Friday, May 27, 2011

රචනයේ නාට්‍යයට...

Thursday, May 26, 2011

සීනි සම්බෝලය- කෙටි කතාව- වෛද්‍ය රුවන් එම්. ජයතුංග

සීනි සම්බෝලය


වෛද්‍ය රුවන් එම්. ජයතුංග


කාර්මික නිළධාරියකු වූ වීරසේන උන්නතිකාමි යැයි කිවහොත් එය වරදක් නොවේ. නිතරම උසස්වීම් ලබා ගැනීම සඳහා උත්සුක වූ ඔහු ප‍්‍රධානීන්ගේ හිත් දිනා ගැනීම සඳහා බොහෝ දෑ කළේය. වෘත්තීය ජීවිතයේ ඉහළ නැගීම තම ඒකායන ජීවන අපේක්ෂාව ලෙස සැලකූ වීරසේන හට තම අදහස්වලට සරිලන බිරියක් සිටීම එක් අතකට වාසනාවකි. ඔවුන් අතර සාමය කඩවී ගියේ කලාතුරකිනි. පාසල් ගුරුවරියකවූ වීරසේනගේ භාර්යාව වීරසේනටත් වඩා අපේක්ෂා සහිතව සිටි හෙයින් වෘත්තීය ඉණිමගේ ඉහළට ඔහුව තල්ලූ කළාය.


තම සැමියා සමග සේවය කළ තවත් කාර්මික නිළධාරියකු වූ ඒකනායක හා ඔහුගේ බිරිය වූ මාලතී නොරිස්සූ ඇය ඒකනායක පරදා ඉහළ නැගීමට වීරසේන මෙහෙය වූවාය. වීරසේනගේ බිරිය ඒකනායක සමඟ නොහොඳ නෝක්කාඩු සිතිවිලි ඇති කර ගැනීමට එක් හේතුවක් වූයේ මාලතී ය. මාලතී වීරසේනගේ බිරිය ඉගැන්වූ පාසලේම උගන්වන ගුරුවරියකි. ඉතා හැඩට අඳින පළඳින මාලතී මෙම පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරිය වූවාය. වීරසේනගේ බිරිය වූ රම්‍යලතා ප‍්‍රාථමික ශ්‍රේණිවලට සිංහල භාෂාව හා ගණිතය විෂය ඉගැන්වූවාය. මාලතී තොල් උල් කරමින් විදුහල්පතිතුමා සමග හරි හරියට ඉංගී‍්‍රසියෙන් කතා කිරීම රම්‍යලතා දුටුවේ තමාට ඇද කරන්නාක් ලෙසටය.


රම්‍යලතා පාසලේදී මාලතී සමග වැඩි කතා බහක් නොකෙරුවා මෙන්ම වැඩි සැලකිල්ලක්ද නොදැක්වූවාය. එසේ නමුදු තම නිවෙසේදී මාලතී සහ ඒකනායක යන නම් නිතරම කියවුණි.


‘‘ ඔයා ඔහොම කරලා හරි යන්නේ නැහැ. බලන්න ඒකනායක ඔයාට වඩා අවුරුදු දෙකක් ජූනියර්. ඒත් දැන් ඔයාගේ මට්ටමට ඇවිල්ලා. හෙට අනිද්දා මිනිහා තවත් ප‍්‍රමෝෂන් එකකුත් ගහගෙන ඔයාට වඩා ඉහළට යයි. මිනිහාට වඩා හපන් මහගේ. ඉංගී‍්‍රසි ටිකක් කටේ තොලේ ගාගෙන මහ උජාරුවට පි‍්‍රන්සිපල් එක්කත් හරි හරියට කතා කරනවා. අපේ අංශ භාර ගෑනිට ඉංගී‍්‍රසි බැහැ. ඔක්කොම ලියුම් කියුම් පි‍්‍රන්සිපල් මාලතීට බාර දීලා. අංශ භාර ගෑණිත් දපනේ වැටිලා ඉන්නේ. අපට පිප්පුවට බලන්න ඕන මාලතීට තියෙන සැලකිළි.’’ ඇය කියාගෙන ගියේ දියණියගේ හිස පීරණ අතරතුරදීය. ඉතා තදින් පනාව කොණ්ඩය අතරින් යැවීම නිසා දැරිය වේදනාවෙන් කෙඳිරිගෑවාය.


‘‘ අනේ අම්මේ, මට රිදෙනවා. හිමින් පීරන්නකෝ. ඇය කෑගෑවාය.


‘‘ඔහොම ඉඳපන් දඟලන්නේ නැතුව. උඹ ඊයේ ගෙදර වැඩ කරලා තිබුණෙත් නැහැ. ගනින්කෝ අඩු ලකුණු වාර විභාගෙට.’’ මෙය රම්‍යලතා කීවේ දියණියගේ පිටට පහරක් ද ගසමිනි. බිරිඳගේ හෑල්ල හා දියණියගේ හැඩීම නිසා වීරසේන තුළ ඇති වූයේ කෝපයකි.


‘‘හරි, හරි. ඔයාගේ තදියම තිබුණට ඔෆිස්වල ප‍්‍රමෝෂන් පත්තර බෙදන්නා වගේ දෙන්නේ නෑනේ. මම ලොක්කට හැම තිස්සෙම යාප්පු වෙනවා. හැමදාම මැරීගෙන වැඩ කරනවා. අපේ වෙලාව තමයි.’’


‘‘ වෙලාව එනකොට ඒකනායකලා අපිව පරාද කරලා. මිනිහා හෙට අනිද්දා හොඳ අලූත් මෝටර් සයිකලයක් ගන්න යනවා කියලා ගෑනී ස්ටාෆ් රූම් එකේ පම්පෝරියකුත් ගැහුවේ.’’ රම්‍යලතා පැවසුවේ කට ඇද කරමිනි.


’’ ඒකනායක වැඩ කාරයා. මිනිහා බාහිර උපාධියකුත් කරනවා. ලොක්කා මිනිහට කැමතියි.’’ බිරියගේ කියුම් වලට වීරසේන පිලිතුරු දුන්නේ පරාජිත හඩකිනි.


‘‘එහෙනම් එකත් එකටම ඒකනායක ඔයා ගැන ලොක්කට ගතු කියලා ඇති. ඔයත් නිකම් ඉන්නේ නැතුව බලන්නකෝ මිනිහගේ කුණු ටිකක් ඇදලා ලොක්කගේ කනේ තියන්න.’’


‘‘ හරි, හරි. අපි බලමු කේස් එකක් ඇද ගන්නේ නැතුව මොනව හරි කරන්න. අනිද්දාට ලෙකම්තුමාත් එනවා. මම හො`ද දඩමස් ටිකක් හොයාගෙන තියාගෙන ඉන්නේ ගල්වලේ ඇඞ්වින්ට කියලා. ලේකම්තුමා දඩමසට කෑදරයා. බලන්නකෝ මම ලේකම්තුමාට ඌරු මස් දීලා බැලන්ස් කරන හැටි.’’ වීරසේන පැවසුවේ සංවාදය අවසන් කිරීමටය.


මාස දෙක තුනක් ගතවී ගියත් කියන ලද වෙනසක් සිදුවූයේ නැත. දිනපතාම රම්‍යලතා මාලතී පිළිබඳ යමක් කීමට අමතක කළේ නැත.


‘‘ඒකනායක ඉස්කෝලේ ආවේ අලූත්ම මෝටර් සයිකලයකිනුයි. ගෑනි මහ උජාරුවට ඒකේ පිටිපස්සේ නැගලා ආවා. අපේ විදුහල්පතිටත් ලැජ්ජ නැහැ. මහ විද්‍යාලයක විදුහල්පති කෙනෙක් නේද? ලැජ්ජ නැතුව තමන්ගේ තැන තියාගන්නේ නැතුව කෙලින්ම ගිහිල්ලා ඒකනායක එක්ක කතා කළේ නැතෑ. ඔයා මහ ලොකුවට ලේකම්තුමා බැහැ දකින්න ගියා නේද? මිනිහා ඒවා ගිලලා අත පිහදා ගත්තා. කෝ, නිකම්වත් ඔයා දිහා බැලූවද? ’’ රම්‍යලතා මැෂිමක් මෙන් කියාගෙන ගියාය.
‘‘ නැහැ, ලේකම්තුමා මා ගැන කතා කරයි.’’ වීරසේන පැවසුවේ ස්ථිර හඩකිනි.


‘‘ඔව්, කතා කරයි. මට වල්ඌරු ගාතයක් ගෙනත් දුන්නු හොඳ මිනිහා. බැරිද ගෙදර ඇවිත් වලං පිඟන් ටිකක් හෝදලා දෙන්න කියයි.’’


බිරිඳගේ කතාවෙන් වීරසේන තුළ ඇති වූයේ ලැජ්ජාවකි. තම උත්සාහය අපතේ ගියාදෝ යැයි දෙගිඩියාවක් ඔහුගේ හිතේ ඇති විය.


‘‘ මට හිතෙන්නේ මෙතන පොඩි කොස්සකට තියෙන්නේ ආරියවතී. මේ ගෑනි මට කැමති නැහැ. මෙයා යෝධකණ්ඩිය පැත්තේ ගෑණියෙක්. දිස්ති‍්‍රක් කෝටා ක‍්‍රමයට විශ්වවිද්‍යාලේ ගිහිල්ලා දැන් ප‍්‍රාදේශීය ඉංජිනේරුවරිය. ලොක්කටත් ඇඞ්වයිස් දෙන්නේ මේ ගෑනි. ආරියවතී තමයි මට බාල්දියක් ඇද්දොත් අදින්නේ. ’’ වීරසේන මෙසේ කීවේ අතමිට මොලවා ගනිමිනි.


දිළිදු පවුලක ඉපිද, අසීරුවෙන් අධ්‍යාපන කටයුතු නිමකළ ආරියවතී දැන් ප‍්‍රාදේශීය ඉංජිනේරුවරියකි. අතීතය අමතක කොට සිටි ආරියවතී කාරියාලයේ සේවකයන්ට සැලකවේ අතපල්ලෙන් වැටුනන් ලෙසටය. ඵහෙත් ඇය එ්කනායකට වරදක් නොකීවේ ඒකනායක කට පුරා ඇයට ‘මැඩම්’ කියන නිසාය.


වරක් ආරියවතී අධ්‍යක්ෂකතුමාට ඒකනායක ගැන නිර්දේශයක් කරනු වීරසේනට ඇසුණි.
‘‘ සර්, මේ වැඬේට අපි ඒකනායකව දාමු. මොකද ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිතරම වැඬේට ඇඟිලි ගහනවා. ඒකනායක දන්නවා නම්‍යශීලීව වැඬේ හරියට කරන්න.’’


මේ අනුව කාර්යාලයේ දක්ෂ කාර්මික නිළධාරියෙකු ලෙසට ඒකනායක පෙරට ආවේය. ඒ අතරවාරයේ කාර්මික නිළධාරීන් සඳහා විශේෂ පුහුණුවක් ජපානයේ පැවැත්වෙන බවද එයට ඒකනායක තෝරා ගෙන ඇති බවටද රාවයක් කාර්යාලයේ පැතිරිනි.


මේ ආරංචිය සමග නොසන්සුන් වූ වීරසේන දඩමස් හා මීපැණි බෝතල් දෙකක් සමග ලේකම්තුමා බැහැ දැකීමට ඉරිදා දිනෙක කොළඹ ගියේය. මෙම ගමන ගැන ඔහු බිරිඳට පවා කීවේ නැත.
ඔෆිස් එකේ වැඩකට කොළඹ යනවා කීවා මිස ගමනේ අරමුණ ගැන ඔහු නිහඩතාව රැක්කේය. එහෙත් රම්‍යලතා තම සැමියාගේ කොළඹ ගමන ගැන සැක කළාය.
ගතවූයේ සති දෙකකි. සිකුරාදා දිනෙක ආයතන ප‍්‍රධානියා වීරසේනට තම කාර්යාලයට පැමිණෙන ලෙස දැණුම් දුන්නේය. වීරසේන ප‍්‍රධානියාගේ කාමරයට ගියේ ගෞරව සම්පන්න ලෙසිනි. ප‍්‍රධානියාගේ කාමරයේ ඒකනායක, ආරියවතී සහ තවත් ඉංජිනේරුවරයකු වූ රත්නසේකර මහතාද සිටිනු දැක වීරසේන මදක් පැකුලුණි.


‘‘ ආ, මිස්ටර් වීරසේන,’’ කියමින් ආයතන ප‍්‍රධානියා තම උපැස් යුවල අතට ගත්තේය. ‘‘මට හොඳ ආරංචියක් තියෙනවා කියන්න මිස්ටර් වීරසේනටයි, මිස්ටර් ඒකනායකටයි. ඔය දෙන්නව ජපානයේ සුමාන දෙකක පුහුණු වැඩසටහනකට යවන්න කොළඹින් තීරණය කරලා තියෙනවා. එහි ගිහිල්ලා දෙපාර්තමේන්තුව නියෝජනය කරලා වාර්තාවක් එවන්න ඕනෑ. තේරුණේ ?’’


