Saturday, October 3, 2009

වළාකුළු


වළාකුළු

වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?

කඩා වැටෙන්නට එපා අද හෙට
ඉන්නේ අපි තවමත් නිරාවරණව!

වළා පටල තිමිරය ඉරා ගෙන
පොළව මතුපිට විසිරි දිය රළ
උඩට එසවී දුමාරය වී
සැඩ හිරැගේ රස්නෙන්ම පමණ ද
ඉහල නැගුනේ ආකාහේ මේ?

නැද්ද අප දුක් තාප පීඩා
හුමාලය ලය තුලින් පිට වුන?

වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?

කඩා වැටෙන්නට එපා අද හෙට
ඉන්නේ අපි තවමත් නිරාවරණව!

ඊ ඒ ඩෝසන් ප්‍රීති
031009

Thursday, October 1, 2009

අද ලෝක ළමා දිනය

අද ලෝක ළමා දිනය

අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යායේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා.

" අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා.

චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය,

"තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක, අනුන් වෙනුවෙන් දුවන්න ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල

ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද?

ලිහිණි
http://www.boondi.lk/

Wednesday, September 30, 2009

නූඩ්ල්ස් සුවඳ


නූඩ්ල්ස් සුවඳ

යුද්දෙත් ඉවර නිසා
මම ඇයට වඩාත් සුකුමාල විය යුතුයැයි සිතා
ෂෝර්ට් ලීව් දමා සැන්දෑවම මල් යායක් වූ එදා
සෙනග අඩු කොට්ටාව බසයේ තැන තැන හුන්
පුංචි කෙල්ලන්ගේ ලපටි තන පුඩු වල මතුපිට
සිතින් ස්පර්ෂ කරමින්
හැල්මේ විත් කඩුල්ල පැන කුස්සිය පැත්තෙන් ගෙට රිංගා
මිරිස් ගල සෝදමින් හුන් රා‍ණිගේ නිතඹ සන් කලේය මට
ඈ තදින් වැළඳ ගත්තේ අවසිහියෙන් යැයි
මටවත් නොසිතුනි

මොකද මේ විකාර යැයි කියා
ඇය පැන ගොස් ලිප අසලට

දුටිමි ඇගේ රත් වු දෙකොපුල
පිලිස්සෙන පොල්ලතු කැබලි එලියෙන්
මුහුනට වැටී තිබුනු කෙහෙවල්ලෙන්
ඈ අප්සරාවක් මෙන් කලකට පසු පෙනුනි

ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය

සූදානමක් නැති හෙයින් ඇය
සිටියේ මෙලොව නොව
වෙනදා කෙ‍හොඹ සබන් ගා ඈ සිටියාය
ඒ බොහෝ කලකට පෙරය

ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය
එමත වැටී තිබු‍නේ ලිපේ ඇවිලුනු ගින්න ය
ඇගේ හදමත ඇවිලෙමින් හුන් ගින්නය
මා සිටියේ ඇවිලෙමිනි; ඒ රා ගින්නය

මම ඈ තදින් සිප ගතිමි
ඈ කිසිවක් සිතා ගත නොහී
දුම් ගැහුණු කුස්සි වහල දෙස
කඳුලු පිරි දෙනෙතින් බලා හුන්නීය

රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි

ඇගේ ලය මඩල නූඩ්ල්ස් සුවඳය
රාත්‍රී අහරට ඇය නූඩ්ල්ස් පිලියෙල කරමින් හිඳ ඇත
මම ඇගේ ඇඳුමට යටින් පපු පෙදෙසේ මුව සැඟවීමි
පරණ කඩමලු බ්‍රෙසියරය අස්සෙන්
හමා ආවේ නූඩ්ල්ස් සුවඳය

අපි කන්නේ ක්ෂණික නූඩ්ල්ස්ය කලක සිට
වෑංජන හදන්නට බැරිය -අමාරැය
බත් උයා කන්නට මාළු පිණි නැති
ආර්ථික අවදානමකි කුසට දැනෙන්නට කෑම


මටම සිහි විය ක්ෂණික නූඩ්ල්ස්

නිකංම නිකං පිටි වුවද චිකන් සුප් පැකැට්ටුව හලාගත් විට
ගිල දැමිය හැකිය...
පෝෂ්‍ය පදාර්ථයට පෙර
ජීවත් වෙන්නට බඩට දෙයක් සොයා ගත යුතුය

මම ඇගේ පියයුරැ මඩලේ සැඟව ගිය
ඒ නූඩ්ල්ස් සුවඳට පෙම් බඳිමි...
මා සිරුර නිදි ගන්වන
අළුකෙසෙල් රසායනය ඒ නූඩ්ල්ස් සුවඳය...
අ‍පගේ උපත් පාලන උපක්‍රමය
ඒ නූඩ්ල්ස් සුවඳය!

නූඩ්ල්ස් සුවඳ
නූඩ්ල්ස් සුවඳ
රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි...


