Saturday, February 28, 2009

බිලේනියම්

බිලේනියම්

මම
මට අයිති
ගහ කොළ මල් වැල්
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මම සතු කර ගතිමි

මම
මට අයිති
මහ පොලොව දිය ඇලි කඳු සිඛර
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මම සතු කර ගතිමි

මම
මට අයිති
හිරු එළිය මද පවන සියොත් ගී රාවය
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මා සතු කරගතිමි

මම බිලේනියම් සිටියේ නිවසක පදිංචියට ආවෙමි.


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/02

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 24

1986 ජුලි 24

ඇස් වාට්ටුව පැත්තේ මාවතක කුණු බාල්දි අවුස්සන හිගන මනුස්සයා ගැනත් ගල් ගසමින් ඔහු පන්නා දමන ධනපති ගෙවල් හිමියා ගැනත් හැමදාම උදේට මගේ මිත‍්‍රයෙක් කතා කරනවා. අද උදෙත් එහෙමයි.

"ලියපල්ලා... ඔවා ගැන. එංගලන්තේ රාජ කුමාරයන්ගේ මගුල් ගැන පිටු ගණන් ලියන උඹල දුප්පත් මිනිහෙක් ගැන ලියන්න අදිමදි කරනවා."


හැමදාමත් ඔහු බැණ වදින්නේ ඒ අන්දමටයි. ඔහුගේ කතාව ඇත්ත. ඒත් වෙලාවකට හිතෙනව දුප්පතුන් ගැන ලියලම වැඩක් නැහැ කියලා. අඩ නිරුවත් හිගන මිනිසෙකුට අඳින්න වස්ත‍්‍රයක් නොදී ගල් ගසමින් පන්නන පාහරයින් ගැන එක වැකියක් ලියුවත් පෑනෙ තින්ත ටිකත් අපරාදෙ. මෙය සාප ලද්දවුන්ගේ දූපතයි. මෙය කඳුළු සලන්නන්ගේ දූපතයි. අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැගී නොසිටින්නෝ සාප ලද්දෝ වෙති. හැම දෙයක්ම දෛවයට බාර දී කඳුළු සලන්නෝ අමනයෝ වෙති. ඇතැම් විටෙක මුළු ලොවටම සාප කරන්නට මට ද හිතෙන්නේ ඒ නිසාය. එහෙත් මා වැරැදියැයි පසුව සිතේ. සාප කළ යුත්තේ ලෝකයේ දුප්පතුන් බිහි කොට පසුව උන් වනසා දමන රුදුරු පාලකයින්ටය. හිත්පිත් නැති සූරාකන්නන්ටය. දුප්පතුන් හා පීඩිතයින් අපේම ලෙයයි. අපේම හුස්මයි. අප ඔවුන්ට පේ‍්‍රම කළ යුතුය. පේ‍්‍රමයෙන් වැළඳගත යුතුය. කෲරත්වයෙන් මිදීම සඳහා ඔවුන් හා අත්වැල් බැඳගත යුතුය.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Thursday, February 26, 2009

සැරද පෙප්සි!

නව සඳ බැලීම

එන්න පුතේ එන්න දුවෙ
අන්න බලන් සඳ
එය මත පෙප්සි ලකුණ සොඳ !

නැකතට දැන් ගනිනු පුතේ එක දෙක තුන...පහ
අන්න බලන් එක මොහොතක පෙප්සි නැතිව සඳ

විනාඩි තුනකට පමණක් සඳ අප වෙත පෑ
පෙප්සි සමාගමට මෙන්න අපගේ ගරු සරු

සැරද පෙප්සි!



2012 දී සිංහල දෙමල අවුරුදු සමයේ නව සඳ බැලීමට පෙර රජය විසින් විශේෂ ඉල්ලීමක් කිරීමෙන් පසු චිරාත් කාලයක් පවත්වා ආ නව සඳ බැලීමෙ චාරිත‍්‍රය ගැන සලකා බලා පෙප්සි සමාගම විනාඩි තුනකට සඳමත ලේසර කිරණ මගින් හෙලා ඇති සිය ලොගෝව ඉවත් කර දුන්නේය.

