Wednesday, September 21, 2011

ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන

ගුත්තිල අතුරු කාව්‍යය

තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද
තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද
වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත
පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ

අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත
පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට
මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට
විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට

පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී
අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී
කොටුව තනා තනි රකිනා සකි සඳුනී
පිටුව පිටුව අහිමිව යන පොතක් වැනී

තරග කුමට සොහොයුර පැරදුම මාගේ
මතක කවි රැගෙන, යන්නෙමි බරබාගේ
අකුරු පෙළහරට මතු හිරිහැර කාගේ
ඔබට සිටිය හැකි කව් සිළුමිණ වාගේ

වාසල පුරෝහිත අසලම තටු සළන
ඈතට ඉගිල යන්නට රූපක සොයන
සීතල දෙ අත පිරිමදිමින් කවි ලියන
සෝයුර මෙ පුර නුඹට ය, නුඹට ම පමණ.


මංජුල වෙඩිවර්ධන
20 සැප්තැම්බර්, 2011

Tuesday, September 20, 2011

අකුරේ ගෙල සිඳේ...

නුවර උස් තුංග තුරු හිස
අතු පතර රැඳුන බකුසු තෙම
හුම් කියාවත් නොනගයි සිය හඩ

පොත පත උලා කා
සද් විසද් දෙසුම් පා
තීරු වැකි හෑලි පසිඳා
වානෙ පන්නර ලැබුව බකුසා!

සතුරු උවදුර හිතට ගිනි බිඳ
රැය පහන් වේදෝ නොදැන ලෙස තිර
දෑස් දල්වන් බොල් අහස වෙත
හුම් කියාවත් නොනගයි සිය හඩ

දුරක දැල්වෙන මියෙන පහනක
දැල්ල කැරකෙයි සුළඟ බඳ වට
පන්හිඳක වෙත මෑනෙයි පතුරම
හුම් කියාවත් නොනගයි සිය හඩ

අකුරේ ගෙල සිඳේ
අකුරු එල්ලා මැරේ
අකුරු ගිනි දැල්වෙතේ
අකුරු පා දඩු කදේ

නෑ සියන් කැති උදලු ගෑවෙත
ලේ පෙරන් දන වැටී තැන තැන
දෙපා මුල පණ රුහිරු ගලත ද
හුම් කියාවත් නොනගයි සිය හඩ

මේ ඒ ලේ ද
ඒ මේ ලේ ද
කාගේ ලේ ද
මගේ ලේ නොම වේ ද
එනමුදු
හුම් කියාවත් නොනගයි සිය හඩ!

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ...