Posts

Showing posts with the label සත්‍යවාදියකුගේ දිනපොත

සත්‍යවාදියකුගේ දිනපොත-1986 අගෝස්තු 5

1986 අගෝස්තු 5 ජීවිතය එකම සිහිනයක් යැයි සිතේ. මෙබඳු ජරා අදහසක් මීට පෙර මගේ හිතට කා වැදී නැත. භොතිකවාදයට එරෙහි කිසියම් දෙයක් මගේ හිතට කා වැදී නැත. භොතිකවාදයට එරෙහි කිසියම් දෙයක් මගේ හිතට එනවා නම් මම මා ගැනම අනුකම්පා කරමි. භොතිකවාදීනට සිහින ගැන කතාකර වැඩක් නැත. එනමුදු යම් යම් අවස්ථාවල දී මම සිහිනවලට ද ආසාකරමි. පෙරදින රැයේ ද මම සිහිනයක් දුටුවෙමි. නිර්ධන පංතියේ අපේම සහෝදර සහෝදරියන් සමග අතේ රයිපලයක් ඇතිව මම රජයේ හමුදා සමග සටන් වැදුනෙමි. 'උඹලාත් දුප්පත් අම්මලා තාත්තලාගේ පුත්තු' හමුදා භටයිනට මම කෑගසා කීවෙමි. මොන තරම් සුන්දර ද! ඔවුහු ආයුධ බිම තබා අප වැළඳ ගත්හ. ඇත්තෙන්ම එය සිහිනයකි. අනේ... ඒ සිහිනය සැබෑ වෙනව නම්! කවදා හෝ එය සැබෑ කළ යුතුමය. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-1986 අගෝස්තු 4

1986 අගෝස්තු 4 ඔරියානා ෆලාචිගෙන් හුගාක් කාලයකට පස්සේ අද ලියමනක් ලැබුණා. ඇය මගේ ජීවිතයට නව පණක් දුන්නා. ඔරියානා මුලින්ම හමු වූ දිනය මට මතක් වෙනවා. නවසිය හැත්තෑ එකේ අපේ‍්‍රල් මාසයේ එක් දිනයක මට ඇගෙන් පණිවිඩයක් ලැබුණා. එදා රජය කී අන්දමෙ 'ත‍්‍රස්තවාදියකු' හමුවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ඇය ආශාවෙන් හිටිය. මා ඔ සේතුං ලා චෙ ගුවෙරාලා කස්ත්‍රොලා හමු වී ලෝකයට විප්ලවයේ සත්‍යය පැවසූ ඔරියානා ෆලාචි ... එදා මොන තරම් සුන්දර දවසක් ද? මම මගේ 'ත‍්‍රස්තවාදී' මිතුරකු සමග ඇය හමුවීමට ගියෙමි. ඇය ඇසූ ප‍්‍රශ්නත් මට අද වගේ මතකයි. '... විප්ලවයක් කරන්නට හැදුවෙ ඇයි... ' 'පීඩිත පංතියට විමුක්තියක් ලබා දීමට' ඔහු පිළිතුරු දුන්නේ මොනතරම් ආඩම්බරයකින් ද? 'උඹෙ රටෙ පීඩිත පංතිය කියන්නේ කවුද? ' 'මෙ රටෙ සියයට අනූ නවයක්ම පීඩිත පංතිය. ඒක අපි දන්නව. ' 'උඹලා මැරෙන්න බය නැද්ද? ' 'අපෝ නැහැ. මැරෙන්න බය නැති නිසයි විප්ලව කරන්න ගියෙ. අපි මැරුණත් අපි කරන දේ හරිනම් ප‍්‍රශ්නයක් නැහැ. ' එදා ඔරියානා ෆලාචි චෙ ගුවෙරා ගැනත්, මාඔලා ගැනත්, ලෙනින්ලා, මාක්ස්ලා, ගැනත් කතා කළ හැටි මට...

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 29

1986 ජුලි 29 වයස අවුරුදු දොළහත් දාසයත් අතර බාල අපරාධ කරුවන් දෙගුණයකින් වැඩි වී ඇති බව අද පුවත්පතක පළවී තිබිණි. මෙම තත්වයට ප‍්‍රධානම හේතුව වන්නේ දුප්පත්කම බව ද එහි සඳහන් කොට තිබිණි. මෙබඳු යුගයක දුප්පතුන් වැඩි වීමත් එනිසාම අපරාධකරුවන් වැඩිවීමත් මට නම් ප‍්‍රවෘත්තියක් නොවෙ. මෙබඳු සමාජ ක‍්‍රමයක් උඩ එවැනි තත්වයක් ඇති වන බව ලොවෙ හැම රටකම ඉතිහාසය විසින් අපට උගන්වා දී තිබෙ. දුප්පත්කමෙ ප‍්‍රතිඵලයක් වශයෙන් සිරගෙවල ලැගීම යනු පන්නරය ලැබීම බව මම දනිමි. දරුවනේ කවදා හරි අපි එක්වෙමු. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 28

1986 ජුලි 28 මාසයේ සවුත්තුම දවස අදයි. අදයි පඩි. මාසේ පඩියෙන් ජීවත්වෙන ලංකාවෙ හැම මිනිහෙකු මෙන්ම මගේ පඩි දවස ගැන ද කතාකර වැඩක් නැත. මගේ පඩි දවසේ ළතැවෙන්නේ මා පමණක් නොවෙ. ගෙදර සියල්ලෝම ළතැවෙති. තුට්ටුවකින් හෝ වැඩි පඩි ඉල්ලා ගෙදර ගියවුන්ට මල් තබා වඳින්නට සිතේ. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 27

1986 ජුලි 27 සොන්ඩ් මොලාපා මරා දමා ඇත. මම දෑස් පිසදා එම පුවත යළිත් කියැවූයෙමි. හදවත වැළපෙන්නට විය. ඔහු මරා දැමීමෙන් පසු දකුණු අපි‍්‍රකාවෙ කෲර ජඩ සුදු පාලකයන් කීවෙ ඉතාමත් වුවමනා කර තිබූ ත‍්‍රස්තවාදියා මරා දැමූ බවයි. අද ලොවෙ සිටින ලොකුම ත‍්‍රස්තවාදියා පීටර් බෝතා බව මට ස්ථිරය. ඇමරිකාවට එරෙහිව වියට්නාමයේ සටන් කළ විමුක්ති භටයන්ට ත‍්‍රස්තවාදීන් යැයි කියූ ලොවක සොන්ඩ් මොලාපාට ත‍්‍රස්තවාදියකු යැයි කීම ගැන මම පුදුම නොවෙමි. කළු ජාතිකයන්ගේ දේශයම උදුරා ගෙන ඔවුන්ගේ ලේ උරා බොමින් මහා මිනිස් ඝාතනයක යෙදෙන අධිරාජ්‍යයවාදී සුදු පාලකයන්ට එරෙහිව සටන් වදින්නා ත‍්‍රස්තවාදියකු නම්, එබඳු ත‍්‍රස්තවාදියකු වීමට මම පෙරුම් පුරමි. මොලාපාගේ මරණය ගැන ඇසූ නෙල්සන් මැන්ඩෙලා හිරගෙයි සිට හඩන්නට ඇත. ලොව පුරා සිටින සාධාරණය ගරු කරන මිනිසුන් කොහි සිටියත් හඩන්නට ඇත. මම මගේ පුංචි කාමරයේ සිට මෙ රාත‍්‍රියේ වැළපෙන්නෙමි. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 26

1986 ජුලි 26 අද මට මහා ශ්‍රේෂ්ඨ දවසකි. කියුබන් විප්ලවයේ ආරම්භය ඇතිවුනේ අද වැනි දිනකය. විප්ලවවාදීන්ගේ ශ්‍රේෂ්ඨත්වය තවත් වරක් ලොවට හඩගා කීමට අතලොස්සක් කියුබන් වීරයන් පෙරට ආවෙ අද වැනි දිනකය. මොන්කාඩා හමුදා බැරැුක්කවලට කස්ත්‍රෝ නමැති තරුණයකු සහ තවත් කීප දෙනෙකු පහර දුන්නේ එක්දහස් නවසිය පනස් තුනේ ජුලි 26 වැනිදාය. අධිරාජ්‍යවාදී ධනපතීන්ගේ ගණිකා මඩමක් සූදු පිටියක් හා කෙළි බිමක් ව තිබූ කියුබාව විමුක්ති මාවතට ප‍්‍රථම පියවර තැබූ එම සටනට මම ආචාර කරමි. දිළිඳුකම හිගමන ගණිකා වෘත්තිය සහ මන්ද පෝෂණය දේශයෙන් තුරන් කිරීම සඳහා ප‍්‍රථම පියවර තැබූ එම ශ්‍රේෂ්ඨ සහෝදරයන් හා සහෝදරියන් මම භක්තියෙන් හා ආදරයෙන් සිප ගන්නෙමි. අනේ පීඩිතයන් සිටින රටවල තවත් මොනතරම් මොන්කාඩා වැනි බැරැුක්ක ඇත් ද? සිහින් වෙදනාවක් මට මෙ මොහොතේ දැනේ. කමක් නැහැ. පීඩිතයින් කවදා හෝ එක් වෙවි. එක්වෙනවමයි. කස්ත්‍රෝ මෑතක දී කීවාක් මෙන් විප්ලවය සිදුවෙද්දී සැබෑ වීරයන් සිය දහස් ගණනින් බිහිවෙනු ඇත. ඒ ගැන සිතන විට ජීවිතය මොනතරම් සුන්දරදැයි සිතේ. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 24

1986 ජුලි 24 ඇස් වාට්ටුව පැත්තේ මාවතක කුණු බාල්දි අවුස්සන හිගන මනුස්සයා ගැනත් ගල් ගසමින් ඔහු පන්නා දමන ධනපති ගෙවල් හිමියා ගැනත් හැමදාම උදේට මගේ මිත‍්‍රයෙක් කතා කරනවා. අද උදෙත් එහෙමයි. "ලියපල්ලා... ඔවා ගැන. එංගලන්තේ රාජ කුමාරයන්ගේ මගුල් ගැන පිටු ගණන් ලියන උඹල දුප්පත් මිනිහෙක් ගැන ලියන්න අදිමදි කරනවා." හැමදාමත් ඔහු බැණ වදින්නේ ඒ අන්දමටයි. ඔහුගේ කතාව ඇත්ත. ඒත් වෙලාවකට හිතෙනව දුප්පතුන් ගැන ලියලම වැඩක් නැහැ කියලා. අඩ නිරුවත් හිගන මිනිසෙකුට අඳින්න වස්ත‍්‍රයක් නොදී ගල් ගසමින් පන්නන පාහරයින් ගැන එක වැකියක් ලියුවත් පෑනෙ තින්ත ටිකත් අපරාදෙ. මෙය සාප ලද්දවුන්ගේ දූපතයි. මෙය කඳුළු සලන්නන්ගේ දූපතයි. අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැගී නොසිටින්නෝ සාප ලද්දෝ වෙති. හැම දෙයක්ම දෛවයට බාර දී කඳුළු සලන්නෝ අමනයෝ වෙති. ඇතැම් විටෙක මුළු ලොවටම සාප කරන්නට මට ද හිතෙන්නේ ඒ නිසාය. එහෙත් මා වැරැදියැයි පසුව සිතේ. සාප කළ යුත්තේ ලෝකයේ දුප්පතුන් බිහි කොට පසුව උන් වනසා දමන රුදුරු පාලකයින්ටය. හිත්පිත් නැති සූරාකන්නන්ටය. දුප්පතුන් හා පීඩිතයින් අපේම ලෙයයි. අපේම හුස්මයි. අප ඔවුන්ට පේ‍්‍රම කළ යුතුය. පේ‍්‍රමයෙන් වැළඳග...

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 22

1986 ජුලි 22 ආමර් වීදියේ කපුටන් වහන ගහ යටට අළුත් සිගන්නියක් ඇවිත්. මට එය තේරුම් ගියේ අද දහවල් එතැන ඇති වූ දෙබසකින්. "දැන් මෙකද කරන්නේ?" මහළු ගැහැණිය ළගට පැමිණි තවත් මහළු ගැහැණියක් ඇසුවාය. "ඔව් අනේ. වෙන මොනව කරන්න ද? ජීවත් වෙන්නත් එපායැ......." "දුව කරන්නෙත් ඔය රස්සාවම නේද? මට ඊයේ පෙරෙදා මරදානෙ දී හම්බ වුනා." "ඔව් ඒකිත් දැන් හිගමනට බැහැල. ඒකිට දරුවො හතර දෙනෙක් ඉන්නවනේ " මගේ පපුව හෝස් ගා දැවී යන්නාක් මෙන් දැනිණ. මම මුළු ලොවටම සාප කරමි. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත -1986 ජුලි 19

1986 ජුලි 19 එක දිගටම මරණ, බෝම්බ මරණ, සමූල ඝාතන. මෙ මරණ ගැන පැහැදිලිවම පෙනෙන එක් සත්‍යයක් නම් තියෙනව. මැරෙන හැම එකෙක්ම දුප්පතෙක් වීම එම සත්‍යයයි. දෙමළ ධනපතීන් මැරෙන්නෙත් නැහැ. සිංහල ධනපතීන් මැරෙන්නෙත් නැහැ. ඇන කොටා ගන්නේ මරා ගන්නේ දුප්පතුන්මයි. ලෝකෙ කොහෙත් එහෙමයි. අද අපේ මිනිස්සුත් එදිනෙදා ජීවන ප‍්‍රශ්න කතා කරන්නේ නැහැ. හාල්, රතුළූනු, මිරිස් මිනිස්සුන්ට එපා වෙලා වගේ. හැම එකාම කතා කරන්නේ බෝම්බ ගැන. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 18

1986 ජුලි 18 හෙමින්වෙ මිය ගියේ වසර 25 කට පෙර අද වැනි දිනෙකය. එය අද පුවත්පතක පළ වී තිබිණ. ඔහු කියුබාවෙ වාසය කළ කාලයේ දී කස්ත්‍රෝට කී කතාවක් කොහේදෝ පුවත්පතක හෝ සගරාවක පළ වූ බව මට මතකය. ඔහු කීවෙ අද විප්ලවවාදීන් අවශ්‍ය යුගයක් බවය. ඇත්තෙන්ම එදාටත් වඩා අද විප්ලවවාදීන් අවශ්‍යයැයි මට සිතේ. එදාටත් වඩා අද දුප්පතුන් පීඩිතයන් පෑගීමට ලක්ව ඇති කාලයකි. ලෝකයේ බොහෝ රටවල තත්වය එයයි. පීඩිතයන්ගේ නැගී සිටීම වලක්වාලීම සඳහා මර්ධනය අද එදාටත් වඩා රුදුරුය. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-1986 ජුලි 17

1986 ජුලි 17 පෝය ළග විය යුතුය. අඩ සඳ පායා ඇත්තේ එනිසාය. සඳ වටා තරු කීපයක් ද ඇත. එහෙත් සඳ තරු පෑයූ රාත‍්‍රියේ කිසිම සුන්දරත්වයක් නැත. කවි සිතුවිලි පහළ වන්නේ ද නැත. සඳ තරු ගැන කවි ලියූ යුගය ගෙවී ගොස් බොහෝ කල් යැයි මට සිතේ. මෙබඳු රාත‍්‍රීන් හිදී දැන් නෙත ගැටෙන්නේ මහා බියකරු දර්ශනයන්ය. අපගේම දැරියන් අපගේම සහෝදරියන් සල්ලාල ධනපතීනට ගොදුරුවන්නේ මෙබඳු රාත‍්‍රියන්හි දීය. ඊයේ රාත‍්‍රියේද මෙලෙසම අඩ සඳ පායා තිබිණ. සඳ වටා තරු කීපයක් ද තිබුණ බව මට මතකය. මෙ සියල්ලක්ම මා දුටුවෙ අවන්හලින් එළියට බසින මොහොතේදීය. සුරා විතක් තොල ගෑමෙ අරුත විකාර දේවල් දැකීම නොවෙ. ඇතැම් විට සැබෑම සත්‍යය දකින්නේ එබඳු අවස්ථාවල දීය. මා වෙත පැමිණි දැරියක් කිසිවක් ඉල්ලා සිටියාය. ඇයට අවුරුදු දොළහකට දහතුනකට වඩා වයස නැතැයි සිතේ. මගේ සාක්කු ද හිස් ය. ඇය කිසිවක් නොදොඩා ඉවතට ගියාය. අසල නවතා තිබූ මෝටර් රියක් වෙත ගිය ඇය එතුළ සිටියවුන්ගෙන් පිනට යමක් ඉල්ලන අයුරු මම දුටුවෙමි. මිනිත්තු කීපයක් යන තුරුම ඇය එතැන සිටියාය. "..............අනේ මහත්තය....... මම එහෙම එකෙක් නොවෙයි. මට කීයක් හරි දෙන්න. පිං සිද්ද වෙයි......." ඇය බැගෑපත් වන අයු...

සත්‍යවාදියකුගෙ දිනපොත -1986 ජුලි 15

1986 ජුලි 15 බොහෝ කලක සිට මගේ මිත‍්‍රයකු වන කුලරත්න අත් අඩංගුවට ගත් බව අද දහවල් ආරංචි විය. ඔහු කළ වරද ජූලි වර්ජනය සමරා පෝස්ටර් ගැසීමය. ගිය වසරෙත් මෙ කාලයේ දී ඔහු සිටියේ සිරකූඩුවෙය. වර්ජනයෙන් පාරට බැස්සවුන් පෝස්ටර් ගහන්නේ නැතිනම් පෝස්ටර් ගැසිය යුත්තේ උන්ව පාරට දැම්ම එවුන් ද ? මට නම් මෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිත්තයි. කුලේගේ බිරිඳට දුව උපන්නේ ඔහු ගිය වසරෙ හිරෙ සිටිය දීයි. ඔහු බලන්න ගියවිට කී කතාව මට දැනුත් ඇහෙනව වගෙ. "මම දුවට දාපු නම උඹ දන්නව ද... සානා මෙදානි. සානා මෙදානි කියන්නෙ කවුද දන්නව ද ? උඹට මතකද ඊශ‍්‍රායල භටයින් පුරෝගෙන ගිය ලොරියට බෝම්බ පුරවාගත්ත කාර් එකක් හප්පපු පලස්තීන කෙල්ල. භටයොත් කුඩු. කෙල්ලට ගරු කරන්න තමයි මගෙ දුවට ඒ නම දැම්මෙ." දිනපොත තුළින් කුලරත්න සහෝදරයාගෙ හිනාව පිරුණු මුහුණ මට පෙනව. මං ඌව ඉඹ ගත්ත. සත්‍යවාදියකුගෙ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 14 බස් එකේ අද මහ කලබලයක්. ඡන්දයක් ඔනැ දැන්ම ඡන්ද තියන්න බැහැ. බසයේ සිටි අය සියල්ලම වාගේ දෙකට බෙදිලා. මුන්ට පිස්සු ද මන්ද. උන් හදන්නේ ඡන්දෙන් විප්ලව කරන්න. චිලියේ අයියන්ඩෙ දිනුවට පසු ඩෙබ්රෙ ලියූ පොත මට මතක් වෙනව. ඡන්දයෙන් විප්ලව කරන්න පුළුවන් බව අයියන්ඩෙ ඔප්පු කළ බව එදා ඩෙබ්රෙ කීව. ඒත් අයියන්ඩෙත් රටෙ වාමාංශිකයින් දහස් ගණනකුත් ජුන්ටාකාරයින් අතින් මැරුම් කෑ පසු ඩෙබ්රෙ තමන් ලියූ පොතම පුච්චලා දැම්මා. කවදාවත් පරම සත්‍යයක් අසත්‍ය කරන්න බැහැ. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 13 රුසියාවෙ දෙ‍්‍රාහියකු ලෙස පිලිගනු ලැබූ බෝරිස් පැස්ටර්නාක් වාසය කළ නිවස කෙෘතුකාගාරයක් ලෙස ආරක්ෂා කළයුතු යැයි එරට සාහිත්‍ය සම්මන්ත‍්‍රණයක දී යෝජනාවක් ඉදිරිපත් වූ බව පුවත්පතක පළවී තිබිණ. කිසි දිනක රුසියාවෙ ප‍්‍රකාෂයට පත් නොකළ ඔහුගේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාව රුසියන් බසින් පළ කළ යුතු බව ද එහි දී කියැවී තිබිණි. මෙම යෝජනා ඉදිරිපත් කොට තිබුණේ කොමියුනිස්ට් සාහිත්‍යකරුවන්ගේ සංකේතය ලෙස රුසියාවෙ පිළගනු ලබන යෙව්ටුෂෙන්කෝ විසින් බව දුටු මම පුදුමයට පත් වීමි. කොතරම් ශ්‍රේෂ්ඨ මිනිසුන් ද ? නන්දා මාලනී ගැන කතා කරන්නට අද කිසිවෙකුත් නැහැ. මොනම අසාධාරණයකට වත් විරුදධව කතා කරන මිනිසුන් අද නැහැ. හැම මිනිසෙකුම නිහඩ වෙලා. එසේ නැතිනම් නිහඩ වෙයව් කියන අණට කීකරු වෙලා. මහ කාලකන්නි යුගයක්. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 12 තාත්තා මිය ගොස් අදට වසර 21 කි. හාමුදුරුවන්ට දානයක් දීමට අම්මා තුළ ආශාවක් තිබුණත් හැම දෙයකටම හරස්වන ආර්ථිකය එයට ද හරස් විය. හිගන මිනිසුනට කෑම පාර්සල් කීපයක් බෙදා දීමට තීරණය කළේ ඒ නිසාය. ඒවා බෙදා දීමට වෙලාවක් ලැබුනේ නැත. නගරය මැද කෑම පාර්සල් අතුරුදහන් වූවා සේය. රටෙ වැඩිදෙනා හිගන්නන් වී ඇත. තාත්තා ගැන මට දුකක් නැත. ඔහු සුන්දරත්වය විඳ මිය ගිය මිනිසෙකි. එහෙත් අද සෑම දෙයක්ම අසුන්දර වී ඇත. ඔහු ලියූ දේ අද ලිවිය යුතු නැත. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 11 ජීවිතය බෙහෙවින් ඛෙදජනකය. මෙබඳු කලක ජීවත් වීමට සිදුවීමත් ජීවන අරගලයට මුහුණ දීමට ඇති අපහසුතාවයත් එයට ප‍්‍රධානම හේතුන් යැයි මට සිතේ. ජීවිතය මොහොතින් මොහොත පරවෙමින් ගිලිහී යන දෙයක් මිස යළි යළිත් දලු ලමින් ලෝකයට එක්වන දෙයක් නොවන බව සත්‍යයකි. එනමුදු මිනිසකු මිය යන තෙක් ජීවත් විය යුතුය. ඒ සඳහා මෙ දිනපොත මට අනුබලයක් වනු ඇත. බොහෝ කලකට පසු යළිත් දිනපොත ලිවීමට සිත් වූයේ එනිසාය. රුපියල් සත රජකරන යුගයක රුපියල් සත නැති එවුන් අපායක ජීවත් විය යුතුය. සිහිනෙන් දුටු සුන්දර පුෂ්පයක් මෙන් මනස විකසිත කොට ගෙන මිරිගුවක් පසු පස දිව යන පාදඩයකු වීමට මා සූදානම් නැත. මා දකින අසන සහ සිතන සත්‍යය තුළ ජීවත් වීමට මෙ දිනපොත මට පිටුවහලක් වනු ඇත. එය මම අත්දැකීමෙන්ම දනිමි. මා පිළිගන්නා සත්‍යය මෙහි ලියන්නට කිසිවෙකුගෙන් හෝ අවසර ඇවැසි නැත. කිසිවෙකුටත් බිය විය යුතු නැත. සත්‍යය සමග ජීවත්වෙන්නා සැබැවින්ම ජීවත් වන බව මම පිළිගනිමි. යුද්ධයේ මහා විනාශයට මුහුණ දෙමින් මරණයේ බියකරු හඩ හදවතට කොදුරද්දී ඈන් ෆ‍්‍රෑන්ක් දැරිය ලියූ දිනපොත මෙන් මගේ මෙ දිනපොත අනාගතයේදී මහා ශ්‍රේෂ්ඨත්වයෙන් ෆ‍්‍රාන්ස් කෆ්කා ලියූ දිනපොත මෙන් මෙය කිසි...