Tuesday, December 25, 2012

කින්ඩලීකරනය


මා බොහෝ ඉංගිරිසි පොත් කියවන්නේ පරිගනකයෙනි. ඊට හේතුව ඒවා වියදමකින් තොරව අන්තර්ජාලයෙන් එකතු කර ගත් ඒවා වීමත් එම මුල් කෘතිවලම මුද්‍රිත කෘති ලංකාවේ දී මිළට ගැනීමට නැති වීමත්ය. කියවීමට වේලාව වෙන්කර ගැනීමේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දෙන මට ලැප්ටොප් යන්ත්‍රයේ පවා කියවීම දුෂ්කර වන අවස්ථාවන්ට නිතරම මුහුණ දෙන්නට සිදු වීමෙන් කාලය නිකරුනේ ගෙවන්නට වන අවස්ථා ද බොහෝ විය. මුහුද ආශ්‍රිත මගේ අලුත්ම රැකියාව මේ සියළු කියවීමේ බාධක නිර්මානය කර ඇත.

අයිපෑඩ් එකක් හෝ එබඳු කියවීමේ උපකරණයක ඇවැසි බව මට හදිසියේ මතක් වී දැන් මාස හතරක් පහක් ගෙවී ඇත. අයිපෑඩ් එකක ඇත්තේ මට අවශ්‍ය මූලික දේ ඉක්මවා යන්නා වූ අංගෝපාංගයන්ගේ එකතුවක් බැවින් එය මගේ තේරීමක් නොවුනි. වෙනත් බොහෝ අය මෙන් යන යන තැන ඊමේල් බලා එවෙලේම පිළිතුරු සැපයීමේ හදිසියක් මට නැති බැවින් සහ යන එන තැන සිතියම් වලින් දැක බලා දේශාංෂ හෝ අක්ෂාංශ බලා ගැනීමේ ව්‍යාජ අවශ්‍යතාවන් ද මට නැති බැවින් එබඳු සාටෝප අංගෝපාංගයන්ගෙන් පිරුණු අයිපෑඩ් එකක් ළඟ තබා ගැනීම ද මට ඉමහත් අපහසුතාවයක් බැව් දැනී තිබුණි.

වැදගත්ම කාරණය නම් මට කරගැනීමට අවශ්‍ය මූලික කටයුත්ත වන පීඩිඑෆ් (PDF)  ෆයිල් කියවීමට සුදුසු උපකරණයක් සොයා ගැනීම හැර අන් කිසිදු පහසුකමක් පිළිබඳ මගේ කිසිදු උනන්දුවක් නොවීමත් ඒ අනවශ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නොවීමත් ය.

අතීත කතාවක්

මා කැමරූන් හි සේවය කළ කාලයේ මොරොක්කෝව හරහා යවුන්ඩේ ගුවන්තොටුපලට එන ගමනේ දී මා අත්දුටු එක්තරා අයුරක චමත්කාරජනක දෙයක් නම් යුරෝපීය මගීන් බහුතරයක් ගල්ලෑල්ලක් බඳු සරල කියවීමේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ආධාරයෙන් කියවමින් ගමනේ යෙදෙන බවය. මා ලැප්ටොප් යන්ත්‍රයේ කියවමින් සිටිද්දී මේ අය ඉතා පහසුවෙන් අත්ල මත තබා ගත් මේ සරල උපකරණයෙන් කියවද්දී මට ද එවැන්නක් ඇත්නම් කොතරම් පහසුවක් දැයි සිතුණු වාර අනන්තය.

ඔවුන් ඒ පාවිච්චි කළ සරල උපාංගය කින්ඩල් නම් වූ ඇමසන් වෙබ් අඩවිය විසින් වෙළඳ පොලට හඳුන්වා දුන් උපකරණය බව මා අන්තර්ජාලයෙන් දැන සිටියත් ඒවා සැබැවින්ම මා දුටුවේ කැමරූන් දේශයට ඊජිප්තුවේ සිට මොරොක්කෝව හරහා යමින් සිටිද්දී ය. ලංකාවේ දී මා කින්ඩල් උපකරණයක් දැක තිබුනේ නැත.

වර්තමාන කතාව

මේ ළඟදි හදිසියේ හෂිත අබේවර්ධන මා වෙත එවූ ඊමේලයක සඳහන් වූයේ ඔහුගේ බිරිඳගේ බාල සහෝදරයා වන ජගත් පනාවල එංගලන්තයේ සිට ලංකාවට නිවාඩුවට එන බවත් ඔහු ලවා කින්ඩල් එකක් ගෙන්වා ගන්නට ඔහු ලක ලැහැස්ති වන බවයි.

ඔහු ට මා ද එක් විය.

දැන් "ස්ටේට් ඔෆ් ද ආර්ට්" කියවන්නෙක් බවට මම පත්වී ඇත්තෙමි.



ප.ලි.

මා නිතර කියවන්නට සිතමින්, තවමත් කියවන්නට නොහැකිව එකතු කර තබා ගත් පොත් දහසක් පමණ දැනටමත් කින්ඩලයට ගොඩ ගසා ඇති අතර ඒවා මගේ ඉතිරි ජීවිත කාලයම මිඩංගු කළ ද කියවා අවසන් කළ නොහැකි බැව් ද දනිමි. මා නොකියවා සිටිය ද මා වෙනුවෙන් මගේ අලුත්ම කින්ඩල් යන්ත්‍රය ඒ පොත් කියවනවා ඇතැයි සිතමින් සිටීම ද මට සතුටකි.

Saturday, December 22, 2012

රොමියෝ ජුලියට්ලා-ලබන මාර්තු 30

 
මේ දැක්වෙන්නේ ලබන වසරේ 2013 මාර්තු 30 තිරගත වීමට නියමිත "රොමියෝ ජුලියට්ලා" නම් වූ සිංහල වේදිකා නාට්‍යය, දෙදෙනකු ට නැරඹීම උදෙසා මුද්‍රණය කල ප්‍රවේශ පත්‍රයකි.

මේවා ඊයේ දවස තුළ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණය අසල එලිමහනේ විකුණමින් සිටියේ තරුණ කණ්ඩායමකි. මා වෙත මෙම සුවිශේෂී ප්‍රවේශ පත්‍රය දිගු කරමින් කතාවට වැටුණු තරුණයා පැවසූවේ කිසිවෙකුත් මෙම නාට්‍ය උදෙසා මූල්‍යමය අනුග්‍රාහකත්වයක් නොදක්වන බැවින් කල් ඇතුව මුදල් සම්පාදනය කරගැනීම උදෙසා මහන්සි වන වගය. ඔවුන්ගේ සාමුහික ප්‍රයත්නය සාර්ථක වේවායි යනු මගේ පැතුමයි.

ටිකට් පතක් රුපියල් පන්සීයකට මිළ කර තිබූ එම නාට්‍යය දර්ශනගත වීමට මාස තුනකට පෙර ම ප්‍රවේශ පත්‍රයක හිමිකරුවකු වන්නට ලැබීම ගැන ද සතුටු වෙමි.

මෙම නාට්‍ය යේ සංවිධායකවරු වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ එම් කේ එල් චතුරංග සහ සුසන්ත ප්‍රදීප් (0777 542 129) ය.

Friday, December 21, 2012

ලිෂාන් & පහන්

ලිෂාන් මල්ලිව හමු වෙන්න කාලයක් දැරූ උත්සාහය සාර්ථක වුණේ ඊයේ සැන්දෑ යාමයේ දීය. ලිෂාන් මල්ලි පහන් මල්ලී ද සමගින් අප හමුවන්නට ආවේ නුගේගොඩ මැක්ඩොනල් එක අසළටය.

ලිෂාන් මගේ සයිබර් වැඩකටයුතු වලට දුරින් හිඳ බොහෝ උදව් කරනා සහෘදයෙකි. ඔහුගේ ශ්‍රමය නොවන්නට මේ බ්ලොගයේ හැඩරුව මෙන්ම හකාවතියේ හැඩරුව ද කවර කලෙක වත් ඇසට ප්‍රියජනක ස්වරූපයක් නොගන්නවා නියතය.

මා පැමිණියේ රාජකාරි කටයුත්තකට වුව ද ඔහු සමග ඇති වූ කතා බහ අතිශය ප්‍රියමනාප විය. කාලයක් තිස්සේ ඔහුගේ නිර්මාන පරිහරණයෙන් මා ලබා සිටි ඔහු පිළිබඳ රූපය වඩාත් තීව්‍ර වන්නට ඒ හමුව හේතු විය.

කියවීමේ රුචියෙන් ආතුර ව කල් ගෙවනා ලිෂාන් ඒ ආවේ ද පොත් දෙකක් අතේ රඳවා ගෙනය.

ඔහු හමුව මෙසේ සටහනක් ලෙස තබා රඳවමි.

Friday, November 9, 2012

Less than nothing හෙවත් හිස් බවටත් වඩා හිස්බව!

ළඟදී ඊමේලයක් එවලා තිබ්බා සහෘදයෙක් (සුභද්‍රා) "අකුරු නැත්තේ ඇයි?" කියලා මගෙන් අහලා. මට පුදුම හිතුනත් එක්කල. "වචන ටැක්සි" කියවන අය ගණනින් අතේ ඇඟිලි ගාණටත් අඩු නිසයි ඒ පුදුමය. ලියන්න කිසිම වෙලාවක් නෑ මේ දවස් ටිකේ; එහෙම ලියා යැවුවත් ඇත්තටම ලියන්න තරම් දේවලුත් නෑ මට මේ මොහොතේ හෙවත් හිස් බවටත් වඩා හිස්බව අත් විඳින නිසා.

හෂිත අබේවර්ධන ගණිතයෙන් කොටසකුයි සාහිත්‍යයෙන් කොටසකුයි මනෝ විශ්ලේෂණයෙන් කොටසකුයි එකතු කරල ලියල තියෙන ලිපි කීපයක් පහුගිය දවස්වල උඩින් පල්ලෙන් කියවලා ගොඩක් සතුටක් දැනුණා.

කාලෙක ඉඳලා මම හිතං හිටපු අදහසක් ඒ ස්වරූපෙන්ම නොවුනත් මේ ළඟදී ජිජැක් ලියලා තිබ්බා එයාගේ අලුත්ම පොතේ එයාගේ දාර්ශනික ව්‍යවහාරික භාෂාවෙන්. ඒක කියවද්දීත් අර වගේම සතුටක් ඇති වුණා කීවොත් නිවැරදියි.

මම කාලෙක ඉඳන් විශ්වාස කරන දෙයක් තමයි සියළු මිනිස් අවබෝධයන් අනාගතයේ දී අන්ත දෙකකට බෙදී යාවි කියන එක. ඒක හරියටම ධ්‍රැවීකරණයක් කීවත් වඩාත් නිවැරදියි. සරලව ඒ අන්ත දෙක කීවොත් එක අන්තයක් වෙන්නේ මනෝ විශ්ලේෂණය. එතකොට අනෙක් අන්තය වෙන්නේ ක්වොන්ටම් භෞතිකය. මේ දෙකමත් එකට යාවෙන තැන විද්‍යාව තියේවි කියලයි මට හිතෙන්නේ. මම මේ අදහස දරාගෙන ඉන්නේ නිශ්චිත හේතුවක් ඇතුවයි. මිනිසා ගේ චින්තනය අවසානයේ දී මනෝ විශ්ලේෂණයට ඌණ වෙලා චින්තනය නොවන සියළු භෞතිකය ක්වොන්ටම් භෞතිකයට ඌණ වෙනවා කියන එකයි ඒකෙන් හැඟවෙන්නේ. වෙනත් විදියකින් කීවොත් සියළු මිනිස් දැනුම එක්කෝ මනෝ විශ්ලේෂණයේ ව්‍යුත්පන්නයක් හෝ එසේ නොවන විෂයයක් ක්වොන්ටම් භෞතිකයේ ව්‍යුත්පන්නයක් බවට පත්වෙන්නයි ඉඩ තියෙන්නේ.

මේ ගැන උනන්දු කෙනෙකුට කාලය සොයාගෙන කියවන්න වටින පොතක් තමයි මේ; 2012 වසරේ ජිජැක් විසින් ලියා පළ කළ Less than nothing : Hegel and the shadow of dialectical materialism මෙතැනින් බාගත හැකියි.

"There is a moment of truth in this dismissal: translating quantum phenomena into a larger context to impress the public is wrong and misleading—in our reality, objects do not occupy two places at once, and so on. However, the ontological question persists, even if it remains unanswered: what is the ontological status of the phenomena covered by quantum formulae? While obviously not part of our daily reality, they must have a status which cannot be reduced to the scientists’ imagination or discursive constructs."

page 656 (pdf version) Less than nothing : Hegel and the shadow of dialectical materialism by Slavoj Zizek

p.s.

ස්තුතියි හෂිත!

Monday, October 1, 2012

"සඳ දුටු සඳ" නිර්මාන සංග්‍රහය ගැන සටහනක්


නැවුම් ආකෘති ඔස්සේ නිර්මාන සංග්‍රහ එළිදැක්වීම වර්තමානයේ සුලබය. මෙසේ ආකෘතිය යැයි මා අදහස් කළේ නිර්මාන පමණක් නොව ඒවා පෙළ ගස්වා ඇති අයුරු හෝ ඒවා කෘතිය තුළ සංවිධානය වී ඇති ආකාරය ද ඇතුළත් අදහසකි.
 
ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම් වූ කිවිඳිය විසින් රචිත නිර්මාන සංග්‍රහයේ ආකෘතිය වී ඇත්තේ චන්ද්‍ර චාරය හෙවත් සඳ ගමන යි. සඳ දුටු සඳ ලෙස නම් කර ඇති මෙම නිර්මාන සංග්‍රහය සමස්තයක් වශයෙන් පෙළ ගැසී ඇත්තේ චන්ද්‍රයා කේන්ද්‍ර කරගත් ආකෘතියක වුව ද එහි අන්තර්ගතය විසින් එබඳු කේන්ද්‍රීය තේමාවක් එහි රූපිකයන්ගේ අගයන් උඩුයටිකුරු කර විතැන් කරවන්නට සමත් වන අයුරු සළකා බැලීම ද සිත් ගන්නා සුළුය.
 
එක්තරා අයුරකින් සඳ දෙස හෙලූ විවිධාකාර දෘශ්ටිකෝණයන් සමස්තයක එකතුවක් ලෙසත් මෙම නිර්මාන සංග්‍රහය දැක්විය හැකිය. අනෙක් අතට සඳ මිනිස් සිතෙහි උත්පාද වන්නා වූ විවිධ චෛතසිකයන් කෙරෙහි බලපෑ අයුරු චිත්‍රනය කිරීමක් ලෙසද දැකිය හැකිය. නොඑසේ නම් කිසියම් නිරීක්ෂණයක පසුබිමේ වූ සඳ එම සිදුවීමත් සමග පාත්‍රවර්ගයා කෙරෙහි උපදවන හැඟුම් නිර්මාන බවට පත් කරවීමක් ලෙසද දැකිය හැකිය. මෙකී සියළු ආකාර වූ නිර්මාන මේ නිර්මාන සමුච්චය තුළ ඇත. කෙසේ වුව ද වැඩේ අලුත්ය. ආකෘතිය නැවුම් ය.
 
විශ්වීය වූ සංකල්පනයන් අතර ස්ත්‍රීත්වය ට චන්ද්‍රයා ද පුරුෂත්වයට සූර්යයා ද වන සේ පවත්නා දෙබෙදුම තුළ මෙම නිර්මාන සංග්‍රහය ස්ත්‍රියක විසින් ස්ත්‍රීත්වය ඉස්මතු කරවමින් නිර්මානකරනය වූ ව්‍යාපෘතියක් ලෙස ද දැකිය හැකිය. එය එලෙසින්ම ඇතැම් නිර්මාන තුළ ගම්‍ය නොවන්නේ තරු හෝ සඳ සාවිය ද ඈඳා ගන්නා අවස්ථාවල දී ය.
උදාහරණයක් ලෙස කුටුම්බය නම් වූ නිර්මානයේ සඳ රූපිකව නිරූපනය කරන්නේ පුරුෂත්වය වන අතර සඳ සාවිය විසින් නිරූපනය කරන්නේ ස්ත්‍රිය යි.
 
කුටුම්බය
 
වෙනස් වෙන
සඳ හැඩවල
මිරිකි
මිරිකීත්,
සිනාසෙයි
සාවියක්!
 
(මේ නිර්මානයේ නිමිත්ත ඉතා සුලබ අත්දැකීමක් වන කුටුම්බය හෙවත් ගෘහය තුළ ස්ත්‍රිය අත්දකින පීඩනය තුළ ස්ත්‍රියගේ ඔරොත්තු දීම ප්‍රකාශ කිරීමකි. ඇත්තටම පීඩාවට පත්වන්න පත්වන්න ඉන් සිනා සී සතුටට පත්වීම යථාර්ථයක් වන්නේ කුමන ක්ෂේත්‍රයක් තුළ ද? මා නිවැරදි නම් මෙය නිශ්චිතවම ලැකානියානු ස්ථානගත වීමකි.)
 
ඊට ප්‍රතිපක්ෂව "අරුණෝදයක්" නම් වූ නිර්මානයේ සඳ නිරූපනය කරන්නේ ස්ත්‍රීත්වය වන අතර හිරු පුරුෂත්වය නිරූපනය කරයි.
 
අරුණෝදයක්
 
හිරු පිපුණ
උදයක
සඳක් හිනැහෙයි,
අහසක.
 
ඉහත උදාහරණ දෙකෙන් පැහැදිලි වන්නේ සඳ යන රූපකය කෘතිය තුළ ඒ ඒ අවස්ථාවලට ගැලපෙන ලෙස සිය ස්ත්‍රීත්වය හෝ පුරුෂත්වය මාරු කරගන්නා බවයි. නෛසර්ගිකව සඳ යන රූපකයට අයත්වන්නේ ස්ත්‍රීත්වයක් වුව ද මෙම කෘතිය තුළ එය සාපේක්ෂ අරුත් ගෙන ස්ත්‍රී සහ පුරුෂ භූමිකා අත්කර ගනී. තරු යනු අහසේ දුර්වලම අංගය හෝ කොටස යැයි සැළකූ විට ආරෝහණ පටිපාටියෙන් අහසේ ඇති කාව්‍යමය රූපකයන් මෙයාකාර ලෙස පුරුෂත්වය වර්ධනය කරගනී.
 
තරු < සඳ සාවිය < සඳ <  හිරු
 
මේ අයුරින් තරු ද සඳ සාවිය ද ඇතුලත් කවියක් මේ කෘතිය තුළ ලියැවෙන්නේ තරු ස්ත්‍රීත්වය ද සඳ සාවිය පුරුෂත්වය ද නිරූපනය කරමිනැයි කිව හොත් තර්කානුකූලය. මන්ද යත් සඳ සාවිය සහ සඳ එක්තැන් වන කවියක් වන කුටුම්බය තුළ සඳ පුරුෂත්වය අත්කර ගත් අයුරු මැනවින් පෙනෙන නිසාවෙනි. කෙසේ වුවත් රූපකයන් එකිනෙකා කෙරෙහි පවත්වා ගන්නා සාපේක්ෂ අගයන් පෙන්වා දීම වැනි වීජ ගණිතමය කටයුත්තක් සඳහා නිර්මාන භාවිතා කිරීම නිර්මානයක සාහිත්‍යමය ලක්ෂනයක් පිළිබඳ සාකච්ඡා කිරීමක් ලෙස සැළකිය හැකි නොවුනත් මෙවැනි අපූරු සම්බන්ධතා මතුකර පෙන්වා දීම ද එක්තරා රස වින්දනයක් නොවේ දැයි කවරෙකුට හෝ සැළකිය හැකියැයි මට සිතේ.
එනමුත් එවැනි වීජ ගණිතමය සම්බන්ධතා මතු කරන්නට ඉඩක් අප නොලබන්නේ ඊට ප්‍රතිපක්ෂ ලෙස දුබලයන් ද ප්‍රබල අර්ථ නිරූපිතයන් බවට පත්වන නිර්මාන ද මේ කෘතිය තුළ හමුවන බැවිනි.
 
ස්මරණ
 
පුරපස සඳම පෑයූ දා අහස මත
සැක නැත බැඳුණු වග ඈ වෙත තරුවෙ සිත
අමාවකේ විඳ විඳ ඈ නොමැති දුක
සතුටට කරුණ තරුවට ඈ මතක එක
 
මේ නිර්මානය තුළ නැවත සඳ ස්ත්‍රීත්වය ලකුණු කරන අතර තරු ලකුණු කර ඇත්තේ පුරුෂත්වය යි. මින් අප විසින් ඉහත නිපදවා ගත් වීජ ගණිතය දෙදරවයි.
 
මෙම නිර්මාන තුළ රූපකයන් ලෙස මතුව ඇති සඳ සහ අහසේ දිස්වන වස්තු කිසිවක් ස්ථිතික අරුත් මවන්නේ නැති බැව් මින් පැහැදිලිව පෙනේ. ඒවා එකිනෙකට පරස්පර, වියවුල් හෝ අවිනිශ්චිත අරුත් එකිනෙක හා බැඳෙන අනෙකුත් කොටස්වලට සාපේක්ෂව අරුත් නිපදවයි. මින් පැහැදිලි වන වෙනත්ම මානයක වූ දැනුමක් නම් භාෂාවක සංකේත ඒවා ස්ථානගත වන වියමන් මත ඒවාට ආවේණික වූ අරුත් ඉක්මවා රූපික අරුත් මවා ගන්නා බවයි. කවියක හෝ භාෂාත්මක නිර්මානයක දී වැදගත් වන්නේද භාෂාවක් තුළ පවත්නා එතරම් අවුල් වියවුල්කාරී බව ප්‍රයෝජනයට ගැනීම යැයි මම සිතමි. ඒ අරුතින් ගත් කළ මෙම නිර්මාන සංග්‍රහය විසින් අපට සන් කරන්නා වූ වැදගත් පණිවිඩයක් ඇත්තේ යැයි මට සිතේ.
 
අහසේ සංසිද්ධි තවත් සංකීර්ණ ලෙස වියන්නට දැරූ ප්‍රබල උත්සාහයක් ලෙස "බැමි" නිර්මානය මම දකිමි.
 
බැමි
 
සඳකට අයිති අහසක්
රැයකට සොරා ගත්තෙමි
මගෙ තරු එළිය පතුරා
කළුවර තුනී කෙරුවෙමි
 
පුර හඳ නොදුටු දුක් ගිනි
විමසා කඳුළු සින්දෙමි
තේවාව අවසන බැතිනි
ගෙන ගියෙමි, හද බැඳි බැමි
 
නුබ ගැබ ඇවිද හිනැහෙන
සඳවත කැළුම් ඉවසමි
ඉඳහිට මතුව දුර හිඳ
අහසක රහස් සුරකිමි.
 
දැන් තරු, සඳ සාවි, සඳ,  හිරු යන අමුද්‍රව්‍යන්ට අමතරව අහස සහ රැය ද වස්තු විෂය වී ඇත. මේ නම් සඳත් අහසත් තම තරු එළියත් එකට මුසු වන නිර්මානයක් බැවින් සරලව ප්‍රේම ත්‍රිකෝණයක අංගෝපාංග ලෙස වෙස් ගැන්වූ රූපක පෙලක් යැයි කල්පනය කළ හැකිය.
 
මේ නිර්මානයේ හමු වන්නේ තිදෙනෙකි. සඳකට අයිති අහසක් නම් සඳ රූපික වන්නේ පුරුෂත්වයට වන අතර අහස ස්ත්‍රීත්වය නිරූපනය කරයි. රැයකට සොරා ගත් අහස නම් වූ ස්ත්‍රියක ඇගේ සඳ නම් වූ පුරුෂයා නොදකින දුක් ගිනි විමසා නිවා දමන්නේ නිර්මානකරු අනියම් පෙම්වතකු ලෙස පුරුෂත්වය ආරෝපනය කරගෙනය. ඉන්පසු තරුවක් සේ ඈත සිට සඳ අහසට ආ කළ විහිදන සඳ කැළුම් ඉවසා අහස නම් වූ ස්ත්‍රියගේ රහස් සුරකිමින් සිටී. මේ නිර්මානයෙන් කියැවෙන පරිදි ගැහැනියක අසරණ වූ විට කොහේ හෝ ඉන්නා පිරිමියෙක් ඇයව සනසා දුක් ගිනි නිවා දුරට වී බලා සිටින්නට ගනී. මේ අවංක අනියම් පෙම්වතා වන්නේ ද මෙහි නිර්මානකරුවා මය. මෙය ඇගේ අදහසක් වුව ද යථාර්ථය නොවේ. බැතියෙන් පෙම් කර ඈතට වී සිටින අනියම් පෙම්වතුන් ලොව නැත. ඉන්නේ තම ලිංගික ආශාවන් වෙනුවෙන් පෙම් බස් කියා ගැහැනුන් රවටා මාරුවන අනියම් පෙම්වතුන් ය. කෙසේ වුව ද නිර්මානයක් ලෙස ව්‍යාජ අදහසක් වුවද බැහැර කරලන්නට තරම් අප ගොරහැඩි විය යුතු නොවේ යැයි හිත හදාගත යුතු නිර්මානයක් ලෙස මම මෙය දකිමි. රූපක භාවිතයේ දී දක්වා ඇති කෞෂල්‍ය අගය කිරීමට එය බාධාවක් නොවේ. අශ්ලීලත්වය වසා දමන්නට සවිඥානිකව කරනු ලබන ව්‍යාජ සැරසිල්ල නොවන්නට මෙය නිර්මානකරුවාගේ අවිඥානික ෆැන්ටසියක් ලෙස වටහා ගත හැකිය.

(මෙහි සම්පූර්ණ විරුද්ධාර්ථය නැවත ගොඩනැංවූ විට ද මේ සියළු තතු සමාන අරුත් ගන්නා මුත් ගැහැනුන් ආශා කරන්නේ පුරුෂ කේන්ද්‍ර යේ කුමක්දැයි සෙවීම කිසිදු තේරුමක් නොමැති බැවින් කිසියම් ගැහැනියකට හිමි පුරුෂයෙකු වෙනත් ගැහැනියක සතු කර ගැනීමේ ප්‍රයාමයේ අවසාන අරුතට ද තේරුමක් සෙවීම ද නිරර්ථකය. එබැවින් අන්සතු පිරිමියෙකු තාවකාලිකව හෝ තමන් සතු කර ගත් ගැහැණියකගේ අතින් ලියැවුනු මේ කව අපට ගෙන එන්නේ පැරඩොක්සීය තත්වයකි. පිරිමි, ගැහැනුන් ඔස්සේ තම ලිංගික ආශාව කෙරෙහි ලොල් වීම සෘජු ප්‍රකාශයක් වුව ද ගැහැණු ආශා කරන්නේ පිරිමින්ගේ කුමන දේට දැයි කීමට කිසිවෙකු සමර්ථ නොවේ. ඊට පිළිගත හැකි හේතුවක් ඇතොත් එය මෙහි ලියන්නට ඉඩ මදිවනවා විය යුතුයැයි මම සිතමි. )
 
මේ ආකාරයේම අවිඥානිකත්වය මතුවීම නිසාවෙන් අශ්ලීලත්වය වසාලන්නට නොහැකි වූ නිර්මානයක් ලෙස "පුංචි රහසක්" හඳුනා ගත හැකිය.
 
පුංචි රහසක්
 
හිරු නොදත්තාට
ඇතැම් මල්
පිපී හිනැහෙනවා
සඳ එළියට.
 
මෙහි අශ්ලීලත්වය වසා දමන්නට යෙදූ පුංචි රහස යන යෙදුම කිසිවෙකුටත් රහසක් නොවේ. එය කවුරුත් දන්නා රහසකි. කොතනත් කවුරුනුත් මෙලෙස "එයා දන්නේ නෑ මම කරන දේවල්" යැයි සිතා කරන දේවල් සැබැවින්ම ඔවුනට ඔවුන් බලාපොරොත්තුවන සතුටට හේතු වන්නේ නොදන්නවාට වඩා දන්නා මුත් නොදන්නා සේම ඉඳීම තුළය. මෙය තවදුරටත් රහසක් නොවන්නේ එබැවිනි. කිසියම් තහනමක් නොබිඳේ නම් තහනම් යැයි සම්මත දෙයක් බිඳීමෙන් තෘප්තියක් අත් නොවෙයි. සැබැවින්ම ආශාව වන්නේම නීතියක් බිඳුමෙන් ලබා ගත හැකි දෙයක මිස අනෙකක් නොවේ. මෙය හොඳින්ම දන්නා ස්ත්‍රීන් එවුන්ගේ මේ අශ්ලීල ආශාව එළිදක්වන්නට පෙරමුණ ගැනීම ගැන පුරුෂ අප සතුටු විය යුතු ය. (වඩාත් වෙනස් උදාහරණයක් ගත හොත් දුම්බීම සිරුරට හානිකර වුව ද එය ආණ්ඩුව විසින් තහනම් කෙරන්නේ නැති තත්වය මත මතුවන සංසිද්ධි සලකා බැලිය හැකිය. දුම්පානය හානිකර බැව් දැන දැනත් එය විසින් උපදවන විශාල බදු හේතුවෙන් කිසිදාක දුම්වැටි පරිභෝජනයෙන් ඉවත් කරන්නට ආණ්ඩුව ක්‍රියා නොකරයි. එනමුත් දුම්බීමෙන් හටගන්නා සෞඛ්‍ය ගැටළු හේතුවෙන් රෝහල්ගත වන්නන්ට සිදු වන්නේ දොස්තරවරුන්ගෙන් නොසෑහෙන බැනුම් අහන්නට ය. මෙහි ඇති අශ්ලීලත්වය කුමක් ද? එය කාගේ ආශාවක් ද? අශ්ලීලත්වය නම් සෞඛ්‍යයට හානි වන බව දැන දැනත් එය නොදන්නා සේ එය උපදවන අති විශාල බදු වලින් ආණ්ඩුව භාණ්ඩාගාරය පුරවා ගැනීමයි. එය ආශාවක් වන්නේ අවිඥානික ක්ෂේත්‍රයේ පරිභෝජනය කරන්නා තුළය. සැබැවින්ම දුම්වැටියක් ඉරීම තුළ යථාර්ථ වන්නේ මවගෙන් වෙන්ව අහිමි වූ සංකේතනය කරගන්නට අසමත් වූ ඒ මව් සෙනෙහසයි. (කුඩා අත දරුවන් ආශාව යනු කුමක්දැයි නොදනී. මව ඔවුන් හා දක්වන අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයට හේතුව නොදනී. දරුවාගේ ගැටළුව වන්නේ ද ඇය තමන්ව මෙතරම් ආරක්ෂා කරගන්නේ මන්දැයි අසංකේතීය ලෙස විමසීම මය. මන්ද යත් ඔවුනට එබඳු දේ වටහා ගැනීමට ඇවැසි සංකේත හමු වන්නේ කාලයත් සමග බැවිනි. මුල් කාලයේ දී ඔවුන් අත්දකින සියල්ල ඔවුනගේ අවිඥානය ක්‍රියාත්මක වන භෞතික මොළය තුළ රසායනිකව ලියැවුන ද ඒවා මොනවාදැයි නැවත කියවා විග්‍රහ කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැති බැවින් ඒවා සංකේතීකරණය වන්නේ අහඹු රසායනික ලියැවිලි ලෙසින් බැවින් ඒවා අවිඥානික තලයේ නැවත මතුවන ආකාරයන්හි උල්පත් වැඩිහිටියන් වූ පසුව පවා වටහා ගැනීමට නොහැකි වන්නේය.) එනම් පියයුරක් උරා බීමෙන් ලද නිශ්චිත සංකේතකරණයට ලක් නොවූ හඳුනා නොගත් තෘප්තිය කරා අවිඥානිකව ගමන් කිරීමයි. මේ අයුරින් ආශා ක්ෂේත්‍රය තුළ අශ්ලීලත්වයේ ක්‍රියාකාරිත්වය කිසියම් දුරකට හකුළුවා දක්වන්නට මේ නිර්මානය සෘජුව දායකත්වය සපයා ඇතැයි මට සිතේ.)
 
මරණීය රමණයක්
 
දුම්රියේ කුටියක
සිහින් සඳ එළියක
දියවෙයි
ඉරක්.
 
මේ නිර්මානය තුළ අන්තර්ගත මරණීය රමණය-දුම්රිය කුටිය-සිහින් සඳ එළිය-ඉර යන රූපිකයන් විසින් කියවන්නා තුළ ගොඩනගන්නේ පැරඩොක්සීය ෆැන්ටසියකි. එනම් දුම්රිය කුටියක් ඇතුළත වැටී ඇති සඳ එළියක ආලෝකයෙන් දියව යන ඉරක් යන සමස්ත චිත්‍රයටම දෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන එන මරණීය රමණයක් යන හෙඩිම නිසාවෙන් හට ගන්නා ක්ෂතිමය අත්දැකීමයි. එය ක්ෂතිමය අත්දැකීමක් වන්නේ පළමු වර මෙය කියවන්නා මෙහි හෙඩිමේ අරුත ඉතිරි පේලි තුළ සොයන්නට යාමෙන් ඉච්ඡාබංගත්වයට පත්වීමෙනි. මෙහි ඉර නියෝජනය කරන්නේ ෆැල්ලසය යි. එනම් පුරුෂත්වයේ සංකේතාත්මක ව්‍යූහය යි. සඳ එළියක දියව යන ෆැල්ලසයක රූපිකාර්ථය කුමක් ද? දුම්රියේ චලනය මාරාන්තික වන සංඥාවේ දිගුවක් වන අතර මේ රමණ රූපිකය කාගේ ෆැන්ටසියක ආකෘතිය ගනී ද? මාරාන්තික රමණය හා බැඳුනු යථාර්ථය කුමක් ද? ලිංගික තෘප්තිය මරණ ආශයේම දිගුවක් නිසාවෙන් හුදෙක් මෙය නිර්මානකරුවාගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් වචනවල පැටැලී අවිඥානිකව ප්‍රකාශ වීමක් ද? අපට මෙතැනින් නවතින්නට සිදු වේ.
 
දුම්රිය ගමන් ගන්නා විට සඳ එළිය දුම්රියේ කුටි තුළ පතිත වී ඉතා වේගයෙන් නිවි නිවී චලනය වන්නේ රමණයේ යෙදෙන්නාක් වැනි අයුරකිනි යැයි කියා ඇඟ බේරා ගන්නට මේ නිර්මානය අපට ඉඩ නොදෙන්නේ කොහෙන්දෝ පැමිණි ඉරක් මෙහි පේලි අතර ලැග සිටින නිසාවෙන් බැව් උක්ත පරීක්ෂාවන් විසින් සනාථ කෙරේ.
 
පිරිමි
 
කළුව
රුදුරුව
අකුණු පෑවත්
අහස
එක
සඳකට
යටයි!
 
මේ නිර්මානය අයත් වන්නේ අවසාන විග්‍රහයේ දී පිරිමි ගැහැණුන්ට යටත් ය යන ස්ත්‍රීන් තුළ වන ග්‍රාම්‍ය ෆැන්ටසිය එළිදැක්වීමට යැයි මම සිතමි. එය ග්‍රාම්‍ය ෆැන්ටසියක් යැයි මා කියන්නේ නාගරික සමාජය තුළ යථාර්ථයට එය වඩාත් ලංව ඇති ලෙස විද්‍යමාන වන ෆැන්ටසියක් බැවිනි. පිරිමි සේරම කොන්ට්‍රෝල් වෙන්නේ භාර්යාවන් අතිනි යන මෙය යථාර්ථයෙන් බැහැර එනමුත් එසේ වන්නේ නම් එය වඩාත් දියුණු සමාජයකැයි සිතන්නට ස්ත්‍රීන් පෙළඹෙන මිථ්‍යාමය නිර්මිතයක් බැවිනි මේ නිර්මානය එළියට එන්නේ. මෙවැනි නිර්මානයක් ලියැවෙන්නේ ද ස්ත්‍රීන් අතින් පමණකැයි මට සිතේ. සැබැවින්ම නාගරික ස්ත්‍රීන් සිතන්නේ මේ ආකාරයෙන් (යැයි මම සිතන) බැවිනි. නිර්මානයක් හරහා පුරුෂෝත්තම සමාජය දෙස මෙවැනි ෆැන්ටසික නියෝග නිකුත් කිරීමෙන් කිසිවක් සිදු වන්නේ යැයි මම නොසිතමි. යථාර්ථය වන්නේ (ප්‍රබන්ධයක් බැවින්) පිරිමි ලෝකය විසින් ගැහැණුන් අතින් තමන් පාලනය වන්නේ යැයි අතාත්වික තලයක වූ විශ්වාසයක් ගැහැණුන් තුළ නිර්මානය වන්නට හැර පිරිමින් පිරිමින්ගේ (වංචනික) ලෝකවල වාසය කිරීමයි. කෙටියෙන් ස්ත්‍රීන් විසින් "ඇඳගෙන සිටීම" සවිඥානිකව මඟහැර පිරිමින් හැසිරීම ලෙස දැක්විය හැකිය. අද ඔබගෙන් ඇසුවොත් "උඹ ගෙදර ගෑනි කියන ඒව අහල ඉන්න ජාතියෙ පොන්නයෙක් දැ"යි ඔබේ පිළිතුර විය හැක්කේ බොහෝ විට "ඔව් මම ඒ ජාතියේ පොන්නයෙක් තමයි" යන්නය.
 
අප තුළ විශ්වාසය ක්‍රියාත්මක වන ස්වරූපය සළකා බැලූ විට පිරිමින්ට ගැහැණියට යටත් වී හෝ යටත් නොවී හෝ සිටීමෙන් අනේකත්වය ඉදිරියේ සිදුවන සංකේතීය ලාභයක් හෝ පාඩුවක් නොවේ. අනෙක් අතට එයාකාර වූ හෝ විකල්පමය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් පවතින්නේ ද නැති නිසාවෙනි. ස්ත්‍රී සහ පුරුෂයන් අතර ඇත්තේ කුමන සම්බන්ධතාවයක් ද? ලිංගික සම්බන්ධතාවයක් යැයි නම් කළ හැකි කිසියම් සම්බන්ධතාවයක් ලැකානියානු විශ්වය තුළ නොපවතින බැවින් අනෙක් සම්බන්ධතාවය වහාම ප්‍රබන්ධගත කර ගත යුතුව ඇත. ඒ සඳහා වඩාත් විචිත්‍ර ප්‍රබන්ධය මෙය හැර වෙන කුමක් විය හැකි ද?
 
සරණ බන්ධනයක්
 
තරුවක් එළිකරන්නට
සැරසෙයි
සඳක්
පායා තිබූ අහසක්!
 
මෙය ද ත්‍රිකෝණාකාර ව්‍යූහයක් අප වෙත ඉදිරිපත් කරන නිර්මානයකි.
 
මෙහි ද්විඝඨනයක් ඇති බැවින් එක් අවස්ථාවක් පළමුව තෝරා ගමු. තරුවක් යනු ගැහැණියකි. සඳක් යනු ද ගැහැණියකි. අහස මෙම අවස්ථාවේ දී පුරුෂ රූපික ය. ඒ අනුව මේ කියැවෙන්නේ වඩාත් හොඳ ස්ත්‍රියක හා පෙමින් සිටි පුරුෂයෙකු ඊට වඩා ගුණයෙන් අඩු ස්ත්‍රියක හා විවාහ වන්නට යන බවයි.
 
දෙවෙනි අවස්ථාව සළකා බලමු. එහි දී තරුවක් යනු පුරුෂයෙකි. සඳක් යනු ද පුරුෂයෙකි. අහස යනු ස්ත්‍රියකි. මේ අනුව මින් කියැවෙන්නේ වඩාත් ප්‍රබල තරුණයෙකු හා පෙමින් බැඳී සිටි ස්ත්‍රියක ඊට වඩා දුබල පිරිමියෙකු හා සරණ බන්ධනයකට යන බවකි.
 
දැන් මේ අලකලංචිය අපට ගෙනෙන සංකේතාර්ථය කුමක් විය හැකි ද? මින් කියැවෙන්නේ අවසානයේ දී අප නිරන්තරයෙන්ම ලබන්නේ වඩාත් දුර්වල දෙය බව ද? මේ නිර්මානයේ හැඟවුම සරණ බන්ධනයක් යනුම තම සහකරු ලෙස ලබන්නේ ලැබිය යුත්තා නොව වඩා දුර්වලයෙකු බවයි. මෙය යථාර්ථයක් ද? ඔව්. මේ ලෝකයේ කිසිම යුවලක් එකිනෙකට ප්‍රබල හෝ දුබල වන්නේ නැත. ගැලපෙන්නේ නැත. මනුෂ්‍යත්වය යනුම දුර්වලකම්වලින් පිරී ඇති දෙයක් බැව් පමණි අප දන්නා පරම සත්‍යය. එනයින් සරණ බන්ධනය වනාහී එතරම් තැකිය යුතු අවසන් නැවතුමක් නොවන බැව් සත්‍යාපනය වේ. ප්‍රථම ප්‍රේමයෙන් එකතු වන දෙදෙනකුගේ සරණ බන්ධනය මේ නිර්මානයේ වපසරියට හසු නොවීම හැරෙන්නට වෙන කිසිදු අවුලක් මට මේ නිර්මානයේ නොපෙනේ.
 
කලියුගය-යුගාන්තය-නූතන කවිය (යුගය) යන නිර්මාන ත්‍රිත්වය මා සළකනූයේ එකම රැහැනකින් බැඳි නිර්මානයක් ලෙසිනි.
 
කලියුගය
 
සොළොස් කලාවම
පිරි සඳක්
සිනාසෙනවා
මඩ වගුරක...
 
යුගාන්තය
 
සඳ කඳුළු බිංදුවක් වැටී
ලුණු වැඩි වී තිබුණා
අම්මා
අමතක කර දමා ගිය ගෙදර,
අප්පච්චි පිසූ බත.
 
 
නූතන කවිය
 
සඳක් නැති අහසක් යට
සඳ නමින් අකුරු අමුණන
සඳ නොදුටු කවියෝ ද වෙති
සඳෙන් විවරණ නොලබන
 
කලියුගයේ තත්වය කියා පාන්නට රූපිකව මතු වන්නේ මඩ වගුරක සිය ප්‍රතිබිම්බය පාන පුන් සඳකි. ඒ නම් අන් කිසිවක් නොව ගොහොරු මඩ වලක වැතිරී සිනා පාන සඳවත නම් සුදුස්සන් නුසුදුස්සන්ගේ පීඩනයට පත්ව දුකට පත් ව එය ද දුකක් නොව සතුටක් ලෙස ඉවසන්නට වී සිටින්නට සිදු වීමයි. (වෙනත් අනෙක් අරුත් ද මැවිය හැකිය. )
 
අනෙක් අතට යුගාන්තය නම් අම්මාවරුන්ට ගෙවල් අමතකව පලා ගිය කල අසරණ වන පියවරුන්ගේ ශෝකය විඳ දරා බෙදා ගන්නට ඉන්නේ දුරක සිට දිස්වන සඳ පමණකි යන්න ය. මිනිස් සබඳතා විනාශයට පත් වූ කලෙක ශේෂ වන තාපය මුදා හරින්නට ඉතිරි වන්නේ අචේතනික වස්තු පමණිය යන්න මින් ගම්‍ය වේ.
 
නූතන යුගය හෙවත් නූතන කවිය තුළ සාකච්ඡා වන්නේ ඉහත සිදුවීම් දෙකටම වඩා ත්‍රාසජනක සත්‍යයකි. සඳකුත් නැති අහසක් යට එනමින් අකුරු අමුණමින්, නැති නිසාවෙන්ම සඳ නොදුටු නමුදු ඉන්ම විවරණ ද නොලබන කවියන් සිටී ය යන්න ස්වයං නාශක බෝම්බයක් වැනි නිර්මානයක් යැයි මම ලියා තබමි.
 
ප.ලි.
 
1. ඉහත උදාහරණ ලෙස ගත් නිර්මාන ඔස්සේ මා කරන ලද විවරණයන් හුදෙක් එම කාව්‍ය ග්‍රන්ථ රචිකාව උනන්දු කරවීමට දරණ ලද අවංක උත්සාහයක් විනා විශිෂ්ට කවි හෝ නිර්මාන ඇය විසින් කර ඇතැයි කියා ඇයව මුරුංගා අත්තේ තියන්නට වැය කළ ශ්‍රමයක් නොවේ. අනෙක් අතට සරලව අදහස් ඉදිරිපත් නොකර කීප දෙනෙකුට පමණක් තේරෙන්නට ලිවීමෙන් කාටවත් කිසිදු ප්‍ර යෝජනයක් නැති බැව් මා කලක සිට වටහා ගෙන සිටි බැවින් මනෝ විශ්ලේෂණාත්මක යෙදුම් හැකිතාක් අවම ලෙස සහ තාක්ෂණික වදන් භාවිතය අවම කරන්නට උනන්දු වූයෙමි. මේ ලියා ඇති විග්‍රහ තව දුරටත් විස්තාරණය කිරීම හෝ සංවර්ධනය කිරීම ද කළ හැකිය.
2. නිර්මාන සංග්‍රහය විසින් සඳ මිනිසා කෙරෙහි බලපවත්වන ලද සියල්ල අන්තර්ග්‍රහණය කර ඇතැයි එහි නිර්මාන පිරික්සද්දී හැඟුන ද හඳ නිසාවෙන් පිස්සු හැදුන හෝ උමතු වූ සිදුවීමක් මේ නිර්මාන අතර නොවීම කනස්සල්ලක් සිත තුළ මවන්නේ යැයි මට සිතේ.

Tuesday, September 25, 2012

දින නියමයක් නොමැති ලෝක විනාශය

බලන් සකි අහස දෙස
නැද්ද තවමත් අර කීව
හෙණ බෝලය?
ලෝකය විනාශ කර දමන්නට එන

බලන් සකි අර මහ සයුර
නැද්ද තවමත් රළ නැගී ගුවනට?
සෝදා දමන්නට ගොඩ බිම
සමතලා කර ලෝකයේ උස් මිටි තැන

බලන් සකි ඉර හඳ දෙස
නැද්ද තවමත් ඒවා
කඩන් බිඳන් වැටෙන ගති ගුණ?
ලෝකය සූන්නද්ධූලි කරනට

ඇයි මේ සියල්ල මෙතරම් පරක්කු
නැද්ද වේලාවට වැඩ උන්ගෙ?
අපි නම් ආණ්ඩුවෙ වෙලාවට වැඩ
මැරෙන වෙලාව එනතුරු

අතිකාල ගන්නවද
උනුත් අපි වාගේ
වැඩ වව වව
පරක්කු කර කර?

25/09/2012

Thursday, September 20, 2012

දුක් පත් පොත් පත්...

පොත් ප්‍රදර්ශනයට හදිසියේ ගොඩ වදින්නට ලද අවස්ථාවෙන් මාහට බොහෝ කලක සිට සොයමින් සිටි පොත් කීපයක් සොයා ගැනීමට හැකි විය. පුදුමය නම් ඒවා සිංහල පොත් නොවීමත් මා ඒවා සොයමින් සිටි වග මා එම පොත් දකින තුරු නොදැන සිටීමත්ය!


සිංහලෙන් ලියැවුනු පොත් කියැවීමෙන් හෙම්බත්ව සිටින මා හට සිංහල සාහිත්‍යත් දැන් දැන් එපා වී ඇතැයි මට සිතේ. කවර කංචුක ලස්සන දිලිසෙන-පරිගනක ආශ්‍රිත ග්‍රැෆික ඔස්සේ මනරම් ලෙස දිස්වන හොඳ සුවඳ කොළවලින් යුත් බොහෝ පොත්වල කියවන්නට දෙයක් නැති කම නිසාවෙන් අතිශය විශ්වාසවන්තයෙකුගේ රෙකමදාරුවකින් තොරව සිංහල නවකතා පොත් කියවීම තාවකාලිකව නතර කර දමන්නට මා සිතා ඇත්තේ දැන් මාස කීපයක සිට බැවින් මෙවර පොත් ප්‍රදර්ශනය ගැන කිසිදු බලාපොරොත්තුවක් මා තුළ නොවීය.
කාව්‍යක්කාරයින්ගේ පොත් කුටිය අසළට විත් එතුළට හිස යොමද්දී  මස්ඉඹුල ඒ ඉදිරිපිට හිට ගෙන සිටි බැවින් මා ඔහු සමග අතිශය කෙටි පිළිසඳරක යෙදී එහි වූ මා හට මග හැරුණු කවි පොත් කීපයක් මිළ දී ගත්තෙමි.
ඒ කවි පොත් අතර කම්පනයට වෙන්න ඇති-නමුත් නිහඩයි-මේ නිහඩ වෙරළට එන්න-සියුම් අත්තටු නාද-තාණ්ඩව-මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි-සැපෙනි සැප වේවා සහ සිරිමලුගේ නඟා නලනීය-සඳ දුටු සඳ-භූගත සහෝදර සංදේශය යන කෘති කීපය බෑගයක අසුරා ගත්තෙමි.


ඉන්පසු හඹා යායුතු කිසිදු පොතක් ගැන මගේ සිහියේ වූ අදහසක් නොවුන බැවින් ප්‍රදර්ශන භූමියේ ඉබාගාතේ කැරකුනෙමි. හදිසියේම කිසිදු මිනිසෙකු විසින් පා නොතැබූ සිංහරාජයේ සැඟව ගිය නිල් දිය කඩිත්තක් මෙන් ඉපැරණි සෝවියට් පොත් පත් රැඳුනු කුඩා වෙළඳ කුටියක් මා හට දිස් වුණි. කුඩා කාලයේ දී දුටුවෙන් ඉන් පසු ඉතා කලාතුරකින් දුටු සමහර ළමා පොත් දැකුමින් දෑස් කඳුලකින් බොඳවන තරමට මා හැඟීම්බර වූයේ යැයි මට සිතේ. ඒ ළමා පොත් අතපත ගා පසෙකින් තබා රාක්කවල මුදුනේ තිබූ දිරා ඉරා ගිය කවර සහිත රුසියන් පොත් කීපයක් අතට ගෙන බැලීමි. ඒ අතර වූ "ක්වොන්ටම් යාන්ත්‍රික" පොත් කීපය වහා ඩැහැ ගන්නට මා පෙළඹුනේ වෙනත් කවරෙකු හෝ මට පෙර ඒවා ගත්තොත් යැයි දැනුන නිසැකය හේතුවෙනි. එනමුත් ඒ පොත් කිසිවෙකුත් පෙරලා හෝ බලන්නට උනන්දු නොවූ බැව් එහි සිටි ඉක්බාල් මහතා මා හට කීවේ ඉමහත් කනගාටුවක් මුහුනේ මවා ගනිමිනි.

"මෙයින් පොතක් දෙකක් මෙතන මම තියන් හිටියේ කවුරුවත් ඒවා පෙරළල අඩුගානේ බලයි ද කියලවත් දැනගන්න යැ" යි මට කී හෙතෙම තම ලාභය ද පසෙක ලා මා හට එම පොත් කීපය ඉතා අඩු මුදලකට දුන්නේ කුටියේ කුලියේ විශාලත්වය නිසාවෙන් තමා වැනි කුඩා පරිමාණයේ පොත් වෙළෙන්දන් නැත්තටම නැති වී යන කොල්ලකාරී මාෆියාවකින් හෙම්බත් වන බැව්ද හඟවමිනි. කඩ කුලිය රුපියල් අනූදාහක් බවත් මේ පොත් ස්වල්පය විකිණීමෙන් තමන් ඔලුව උස්සා ගන්නවා වෙනුවට තවත් බිම ඇනී ඇති බැව්ද නොසඟවා පැවසීය.

ඔබලා අතරින් කවරෙකුට හෝ තවමත් ඒ කුටියේ ඇති සමහර පොත්පත් පෙරලා බලන්නට ආසා විය හැකිය. ඒවා පැරණි රුසියානු පොත්පත් ය. ළමා කාලයේ රසවිඳි සමහර පොත්වල ඒ කාලයේ පින්තූර එලෙසම තිබුණ ද මුද්‍රිත ආකෘති මදක් වෙනස් වී යුගයට ගැලපෙන අයුරින් සකස් කොට ඇති බැව් පෙනේ. ඒවා තවමත් කිසියම් නොස්ටැල්ජික බවක් අප සිත් තුළ දනවන්නට සමත් බැව් නම් අවිවාදිතයැයි මට සිතේ.

G-278 කුටියේ ඉක්බාල් මහතා ඔබ පිළිගැනීමට සැදී පැහැදී සිටින අතර 0718690494 අංකය අමතා ඔබ සොයනා කිසියම් ඉපැරණි මීර් ප්‍රකාශනයක් වෙතොත් ඔහුගෙන් විමසා බැලිය හැකිය.

Monday, September 10, 2012

නිහොන් සැප ලැබේවා!

 
විද්‍යුත් තැපෑලෙන් ලද ආරාධනා පත්‍රයට තුති.
 

Tuesday, August 28, 2012

ඔබ සමග මා සොවෙනි.

තෙවසරකට පෙර
දෑසේ නිධන්
සදහට
දෑස් විවර තුළ සිර කරගෙන
මෑණියන්
නිසොල්මනේ සැතපෙද්දී
මසිත් අර්ධයක්
ගරා වැටී
ඇද වැටී
ඇවිදින මළ කඳක් මෙන් සිටිද්දී

රත්න ශ්‍රී, ඔබ ආවා
සීනයක් පරිද්දෙන්
ඒ මළ ගෙදරට
නොසිතු මොහොතක

මගේ සිත මොහොතකට
සැහැල්ලුව දිරි වැඩෙන්නට
ඒ රුව දැකුම ඇසුම
මා ඔසොවා තැබුවා...

මා හටත් එලෙසම
අද එන්නට හැකි නම් ඔබ වෙත
මගේ දෑත්
ඔබේ දෑත් මත තබා
හිස්ව ගිය ජීවිතේ අර්ධයට
අංශු මාත්‍රයක ප්‍රාණයක් පිඹින්නට?

මේ කුඩා මිනිසාට
ඒ සා දිගු දෑතක් නැත...
අඳුරට තිබූ එකම ආලෝකය ද
වියැකුන කලෙක...
ඔබ සමග
මා සොවෙනි.

28/08/2012

Saturday, August 18, 2012

අමුතු රස රසවතිය

නිර්මානයක රස විඳීමත් ඒ තුළින් ලද රස විඳුම් අත්දැකීම සහෘදයන් හරහා බෙදා හදා ගැනීමත් එක්තරා සතුටකි. එමෙන්ම දුලබ රූපකයන් හරහා එම අත්දැකීම් සමපාත කිරීමත් ඒ අනුසාරයෙන් නව සිතුවිලි ගොඩනැගීමත් ඊටත් වඩා චමත්කාරජනක දෙයකි. එබඳු විරල විඳුම් සටහනක් රසවතියේ ලියැවී ඇත.

ලෝකය අප දන්නේ භෞතික වශයෙනි. පසිඳුරන්ට සංඥා වන දේ තුළින් ලෝකය වටහා ගැනුම බොහෝ විට අප අවිඥානිකව කරනා දෙයයි. අපගේ මනසින් පරිබාහිරව මේ අප විඳිනා දෙය ඇත්තට ම තිබේ දැයි අපි නොදනිමු. එය ශතවර්ෂ ගනනාවක් තිස්සේ විවාදාත්මක දාර්ශනික ගැටළුවක් හෙයින් අපි එතනින් නවතිමු. එදිනෙදා ජීවිතයට වැදගත් වන ප්‍රමානයට සිතීම ප්‍රායෝගික සීමාව බැවින් ඉන් එහාට පියවර තැබීමෙන් සියල්ල පිළිබඳ අවුලක් ඇති කර ගන්නවා විනා අමුතුවෙන් ලැබෙන දෙයක් නැති බැව් අප බොහෝ විට වටහා ගෙන ඇත්තෙමු. වචන සරඹ දක්වා ලැබෙන කෙංගෙඩියක් නැති බැව් අප අනන්ත වාරයක් අත්දැක ඇත්තෙමු. හුදෙක් ඒවා අපගේ විනෝදයට හේතු විය හැකි ප්‍රසාංගික ක්‍රීඩා ය.

කෙසේ වුව ද අපගේ අත්දැකීම් පමණක් ම අපගේ දැනුමට හේතු නොවන බැව් හෝ අපගේ අදහස් සංවර්ධනයට හේතු නොවන බැව් නොයෙක් උදාහරණ මගින් පෙන්වා දී ඇත්තේ අතීත දාර්ශනිකයන් විසිනි. උදාහරණයක් ලෙස දී ඇති තලයක් මත වූ ලක්ෂ්‍යයක් හරහා එම තලය මතම වූ රේඛාවකට සමාන්තරව තවත් ඇඳිය හැක්කේ එකම එක රේඛාවක් බැව් අපට බැලු බැල්මට තේරෙන නමුත් එය එසේම යැයි ඔප්පු කළ නොහැකිය. එනමුත් එය සාවද්‍යයැයි කියා ප්‍රතික්ෂේප ද කළ නොහැකිය. මෙය බැලු බැල්මට සත්‍ය විය යුත්තකැයි අපේ අවිඥානය අපට විධාන කළ ද එය එසේ යැයි අවිඥානය දැනගත්තේ කෙසේදැයි කීමට අප හෝ අවිඥානය හෝ නොදනී. මෙබඳු උදාහරණ මගින් පෙන්වා දී ඇත්තේ සමහර දේ අපට ඉන්ද්‍රිය ගෝචර අනුභූතික දැනුම ඔස්සේ පමණක් සත්‍යාපනය නොවන බවයි. කිසියම් දිව්‍යමය දැනුමක් අප තුළ ඇති බවට කිසිවෙකු හෝ තර්ක කරන්නට මෙබඳුම උදාහරණ අදාළ කර ගත හැකිය. එතෙකින් අපට නැවතී ඔවුනගේ වාග් සංග්‍රාම බලා සිටිය හැකිය.

ෆ්‍රැක්ටල් ජියොමෙට්රි (Fractal Geometry) හෝ හෂිත එය සිංහලට පෙරලන අයුරින් "භින්න භාග ජ්‍යාමිතිය" (මෙම සිංහල පරිවර්තනය මා හට දැනෙන්නේ කිසියම් දෝශයකින් පෙලෙන බවයි. භින්න භාග යනු කිසියම් සංකීර්ණ වීජ ප්‍රකාශනයක් භාග ලෙස පැවතිය හැකි අවස්ථාවක එහි හරයේ ඇති ප්‍රථමක සාධක ඇසුරින් වෙනස් නමුත් සංකලනයෙන් හෝ එකතුවෙන් සර්වසම භාග කීපයක් බවට මුල් වීජීය ප්‍රකාශනය බිඳ දැමීම යි. ෆ්‍රැක්ටල් ජියොමෙට්රි තුළ එබන්දක් නොපවතී. එහි ඇත්තේ විශාලනයේ දී පවත්වා ගන්නා සමමිතිකභාවය නම් වූ සමමිතිය ආශ්‍රිත සංකල්පනයකි.) එරික් ඉලයප්පාරච්චිගේ කවි විමසුමටත් එහි න්‍යෂ්ටික ගතිගුණ විදහා දැක්වීමටත් භාවිත කිරීම අමුතු එළඹුමකි. එය ඉතා දැනුවත් ලෙසම වෙනස් ක්‍රමවේදයකින් සම්ප්‍රදායික නිර්මානයක අන්තර්ගතය විමසීමකි. එකිනෙකට වෙනස් දෑ අතර ඇති සබඳතාවයන් විදහා දැක්වීමකි. අන්වීක්ෂීය ලෙස මහා දේවල් තුළ අන්තර්ගත මහ රූපය මතු කිරීමට දැරූ සද් ව්‍යායාමයකි.

Thursday, August 16, 2012

සුරඟනගේ ගබ්සාව

කවි නොලියන මා වෙත
කවි ම නිරතුරු ප්‍රසූත කරන
සුරංගනාවියක් පැමිණ ඇත
ගබ්සාවක් කර ගන්නට

විශ්වය ඉපදුනි ද කිසි මොහොතක
කිසිවක් නොතිබු තැනකින් මතු වුනි ද අච්චර
සිතා ගත නොහී පුංචි සුරඟන
මා වෙත පෑය ඇගේ හිස් සඳ වත

දෙකකුල් මෑත් කොට
මතු කර රහස විශ්වයම නිරුත්තර
දෑඟුලක් පමණ විනිවිද
පෑවෙමි කාලය තෙවසරක් බව කළලෙට

මේ සා කලක් දැරුව ද
කළලය නොමැත වී වර්ධන
දරා තවදුරටත් මේ බර
කුමන ප්‍රතිඵලයක් ද කවි නොලියන මිතුර?

ඈ මගෙන් අසන්නී
මා කුමක් කියන්නේ
දෑස විපිලිසරව
කටු බටු ආම්පන්න ගතිමි දෑතට

කිසිම දෙයක් නොමැති තැනකින්
ඕනම දෙයක් ඉපද විය හැකි බව
සුරඟන මුමුණද්දී
ඒ සියුම් කළල බීජය මරා දැම්මෙමි සුණු විසුනු කොට

විශ්වය නැවත ඉපදී ඇති බව
දුටිමි සුරඟන පියඹා ගිය කල...

16/08/2012

Thursday, July 26, 2012

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ



ලංකාවේ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු ලියා පළ කරන බොහෝ නවකතා කෙටිකතාවලට පාදක වන්නේ ඔවුනගේම විශ්ව විද්‍යාල අභ්‍යන්තර අත්දැකීම්ය. ඒ හේතුවෙන් චින්තක රණසිංහ අතින් ලියැවුණු මේ නව කතාවේ ද ඇත්තේ විශ්ව විද්‍යාලයට පිටින් සිටිනා අප වැන්නවුන් නොදන්නා ඔවුනගේම විත්ති කාරණා ඇතුලත් කතාවකි. මෙබඳු උසස් අධ්‍යාපන කේන්ද්‍ර යේ ඇති පුළුල් චරිත පිටුපස ඇති අප්‍රසිද්ධ ‍- ඇසීමට දැන ගැනීමට නොසුදුසු -එම වෘත්තීයට නොගැලපෙන යථ ඇසුරෙන් කතා නවකතා සහ වාර්තා ලියා පළ කොට ඇත්තේ චින්තක රණසිංහ පමණක් නොවේ.

වර්තමානයේ සැබැවින්ම උසස් අධ්‍යාපනය නැතිනම් විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගත් ගුරු බල ඇණි විසින් නියාමනය කරනු ලබන සමස්ත අධ්‍යාපනය උදෙසා වූ අරගලය උත්කර්ෂයට නැංවී ඇති මොහොත අභිමුව ඔවුනගේ සටන දුර්මුඛ කරනු වස් මෙබඳු සාහිත්‍යාංග මතුකර දක්වන්නෝ ද මතු විය හැකිය. මේ එබඳු ප්‍රයාමයක් නොවන මුත් ප්‍රබන්ධයත් යථාර්ථයත් අතර මායිම් රේඛා මැකී ගොස් ඇති බව යලි යලිදු පවසන්නට ඇවැසි බුද්ධිමය ප්‍රජාවක් මේ මොහොතේ මේ මහ පොළව මත ඇතැයි කල්පනය කිරීම නුනුවණ කමකැයි මම සිතමි. පරිකල්පනය ඔස්සේ කළ නිර්මානයක යථ සෙවීම අතාර්කික ය. එනමුත් යථෙන් තොර පරිකල්පනයක ඇති අර්ථයක් ද නැත. එනයින් නවකතාව යනු යථ නොවන බව ද එනමුත් යථෙන් පරිබාහිර යමක් ද නොවන බවද සිත් හි තබාගෙන එය විමසීම අරුතක් ඇති ව්‍යායාමයකි.

අනෙක් අතට අනෙකා විනෝද වන විදිය සොයා වාර්තා කිරීමේ සාහිත්‍ය වර්තමාන පාඨක ලෝකයට කොතරම් ගැලපේද යන්න ද වැදගත් කාරණයකැයි නොසිතමි. එනමුත් අනෙකාගේ විනෝදයට තමන් ගැට ගැසෙන ආකාරය ද විශද වන නිර්මානයක අවශ්‍යතාවය ඊට වඩා පුළුල් ව්‍යායාමයකැයි මම සිතමි. නොඑසේ නම් නිර්මානයේ දී තමන් අයත් නොවන එසේ නොමැති නම් තමන් මේ ලොව යථාර්ථයට අයත් නොමැති ශ්වේත ජීවියකුගේ කේන්ද්‍රයට වී අනෙකාගේ අශ්ලීලත්වය පින්තාරු කිරීම අමු ව්‍යාජයකි. සැබෑව නම් එම යථාර්ථයේ අවිච්ඡින්න කොටසක් ලෙස තමන් ද අන්තර්ගතයැයි තමන්ට නොපෙනෙන ලෙස හැසිරීමයි. කෙනෙකු විනෝද වන්නට තෝරා ගන්නා ස්වරූප තීරණය කොට ඇත්තේ හුදෙක් ඔහු තුළ වන අභ්‍යන්තර කාරණා විසිනැයි යන්න උත්කර්ෂයට නැං වෙන ආකාරයේ සාහිත්‍යයකින් ඇති ඵලය කිමැයි යන්න එහි සැබෑ වැදගත් කාරණය යි.

අද ලෝකයේ භ්‍රමණ අක්ෂය වන්නේ අධි පරිභෝජනවාදය යි. එහි නියත කරකැවිල්ල නරුම දෘශ්ටිවාදය යි. මේ ප්‍රවනතා විසින් පුපුරුවා හැර නැති දෙයක් නොමැති තරමට සියල්ල සිය විශිෂ්ට තල වලින් විතැන් කර ඇත. එනයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පමණක් ආවේණික වූ ද බාහිර සමාජයේ නිවසන්නන්ට නොමැති වූ ද අමුතු ගැට‍ළුවක් ලෙස නරුමත්වය මතුකර දැක්වීමේ හදිසි සාහිත්‍යාංගයක් ප්‍රභල ලෙස සමාජගත කරන්නේ ව්‍යාජයක් ය යන්න මගේ අදහසයි. කෙටියෙන් පැවසිය යුත්තේ අපි කවුරුත් ඔය වගේ තමයි යන්න යි. මිනිසාගේ භෞතික පැවැත්මේ නරුම මානය සදය උපහාසයට හෝ උත්ප්‍රාසයට නැංවීම සාහිත්‍යකරණයක් විය හැකි නමුත් ඉන් විශේෂිත තත්වයක් මවා පෑම අවංක ප්‍රයාමයක් නොවේ යන්න මගේ අදහසයි. ඒ නවකතාවේ කේන්ද්‍රීය චරිත අරභයා ඇති වන පළමු වටයේ අදහස යි.

විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට නවකතාවක් වෙනුවෙන් වැය කළ හැකි ශ්‍රමය කොතරම් ද යන්න නිමානය කළ හැකි ක්‍රමවේදයක් නොමැත. එනමුත් මේ කෘතිය උදෙසා කතෘගේ කැපවීම හෝ වැගිරූ ශ්‍රමයක් පිළිබඳ කිසිදු ඉඟියක් එහි අන්තර්ගතය ඔස්සේ පළ වන්නේ නැත. (මා මතු කරන්නේ ලිවීමට ගිය ශ්‍රමය ගැන නොවේ.) මින් මා අදහස් කළේ මිනිස් ජීවිතය පිළිබඳව හෝ මිනිස් චර්යා ධර්ම වෙනුවෙන් කළ ගැඹුරු අධ්‍යාත්මික ගවේෂණයක් හෝ මනෝ විශ්ලේෂණාත්මකව අධිනිශ්චය වන  හෝ ප්‍රමාණාත්මකව ග්‍රහණය වන ප්‍රපංචයක් මෙහි අන්තර්ගත නොවේ. හුදෙක් සිංහල විෂයේ පාරප්‍රාප්ත දේශකයෙකුගේ දෛනික සටහන් හෝ දේශන විලාසයන් ඇසුරෙන් ලියැවුනු සාහිත්‍ය උපුටනයන් පැතිරුනු නවකතාවකින් සාමාන්‍ය පාඨක ලෝකය කුළු ගැන්විය හැකි යමක් අවසානයේ ශේෂ වන්නේ නම් එය "අප ද අර පැරණි සාහිත්‍යාංග කියවා රස විඳින්නට පෙළඹිය යුතුය" යන්නක් වැනි විනා ඉන් ඔබ්බට දිගු වූ ජීවන සත්තාවක ගැඹුරු සංස්පර්ෂයක් නොමැත. පැරණි සාහිත්‍යාංග කියවා රස විඳීමේ පණිවිඩය පාඨක ලෝකයට ගෙන ඒමට මෙතරම් සාහිත්‍ය ඉඩක් ම නැති නාස්ති කළ යුතුදැයි මා අසන විට "එය එසේ ම යැ"යි පවසන්නට බොහෝ අය ඉදිරිපත් වනු ඇතැයි මට සිතේ. එනමුත් සංසන්දනාත්මකව මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව වැනි නවකතාවක කතෘ ශ්‍රමය වැගිරූ ස්වරූපය බැලූ කල එහි අන්තර්ගත සන්දර්භය උදෙසා සැබෑ ලෙසම ධීවර ජන ජීවිතය අළලා කෙරෙන යථාර්ථමය හෝ අධියථාර්ථමය (බයිබලය සමග ඒකාග්‍රවන) එළඹීම ම එම ශ්‍රමයේ පරිධිය කොතරම් ද යන්න මතු කර දැක්වීමට උචිතම උදාහරණයකැයි මම සිතමි. ඒ ඇසුරෙන් ගත් කල විශ්ව විද්‍යාල ඇදුරෙකුට තම ක්ෂේත්‍රය තුළම මතුවන චරිත හැදෑරීමට අමුතුවෙන් ශ්‍රමය වැගිරීමක් ඇවැසි නොවේ. එය ලාභදායි එළඹුමකැයි මම සිතමි. කෙසේ වුව ද ලංකාවේ නවකතා රචකයන් බහුතරයක් කරකැවෙන්නේ අල්ප අත්දැකීම් නිසාවෙන් ලියා ගන්නට දේවල් නැති එනමුත් අනෙකාගේ විනෝද ස්වරූපය කිමැයි කුහුලෙන් ජීවත්වන ව්‍යාකරණවේදයේ සහ ගද්‍ය-පද්‍ය ඉතිහාස ක්ෂේත්‍ර තුළ පාරප්‍රාප්තිකයන් බැවින් මෙය ද නවකතාවක් ලෙස පිළි ගැනීමට පාඨක අපට සිදු වේ. නවකතාවක් රචනය උදෙසා කතුවරයෙකු විසින් අනිවාර්යෙන්ම විශාල ශ්‍රමයක් වැගිරිය යුතු යැයි නියමයක් ඇත්තේ දැයි මම නොදනිමි. එනමුත් නිර්මානයක් පරිශීලනය කිරීමේ දී එබඳු දැවැන්ත ශ්‍රමයක් වගුරා මතු කරගත් යමක් එහි වෙතැයි යන්න සංඥා වීම පාඨකයාගේ අමන්දානන්දයට හේතුවනු නියතයැයි මම සිතමි. විශ්ව විද්‍යාල ආචර්යවරයෙක්-පත්තරකාරයෙක්-ගණිකාවක්-හිස්ටරික ලාක්ෂණික ගැහැණියක් යන සූත්‍රයෙන් ඔබ්බට ගිය වඩාත් දුෂ්කර මාවතේ නවකතාවක් කා අතින් හෝ ලියැවෙන තුරු බලා සිටිමි.

Tuesday, July 24, 2012

"අර මිහිරි සීනු නාදය" සහ ක්ලයින් බෝතල සූත්‍රය

"අර මිහිරි සීනු නාදය" නම් වූ ලියනගේ අමරකීර්තිගේ කෙටි කතා සංග්‍රහය ඒ ආරේ අමුතුම කතා සංග්‍රහයක් වන්නේ එය තුළම අන්තර්ගත එක් කෙටි කතාවක එන සූත්‍රයකින් එම කෘතියත් සමස්ත මාධ්‍ය ලෝකයත් එකිනෙක නිරාවරණය කර ගන්නා බැවිනැයි මට සිතේ.

එම සුවිශේෂී කෙටි කතාව "යතුරු සිදුරක" ලෙස වේ. එය විසින් ගෙන එන සූත්‍රය "ක්ලයින් බෝතල සූත්‍රය" යැයි මම හඳුන්වමි.

එනම් වඩාත් දීර්ඝ ලෙස පැහැදිලි කළහොත් එය මෙයාකාරය.  "යතුරු සිදුරක" අන්තර්ගතය වන්නේ කිසියම් විද්යුත් මාධ්‍යකරුවකු රටේ පවතින ලිංගික අපහරණ සිදුවීම් අළලා රූපවාහිනි වැඩසටහන් නිර්මානය කරමින් එය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම කැඳවා යාමයි. දෙවනුව කරලියට එන්නේ එම වැඩසටහනින් විනෝදය හෝ සංතෘප්තිය ලබන්නට එහි ප්‍රෙක්ෂකයන් ඇබ්බැහි වීමෙන් එවැනි වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටින්නට සිය දායකත්වය නොපිරිහෙලා පුද කරන්නට තරුණ තරුණියන් පෙළඹෙන ආකාරයත් ය.

කොටින්ම සමාජය දැනුවත් කිරීම ඔස්සේ ස්ත්‍රීන් සමාජයේ අගතීන් නිසාවෙන් විඳිනු ලබන ලිංගික පීඩනයන් ඛේදවාචකයන් පිළිබඳ කතිකා ගොඩනැගීම කෙසේ වෙතත් ඒවා මාධ්‍ය ඔස්සේ දිග හැරෙන ප්‍රවෘත්තිමය වටිනාකමත් ඒවායේ සංදර්ශනීය භාවිතාවන් ද හේතුවෙන් වඩාත් ලං වන්නේ පුරුෂ සංකේත ලෝකය පිනවීමේ උපකරණ බවට පත්වීම බව මේ කෙටි කතාවෙන් හැඟවුම් වේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙබඳු රූපවාහිනී වැඩසටහනක් නැරඹීමටත් වඩා එවැනි වැඩසටහනක කොටස් කරුවකු හෝ කාරියක වන්නට තරුණ තරුණියන් වලිකෑමේ උත්ප්‍රාසය යි.

කතන්දරය අවසානයේ මෙම වැඩසටහන් නියමුවා නවීන රූපවාහිනි සේවාවක අධ්‍යක්ෂ ධූරයට පත්වද්දී ඔහු කරගෙන ආ වැඩසටහනේ තිර පිටපත පමණක් ඔහු අතින් නිමවද්දී අනෙකුත් ස්වේච්ඡා තරුණ බලමුළුවක් විසින් එම වැඩසටහන වඩාත් ලාභදායක ලෙස කරගෙන යෑමට උත්සුක වෙයි.

අප මේ ජීවත් වන නරුමත්වය කේන්ද්‍රීය දෘශ්ටිවාදය වූ සමාජයේ මීටත් වඩා දැකිය හැකි පොදු ධර්මතාවක් කෙටි කතාවකට තේමා විය හැකි නම් ඒ මේ උත්ප්‍රාසාත්මක කෙටි කතාවට බොහෝ පහලින් යැයි මට සිතේ. මුල් වටයේ දී ජුගුප්සාජනක ලෙස ප්‍රතික්ෂේප කරමින් අවිඥානිකව රස විඳින සියළු තේමා අවසානයේ මිනිසුන්ම නිර්මානය කරමින් එහිම ගැලීම වටහා ගැනීමට බරසාර සිද්ධාන්ත අවශ්‍ය නොවේ.  ("යතුරු සිදුරක" කෙටි කතාවේ තේමාවම අයත් වන්නේ විපරිත (PERVERSION) ක්ෂේත්‍රයට ය. ඒ ගැන විග්‍රහ ලිවීම මනෝ විශ්ලේෂනය නම් වූ විශයට අයත් වන බැව් පමණක් සඳහන් කරමි. )

ස්ත්‍රීන් ලිංගික අපහරණයට ලක්වීම මාධ්‍ය වාර්තා කරන්නේ ඒවා පුරුෂ සමාජයේ අවිඥානික ආශ්වාදයට හේතු වන බැවිනි. එමෙන්ම එය වඩාත් වර්ණ ගන්වා විද්‍යුත් මාධ්‍ය විසින් ග්‍රැෆික මායා තාක්ෂණයන් ඔස්සේ සජීවි රූ සටහන් රඟා පෙන්වූ විට එහි ශෝකාන්තය හෝ ඛේදවාචකය ගිලිහී ආශ්වාදනීය තැනකට විතැන් වේ. ඉන්පසු එය "අනේ අපොයි" කියා තලුමර රස විඳින දෙයක් බවට පත්වෙයි. කොටු දමා හෝ ඇස් වසං කර හෝ පෙන්වන සිරුරක නොපෙනෙන දේ මනසින් දැකීමට උදව් කරන එහෙන් මෙහෙන් එල්ලූ අඩනිරුවත් හෝ නිරුවත් ග්‍රැෆික රූප සමස්තයෙන් පුරුෂ ඇස ජුගුප්සාජනක ආශ්වාදයක් ලබයි. මේ වෙළඳ ලෝකය මාධ්‍යය ඔස්සේ ස්ත්‍රී ලිංගික අපහරණය වාර්තා කිරීම ඔස්සේ විකුණන් කෑමේ කූට උපක්‍රමය යි. එබඳු මාධ්‍ය කලාවක සිදු විය හැකි සහ සිදුවෙමින් පවතින තිරයෙන් පිටුපස කතාවේ අංශුමාත්‍රයක් යතුරු සිදුරක කෙටි කතාව ඔස්සේ නිරාවරණය වී ඇත්තේ අද දවසේ සිදු විය යුතුම මාධ්‍ය සංවාදයක මුල් පිරුමක් ලෙස ද විය හැකිය.

මෙම උත්ප්‍රාසාත්මක ආකෘතිය අපගේ සමාජ කතිකාවන් වෙත යොදා බැලූ විට එය විද්‍යුත් මාධ්‍යයට හෝ ස්ත්‍රී ලිංගික අපහරණයට පමණක් නොව වෙනත් ඕනෑම සන්නිවේදන පසුබිමෙන් යුත් සමාජ ප්‍රපංච හෝ වෙනත් නිර්මාන උදෙසා ද ගැලපිය හැකි බැව් පෙනේ. වඩාත් භෞතික උදාහරණයක් ගෙන කීවොත් එම ක්‍රියාවලිය ක්ලයින් බෝතලයක් මෙන් පිටත ඇතුලත හා සන්තතිකව සම්බන්ධ වන අයුර දැක ගත හැකිය. (කල්යින් බෝතලයට දියරයක් දැමූ විට එය නැවත පිටතට ගලා යයි. බෝතලයක් මෙන් පෙනුන ද එය බෝතලයක් නොවේ. නමුත් බෝතලයක අන්තර්ගත විය හැකි සියලු පෙනුම ක්ලයින් බෝතලය සතු බැව් භෞතිකව වටහා ගත හැකිය.)

"අර මිහිරි සීනු නාදය" කෙටි කතා සංග්‍රහයේ එන "නොනිදන අවදිය" නම් වූ කෙටි කතාව ඒ ආකෘතියේ මා කියැවූ විශිෂ්ටතම එකයැයි කීමට තරම් එහි ආකෘතියත් අන්තර්ගතයත් නැවුම් ය. වර්තමාන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ පා ඇති තීරණාත්මක අභියෝග හමුවේ මෙම කතාවේ සංක්ෂිප්තයක් හෝ සංවාදගත කිරීම එම අරගල පසුබිම කෙරෙහි අවදානම් සහගත තත්වයක් නිර්මානය කිරීමයැයි මට සිතේ. විශ්ව විද්‍යාල බුද්ධි කේන්ද්‍රයේම හට ගන්නා මෙවැනි සාහිත්‍යමය ස්වරූපයේ "ගිනි පුළිඟු" හේතුවෙන් එහි ජ්වලන උෂ්ණත්වය වර්ධනය කොට සැබැවින්ම නිර්මානාත්මක අධ්‍යාපන ක්ෂේත්‍රයක් උත්පාත කර ගැනීමේ සම්‍යක් දෘශ්ටියෙන්, චේතනාවෙන් රචිත එම නිර්මානය වහා ඇවැසි පාත්‍රවර්ගයාගේ නිහඩ අවධානයට පාත්‍ර වේවායි ප්‍රාර්ථනය කරමි. කෙසේ වුවද එවැනි අභ්‍යන්තරික පුළිඟු හට ගැනීම අද දවසේ අත්‍යවශ්‍ය කාරියක් සේ මම දකිමි.

විශ්වය හටගත්තේ මහා පිපිරුමෙන් නම් ඊට පෙර තිබී ඇත්තේ ද කිසිවක් නැති දැඩි නිහඩ බවකි.

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ද ඊටත් වඩා නිහඩතාවයක ගිල්වා ඇත්තේ කුමන බලවේගයන් විසින් දැයි මහා පිපිරුමට පෙර සොයා බැලීමට හැකි වීම භෞතික විද්‍යාවේ යථාර්ථයට වඩා ප්‍රායෝගික සහ සරල දෙයකි.



" අර මිහිරි සීනු නාදය" වර්තමානය ස්පර්ශ කරමින් එහිම ප්‍රතිවිරෝධතා උත්ප්‍රාසාත්මකව මෙන්ම උපහාසාත්මකව ද එකිනෙකට මුසු කොට ප්‍රබන්ධිත නිර්මාන සංග්‍රහයකැයි මට සිතේ. එහි බහුතරයක් කෙටි කතා විසින් අන්තර්ගත සියුම් උත්ප්‍රාසාත්මක හැඟවුම් ඔස්සේ ධ්‍රැවීකරණය වී ඇති වර්ගෝත්තම සමාජ විඥානයත්, විශේෂයෙන් සිංහල බෞද්ධ අන්තයෙන් එයම විසංයෝජනාත්මක ආකෘතියකින් නිර්මාන තුළ පෙළ ගැසීමත්, පශ්චාත් යුද කතිකාව තුළ ජන මනස ඔඩු දුවා ඇති අන්ත දක්ශිනාංශික මිථ්‍යා ආකෘතින් සදය උපහාසයට ලක් කිරීමත් අතින් පෙරටුගාමී සාහිත්‍යකරනයක් ලෙස හඳුනා ගත හැකිය.

" මමත් බුදුවරයෙකැ"යි කියා ගන්නා අයවලුන් තැනින් තැන මතු වෙද්දී, රාවණා නැගිට එන තුරු කල් බලනා අයවලුන් හිස ගිනිගත්තවුන් මෙන් කටමැත දොඩවමින් සිටිද්දී, අලුත් ලංකාවක් අලුත් ලෝකයක් බිහිවෙමින් පවතී යැයි පුරසාරම් දොඩන්නවුන් අතට පත් කළ මේ කෙටි කතා සංග්‍රහය "පරණ ලංකාවත්" "පරණ ලෝකයත්" එහි න්‍යශ්ටියෙන් පුපුරුවා හැර ඇතැයි පැවසීම මිථ්‍යාවක් නොවන බව මෙහි ලියා තබන්නට උත්සුක වෙමි. අපට අඩු තරමින් කෙටි කතාවක් ඇතුලේ වත් එය කළ හැකි බැව් පෙන්වා දී ඇත්තේ මේ දීන මානසිකත්වයෙන් අංශුමාත්‍ර තන්ත්‍ර යාමයකට හෝ මිදීමට විය යුතුයැයි මට සිතේ.

Wednesday, July 18, 2012

පිත්තල හන්දිය- එරික් ඉලයප්ආරච්චි

කවි පොතක් අත පත්විය. ඒ එරික්ගේ "පිත්තල හන්දිය" කවි පොතයි. කවි පොත ආවේ හෂිත අබේවර්ධනගේ ඔෆිසිය ටය. එසැණින් ලද ඔත්තුවෙන් මා ඔහු හඹා ගොස්, එරිකුන්ට පිං දී, පොත මා සතු කර, කියවා හමාර කොට රස වින්දෙමි. හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාව ප්‍රගුණ කර ඇති හෙයින් කිසිදු අවුලකින් තොරව කවි කියවන්නටත් ඒවා තලුමරා රස විඳින්නටත් මා සමත් බැව් මුලින්ම නොකියා බැරිය. හාත්පස සිදුවන කිසිදු දෙයක් දණිසෙන් ඉහළට නොගෙන, කාලයේ බහුවිධ මාන ගැනත් ඒවා ක්වොන්ටම් ලෝකයට ඇද හැලෙන විට සිදු විය හැකි අනන්ත අපරිමිත භෞතික විද්‍යාවන් ජනනය වීම ගැනත් සිහි ඒකාග්‍රව තබා, විදසුන් වඩමින් සිටින්නට තැත් කරන මා හට, එක්තරා විදියක මානසික වදයක් ලෙස මේ කවි පොත අතපත් වීම සැළකීම, "නැතැ"යි කී හෘද සාක්ෂිය තවමත් ක්වොන්ටාවක් ලෙස හෝ ඇතැයි කීමේ සාක්ෂියක් ලෙස ද ගත හැකිය!
"පිත්තල" වී ඇති හෘදය සාක්ෂිය සෙමෙන් සෙමෙන් හන්දියකට පැමිණ ඇතැයි සන් කරමින් එරික් පෙළ ගස්වා ඇති කවි ගැන එකිනෙකින් විමසා විඳි රසයන් ලියා තබනවාට වඩා හෘද සාක්ෂිය බඹ හත අටක් පොළව යට වළලා ජීවත් වීමේ අරුමය ගැන සටහනක් ලියන්නට සිදු වීම ආහ්ලාදයකි. ජයග්‍රහණයකි. ආශ්චර්යයකි!

එරිකුන්ගේ කවි පොතෙන් උදුරා මෙහි පැල කරන මේ කව, මා වැනිම හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාවේ පරිණතයෝ අතින් විමසුමට ලක් වෙත්වා යි ප්‍රාර්ථනා කරමින් සටහන නිමා කරමි.

ආකාස කඩේ බෝම්බය

ලෝ යදමින් නිදහස් වී
අහස උසින් පිහාටුවක
සැප සිටුවර පුටුව තබා
තොළ  ගානා විට මධුවිත
කොටි වට කර මගෙ සිහිනය
වෙඩි තබනා සැටි දුටුවෙමි


දැරියක සේ නිරුවත් වී
නාගසාකි මහ පාරේ
මගෙ සිහිනය දිව යන කල
අරගත් පින්තූර රැසක්
බීබීසි නිව්ස් ලෙසින්
පත්තර පිටුවල පළ විය‍


යුද ගිනිදැල් නිවුණු පසුව
මගේ සිහින අවතාරය
යටි පතුලේ සිට ම වෙළා
මොඩර්න් ආර්ට් මූර්තියක්
විලස තනා කලාභවන
මැද සිටුවා මළකඩ කෑ
එන්නත් කටු ගසා තිබිණ


සුවපත් වුණු මගෙ සිහිනය
අහිමි දෙපා ගැන සිතමින්
රෝද පුටුව මත සැතපී
අහස අඳුරු නැති දිනවල
වලා අතර සුදට පෙනෙන
හෙද සඳ දෙස බලා සිටියි


එරික් ඉලයප්ආරච්චි
පිත්තල හන්දිය (2012) කවි පොතෙන්


Sunday, July 15, 2012

කාලයේ තීරු තීරු

අතීතෙ
කාලය ගල් ගැසුනු තැංවල
ගල් වුනු මිත්‍රයිනි
සිතුවිලි නොසෙල්වුනු

කාලය
දෙපලු කොට
හෝ
තෙපලු කොට
ආයෙම පණ ගන්වමි
නොසෙල්වුනු සිතුවිලි
කීරි කීරි...

එනව ද මාත් එක්කල
කාලයේ තීරු තීරු ඉරා දමනට
කුරුඳු කෝට්ටක් වගේ
පට්ටෙන් පට්ටා ගසා ලන්නට

15/07/2012

Friday, July 6, 2012

තාත්තා


















රවි ශනි කුජ බුධ බහස්පති
විශ්වය පීරූ සොඳුරු තරුපති
සුබ නැකැත් ප්‍රවේසමෙන් තෝරා
සුබ සෙත සදා දුන් තාත්තා
ඉහළ නැඟි මිනිසුන් දැක
බිම ඉඳන් සැන සෙන්නැති

අම්මා ගෙ දෙස්‍ දෙවොල’තර
කප්පරක් අළුත් පොත් පත්තර
ගේ පුරා කඳු ගැසූ තාත්තා
පොත පතින් ආතුර
අකුරු සොඬ වැඩුණු දරුවන් දැක
තනියෙන් ම හිනැ හෙන්නැති

අතමිටෙහි කාසි නො රන්ඳා
දෙපාරක් නො සිතා
දෝතින් ම බෙදා දුන් තාත්තා
කාගෙවත් හිත නො රිද්දා
දෙපාරක් සිතා
හොඳ වචන ම බෙදා දුන් තාත්තා
පිටව යන පිපුණු හිත් දැක
විසල් හිත පහන් ‍වෙන්නැති

තාත්තා - මේ තරම් හොඳ හිත ඇති
ආයෙමත් නෑවිත් ඉන්න විදියක් නැති
දරු මුණුපුරන් දුක පිරිපත අසා ගෙන
එන්න ඕනැයි හිතා ගෙන යන්නැති


මහේෂ් මුණසිංහ
2012 ජුනි

Sunday, July 1, 2012

බෝනික්කන්!

තුනීව සිහින්ව
කන්‍යා පටල සේ
සිඳී ගිය
ආශාවන්

මිය ඇදී යන්නටවත්
පණක් මුසු නැති
මියැදී ගිය එනමුදු
රෝස පැහැති...

බෝනික්කන්!

දෑස් ඇරුනු
එමත
වැලි තැවරුනු

වැළලුනු
නිරාශා වැල්ලෙ තැනුනු
තැනිතලාවන්
යට සැතපෙන
කම්පිතව
පණ නල යදිනු අමතකව ගිය
ප්ලාස්ටික් ආත්ම...

තුනී ව
සිහින්ව

p.s.
උදලු ගාන විට මිදුලේ සමහර තැන්වලින් පරණ ප්ලාස්ටික් බෝනික්කන් තවමත් මතුවෙයි. පරම්පරා කීයක් අපි මේ ප්ලාස්ටික් කැබලි සමග සෙල්ලම් කරන්නට ඇත්ද?

01/07/2012

Thursday, June 14, 2012

පියාණෙනි

ජීවිතය ගැන අපමණ කතන්දර
මිමිණෙයි
හමු නොවන හැම හමු වීමකම
කල් දැමූ යම් දවසකට

ජීවිතය ගැන එක නිමේෂයක්
රැව්දෙයි
හමු වූ විට හමු නොවන බව
යලි කිසි දිනෙක...

මහේෂ් මුණසිංහගේ පියාණන්ගේ අභාවය නිමිත්තෙන් වෙන්වන්නට මොහොතකට පෙර හෝ ඔහුට හමු නොවූ ඒ ප්‍රියාදර පියාණන් සිහිවනු පිණිස ලියා තබමි.

Wednesday, June 13, 2012

යුනිකෝ ගැන මතකය

වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් රැඳී තිබේ. මගේ සොයුරිය මට වඩා සිවු වසරකින් වැඩිමල් වූයෙන් ඇයට කතන්දර කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණි. රුසියානු කතන්දර පොත් කියවා මා විනෝදයට පත් කරන ඇයට මේ අමුතු කතන්දර පොත කියවන්නට පෙර කියවීම පිළිබඳ නොයෙකුත් පැටලිලි හටගන්නා බැව් මට දැනුණි.

දෙබස් මෙන්ම සිතන දේ ද ලියා "වදන් වළාකුළු" මෙන් සටහන් කර ඇති රූප රාමු වෙසක් තොරණක් පිළිවෙලින් වටහා ගන්නා අයුරින් කියවා තේරුම් ගත යුතු බවට ඇය පෙන්වා දුන් අතර අකුරු කියවා ගැනීමේ හැකියාවක් නොවූ මා හට ඈ ඇගේ සිත්ගත් කතා කියවා අවසන් වන තුරු රූප දෙස බලමින් සිටින්නට සිදු විය. අක්කා ඉතිං ඊට පස්සේ චිත්‍ර කතාව මහත් අභිරුචියකින් කියවන අයුරු පසෙක සිට නරඹන මා ඇය කියවා අවසන් වන තුරු ඉවසා බලා සිටීම බැරිම වූ කලෙක අකුරු කියවා ගන්නට මට උපකාර කරනා මෙන් ඇයට ඇවිටිලි කළ අයුරුද මට හොඳින් මතකය. පසුව මා සොයුරිය මා වෙත හෝඩි පොතක් ගෙනැවිත් දී ඉන් අකුරු ඉගෙනීමටත් වචන කියවා ගැනීමටත් උගන්වන ලද්දෙන් මා ඉතා ඉක්මනින් සිත්තර පත්තරය මගේම ආකාරයකට කියවා ගැනීමට ඇරඹුවේ මට යම්තම් වසර පහක පමණ වයසක් වෙද්දී ය.

එකල කියවන්නට යෙදුනු රුසියානු කතන්දර පොත්වලට වඩා සිත්තර චිත්‍රකතා පත්තරයේ එන සිදුවීම් අතර පරතරය ඉතා විශාල බැව් මට පෙනුනත් එය වටහා ගැනුමට තරම් මේරු මනසක් මට එකල නොවීය. මට සිතුනේ සිත්තර පත්තරයේ එන කතන්දරවල සිදුවීම් තවමත් අපගේ ජීවිත කාලයේ සිදු නොවී ඇති බවත් අනාගතයේදී මේවා අපගේ ජීවිතවලද අනිවාර්යෙන්ම සිදුවනු ඇති බවත්ය. එනයින් ඉක්මනින් කතන්දරවල රූපනය වී ඇති චරිතවල වයසට මෝරා වැඩිහිටි විය යුතුය යන හැඟීම නිරන්තරයෙන් පස්හැවිරිදි මා තුළ ලියලන්නට විය.

මා සිත්තර පත්තරයේ ඉමහත් අශාවෙන් කියවූ එකම කතාව යුනිකෝ ය. මා යුනිකෝ චරිතයට කොපමණ ඇළුම් කළේ දැයි කීවොත් මා හට ද ඔහු මෙන් දෑස් වසා ගෙන කඩු සටන් කිරීමේ උමතුවක් මද කලෙකින් වැළඳුනි. ඒ 1976 වසර ය. මා නිතරම යුනිකෝ ගේ දෑස් බැඳි ආවරණය වැනි හැඩයෙන් යුතු කඩදාසි කපා ඒවා පැළඳ වටපිට බලන්නට උත්සහ කළ ද කිසි දිනෙක කිසිම දෙයක් එම කඩදාසි හරහා දකින්නට නොහැකි වීමෙන් ඉමහත් කම්පනයටත් කනගාටුවටත් පත්වූ අයුරු මට ඉතා හොඳින් මතක තිබේ. එකල මා හමු වන බොහෝ වැඩිහිටියන් සිත්තර පත්තරය කියවන පාඨකයන් වූ බැවින් මා ඔවුන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ යුනිකෝ ගේ මේ අසාමාන්‍ය දැක්ම කුමක් දැයි කියාය. යුනිකෝ දෑස් වසා සිටියද ඔහුට සාමාන්‍ය අයෙකුට සේම දෑස් පෙනීම මා හට වටහා ගැනීමට අවශ්‍ය වූයෙන් මගේ ප්‍රශ්න කිරීම් උග්‍ර විය. ගෙදර යන එන අයට ඒ ගැන විස්තර කරනවා හැර වෙනත් අනෙකුත් දෙයක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට මගෙන් ඉඩ නොලැබිණි. එවිට මාගේ පියා ඇතුළු සියල්ලන් මට සිත්තර පත්තරය බැලීම වාරණය කරන්නට පවා උත්සුක වූයේ මගේ අනවශ්‍ය කුහුල නිසාවෙන් බැව් මට හොඳින් මතකය.

එකල යුනිකෝ නිර්මානය කරන සරත් මධු මට හැඟුනේ සුපිරි තත්වයක ජීවත් වූ පිටසක්වල ජීවියකු වැනි අතිශය ගුප්ත ස්වරූපයකිනි. මන්ද යත් ඔහු අතින් ඇඳෙන යුනිකෝ යනු ඔහුගේ නිර්මානයක් බැවින් එබඳු සුවිශේෂී හැකියාවක් ඇති අයෙකු නිර්මානය කරනු ලබන්නා කොතරම් සුවිශේෂි හැකියාවන් ප්‍රභලතාවයන් ඇති අයෙකු දැයි සිතා ගන්නට මගේ සිත කුඩා වැඩි වූ බැවිනි. මට නිරන්තරයෙන්ම යුනිකෝ ට වඩා විශාලව දැනුනේ සරත් මධු ය. විටෙක සරත් මධු යනු යුනිකෝටත් වඩා විශාල දැවැන්තයෙකු විය යුතුයැයි මට හැඟුනු අවස්ථා අප්‍රමාණය. බාගවිට සරත් මධුට සැබෑ යුනිකෝ හමු වී ඇතිවාට ද මට සැකයක් නොවීය.

මා සිත්තර පත්තරයේ යුනිකෝ සමග කොතරම් බද්ධ වූයේ දැයි කීවොත් මා යුනිකෝ ගේ ප්‍රතිරූ කඩදාසි මත අඳින්නට දැරූ උත්සාහයෙන් මා ක්‍රමයෙන් සිත්තරකු බවට ද පරිවර්තනය වෙමින් සිටියේ අප විසූ නිවසට යනෙන බොහෝ අයවලුන් විශ්මයට පත් කරවමිනි. වඩාත් විශ්මයජනක දෙය වූයේ සරත් මධු අතින් නිමැවෙන යුනිකෝ ගේ මස් පිඩුවලට වඩා විශාල ප්‍රමාණයක මස් පිඩු ප්‍රමාණයක් පෙන්වන්නට මගේ සිතුවම්වලට හැකි වීමයි. ඊට හේතුව මගේ පියා සතු වූ දැවැන්ත සිරුර නිසාවෙන් වන්නට ද හැකිය. මගේ පියා ද සතු වූයේ අයෝමය පුරුෂයෙකුට නොදෙවෙනි වූ දැවැන්ත සිරුරකි. ඔහු තරුණ කාලයේ බර ඉසිලීම් වැනි කාය වර්ධන ව්‍යායාම්වල යෙදීමෙන් උපයා ගත් දැවැන්ත මස්පිඩු සහිත සිරුරක් සතු වූ බැව් මට සිහිවේ. කාලයත් සමග ක්‍රමයෙන් වැහැරුනු මගේ පියාගේ සිරුර එක්දාස් නවසිය අනූ දෙකේ දී ජීවයෙන් තොර වූ කාබනික වස්තුවක් බවට පත් වූ අවස්ථාවේදී එය තැන්පත් කිරීමට සුවිශේෂි පෙට්ටියක් තනන්නට පවා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට සිදු විය.

සිත්තර පත්තරය සමග ඇරඹුන මාගේ කියවීමේ කලාව නිසාවෙන් ඉන් පසු පාසැල් යන්නට පටන් ගත්තා වූ 1979 දී පාසැලේ බොහෝ දරුවන් අභිබවා කියැවීමේ හා ලිවීමේ හැකියාවන්ගෙන් ප්‍රවීණව ඉහලින් සිටින්නට මා හට හේතු වූ බැව් සිත්තර පත්තරය සහ යුනිකෝ නිර්මාතෘ සරත් මධු මහතා වෙතද කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුය.

සිත්තර පත්තරය හා සබැඳි මාගේ මේ අතීතය මෙලෙසින් සටහන් කරන්නට නිමිති වූයේ මුහුණු පොතේ රංජිත් ගමගේ සොයුරා පසුගිය වසරේ එක්තරා දිනෙක යුනිකෝ ගේ සිතුවමක් සිය තෙලිතුඩින් නිමවා ප්‍රසිද්ධ කිරීමත් සමගමය. ඒ දවස්වල මා රැකියාවේ යෙදී සිටියේ කැමරෑන් රටේ බැවින් ද ඔහු සිටියේ ඇමරිකාවේ බැවින් ද ඉතා ස්වල්ප කාලයක් දුරකතනයෙන් කතා කළ මා හට දැනුනේ වසර ගනනාවකින් ඉපැරණි අතීතයට ගොස් ඒ අතීත මතකයන් අතර සැරිසැරූ බවකි. රංජිත් ගමගේ ද මා මෙන්ම සිත්තර පත්තරයෙන් අකුරු කළ තවත් සහෘදයෙකු යැයි මම සිතමි.

ඉහත කළු සුදු යුනිකෝගේ සිතුවම රංජිත් ගමගේ විසින් නිර්මිතය.
පහත සිත්තර පත්තරයේ මුල් පිටපතේ කවරය මා ලබා ගත්තේ ලේඛනාරක්ෂකයෙනි.



Sunday, May 27, 2012

අWL Art - විරාජ් ලියනාරච්චි




අWL Art- ඡායාරූප ප්‍රදර්ශනය, මැයි 27, 28 සහ 29 කොළඹ කලාභවනේදී සහ ජුනි 2 සහ 3 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මාගේ දේශය අවදි කරනු මැන' කලා උලෙළේ දීත් පැවැත්වේ.




ඡායාරූපවල දැක්වෙන්නේ මැයි 27 වන දා රාවය පුවත්පතේ පළ වූ විරාජ් ලියනාරච්චිගේ සංලාපයෙන් උපුටා ගත් හෙඩිමයි.


Wednesday, May 23, 2012

නුග කොල ද හෙම්බත් ය...

නුග කොල ද හෙම්බත් ය
ප්‍රභාසංශ්ලේෂණය
ඇණ හිට දැං කලකි
නුග සෙවණේ ද ගිනියමකි

අහරක් නොනිපදේ
ආහාර දාම
මුලිනුපුටා වැනසෙති රහසේ

නුග විතරක් ද
අඹ කොල ද වල්මත් ය
නැත කිසිදු අහරක්
ප්ලෝයම පටක තුළ දුවන ඉහළට

අඹ ඵලය හැඩයකි
ඇතුලත හිස් යැ
බීජ නොලබයි
සුවඳ නොහමයි

හිරු එළියෙ ගිනි රැස් ය
හරිතප්‍රද ගිනි ගති
අහර නිපදුම එතැන නැවතුනි
නුග මෙන්ම වල් අතු අඹ ද
විජලනයට පත්ව වැතිරෙති

රහසක් නැති
හිරු මියෙන්නට පටන් ගෙන ඇති...

23/05/2012

Friday, April 20, 2012

හිරුගෙන් කැඩී ...

හිරුගෙන් කැඩී වෙන් වුන
කැබැල්ලක් පා වී ඇවිත් ගගනත
විනිවිද අහස ඕසෝන් ස්ථර
අවුලුවයි පෘථිවි කබොල නෑ සැක!

කල්ප කාලාන්තරයක සිට
කැරකී කැරකී වෙහෙසව
අතින් ගිලිහෙන දොයිතුව
පෙලා පලා දාවි ද ලෝ ධාතුව

හැල්මෙන් වසර අගණිත
සැලි සැලී හුන් බමනෙක
හිරි වැටී අත් බාහු දඟ යුග
ඉහිරෙයි ද හිරු ලෝහිත

හිරු තරු ඇතුළ ඉපදුන
දේවලින් සැදුන මිහි ජීවිත
හිරු තරු කැඩී විහිදෙන
කැබැල්ලෙන් නැවත ගනු ඇත

20/04/2012

Monday, April 9, 2012

සරුංගලයක සැබෑ ලස්සන...

වා තලය නිසල විට
බැරෑරුම් කුණාටුව ළඟ බැව් කියයි
අහස ගුගුරා වැසි වැටේ යැයි
සිතූ විටක දී නිහඩ වෙයි

බලාපොරොත්තුවකට ජීවය පිඹින්නට
මෙවැනි බාධක සියුම් වෙයි
රළු වෙසින් පැමිණියත් මේඝය
මහා පොළොවට ළදරු වෙයි

සරුංගලයක රැහැණ සුන් කොට
ඉබාගාතේ යවයි-කුණාටු අහස වෙත
කොතැන වැටුණත් එහිම හිමිකරු
ඒ ඒ සියළු තැන් හිඳියි

එනමුත්

අහසේ නීතිය රීතිය නොදත්
සරුංගල කිසි දා උඩ නොයයි
වැටුනු තැනකින් ආයෙ අල්ලා
උඩ යවන්නට සිත දිරියි

සරුංගලයක සැබෑ ලස්සන
අහස මැද මිස වෙන නොවෙයි!

09/04/2012

Friday, April 6, 2012

ඔබ ඇඳි සිතුවම්

ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි

කඳු මුදුන් සහ අහස් තල අතර
ගොරහැඩි පාෂාන සිඛර බඳ වට
එතී ගලා හැලෙන දිය කඳුරුවල
ඉවුරු බදා පැද්දෙන
සුලලිත ගහවැල-කටු පඳුරක
උල්ම උල් කටු කිනිස්සක
අගිසක දිලෙන රෝස පෙත්තක

ඔබ ඇඳි සිතුවම්
දුටුවෙමි

මම ද සිතුවම් අඳිමි

දුර්ගන්ධය ගලා යන
පීටාර ගලන කක්කුස්සි වලක් ගැන
නගාරාලංකාරය ශෝභනය රකිනු වස්
හරවා දැමුම පිණිස නොමිනිස් වාසයකට...

06/04/2012

Wednesday, April 4, 2012

හෝකිංගේ දිවි මග...

Stephen Hawking
Created by: Online PhD

ප.ලි./p.s.

මෙම සටහන මා වෙත යොමු කළේ පීටර් කිම් නමැති අයෙකු විසිනුයි. ඔහු මාගේ බ්ලොගයේ සඳහන් ස්ටෙෆන් හෝකිංගේ සබැඳියාවන් සහ සඳහන් කිරීම් ඔස්සේ මෙම සටහන මේ බ්ලොගයේ අන්තර්ගතය හා සැසඳේ යැයි සිතා මාවෙත පෞද්ගලිකව යොමු කළ බව මා වෙත ඊමේලයක් මගින් දන්වා තිබුනා. පීටර් ට නොවක් තුති.

This Graphical Note was sent to me by Mr. Peter Kim, who found my blog has some links to Stephen Hawking’s books and other resources. I would appreciate his commitment and especially sharing this work with all of us. Thank you Peter!

Monday, March 19, 2012

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්
මේ ස්වභා දහමේ නිර්මාන කාලයේ ඇරඹුමේ සිටම අපට ප්‍රත්‍යක්ෂ වෙමින් හෝ නොවෙමින් අප අතරම පැවතුනි. ඒවා ගවේෂණය කිරීමෙන් අපට ප්‍රත්‍යක්ෂ වන මාදිලි බවට පරිවර්තනය කරන්නට කවදා කවුරුන් හෝ මූලික වන්නේද යන්න මිස ඒවා අලුතින් ප්‍රාදූර්භූත වීමකින් තොරව සනාථනිකව තම පැවැත්ම රඳවා ගනී.
-රොජර් පෙන්රෝස්

Those designs were already ‘in existence’ since the beginning of time, in the potential timeless sense that they would necessarily be revealed precisely in the form that we perceive them today, no matter at what time or in what location some perceiving being might have chosen to examine them.

page 47: Roger Penrose The Road to Reality- A Complete Guide to the Laws of the Universe


කාලය ඒක මාන ද?

භෞතික විද්‍යාව එහි මූලාරම්භයේ පටන්ම මෙතුවකට අචලව පවත්වා ආ මූලික ලක්ෂණ අතුරෙන් අතිශය වැදගත් සංකල්පයක් වන්නේ කාලයේ මාන විෂයෙහි ඒකීයත්වය යි. නිව්ටෝනියානු කාලය විශ්වයේ සියලු තැන්හි එකම සීඝ්‍රතාවයකින් ගලා යද්දී අයින්ස්ටයිනියානු කාලය නිරීක්ෂකයාට අනුව සීඝ්‍රතා වෙනස් කරගන්නා බව පෙන්වා දුන්නා හැර ඉන් ඔබ්බට කාලයේ ස්වරූප සංකල්පීය ලෙස වෙනසකට බඳුන් වී නැත.

කාලය පිළිබඳ සම්ප්‍රදායික පිළිගැනීමට වෙනස් මතවාදයක් ප්‍රථම වරට ලොවට ගෙන එන්නට සමත් වන්නේ ඉතාම මෑතක දී  ඉත්ෂාක් බාර්ස් නම් වූ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ එලඹුමට අනුව සෛද්ධාන්තික භෞතික විද්‍යාව මාන 6කින් යුක්ත වන අතර ඉන් 4ක් අවකාශ මාන වන අතර 2ක් කාලයේ මාන වෙයි. මෙයාකාර වූ කාලයේ ද්විමාන ස්වරූපයක් මුල් වරට භෞතික විද්‍යාවට හඳුන්වා දෙන ඔහුගේ ආන්දෝලනාත්මක ලිපිය වර්ෂ 2007 ඔක්තෝබර් 13 වැනි දා නිකුත් වූ නිව් සයන්ටිස්ට් සඟරාවේ මුල් පිටුවේ කතාව ලෙස ප්‍රකාශයට පත් කර ප්‍රසිද්ධ කරන ලදී. ඉත්ෂාක් බාර්ස්ගේ එම ද්විකාල භෞතිකය පිළිබඳ කරනු ලබන සම්මුඛ සාකච්ඡාවක් මෙතැනින් කියවා ගත හැකිය. එම අදහස ඉන් ඔබ්බට කවර ආකාර සංවර්ධනයකට ලක් වූයේ දැයි එතරම් ප්‍රචලිත නැති වුව ද එම අදහස වඩාත් පළල් වපසරියකට ගෙන ඒමට දරන තැතක් ලෙස මේ ව්‍යායාමය හඳුන්වා දෙනු කැමැත්තෙමි.

කාලය විසින් කිසියම් සිදුවීමක තත්වය තීරණය කරන්නේ එම සිදුවීම නොසිදුවීමේ සියළු හැකියාවන් ගණනය කිරීමෙන් අවම තත්ත්වයන් හෝ උපරිම තත්ත්වයන් ඇති කාලාවකාශ මාර්ගය තෝරා ගැනීමෙනි යනුවෙන් පැවසූවොත් එය කිසියම් කාල සන්ධර්භයක් තුළ සත්‍ය වන බැව් පෙන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස කාලාවකාශයේ සිදුවීම් දෙකක් ඒ සහ බී වශයෙන් සළකමු. ඒ සහ බී අතර කාල අන්තර ව‍ශයෙන් අනන්‍ය වූ කාල ප්‍රමාණයක් ඇති අතර එම සිදුවීම් දෙක අතර අනන්‍ය වූ ඛණ්ඩාංක අතර වෙනසක් ද පැවතිය හැකිය. එකම ස්ථානයක සිදුවන නිරීක්ෂණ දෙකක් පමණක් වන්නේ නම් එහි පැවතිය හැක්කේ කාල ප්‍රාන්තර වෙනස පමණි. මන්ද යත් ස්ථානීය වෙනසක් හෝ විස්ථාපනයක් සිදු නොවන්නේ නම් එහි ඛ‍ණ්ඩාංක නොවෙනස්ව පවතින බැවිනි. මෙබඳු අවස්ථාවක කාලය පමණක් සිය ඛණ්ඩාංක වෙනස් කරගන්නා බැවින් කාලයට ගත හැකි වෙනස් අගයන් අපරිමිත ප්‍රමාණයකින් එම කාල ප්‍රාන්තරය පමණක් තෝරා ගැනීම නිරීක්ෂණය මත පමණක් පදනම් වන්නේ යැයි සැළකිය හැකි බැවින් උක්ත ප්‍රමේය සාධනය නොවන විශේෂ අවස්ථාවක් නිර්මානය වන බැව් වටහා ගත හැකිය. නමුත් මෙම විශේෂ අවස්ථාව සාමාන්‍යකරනය වන්නේ කෙසේදැයි නැවතත් පරීක්ෂාවෙන් බැලීමෙන් වටහා ගත හැකිය. සියළු මිනුම් සිදුවන්නේ නිරීක්ෂකයකුට සාපේක්ෂව බැවින් නිරීක්ෂකයා තීරණය කරනු ලබන මොහොත යනු සිදුවිය හැකි අපරිමිත සිදුවීම් අවකාශයකින් තෝරා ගත් අවස්ථාවක් නිර්මානය කිරීමයි. නිරීක්ෂණයක් උදෙසා සිදුවන අහඹු තෝරා ගැනීම යනු ද සිදුවිය හැකි අපරිමිත කාල ප්‍රාන්තර සන්තතියකින් එක්තරා අගයක තෝරා ගැනීමක් වන බැවින් නොතේරු සියළු කාල ප්‍රාන්තරයන් යනු අවම හෝ උපරිම තත්වයන් නිරීක්ෂණයට සාපේක්ෂව තෘප්ත නොවූ අවස්ථා බවට පත් වේ. කාලයේ සමස්ත ස්වරූපය සන්තතිකව රේඛීය ලෙස ගලා යන්නා වූ ලෙස පවතින ජ්‍යාමිතික නිරූපනයක් බැවින් එහි එම ගති ලක්ෂණය විසින් කිසිදු උපරිම අවම තත්වයක් නිර්මානය නොකිරීම හේතුවෙන් තෝරාගත් ඕනෑම ලක්ෂ්‍යයක් විසින් තෘප්ත කරනු ලබන්නේ උපරිමයක් හෝ අවමයක් හෝ යැයි සැළකීම ගණිතමය වශයෙන් දෝෂ සහගත වුව ද භෞතික අරුතින් ප්‍රායෝගික බැව් පෙනේ. ඒ මන්ද යත් නොතේරු සියළු ඉහල අගයන් සීමාවේ අවමය තෝරා ගත් ලක්ෂ්‍යය විසින් තෘප්ත කිරීමෙන් අවම අවස්ථාව නිර්මානය වීම හෝ නොතේරු අගයන් ගේ පහල සීමාවේ උපරිම අගය තේරු අගය විසින් තෘප්ත කිරීමේ හේතුවෙන් උපරිම අවස්ථාව තෘප්ත වීමත් යනා දී වශයෙනි. එනයින් අප මුලින් දැක්වූ කාලාවකාශයේ තෝරා ගත් සිදුවීම් දෙකක් අතර නොසිදූවීම් සියල්ලේ අවමය සහ උපරිමය ගණනය වීම සිදුවන්නේ කෙලෙසක දැයි වටහා ගැනීම තුළින් කාලයේ බහුමානික ගුණය මතු කරලන්නට උත්සහ කරමු.

නොතේරු කාලාවකාශ ඛණ්ඩාංක තේරු ඛණ්ඩාංකය විසින් යටපත් කරවූයේ කෙසේදැයි වටහා ගැනීම හෝ එම සියළු නොතේරු අගයන් ගණනය කර සැසඳීම සිදු වූයේ කෙසේදැයි වටහා ගැනීමේ අසම්ප්‍රදායික එළඹුම නම් අන් කවරක් හෝ නොව කාලය බහුමානිකව එකිනෙකට වෙනස් එනමුත් එකම සන්තතියක් තුළ ඒ ගණනය කිරීම් එකිනෙකින් ස්වායත්තව සිදුවීම ඔස්සේ අවම හෝ උපරිම අගය සිදුවිය යුතු අවස්ථාව තෝරාගත් බවයි.

කාලයේ බහුමානික බව අප ප්‍රත්‍යක්ෂ කරගන්නේ අවිඥානික සහ ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධියක් ලෙස යැයි උපකල්පනය කළ ද එය සංකේතීය ලෙස ප්‍රකාශ වන අවස්ථාවක් ලෙස බුදු දහමේ එන ප්‍රතිසන්ධි තල පිළිබඳ විග්‍රහයත් ඒ ඒ තල තුළ පැවැත්ම ගන්නා වූ විවිධ සංකේතීය සිරුරු පිළිබඳ අධ්‍යයනයත් මහෝපකාරී වේ.

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල 31

ප්‍රතිසන්ධි තල 31ක් බුදු දහමේ ප්‍රකාශිත ය. එම තල 31 සංකේතීය ව්‍යුහයන් ඇසුරෙන් විග්‍රහ කරගැනීමෙන් එම තලයන්හි පවත්නා භෞතික ගතිගුණ විදහා දැක්විය හැකි වන්නේය. එම තල අරභයා පවතින්නා වූ ප්‍රබේද තීරණය කරන්නා වූ අවකාශ සහ කාල මාන ඇසුරෙන් එම සන්තතික අවකාශයන් හි ශක්තිය හෝ ස්කන්ධය හෝ විද්‍යුත් ක්ෂේත්‍රයන් හි පැවැත්ම ගණිතානුකූලව විග්‍රහ කිරීමෙන් කිසියම් භෞතික විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා අවබෝධයක් ලබා ගැනීම ප්‍රායෝගික ය.

මූලික වශයෙන් ප්‍රතිසන්ධි තලයක් යනු බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන කුසලාකුසල කර්ම ඵලයෙන් කිසිවෙකු තමා ජීවත් වූ ලොවෙන් චුත වූ පසු උත්පත්තිය ලබන ස්ථානයකි. මිනිස් ලොව ඉපදීම ඉතා දුර්ලභ යැයි ද අනෙකුත් අවරගනයේ (අසුර-ප්‍රේත-තිරිසන්-අපාය) ලෝක තුළ උත්පත්තිය ලැබීම සුලභ බව ද බුදු දහමේ කදිමට ඉගැන්වේ. මේ පිළිබඳ සවිස්තරාත්මක කතන්දර නොයෙක් බෞද්ධ පොතපතින් කියවා ගත හැකිය.

මෙම ලෝකයන්හි පැවැත්ම පෘථග්ජන අපට ප්‍රත්‍යක්ෂ නොවන බැව් ඉගැන්වේ. ඒවා දැක ගැනීමට බුදුවරයෙකුට හෝ එබඳු නිවීමකට පත් අර්හත් තත්වයකට පත් වූ හෝ විඥානයක් සහිත අයෙකුට පමණක් සාක්ෂාත් වන බැව් ද ඉගැන්වේ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ එක්තරා තැනක බුදුන් වහන්සේ මෙසේ එබඳු ලෝක අනෙකා සඳහා දැකගැනීමේ අවස්ථාව සැලසූ අයුරු මෙලෙස විස්තර කර ඇත.

"එම අවස්ථාවේ දී බුදුන් වහන්සේ ඌර්‍ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරාවක් නිකුත් කරවා ඒවායින් එකක් වත් අත් නොහැර පෙරදිග දෙසට ඇති ලෝකයන් දහ අට දහස ද යටි පැත්තට යමින් අවිචී මහා නරකාදිය දක්වා ද උඩ පැත්තට යමින් අකනිෂ්ඨ දිව්‍ය ලෝකය දක්වා ද සියළු ලෝකයන් ඒකාලෝක කළහ. එම ලෝකයන්හි ජීවත් වන්නා වූ සහ ආකාරයේ සත්වයන් ඉතා පැහැදිලිව දැක ගත හැකි විය. එම ලෝකයන්හි වැඩ වසන්නා වූ බුදුන් වහන්සේලා ද දැක ගත හැකි විය. එමෙන්ම එම බුදුවරයන් වහන්සේලා විසින් දේශනා කරමින් සිටින්නා වූ සූත්‍රධර්මයන් ඇසීමට හැකි විය. ඒ අතර එහි වාසය කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතර සිටි ආධ්‍යාත්මික ප්‍රාගුණ්‍යය තුළින් ඵලාධිගමය කළා වූ අය (ඵලාධිගමය කළා වූ අය ද නොකළා වූ අය ද ) දැක ගත හැකි විය. තව දුරටත් එම බෝධිසත්ව මහසත්වයන් වහන්සේලාගේ පසුපස ඇත්තා වූ විවිධ හේතූන් සහ ප්‍රත්‍යයන් ද උන්වහන්සේලාගේ විශ්වාසයන්ගේ සහ අධිමුක්තීන්ගේ විවිධ වූ මට්ටම් ද උන්වහන්සේලා බෝධිසත්ව චර්‍ය්‍යාවෙහි හැසිරෙන්නට යොදා ගන්නා වූ විවිධ වූ උපායකෞෂල්‍යමය චර්‍ය්‍යාවන් ද (පෙනී සිටින්නා වූ ආකාරයෙන් ද) දැකිය හැකි විය. එම බුද්ධ ක්ෂේත්‍රයන් හි පිරිනිවීමට වැඩම කළා වූ බුදුන් වහන්සේලා ද දැක ගත හැකි විය. එමෙන් ම බුදුවරුන්ගේ පිරිනිවීමෙන් පසු ව උන්වහන්සේලාගේ ශාරීරික ධාතුන් ගෙන සෑදු රත්නමය ස්ථූපයන් ද දැක ගත හැකි විය."
-සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය page 3

මේ ආකාරයෙන් බුදුවරයෙකුට අපට නොපෙනෙන මෙබඳු ලෝක සිය ශක්තිය යොදවා විහිදුවන ආලෝකයක් මගින් ඒකාලෝක කොට දෘශ්‍යමය තත්වයකට පත් කළ හැකි බැව් පෙනේ. ත්‍රිමානය ඉක්මවා ගිය බහුමාන අවකාශයෝ අතිශය ක්ෂුද්‍ර විය යුතුය යන්න නූතන භෞතික විද්‍යාවේ පිළිගැනීමයි. එනම් ත්‍රිමානය ඉක්මවා යන අවකාශීය මාන තිබිය යුත්තේ ප්ලාන්ක් මට්ටමේ අතිශය කුඩා දුරවල් තුළ එකිනෙක සර්පිලාකාරව හෝ නූල් බෝල වැනි අවකාශ මාන පැටලුම්වල බැව් ගණිතානුකූලව පෙන්වා දෙති. මේ බහුමාන ක්ෂුද්‍ර ලෝක භෞතික විද්‍යාවේ කතාබහට ලක්වන්නේ ක්වොන්ටම් භෞතිකය තුළය. ක්වොන්ටම් භෞතිකය වර්තමානයේ අත්කරගෙන ඇති සංවර්ධනයේ නිම්වළල්ලක් ලෙස තන්තු සිද්ධාන්තය හෝ එහිම දිගුවක් වන එම් සිද්ධාන්ත පද්ධතිය හෝ සැළකිය හැකිය. මෙයාකාරයෙන් ගණිතමය ලෙස සංවිධිත ලෙස ගොඩනැගෙන බහුමාන කාලාවකාශ තුළ අංශුවලට පමණක් පැවතිය හැකි බැව් පෙනේ. ඊට හේතුව වඩාත් විශාල අණුක ජීවින් පැවැත්මට මෙම ප්ලාන්ක් මට්ටමේ දී නොහැකි වීමත් ත්‍රිමානය ඉක්මවන අනෙකුත් මාන පවතින්නේ පැටළුම් ස්වරූපයෙන් වීමත්ය. කාලය බහුමානික වූ විට එය කෙලෙස පවතී දැයි අදහසක් ලේඛකයාට මේ අවස්ථාවේ නැත.

