Showing posts with label ක්වොන්ටම් කවි. Show all posts
Showing posts with label ක්වොන්ටම් කවි. Show all posts

Saturday, June 18, 2011

දෙවියන් ලෝකය මවද්දී

දෙවියන් ලෝකය මවද්දී
සමහර තැන්
ආවට ගියාට
ඉවර කරල!

දවස් හතේ වැඩේ
නිකං දෙන අස්පයින්ගෙ
දත් බලංට එපා කියල
ආදම්වත් ඇඳල දැම්ම

විශ්වයත්
ගහත් ගලත්
සතා සීපාවත්
ඇල- දොළ- ගංගා- සයුරත්
ඒ එක්කම...

එච්චර "ඩීටේල්" කළේ නෑ
දෙවියොවත් හිතුවෙ නෑ
ආදම් ගෙ පරම්පරාව
රිංගයි කියල හැම අහුමුල්ලකම

හදිසියට අහවර කළ තැං
අහුවෙයි කියල
හීනෙං වත් උංගෙ ඇහැට

විද්‍යාව- මිථ්‍යාව- අවිද්‍යාව
මේ හැම නමකිං
ඒ තැං
නම් කරං
උං නටනවා හරි නාඩගං
දැං

කොටිංම
හයිසන්බර්ග් කෑ ගහද්දී
අවිනිශ්චිතතා මූලධර්මය ගැන යටිගිරියෙන්
දෙවියන්ටත් තරු පෙනුනා...
මනින්න බැහැලු වේගය සහ පිහිටුම එකවර
ආලෝකෙ වේගෙන් කැරකෙන අත්‍යාංශුවක!

"දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ!
මුං නොරිංගන අහුමුල්ලක් නැහැ නෙව
පරමාණුවටත් රිංගල
ඒක අස්සෙත් ගණන් හදනව!"

ලෝකය ආයෙම මවන්න
දෙයියෝ "රිවිෂන්" යනවා...
ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි
"වර්චුවල් රියැලිටි ප්‍රෝග්‍රෑමිං ක්ලාස්"...



virtual reality:
A hypothetical three-dimensional visual world created by a computer; user wears special goggles and fiber optic gloves etc., and can enter and move about in this world and interact with objects as if inside it.

Programming 3D Graphics and Virtual Reality

Thursday, June 24, 2010

හිරුගේ ලොවේදී අපි හමුවෙමු


හිරුගේ ලොවේදී
අපි හමුවෙමු


බැලුවෙමි මම ඈ දෙස
ඇගේ සුරත ගැලවී
පාවී සැණින්
මා ඇසේ ගැටුනි

මම ඇය දෙස
නැවත බැලුවෙමි
ඇගේ වමත ගැලවී විත්
මා ඇසේ ගැටුනි

මම ඇය දෙස නැවතත් බැලුවෙමි
ඇගේ පියයුරු ගැලවී
මගේ දෙනෙතේ ඇලුනි‍
දෙනුවන් වැසූ රාත්‍රියේ සිර කුටිය සිහි විය

මම නැවත කිසිවිටෙකත්
ඈ දෙස නොබැලුවෙමි

මා සි‍ටියේ බලද්දී
බලන දෙය
වෙනස් වන ලොවකය....

ක්වොන්ටම් ලොවකය....


ඊ ඒ ‍ඩෝසන් ප්‍රීති
06/2010

Wednesday, April 7, 2010

වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි


වාෂ්ප වන කළු කුහරයකට මම ඇද ‍වැටෙමි

නුඹයි ක්ෂිතිජය
කළු කුහර වාටිය
ලිස්සා යමි පතුලට
ආපසු‍ නොඑන්නට

උරාගත් වචනය
නැවත වමාරන්නට
නොහැකි ගුරුත්වය
පතුලේ සැඟව මම

වාෂ්ප වන දිනක කුහරය
මා‍ගේ වචන ද අතුරුදන් වනු ඇත
ශක්ති සංස්ථිති නියමය දෙදරන
කළු කුහර බහිරවය; මම ඔතැන!

‍ඊ ඒ ඩෝසන් ප්‍රීති
04/2010

Saturday, March 20, 2010

රෝස මලට කී ජීවන කවිය


රෝස මලට කී ජීවන කවිය

"ජීවිතයේ කිසිම දෙයක්
තවමත් මම නොදන්නෙමිය"
කියමින් සුළඟට පැද්දුනු
රෝස මලක් මා අභියස

මා කුමක් කිව යුතුද?

සරසවියේ ගත කළ
මහ විසාල කාලයටම
උගෙන නැත පිළිතුරක්
මේ පැනයට දෙන්න

කළු ලෑලි සුදු ලෑලි
ප්‍රොජෙක්ටර පින්තූර
බිත්තිවල එල්ල ගෙන
ගුරුවරුන් කියා දුන්
පාඩමක දේශනයක
නැත කොහේවත් කියැවි
ජීවිතය ගැන සඳහනක්
ඒ ගැන කටුම කටු සටහනක්?

ඒ පැනය අතැරී ඇත
ඒ පැනය මගැරී ඇත

කීවෙමි ජීවිතය
"හර්මිෂියන්" බව

ජීවිතය උඩුයටිකුරු කර
නැවත ප්‍රතිබද්ධය ගත් විට
එය ජීවිතයටම සමාන විය යුතු බව
මම නොපැකිලව කීවෙමි

ඇයට ජීවිතය දැන ගැනීමට
පහසු ක්‍රමයක් ඇවැසි බව
කීවෙන් මළානිකව
විඩාබර දෑසින්

සුළං රැලි පවන් රැලි
වෙනස්වන තෙතමන ආර්ද්‍රතා
පරිසරයෙන් ඈ නටුවෙන් මුදා
ගෙනැවිත් තැබුවෙමි
විනිවිද වීදුරු කැටයම් මල්වැල්
පින්තාරු කළ නූස් වූ
පුංචි වීදුරු බඳුනක් නිවෙස කොට
මන්දාලෝකය ඇති මා යහන් ගැබ

ඈ දැන් නිතිපතා
මගේ පාඩම් අසා සිටී
වෙනදා නොතිබුනු ජීවයක් සුවඳක්
මා හිස් යහන් ගැබ අරා ඉඳී

ඊ ඒ ඩෝසන් ප්‍රීති
2010/03