Saturday, August 21, 2010

අනුර ජයවර්ධනගේ ඇය සහ ඇය කියැවීමක්

මේ නිර්මාණය මට හමුවන්නේ අනුර ජයවර්ධනගේ මුහුණු පොතේ නිර්මාණ ඇල්බමයකිනි.


එහි අන්තර්ගතය පිළිබඳ මගේ අදහස් දැක්වීම මේ ආකාර නිර්මාණ බොහෝමයක තිඹිරි ගෙයක් වූ මුහුණුපොත් වාසීන්ගේ උනන්දුව පිණිස මෙහි ලියා තබමි.



සඳැස්- නිසඳැස් -ඡායාරූප මුහුවකින් මේ නිර්මාණය සංයුක්ත වේ.


"එලා සිසිලක නදී
එපා නොකියන මදී"


මේ යෙදුම් දෙක තවත් සකස් කරන්නට වූයේ නම් කවිය වාගාලංකාරයට යට නොවන මධුර දෙයක් බවට යම් පරිපූර්ණත්වයකට යන්නට ඉඩ තිබ්බා. අරුත් සහ අරුත් නොවන ‍දේ උදෙසා තාලය හුවමාරු කරගත් විට පැරණි සම්ප්‍රදායික කවිය ඇතුලේ සිදු ‍වූ දේ ... මේක ඇතුලෙත් සිදු වෙනවා. ඒක නව කවිය නම් වූ නැටුමට කොර පුද්ගලයෙක් එබ්බෙව්වා වගේ වැඩක්.


විසංයෝජනය


පළමුවෙනි පද හතරේ එන පුරුෂ ලෝකයේ ආශාවේ කේන්ද්‍රය සහ වස්තුව වන ස්ත්‍රිය පිළිබඳ පාරභෞතිකය සදාතනිකව සූචනය කරනු ලබන සංකේතීය විශ්වය නැවත පරිකල්පනීය ලෙස ගොඩ නංවා ඇති හෙයින් එහි විසංයෝජනයම එම පද හතර අවසානයේ ම ලැබෙයි. එනිසා මේ කවිය වෙනත් බොහෝ නිර්මාණ මෙන්ම මෙටාෆරය පැටාෆරයක් දක්වා සංවර්ධනය නොවීමේ දුර්වලතාවය නිසාම ඔලුවක් ඇතුලේ සිදුවිය යුතු විසංයෝජනය ඉන් පරිභාහිරව ම භාෂාත්මක ප්‍රකාෂණයේම සිදු වෙන්න සලස්වලා. ඒ කියන්නේ දෙවන පද පෙල තිබ්බත් නැතත් කවිය ඇතුලේ ස්ත්‍රිය කිච වෙලා. එපා නොකියන මදී යන යෙදුම පරස්පර හෝ නොගැලපෙන අරුත් හැඟවුම් ශ්‍රේණියක අතරමං වුවද එයින් පිළිබිඹු වන මදුවිත එපා කියන තෙක් පොවන ස්ත්‍රිය නම් භෞතික ස්ත්‍රිය නොවන පාරභෞතික ආශාවේ වස්තුවයි. අපට ඇය හමු වන්නේ සිනමා පටයක හෝ වැළ චිත්‍රපටයක හෝ ගණිකා ගුබ්බෑයමක දී වීම නිසා නොවන්නක් වන්නක් ලෙස සිහිනමය තත්වය සවිඥානිකව පොයටිකල් ලිවීමක් වීම තුළ එහි අභ්‍යන්තරය කඩා දමා ඇති බව යළිත් සාධනය වේ. එනයින් මේ කවියේ විසංයෝජනය කවිය තුළම සිරගතව ඇත. එනයින් කවියේ දෙවන කොටසේ එන මදුරු තැලීමේ මෙටාෆරය හුදු ප්‍රෝඩාවකි. මදුරුවන් තලා තමන්ගේ නින්දට සුව සලසන යථාවට අයත් ස්ත්‍රිය ද මේ කවිය ඇතුලේ පැවැත්ම පාරභෞතිකයකි. ඊට හේතුව ගොඩනගා ඇත්තේ කවියේ ග්‍රැෆිකය යි‍‍. කවියේ ග්‍රැෆිකය කවියේ භාෂාත්මක ගොඩනැංවීම පුහු ව්‍යායාමයක් බවට එක සැණින් හරවා දමා ඇත. නොඑසේ නම් ඒ දෙකෙහි ගැටුමෙන් උපදින කියැවීම් ගැන කතෘ සවිඥානික නොවීමේ දෝශය හේතුවෙන් මෙම සමස්තය අවුලක් බවට පත් කර ඇත. එය කුමක් වුවත් මා මෙහිදී සලකන්නේ කතෘ මේ සියළු දේ කොම්පෝස් කර ඇත්තේ සවිඥානිකව බවයි. එම උපකල්පනය නිවැරදි නොවන්නේ නම් ‍නිර්මාණය පාඨකයා නොමග යැවීමේ කුමන්ත්‍රණකාරී නිශ්පාදිතයක් වීම අහම්බයක් නොවේ. මෙම කවියේ සමස්ත වර්ගඵලය එකම කියවීමකට ලක් කළ විට එහි අන්තර්ගතයෙන් එහි ව්‍යුහය දෙවරක් විසංයෝජනාත්ම ඛණ්ඩනයකට ලක්වේ. අක්‍රිය මිනිසෙකු උඩුබැලි පා යුවලත් ඔහු හා රමණාවසාන ඉරියව්වක් නිරූපණය කරන ගැහැණු සිරුරත් හෝ අස්වාභාවික ලෙස රමණය අසල හෝ එබඳු කිසිදු රමණ යාන්ත්‍රණයක එළඹුමක් නැති සුව නින්දේ ව්‍යාජ ඉරියව්වක යෙදුනු ස්ත්‍රී ශරීරය අංගයක් ලෙස පෙනී යන කියුටෙක්ස් ගෑ නියපොතු සහිත ස්ත්‍රී පාද හැඟවුම් කරන්නේ භාෂාත්මක ගොඩනැංවීම සියල්ල සංකේතීය වෙස් මුහුණක් බවයි.
එනම් සැබෑ ස්ත්‍රිය එපා නොකියන තෙක් මධුවිත පොවන්නේ වත් පිරිමි සුවබර නින්දට මදුරුවන් තලා පොරෝන සකස් කරන්නියක් ද නොව ඇයද පිරිමි විඳින අලස සුව රාමුවම තුළ වැජඹෙන තවත් එක් පිරිමි ශරීරයක්ම බවයි.


මේ කවියේ භෞතික රාමුවේ අන්තර්ගතය අපව කැඳවා යන සංකේත ලෝකයයි. දෙවනුව එම සංකේත ඔස්සේ ගොඩනැංවූ පරිකල්පනීය ස්ත්‍රීවාදී ලෝකයයි.


රිද්ම සළකා බැලූ විට ද උක්ත අවුල නැවත හමු වේ.


පළමු පද හතරේ කොළඹ කවි රිද්මය විසින් පිරිමි ප්‍රෝඩාව ෆැන්ටසියක් බවත් දෙවන කොටසේ එන නිසඳැස් ආකෘතික රළු නැවතුම් සහිත ප්‍රතිපක්ෂ පද පේළි අට තුළ වූ ස්ත්‍රී හැඟවුම පිරිමි සත්‍යය වුවද එය නීතියක් බවත් ඒ තුළ ඇති ප්‍රෝඩාමය කියවීම ඒ දෙකටම පිටින් පවතින ග්‍රැෆිකය තුළ කොටු කළ වසා දැමූ යථ මතුවීම හරහා පුපුරා යන බවත් පෙනී යයි.


P.S.


මේ සියලු කාරණා කතෘ සවිඥානය තුළින් උපන්නද නැද්ද යන්න විමසීම කිසිදා යථාර්ථයක් නොවන යථකට අත වැනීමක් බැවින් එය බාතියානු අර්ථයෙන් කතෘගේ මරණය හරහා නිශේදනය කර දමා ඇති බව සලකන්න. නිර්මාණයක් සමග මගේ ගනුදෙනුව කතෘ ගේ පරිකල්පනීය සාධක ඉක්මවා යයි. කවියක වචන අතරට ග්‍රැෆික එබීම සරල කාරණයක් නොවේ. එය මනෝවිශ්ලේෂණාත්මක කියැවීමක් තුළ කතෘ විසංයෝජනාත්මක කියැවීමකට ලක්වේ. ම‍ගේ අවධානය නිර්මාණය‍ට පමණි.


ආශ්‍රිත ග්‍රන්ථ/වෙබ් අඩවි
1. Roland Barthes-Image Music Text
2. Roland Barthes-Camera Lucida
3. The Originary Metaphor- p. 270 Of Grammatology-Derrida
4. Pataphysics

Wednesday, August 18, 2010

ජීවිතය පිරී යයි


කාමරය මුල්ලේ
නිදා සිටි ගිටාර තත් මතට
සිවිලිමෙන් පතිත හූනෙක්
[ද්‍රාං!!!]
නංවයි තත්රාව බිඳ හුදකලා නිහඩබව


ජීවිතය හිස් කුහරයක් ගිටාර බඳ මෙන් 
මායිම් දාර නොදැකිය හැකි
අඳුරු බිත්තිවලින් වටවූ
සිතිවිලි දෝංකාර දෙන වැදී තැන තැන

බොල් හඩකට වුව
අනුනාද කැටි කළ
ගිටාර හිස් කුඹල මෙන්
නැවත නැවතත් ඇසෙයි
ඒ අහඹු තත්රාව
අදිසි හස්තයකින් පිරිමැදුනු
දිව නදකින් වාතලය කැළඹුනු


ජීවිතය පිරී යයි
අහස් වෙඩිල්ලක් මෙන්
ආලෝක දහරාවෙන්
අකුණක් කෙටුනු විලසින්


ලියා අවසන් වූ කල
සිත උපන් රස සතපා පද තුළ
කවියක...
ජීවිතය පිරී යයි



ඩෝසන් ප්‍රීති
08/2010

සිතුවම ArtRage ඇසුරෙනි.

Sunday, August 15, 2010

MAY be D & G ස්තුතියි සක්විති!


MAY be D & G

"මේ බි ඩී ඇන්ඩ් ජී "
"දාස් කැපිටාලය" ද නුඹ ඔය
පපුව මත්තේ ඇඳන් ඉන්නේ?

එහෙමත් නැත්නම්
අලුත්ම කොපියක් ද ඒකෙම
හරියට "දාස් ගැටකැපිලි කැපිටාලය"
නුඹ අතින් ඉන්දියාවෙදි ලියැවුනු?

මට නොතේරෙයි කුමක් දැයි D & G
දාස් කැපිටාලය නම් D & C විය යුතුයැ:
දාස් කැපිටාලය නම් D & K විය යුතුයැ

එහෙනම්
සමහර විට
"දාස් ගැටකැපිලි කැපිටාලයම" විය හැකියැ
සමහර විට
"දාස් කැපිලි කැපිටාලයම" විය හැකියැ

G...ගැටකැපිලි 
C...කැපිටාලය
K...කැපිලි
.....
.....

මට ඇත්තේ නුඹ ගැන ‍සොම්නසකි
නුඹට රැවටුන අය ගැන දොම්නසකි

නුඹ කියා දී ඇත
"දාස් කැපිටාලය" නිවැරදි බව නැවත !
ඒ නිසාය සොම්නස!!

ප්‍රායෝගිකව
චිත්තාකර්ශණීයව
බොක්කටම
දැනෙන්නට!