වර්තමාන භෞතික විද්‍යා ක්ෂේත්‍ර යේ ඉමහත් ආන්දෝලනාත්මක සිද්ධාන්ත පද්ධතියක් වන තන්තු සිද්ධාන්තය (String Theory) ගණිතමය පදනමක් ලෙස කල්පනය කිරීමෙන් මෙම ක්ෂුද්‍ර ලෝක සැසඳීම් පහසු වේ. එනයින් වර නැගෙන නොයෙකුත් භෞතික පැහැදිලි කිරීම් බුදු දහමේ එන ප්‍රතිසන්ධි තල අවකාශ කෙරෙහි හෙලන භෞතිකමය විවරණය පෘථග්ජනයාට එම අතාත්වික ලෝක කෙරෙහි භෞතික චිත්‍රයක් මවා ගැනීමට ඉවහල් වනු ඇත.

ප්‍රථමයෙන් බුදු දහමේ එන ප්‍රතිසන්ධි තල ඒවායේ විවිධ ගුණාංගවල ආරෝහණ පිළිවෙලින් දක්වමු. (1,2)

1 නිරය
2 තිරස්චීන ලෝකය
3 ප්‍රේත ලෝකය
4 අසුර ලෝකය
5 මනුස්ස ලෝකය
6 චතුර්මහාරාජිකා
7 තාවාතිංස දේව
8 යම දේව
9 තුසිත දේව
10 නිම්මානරති දේව‍
11 පාරානිම්මිතවසවත්ති දේව
12 බ්‍රහ්මපරිසච්ජ දේව
13 බ්‍රහ්මපුරෝහිත දේව
14 මහා බ්‍රහ්ම
15 පරිත්තභ දේව
16 අප්පමානාභ දේව
17 ආභස්සර දේව
18 පරිත්තසුභ දේව‍
19 අප්පමානසුභ දේව
20 සුභාකින්න දේව
21 වේහප්පහල දේව‍
22 අසඥ්ඥසත්ත
23 අවීහ දේව
24 අතප්ප දේව‍
25 සුදස්ස දේව
26 සුදස්සි දේව‍
27 අකනිත්ත දේව
28 ආකාසානඤ්චායතන
29 විඥ්ඥානඤ්චායතන
30 ආකිඤ්චඤ්ඤායතන
31 නේවසංඤ්ඤානාසඤ්ඤායතන

මෙනයින් 3D+1T යනුවෙන් සංකේතීය (Manifold Notation) ලෙස ප්‍රකාශ කළ හැකි අප ජීවත් වන්නා වූ මෙම සන්තතික අවකාශය අවකාශීය මාන ත්‍රිත්වයකින් ද කාල මාන ඒකකයකින් ද සමන්විත වේ. සියළු භෞතික ශරීර අයත් වන්නේ මෙම ත්‍රිමාන අවකාශයට බැව් මෙහිලා සඳහන් කළ යුත්තේය. ත්‍රිමානය ඉක්මවා යන අනෙකුත් බහු අවකාශ මාන ඇති අවකාශයන්හි ශරීර පැවතිය නොහැකි බැව් ද ඒවායේ පැවැතිය හැක්කේ තන්තුමය හෝ ආසන්න වශයෙන් සංවෘත තන්තු ලෙස පැවතිය ලක්ෂීය වස්තු පමණක් බැව් ද තන්තු සිද්ධාන්තය ඇසුරෙන් නිගමනය කළ හැකිය. එනයින් බහුමාන අවකාශ තුළ පවතින ශරීරවලට ඉන්ද්‍රිය පද්ධති පැවතිය නොහැකිය. එම අවකාශවල පැවතිය හැක්කේ විඥානය පමණක් බැව් පැහැදිලි වේ. විඥානය කිසියම් ශක්ති ප්‍රබේදයක් ලෙස ගත් විට ශක්තිය සහ ස්කන්ධය අතර පවතින අයින්සටයිනියානු සම්බන්ධය නිසාවෙන් අංශුමය ශරීරයක් එම සත්වයන්ට අයත් වන්නේ යැයි නිගමනය කළ හැකිය.

දැන් අපට පිවිසිය හැක්කේ බහු කාල මාන අවකාශය කුමක් වැනිදැයි සාක්ෂාත් කරගැනීමේ ව්‍යායාමයටය. හුදෙක් ත්‍රිමාන අවකාශයේ අප අවිඥානිකව සංවේදනය කරගන්නා වූ ඒක කාල මානය බහු කාල මානීය ගුණයෙන් යුක්ත නම් එම බහු කාල මාන ප්‍රත්‍යක්ෂ වන ඉන්ද්‍රියයෝ ද පැවැතිය යුතු වන්නේ මනස ඇසුරු කර ගෙන බැවින් එබඳු ජීවින් වෙත් නම් ඔවුනගේ මානසික යාන්ත්‍රනයන් බහුඛන්ඩණය වී තිබිය යුතුබැව් අවිවාදිතය. මෙය අප සංකේතීය ව්‍යූහ ඇසුරෙන් වටහා ගන්නට ප්‍රතිසන්ධි තල තුළ පැවැත්ම තහවුරු කරගන්නා අතාත්වික සිරුරු කීපයක් විග්‍රහ කර බලමු.

ප්‍රතිසන්ධි තල 31න් 14 වන තලය වන්නේ මහා බ්‍රහ්මයා පවතින තලය යි. එම තලයේ භෞතික මාන විග්‍රහ කර ගැනීමට උපකල්පනය කළ හැකි සාධාරණ ඉඟියක් ලෙස මහා බ්‍රහ්මයා සංකේතීය ලෙස මිනිස් පරිකල්පනයෙන් නිර්මිත ග්‍රැෆික ව්‍යුහය සළකා බලමු. මහා බ්‍රහ්මයා මිනිසා අතින් සංකේතනය වන්නේ හිස් හතරක් ඇති මිනිස් රුවක් ලෙසිනි. මෙහි හිස් හතරක් මගින් නිරූපනය වන්නේ කුමක් දැයි අනාවරණය කරගත් විට එම 14වන ප්‍රතිසන්ධි තලයේ භෞතිකය නිරාවරණය වේ. මෙම හිස් හතරින් නියෝජනය වන්නේ කාලයේ මාන හතරක් යැයි සැළකූ විට මහා බ්‍රහ්මයා පවතින තලයේ ඇති මාන ඇසුරින් 4ක් කාල මාන බැව් උපකල්පනය කළ හැක්කේය. මහා බ්‍රහ්මයා ඇතුළත් වන්නේ රූප ලෝකයකට බැවින් ද එම රූප ලෝක කාම ලෝක වලින් වෙනස් බැවින් ද කාම ලෝක පැවැතිය හැක්කේ ඉන්ද්‍රිය පද්ධති ඇති සිරුරු සඳහා පමණක් වන බැවින් ද 14වන ප්‍රතිසන්ධි තලය ත්‍රිමානය ඉක්මවා අවකාශීය මාන ඇති ලෙස උපකල්පනය කළ හැක්කේය. ඉන්ද්‍රිය පද්ධතියක් පැවැතීමට ත්‍රිමාන අවකාශයක් අවශ්‍ය බැව් මින් ඉහත දක්වා ඇත්තේය. එනයින් 14 වන ප්‍රතිසන්ධි තලය දැනට අපට මෙලෙස මැනිෆෝල්ඩ් සංකේතනය ඇසුරෙන් ලියා දැක්විය හැක්කේය. nD+4T (n>3) -Manifold Index

ප්‍රතිසන්ධි තල 31 ඒවායේ ගති සොබා අනුව බෙදී යන අයුරු විග්‍රහ කළ විට කාම ලෝක ලෙස සැලකෙන තල 11 පවතින්නේ ප්‍රථම ප්‍රතිසන්ධි තලය වන නිරයේ සිට එකිනෙකින් ආරෝහණය වන්නා වූ පිළිවෙලින් ඉහලටය. ඉන් පසු රූප ලෝක ලෙස සැලකෙන ප්‍රතිසන්ධි තල 12 වැන්නෙන් ඇරඹී 27 වන තලය දක්වා පැතිරේ. 28 වන ප්‍රතිසන්ධි තලයේ සිට 31වන තලය දක්වා හැඳින්වෙන්නේ අරූප ලෝක ලෙසිනි.

අප ජීවත් වන්නා වූ මනුස්ස ලෝකය අයත් වන්නේ 5වැනි ප්‍රතිසන්ධි තලයට බැවින් එය මැනිෆෝල්ඩ සංකේතනයෙන් 3D+1T ලෙස දැක්වූ විට ඉන් පහලින් පවත්නා වූ අවරෝහණාකාර ලෙස අසුර ප්‍රේත තිරස්චීන සහ නිරය යන තල කෙරෙහි වන්නා වූ මැනිෆෝල්ඩීය සංකේතනයන් උපකල්පනය කරන්නට උත්සහ කරමු.

මනුශ්‍ය ලෝකය 3D+1T=4
අසුර ලෝකය 3D+(0)T=3
ප්‍රේත ලෝකය 3D+(-1)T=2
තිරස්චීන ලෝකය 3D+(-2)T=1
නිරය 3D+(-3)T=0

මේ ආකාරයට මැනිෆෝල්ඩීය සංකේතනය භාවිතා කළ විට පැහැදිලිව පෙනී යන කරුණක් නම් මෙම අවකාශ සහ කාල මාන වල සංගුණකයන් සෘණ අගයන් ද අත්කර ගන්නා බවයි. මෙම මැනිෆෝල්ඩීය සංකේතනය භාවිතා කිරීමේ දී උපකල්පනය කරන ලද්දා වූ එකම දේ නම් මෙම මනුස්ස ලෝකයෙන් පහල පවතින්නා වූ සියළු රියලම් (Realm) හි විඳවීම් ඇති හෙයින් ද ඒවා කාම ලෝක ලෙස බුදු දහමේ නිර්වචනය වන්නා වූ ද හෙයින් පසිඳුරන් හෝ එබඳු සංවේදනා ග්‍රාහක කරගැනීමට සංවේදී ඉන්ද්‍රිය පද්ධති ඇවැසි හෙයින් මේ සියලු අවකාශයන් හි අවම වශයෙන් ත්‍රිමාන අවකාශීය මාන පවතින ලෙසිනි. එනම් 3D+(n)T ලෙස සාමාන්‍යකරණය කළ මැනිෆෝල්ඩීය දර්ශකයක් ඇතැයි උපකල්පනය කිරීමෙනි.

කාලයේ සෘණ මාන ද කාලයේ ධන මාන සේම විඥාන කේන්ද්‍ර කරගෙන පවතින්නේ යැයි සැලකූ විට එවා කල්පනය කරගැනීමේ මානුෂික බාධාව ඉවත් කර ගත හැකිය. කොටින්ම ඒ ගැන ගණිතමය සංකල්පනයක් විනා භෞතික චිත්‍රනයක් කළ නොහැක්කේය. වඩාත් සන්නිකර්ෂණීය ලෙස මෙම මැනිෆෝල්ඩීය අවකාශයන් පැහැදිලි කරන්නේ නම් අසුර ලෝකයේ කාලය පිළිබඳ කිසිදු ගති ලක්ෂණයක් නොපවතින අතර ප්‍රේත ලෝකය කාලය ඌණතාවයෙන් පෙලේ. එනම් ප්‍රේත ලෝකයේ යථාර්ථය විය හැක්කේ එහි සංකේතීය ව්‍යූහාත්මක ලක්ෂණය වන කුසගින්නේ අනවරත ලෙස පෙලීමයි. සෘණ කාල මානයක ස්වභාවය එහි පවත්නා විඥානයේ රික්තකමය පැවැත්ම යැයි උපකල්පනය කළ හැක්කේ මෙම ප්‍රේත කුසගින්න නොයෙකුත් බෞද්ධ පොතපතේ සඳහන් බැවිනි. මෙනයින් ප්‍රේත ලෝකවාසීන් නිරන්තරයෙන් අතෘප්තියෙන් පෙලෙන්නේ කාලයේ හෙවත් විඥානයේ පැවැත්ම සෘණාත්මක ඒකජ රික්තයකින් පෙලීම යැයි භෞතිකව විග්‍රහ කළ හැක්කේය. මෙය සන්නිකර්ෂණීය ප්‍රවාදයක් විනා පෘථග්ජනයකුට විඥාන වර්ධනයකින් තොරව පරිකල්පනය කළ හැකි සීමාවේ භෞතික චිත්‍රනයකි. මේවා අතිශය නිරවද්‍ය දෑ නොවන මුත් භෞතිකත්වය ට අත්කර ගත නොහැකි සංකල්ප වටහා ගැනීම උදෙසා භෞතික මාදිලි සකස් කරගැනීමේ විචිත්‍රත්වය මවන්නා වූ ක්ලේෂයක් යැයි බෞද්ධ ධර්මයට අනුව කිව හැකිය. තිරස්චීන ලෝකය තුළ විඥානය ද්විගුණයකින් සෘණව පැවතීම ප්‍රේත ලෝකයේ තත්වයටත් වඩා බරපතල බැව් වටහා ගත හැකිය. නිරය ගැන පරිකල්පනය කර ගැනීම පාඨකයාට බාර කරමි. මෙම මැනිෆෝල්ඩීය සංකේතනය මා භාවිතා කරන්නේ මෙම ප්‍රතිසන්ධි තලවල භෞතික ගතිගුණ අමනෝඥ ලෙස විදහා දැක්වීමේ අභිප්‍රායකින් නොවන බැවින් මෙබඳු විස්තර කිරීම් ලුහු දෑ ලෙස මගහැර යන්නේ නම් මැනවි. එමෙන්ම ධ්‍යාන වැඩීම යනු එක්තරා අයුරකින් විඥානය ත්‍රිමානය ඉක්මවා බහු අවකාශීය තලයන් කරා මෙහෙය වීම මෙන්ම ඊට සමාන්තරව බහු මාන කාල අවකාශ කරා ගමන් කරවීමත් යැයි කීම ඒවායේ සැබෑ අනුභූතින් වටහා ගත් විදර්ශනා භාවනා විසින් මනස වර්ධනය කරගත් අයවලුන් දරන සිය අත්දැකීම් හා සමපාත වීමක් හෝ අපේක්ෂා නොකරයි. මෙම භෞතික විග්‍රහයට එබඳු සැබෑ ධ්‍යානලාභීන්ගෙන් කිසිදු ආකාරයක අදහස් එකතු කිරීමක් හෝ එබඳු අයගේ සැබෑ අත්දැකීම කෙරෙහි කිසිදු අභියෝගයක් ඉදිරිපත් නොකරන බැව් කරුණාවෙන් සැලකිය යුතුය.

සාරාංශයක් වශයෙන් ගත් කළ කාලයේ මාන වැඩි වීම විඥානය හා සෘජුව බැඳී පවත්නා වූ දෙයක් බැව් වටහා ගත හැකිය. එමෙන්ම ධ්‍යාන වැඩීම යනුම ක්‍රමානුකූලව ඒකීය කාල මානයෙන් හෝ ත්‍රිමාන අවකාශ මානයෙන් ඉහලට විඥානය සංවර්ධනය කිරීම යැයි උපකල්පනය කළ හැකිය. මෙය ප්‍රඥාව වැඩීමේ බෞද්ධ ඉගැන්වීමේ භෞතික පදනම යැයි ලුහුව වටහා ගත හැකිය. එනමුත් එය එසේම දැයි සාක්ෂාත් කරගැනීම පෘථග්ජන ඥානය ඉක්මවන්නක් බැව් සැළකිය යුතුය.

වඩාත් වැදගත් වන්නේ බටහිර සංවර්ධනය වන්නා වූ භෞතික විද්‍යාවට ආගන්තුක වූ බහු කාල මාන පිළිබඳ වඩාත් සංවිධිත දැනුමක් නිර්මානය කර ගැනීමට තැත් දැරීම යි.

ප්‍රතිසන්ධි තලය/ අවකාශ මාන/කාල මාන/mD+nT/Description
1 3 -3 0 නිරය
2 3 -2 1 තිරස්චීන ලෝකය
3 3 -1 2 ප්‍රේත ලෝකය
4 3 0 3 අසුර ලෝකය
5 3 1 4 මනුස්ස ලෝකය
6 4 1 5 චතුර්මහාරාජිකා
7 5 1 6 තාවාතිංස දේව
8 6 1 7 යම දේව
9 7 1 8 තුසිත දේව
10 8 1 9 නිම්මානරති දේව‍
11 9 1 10 පාරානිම්මිත වසවත්ති දේව
12 9 2 11 බ්‍රහ්ම පාරිසච්ජ දේව
13 9 3 12 බ්‍රහ්ම පුරෝහිත දේව
14 9 4 13 මහා බ්‍රහ්ම
15 9 5 14 පරිත්තාහ දේව
16 9 6 15 අප්පමානාහ දේව
17 9 7 16 ආභස්සර දේව
18 9 8 17 පරිත්තසුභ දේව‍
19 9 9 18 අප්පමානසුභ දේව
20 9 10 19 සුභාකින්න දේව
21 11 9 20 වේහප්පහල දේව‍
22 13 8 21 අසඥ්ඥසත්ත
23 15 7 22 අවීහ දේව
24 17 6 23 අතප්ප දේව‍
25 19 5 24 සුදස්ස දේව
26 21 4 25 සුදස්සි දේව‍
27 23 3 26 අකනිත්ත දේව
28 25 2 27 ආකාසනාසංචානුපග
29 27 1 28 විඥ්ඥානායංචානුපග
30 29 0 29 ආකිංචනායංත
31 30 0 30 නේවසංඥානාසඥ්ඥායතන



ඉහත දැක්වෙන ප්‍රතිසන්ධි තල පිළිවෙලින් කාල සහ අවකාශ මාන ආරෝහණය වන ආකාරයට මා විසින් සකස් කළ ආකාරයකි. එහිදී අවකාශ මාන 5 දක්වා වර්ධනය වූ අවස්ථාව විශේෂත්වයක් ගනී. එය තාවතිංසය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ බල ප්‍රදේශයයි. අවකාශ මාන පහ දක්වා වර්ධනය වූ අවකාශයක කිසියම් ආකාරයකට සංවෘත කරන ලද්දා වූ ගෝලයක පරිමාව එම සංවෘත කරන ලද්දා වූ අනෙකුත් බාධාවන් අතරින් පෙරී බාහිරට මුක්ත වන බැව් එම අවකාශයේ පරිමා පිළිබඳ කරනු ලබන ගණිතමය පැහැදිලි කිරීම්වලින් විග්‍රහ වේ. මෙනයින් එම තලයේ ශක්‍රයාගේ බල පරාක්‍රමයට භෞතික අරුතක් සම්පාදනය කරගත හැකි නොවේ දැයි කිසිවෙකුට හෝ යෝජනා කළ හැකිය.

28 වැන්නේ සිට 31 වැන්න දක්වා වූ තල අරූප ලෝක ලෙස දැක්වේ. ඒවායේ පිළිවෙලින් අවකාශය අනන්ත වන්නා වූ ආකාසානංචායතනය ද විඥානය හෙවත් කාල මාන අනන්ත වන්නා වූ විඤ්ඤානංචායතනය ද සියළුම මාන ශූන්‍ය වන ආකිංචනායතනය ද කිසිදු සංඥාවක් හෝ සංඥාවක් නොවන කිසිවකුත් හෝ සංවේදනය නොවන නේවසංඤ්ඥානාසඤ්ඤායතනය ද උපරිම තලය ලෙස දැක්වේ.

අංශුවක විද්‍යුත් ආරෝපණය ශූන්‍ය වන තෙක් කාලාවකාශ මාන වැඩි කරගෙන යයි නම් එය මාන 26 දී සිදුවන බැව් තන්තු ප්‍රවාදය ගණිතමය වශයෙන් පෙන්වා දෙයි. මෙම අවස්ථාවේ අවකාශ මාන 25ක් ද කාල මානය ද අන්තර්ගත වන මැනිෆෝල්ඩයක් ලෙස කාලාවකාශය පරිවර්තනය වේ. 27 වන ප්‍රතිසන්ධි තලයේ දී අවකාශ මාන ප්‍රමාණය අපරිමිත වන බැවින් එම මැනිෆෝල්ඩයේ දී කිසිදු ආරෝපණයක් පවතිනු නොමැති බැව් කල්පනය කිරීම සාධාරණ යැයි සිතිය හැකිය.

ස්කන්ධය අනන්ත වන්නේ කිසියම් අංශුවක් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නා විට දී බැව් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් අභ්‍යූපගමනය වන්නකි. එමෙන්ම බහුමාන අවකාශයක මාන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරගෙන යද්දී අංශුවක පරිමාව ක්‍රමයෙන් මාන 5ක් තෙක් වැඩි වී ඉන්පසු ශූන්‍ය කරා එළඹෙන බැවින් මාන අපරිමිත ලෙස වැඩිකරද්දී අංශුවක ඝණත්වය අපරිමිත වන බැව් භෞතිකව සාධනය වේ. මෙනයින් අපරිමිත අවකාශ මානයන්ගෙන් යුත් අවකාශයක් වන 28වන ප්‍රතිසන්ධි තලය හෙවත් ආකාසානඤ්චායතන අවකාශයේ දී ද අංශුවක හෝ පදාර්ථයක ස්කන්ධය අපරිමිත විය යුතුය. මෙනයින් ආලෝකයේ වේගය අත් වූ තත්වයකට මෙම පදාර්ථය ලක් වන බැව් වටහා ගත හැකිය-කල්පනය කළ හැකිය. මෙයාකාරයෙන් භෞතිකව පිරිසිඳ ගන්නා වූ බහු මාන අවකාශ චිත්‍රය කාලයේ බහුමානත්වය දක්වා සංවර්ධනය කරගත යුත්තේ කෙසේදැයි වටහා ගැනීම එතරම් සරල නොවේ. මන්ද යත් අවකාශීය බහු මාන එකිනෙක ගැට ගැසීමට පෛතගරස් සම්බන්ධය ඇතුවා සේ කිසියම් සූත්‍රගත ව්‍යූහයක් කාලයේ බහුමාන උදෙසා මෙතුවකට මිනිසා විසින් නිර්මානය කර නැති බැවිනි.

මෙම ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහය මෙතෙකින් නොනිමි වේ. මාන 26න් සමන්විත තන්තු සිද්ධාන්තයේ විග්‍රහ වන අංශුමය පැවැත්ම පිළිබඳවත් සුපර්සිමේට්‍රික් තන්තු සිද්ධාන්තයේ දැක්වෙන මාන 10න් යුත් විශ්ව ආකෘතියත් ඒවා මෙම සාකච්ඡාවට බඳුන් වූ තල අතර දක්වන සබැඳියාවන් පිළිබඳ විවරණයන් මෙබඳු කෙටි ලිපියකින් විවරණය කිරීම අතිශය දුෂ්කරය.

මෙම භෞතික විද්‍යා ඇසුරු කිරීම කිසි විටෙකත් බුදු දහම භෞතික විද්‍යා සන්දර්භය තුළ ස්ථානගත කිරීමක් ලෙස හෝ භෞතික විද්‍යාව තුළ බුදු දහම ස්ථානගත කිරීමක් හෝ ලෙස දැකීම නිරවද්‍ය නොවන එළඹුමක් බැව් වටහා ගත යුතුය. මෙබඳු සැසඳීමක් සැළකිය හැක්කේ එම ද්විප්‍රකාර ධර්මයන් එකිනෙකා කෙරෙහි පවත්වා ගන්නා සමරූපීතාවයන් සැසඳීමක් ලෙස පමණි. එනයින් කිසිදු පාර්ශවයක් එකිනෙකින් පරයා යාමක් නොසිදු වේ. අනෙක් අතට මෙම උත්සහය බුදු දහමේ ඉගැන්වෙන සත්‍ය ධර්මය ඇසුරෙන් නූතන භෞතික විද්‍යා ක්ෂේත්‍ර යේ අතිශය දුරවබෝධ සංකල්ප කීපයක් වඩාත් අසම්ප්‍රදායික ලෙස විග්‍රහ කොට භෞතික විද්‍යා ක්ෂේත්‍රය කෙරෙහි දක්වන ආලෝකමය මැදිහත් වීමක් ලෙස ද කල්පනය කළ හැකිය.

අවසාන වශයෙන් මාර දිව්‍ය පුත්‍රයා ගැන සඳහනක් කළ යුතුමය. මාර දිව්‍ය පුත්‍රයා යනු බෞද්ධයින් අතර ඉතා ප්‍රකට වසවර්ති දෙවි නමින් වූ ආශාවන් සහ සියළු ක්ලේෂයන්ගේ කාරකයා ය. ඔහු මරණයට ද අධිපති වේ. ඔහු වැජඹෙන්නේ පරනිම්මිත වසවත්ති නම් වූ දිව්‍ය භවනේය. අපගේ ගණනය කිරීම් අනුව 11 වැනි ප්‍රතිසන්ධි තලය වන මෙය අවකාශ මාන 9න් සහ කාල මාන එකකින් යුත් මැනිෆෝල්ඩයකි. කාලය මාන එකකින් යුතු කාලාවකාශයන් අතර අවකාශ මාන උපරිම ඇත්තේ මෙම මැනිෆෝල්ඩයේමය. එනයින් මාරයා ට කාම ලෝක සියල්ලේම සැරිසැරිය හැකි බැව් පෙනේ. අනෙක් අතට පරනිම්මිත වසවත්ති නම් වූ මෙම මැනිෆෝල්ඩයේ පවතින්නෝ සියල්ලෝම අනුන්ගේ මැවුම් වලින් තෘප්තිය ලබන්නෝ වෙති. එම ස්වභාවය එගර්ටන් සී බැප්ටිස්ට්ගේ කෘතියේ දක්වා ඇත්තේ අනුන් ගොඩ නැගූ දෙයින් සැප විඳීමට ලොල් බවක් දක්වන්නන් පිරිසක් බවයි. වැඩි දුරටත් ඔහු දක්වා ඇත්තේ අපේ වචන වලින් පැහැදිලි කරතොත් අනුන් සූරා කන ධනවාදීන් පිරිසක් බවයි. ධනවාදී පිරිසක් සිටිනා මැනිෆෝල්ඩයේම මාර පුත්‍රයා විසීමත් අතිශය උත්ප්‍රාසාත්මක ස්වභාවික සංසිද්ධියකැයි පෙනෙයි.
කෙසේ වෙතත් ක්වොන්ටම් භෞතිකයට බහු මාන කාල සංකල්පය කොතරම් දුරට ගණිතමය ලෙස පෑහේ දැයි විමසීම මතුවට තබමි.

ආශ්‍රිත ග්‍රන්ථ/වෙබ් අඩවි/පර්යේෂණ පත්‍රිකා
1 The Thirty-one Planes of Existence by Ven. Suvanno Mahathero
2 බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල තිස් එක-එගර්ටන් සී බැප්ටිස්ට්-අනුවාදය පියසීලි ජයසිංහ-ප්‍රකාශනය බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
3 String Theory Demystified by David McMahon
4 Relativity Demystified by David McMahon
5 Quantum Mechanics Demystified by David McMahon
6 Quantum Field Theory Demystified by David McMahon
7 THE ROAD TO REALITY-A Complete Guide to the Laws of the Universe by Roger Penrose
8 Higher Dimensional Conundra by Steven G. Krantz
9 The Thirty-one Planes of Existence
10 සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය-කුමාරජීව හිමියන්ගේ චීන පරිවර්තනය-සිංහල පරිවර්තනය ගුණපාල ධර්මසිරි

විශේෂ ස්තුතියමෙම විෂය අරභයා නිරන්තර කර්ණකටුක සාකච්ඡා දුරකතනයෙන් පවත්වමින්  මා හා නිබඳ සම්බන්ධ වූ හෂිත අබේවර්ධන සොයුරා වෙත කෘතඥ වෙමි. ඊට අමතරව ඇවැසි පොතපත පිළිබඳ ඉඟි සපයා ඡායා පිටපත් ඊමේල් කර මා දිරිමත් කිරීම ද වෙනුවෙනි. සිය දෛනික ජීවිතයෙන් බහුමාන නොවූ කාලය මා හා බෙදා හදා ගන්නට සිය කුටුම්භයට ණය ගැති වූ වෛද්‍ය රුවන් රයිගම්කෝරළේගේ සහ නිලංග ආරියවංශ යන සුමිතුරන් ද වඩාත් සංවර්ධනාත්මක නිර්මානාත්මක විවේචන දක්වා මා දිරි ගැන්වූ වෛද්‍ය චන්දන අබේසේකර, ලලිත් වීරසිංහ, කොමර්ෂල් බැංකුවේ මොහාන් සේරසිංහ යන පාසැල් මිතුරන් ද  මගේ අත්පිටපත් නොයෙක් වර කියවා විවිධ අදහස් දැක්වූ මා ප්‍රිය බිරිඳ අනූෂාට ද අනේක වාරයක් තුති පුදමි.

Wednesday, March 7, 2012

Friday, February 17, 2012

සිමියුලේක්‍රය

මස්තිෂ්කය ඇතුළත
අඳුරුය
කළුවරය
කෑලි කැපෙන තරමට!

හිස් කබොලෙන් වටකුරු වූ
ආලෝක පුංජයක් ඇතුළු නොවන
ඝණාන්ධකාර කුටියකි
මස්තිෂ්ක කුහරය

දෘශ්ටිවිතානය මතට වැටෙන
උඩුකුරුව ඇතුළුව-යටිකුරු වූ ප්‍රතිබිම්බය
රසායන අංශු පේලියක් බවට පත්ව
නික්ම ඇස පිලිකන්නෙන්
ඇතුළු වෙයි අඳුරු මොළ මස වෙත
අඳුරු අහස පලා ඇද වැටෙන
ගිලන් උල්කාෂ්ම වරුසාවක් සේ

අඳුරු මොළ මස තුළ
වර්ණාවලිය හැඳිනෙයි...
අඳුරු මොළ මස මත
වර්ණාලෝක වෙන් වෙයි...

ඇය දුටිමියි සිත තුටුවෙයි!

17/02/2012

Thursday, February 16, 2012

Friday, February 10, 2012

හදවත් ශල්‍යකර්මය

සීතලට අපමණ පෙම් කළ
මගේ වියපත් චර්ම වහන්තරාව
ඇගේ උණුසුම් ඡවි කල්‍යානයෙන්
හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇත

හැව හැරී නාගයෙකු සේ
මා ඉඳී සයනයේ උඩුකුරුව
ජීවිතය දිස්න දේ
දහදිය දිගේ පපුතුර

නිර්වින්දිත සිරුරු මස තුළ
ඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙත
ධමනි-ශිරා-කපාට හරහා
ඉසියුම්ය ඈ සියුමැලි නිය

හදවත හරහා ඇනී තිබූ
දඩු කටුව ඇද දමා
ඈ හති අරින්නී
මා අසල නිදිවර්ජිතව...

10/02/2012

පසු නූතන ප්‍රවණතා 7-බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය

Monday, February 6, 2012

සිර ගෙවල්

කලකට පෙර
අපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
ජීවිතාන්තය තෙක්
සිර ගෙවල් දෙකක විසුමට

වෙන වෙනම සිපිරි ගෙවල තුළ
සිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙන
හොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුන
ශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගින

නැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
බරපතල වැඩ සහිතව
නමුත් පුරුදු සිර ගෙදරම
වසන්නට දිවි ඇති තෙක්ම...

6/2/2012

Friday, February 3, 2012

ඔයා වයසට යන්නෑ නේද?

ඒරාෂ්ඨක එක පිට දෙකයි
ශනි මහ දසාවේ කුජ අන්තරයයි
සේරම ග්‍රහයො කනපිටයි
ජීවිතේම අබග්ගයක් යැයි
ඔයා කියවාගෙන ගිය දා මා දුටුවේ ඔබේ ඩිජිටල් දසුනයි
මයික් මුවේ තවරං ඔබේ මුව මා කන මත අතුරං
"කිසි අයුරක සම්බන්ධයක් අප අතර සුභ නැත
දෙවියන්ටවත් අප නම් එකතු කළ නොහැක
ඔබට ඔබව ද
මා හට මාවද
නොමැති වනු ඇත
අප එකතු වුනොතිං
ආදරයට වඩා බොහෝ දේ ඇත ඉන් පරිබාහිරව
අප අතර විෂමතා ඇති කරන සමතා නැති කරන"

සිහිනයක් සේ ඔබ කී දේ
මායාවක් සේ ඔබ කොඳුරපු දේ
සැටලයිට් අවකාශ අයනගෝල හරහා
තඹ කම්බි ආලෝක තන්තු රැහැන් අතරින්
එක මිටිං ඉවත ලා
යගුලියක් සේ පරසක්වල ගසා
සිහිනයෙන් ඇවිදින්නෙකු සේ
ඔබ සොයා මා පැමිණි මොහොතේ

ඔබ දැල්වූ දෑසින්
මල් වැස්සක චමත්කාරය මවමින්
පවනක් මෙන් පාවී ඇවිදින්
ඇසුවා මතකයි යම්තමින්...

"ඔයා වයසට යන්නෑ නේද? "

2/2/2012

Sunday, January 29, 2012

සර්බියානු චිත්‍රපටියක්|A Serbian Film

සර්බියානු චිත්‍රපටියක්

හිංසනය සමාජගත කිරීමේ වශීකරන මෙහෙයුම

"සර්බියානු චිත්‍රපටියක්" (A Serbian Film) යනු 2010 වසරේ සැප්තැම්බර් 24 වන දින තිරගත වූ එනමින් වූ සර්බියාවේ නිශ්පාදනය වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂක සර්බියානු ජාතික Srđan Spasojević වේ. [ඔහුගේ සහ සම පිටපත් රචක Aleksandar Radivojevic සමග කළ සාකච්ඡාවක් මෙතැනින් කියවා ගත හැකිය.]



චිත්‍රපටයේ නමින්ම හැඟවෙන අයුරින් එම චිත්‍රපටයේ අන්තර්ගත වන්නේ ද චිත්‍රපටයක් නිර්මානය කිරීමේ ක්‍රියාදාමයකි. එය සර්බියානු අසභ්‍ය "කලා" (pornography: Creative activity (writing or pictures or films etc.) of no literary or artistic value other than to stimulate sexual desire) ක්ෂේත්‍රයේ පරමෝත්කෘෂ්ට මොහොත යථාර්ථයක් කරගනු පිණිස සර්බියානු ධනපති කාම වෙළඳ පොලෙන් ජාත්‍යන්තරයට පිදෙන සර්බියානු දේශීයත්වයේ සළකුණක් ලෙස ඉදිරිපත් වන්නට නියමිත වූ චිත්‍රපටයක් ලෙස සර්බියානු චිත්‍රපටියේ රංගනයේ යෙදෙන එහි අභ්‍යන්තර සිනමා පටයේ අධ්‍යක්ෂවරයා වන වුක්මීර් ප්‍රකාශ කරයි. චිත්‍රපටයේ කතාව මෙසේය.

මිලෝස් යනු සර්බියානු අසැබි කාම සිනමාවේ උත්කර්ෂවත් පුරුෂ කාම සංකේතයකි. සිනමා පටයේ අන්තර්ගතයට අනුව හෙතෙම අතිශය ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ වඩා දිගු කාලයක් සිය ලිංගේන්ද්‍රිය ප්‍රාණවත්ව තබා ගනිමින් ස්ත්‍රීන් සන්තර්පනයට ඇති හැකියාව නිසාවෙනි. මිලෝස් ජනප්‍රිය තලයේ කාම තරුවක්ව සිට අඩු වයසින් විශ්‍රාම ගොස් සිටින අතර සිය සුරූපි බිරිඳ වන මරිජා (මරියා) සහ ඔවුනගේ කුඩා පුතු පීටර් සමග ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව ද නිස්කලංක ජීවිතයක් ගත කරමින් සිටියි. මිලෝස්ගේ අසැබි කාම සිනමා රංගන සහකාරිය වන ලෙජ්ලා ඔහු හමු වූ අවස්ථාවක ඔහුගේ නිර්මාන ජීවිතයේ තාවකාලික නිහඩ බව බිඳිමින් නැවුම් සහ උත්කර්ෂවත් සර්බියානු අසැබි කාම සිනමාවක් වෙනුවෙන් සර්බියාවට නව අධ්‍යක්ෂවරයෙකු (වුක්මීර්) පහළ වී ඇති බවත් ඔහු හා එම අලුත් ජාත්‍යන්තර තලයේ අසැබි කාම නිර්මානයට එකතු වුව හොත් මිලෝස්ගෙ සියළු ආර්ථික දුෂ්කරතා පීටර්ගේ ජීවිත කාලය තෙක්ම විසඳෙන බව යෝජනා කරන්නීය.

මෙම නව ප්‍රවණතාවයේ කාම සිනමා කෘතියේ අන්තර්ගතය හෝ ආකෘතිය ගැන කිසිම අදහසක් මිලෝස් වෙත එළිදරවු නොකරන වුක්මිර් නම් වූ මෙම ධනවත් අධ්‍යක්ෂවරයා මිලෝස් වෙත දැවැන්ත මුදලක් ප්‍රදානය කරමින් සිනමා පටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරයි.

වුක්මීර් හමු වී යන අවස්ථාවේ දී බලවත් පෙනුමැති වයස්ගත තට්ට හිසකින් යුතු අයෙකු ආරක්ෂකයන් පිරිවරා යන අයුරු මිලෝස් දකියි. ඔහු වුක්මීර්ගේ සිනමා කෘතියේ නිශ්පාදකයා වේ. මිලෝස් තමන්ට ගෙවන අධික මුදල හේතුවෙන් තමා සුවිශේෂී ලෙස රංගදායකත්වය දෙනු ලබන සිනමා කෘතිය ගැන දිගින් දිගටම වුක්මීර්ගෙන් විමසන නමුත් වුක්මීර් පවසන්නේ එය මිලෝස් දැනගත යුතු දෙයක් නොවන බවත් තමන් සුවිශේෂි ප්‍රේක්ෂක සමූහයක් වෙනුවෙන් තම කෞශල්‍ය භාවිතා කර අසැබි දේ කලාත්මකව නිර්මානය කරන බවත් ය.

සිනමා පටයේ රංගනය උදෙසා සූදානම් වන මිලෝස් තම සොයුරා වන මාර්කෝ තම බිරිඳ කෙරෙහි ආශක්තව සිටින බැව් නොදන්නේය. මාර්කෝ විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙකු වන අතර ඔහු මිලෝස්ගෙ කාම හැකියාවන් කෙරෙහි කුහුලින් ද ඊර්ශ්‍යාවෙන් ද කල් ගත කරන්නෙකි.

රංගන දායකත්වය ඇරඹුමත් සමගම මිලෝස් වටහා ගන්නේ මෙය අසාමාන්‍ය අසැබි කාම රංගනයන් සත්‍ය වශයෙන්ම කැමරා ඉදිරියේ ඉදිරිපත් කළ යුතු සහ එකඟ විය නොහැකි එබඳු තේමාවන් රැගත් පිළිකුල් සහගත ක්‍රියාදාමයක් තුළ නිර්මානය වන සිනමා පටයක් බවයි.

ආරම්භක දර්ශනයේ දීම මිලෝස් වෙත කනේ පළඳින්නට කුඩා උපකරණයක් ලැබෙන අතර ඒ හරහා ඔහුට රංග විධාන දෙනු ලබන්නේ වුක්මීර් විසිනි. ඒ අනුව ඔහුට අනාථ මඩමක සිටින කුඩා දැරියක් මුණ ගස්වන අතර ඇගේ මව යුධ විරුවෙකුගේ භාර්යාව වන අතර ඇය ගණිකා වෘත්තියේ යෙදී පවුලේ නම්බුව කෙලෙසා ගත්තියක් ලෙස හඳුන්වා දේ. ඉන් පසුව මිලෝස්ව අඳුරු කාමරයකට රැගෙන යන අතර එහිදී ඔහුව මුඛ ලිංගික
උත්තේජනයකට ලක් කරන හෙදිය පෙර සඳහන් දැරිවිය ලොලි පොප් එකක් උරන විඩියෝ දසුනකුත් ඇය රූපලාවන්‍යෙය් යෙදෙන අයුරු දැක්වෙන විඩියෝ දසුනකුත් එකවර දකින්නට සලස්වා සුරතාන්තයට පත් කරයි. මේ සියලු අවස්ථාවන්ට මිලෝස්ව නිරාවරණය වද්දී කැමරාකරුවන් දෙදෙනෙක් මේ සිදුවීම් සහ මිලෝස්ගේ මුහුණේ සමීප සටහන් විඩියෝගත කිරීම අඛණ්ඩව සිදු කරති.

මෙම අමුතුම සිනමා නිර්මාන අත්දැකීම සමගින් කුතුහලයෙන් මුසපත්වන මිලෝස් සිය විශ්‍රාමික පොලිස් නිලධාරී සොයුරාට පවසන්නේ තමන්ගේ අධ්‍යක්ෂවරයා ගේ පසුබිම් තොරතුරු සොයා බලා තමා වෙත දන්වන ලෙසිනි. මින් පසුව මිලෝස් වෙත කලින් සඳහන් කළ යුධ විරුවාගේ අසැබි බිරිඳ ඉදිරිපත් කර ඈ ලවා මුඛ ලිංගික චර්යාවක් රූපගත කරන්නට පසුබිම සකස් වන්නේ ඇගේ දියණිය බලා සිටිද්දීම ය. මේ අවස්ථාවේ මිලෝස් එම ජවනිකාව රංගනය ප්‍රතික්ෂේප කරද්දී ඔහුව බලහත්කාරයෙන් සුරතාන්තයට පත් කරන්නට වුක්මීර්ගේ සහචරයන් සමත් වේ. මින් මිලෝස් දැඩි ලෙස උරණ වන අතර වුක්මීර්ගේ සහායක ආරක්ෂකයාට පහර දී වුක්මීර් සමග බහින් බස්ව ඔහුගේ චිත්‍රාගාරය වෙතට පැමිණේ.

මාර්කෝ සොයා දැනගත් කාරණාවලට අනුව වුක්මිර් මනෝ විශේෂඥයකු වන අතර රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු ද වේ. ඔහු රාජ්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධව ද කටයුතු කර ඇති බැව් හෙළිදරව් වේ. වුක්මීර් විසින් පෙර නිර්මානය කළ එකුදු අසැබි සිනමා කෘතියක් කිසිවෙකුත් නරඹා නොමැති බැව් ද ඔහු මිලෝස් වෙත තහවුරු කරයි.

මිලෝස් කුඩා දරුවන් අපහරණය - ස්ත්‍රී දූෂණය සහ ලිංගිකත්වය හා බැඳුනු මාරාන්තික ජවනිකා රංගනය කෙරෙහි විරෝධය දක්වන්නෙකි. සිනමා පටයේ තේමාවන් මෙම අසම්මත ලිංගික ක්‍රියාදාමයන් හා බැඳී ඇති බැව් වටහා ගන්නා මිලෝස් තමා ගිවිසුමෙන් නිදහස් කරනා මෙන් අධ්‍යක්ෂ වුක්මිර්ගෙන් ඉල්ලා සිටියි. ඊට පිළිතුරු වශයෙන් වුක්මිර් මිලෝස් වෙත ප්‍රදර්ශනය කරන්නේ උපන් හැටියේ බිළිඳියක දූෂණය කරන දර්ශනයක් රැගත් "නිව්බෝර්න් පෝන්" (Newborn Porn) යනුවෙන් වුක්මීර් විසින් හඳුන්වන අශ්ලීල කාම කලා ෂානරයේ විඩියෝ දර්ශනයකි.

එම දර්ශනය මිලෝස් වෙත පෑමෙන් ඔහු අදහස් කරන්නේ ඔහුගේ කලාත්මක ශෛලිය ප්‍රදර්ශනය කිරීම වුව ද මිලෝස් එය කලාත්මක දෙයක් විදියට නොපිළිගන්නා අතර පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරයි. මේ අත්දැකීමෙන් ඉමහත් සේ කැළඹෙන මිලෝස් අවසිහියෙන් මෙන් සිය රිය පදවා ගෙන යද්දී වුක්මීර් ගේ සරාගී පෞද්ගලික වෛද්‍යවරිය විසින් මාර්ග විදුලි සංඥා පොළක් අසල දී මිලෝස්ව කාමාශක්ත පෙළඹුමකින් මත් ද්‍රව්‍ය ශරීරගත කර අර්ධ වශයෙන් සිහිසුන් කෙරෙයි. ඉන් දින හතරකට පසු මිලෝස් එම දින හතර තුළ තමන් කළ කී දෑ පිළිබඳ කිසිදු මතකයකින් තොරව කායික සහ මානසික අසහනයෙන් පිබිදේ.


මිලෝස් ඔහුගේ මතකයන් අවදි කර ගනිමින් එම දින හතර තුළ සිදු වූ සියල්ල දැන ගන්නේ වුක්මීර්ගේ චිත්‍රාගාරය පරීක්ෂා කරද්දී ඔහුට හමු වන ඔහු ඇතුළත් විඩියෝ පට පිරික්සා බලද්දී ය. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මිලෝස්ව දැඩිලෙස මත්කර ඔහුව යොදා ගැහැණියක දූෂණය කරවා මිලෝස් අතින් එම ගැහැණිය මරා දමා ඇති දර්ශන පෙළක් විඩියෝවෙ සටහන්ව පවතින බව දැක ගන්නා මිලෝස් අතිශය කම්පනයට පත්වේ. ඉන් නොනැවතී සිහිසුන්ව සිටින මිලෝස්ව දූෂණය කරන වුක්මීර්ගේ ශරීරාරක්ෂකයාගේ දර්ශන පෙළක් ද ඔහු එම විඩියෝ ගොන්නෙන් දකී.

අනාථ නිවාසයක වැඩෙන ගැහැණු දරුවකු ඇගේ භාරකාරිය විසින් මිලෝස් වෙත ලිංගික අපහරණයට යොමු කරන අයුරුත් එම අවස්ථාවේ දී මිලෝස් එය ප්‍රතික්ෂේප කර එම ස්ථානයෙන් පැන ගන්නා අයුරුත් විඩියෝ දර්ශන අතර වේ. මිලෝස්ගෙ කැමැත්තෙන් තොරව මත් ද්‍රව්‍ය ශරීර ගත කර සිදු වන මේ අතිශය ම්ලේච්ඡ සිනමා (කලා?) නිර්මාන ක්‍රියාවලිය දැඩිලෙස හෙලා දකිමින් වුක්මීර් සමග ගැටීමක් ඇති කරගන්නා ලෙජ්ලාගේ විඩියෝවක් ද ඉන් පසු ඇගේ දත් සියල්ල උදුරා දමා රැහැනින් ගැට ගැසුනු ඇගේ නිරුවත් සිරුරේ මුඛ ලිංගික ආශ්වාදය ලබන හඳුනා නොගත් මිනිසෙකුගේ දර්ශනයක් ද මිලෝස් දකින අතර මේ සියල්ලෙන් ඔහු දැවැන්ත ලෙස මානසිකව කම්පනයට ලක්වේ.

මෙතැන් සිට මිලෝස් තම අභිලාශයෙන් තොරව සිදු වී ඇති මෙම නිහීන අශ්ලීල අතරමැදි වීම් කෙරෙහි හට ගත් කලකිරීමෙන් සිය ස්වාමිදායකයා වූ වුක්මීර් හඹා ගොස් සියල්ල නිවැරදි කරගැනීමේ චේතනාවකින් ඔහු සොයා යද්දී නැවතත් ඔහුගේ ග්‍රහණයට හසු වන හෙතෙම අවසන් ජවනිකාව වෙනුවෙන් යොදා ගන්නට වුක්මිර් විසින් තැත් දැරේ.

මේ අනුව ඔහුව මත්ද්‍රව්‍ය ශරීරගත කර අවසන් ජවනිකාවට සූදානම් කරන්නට වුක්මීර්ගේ සරාගී වෛද්‍යවරිය සූදානම් වද්දී මිලෝස් ඇයව අඩපන කර එම දර්ශන පථයට යයි. එහිදී ආවරණය කරන ලද සිරුරු දෙකක් දූෂණය කරන්නට මිලෝස්ට සිදුවන අතර මුහුණ වසාගත් අයෙකු ද එම ක්‍රියාවලියට එකතු වේ. මිලෝස් මෙන්ම අනෙකා ද වුක්මීර් සහ ඔහුගේ කැමරා ඉදිරියේ මෙම අසැබි දර්ශනයට සහභාගි වද්දී වුක්මීර් මුහුණ වසා ගත් අනෙකා නිරාවරණය කරද්දී ඒ තම සොයුරා බවත් ඔහු දූෂණය කරමින් සිටින්නේ තම සුරූපි බිරිඳ බවත් දැක ගනී. ඒ අතර තමා දූෂණය කරමින් සිටින්නේ තම පුතු වන පීටර් බව ද වටහා ගන්නා විට ඔහු මරාවේෂයෙන් වුක්මීර් වෙත කඩා පැන ඔහු ගේ හිස පොළවේ ඇන අර්ධ මරණයකට ලක් කරයි. ඉන් පසුව වුක්මීර්ගේ ආරක්ෂකයන්ගේ පිස්තෝලයක් උදුරා ගන්නා මිලෝස් එතැන ඔහුට පහර දෙන සියල්ලම ඝාතනය කර තම බිරිඳ සහ පුතුද රැගෙන පළා යයි.

