Friday, September 2, 2011

Tuesday, August 30, 2011

"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"

තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි.

විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද?

මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ අරගෙන ඇත. දෙකේම පොදු ලක්ෂණය වන්නේ මරණය පිළිබඳ ගෙනෙන අපූරු උත්කර්ෂය යි.‍

කවිය මතුපිටින් නොකියැවෙන දේ කුමක්දැයි සොයා යමු.

නිර්මානයකට අවිඥානිකව ඇතුලත් වූ මේ මරණයේ සංකේතීය ප්‍රකාශණය යනුම මරණ හඹා යාමේ පෙළඹුම ලෙස වෙනත් ලෙසකට කියවා ගැනුමට ඇවැසි කෙනෙකුට නිදහස ඇත. නමුත් මරණ හඹා යාම යනු ග්‍රාම්‍යාර්ථයෙන් මරණය කරා එළඹීම පිළිබඳ ෆැන්ටසික ඛණ්ඩාංක නිමවා ගැනීමක් නොවේ. ඩෙත් ඩ්‍රයිව් යනුම ජීවිතය (අන්ඩෙඩ්) අමරණීය තත්වයක පවත්වා ගැනීමට අවිඥානිකව එළඹීමයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩියානු සංකල්පයක් වන ආංශික වස්තු (partial object) වෙත ගමන් කිරීමට සිදු වේ.



ආංශික වස්තු යනු මොනවා ද?

අපි ස්ලාවෝ ජිජැක් ගේ ද පර්වර්ට්ස් ගයිඩ් ටු සිනමා (The Pervert's Guide to Cinema)නම් වූ වීඩියෝ පටයේ එන ඔහුගේ අදහස් දැක්වීමකට යමු.

The fascinating thing about partial objects,
in the sense of organs without bodies,

is that they embody
what Freud called "death drive".

Here, we have to be very careful.
Death drive is not kind of a Buddhist
striving for annihilation.

"I want to find eternal peace. I want..."
No. Death drive is almost the opposite.

Death drive is the dimension of what
in the Stephen King-like horror fiction

is called the dimension of the undead,
of living dead,

of something which remains alive
even after it is dead.

And it's, in a way, immortal in its deadness itself.

It goes on, insists. You cannot destroy it.

The more you cut it,
the more it insists, it goes on.

This dimension,
of a kind of diabolical undeadness,

is what partial objects are about.

Slavoj Zizek-Pevert's Guide to Cinema

"ආංශික වස්තුවල ඇති විශේෂත්වය නම් ඒවා ශරීර විරහිත අවයව වී ඩෙත් ඩ්‍රයිව් Death Drive (මරණය හඹා යෑම) තුළ ඇසිරී තිබීමයි. මෙතැන දී අප ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මරණය හඹා යාම යනු අතිශය පරිශ්‍රමයකින් කෙලෙස් මූලෝත්පාටනය කරන බෞද්ධ විදිය නොවෙයි.

මට මගේ අභ්‍යන්තර විමුක්තිය සොයා ගන්න ඕන-මට විමුක්තිය සොයාගන්න ඕන...
නැහැ. ඩෙත් ඩ්‍රයිව් යනු එහි සමස්ත විලෝමයයි. ප්‍රතිවිරුද්ධාර්ථය යි.

ඩෙත් ඩ්‍රයිව් යනු ස්ටෙෆන් කිං ආකාරයේ හොල්මන් ප්‍රබන්ධයක හැඳින්වෙන ආකාරයේ අන්ඩෙඩ් (මිය නොගිය) මානයයි නැතහොත් ජීවත් වන මළකඳ යි එනම් යමක් මියගිය පසුවද ජීවයෙන් පැවතීමයි. එනම් එය එක්තරා අයුරකින් මෘත කලේබරයක අමරණීයත්වය යි. එය සදාකාලිකව පවතිනවා. ඔබට එය විනාශ කළ නොහැකියි. ඔබ එය කපන්න කපන්න විනාශ කරන්න කරන්න එය වඩාත් තහවුරු වෙනවා. ස්ථිරත්වය ට පත්වෙනවා.

මෙම මානය එක්තරා පාපිෂ්ඨ ආකාරයක නොමළ තත්වයක් පවත්වා ගැනීමට ආංශික වස්තු යන ව්‍යවහාරය භාවිතා වෙනවා."

අපට ආංශික වස්තුවක් ලෙස බුදු පි‍ළිමය හඳුනා ගත හැකිය. එය සංකේතීයව අප වෙනුවෙන් භාවනාවේ යෙදී ජීවිතයේ විමුක්තිය පිළිබඳ අභ්‍යාසයේ නිමග්න බැවින් අපට ඕනැ තරම් අපරාධ කරමින් ලෞකික ජීවිතය ගත කළ හැකිය. ඒ මන්ද යත් අප වෙනුවෙන් ඒ පිළිම සංකේතීයව සදාකාලිකව විමුක්තිය සොයමින් තැංතැංවල භාවනානුයෝගීව සිටීමයි. අපට කළ හැකිව ඇත්තේ හෝ කිරීමට ඉතිරිව ඇත්තේ මාසයකට වරක් හෝ අවම වශයෙන් රිචුවල් ආකාරයෙන් පූජාකර්මයක් ලෙස පන්සලකට හෝ බුද්ධ ප්‍රතිමාවකට මල් පහන් හඳුන්කූරු පිදීම පමණි. ඉතිරි කොටස එනම් අපගේ විමුක්තිය වෙනුවෙන්- අපගේ අභ්‍යන්තර විමුක්තිය පිළිබඳ ඇති ක්ෂුද්‍ර ආශාවේ වස්තුව වෙනුවෙන් එම ප්‍රතිමාව විසින්- මරණය හඹා යාමේ මානයක අපට නොපෙනෙන අවිශය වන ඉසව්වක ශ්‍රමයක් වගුරා ඉටු කර දෙනු ඇතැයි යන අවිඥානික විශ්වාසයෙන් අප තෘප්තිමත් වෙමු. අපගේ අභ්‍යන්තර විමුක්තිය පිළිබඳ ඇති ආශාව හෝ තණ්හාවේ බෞද්ධ තත්‍ය ස්වරූපයට පටහැණි මෙම ආශාව ද්‍රව්‍යමය ස්වරූපයක් අත්කර ගන්නේ බුද්ධ ප්‍රතිමාව ලෙසය. එනම් බුද්ධ ප්‍රතිමාව යනු සංකේතීය ලෙස අමරණීයත්වයට පත් මරණයකි.

Perhaps the ultimate bodily part

which fits this role
of the autonomous partial object

is the fist, or rather, the hand.

-ස්ලාවො ජිජැක්

අප දෑත් එකතු කර වැඳීමෙන් දෙහොත් මුදුන් තබා වැඳීමෙන් කරනු ලබන්නේ මෙම ආංශික වස්තුවල ඒකාග්‍රතාවයක් ඉටු කිරීමයි. බුද්ධ ප්‍රතිමාවක දෑත් ද තව දුරටත් ආංශික වස්තුවල දිගු ලෙස ක්‍රියාකරන බැවින් ඒවායේ අනුයුක්ත විවිධ සංකේතීය ප්‍රකාශන ද වේ. ඒවා මුද්‍රා ලෙස අපි හඳුනා ගන්නෙමු. මේ දෑත් වලින් නිමැවුනු අභිනය යනුම ජිජැක් පවසන ආකාරයේ ආංශික වස්තුවල සංකේතීය කූටප්‍රාප්තියයි.

අතක් ඉහලට ආනතව ඔසොවා බලය පිළිබඳ සංකේතීය ව්‍යාපෘතිය සමාජයට මුදා හළ හිට්ලර් මෙන්ම අහිංසාවාදී මුද්‍රාවෙන් සමාජය වෙත විමුක්තියේ සංකේතය සංනිවේදනය කරන බුද්ධ ප්‍රතිමාව ද ආංශික වස්තු ලෙස අපගේ විමුක්තිය පිළිබඳ කිසිදා සංකේතීයව අත් නොවන ආශාවේ වස්තුව සඟවා ගෙන සිටියි.

"There is only one object of desire, OBJET PETIT A, and this is represented by a variety of partial objects in different partial drives. The OBJET PETIT A is not the object towards which desire tends, but the cause of desire. Desire is not a relation to an object, but a relation to a LACK."

"මේ ආශාවේ වස්තුව යනු ඒකීය පැවැත්මක් වන ආශාවේ ක්ෂුද්‍ර වස්තුවයි. මෙය විවිධාකාර වූ ආංශික වස්තු ලෙස ආංශික පෙළඹවීම් ඔස්සේ සංකේතීයව ප්‍රකාශ වේ. ආශාවේ ක්ෂුද්‍ර වස්තුව යනු ආශාවේ නැඹුරුතාවය දිශානතිය පෙන්වන දෛශිකයක් නොවේ. එය හුදෙක් ආශාවේ හේතුවම ය. ආශාව යනු වස්තුවකට ඇති සම්බන්ධයක් නොවේ. එය කිසියම් අඩුවක් හා බැඳී ඇති දෙයක් පමණි. "

පිටුව 38-An Introductory Dictionary of Lacanian Psychoanalysi

අපගේ ආශාවෝ සියල්ලම කෘත්‍රිම වෙති. අපි නැවතත් පර්වර්ටස් ගයිඩ් ටු සිනමා (The Pervert's Guide to Cinema) ආරම්භක දසුන් පෙළ වෙත යමු.

There is nothing spontaneous,
nothing natural, about human desires.

Our desires are artificial.

We have to be taught to desire.

Cinema is the ultimate pervert art.

It doesn't give you what you desire,
it tells you how to desire.

THE PERVERT'S
GUIDE TO CINEMA

"මනුෂ්‍ය ආශාව පිළිබඳ කිසිවක් ස්වයංජාත නැත-ස්වභාවික නැත. අපගේ ආශාවන් කෘත්‍රිම ය. අප ආශා කළ යුත්තේ කෙසේදැයි අපට ම ඉගැන්විය යුතුය. සිනමාව යනු අවසන් විපරිවර්තිත කලාව යි. එය ඔබ ආශා කරන දෙය නොදෙයි. එය ඔබට ආශා කළ යුත්තේ කෙසේදැයි කියයි. "

දැන් කිව යුත්තේ කවිය යනු ඔබගේ ආශාව නොවෙයි. එය ඔබගේ ආශා වස්තුව දෙනු වෙනුවට කවිය ඔබට ආශා කළ යුත්තේ කෙසේදැයි කියා දෙයි යනුවෙනි.

ඕලන්ද අහස

බිමට බර වුණු වළාකුළු මුහුණු
හඬන්නට ළං ව දෑල ඉවුරු වසා ගෙන
පරවුණු කුමුදු මල් පෙති-දෙපෙති අහුලා
සේපාලිකා පලස වියයි තිත්තාඳුරට ම
සුවඳ, ළය මත්තෙන් ඇද ඉහිරවා ගෙන

ඇහැරුණු අලුයම දෝතින් විදා ගෙන
සයුරු තෙර වැතිරෙන්නෙ
ඕලන්ද නිල් අහස කිරි ඉද්දමල් ඉහින

ක්ෂිතිජය වුවත් රවටන්නට ඇහැකි
රළ බිඳෙන තැන එ තැන ම නම්
විසල් පොළොවකට පවා ඉඳ හිට
ඉරු එළිය අඳුර ගෙන එනු නැති ද
හස රළ ලිහා හිත බිඳුණු තැන පිරිමැද
මන්ඳ අඳුරක දිලෙනු නැති ද

වකුටු වුණු අතැඟිළි අතර
තීන්ත අහවර පන්හිඳ රුවා ගෙන
වැරදුණු අකුරින් අකුර අමුණා
කඳුළකට මඟ කියන අතරමඟ නතර වුණු
කතා නොකරන කණස්සලු වීථියෙන්
යළි යළිදු මඟ අසන
අකීකරු ඒදණ්ඩක ඉස්මත්තට
හිතුවක්කාර වැහි සිත්තම් තව කුමට

මේ ඕලන්ද අහස යට
කැකෑරෙන හදවත පුරුද්දන
කිසිවෙකුත් නැති නිම්තෙරකි
අපමණ නෑයන් එහා මෙහා ගිය
පාලම වුව ද කැඩී බිඳී ගොස් ය

රළ වෙරළ සිප ගන්නේම නැත
නිල් අහස අමනාප වෙද්දැයි
සිත බිය ගන්නවා මිස
සිළිලාර හඬ නඟන්නේ ද නැත
රහසින් ඉකිබිඳිනු ඇසෙනු මිස
ලවනත සැඟවුණු ලවණ මුසු වුණු
මන්දස්මිතයක්වත් දකින්නට නැත

ඉතිං මේ දුරක් නෑගම් ආවාට
නෑයෙක් කියා කියන්නට කිසිවෙක්
හමු වුණු එකම උදෑසනක්වත් නැත
මනස්කාන්ත සැඳෑවෝ ය
කිළිටි උවනත වසා ගෙන
අහක දමන ආකහේ බදා ගෙන

අමනාප වුණු අමාවකත් පාරවන
රළු තිතකි
ඒ එකම තිත මත ම අභිමුඛව
දුනු හේවායෙකුට පුළුවනි ද
දඩයම හැර දුවන්නට
තෙතබරිත නෙතු සඟල ඉහද්දර රිදුණු
පිනි පොකුරු ඔය තරම් හඬන්නම ඕනි ද
අත්තල මත්තේ ම පා පතුල් දුක විඳින්නේ මන්ද
මැකී යනුයේ ඉතිං මැසිවිලි ද වැලපිලි ද

බලන්න හිස ඔසවා උස් ව
අහසකටත් හීන් කටහඬක් ඇත
සවන් පෙති ඉහත්තේ ඉකිබිඳින

පපු කුහර බිඳ දැම්ම හී පහර සැර නැද්ද
මඳ පවන ඇදෙන කොට හුස්ම තැවරුණෙ නැද්ද
පින්න අතගාන කොට කඳුළු දුටුවෙම නැද්ද
ඕලන්ද අහස යට මැරුණු පැතුමක් නැද්ද

-අහ්ක්ලම් [08.08.11]
තුෂාරි ප්‍රියංගිකා


ෆැන්ටසියේ පරික්‍රමණය
Traversing of fantasy

"... Bearing in mind that our capacity to desire involves the paradoxical structure of the forced choice (of the empty symbolic gesture of an offer to be rejected; of the gap between the explicit symbolic texture which guarantees the choice and the phan-tasmic obscene supplement which precludes it - that is, of the gap which separates the public symbolic space in which the subject dwells from the phantasmic kernel of his/her being), one can appreciate the radical character of'traversing the fantasy': by means of this traversing, the gap is closed, the structure of the forced choice is suspended, the closure of being is fully accepted, the hysterical game of'I offer you X (the opportunity to leave our community), on condition that you reject it', which structures our belonging to a community, is over. Once we move beyond desire -that is to say, beyond the fantasy which sustains desire - we enter the strange domain of drive the domain of the closed circular palpitation which finds satisfaction in endlessly repeating the same failed gesture.

Page 40- Slavoj Zizek: The Plague of Fantasies

"යම්කිසිවෙකුට ෆැන්ටසියේ පරික්‍රමණය පිළිබඳ රැඩිකල් ස්වභාවය ඇගයීමට - අපගේ ආශාවන් තෘප්ත කර ගැනීමේ ධාරිතාවය බලහත්කාරයට පමුණුවන ලද කැමැත්තේ පැරඩොක්සීය හෙවත් විරුද්ධාභාෂී ව්‍යූහය සමග බැඳේ.

මෙම පරික්‍රමණයේ ආනුභාවයෙන් හිදැස වැසී -බලහත්කාරී කැමැත්තේ ව්‍යූහය අවලම්බිත වන අතර පැවැත්මේ සංවෘත තත්වය සම්පූර්ණයෙන් ම පිළිගැනෙන අතර හිස්ටෙරික ක්‍රීඩාවේ මම ඔබ වෙත එක්ස් නම් වූ දෙය ප්‍රදානය කරමි (ඔබට අපගේ සමාජ වෘතය හැර යාමේ අවකාශය නිදහස් කර) නමුත් එය ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුත්තේ එමගින් අපගේ සමාජ වෘතයට අප පමණක් අයිති බැව් සාක්ෂාත් වීම අවසන් වන බැවිනි. අප අපගේ ආශාවන් ගෙන් ඔබ්බට චලනය වන විට එනම් ෆැන්ටසිය එනම් ආශාවේ පැවැත්මෙන් ඔබ්බට යද්දී අප ඇතුළු වන්නේ ඩ්‍රයිව් වල (එළඹුම් හෝ පෙළඹවීම් වල ) අරුම පුදුම විමානයට ය. එනම් එක දිගටම චක්‍රීය ලෙස එල්ල හිස් බැල්මකින් තෘප්ත වන්නට සිදුවන සංවෘත අවකාශයට ය." (Translator's note: විදේශයක ජීවත් වීම ම මෙවැනි තත්වයක් විඳීම ය.)