වීරසේනට කථාකිරීමට වචන නැතිවූවා සේය. ඔහු තතනමින් ‘‘ සර්, සර්. ’’ ගෑවේය.


‘‘ ජපානෙට යන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට. ඔක්කොම ලියකියවිලි ‘ සී සී ’ මහත්තයා කරලා දෙයි.’’ ඔහු බොත්තමක් ඔබා ප‍්‍රධාන ලිපිකරුට කථා කෙළේය. ප‍්‍රධාන ලිපිකරු ආයතන ප‍්‍රධානියාගේ කාර්යාලයට දිව ආවේ එක හුස්මටය.


‘‘ මිස්ට උබේදාස, වීරසේන මහත්තයයි ඒකනායක මහත්තයයි මේ මාසේ අන්තිමට ජපානෙට යනවා ටේ‍්‍රනින් කොන්ෆරන්ස් එකකට. දෙන්නගේ ඩොකිව්මන්ට්ස් සූදානම් කරලා දෙන්න ඕනේ, තේරුණේ ?’’ ප‍්‍රධාන ලිපිකරු හිස නමා නියෝගය පිළිගත්තේය.


‘‘ මට දැන් රැස්වීමකට යන්න තියෙනවා. එහෙමනං වැඩකටයුතු ඉක්මනට කරගන්න, තේරුණේ ?’’ ’’ ආයතන ප‍්‍රධානියා තම නිළ අසුනින් නැගිට්ටේ කාර්මික නිළධාරීන් දෙදෙනාට දැන් සංවාදය නිමයි කියන්නාක් මෙනි. වීරසේන සහ ඒකනායක ආයතන ප‍්‍රධානියාට ස්තූති කරමින් අසුන් වලින් නැගිට සිටියහ. රත්නසේකර මහතා වීරසේනටත් ඒකනායකටත් අතට අතදී සුභ පැතුවේය. ආරියවතීගේ මුහුණ මැලවී තිබුණාය.


එදින සවස ඔහු ගෙදර පැමිණියේ මහත් උද්යෝගයෙනි. පහ වසරේ ඉගෙන ගන්නා දියණියගේ කණ මිරිකමින් වේවැල් පහර දෙමින් ඇයට උගන්වමින් සිටි ඇඹෙනිය තම සැමියාගේ මුහුණේ තිබූ ප‍්‍රභාව දුටුවාය.


‘‘ මොකද ප‍්‍රමෝෂන් වැඬේ? ’’ ඇය සැමියාට හුස්මක් කටක් ගැනීමටවත් නොදී විචාළාය.


‘‘ ප‍්‍රමෝෂන් එක හරියයි. මට කොන්ෆරන්ස් එකකට ජපානෙට යන්න ලැබිලා.’’


බිරිඳ පුටුවෙන් නැගිට්ටේ උකුලේ තිබුණ වේවැලද බිම වටීමට ඉඩ හරිමිනි. මවගෙන් පහර කා අඩමින් සිටි දියණියද ඇඩුම නවතා ගත්තාය.


‘‘එහෙනම් ලේකම්තුමා ඔයාව අමතක කරලා නැහැ. මම හෙට ස්ටාෆ් රූම් එකේදී කියන්නංකො ඒකනායක මහගෙටත් ඇහෙන්න එක්ක ඔයා ජපානේ යනවා කියලා.’’


ජපාන පුහුණුවට ඒකනායක ද යන බව ඇසූ වීරසේනගේ බිරි`දගේ සතුට සෑහෙන ප‍්‍රමාණයකට අඩු වූවාය.


‘‘ ඕකට ඔය දෙන්නම මොකටද? ඔයාට තනියම ගිහිල්ලා එ්කට සහභාගි වෙන්න බැරිද? අපරාදේ රජයේ සල්ලි.’’ රම්‍යලතා කම්පිත වූවාය.


ජපානයේ පුහුණු වැඩසටහන සඳහා ඒකනායකට සහ වීරසේනට විදේශ විනිමයද ලැබෙන බව පසුදින ප‍්‍රධාන ලිපිකරු දැන්වීය. කිසි දිනෙක පිටරට සල්ලි අතගා නැති වීරසේනට මෙම ආරංචිය බිරිඳට කියන තෙක් ඉවසුමක් නොවීය.


