Saturday, October 24, 2015

යට කඩේ උඩ ගෙදර - පියන්කාරගේ බන්දුල ජයවීර

බන්දුලගේ කවි පොත මට ලැබිල දැන් ගොඩක් දවස්. එකින් එක කියවන් එක දිගට යන්න පුළුවන් නිර්මාන සංග්‍රහයක් තමයි බන්දුලගෙ පොත. අනෙක් පොත් කීපයේ තිබූ තේමා වගේම යට කඩේ උඩ ගෙදර තේමාවත් නියමයි. හැබැයි මොකද්ද අර උත්කෘෂ්ඨ කවි සොයන අය නම් මේ කවි පොත ඇසින් නොදකින එකමයි හොඳ. මොකද ඒ අයගේ සනීප ජීවිතේට අදාළ අනුරාගික-ස්වේතාලිප්ත-ක්ලිටෝරිස්මික කාව්‍යමය මෙව්වා එක මේ කවිවලින් නොලැබෙන නිසාය.

මාක්ස් ජීවමානයි

පහත මාලයේ
නිතර ම පාහේ
සෙනඟින් සපිරුණ
කෝවිල වාගේ
සල්ලිම වැටෙනා!
වෙළඳ සැලයි!

ඉහළ මාලයේ
තෘප්තිමත්
බිරිඳකගෙ කට හඩ
දරුවන්ගෙ සිනාහඩ
පියානෝවක්
වැයෙන මුදු හඩ
සවන් පිනවන,

විදුලි මිණි පහනින්
අලංකෘත
පසන් නිවසයි!

එක එක කවියාගෙ තේමා සහ ශෛලි එකිනෙකින් වෙනස්. එක කවියෙකුගෙ නිර්මාන අරභයා කරනු ලබන විග්‍රහයක් තවත් අනෙක් කවියෙකුගේ නිර්මානවලට ද  අදාළ දැයි ඇසීම එතරම් සුදුසු නොවේ.  එහෙම විශ්වීය නීති රීති ඇතැයි සිතන්නෝද මැට්ටෝයැයි විදග්ධ භාෂාවෙන් පැවැසිය හැකිය. අපට සමහර නිර්මාන ඇගයීමට අලුත් නිර්ණායක උපදවා ගන්නට සිදු වේ. අර ඉහලින් කීවා සේ ක්ලිටෝරිස්මික බව යනුවෙන් ම හඳුන්වා ඇත්තේ සමහර අලුත් කවිවලට අනන්‍ය ලක්ෂණයකි. නැත්නම් විදග්ධ අයුරින් සම්පිණ්ඩනය කළ හොත් 'රෝග ලක්ෂණයකි'. දැනට එය පර්යේෂණාගාරවල බීකර ඇතුලේ රෝපණය කරමින් එහි ගඳ සුවඳ නිර්ණය කරමින් පවතින නිසා, වැඩි විස්තරයක් මේ ලියන අවස්ථාවේ ප්‍රකාශ වී නැති හෙයින්, මග හැර යන්නට සිදු වේ.

ගොනෝ

දරා සිරස අං තට්ටුව
උජාරුවට හිඳ!
තප්පුලමින් පැනගෙන විත්
අපට අනින්නට
සැරසෙන නුඹ ගොන් තඩියෝ
මොහොතක් සිතුවෙ ද?
සිරස මතට අං
තට්ටුව ආවේ කොහොම ද?
කිරෙන් ඇරුණ ළපටි නුඹට
තණකොළ කැවු අපි
පිදුරු පුන්නක්කු සපයා
සතුටු වුණෙත් අපි!!
අංදළු හිස මත මතුවෙනු මුලින් ම දුටු අපි!!!
යසයි ගොනෝ එහෙව් අපට මෙහෙම වෙලත් මදි

සමහර මුහුණු පොතේ පෙකෙනිවැල කපාගෙන ඉපදුන නිර්මානකරුවන්/කාරියන්ගෙ කේන්දර ගොඩක් බලන්නට මට එහි නිහඩව සිට කළ හැකි විය. සමහරෙක් කැමරාවක් අතැතිව ඉපදුනාහුය. ඉන් පසු ට්‍රම්පට් පිඹින්නට විය- ලංකට් ඉඹින්නට විය. සමූහ ගායනා ය. ඊළඟට සර්පිනා ද කී බෝඩ් ද ඊටත් පසුව ටයිප්රයිටරවලට ද තඩි බාන්නට විය. මින් විශාල සාහිත්‍යයක් දෛනිකව නිපදවේ. ඒවා කෙටියෙන් ක්ලිටෝරිස්මිකය. ඒ ක්ලිටෝරිස්මික ආනුභාවෙන්ම බේදයකින් තොරව තම හිස් මත අං ද මෝදු වෙයි. අර කවියෙන් කියැවෙන්නා සේම මේ ගොන් තඩීන් විටමින් ලෙස ගිලින්නේ ද වටේ ඉන්නවුන් කපා දෙන තණ කොළමය.

කවියේ ගොනා නම් එන්නේ අපට අනින්ටය. මුහුණු පොතේ ගොන් තඩියන් එන්නේ අනින්ට නොව අන්න ගන්ටය. අන්න ගන්ට ආරාදනාව පාන්නේ බිත්ති මත කක්කහිල අතුරා පැහැරීමෙනි. මේ පැහැරීම් කවියැයි බීකර පරීක්ෂාවකින් හඳුනාගත හැකි අය ඇත. දැනටමත් එවැනි පර්යේෂණ ප්‍රමිති රහස් ඇත්තෝ කැමරා ආම්පන්න අතැතිව වැඩට බැස ඇත. තණ කොළ ගිල්ලමින් ෆ්‍රීෂියන් දෙනුන් කුසපුරවා තඩි ගොම තැඹි තම බිත්ති මත එවුන් ලව්වා හෙලාගැනීම දැන් තරගයකි.




දැන් මේක බේර ගන්න කවුරුවත් මැද්දට පැන ඩෙගා නැටීමේ ඇවැසිතාවක් ඇත්තේ නැත. ඒවා විය යුතු පරිද්දෙන් සිදු වෙමින් පවතිනා බැව් පමණක් වටහාගෙන නොවැටහුනා සේ සිටීම ප්‍රමාණවත්ය.

තැන නොතැන නොබල අනිමින් දුව පනින අංතට්ටුකාරියන්ට බොහෝ විට අවශ්‍ය වන්නේ මළවුන් සමග කතා කළ හැකි රහස අනාවරණය කරන යකැදුරෙකුගේ පිහිට විනා ජීවත් වන අයගේ ඇසුර නොවේ.

බන්දුල කවදාවත් මුහුණු පොතේ කවි ලියන්නට තටමා නැත. ඒ නිසාත් ඌට ආදරේ හිතේ.







ලේඛිකා

මුළුතැන්ගෙයි
මස්-මාළු
පලා එළවළු
සුද්ධ කරන
ලියන කපන
පොල් මිරිකන
හාල් ගරන
ළිපේ තබන
හද ගින්නෙන්
ළිප දල්වන
හැඳි ගාමින්
ජීවිතයේ
ලුණු ඇඹුල්
මිරිස් පදමට
ඇද්ද බලන

ගැඹුරු තෙලේ
බැදෙන දිවිය
පදමට
ගින්දර අඩුකර
බාගෙන
මේසෙට තබන
බමන ගතින්
නිති හැසිරෙන
පුරුෂයෙකුට
කට ගැස්මව
කරබාගෙන
ඉවසීම ම
ප්‍රගුණ කරන
රෙදි සෝදන
රෙදි වේළන
හෝද හෝද
මඩේ දමන
ගෙට අවුදින්
සැවොම නිඳන
රෑ මැදියම
අවදි ව හිඳ
ගෙවුණ නියැති
කැපුණ ඇඟිලි
තුඩගින් ගත්
පන්හිඳගින්
පත් ඉරු මත
ලියන මකන
කපන කොටන

ජීවිතයේ සිරකරගත්
වාං දොරටු
ඉවසිල්ලේ
හැර දමා
සැහැල්ලු වෙන!

මොට්ටු
(ලක්ශාන්තට ආදරයෙනි)

හිතග්ගිස්සේ
නැතක් මොට්ටු
මල් නොව ඒ
මිසෙක මොට්ටු

උඩ දමමින්
එවන් මොට්ටු
නොවන් වදන්
සමග ඔට්ටු

ගසක එතත්
නැතක් මොට්ටු
මල් නොම වේ
එහැම මොට්ටු

විකසිත කර
ගනුව මොට්ටු
නොම සිටිමුව
කටේ පිට්ටු

වදන්වලින්
නොදා වෙට්ටු
යන මග
හදවතට කිට්ටු

බදාගන්ට
ගියොත් මොට්ටු
මහත් කවිය
වේවි කෙට්ටු

සර්ප බිත්තර සහ මොට්ටු!

මකරන්ද කමලකරයේ
සර්පයෙක් බිත්තර දමා
සර්ප පැටවුන් ඉපැදුණා
කවි - කුකවි
හයිකු කවි
නොකවි - ප්‍රතිකවි!
සර්ප පැටවුන්
දිගින් වැඩි වී
සිව් පද ද දිග
නිසදැස් ද මහ
ආඛ්‍යාන ද නැඟී ඒ!

මොට්ටු මල් වී
මල් යාය වෙයි
දහසකුත් මල් පිපී ඒ
ඒ නමුත්,
ලොලිටා ආචරණයේ
ලෝල සිත් ඇති
සර්පයා!