ඒ විනාඩි තුන සඳහා ශ‍්‍රී ලංකා ජනරජය සහ ඉන්දියාවෙ නව සඳ බලන චාරිත‍්‍රය පවත්වා ගෙන යන ප‍්‍රාන්තයන් සියල්ල එකතුව ඇමරිකන් ඩොලර් මිලියන තුනක් පෙප්සි සමාගමට ගෙවීය.

අලුත් අවුරුදු සමරන සියලු ජාතීන් විසින් මෙ නව සඳ බැලීමෙ චාරිත‍්‍රය පවත්වා ගෙන යනු වස් අලුත් බද්දක් ඒ ඒ රජයන් විසින් කැබිනට අනුමැතියෙන් පවත්වන්නට යෙදුනි.

ජනතාව චාරිත‍්‍ර වාරිත‍්‍ර පවත්වා ගෙන යනු පිණිස බද්දකට පිවිසෙන ෙඓතිහාසික අවස්ථාවට සතුටින් දායක විය.


[මසකට පෙප්සි කුඩා බෝතල හතරක් හෝ ලීටරයේ බෝතල එකක් පරිභෝජනය කළ බිල්පත් ඉදිරිපත් කිරීමෙන් මෙ බද්දෙන් නිදහස් විය හැකි බවට අතුරු පණතක් ද සම්මත විය.]

Wednesday, February 25, 2009

ප‍්‍රචාරණ දැන්වීම්

ප‍්‍රචාරණ දැන්වීම් on moon: hurry up!

අන්න හඳ මත
පෙප්සි සලකුණ!

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
පෙප්සි බොතලයක දාලා
ඒ පුන් සඳ මම උගුරට බොන්නම්
ආතර් සී ටත් පහක් දමා

අන්න බලන් සඳවට කැරකෙන චන්දිරිකාවෝ
අන්න බලන් සඳමත උන් හෙලන කිරණ දහරාවෝ
අන්න බලන් සඳ මහ තිරයක් වී වෙළඳ ලකුණු පැහැරුවෝ
අන්න බලන් සඳ හාවා පනින ලක ගින්නට ලේසරයෝ

වෙළඳ ප‍්‍රචාරණ දැන්වීම්
සඳ මත ඔබෙ ව්‍යාපාරික සලකුණ
මුළු ලොවට පෙන්වන්න
පැයකට ඩොලර් මිලියනයයි

පිස්සු හැදෙන සඳ!


Tuesday, February 24, 2009

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 22

1986 ජුලි 22

ආමර් වීදියේ කපුටන් වහන ගහ යටට අළුත් සිගන්නියක් ඇවිත්. මට එය තේරුම් ගියේ අද දහවල් එතැන ඇති වූ දෙබසකින්.

"දැන් මෙකද කරන්නේ?" මහළු ගැහැණිය ළගට පැමිණි තවත් මහළු ගැහැණියක් ඇසුවාය.

"ඔව් අනේ. වෙන මොනව කරන්න ද? ජීවත් වෙන්නත් එපායැ......."

"දුව කරන්නෙත් ඔය රස්සාවම නේද? මට ඊයේ පෙරෙදා මරදානෙ දී හම්බ වුනා."

"ඔව් ඒකිත් දැන් හිගමනට බැහැල. ඒකිට දරුවො හතර දෙනෙක් ඉන්නවනේ "

මගේ පපුව හෝස් ගා දැවී යන්නාක් මෙන් දැනිණ. මම මුළු ලොවටම සාප කරමි.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Sunday, February 22, 2009

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 19

1986 ජුලි 19

එක දිගටම මරණ, බෝම්බ මරණ, සමූල ඝාතන. මෙ මරණ ගැන පැහැදිලිවම පෙනෙන එක් සත්‍යයක් නම් තියෙනව. මැරෙන හැම එකෙක්ම දුප්පතෙක් වීම එම සත්‍යයයි. දෙමළ ධනපතීන් මැරෙන්නෙත් නැහැ. සිංහල ධනපතීන් මැරෙන්නෙත් නැහැ. ඇන කොටා ගන්නේ මරා ගන්නේ දුප්පතුන්මයි. ලෝකෙ කොහෙත් එහෙමයි. අද අපේ මිනිස්සුත් එදිනෙදා ජීවන ප‍්‍රශ්න කතා කරන්නේ නැහැ. හාල්, රතුළූනු, මිරිස් මිනිස්සුන්ට එපා වෙලා වගේ. හැම එකාම කතා කරන්නේ බෝම්බ ගැන.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක