Saturday, October 31, 2009

මතකයි මට


මතකයි මට

කඳු මුදුනතර
ලෙලදුන් රණ තිසර තුඩු
සිප සිප තුරුණු අහස් කුස
නදී ජල තරඟ පෙල මත
නෑඹුල් ඇගේ සිරුර දැඟලී
ගලකින් මතුපිටින් වෑහි

පෙණ කැටි
ඉහිරුණ වසන්තය

තෙත් විය මා
වියැලි හදවත!

වියැලි කර්කෂ ගිම්හානයේ
වියැකී නුරාවන් කාලයේ
නිරුදක කතර විය
හරිත නිම්නය

ඇගේ දෙතොල ද
පහස ද

නගරයේ දුමාරය පිරි අහස සිප ගත්
උසැති ගොඩනැගිලි
මුදුන් සේ මළානික
රතු උළු කැට සෙවිලි කළ

මට පෙනේ ඇගේ
වැහැරුණු පියයුරු

දවාලයි වියැලි හදවත මා
පරඩැල් ගොඩක් මෙන්!

ඩෝසන් ප්‍රීති

Thursday, October 29, 2009

එකම ප‍සෙක සිටිය යුතු උන්


එකම ප‍සෙක සිටිය යුතු උන්

මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි

දෙපසක තල්ලු වෙන දෑත්
එකම ප‍සෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි

Tuesday, October 27, 2009

සොහොන් මාළිගය

සොහොන් මාළිගය

මිය ගිය
සහ
මරන ලද
සුවහසක් මිනිසුන්ගේ ඇට කටු
එකට තබා
සදා ඇත මගේ මන්දිරය
සුවිසල් ය එය!

තබා ඇත හිස් කබල්
විවර වුණු බොල් ඇස් සිදුරු
කවුළු ලෙස
හමා එනු පිණිස
මිනී අළු මුසු මද පවන්!

දරුණු විලි රුදා දැරූ
උකුළු ඇට;
තබා ඇත ආලින්දයේ
සිහිවටන ලෙස නෙක
නොනැගෙන්නට නැවත
නැගිටීම්
අපගේ පෙළපතට එදිරිව!

රහසිගත
භූගත කුටියක
තබා ඇත එක පෙළට‍
නොනැමුණු කෂේරුකා
සිහි කැඳවනු පිණිස හෙට දිනට!

ලද අවසරයෙන් අමතක වන
මගේ කාලකණ්ණි අන්තේවාසිකයනට
මොවුන් නැගි බව අපට එරෙහිව
මතක් කර දෙන්නට දිවා රැය!

ඩෝසන් ප්‍රීති
271009