ඊ ඒ ඩෝසන් ප්‍රීති
300909

Monday, September 28, 2009

සුනාමියට පෙර මුහුද ගිලී ගියා


සුනාමියට පෙර මුහුද ගිලී ගියා

ඈතට ඈතට
කිසි දිනක ‍නොදුටු සිප්පි කටු කොරල් ගල් මල් මතුකර
එක නිමේෂයකට
මුහුද ඈතට ඈතට ගිලී ගියා...
මහ සමුදුර වෙරළ උරා බී
බඩ පුම්බා ගෙන
මුහුදු මට්ටමේ ශූන්‍ය ක්‍රමාංකනය දෙස
සෝපාහස ලෙස බැල්මක් හෙලමින්
කිසි දිනක ‍නොදුටු සියුමුව වැලි ගල් රොන් මඩ මතුකර
එක නිමේෂයකට
මුහුද ඈතට ඈතට ගිලී ගියා...


තැනිතලාවක් සේ මහ මුහුද රැඳුනු ඉඩ
හිස් ව
තෙත්ව
දර්පණයක්‍ ව
පෙනුනා...


ඈතම ඈත මහ වළල්ලක් මෙන්
දිය තරඟයක් පිම්බි පිම්බී
ගොඩ ඉවුර එල්ලයේ
සයිනාකාරව
මහ විසාල විභව ශක්තියක් එකතු කරමින්
එක රොත්තට ඇදෙන්නට වාරැ ගනිමින් හුන්නා

පොල් කරටිවලට උඩින් පියඹා ගිය විහඟුන් පෙල
අහසේ එකම එක රටාවක් මවන්නට දරන තැත
මම රාණිට කොඳුරා කීවා ඒ නිමේෂය කොතරම් කෙටි ද
පවුඩර් සුවඳට ලවණ මුසු වූ විටෙක කොතරම් සරාගී ද

මහ ජල තරඟය ගැන අපට හා‍හෝවක් තිබ්බ ද ?

පස්සෙයි මම දැන ගත්තේ ඒකට කියන්නේ සුනාමිය කියල
මම කල්පනා කරමින් සිටියේ රාණිගේ රාත්‍රි යට ඇඳුම් ගැන
අපි හරි ඉක්මනට කුරැල්ලන්ට රටා ලියා ගන්න බැරිවුන
පොල් කරටිය අසලටම ගියා...රාණි ‍මගේ අතේම එල්ලිලා හිටියා

රෑ මධුසමයේ දුටු රාණි එලෙසම නිරැවතින් මා සමගම
දිය රළ පෙල අතර පොර බැදුවා අපට රාත්‍රිය කෙටි වුනා වගේම
දිය රැලි අතර ජීවිතය ද කෙටි බව ඒ සරාගී මොහොතේ මෙන්ම දැනුනා
ඒත් රමණ කෙඩෙත්තු මැද්දෑවෙම මම රාණිව තදින් වැළඳන් උන්නා

හතරවටේ දිය රති කෙළිය අවසන් වෙනතුරැ...
පොල් කරටියේ මුදුනේ සිටම කඳ දිගේ
පහලට අපි ගැස්සි ගැස්සී රෑටං ආවා....
ආයෙමත් ජීවිතය මුණ ගැසුනා
මහ රොන් මඩ අස්සෙන් සුන් බුන් මැද්දෙන්
නාදුනන මිනිසුන්ගේ නිරැවත් මළ සිරැරැ අස්සෙන්...

රාගනීශ්‍රිත සන්ධ්‍යාවක්
මරණාසන්න උදෑසනකින් කෙළවර වුනු හැටි...

අපි කාර් එකෙන් කන්‍යාරාමය ඉස්සරහින් යද්දීත්
සුනාමියට කඩං වැටුනු සුරැවම
කවුදෝ පිලිසකර කරමින් උන්නා...

අපි කලකට පෙර
හරියටම ඊට අවුරැදු දහයකට ඉස්සර
මුනගැහුනු මහ මායා විද්‍යාලේ
බෝඩ් ලෑල්ල පෙරලිලා
කැඩුනු තාප්පයේ ‍ගඩොල් අස්සේ වැතිරිලා සිටියා...

රාණිත් මගෙන් ඈත් වෙලා ඊටත් කලකට පස්සේ
දැක්කා මම තාප්ප ගල් බිත්ති පිරිසකර වෙලා දිස්නේ දිදී
පොල්කරටි උඩින් ර‍ටා‍ මවමින් කුරැල්ලන් ගියා අද හවසත්
රාණිත් තනිවෙලා වෙන්නැති මම වගේම
ඒත් නැහැ දන්නේ දෙන්නම ඒ ගැන අදට රහසක්

මේ පොල්හේනට ආවාම
සුනාමියටත් වඩා සැරෙන්
ඒ අතීත මතක සටහන්
මගේ ඔලුව පහුරැ ගාන හැටි?


ඊ ඒ ඩෝසන් ප්‍රීති
270909