‘‘ගමනට රට සල්ලිත් ලබෙනවා!’’ රම්‍යලතා ආරංචිය ලැබීමෙන් පසු වීරසේනගේ වචන ප‍්‍රතිරාව කළාය. ‘‘ඔයා ඔය රට සල්ලි කෑමට බීමට නාස්ති කරන්න එපා. පිටරට යන අය මෙහෙන් කෑම ගෙනියනවා. ඔයා ඒ විදියට කෑම කාලා රට සල්ලි ඉතුරු කරගන්න. අපි ඒ සල්ලි වලින් මෝටර් සයිකලයක් ගමු.’’


‘‘අම්මේ, එතකොට තාත්තට පුළුවන් මාව ටියුෂන් වලට ගෙනියන්න.’’ දියණිය උද්දාමයෙන් යුතුව කීවාය.


‘‘උඹ කට වහගෙන ගණන් ටික හදපන්.’’ රම්‍යලතා දියණියට සැර දැම්මාය.


ඉන්පසු සැමියා දෙසට හැරුණු ඇය ඔහුට මෙසේ කීවාය. ‘‘ඔයා සීනි සම්බෝල ටිකක් ගෙනියන්න. මම බෝතලයකට දාලා දෙන්නම්. ඒක නරක් වෙන්නේ නැහැ. සුමාන දෙක තුනක් වුනත් තියාගන්න පුළුවන්. පාන් ටිකක් ගෙනියන්න හුලං වදින්නේ නැතුව සෙලෝෆියන් බෑගයකට දමලා. පාන් මදි වුනොත් එහෙන් ගන්න බැරියැ. සීනි සම්බෝලයි පානුයි කාලා සල්ලි ටික ගේන්න. තෑගි අරවා මේවා ගන්න යන්න එපා.’’


‘‘හොදයි.’’ වීරසේන කිව්වවේ බිරිඳට අවනත වෙමිනි.


ජපානයට යෑමට තිබුණේ සෙනසුරාදා රාත‍්‍රියටය. සඳුදා සිට සිකුරාදා දක්වා සම්මන්ත‍්‍රණ හා පුහුණු වැඩකටයුතුද, සෙනසුරාදා සහ ඉරිදා විවේක දින ලෙසටද සුමාන දෙකක කාලයකට වැඩසටහන සකස් කර තිබුණි. ප‍්‍රථම දින දෙක ඉතා වැදගත් වන අතර වීරසේනට ලංකාවේ වාරිමාර්ග පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීමට තිබුණි. එය ඒකනායකට නොදී වීරසේනට ලැබෙන්නට ඇත්තේ ලේකම්තුමාගේ අනුහසින් විය යුතුය.


‘‘මට පළමු වන දවසේ අනෙක් රටවල නියෝජිතයින් හමුවේ පැය භාගයක කතාවකුත් තියෙනවා,’’ වීරසේන බිරිඳ හා දරුවා ඉදිරියේ කීවේ උද්දාමයෙනි. ‘‘මම ඉංග‍්‍රීසියෙන් කතාව රත්නසේකර මහත්තයට කියලා ලියවා ගත්තා. මේක හොඳට පාඩම් කරන්න ඕන.’’


ජපානයේ සම්මන්ත‍්‍රණය සහ පුහුණු වැඩ සඳහා ඒකනායක අළුත් කලිසම් කෝට් මස්සන බව ඇසූ වීරසේනට අළුත් සූට් මැසීමට සිතුණි. මැසූ කලිසමක් හා කෝට් එකක් ගැනීමට නුවර ගිය වීරසේනට ඒවායේ මිල ගණන් අසා ඉහමොල රත්විය.


කුණු ඇදගෙන ඕවා වල යන්න බැහැ. හොඳ ඇඳුමක් පිළියෙල කරගන්න ඕනෑ යැයි වීරසේන සිතීය. ඔහුගේ මගුල් කෝට් එක දැන් ඔහුට හිරය. යකඩ ට‍්‍රංක පෙට්ටියක දමා තිබීම නිසා සුට් එකේ මළ කඩ පැල්ලම් කිහිපයක් තිබේ. ලොන්ඩරියට දැම්මත් එම පැල්ලම් නොයයි.


අලූත් ඇඳුමක් ගැන කල්පනා කරමින් සිටි වීරසේනගේ පිහිටට ආවේ මහේෂ්ය. තරුණ ලිපිකරුවකු වූ මහේෂ්ගේ ගම්පලාත දිගන ය. පසුගිය මාසයේ විවාහවූ ඔහුගේ විවාහ මංගල්‍යයට කාර්යාලයෙන් පිදුණු තෑග්ගට වීරසේන රුපියල් දෙසීයක් දුන්නේ මහේෂ් හිත හොඳ එකා කියමිනි. මගුලට රුපියල් දෙසීයක් දුන් නිසා මහේෂ් තමාට උදව් කරනු ඇතැයි ඔහු සිතීය.


වීරසේන මහේෂ්ට කථා කොට තම ගමනට යමට ඔහුගේ කෝට් එක හා කලිසම දියහැකිදැයි ඇසීය. මහේෂ් එක්වරම සූටි එක දීමට එකඟ විය.


‘‘ එහෙනම් වීරෙ අයියා අද හවස එන්නකෝ ඇඳුම ගන්න’’ කාර්යාලය තුළදී මහේෂ් කීවේය.


වීරසේනට ඇතිවූ සතුට නිම්හිම් නැත. එදින සවස වීරසේන මහේෂ් සමඟම ඔහු නැවතී සිටි බෝඩිමට ගියේය.


‘‘ වීරේ අයියා, මේක මගේ මගුල් ඇඳුම. මම කාටවත් මේක හයර් කරන්නේ නැහැ. වීරේ අයියගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසයි දෙන්නේ.’’ මහේෂ් සූට් එක ප‍්‍රවේසමින් ඔතන ගමන් කීවේය.


‘‘වීරේ අයියා, මට පොඩි උදව්වක් ඕනේ. මේ ඇඳුම දෙන නිසා කුලියක් කියලා හිතන්න එපා. මට ජපානෙන් හොඳ ලේඩිස් සිටිසන් ඔරලෝසුවක් ඕනේ වයිෆ්ට තෑගි දෙන්න. ඔරලෝසුවේ වියදම මම ගෙවනවා.’’


‘‘ මොන සල්ලිද මල්ලී, මම අත් ඔරලෝසුවක් ගේන්නම්. ඔයා මට මොඩල් එක ලියලා දෙන්න.’’ වීරසේන පැවසුවේ කෝට් එක හා කලිසම අතට ගන්නා අතරය. ඒ අතරවාරයේ මහේෂ්ගේ අල්මාරියේ තිබු රෝස පාට ටයි පටියකටද ඔහුගේ අවධානය යොමු විය.


‘‘මහේෂ්, මට අර ටයි පටියත් ගන්න පුළුවන්ද?’’


‘‘වීරේ අයියා, මේ ටයි එක කෝට් එකට ගැලපෙන්නේ නැහැ. සූට් එක ක‍්‍රීම් පාටයි. ඒ නිසා මේකට ගැලපෙන්නේ මේ රතු ටයි එක.’’ මෙසේ කී මහේෂ් රතු ටයි එක එතුවේය.


නිවසට පැමිණි වීරසේන මහේෂ්ගේ කලිසම සහ කෝට් එක ඇඳ බැලීය. කලිසම මදක් හිර වූවත් එය එතරම් ප‍්‍රශ්නයක් නොවන බව පෙනුනි. කෝට් එක ගානට තිබුණි. ඇඳුම සූට් කේස් එකේ තැන්පත් කිරීම සඳහා බිරිද ඔහුට උදවු කළාය. මහේෂ්ගේ සූට් එක පොඩි නොවන ලෙස අනෙකුත් ඇඳුම් අතර තැබිණි.


රම්‍යලතා ඇඳුම් අස්පස් කිරීමෙන් පසු රාත‍්‍රී ආහාරය පිලියෙල කිරීම සඳහා මුළුතැන්ගෙට ගියාය.
‘‘තාත්තේ, ජපානෙට ගිහිල්ලා එනකොට මට බෝනික්කෙක් ගේන්න ඕනෑ. හොඳද’’ දියණිය ඇවිටිලි කළාය.


‘‘ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ. උඹ බෝනික්කෝ නලවන්නද හදන්නේ? අන්න ගිහින් අර ප‍්‍රශ්න පත්තරය කරපං.’’ බිරිඳ දරුවාට සැර දැම්මාය.


ජපාන ගමනට ඇත්තේ තව දින දෙකකි. රම්‍යලතා වීරසේනට ගෙනයාම සඳහා සීනි සම්බෝලය සෑදීමට සූදානම් වූවාය.


රතු ළූණු කිලෝ දෙකක් පමණ මිලට ගත් ඇය, ළූණූ කැපීමට දියණියද හවුල් කර ගත්තාය. ළූණූ කැපීම නිසා කඳුළු ගලන රතු වූ දෙනෙතින්ද, නාසයෙන් වැගිරෙන සොටු දියරෙන්ද හෙම්බත්ව සිටි ඇය එ්කනායක පරාද කරන අයුරු කටට විවේකයක් නොමැතිව සොටු පිසදමමින් කියවා ගියේ දුම් කෝච්චියක් කඩුගන්නාව කන්ද නගින්නාක් මෙනි.


‘‘ඔයා හොඳට සූට් එක ඇඳලා නියම වේලාවට සම්මන්ත‍්‍රණයට ගිහිල්ලා කථාව හොදට කරන්න. ඔක්කොම වැදගත් කරුණු ලියාගන්න. ඔයා ලොක්කා කියලා පෙන්වන්න. ඒකනායකට කතා කිරීමට ඉඩ දෙන්න එපා. ඔයා හැම දේකටම මූලිකත්වය ගන්න. මුළු ගැන්විලා ඉන්න එපා.’’
එකනායක පරදවන හැටි කියා නිමවූ විට ඇය රට සල්ලි ප‍්‍රවේශම් කරන අයුරු කීමට පටන් ගත්තාය.


‘‘ඒකනායක අරවා මේවා ගනී. ඔයා සල්ලි නාස්ති කරන්න යන්න එපා. මහේෂ්ට පොරොන්දු වෙච්ච අත්ඔරලෝසුව ගේන්න උවමනා නෑ. ඔවා එහේ හරි ගණන් ඇති. මහේෂුත් හරි මිනිහා. කෝට් බෑය දීලා වටිනා ඔරලෝසුවක් බලාපොරොත්තු වෙනවා. ඔට්ටුයි ඔයා ඕක ගෙනාවට පස්සෙ මිනිහා ඒක අරගෙන ඔයාට සල්ලි නොදී ඉඳීවි. කියන්න ෂොපින් කරන්න වෙලාවක් තිබුණේ නැහැ කියලා. සුමාන දෙකකට කෝට් එක දීලා තෑගි බලාපොරොත්තු වෙන මෙහෙමත් මිනිස්සු.’’ ඇය තොර තෝංචියක් නැතුව කියවාගෙන කියවාගෙන ගියාය.


කෙසේ හෝ සීනි සම්බෝලය සාදා නිම විය. ලොකු හෝර්ලික්ස් බෝතලයකට සීනි සම්බෝලය දැම්මාය. ඉන්පසු එය ඉතා ප‍්‍රවේසමෙන් ඇඳුම් අතර තැන්පත් කළේ ප්ලාස්ටික් හැන්දක් සමගිනි.


‘‘ජපානෙට ගිහිල්ලා දැන් කෑමට වියදම් කරන්න වුවමණා නැහැ. හොඳ රසට මම සීනි සම්බෝලය හැදුවා. පාන් එක්ක කන්න.’’


‘‘අනේ තාත්තේ, මට ජපානෙන් චොකලට් එකක් ගේන්න.’’ දියණිය පියාගේ ඇෙ`ග් දැවටුණාය.


‘‘චොක්ලට් ගිණි ගණන්. ගිහින් තව ගණන් ටිකක් හදපන්. ආව මෙතන.’’ බිරිඳ දියණිය එළවා ගත්තාය.


නියමිත දිනයේදී ඒකනායක හා වීරසේන ගුවන් තොටුපලට ගියේ කාර්යාල නිළ රථයෙනි. ගුවන් තොටට යන අතරවාරයේ ඔවුන් අතර එතරම් සංවාදයක් නොවීය. ගමන් මලු ගුවන් සේවාවේ ප‍්‍රවාහන අංශයට බාර දීමෙන් පසු සෙසු ගුවන් මගීන් සමඟ ගුවන් යානයට ගොඩ වීම සඳහා මඳ වේලාවක් රැඳවුම් මැදිරියේ ඔවුන් දෙදෙනා සිටියහ. ඒකනායක තම අතේ කුඩා බෑග් එකක් හා කැමරාව එල්ලාගෙන සිටියේය. තමාට කැමරාවක් සොයා ගැනීමට බැරි වීම ගැන වීරසේන තමාටම සිතින් දොස් නගා ගත්තේය. ගුවන් යානයේ දෙදෙනාම හිටියේ එක ළග ආසනවල වුවද ඔවුන් අතර එතරම් කථා බහක් නොවීය. වීරසේන බොරු නිදිමතක් පෙන්වා ඒකනායෙක සමග කථාව මග හැරියේය.


සැහැල්ලූ මූණක් පෙන්වූ ඒකනායක ගුවන් සේවිකාවගෙන් විස්කි වඩියක් ඉල්ලාගෙන පානය කළේය. වීරසේන පානය කළේ පළතුරු යුෂ පමණි.


ගුවන් සේවිකාව ආහාර බඳුන ගෙනා විට වීරසේන එහි තිබුණ රවුම් බනිස් ගෙඩිය, විස්කෝතුව හා කුඩා කේක් කෑල්ල නොකා අර්තාපල් ඉස්ටුව හා කුකුල් මස් කෑල්ල කෑවේය. ඒකනායක වැසිකිලි ගිය විගස ඉතිරි කරගත් ආහාර ටිෂූ එකක ඔතා සාක්කුවේ ඔබා ගත්තේ ජපානයට ගොස් කෑමට සිතාගෙනය.


නරීටා ගුවන් තොටුපලට පැමිණීමෙන් පසුව ජපන් නියෝජිතයෙක් පැමිණ ඔවුන් දෙදෙනා ටෝකියෝහි කාර්මික විදුහලක නේවාසිකාගාරයකට රැගෙන යන ලදී. දෙදෙනාටම එකම කාමරයක නවාතැන් ලැබීම වීරසේනගේ අප‍්‍රසාදයට හේතුවුවත් ඔහු එම හැඟීම සඟවාගෙන සිටීමට සමත්විය. ආහාර සඳහා ඔවුන්ට පහත මාලයේ ආපන ශාලාව භාවිතා කළ හැකි බවත් ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවත් නියෝජිතයා දන්වා සිටියේය.


සති දෙකක ආහාර සඳහා එක් අයෙකුට ඩොලර් පන්සීයක ආහාර මුදලක් ඔවුන්ට ලබාදී තිබුණි. ඩොලර් යෙන් වලට මාරුකර ගත යුතුයි කියා ඒකනායක කීවේය. එහෙත් වීරසේන කිසිවක් කීවේ නැත. මුදල් හා පාස්පොට් ඇතුලූ ලියවිලි අතේම තබාගෙන සිටියේය.


කාමරයට පැමිණිමෙන් පසු ඔවුහු මදක් ගිමන් නිවාගත්හ. පසුදින උදෑසන සම්මන්ත‍්‍රණය ආරම්භ වන බැවින් රත්නසේකර මහතා ඉංගී‍්‍රසියෙන් ලියාදුන් කථාව යළිත් වරක් වීරසේන කියවූයේ ලෝවැඩ සඟරාවේ කවි පාඩම් කරන්නාක් මෙනි.


‘‘ වීරේ, ?ට කන්න පල්ලෙහාට යමුද?’’ ඒකනායක ඇසීය.


‘‘ඒකනායක යන්න. මට ටිකක් ඇඟට හරි නැහැ. හෙට උදේ මේකට ලෑස්ති වෙන්නත් එපායැ.’’ මෙසේ කියමින් ඔහු අතේ තිබුණු කොලයට අවධානය යොමු කළේය. ඒකනායක හෙමින් දොර වසා ආපන ශාලාවට ගියේය.


ඒකනායක පහළට ගිය විගසම රාතී‍්‍ර කෑම සඳහා සීනි සම්බෝල හා පාන් ගැනීමට විරසේන තම සූට් කේස් එක විවර කළේය. ඒ සමඟම වීරසේනට දෙලෝ රත්විය. සීනි සම්බෝල බෝතලය බිඳී සීනි සම්බෝල මුළු සූට්කේස් එක පුරාම විසිරී තැවරී තිබුණි. මහේෂ්ගේ සූට් එක ඇතුළු අනිත් ඇඳුම් සියල්ලම සීනි සම්බෝල හා තෙල්වලින් තෙත්වී තිබුණි.


මෙම අනපේක්ෂිත දර්ශනය දැකීමෙන් හා තමාට සිදුවූ මෙම අකරතැබ්බය නිසා වීරසේනගේ හිස ගිණිගත්තාක් මෙන් විය. සම්මන්ත‍්‍රණය, දේශනය, බිරිඳ, සීනිසම්බෝලය, මහේෂ්ගේ මඟුල් සූට් එක ආදී සියළුම දේ ඔහුගේ හිසවටා භ‍්‍රමණය වෙන්නට විය.