විලි පහකරමින් සඳින් සඳ ගෙවා හිරු රාශියක ඉක්මවන්නට ද ළඟය.


කිහිප වතාවක් ඇගේ මේ අරුම පුදුම ගැබ පලා බලන්නට දොස්තරලා කුහුලින් යුතු වුවත් ඒ හැම විටකම තවත් අරුම පුදුම යමක් සිදුවිය.


ඔන්න නිර්වින්දන බේත අහන්නෙ නැතිව ගියා මුලින්ම. චුට්ටක් එහෙට වුනොත් සදාතනිකව සියළු වේදනයන්ගෙන් මුදා හරින තරම් බලගතු ඒ බේත දහ ගුණයකටත් වැඩියෙන් විද්දහම තමයි ඇහැව්වෙ. ඊට පස්සේ අතට ගන්න කොට ඇස් නිලංකාර වෙන ගානට දිස්නෙ ගහපු සැත්කටු ඇගෙ නැඹට පහළින් යොමු වෙද්දි මලකඩ වලින් බරිත වෙලා ගියා. තත්පර ගානකට කලින් ජීවානුහරණය කරපු කතුරු අක්‍ෂු බක්‍ෂු විදගෙන පනුවො එකා දෙන්නා එළියට ඇවිත් එවායේ කෑල්ලක්කත් ඉතුරු නොවී එහෙමිපිටින්ම පනුකූඩු වෙලා සර සර ගාල බිමට හැළුනා. ඉතින් ඔය විදියට එ වැඬේ අත් ඇරලා දාන්න උනා.


අන්තිමේ රෝහල ඇතුලෙයි, ඒ අවටයි තියන සේරම බන්ධන අඩස්සි නිදහස් කරන්න වෛද්‍යවරු තීරණේ කළා. ගෙවල්වල දොර ජනෙල් ඇරලා දැම්මා. අල්මාරි, පෙට්ටගම්, සෙප්පුවල පියන් ලාච්චු ඇරලා දැම්මා. කුස්සිවල හට්ටි මුට්ටි ඇරල දැම්මා. බාල්දි වලින් කඹ පොටවල් ලිහල දැම්මා.


සංඝරත්නය වැඩමවා අංගුලිමාලය කිව්වා. කෝලංකාරයො ගෙනල්ල බඩදරු කෝලම නැටෙව්වා. කෝලම්කාරය සබේ පිරිම්න්ට බඩෙන් ගගහ එලවනකොට අපේ ආතුරයා හිනාවෙවී අත්පුඩි ගැහැව්වා.


මේ සේරම අහවර වුනාත් ඈ විලි පහකරමින් උන්නා. අන්තිමේ දොස්තරලා කිව්වා ඇගෙ බඩේ ගෙඩියක් කියල. කියල කට ගන්න කලින් ඇගෙ රහසඟ දෙතොල් විවට කරගෙන ජල පටලය විනි විදගෙන කෙහෙ රොදක් පේන්න නොපෙනෙන්න ගත්තා. වදන වාට්ටුව දෙදරන්න ගත්තා. ඈ එල්ලී හුන් විලි රැන කඩන් වැටෙන්න ඔන්න මෙන්න කියලා හිතෙන තරං වුනා. ඒ අස්සෙ තමයි ඊළඟ අරුම පුදුම දේ සිද්ධ වෙන්න ගත්තෙග විලි රැන කෙමෙන් දැඩි වෙමින් නොවෙමින්, තත්පරෙන් පංගුවෙන් පංගුව ගෙවෙමින් නොගෙවෙමින්, කියන්න හැකි නොහැකි රූප අරූප කාල අකාල විපිරියාස වෙලා යෝධ අංග ජාතයක් ඉතිරි වුණා. ඈ අපුලින් අත් අත හැරිය. එත් අත ඇරුනෙ නැති වුනාම අත් ගසා දම්මා. ඒත් දෑඟිලි ඒ වටා අඩස්සි වෙලා තිබුණා. බියෙන් ඈ ඇකිලෙන පැකිලෙන සැණෙහි ඒ අංග ජාතය කෙලවරින් තවත් දික්වෙමින් සර්පයෙක් වගේ ඉව අල්ලමින් ඇගෙ දෙතොලෙහි දැවටුනා. අම්මගෙන් බිවු කිරි කලෙ ඉඳන් උගුරෙන් පහළ ගිය හැම දේම ඈට ඔක්කාරෙට ආවා. ඒ අව් අස්සෙ අංග ජාතය පුරුක් ඇදෙමින් දික්වෙමින් පහළ බැස ඇගෙ පියවුරු තුඩු වල දැවටීගෙන ගොස් දෙකලවා වටා දරණලා ගත්තා.


විලි රැනේ එල්ලී හෑල්ලු නොවු කුසින්ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළ කඳට අයිති කාරයෙක් හොයන් එන්න. තාර පාර දෙපැත්තෙ යෝධ අංග ජාතයන් මුදුනෙන් මෝචනය වුණු එළිය දිගේ ඈ ඇවිද්දා. අහසත් පොළවත් රති කෙළියෙ යෙදිල හඳ එළිය මෝචනය වෙන රැ සියක් ගෙවමින් ඈ හෙව්වා.


මේ අතරෙ නගර සභාවෙන්, ඒ වෙනකොටත් විලි පහකරමින් තිබ්බ ඇගෙ මළ කඳ කබරයන්ගෙන් ඈත් කළා. ඉළුක් කොලයක් හොයාගන්න බැරි වෙච්ච නිසා අගේ බඩ පලා ඈව කුසින් හෑල්ලු කරන්න ඔහුන්ට පුළුවන් වුනේ නෑ. මුළු මහත් නගරයේම ඉතිහාසය වෙනස් කළ මේ කතාව මා ලියා අවසන් කරතත් එහි මුල්ම ජේදය ලිවුවෙ කවුරුත් නම් ගම් නොදන්න නගර සභාවෙ කසල ශෝධකයො දෙන්නෙක්.


එක්තරා රැයක නගරයෙ අස්සක් මුල්ලක් නෑර තිබු සියළු කොඩි ගස් මුලින් සිඳ දමා තිබුණා. සිඳ දමා තිබු තැන් වලින් ලේ වෑහුනා. ආයි හයි කරපු හැම වතාවකම ඒ දේම නැවත නැවතත් සිද්ධ වුණා.


රාත‍්‍රියට සුදු ඇඳගත් ගැහැනියක්ව තනි මං ආ පිරිමින්ව නවත්වා දරුවකු අතට දි අතුරුදහන් වුණා. මේ විදියට ලැබිච්ච දරුවෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරුව ගියා. හැමදාමත් තුන්වෙනි යාමෙට අද්භූත සතෙක්ගෙ ලතෝනියක් ඇහෙන්න ගත්තා ඔය අතරෙ. ගමෙන් නගරෙට ආපු වයසක උදවිය ගමේ හුරු පුරුදු සද්දයක් ඇහීමෙන් උද්දාම වුණා. ඒ අයගෙ ලොඹු කටවල් වලට කාලෙකින් පන ඇවිත් කෙලවරක් නැති කතාන්දර දෙසා බාන්න ගත්තා.


බට නලා පිඹ පිඹ හිටපු සංගිතකාරයන්ව හමුවෙන්න මෝහිනී ආපු කතා වලින් පත්තර පිරිලා ගියා. සුදු දුහුල් සළු ඇඳගත්, බටහිර නිල් චිත‍්‍රටියක තරං සුන්දර ගැහැනියක් ඇවිත් ඒ වැයුමට රැඟු බවත්, ඒ රංගනය පරප‍්‍රාප්තියට යද්දි තමාට වයන්න නොහැකි වු බවත්, එවිට තමාට පිටුපෑ බවත්, ඇගේ පිට පෙදෙසේ බරු ගැසු වේ කුහරක් මෙන් සුඹුළුයෙන් යුතු නොයුතු බවත්, නැත්තං තමන්ව කැඳවාගෙන සොහොන් බිමකට ගොස් මිනී වලක් හාරා එහි වු අතුනු බහන් සියොලඟ ඔතාගෙන ආ බව, එසේත් නැත්නම් තවමත් පන ගැහෙන ලේ වෑහෙන මිනී මස් රන් බන්දෙසියක තබාගෙන වුත් පිළිගැන්වු බව හැමෝම කිව්වා.