එනම් වඩාත් පැහැදිලිව කියන්නේ නම් අපට ආගන්තුක සමාජයක් තුළ හෝ පිටස්තරයකු ලෙස එහි ඇතුළු වී ජීවත්වීමට හැකියාව උපදින්නේ ම ඔවුන් විසින් අපව එම සමාජයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීමට කරනු ලබන ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙනි. මේ අනුව ඔවුහු වඩාත් ප්‍රගිතිශීලි ලෙසින් අපට ඔවුන්ගේ සමාජයේ කොටස්කරුවන් වන්නට ආරාධනා කළ ද එය හුදෙක් සංකේතීය ආරාධනයක් පමණි. එය ඔබ ප්‍රතික්ෂේප කළහොත් පමණි ඔබට එහි රැඳී සිටිය හැක්කේ. අනෙක් ආකාරයෙන් ඔවුනට ඔබව ඔවුනගේ සමාජයෙන් පිටමං කළ හැකි අතර එය අමානුෂිකත්වයක් වන බැවින් ඔවුහු වඩාත් මානුෂික ලෙස ඔබව සමාජයෙන් පිටමං කරන්නේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නට මං පෑදීමෙනි. මේ අනුව මෙම ආරාධනා ප්‍රතික්ෂේප කිරීම ම යනුම ආශාවේ අතෘප්තිය පවත්වා ගෙන යාමේ උපක්‍රමයකි. මෙම ආශාව එක්තරා ආකාරයකින් ඕලන්ද අහස ලෙස හෝ මරණයේ ධාවකයේ ආංශික වස්තු ලෙස හෝ නිර්මානයක ගැබ් ගනී. එය ඉන්පසු හඹා යන්නා වූ විමුක්තියක ක්ෂුද්‍ර වස්තුවක් බවට පත් වී අප වෙනුවෙන් විමුක්තිය සොයන කවියක් බවට පත් වී අමරණීයත්වයට පත්වේ. ලංකාවේ විමුක්ති අරගලයේ කොටස්කරුවන් වෙනත් සමාජ තුළ කොටු වී සිය විමුක්ති අරගලය පිළිබඳ ගොඩනැංවෙන නිර්මාන තුළ සැඟවුනු මරණයේ මානය කොතරම් අවිඥානික වුව ද එය පොළෝ ගැබ පලා එන ලෝ දිය දහරක් සේ නිතින් සිය මනස තුළ බුබුළුලමින් ඇති බැව් මේ නිර්මාන අපට රහසේ කොඳුරයි....

"This closure of drive, of course, is not to be confused with the domain of pre-symbolic animal bodily instincts; crucial here is the basic and constitutive discord between drive and body: drive as eternal-undead' disrupts the instinctual rhythm of the body. For that reason, drive as such is death drive: it stands for an unconditional impetus which disregards the proper needs of the living body and simply battens on it It is as if some part of the body, an organ, is sublimated, torn out of its bodily context, elevated to the dignity of the Thing and thus caught in an infinitely repetitive cycle, endlessly circulating around the void of its structuring impossibility. It is as if we are not fit to fit our bodies: drive demands another, 'undead' body. The Unputrefied Heart', a poem by the Slovene Romantic poet France Preseren, perfectly expresses the partial object of drive which is libido: years after a poet's death, his body is excavated for some legal reason; all parts of his corpse are long decayed, except the heart, which remains full of red blood and continues to palpitate in a mad rhythm - this undead organ which fellows its path irrespective of the physical death stands for the blind insistence; it is drive itself, located beyond the cycle of generation and corruption. One is tempted to subtitle this poem 'Preleren with Stephen King': is not such an undead partial organ one of the archetypal motifs of horror stories? Does it not index the point at which sublime poetry overlaps with repulsive horror?

Page 42- Slavoj Zizek: The Plague of Fantasies

සිහිනය

සිහින කාලකණ්ණිය
බිය ගන්වන සුලු ය
හැමදාම අඳුර තුළ
උපරි විඥාණයට තැනක් නැත

රාස්සි‍ගෙ අව්ව ට
පත් සෙමින් සෙලැවෙන
රබර් වත්තට ගොඩ වෙමි
මේ අපේ ඉඩම් යැයි උදම් ඇනූ
ආච්චි ගෙ වැඩවසම් ආදරය
නුරුස්සන හැඟීමක් ඇති කරයි

රබර් ඇට වසාගත්
චන්ඩ කෝෂය බිදිමි
එකින් එක ගණන් කර
පන් මල්ල පුරවමි
ඊට පසු ඉහිරෙන්න ඉඩ හරිමි

බඳ රිඳන විට ගසා පිහි පහර
හැඬූයෙන් සැදි ඔට්ටපාලුය
රබර් ගඳ ඉවසමින්
ප්‍රත්‍යස්තතාවයට හිස නමමි
වැඩවසම් අයිතිය කෙලවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි

කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට
රබර් මුල් කාල මංජුසාවකි
මිටි මෙළ වූ අත ලිහා නිදන් ලමි

ආදෙරන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය

විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී

ආච්චී ආදෙරන් අත වනයි
ඇගේ උණුහුම ලඟින්
මගෙ දිගට පළල ට
යහන සදමින් වරෙන් යැයි කියයි

මියෙන්නෝ භාග්‍යවන්තෙයෝ ය
මක්නිසා ද, නො විඳවීම ඔවුන්ගේය

සුභද්‍රා ජයසුන්දර
අගෝස්තු 2011

අවසානයේ අජිත් සී හේරත් විසින් 1994 දී හිරු පුවත්පතේ නිම්තෙරට රචිත පහත දැක්වෙන කවිය මම රතු බූන්දියෙන් උපුටා ගනිමි.

මරණයට පත් වූ මිත්තණියත් ඇගේ කතන්දර සිය සුපිරි අහමේ මිය ගිය සංකේතීය අණක් බවට පරිවර්තිතව අජිත් සී හේරත් මීට වසර දහ හතකට පෙර අකුරු කළ මේ කව ඉහත වත්මන් තතු යටතේ ලියැවෙන මරණයේ ධාවකයේ ආංශික වස්තු හා ප්‍රතිසම වීම මෙන්ම තීවෘර බව නොකිව මනාය.

වික්ෂිප්ත සංක්ෂිප්තය

තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.

මග දිගේ වපුළ මළ කඳන්
ගණන් කරමින් ඇවිද
ආපසු බෝඩිමට පැමිණි විට
සොල්දෙරෙන් බැස ආ
අඟුටු මිටි මිනිස් රූ
බෝල කූඩුවේ එල්ලී මැරී තිබිණි.

අවසාන බෙහෙත් පෙත්තද ගිල දමා
නිදාගන්නට හදන විට
හැමදාම වසන්නට අමතක වන ජනේලෙන්
කොහෙදි හෝ දැක පුරුදු කවුරුදෝ
හිස පුරා ලේ තැවැරි වෙළුම් පටි ඔතාගෙන
අද රෑත් හෙමින් එබිකම් කරයි.

හඳ එළිය විසුළ බඩවැටි අතර
ගී ගයන සිනාසෙන දුව පනින
ළමා අවතාර හා පියාඹන්නට සිතමි.
එහෙත් උන් එක්වරම මා අතැර
මහ හඬින් හඬාගෙන
වල් වැදුණ සොහොන් කොත් අතර සැඟවෙයි.

පාන්දර අවදි වී වේලාව බලන විට
බිත්ති ඔර්ලෝසුවේ තැනූ
ගේ කුරුළු කූඩුවේ මිනී ඔළු
ආහාර අයැද මුව විවර කර
කුරුළු හඬකින් කෑගසයි.

හොඳ මිනිසුන් නොමියන
අවසනදී හැම දෙනා සතුටින්
බොහෝ කල් වෙසෙන
එකමත් එක රටක් ගැන
එකම එක කථාවක් අසා ගන්නට
ආත්තම්මා එන තෙක්
සියවස් පහක පරාජය හිස දරාගෙන
මිහින්තලේ පහළම ගල් පඩියේ
වාඩි වී බලා සිටියෙමි.

එහෙත්
විසි වසක් පමා වී පැමිණි
විදුලි පුවතකට අනුව
දැන් ආත්තම්මාද මිය ගොස්ය.

-නිම්තෙර [හිරු- 1994 දෙසැම්බර් 25]
අජිත් සී හේරත්

නැවතත් ස්ලාවො ජිජැක් දක්වන අදහසකින් මේ ලිපිය සමාප්ත කරමි.

And the lesson is clear.

The only way for me
to get rid of this autonomous partial object

is to become this object.

-from The Pervert's Guide to Cinema

"දැන් අපට පාඩම පැහැදිලිය. මට අනුව (ස්ලාවො ජිජැක්ට) මේ ස්වතාන්ත්‍රික ආංශික වස්තුවෙන් මිදීමේ එකම මග නම් එම වස්තුව බවටම පත්වීමයි." -ස්ලාවො ජිජැක්

මේ මොහොතේ දී, විදෙස්ගතව අනෙකාගේ විමුක්තිය පිළිබඳ සිරගත සිතුවිලි අකුරු කරන අයට කළ හැක්කේ මෙබඳු රහසිගත පණිවිඩ කවි තුළ ඔබා අප වෙත එවීම පමණි.