Saturday, February 14, 2009

ස්වරය-සුනිල් ලීවානගේ

ස්වරය

වැහැරී ලප කැළැල් වැකි
යොවුන් සඳවත දුටිමි.
කම්හල් කහට නැවතුණ
රතු මතු නො කළ රතැඟිලි
නැවුණු ඉරි යළිදු නො මැකෙන
පොඩිවුණු කමිසය තුළ
හැඳිනිමි ගැලූ දහදිය සුවඳ.
සමනළ පන්ති අතහැර
සහතික දමා පා පිස්නාව
උදෑසන හිරු රැගෙන
නිලූනයනියේ ඔබ හඬවන
කම්හල් යතුරු ස්වර


සුනිල් ලීවානගේ

http://www.silumina.lk/punkalasa/20090215/_art.asp?fn=ar09021514



පුන් සඳත්-ඊ.ඒ. නුවන් චින්තක

පුන් සඳත්
නෑ
මම හිතුව තරම්


සුදුත් නෑ
මම හිතුව තරම්


බයත් නෑ
මම හිතුව තරම්

මම ගැහෙන්න
ගත්තා නොහිතු තරම්.

ඊ.ඒ. නුවන් චින්තක 2009/02

Friday, February 13, 2009

උමයංගනා,-ඊ ඒ නුවන් චින්තක

උමයංගනා,

නොවුනත්. . .
කියයි නුඹ. . .

මට,
දිවුරන්ට. . .
තබා අත හිස මත,

බක්මාසුර නොවුනත්,
දැවී යයි මා. . .

දහස් වර,
අලු ගොඩක් වී,
නොවැදී අග්නි සැර,

කළ කිරී. . .
පිරිමි,
ජාතිය ගැන. . .

ඊ ඒ නුවන් චින්තක 2009

කලියුගයේ වසන්තය [1996] -ශානිකා කල්හාරි වටෝවිට

පන්හිඳ

දහසකුත් දේ අතර සුවිශේෂ වූ
දෙයකි පන්හිඳ
මගේ අතැගිලි අතර සිරවී
නොකඩවා ලියන වදන් වැල්
ඉරිතැලුන මිහිකතට
පිරුණු නදියක් වැන්න
සුන්දරත්වය මතින් ඇති කටුක යථාර්ථය
වෑහෙන්නේය තුඩගින්
හිරුගේ රැුස් ලෙසට
අයුක්තිය අසාධාරණය අසත්‍ය දුටු තැන
පහර දුන්නේය පන්හිඳ
කඩු, කිනිසි, අවි වලින් නොව
සියුමැලි තුඩගින්ය
මතු දිනෙක මා අතින් ගිලිහිලා
ගව් ගණන් දුර පතිත වුව
මට දොස් නොතබනු
මන්ද ?
මගේ අතැගිලි ලිහිල් කරන්නේ මිනිසුන්ය
මා ලියන්නේද මිනිසුන්ටය
ඉතින් මිනිසුනේ
පන්හිඳ කග පතක් කළ හැක්කේ ද
මිනිසුන්ටමය

ශානිකා කල්හාරි වටෝවිට
කලියුගයේ වසන්තය 1996



ශානිකා කල්හාරි වටෝවිට

මෙ ලියන්නේ තවත් කිවිඳයක් ගැන නම් නොවෙයි.

මෙ ලියැවෙන්නේ මහමෙරක් මෙන් නොසැලුන අකම්පිත ආත්මයක පරිකල්පනීය දිග පළල පිලිබඳ මිනින්දොරුවකුගේ සටහනකි.

කලියුගයේ වසන්තය ශානිකා කල්හාරි වටෝවිට ගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහයයි.

ඇය මෙම කාව්‍ය සංග‍්‍රහය පළ කරන්නේ 1996 දීය.

1992 දී පමණ ඈත දුරාතීතෙක මට ඇයගේ කවි කියවා මතක ඇත්තේ රාවය පුවත් පතිනි. එකල මට හැගුනේ ඇය ද අප මෙනි. එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් එම රාවය පුවත් පතේම පළ වූ ඇගේ සංලාප සටහනකින් මා දැනගත්තේ ඇය අප මෙන් නොවන වගයි. ඇය මාංශ පේශි වර්ධනය නොවීමෙ රෝගයකින් පෙලෙන්නියක් බවත් එහි සැබෑ තතු රැගත් ඇගේ ඡායාරූපය පුවත් පතේ පළ වීමත් සමග මම කම්පනයට පත් වීමි.

කලකට පසු මට ඇගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය හමු විණි. ඒ ගොඩගේ පොත් මැදුරෙ කල් ඉකුත්ව ගිය පොත්පත් ගොඩගැසුනු අඳුරු රාක්කයක තිබීය.

ඇගේ හඩ තවමත් මා සිත කම්පනය කරන බැවින් මෙ කුඩා සටහන ඇය වත්මන් ලෝකයටත් ඇය නොදන්නා අලුත් පරම්පරාවට හඳුන්වා දීමටත්ය.


ඇය ගැන වනිතා විත්ති පුවත් පතේ දමයන්ති අමරසේකර පවසන්නේ...

වයසින් මෙන්ම අත්දැකීමෙන් මුහුකුරා නොගිය ද තම සිරුර වාරු නැති වුව ද ඇය බුදධිය මෙහෙයවා කරන නිර්මාණයන්හි අගය මැනිය නොහැකි තරම් ය. කිසිවක් කර කියා ගත නොහැකි ව මැසිවිලි නගන සමහර මිනිසුන් අතර ආබාධිත ඇය ආශ්චර්යයකි.

ඇගේ කවි පොතේ පෙරවදනේ දක්වන ඇගේ අදහස් කීපයක්ද මෙහි සටහන් කරමි.

කවිත්වය තුලින් නිරූපනය විය යුත්තේ සෙෘන්දර්යාත්මක අගයන් යැයි බොහෝ දෙනා විශ්වාස කරති. සුන්දර පරිසරය පේ‍්‍රමය ගැහැණිය වැනි වස්තූන් මුල් කරගෙන ශෘගාරාත්මක ශෛලියකින් කවි ලිවීමට බොහෝ කවීන් පුරුදු වූයේ එම මතවාදයේ පිහිටා විය යුතුය. එහෙත් කිසියම් වස්තුවක් දෙස යථාර්ථවාදී ව බලා කවිත්වය තුළින් එහි ස්වභාවය සත්‍ය ලෙස නිරූපණය කළ හැකි නම් එය කවියෙකු සතු විශේෂ කුසලතාවක් නොවන්නේ ද

එවැනි කුසලතා තුළින් මතු වූ පැල් කවි පාරු කවි පතල් කවි ගොයම් කවි වැනි වැඩ කරන ජනතාවගේ නිර්මාණ සමාජයට කළ මෙහෙවර අප ඉතා අගය කළ යුතුය. එම කවි සංකල්පනා වර්තමාන සමාජ ක‍්‍රමය හමුවෙ කෙෘතුක වස්තූන් බවට පත් වූවත් ඒ මග පිහිටා සමාජ මෙහෙවර මතක් කර දීමට අනුගමනය කළ ජනතාවාදී ශෛලිය මගේ නිර්මාණවලට පදනම වූ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

විශේෂයෙන්ම පසුගිය 17 වසරක පාලන අවධියේදී ජාතිවාදයට යුද්ධයට අසාධාරණයට භීෂණයට එරෙහිව උතුරේත් දකුණේත් ඇතැම් කවීන් ඉටු කළ මෙහෙයට මුළු ලාංකීය ජනතාවම ප‍්‍රශංසා කළ යුතුය. සමාජ අසාධාරණකම්වලට ජනතාව ගොදුරු වන කාල පරිචඡේද වලදී කවීන් විසින් ලබා දෙන පණිවුඩය ප‍්‍රාග් විප්ලවීය රුසියානු සාහිත්‍ය පුරා පැතිරී ඇත. එම ආදර්ශය යටත් විජිත යුගයේ දී ආසියා අප‍්‍රිකා ලතින් අමෙරිකා අතුළු සියලු රටවල් හරහා හමා ගොස් අද එය විවිධාකාරයෙන් සිදුවන සමාජ අසාධාරණකම් වලට එරෙහි ව පෙළගැසී සිටින්නේ ඒ රුසියානු ආභාසයට පින් සිදුවන්නටය.






නොලද සවි

මිනිසුනේ මිනිසුනේ
එක් වී බලව්
මුලාවක් වී මුසාවක් නොව
පන්හිඳෙන් මා ලියන්නේ
බිඳුණු තල් වැටෙ මුල්ලක තනි වී
අපේ අසල්වැසි අසරණ යුවතිය
කෝවිල දෙස නෙත් අයා සිටින්නේ
දෙවියන් කොහිදැයි දෙවියන් කොහිදැයි
ෂෙල් වෙඩි යුද්දෙන්
දෙවියන් පන්නා
අවි අත ගත් උන්
තල්වැට බින්දෝ

හිමි අත ගන්නට
දැවැදි නැති ඇය
ගිනි අවි ගත්තී
තල් වැට රැකුමට


ශානිකා කල්හාරි වටෝවිට
කලියුගයේ වසන්තය 1996



අලුත උපන් පුතුනේ

දිරච්ච පොල් අතු වහල යටින්
ගොම ගෑ පොළොවක නිදන පුතේ
නුඹෙ අම්මා කිරි අරගෙන එනතුරු
නාඩා නිදියන්නේ