"වටිනාකම් වශයෙන් සියළු හුවමාරු භාණ්ඩ කැටි කරන ලද ශ්‍රම කාලයෙහි නිශ්චිත ස්කන්ධ පමණි."
එබැවින් එය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රම කාලය නියතයක් ව පැවැතියේ නම් හුවමාරු භාණ්ඩයේ වටිනාකම ද නියතයක්ව පවතිනු ඇත. එහෙත් ශ්‍රම ඵලදාවෙහි සෑම විචලනයක් සමගම පූර්වෝක්තය වෙනස් වෙයි. මෙම ඵලදාව විවිධ තත්ත්ව මගින් නිශචය කැරෙයි. වැඩකරුවන්ගේ නිපුණත්වයෙහි මධ්‍යක ප්‍රමාණය, විද්‍යාවෙහි තත්ත්වය, එය ප්‍රායෝගිකව වහරට ගැනීමේ පරිමාණය සහ භෞතික තත්ත්තවය ද ඒවා අතුරින් සමහරකි.

ප්‍රාග්ධනය
ධනපති නිෂ්පාදනය පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්
සිංහල සංස්කරණය ජයතිලක ද සිල්වා

වැඩකරුවා ඉතිං නුඹමය!
විද්‍යාවේ තත්ත්වය ගැන කතා කර කුමට
විද්‍යාව ප්‍රායෝගිකව වහරට ගන්නට
නුඹට විදග්ධයන් ද උර දී ඇත
භෞතික තත්ත්ව අපූරුය; එහෙමය!

නිශ්පාදන හිර වූ විට;
ශ්‍රම අතිරික්තයක් නොවන
කැපිටලයම සූරා කන්නට
සූත්‍රයක් නැති කල

පිරමිඩය දෙද‍රා ගිය විට...!

"එහෙම" උපයන්නවත්
"එහෙම" ධනවත් වන්නවත්
මේ "ක්‍රමය" සැදී නැති බව
නුඹෙ ජීවිතයත්
නුඹට රැවටුනු ජීවිතත්
අපට පෙන්වා ‍දී ඇත්තේය

දැන් මිනිසුන් ආයෙමත් ඉඟිමරයි- තළුමරයි
නුඹේ ආගියාව- යටගියාව ගැන
පත්තර පිටු පිරෙයි;
චෝදනා- පැමිණිලි- වාර්තා
පුවත්පත් වර්ගඵල පුරවයි
ලියන්නන්ගේ බඩකට පුරවයි
එනමුත් සියල්ලන් නොලියන
එනමුත් සියල්ලන් නොදකින
නුඹ කියා දුන් පාඩම යට නොයයි
නුඹ ඉපැදුනේ උගන්වන්ටම බැවිනි!

මිනිසුන් සූරා කෑ යුත්තේ සෙමිනි!
මහන රෙදි කඩක මැහුමකට යන ශ්‍රමය
බිංදුවෙන් බිංදුව පමණි සූරා ගත යුත්තේ
ශ්‍රමය සූරා ගත යුත්තේ සෙමිනි; නිසොල්මනේය!

තැලෙන පොල් ලෙල්ලක කෙන්දක තරමින්
ස්වල්පයෙනි එ ලෙලි තලන්නා සූරා ගත යුත්තේ
එබඳු කෙදි සහසකින් සහශ්‍රයකින්
එබඳු අතැඟිලි දහසකින් සහසකින්
වැගිරේ ලාභය
සීරෙයි රුධිරය
නොපෙනෙයි එය සූරා කෑමක් වංචාවක් බව
නිරුපද්‍රිතයි ඒ සොරකම!

ඉතිං නුඹ අපට කියා දී ඇත
ධනය 
එක් රැස් කළොත් චණ්ඩ ලෙස  ‍
විනේ කටින බව!
එනමුත් සතෙන් සතේ
මිනිස් රුහිරු-දාඩිය සොරා ගෙන
සල්ලි කඳු ගොඩ ගසන එක...

නීත්‍යානුකූලයි!
පවිත්‍රයි!!
අකලංකයි!!!

"මේ බී දාස් කැපිටාල්..."
"මේ බී දාස් ගැටකැපිලි කැපිටාල්..."
නුඹ අපට උගන්වා ඇත
ස්තුතියි සක්විති!


ඩෝසන් ප්‍රීති