එක එක ගාලු මුවදොර මුහුදට මානලා තියෙන කාල තුවක්කු ඒවායෙ බට මුලින්ම සිඳ දාල තිබ්බා. ඒවායෙන් වෑහිච්ච ලේ වලින් මුහුදෙ වතුර රතු පාට වෙමින් තිබුණා. වෙරළ අයිනෙ මිනී මෝරු පෙම් කෙලියා‍.


පදමට දාල බස්එක වැරදිච්ච පරණ වෘත්තිය සමිතිකාරයෙක් පාර දිගේ එමින් හිටිය. පස්සෙන් එක සීරුවට සද්දක් ඇහුණු නිසා ඔහු හැරිලා බැලුවා. පිදුරු මුට්ටයක් තමන්ට චුට්ටක් එහෑන් වැටිලා තියනවා ඔහු දැක්කා. පිදුරු මුට්ටෙට ඔලුව ගහන් ඔහේ නින්දක් දාල, ඇහැරුනාම මෙහෙම්ම වැඩට යනවා කියලා හිතල ළඟට යනකොට පිදුරු මුට්ටෙ එහෙට පෙරලුනා. එතන ඉදලා තමන් ආපු පාර දිගේ පිදුරු ගස් වැටිලා තියෙනව ඔහු දැක්කා. තිත්ත කුණු හරපයක් කියල ඔහු පිදුරු මුට්ටෙට පයින් ඇන්නා. එතකොටම අන්නාසි ගෙඩියක් පිටේ ඇතිල්ලෙනවා වගේ දැනුනා. ඔහු හැරෙන්න හැදුවත් කබැල්ලෑවෙක් වගේ යෝධ සතෙක්ගෙ අත් පා වල අඩංගුවට ඔහු අසුවුනා‍. උපන්තෙක්ට බීපු සේරම කකුල් අස්සෙන් වෑසෙන්න ගත්ත.


තමන්ගෙ කකුල් දෙක අස්සෙන් තමාව අල්ලන් ඉන්න මොකාගෙ හරි වල්ගෙ වක ගැහිලා එල්ලිල තිබුණ. ඒ වක ගැහිච්ච වල්ගෙ දිගෑ බලල ඔහු හිතුවා...


"මු තලගොයෙක් වෙන්න ඕනෙ. !!!.ම්......ම්! කිලෝ කීයක් ඇද්ද?......... තලගොයෙක්! රුසියාවට චෙච්ච දෙයි හැටියට ඕක මොකක් ද?....... මු තල ගොයෙක්! ?...... මු තල ගොයෙක්!... බයිට් එකට නං නියමයි. .... තලයගෙ දිව හොදයි අහල පහල පුංච් උන්ට කන්න දෙන්න."


ඔහු තලයව පිටේ තියාගෙන හති දදා වුනත් සන්තෝසෙන් සිංදුවක් කිය කිය කඩතොල්ලන් චෙච්ච කියත් දැති රටාවකට පාර පුර ගෙදර ගියා. මගදි තලගෙ නැට්ට දණිස් දෙකේ වැදෙන හින්දා ඔහු පාත් වෙලා බැලුව. එතකොට නැට්ට කොළ පාට වෙලා තිබුණා.


තැබෑරුංකාරය අත්තන දාල කියල යටි හිතින් බැන බැන ආපහු ගමන පටන් ගත්තා. මගදි තමන්ගෙ දැං කිසිම වැඩක් පලක් ගන්නෙ නැති අවයවේ වටේ මොකක් ද පැටලෙනවා දැනිලා ඔහු පහත් වෙලා බැලුවා. එතකොට ඔහු දැක්කෙ තලයගෙ නැට්ට රතුම රතු පාට වෙලා ඒකෙන් තමන්ගෙ අංග ජාතෙ වටේ ගැටයක් වැටීගෙන යනව. ඔහුට තමන්ගෙ මධු සමය මතක් වෙන්න වගේ ආවත් එතකොටම පිටේ තිබ්බ ග‍්‍රහණයත් බරත් නිදහස් වුණා. ඊට පස්සේ වෙච්ච කිසි දෙයක් ඔහුට මතක නෑ. පාන්දර බිරිද දොර අරිද්දි අතේ ගුලි කරගත්තු අංග ජාතයක් එක්ක ඔහු දොර කඩ වැටිලා හිට්යා.


බිරිද "තුහ් නොදකින්" ළමයි නැගිටල එන්න කලින් අංග ජාතෙ කෝටු කෑලි දෙකකින් ඇදල අරන් බලු පොව්වා ළඟට තල්ලු කළා. ඌ ඒක බස ගාල ගිලල දාල අතෘප්තියෙන් දොරකඩ දිහෑ බැලුවෙ හප හපා ඉන්න මස් කට්ටක් ලැබේදෝ කියලා.


වෙනදට නිතර දකින්න නැති එකේක මෝස්තරේ කටුස්සො කොල්ලෝ කුරුට්ටන්ගෙ සෙල්ලමක් වෙන තරං වසංගතයක් වුනා. කොල්ලො උන්ගෙ නැට්ටෙන් අල්ලල කරකල උඩ විසි කළා. මේ සෙල්ලමෙන් පරෙයියන්ට යන එන අතක් නැති වුණා. කටුස්සන් මරා දැමීමට විරුද්ධව වයසක උදවිය කොච්චර දේවල් කිව්වත් ඇන්ටෙනා උඩ රැස්වීම් තිය තිය හිටපු කටුස්සන්ව බිම වට්ටවලා ගල් වලින් තලා දාන එක රස්සා නැතුව හිටි තරුණයන්ගෙ රස්සාවක් වුණා. ඒත් හැම ලේ පැල්ලමකටම හත් දෙනා ගානෙ, උන්ගෙ ලේ පැල්ලම් වලට තව හත්දෙනා හත්දෙනා ගානේ කටුස්සෝ උපන්නා. උන්ගෙන් ඇන්ටෙනා වැහිල ගිහින් රූපවාහීනි විකාශනය අපහැදිලි වූණා. මුර කාවලට වැට්ච්ච පොලිස් භටයෙක් ඒ භයංකාර සද්දෙ ආ අතට වෙඩි තිබ්බා. පහු වෙන්දා හොයන් ගියාම ඒ අහ කටුස්සෙක් මැරිලා උන්නා‍.


මපට් කණ්ඩායම් නා නා ප‍්‍රකාර කටුස්සන්ගෙ මපට් හදාගෙන වීදිවල සංදර්ශන පැවැත්තුවා. වයසක උදවිය කියන මිත්‍යා කතන්දර මේවායින් නිරුපනය වුණා.


කෙල්ලන් වලලන්
කොල්ලන් ගොඩගන්


කියන සලාද සිංදුව කොච්චර ජනප‍්‍රිය වුනාද කිව්වොත් කටුස්සන්ගෙ නැට්ටෙන් කරකවල උඩ අරින කොල්ලො එවලෙට කිව්වෙත් ඒක.


සෙල්ලං බත් උය උය ඉන්නකොට දිව දික්කලැයි කියලා අක්කෙක් මලයගෙ දිව කඩා දාල. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්. දිවෙන් ලේ බේරෙනව. දෝස්තර ජංගිය පාත්කරල බැලුවා. කොලුවගෙ නම නොකියන තැන මොකුත්ම නෑ. කෙල්ලව මග්ගොනට යවන්න තිරණේ වුණා. ගෙනියන්න හදද්දි කෙල්ල මල්ලි ළඟට ඇවිත් ගවුම උස්සල පාල හු හු කිව්වා. කෙල්ලගෙ නම නොකියන තැන ජුන්ඩෙක් ඉන්නවා කොලුව දැක්කා එතකොට.


නගරෙ උන්නු පිරිමි අපි හැමෝටම මහ නරක දසාවක් ලැබුවා. ගබ්සාවෙන් පස්සෙ මාස කිහිපයක ලිංගික තහංචියක් තියන නිසා අන්තිම මොහොතෙ සතුටක් ලබාදිම යුතුකමක් හැටියට කළ දෝස්තරලා ගෙන් , පෝලිමේ ඉන්න ලෙඩුන්ගෙ නොම්මර කියෝන එක විනෝදයක් කරගත්ත ගෑනු වාට්ටුවල පුහුණුවට වැට්ච්ච වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන්, ඇඟලුම් කම්හල් ළගින් හැන්දෑවට ජුන්ඩො එළියෙ දාන් එහෙට මෙහෙට යනවුන්ගෙන්, මිනී එම්බාන් කරන්නන් ගෙන් පටන්ගත්ත මේ නම නොකියන එක අතුරුදහන් විම තොටිල්ලෙ ඉන්න පොඩි එකාගෙන් අහවර වේවි කියල අපිට හිතුන.


රබර් මිශ‍්‍රිත පුරුෂ ලිංග නිෂ්පාදනයට මේ අතරෙ සමාගමක් ඉදිරිපත් වුණා. කම්කරුවන්ට වඩා සමාගමට මෝස්තර නිර්මාණ ශිල්පියෝ අවශ්‍ය වුණා වෙනස් වෙනස් රුචිකත්වයන් සපුරන්න. නගර ශෝභනීන්ට බඩ වියත රැක ගන්න විදියක් නැතුව ගිහින් ඔහුන් හිගමනට බැස්සා‍. වයසක මහල්ලොත් කිසිම වැඩක් නැති වුණත් තමන්ගෙ ජුන්ඩො පරිස්සම් කරගන්න උත්සාහ කළේ තමන්ගෙ ජිවිතේ අතීත සැමරුම් සේරම ජුන්ඩගෙ සටහන් වෙලා වගේ.


අපේ ගෑණු අපිට හෑන්දෑවේ එළියට බහින්නවත් දුන්නෙ නෑ. සාලෙ කාමරේ තියා කකුස්සියෙවත් තනියෙන් ඉන්න දුන්නේ නෑ. මං ගැන කිව්වොත් මං ගෙදර ආපු ගමන් ගෑණි මගේ කලිසම පාත්කරලා ජුන්ඩ තියනවද බලල තමයි හුස්ම පිතට දැම්මෙ. මේ වෙනකොට හැමෝම බෝදිලියා , බෝදිලිමා කිය කියා තොරක් නැති නම් ගම් කිව්වා. ජිවිතේට ඉලපතක් දැකලවත් නැති මගෙ ගෑණි ඉලපතක් හදල පරිස්සමට තියලා තිබ්බා. ඒත් කවදාවත් ඒකෙන් අතූගෑවෙනං නෑ දවසක් මට එකෙ හොරේ අහුවුනා. වෙනදට කොණ්ඩෙ හැඩ කර කර සැපට වාඩි වෙලා චු කරපු එකී පිළිකන්නට ගිහින් ඉලපත බිමින් තියල, ගවුම කරට අරන් බිම වාඩි වුණා. චු බේරි බේරි ඉලපත අරන් දොර මුල්ලෙන් තිබිබා. ජාමේට බෝදිලිමා ඇඩුවා. ඈ ගිහින් ඉලපත අරන් අයි එකට චු කරල, දෙතුන් විඩේට දාපු මැහුං ටික පේන්න රෙද්ද කඩලා එතෙන්ට ටෝච් එකකුත් ගහන් එක අතකින් , තෝරතෝංචියක් නැතුව මොනවද කියන් ගියා. මං ළඟට කිට්ටු වුණා. පුක, තනේ , බි–ජ කියලවත් කියා ගන්න බැරුව හිටපු උපාසකී මෙන්න මං වත් නොදන්න , කුණු හරුපයි කියල ඒ ගොල්ලො කියන ඒව තොරක් නැතුව කියෝන කියෝන ගියා. ඊට පස්සේ ඉලපත දොර මුල්ලෙ හේත්තු කරල දොර වහමින් කිව්වා!!!.


"උන්දෑ දිව්වා දිවිල්ලක් ආයි පළාතෙ එන එකක් නෑ"


දවසක් ගෑණි මගෙන් ඇහුවා මං බෝදිලිමව බලන්න ආසද කියල. මං පැන්න ගමන් ඔව් කිව්වා. ඉතින් එයා බුලත් කොළ ටිකකුයි පොල් තෙල් පානකුයි කණ්ඩියක් උඩින් තිබ්බා. බලන් ඉඳල බලන් ඉඳල කළුවරේ, පොල් තෙල් පානෙ එළියෙන් අපි දැක්කා බඩ දරුවන් ගෑණියෙක් හෙලු වැල්ලෙන්, කෙඳිරි ගාගෙන, බඩ ගාගෙන එනව. දාඩියෙන් තෙත බරි වෙලා තිබ්බ තරමට පොල් තෙල් පාන නුනත් අහසෙ තරු නුනත් ඈව දකින්න තිබ්බා. ඇගෙ කොන්ඩෙ හැඩ ගෙතිල, මුනට වැටිල. ඒ හැඩපලු වලින් මුන පුරා හෙවනැලි එක්ක හැලෙමින් , පද්දාවැටෙමින් තිබුණා. ඇ බුලත් කොළයක් අරන් ඒකෙ පොල් තෙල් තවරාන දැල්ලට අල්ලලා රත් කළා. එහෙම කර කර ඈ බඩ තවා ගන්න වුණා. මම කිව්වා අපි ඈට උදව් වෙමුයි කියල. ගෑණි අර ඉලපත අරන් මගෙ මුනෙ අතුල්ලල පිටට දෙකක් ගැහුව්වා. එදායින් මෙදායින් මං අපේ ගෑණිත් එක්ක බෝදිලියා ගැන වචනයක්කත් කතා කරතන්න ගියේ නෑ.


සත්වවේදින් මේ අරුම පුදුම අවතාර සතා පිළිබද එකේක මත පල කළා. අපට මහා රාත‍්‍රියට ඇසෙන මේ හඩ උකුසු පවුලේ සතෙකු බවත් ඔවුන් කිව්වා. මේ මිත්‍යවන් නිසා කටුස්සන් වදවිමේ තර්ජනයට මුහුණ පානු ඇතැයි ඔහුන් සඳහන් කළා. ගුවන් විදුලි නිවේදකයකු ඇසු හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම කණ්ඩායමේ නායකයා කීවේ දැනට මිනිසෙකු ග‍්‍රහණය කර ගත හැකි තරම් විශාල කටුසු වර්ග ජිවත් නොවන බවයි. ඔවුන් කියන දෙවල් කවුරුත් ගණන් ගත්තෙ නෑ. හැමෝම ඇහුන්කන් දුන්නෙ මෙච්චර කල් මායිං නොකරපු වයසක උදවියගෙ දැනමුතුකම්වලට. බෝදිලිමා පිටේ එල්ලුනොත් කමිසය ගලවා දැමිය යුතුබව මාත් තදින්ම සිතට ගත්තා ඔවුන් කිව්වාහම.


මේ අතරෙ බෝදිලිමාගෙ කතන්දරෙන් චිත‍්‍රපට කීපයක් පෝලිමට එක්වුණා. මල්වතුවල චිත‍්‍රපටි කරපු කට්ටිය ත‍්‍රාසජනක චිත‍්‍රපට කරන්න අද්භූත දර්ශන තල හොය හොයා ඇවිද්දා. එයින් දැනට ප‍්‍රදර්ශනය වුණේ එක් චිත‍්‍රපටයක් වුනත් එන සියලුම ආදායම් වර්තා බිද හෙලුවා. කොටින්ම මේ ලියන මාත් බෝදිලියමට රඟපාන නිළියගෙ හෙලුවැල්ල බලාගන්නම හය හත් වතාවක්ම ඒ චිත‍්‍රපටිය බැලුවා. මේ චිත‍්‍රපටිවලට දක්ෂකම් පෑවෙ ගමෙන් නගරෙට ආපු දක්ෂ ගොල්ලො.


අර ප‍්‍රදර්ශනය වෙච්ච චිත‍්‍රපටිය පටන් ගත්තෙ උන හපුලුවෙක්- වවුලෙක් වගේ සතෙක් මහ රෑක ගහක එල්ලිල ඉන්න රූප රාමුවකින්. උගෙ දිව අර දිවෙන් කූඹි දඩයං කරන සතාගෙ තරං දිගයි. ඒ දිවෙන් කෙල වැක්කෙරෙනව. ඒ කෙල නිල් පාට පෙන කැටිති වගේ බිමට වැටෙනව. එතකොට එතනින් දුමක් නැගිල ඒ කෙල රතු පාට වෙනව. ඒ ලේ පැල්ලමෙන් කටුස්සො හත් දෙනෙක් උපදිනවා. එත් චිත‍්‍ර පටියෙ හුඟක් සිදුවීම් වගේම ඒකත් කතාවට කිසිම සම්බන්ධයක් නෑ. කතාව තියෙන්නෙ කොහෙද ගම් පළාතක බෝදිලිමා ගැන කියන ඒකක්. චිත‍්‍ර පටි තහනම් කරන්න කියලා කෑ ගහපු උදවිය ජන කතාව විකෘති කළා කියල කිව්වා මං නං ඒකට කැමතියි.


ඔන්න දේවාලයක් දාගෙන කපු ගෑනු කෙනෙක් ඉන්නව. ගෑණි හරි ලස්සනයි. දවසක් ගෑණි දෙව් පිළිමෙ ඉස්සරහට ගිහින් තිරෙ ඇරල පුජාසනේ උඩ නැඟලා ඇඳුං ගලෝල බිමට දානව. මේ අතරෙ පිළිමෙ සලුත් එකින් එක ගලවන් හැලෙනව. පිළිමෙට පන එනව. ඉතින් දෙන්න පුජාසනේ උඩ සංසර්ගයේ යෙදෙනවා. එදා ඉදන් හැමදාම හැම වෙලේම මේ ගෑණි දෙවියන් එක්ක සංසර්ගයේ යෙදෙවව.


අන්තිමේ මිනිස්සුන්ගෙ පුජාවලට වෙලා නැති නිසා දේවාලෙත් වහලා දානව. ගෑණි බඩ දරුවන් වෙනව. බඩ දරුවන් වෙලා ටික දවසකින් දෙවියො අතුරුදහන් වෙලා පිළිමෙ විතරක් ඉතුරු වෙනව. මේ ගෑණි තිඹිරි ගෙදර විලි පහරන ගමන් දෙයියන්ට සාප කරනවා අංග ජාතෙ කඩන් කනවා කියල. දායම්මා ආවතේව නවත්වල ගේ ඉස්සරහින් යන ගෑණු කෙනෙක්ට කියනව. පස්සෙ ගමේම මිනිස්සු ගල් මුගුරු අරගෙන ඇවිත් විලි පහරමින් ඉන්න ගෑණිව මරල වල දානව. ඊට පස්සෙ ගෑණි බෝදිලිමෙක් වෙනව.


චිත‍්‍රපටි කතාවෙ ඇත්ත නැත්ත කොහොම වෙතා තාමත් අංග ජාතෙ ඉතුරු වෙලා තිබ්බ, කොළ කැද මදන මෝදක පිහිට පැතුව අයත් ඇතුළු හැමෝගෙම ජිවිතවලට ඒක අමුතු ප‍්‍රබෝධයක් ගෙනාවා. බොහෝ පවුල් නගරය හැර යන්න ගියත් නගරයේ බොහෝ හොඳ දේවල් ටිකකුත් සිද්ධ වුණා මේ බෝදිලිමගෙ ආගමනයෙන්. එකක් බස්වල ගෑණුන්ට කරදරයක් නැතුව හිටන් යන්න පුලුවන් වුණා. සීට්වල බුරු ඇදන් දිග ඇරන් ගිය කට්ටිය ඒ ජුන්ඩ කෙලින් කරල පෙන්නන ඉරියව්වෙන් අයින් වුණා.


සේරටම වැඩියෙන් කසාද බදිනකං කොල්ලො කෙල්ලන්ට නම නොකියන එක බලන්න තිබ්බ තහංචිය නැත්තට නැතිවෙලා ගියා. හැම අම්මා කෙනෙක්ම දුවට කිව්වෙ යාලුවෙච්ච කොල්ලගෙ ජුන්ඩ තියෙනවද කියල බලන්න හම්බවෙන හැමදාකම වරද්දන්න නං එපා කියල. ඉතින් කොල්ලො ජුන්ඩ පෙන්නුවෙ නෑ කෙල්ලො පෙන්නන කං.


මෙච්චර දේවල් වුනත් නගරෙ එක පිරිමියෙක්වත් හොයා ගන්න බැරුව ගියා ජුන්ඩ නැති වෙච්ච. ඒ කතාව හැමෝම දන්න රහසක් බවට පත්වුණා. හෝල් එකක් හෝල් එකක් නෑර, පල්ලියෙ මංගල්ලෙ උස්සන ආචාරීන්ගෙ රෝගෙත් තාම එහෙම්මම තමා. ඒක හරියන්න නං ජුන්ඩ මුදුනේ වෙඩික්කාරයෙක්ට ඉලක්ක වෙචිච කොකෙක්ම වහන්න ඕනෙයි කියලමයි මං කියන්නෙ.


ඉදල හිටල ඔෆිස් එකෙ කරන්න දෙයක් නැති වේචිච දවසට මං කළේ නගරයේ තැන තැන ඇවිදිමින් මුලින් සිද දමා තිබෙන තැන, ආකාරය, කොඩිය ජාතික කොඩියක්ද, මොන ආගමේද, මොන පක්ෂෙද, දකුණෙද , වමේ ද, වමේ නං මොන පිලේ ද යනා දී වශයෙන්.


මෙහෙම යන අතරෙ දවසක් මම දැක්කා ජාතික විරයෙක්ගෙ පිළිමයක් යට ඉන්නවා ගෑණියෙක්. ඈ විලි රුදායෙන් දඟලමින් සාප කළා. ඈ සාප කළේ ඒ කපුටන් පැහැරූ පිළිමයට සාදලමියි අංග ජාතය. ගිනි දවාලක දෙනෝ දහක් යනෙන මග, වතුර මලින් විභූෂණය වුණු වට රවුමකට මුහුණ ලා ගෑණියක් විලි පැහැරුවා. ඒත් නැත්තං මිනිසුන් අතැර ගිය නගරයක සොහොන් ගලක් උඩ උන්නා ගෑණියක් වදාගන්න බැරුව.


ඒ කාල යාත‍්‍රාවෙහිම එපුර කොනෙක සල පතල මලුවෙක, අතුල සුදු වැලි ද වගුල බෝ පත්ද කිදා ගිය මෝල් ගසෙක මුදුනට කටුස්සකු රූටෑවා. මෝල් තොලංග, අලෙව් කළ මතූල තෙල් සුඟෙහි වට මද්දහන් අව් කාස්ටකයෙන් තොංගල දිදුලෑවා. කටුස්සගෙ හිස මත වු හැන්දෙන් එ පුර වැස්සන්ගේ ඇස් ගෙඩි නිලංකාර වුනා. අව් කූටයට ඒ ගිනියං වෙද්දි ඌ නැගූ අම්මො’යි හඩ නගර ප‍්‍රකාරය ඇතුලස්සෙ දෝංකාර දුන්නා. ඌ මෝල් තොලංග- ඉහ තෙල් සීරු මාරු වන තෙක් බඩ වත එහි උලන්නට ගත්තා.


ලේ වෑහෙන වනයක්ව සයුරෙහි කිදෙන ඉර බෝලය මැද අංගාර කීලයක් සේ මෝලංගිරිය පේන්නට වුණා.