නේක වර්ණ පිළි බෝනික්කෝ
තනියට නෑ නුඹෙ හතර වටෙ
දේදුන්නෙන් එන සුරංගනාවන්
හැරදා ගොස් ඇත නුඹ තනියෙන්

දූවිලි රොඩු පිරි චණඩ සුළං
නිතරම නුඹ වට කැරැකෙන්නේ
කාණුවෙ කුණු ගඳ දසත ගලා ගොස්
නුඹෙ පැල ඇතුලේ රජ වෙන්නේ

පාට පාට මල් නොපිපෙන්නේ
පුතුට දකින්නට සුවඳ දිදී
නුඹ බිලි ගන්නට ඇස් දල්වා ගෙන
බාඳුරා මල් ඇත ගේ මිදුලේ

දවසක් මැදියම් ? යාමෙ
අංක තහඩු නැති වාහනයෙන්
නුඹෙ අප්පච්චී රැගෙන ගියා
එව්වෙ නැත නුඹ දකින රිසින්

නුඹ වැනි උන් ඇත දහස් ගණන්
මව්වරු සමගින් තනිවීලා
නුඹෙ අම්මා කිරි අරගෙන එනතුරු
මිහි මව් තුරුලේ නැලවෙන්නේ

ශානිකා කල්හාරි වටෝවිට

කලියුගයේ වසන්තය 1996

රාජිනී-පමිත ආර් ලියනගේ

රාජිනී

නිවුන් සොයුරු පෙම
සිර වී දෙතැනක
කඳුළු ගණින විට
දිනුවෙ කවුරු ද

වැඩහිටි කන්දෙන්
සුපිපුණු ඉරමල
හිනැහුණු අන්දම
අමතක වෙනව ද

උතුර දකුණ දුර
අඩුවෙන දවසක
නෑගම් එන්නට
අමතක වෙනව ද

පමිත ආර් ලියනගේ
ආදරය සහ සඳ එළිය 2008





සූරිය කඳු වලප

අවාරයේ අකුණු සරින්
සමනල තටු බිඳුණා
සූරිය කඳු හිස මුදුනින්
හිරු පර වී වැටුණා

කාකි අඳුර ගෙට එනකොට
තරු කඳුලින් පෙගුණා
වළවෙ ගං දෑල පවා
ඉකිලන හඩ ඇසුණා

දුක් කඳුලින් ගෙත්තම් කළ
මල සුවසේ වැඩුණා
මල පීදි එන්නට පෙර
නටුවට වෙඩි වැදුණා

පමිත ආර් ලියනගේ
ආදරය සහ සඳ එළිය 2008

Wednesday, February 11, 2009

ධර්ම චක‍්‍රය-ලක්ශාන්ත අතුකෝරල

ධර්ම චක‍්‍රය

පච්චා කොටන තැන
මකර රූ - කිනිසි - සරපයි
හෙළුවැලි ගෑණු අතරින්
උඹ තෝරා ගත් පච්චය
ධර්ම චක‍්‍රය

සෝමෙ පුදුම මිනිහෙක් උඹ
හිනා නොවෙන - නොහඩන
බලන්නන් බැල්මෙන් බය කරන
මන්ත‍්‍රී ළගවත් නොනැමෙන

තර තළෙළු මූණ - රතු ඇස්
කළු උඩු රැවුල කහ දත්
කුණු හරුප ගෝරනාඩුව සමග
තිබුනාට පපුව මත ධර්ම චක‍්‍රය
තිබුණාද ධර්මයක් පපුව යට?

බූරු පෙතකුදු නාරින
මඩම් අස්සේද රිංගන
ඉඳහිට හිරෙත් යන
උඹටත් හැබෑටම තිබුණ ද?
මොකක් හරි ධර්මයක් අදහන

හෝටල් ළග - සැලුන්වල
සති පොලේ - වින්කලේ - විට කඩෙ
ගැවසෙන - පච කෙළින
මස් කන - අරක්කු බොන - ගංජා උරන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ

ඒරියා එකේ බජාර් එකේ
කාට වුණත් අත තිබ්බොත්
අගල් හයක් බස්සනවා කියන

සෝමසිරි උඹ
එහෙම බැස්සූ බවක් නම්
අසා නැත අප
එනමුදු අසා ඇත
වීදියේ බලු පැටව් වඩාගෙන
දෙගොඩහරි ජාමෙත් උඹ
මස් කොත්තු කවන වග

කප්පම් ජෙරාගෙ සව්වන්ට
අහුවුණු තැන තලන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
මුඩුක්කුවෙ පොඩි උන්ට
පොත් පත් තෑගි ගෙනියන්න
ජැටියේ අල ගෝනි උස්සන