අවසානයේ මිලෝස් සිය දිවි නසා ගන්නට තැත් කරද්දී සිය බිරිඳ පැමිණ ඔහුව අස්වසා තිදෙනාම සාමුහිකව දිවි නසා ගැනුමට යෝජනා කරයි. ඒ අනුව මිලෝස් සිය පුතු මැදිකර බිරිඳ හරහා තබන වෙඩිල්ලකින් සිය යහනේදී තිදෙනාම මරණයට පත් වෙති.

මේ සාමුහික සිය දිවිනසා ගැනුමෙන් අනතුරුව ඔවුනගේ සිරුරු වැතිරි යහන් ගබඩාවට පැමිණෙන-මිලෝස් මුල් වරට වුක්මීර් හමු වද්දී දුටු තට්ට මිනිසා සිය ආරක්ෂකයන් සහ රංගන ශිල්පීන්ට විධානය කරන්නේ එම මළ සිරුරු සමග ලිංගිකව එකතුවන ලෙසටය. මිය ගොස් සිටින මිලෝස්ගේ පුතාගෙන් එම දූෂණය අරඹන ලෙස කරන විධානයත් සමගින් සිනමා පටය අවසන් වේ.

ලාංකීය ක්ෂතිමය අත්දැකීම සමීපව

මෙම සිනමා පටය නැරඹීමේ දී ඇතිවන ක්ෂතිමය අත්දැකීම් ප්‍රබලය. එම ආතතිමය තත්වය නිර්මානය වන්නේ හුදෙක් එහි ඇතිරී ඇති ලිංගික ක්‍රෑරත්වයේ විශිෂ්ට අශිෂ්ටත්වය නිසාම නොවේ. අපගේ සංස්කෘතික මානයන් ඔස්සේ ඇති වන ආකල්පමය දුරස්ථභාවයන් නිසාවෙන් ද එම ආතතිය උපදී.එය නොසළකා හැරිය හැකි නොතකා දැමිය හැකි අත්‍යංශුක කාරණයක් නොවේ. සර්බියාවේ නිපදවා ඇති මෙම සිනමා පටය ලාංකික දූපත්වාසී ඇසකින් නරඹද්දී මුල්වරට ඇති වන තිගැස්ම නම් බ්ලූ ෆිල්ම්වල රඟපාන අයෙකුට ඇති නිසග සමාජ පිළිගැනීම කුමක් වැනිද යන්නය. නොඑසේ නම් එබන්දෙකුට සමාජයේ කුමනාකාර පැවැත්මක් ඇත් ද යන්නය. ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි ව්‍යාජ සෘණාත්මක අගතිගාමී ප්‍රතිචාර හෝ ප්‍රතික්‍රියා ඇති අපගේ පොදු අවිඥානය ඇති තරම් අසැබි විඩියෝ පට මෙන්ම අසැබි නිර්මාන පරිහරණය උදෙසා අදෘශ්‍යමාන සංස්කෘතික සීමා මායිම්වල උපරි ව්‍යූහයන් තුළට යටින් ඇති තරමින් සංවිධානාත්මකව සංසරණය වන බැව් නොරහසකි. මෙම අසැබි ලෙස හංවඩු ගසා එනමුත් පෞද්ගලික සීමා තුළ වින්දනය හෝ තම පෞද්ගලික විපරිතභාවයන් රහසිගතව උත්කර්ෂයට නංවා ගන්නා සමාජ දේහයක් තුළ ලිංගිකත්වය කේන්ද්‍රකරගත් අසභ්‍ය සංස්කෘතික කලා නිර්මානකරුවන් යථාර්ථය තුළ පැවැත්මක් නැති හුදු යුරෝ කේන්ද්‍රීය ස්ත්‍රී පුරුෂ ශරීර පමණක් වෙතැයි කල්පනය කරන්නට අප අවිඥානිකව පුහුණු කර ඇත. මේ හේතුව නිසාම කතිකාව තුළ අසංස්කෘතික බටහිරයන් (සුද්දෝ සුද්දියෝ) රඟන හෙළුවැලි සංදර්ශන නැරඹීමේ ආශාව යටපත් කළ හෝ පීඩනයට ලක් කළ ෆැන්ටසික තිරය විඛණ්ඩනය වන්නේ ඒ තුළ ඊනියා සංස්කෘතික ප්‍රාදේශීයත්ව උත්කර්ෂයට නැංවීමෙනි. (නොඑසේ නම් අහවල් ටෙලි නිළිය රඟන හෝ ඇයගේ පෙම්වතා රහසිගතව පටිගත කළ ඇයගේ බ්ලූ එකක් තමා ළඟ ඇතැයි මිතුරන් අතර බෙදා හදා බලන්නට නොපෙළඹෙන සාදු නාගරික ජනතාවක් අපට ඇත.) මෙම අශ්ලීල කලා කෘති කෙරෙහි ලාංකිකයා මතුපිටින් දක්වන ජුගුප්සාජනක ප්‍රතිචාරයත් ඊට මිලිමීටර කීපයක් යටින් රහසිගතව දක්වන ලොමු ඩැහැගන්වන ආකර්ෂණය නිරන්තරයෙන්ම සදාචාරාත්මක පොදු රූපයක් ගන්නා සන්දර්භය තුළ ප්‍රතික්ෂේප වන අතර පෞද්ගලික ස්වරූපය ඊට හාත්පසින් වෙනස් වේ. එනම් රහසිගතව අනෙකාගේ ඇස පහස නොලබන විටක එය තම විපරිතභාවයේ උත්කර්ෂය ලෙස රස විඳීමට උපයෝගී කර ගැනීමට නොඉවසිලිමත් වීමයි. සිනමා කලාව තුළ සරාගී රංගනය පිළිබඳ දූපත් කතිකාව තවමත් සිය නිර්ණායක මනාව නිදහස් කර නැති තතු යටතේ අපට මේ දෙබෙදුම ගැන කිසිදු ආස්ථානයක් නොමැති තරම්ය.

අනෙකාගේ ලිංගික සම්බන්ධතාවය යතුරු හිලකින් බැලීමේ මිනිස් පෙළඹුම සංස්කෘතික ආගමික වාර්ගික වපසරියන් ඉක්මවා විශ්වීයත්වයට පත් යථාර්ථයක් වුව ද බ්ලූ ෆිල්ම් වානිජ කර්මාන්තයක් ලෙස මහා පරිමාණයෙන් නිර්මානය කරන බටහිරටත් වඩා ඒවා පරිශීලනයෙන් තම අපවර්තිත ආශාවන් ලුහු බඳින්නෝ මේ පෙරදිග සංස්කෘතික පරිධියේ භූගෝලීය පෙදෙසෙහි වසනා පිරිමින් ලෙස සැලකුවොත් එහි ඇති වරදක් නොමැත. සර්බියානු චිත්‍රපටයක් මේ විපරිත සිනමා ෂානරය උඩු යටිකුරු කරවන නිර්මානයක් බැව් අවිවාදයෙන් යුතුව පැවැසිය හැකිය. එනම් වානිජ කාම කලා සිනමාවේ සෘණාත්මක තාර්කික අවසානය එමගින් සනිටුහන් වීම නිසාවෙනි. අසභ්‍යත්වය පිළිබඳ සිනමා නිර්ණායක දෙපළු කරන්නට සර්බියානු චිත්‍රපටයක් සමත් වන නිසාවෙනි. කැමරා ඉදිරියේ මුදල් වෙනුවෙන් ගැහැණුන් සමග ලිංගිකව හැසිරීම පිළිබඳ ක්‍රමවත් සහ ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය රාමුවක වෙසෙන මිලෝස් අවසානයේ සිය න්‍යශ්ටික පවුල සිය යහන් ගබඩාවේ එකම වෙඩි උණ්ඩයකින් සිරුරු තුනම පසා කර යවමින් සාමුහික ලෙස ස්වර්ගස්ථ වන්නේ එම රාමුවේ වපසරිය යථාර්ථයට වඩා අතිශය කුඩා බැව් ඒත්තු යද්දීය. එනම් අසභ්‍යත්වය පවා සුනු විසුනු කරවා එහි අසභ්‍යත්වය ඉක්මවා යන යමක් ශේෂ වන තරමට තම භූමිකාව ප්‍රබල ක්ෂතිමය ම්ලේච්ඡ අත්දැකීමක් කරා යොමු කරවන්නට තරම් එම ක්‍රියාන්විතය සමත්වන බැවිනි. මිලෝස්ගේ සාමුහික න්‍යශ්ටික පවුලේ මරණයත් සමග එම ම්ලේච්ඡත්වය නොනවතින අයුරුත් එම මිය ගිය සිරුරු පවා දූෂණය කරන්නට පෙළඹෙන සුවිශේෂී කාම සිනමා ප්‍රේක්ෂක බල රාමුව විසින් ඇඟවුම් කරන්නේ අසභ්‍යත්වය ඉක්මවා ගිය අතිශය අමානුෂික අන්තයකි. එක්තරා බටහිර සිනමා සංස්කෘතික විචාරක සමූහයක් දක්වා ඇති පරිදි මෙම සිනමා පටය කාන්තාවන් විසින් නැරඹිය යුතු නොවන්නේ මන්දැයි යනු ද අතිශය විවාදාත්මක කාරණයක් වෙයි. කෙසේ වුවද ස්ත්‍රීවාදී සිනමා විචාරක කෝදු විසින් අනුලංඝනීය ලෙස අවතැන් කරන ලද මිලෝස්ගෙ පුරාවෘතය අතිශය මානුෂික සීමා තුළ ග්‍රහණය කරගන්නට යම් දුරකට හෝ ආධාර සපයන සර්බියානු චිත්‍රපටය අයත් ෂානරය තුළ එක පෙළට යම් ආකාරයකට තැබිය හැකි නිර්මාන කීපයක් ලෙස ඉරිවර්සිබල් [Irreversible]-ද හියුමන් සෙන්ටිපීඩ් [The Human Centipede] - ඉරේසර්හෙඩ් [Eraserhead] - ටැක්සිඩර්මියා [Taxidermia] වැනි අතිශය ලොමු ඩැහැගන්වන සුළු සිනමා ග්‍රැෆිකයන්ගෙන් යුතු සිනමා පට තැබිය හැකිය. මේ සියල්ලට වඩා සර්බියානු චිත්‍රපටයක් වෙනස් තැනක පිහිටුම ලකුණු කරන්නේ එහි අන්තර්ගත මෙතුවක් සිනමා කැමරාවකින් තිරය මත නොලියැවුනු සුවිශේෂි ම්ලේච්ඡ ග්‍රැෆිකයන් නිසාවෙනි. 

අසැබි සංස්කෘතික කෘති කෙරෙහි ආර්ථික සහ ලූබ්ධිමය වටිනාකම් ආරෝපණය කර එහි ව්‍යාපාරික වුවමනාවන් නිසි ලෙස සංස්ථාපනය කොට නඩත්තු කරන බටහිර රටවල් පවා මෙම සිනමා කෘතිය සිය භූගෝලීය බල ක්ෂේත්‍ර තුළ තහනමට ලක් කිරීම මෙම ම්ලේච්ඡ ග්‍රැෆික තතු යටතේ අත්කර ගන්නා වඩාත් තර්කාණූකූල අවසානය යි. එනමුදු මෙම සිනමා කෘතියේ සිනමාත්මක අත්දැකීමට පිටතින් වන මානයක සිදුවන සමාන්තර සිදුවීම් ද එහි කතිකාවට අනුපමේය මෙහෙයක් ඉටු කරයි. එනම් සර්බියාවේ දේශපාලනික සන්දර්භය තුළ මෙම සිනමා කෘතියේ නිෂ්පාදනය සිදුවන පටිසෝතගාමී පිළිවෙලයි. මෙම සිනමා පටය සර්බියාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව නිපැයුනු එකම චිත්‍රපටය වීමෙනි ඒ අපූර්වත්වය එකතු වන්නේ. ඊට හේතුව සර්බියානු සිනමා කලාව සම්පූර්ණයෙන්ම රාජ්‍ය පරිපාලන ව්‍යූහයක් හා සමානවම ස්ථානගත වීම නිසාවෙනි.රාජ්‍ය අතරමැදි වීමකින් තොර කිසිදු සිනමා නිර්මානයක් සර්බියාවේ පහළ නොවන තතු යටතේ මෙම සිනමා ප්‍රකාශනය එම සංස්කෘතික සහ දේශපාලනික විපරිතත්වය පුපුරුවා හරින්නට ම්ලේච්ඡ ග්‍රැෆිකයන් භාවිතා වන මානය වටහා ගත හැකිය. එනම් එහි සිනමා කලාව උදෙසා වන්නා වූ හෝ සමස්ත නිර්මාන ක්ෂේත්‍රයටම අදාල වන්නා වූ හෝ චින්තනමය නිදහසක් නොවීමේ පීඩාව සමනය කරගන්නට දැරූ විප්ලවකාරී එළඹුමක් ලෙසිනි.

එහි අධ්‍යක්ෂක [Srđan Spasojević] ස්පැසොයෙවික් පවසන්නේ එම දෘශ්‍ය ආතතියේ හේතුව මේ ආකාරයෙනි. උපුටා ගැනුම විකිපීඩියාවෙනි.

The film was released to great controversy in terms of its graphic and often sexually explicit violence. Spasojević has responded to the controversy with "This is a diary of our own molestation by the Serbian government... It's about the monolithic power of leaders who hypnotize you to do things you don't want to do. You have to feel the violence to know what it's about."

මේ සිනමා පටය සර්බියානු රජය විසින් අපව හිරිහැරයට ලක් කරන ආකාරය පිළිබඳ දින සටහන් සමූහයකි. ඉන් කියැවෙන්නේ පාලකයන්ගේ ඒකාශ්මික බල රාමුව විසින් උපක්‍රමිකව වශීකරණය කොට ජනතාව අකමැති දේ ඔවුන් ලවා කරවනු ලබන නින්දිත ක්‍රියාවලියයි. ප්‍රචණ්ඩත්වය යනු කිමැයි වටහා ගන්නට එය අත්දකින්නට ම සිදු වෙයි.

මිලෝස් සහ මිල න්‍යාය

මිලෝස් නම් වූ සර්බියාවේ චිත්‍රපටයක් හි ප්‍රධාන චරිතය සිය තරුණ කාලය මුදල් ඉපයීම වෙනුවෙන් කැමරා ඉදිරියේ ස්ත්‍රීන් සමග ලිංගිකව හැසිරී හෙම්බත් වූ චරිතයකි. ඔහු වෘතීය බ්ලූ ෆිල්ම් නළුවෙකි. ඔහුගේ එම වෘතීයේ සාර්ථකත්වය ට තම පෞරුෂය මෙන්ම ලිංගික ශක්‍යතාවයන් ද බලපා ඇති බැව් ඔහුගේ චරිතය ගොඩ නැගෙන අවශේෂ සිදුවීම් හරහා අපට දැනෙයි. ඔහුගේ පවුලේ අනාගත සුරක්ෂිතභාවය කෙරෙහි සංවේදී වන මිලෝස් තම ලිංගික රංගන වෘතීය හැර අනෙකක් කෙරෙහි ප්‍රාගුණ්‍යක් නොමැත්තේ වෙයි. එමෙන්ම තම ජනප්‍රියත්වයේ උච්චතම අවදියේ පවා තමා ඉපයූ මුදලින් ප්‍රමාණවත් ඉතිරියක් අනාගතය වෙනුවෙන් රඳවා ගන්නට ද අසමත් වූවෙකු බැව් ඔහුගේ කුටුම්භ ජීවිතයේ හැඩතල කියා පායි. මෙනයින්
ඔහුට ඉතිරි වී ඇති ජීවිත කාලය තුළ තම දරුවාගේ අනාගතය සුරක්ෂා කිරීම වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන මානසිකත්වය මඟ හැරිය නොහැකි යථාර්ථයකි. මේ තත්වයන් තුළ ඔහු වුක්මීර් ගේ සබඳතාවය නිර්මානය කර දෙන ලෙජ්ලාට ණය ගැති වීම වැළකිය හැකි නොවේ. මේ සමස්ත අවශ්‍යතාවයේ සංකේතීය ව්‍යූහය සමාජය තුළම පවතින අස්ථිර බවේ ප්‍රකාශනයක් වන අතරම එහි සීමාවන් ප්‍රශ්න කිරීම මෙම සිනමා කෘතිය තුළ අඛන්ඩව සිදු වෙයි.

දැඩි මිනිස් දරු සබඳතා ජාලයක් තුළ තම න්‍යශ්ටික පවුල නඩත්තු කරන්නට මිලෝස් පෙළඹීම තුළ ඔහු අපහරණයට ලක් කරගැනීමේ සියලු උගුල් අටවාලන්නට වුක්මීර්ට හැකියාව ලැබීම හුදෙක් මිලෝස් ගේ අපරිණත ජීවිතය පමණක් හේතු නොවේ. මිලෝස් අධික ලෙස නාසිස්මික චරිතයකි. හෙතෙම තම ලිංගික රංගන විඩියෝ පට නිරන්තරයෙන් නරඹමින් ආකස්මික සුවයක් ලබන්නෙකි. එනමුත් ඔහු ඒවායේ කේන්ද්‍රීය ලෙස නරඹන්නේ තමන්ගේ ප්‍රතිරූපය මිස ඒවායේ තම ලිංගික ක්‍රියාදාමයේ හවුල්කරුවන් දෙස නොවේ. ඔහුට එම රූපාවලි නැවත නැරඹීම තුළ ඇත්තේ තම ස්වරූපරාගය උත්කර්ෂයට නංවා ගැනීම වුව ද මිලෝස් වරෙක සිය රූමත් බිරිඳට පවසන්නේ තමා ඇයට ආදරය කරන බවත් අනෙකුත් ස්ත්‍රීන් හුදෙක් රමණය පිණිස භාවිත වූ ශරීර පමණක් බවත් ය. මිලෝස්ට ලිංගික හැසිරීම වනාහි මිලකට පරිවර්තනය කළ හැකි හුවමාරු වටිනාකමකින් යුත් භාණ්ඩයකි. රංගන ශිල්පියෙකුට සිය රංගනය කෙරෙහි ඇති වටිනාකම මෙන්ම මිලෝස් වෙත ද ඇත්තේ ලිංගික රංගනයේ හුවමාරු වටිනාකම පමණි. මේ හේතුවෙනි ඔහුට සිය බිරිඳ සමග ලිංගික සබඳතාවයක් නිර්මානය කර ගැනීම උදෙසා ඇගේ පෙරැත්ත කිරීමත් ඉන් පසුව එළඹෙන පරපීඩා කාමුකත්වය තුළ හට ගන්නා සබඳතාවය දෙදෙනාටම සුරතාන්තය ගෙනෙන්නේත්. එක්තරා මනෝවිශ්ලේෂනීය දෘශ්ටිකෝණයකින් මෙම සිනමා කෘතියේ සාකච්ඡාවට බඳුන් වන්නේ ලිංගික හැසිරීම හුදෙක් වෙළඳ භාණ්ඩයක් බවට පත් වූවෙකුගේ අවිඥානය ඉල්ලා සිටින විපරිත ෆැන්ටසියේ යථාර්ථය යි. එම පරපීඩා කාමුකත්වය ඔහුගේ අවිඥානය තුළ ෆැන්ටසිගතව නොතිබූයේ නම් මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් ඔහුව සවිඥානයෙන් මුදවා ඒ ආකාරයෙන් හැසිරවිය හැකි නොවන්නේ යැයි උපකල්පනය කළ හැකිය. සමස්ත සමාජයක හැසිරීම මෙලෙස හකුළුවා ලන්නට හැකි වීම මෙම සිනමා කෘතියේ ඇති සුවිශේෂි බවයි. පශ්චාත් යුධවාදී සමාජයක සමූහ අවිඥානය යනුම කාල් යුංග් සූත්‍රගත කළ ආකාරයේ මිථ්‍යා ස්වරූප ජාතිවාදය යනු පුද්ගල සිහිනයේ සමාජීය ප්‍රක්ෂේපනය ද යන්න මින් ප්‍රශ්න නොකෙරේයැයි කවරෙකුට වර නොනැගිය හැකිදෝයි ගැටළු මතු වේ. කාල් යුංග් ට අනුව සමාජයක මිථ්‍යා කතන්දර යනුම සමාජයක් සමස්තයක් වශයෙන් දකින සිහිනාවලියකි. පුද්ගලයාට සිහිනය යම් සේ ද සමාජයකට මිථ්‍යාව ද එසේම බැව් කාල් යුංග් පවසයි.

මනෝගතිකයන් උඩුයටිකුරු කරවන ප්‍රාග්ධනයේ හැසිරීම

මිනිස් සමාජයේ සංකේතීය සහ අවිඥානික සබඳතාවල මූලික ප්‍රමේය හෝ ප්‍රාථමික ව්‍යූහය වන්නේ ඊඩිපස් සංකීර්ණය යි.
In our society the primary structure that defines our symbolic and unconscious relations is the Oedipus complex.
Jacques Lacan- Routledge Critical Thinkers by Sean Homer-page 53

මෙම ඊඩිපස් සංකීර්ණය තුළ හකුළුවා ඇති ව්‍යූහයේ මිනිස් මනසේ සංකේතීය සහ පරිකල්පනීය පිළිවෙල තුළ ක්‍රියාත්මක වීම් කවරාකාර ස්වරූප ගනී ද? හුදෙක් පිරිමි දරුවකු තුළ පියා කෙරෙහි උපදින ඊර්ශ්‍යාව මත මව කෙරෙහි ඇති වන ආකර්ශනය ද? නොඑසේ නම් ගැහැණු දරුවකු මව කෙරෙහි ඇති වන විකර්ශණය හේතුවෙන් පියා කෙරෙහි ඇති වන ආකර්ශණය ද? නොඑසේ නම් පියා මව සහ දරුවා ත්‍රිකෝණීය සබඳතාවයේ සියලු අන්තර්ක්‍රියාවන් ද?

මිලෝස් ලිංගික ජවනිකා කැමරා ඉදිරියේ මවා පාමින් ගොඩනගා ගන්නා තම ජීවිකාව තම කුඩා පිරිමි දරුවා තමා අතින් නොදැනුවත්වම දූෂණයට ලක් වීම දක්වාම වර්ධනය කරගන්නට සමත් වන වුක්මීර් නම් වූ ආර්ථික බල ව්‍යූහය සමාජයේ කුමන තීරුවකින් සමාජය පෙලන්නේ ද යන්න වටහා ගැනුම මෙම සිනමා කෘතිය සර්බියානු සන්දර්භයෙන් විශ්වීයත්වයට පිය නගන දොරටුව ලෙස ද දැකිය හැකිය. කොල්ලකාරී ධනේෂ්වර ආර්ථික බල ව්‍යූහයන් විසින් මිනිස් සබඳතා එහි මනෝමූල ගතිකයන් උඩුයටිකුරු කරවන්නට සමත් වන අයුරු මේ ම්ලේච්ඡ ග්‍රැෆික විසින් අපට අතැඹුලක් සේ පෙන්වා දෙනු නොලබයි ද?

මෙම සිනමා පටය බොහෝ ප්‍රෙක්ෂාගාර පරිපාලකයන් අතින් ප්‍රතික්ෂේප වී ඇත්තේ එහි දැක්වෙන දරුවන් අපහරනාත්මක දර්ශන යැයි වටහා ගත හැකි දෘශ්‍ය මායාවන් මෙන්ම ක්‍රෑර ලිංගික ජවනිකාවල ඇති ආතතිය වැඩිහිටියන්ටත් දැරිය නොහැකි වන තරමට තීර්‍වතාවයෙන් ඉහළ බැවින් යැයි වාර්තා වේ. සැබැවින්ම යථාර්ථය ඊටත් වඩා ම්ලේච්ඡ බැව් ඔවුන් නොකියා කියන්නේ දැයි විමසීම ප්‍රේක්ෂාගාරයක් සතු අද දවසේ වගකීමයි.

ආශ්‍රිත ග්‍රන්ථ/වෙබ් අඩවි/විද්‍යුත් මාධ්‍ය

1.The Plague of Fantasies by Slavoj Zizek
2. Theories of Race and Racism - A Reader- Chapter 40/ENJOY YOUR NATION AS YOURSELF! by Slavoj Zizek
3. Jacques Lacan- Routledge Critical Thinkers by Sean Homer
4. http://www.mahala.co.za/movies/a-serbian-film/
5. http://en.wikipedia.org/wiki/A_Serbian_Film#cite_note-2
6. http://www.bloody-disgusting.com/interview/638
7. A Serbian Film
8. Irreversible
9. The Human Centipede [ part I and II]
10. Eraserhead
11. Taxidermia