මගේ හිත නම්
මොට්ටුවලටයි!
පෙනේ විදහා -අහිංසක ලෙස
පැවසුවා!



Saturday, October 17, 2015

යන්නං චන්දරේ-ටිම්රාන් කීර්ති

ටිම්රාන් කීර්ති විසින් පළ කරන ලද සිය දෙවැනි නිර්මාන සංග්‍රහය වන යන්නං චන්දරේ රස විඳුමට ලැබුණි. 

ටිම්රාන් කවි ලියා ඇත. ඒ ගැන සතුටු විය හැකිය.

එපා වන තරමට, ඇසේ වැදී - ඇඟේ වැදී - පුකේ වැදී යන කවි මුහුණු පොතේ දෛනිකව පාචනය වන බැවින්,  කවිත්-ඒවා ලියන එවුනුත්-සාහිත්තෙත් සමස්තයක් ලෙස එපා වී චොර වී ඉද්දී මේ පොත අතට ලැබීම සැනසුමකි.

කඩතොලු

තට්ටු පිට තට්ටු ඇති

කතාවක විස්තරය
කෙට්ටු කාමර දෙකෙත්
හැම තැනම පත්තරය
ජීවිතේ ඔතෑනිව
ඇදෙන ඉබි ගමනකය
කටුව මත බොඳ ව යන
නොරිස්සුම් ගුලු කුඩුය

සදා වේදනා දෙන
නාට්ටාමී කොන්ද
කවද දිග හරින්නද
බිම තියල පොත් කන්ද
උට්ඨාන වීරියෙන් සිටියි
පොත් රාක්කේ
බිත්තියට තද කරන්
වාරු නැති පිට කොන්ද

මල් පිපුණ සපු සුවඳ
කල් පැනපු තන පට ද
සැහැල්ලුවේ ඩෙනිම් බර
දරාගත් බඳ පටි ද

කනින් කොන එල්ලගෙන
හැඟුම්බර ඇඳුම් වැට
රකී කඩමලු දහම
නොතක කකුලක අඩුව

ප්‍රේම සංචාරෙකදි
වීදියේ කඩ පිළෙන්
ආදරය හෙට්ටු කර
ගණන් බස්සල ගත්ත
ප්‍රේම් එක පළුදු වුණ
ඉසුරුමුණි පෙම් යුවළ
දැකුළුමල් යාය මැද
බැලූ අත බලාගෙන...

ඔතාගෙන රෑ රෙද්ද
සොයන විට දී නින්ද
මිතුරු මෝසම් වැස්ස
හිටි අඩියෙ ඇවිල්ලා
නොකිය එන නෑ ගමන!

අතු වහලෙ සිදුරකින්
ලණු ඇඳේ නෙත්තියට
බිඳෙන් බිඳ වක්කරයි
හැඟුම් දිය සීරාව

හිරිකඩින් මිදෙන්නට
අතරමැදි පොරෝනය
උදව් ඉල්ලන විටෙක
අහක බැලුමට තරම්
උණු නොවන හිත් වේද?

අසෙනි ඝෝසා මැද්දේ
විදුලි එළි උණුහුමට
මකුළු දැල් පොරෝනය
ඉරුණෙ නැත්නම් පුදුම!!

මෙතෙක් රැකි ගොළු මන්ත්‍ර
බිඳෙන මෝසම් වැස්සෙ
ඉසුරුමුණි පෙම් යුවළ
මකයි කඩතොලු පරණ


 ඒ මගේ සඳයි...

ඇතත් නැතත් ළඟ තනි තරුවක්
වක ගැහුණු දාට
ඉරි ගසා බෙදන්න ද කාට කාට
සඳ එන්න ඉතින් අහසට
අරඹන්න පයුරුපාසානම

අහසටම බැන්ද ඉණමග සේ
බෝ උසයි පල්ලියේ කොන්තේ
ඇමිණිලා පැළෙයි උඹෙ හර්දේ
වංගුවක් දමාපන් මිතුරේ

හේඩෑව අස්සෙ ලැග්ගා සේ
රුප්පාව උඩට නැග්ගා සේ
නෑ කියා හිතනවද මිහිරක්
ඉස්ලාම් නගරයත් කවියක්

ඇවිළිච්ච දවස අකුළන්න
මිහිරි මතක අවුළන්න
එපා දොළේ කිමිදෙන්න
තැළවිල්ල අතැර පැන එන්න

රාමලාන් දවසට වෙස් බැඳගන්ඩ
අඩ සඳ පළුව තනි තරුවට ඈදන්ඩ
හඳේ රහස් ඉඳහිටවත් පාදන්ඩ
කුලී ගෙදර මුදුනට හඳ පායන්ඩ

පෙමක මුනිවර මුහුණ

"මොනවද ඔයැයිලට
ගේන්නේ කෑමට?"
අසයි වේටර් කොලූ
නැඹුරුව අපේ මේසෙට

"මං කහටෙකක් බොන්නං
ගෙදර ගිය ඉඩවරේ
බත් කටක් කෑහැකිනෙ
උඹයි කෙල්ලයි දෙන්න
මොනව හරි කාහල්ල
මඳි වෙන්නෙ නෑ පුතේ
මාරු තියෙනවද හැඹිලියේ..."

යාබදව අසුන් ගත්
තුරුණු පෙම්වත් යුවළ
ඉසියුම්ම දෙනෙත් හී මානමින්
බිඳෙන් බිඳ තොල ගායී
කූල් කෝලා දෙකක්!

යටි හිතෙන් හිනා වෙනවැති අපට
ජීවිතේ විසල් බර දැනේයෑ
ළපටි ආදරයකට...

"ඉස්පිරිතාලෙ ඉඳලම
මටත් පිරියක් නෑ ඒයි
බඩ හෝදලත් දවසනෙ
ඔයා පව්! උදේටත් කාල නැතුවැති
ඉතිං කන්නකො අනේ
මං ළඟත් කීයක් ද තිබුණා"

සෙල් පිළිමයක් මෙන්
නොරිස්සුම් බැලුම් ලයි
කැහැටු වේටර් කොලූ...

"ගේන්නකෝ ප්ලේන්ටී තුනක්!"
කෙඳිරුවෙමි වේටර්ට
ඉඟිලුනා ඔහු සැණින්...

ඉකි හඩක් ගිලගන්න
සිහින් සුසුමක් බිඳුණි යාබදින්

දයාවේ මුදු බැලුම් අප වටා දවටමින්
තුරුණු පෙම්වත් යුවළ මිදෙනු බැරි
තැවුලකින්
අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන
තමන්ගේ ලෝකයේ පැළ කරන
ළපටි පෙම්වන්තයිනි මනු තැවුල් ඉව කරන
මා හදේ රාමුවිණ පෙමක මුනිවර මුහුණ


ගිනි ගත් රැයක්

ජීවිතේ අමු කට්ටක්
බැරිම තැන හොයාගෙන ජොබ් කට්ටක්
එල්-එස්-ඕ වුණා කමලක්කත්
ගාමන්ට් එකේ රහස් කසුකුසු
"සිකුරුටි එකට ඇවිදින්
මරු කලට්ටක්!"

පරණ 'මධුරස' පත්තර
ඔපිස් බෑගයෙ සුරකින
ප්‍රාණවත් වෙන දවස එනකල්
තැපෑලෙන් බේත් බොන
ඉන්චාජ් සමයවර්ධන
එකපයින් වැඩට ගත්තේ
තලඑළලු කමලක්කව....

එදා ෆැක්ටරියේ රෑ වැඩ දවසක්
එකසීරු වැහි මැද්දේ
මුර කුටියෙ දූපතක්
බේත් මත ඉහට ගහලා
රහස් නිදි පොළක හිටියේ
සමයවර්ධනත්

යාංතං නොතෙමිච්ච
බංකු පොඩියේ කොනක
ගෑවිගෑවී ඉද්දි
ඇයමයි වචන දම්වැල ඇමිණුවෙත්

නෙක ලතාවන් අතරමං වන
ගහක් නැති මංතලාවක් මත
වැලකි ඇය දරු බරද උහුලන
තුරක් වූ හිමි මලේ මෑතක

ඊට පසු ගල් වළක මෝලක
එහෙම නැත්නම් රබර් වත්තක
කීවා යටගිය දවසෙ විස්තර
පැළුණ අතැඟිලි මවෙත දික්කර

ඇගෙ දෑත මගෙ දෑත සමවිණ
රළු තැනින් ආදරේ ඉපදිණ
ඇගෙ මුවද මොහොතකට ගොළු විණ
වචන හිඟ වී කොපුල් රතුවිණ

ඇගෙ දෙතොල් මත දෙතොල තබමින්
උරා බිව්වෙමි ඇගේ දුක්ගිනි
දුකේ ගිනි කාරමේ රස්නෙට
ඇයත් එක්කම මාත් ඇවිළිණි...

"නිදි වදින්නද පඩි ගෙවන්නේ!!"

සමයවර්ධනගේ හඩ අකුණක්ව පිපිරුණා
ගිනි පුළිඟු ඇස් දෙකේ පිරිමිකම ඉස්සුණා
උන්න තැන් අමතකව මගෙ පපුව ගැස්සුණා
කමලක්ක තනපටත් හදං සන්සුන් වුණා

ආයෙමත් ඇගෙ මුහුණ බලන්නට බැරිවුණා
පාන්දර බස් එකට කමලක්ක ගොඩවුණා...