දාඩියෙන් පෙගී - මවිල් අස්සෙන්
දිලිසෙනවා සෝමසිරි
ධර්ම චක‍්‍රය
උඹෙ පපුව මත

ලක්ශාන්ත අතුකෝරල
යටි වියන 2007


Tuesday, February 10, 2009

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 17

1986 ජුලි 17

පෝය ළග විය යුතුය. අඩ සඳ පායා ඇත්තේ එනිසාය. සඳ වටා තරු කීපයක් ද ඇත. එහෙත් සඳ තරු පෑයූ රාත‍්‍රියේ කිසිම සුන්දරත්වයක් නැත. කවි සිතුවිලි පහළ වන්නේ ද නැත. සඳ තරු ගැන කවි ලියූ යුගය ගෙවී ගොස් බොහෝ කල් යැයි මට සිතේ. මෙබඳු රාත‍්‍රීන් හිදී දැන් නෙත ගැටෙන්නේ මහා බියකරු දර්ශනයන්ය.

අපගේම දැරියන් අපගේම සහෝදරියන් සල්ලාල ධනපතීනට ගොදුරුවන්නේ මෙබඳු රාත‍්‍රියන්හි දීය.

ඊයේ රාත‍්‍රියේද මෙලෙසම අඩ සඳ පායා තිබිණ. සඳ වටා තරු කීපයක් ද තිබුණ බව මට මතකය. මෙ සියල්ලක්ම මා දුටුවෙ අවන්හලින් එළියට බසින මොහොතේදීය. සුරා විතක් තොල ගෑමෙ අරුත විකාර දේවල් දැකීම නොවෙ. ඇතැම් විට සැබෑම සත්‍යය දකින්නේ එබඳු අවස්ථාවල දීය.

මා වෙත පැමිණි දැරියක් කිසිවක් ඉල්ලා සිටියාය. ඇයට අවුරුදු දොළහකට දහතුනකට වඩා වයස නැතැයි සිතේ. මගේ සාක්කු ද හිස් ය. ඇය කිසිවක් නොදොඩා ඉවතට ගියාය. අසල නවතා තිබූ මෝටර් රියක් වෙත ගිය ඇය එතුළ සිටියවුන්ගෙන් පිනට යමක් ඉල්ලන අයුරු මම දුටුවෙමි. මිනිත්තු කීපයක් යන තුරුම ඇය එතැන සිටියාය.

"..............අනේ මහත්තය....... මම එහෙම එකෙක් නොවෙයි. මට කීයක් හරි දෙන්න. පිං සිද්ද වෙයි......."

ඇය බැගෑපත් වන අයුරු මම දුටුවෙමි. වැඩි වෙලාවක් ගත වූයේ නැත. ඇය රියට ගොඩ වූ අතර සුරුස් ගා වාහනය නොපෙනී ගියේය. මගේ හිතට සිහින් වෙදනාවක් ඇති විය. ඒත් මොනවා කරන්න ද ? මෙය අපගේ යුගය නොවෙ. දුප්පත් දැරියන්ගේ යුගය ද නොවෙ. අහිංසක දැරියන් ගණිකාවන් කරන යුගයයි.

සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Monday, February 9, 2009

සත්‍යවාදියකුගෙ දිනපොත -1986 ජුලි 15

1986 ජුලි 15

බොහෝ කලක සිට මගේ මිත‍්‍රයකු වන කුලරත්න අත් අඩංගුවට ගත් බව අද දහවල් ආරංචි විය. ඔහු කළ වරද ජූලි වර්ජනය සමරා පෝස්ටර් ගැසීමය. ගිය වසරෙත් මෙ කාලයේ දී ඔහු සිටියේ සිරකූඩුවෙය.

වර්ජනයෙන් පාරට බැස්සවුන් පෝස්ටර් ගහන්නේ නැතිනම් පෝස්ටර් ගැසිය යුත්තේ උන්ව පාරට දැම්ම එවුන් ද ? මට නම් මෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිත්තයි. කුලේගේ බිරිඳට දුව උපන්නේ ඔහු ගිය වසරෙ හිරෙ සිටිය දීයි. ඔහු බලන්න ගියවිට කී කතාව මට දැනුත් ඇහෙනව වගෙ.

"මම දුවට දාපු නම උඹ දන්නව ද... සානා මෙදානි. සානා මෙදානි කියන්නෙ කවුද දන්නව ද ? උඹට මතකද ඊශ‍්‍රායල භටයින් පුරෝගෙන ගිය ලොරියට බෝම්බ පුරවාගත්ත කාර් එකක් හප්පපු පලස්තීන කෙල්ල. භටයොත් කුඩු. කෙල්ලට ගරු කරන්න තමයි මගෙ දුවට ඒ නම දැම්මෙ."

දිනපොත තුළින් කුලරත්න සහෝදරයාගෙ හිනාව පිරුණු මුහුණ මට පෙනව. මං ඌව ඉඹ ගත්ත.

සත්‍යවාදියකුගෙ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක