Tuesday, December 27, 2011

මැකොන්ඩෝ සාහිත්‍යය

Saturday, November 26, 2011

සොඳුර

සොඳුර
අපට මීටත් වඩා
හුදකලා විය හැකිය

හිස නො උස්සා
ඇස පහර නො ඉවසා
පියවර තැලෙන තැන ඇස ඔබා
පිය මැන යා හැකිය බෝ දුර

පාළු කාමරයක
සුපිරිසිදු ශීතල ගෙබිම මත
පත බා උඩුබැලියෙන් වැතිර
හිස් සිවිලිම වෙත
සිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුර

සොඳුර
අපට මීටත් වඩා
හුදකලා විය හැකිය...

26-11-2011

Friday, November 25, 2011

Friday, November 18, 2011

Wednesday, November 9, 2011

Saturday, November 5, 2011

Wednesday, October 19, 2011

නූතනවාදයේ සතුරෝ

Wednesday, October 5, 2011

දල්ලක් නැගෙයි

දැල්ලක් ලෙසින්
දල්ලක් නැගෙයි

ලැව් ගින්නක වුව ද
මල් කැකුළක්
ඉතිරි විය
හැකියි

නිසි
කල ට
පීදී

රිසි
ඵල
පුදනු ඇත

එක මලක් වුව
එය
කඩදාසි මලක්
නොවේ නම්...

Tuesday, October 4, 2011

ආලෝකයට වඩා වේගවත් අඳුර...

නිමිත්ත: ආලෝකයේ වේගය ඉක්ම වූ නියුට්‍රිනෝ අංශු

අඳුර කොතරම් වේගෙකින්
ඒ ද අප වෙත?
කවුරුවත් ගණන් හැදුව ද
ඝණ අන්ධකාර උමං නල තුළ?

රාත්‍රියටත් පෙර
හිරු නිවෙන්නටත් පෙර අහස කෙළවර
අඳුර එන හැටි ජීවිතය ඇතුළට
කිසිවෙකුත් ගණන් බැලුව ද?

වළාකුළකට වැසෙන්නට පෙර
හිරු කෙඳිති සීරා වැටෙන්නට පෙර
අඳුරු සේයා පතිත වන යුර
කවුරුන් හෝ දෑසින් දුටුවෙද?

නියුට්‍රිනෝ අංශුවකටත් වඩා වේගෙන්
අඳුර පතිත වෙයි කොළඹ අහසින්

04/10/2011

Wednesday, September 21, 2011

ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන

ගුත්තිල අතුරු කාව්‍යය

තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද
තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද
වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත
පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ

අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත
පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට
මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට
විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට

පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී
අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී
කොටුව තනා තනි රකිනා සකි සඳුනී
පිටුව පිටුව අහිමිව යන පොතක් වැනී

තරග කුමට සොහොයුර පැරදුම මාගේ
මතක කවි රැගෙන, යන්නෙමි බරබාගේ
අකුරු පෙළහරට මතු හිරිහැර කාගේ
ඔබට සිටිය හැකි කව් සිළුමිණ වාගේ

වාසල පුරෝහිත අසලම තටු සළන
ඈතට ඉගිල යන්නට රූපක සොයන
සීතල දෙ අත පිරිමදිමින් කවි ලියන
සෝයුර මෙ පුර නුඹට ය, නුඹට ම පමණ.


මංජුල වෙඩිවර්ධන
20 සැප්තැම්බර්, 2011

Tuesday, September 20, 2011

අකුරේ ගෙල සිඳේ...

නුවර උස් තුංග තුරු හිස
අතු පතර රැඳුන බකුසු තෙම
හුම් කියාවත් නොනගයි සිය හඩ

පොත පත උලා කා
සද් විසද් දෙසුම් පා
තීරු වැකි හෑලි පසිඳා
වානෙ පන්නර ලැබුව බකුසා!

සතුරු උවදුර හිතට ගිනි බිඳ
රැය පහන් වේදෝ නොදැන ලෙස තිර
දෑස් දල්වන් බොල් අහස වෙත
හුම් කියාවත් නොනගයි සිය හඩ

දුරක දැල්වෙන මියෙන පහනක
දැල්ල කැරකෙයි සුළඟ බඳ වට
පන්හිඳක වෙත මෑනෙයි පතුරම
හුම් කියාවත් නොනගයි සිය හඩ

අකුරේ ගෙල සිඳේ
අකුරු එල්ලා මැරේ
අකුරු ගිනි දැල්වෙතේ
අකුරු පා දඩු කදේ

නෑ සියන් කැති උදලු ගෑවෙත
ලේ පෙරන් දන වැටී තැන තැන
දෙපා මුල පණ රුහිරු ගලත ද
හුම් කියාවත් නොනගයි සිය හඩ

මේ ඒ ලේ ද
ඒ මේ ලේ ද
කාගේ ලේ ද
මගේ ලේ නොම වේ ද
එනමුදු
හුම් කියාවත් නොනගයි සිය හඩ!

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ...

Tuesday, September 13, 2011

මනෝසීල-හෂිත අබේවර්ධන

'මනෝසීල' මුසා ඇසෙන
විදුලකරේ දොරින් මෙපිට
'රජ රන්' දැක දැක සැනසෙති
ගිනි කණ වැද නුවරුන් කැළ

කොළඹ පාර දිගේ ගලයි
රිය පෙරහර නොලස වෙසින
බාල තෙල් බුදින අස් පෙළ
හති හල හල මග හිට හිට

උඩ ගිණිකෙළි වට සැණකෙළි
පලස් අතුරුවා මහ මඟ
ලාබ කොට බෙදේ දර්මය
පසල් දනව් යට කර කර

නගර ගුත්තිකට හිමිකර
නගර දොරටු හිවි පහ පෙළ
අංගනියේ අංගාණිය
යුහුව තැනෙන බව නොම දැන

තුරු පෙළ තැන තැන බැබළුන
පෙලා නා රුකින් සසොබන
ශෘංගාරය උතුරා යන
සල් පිල් පෙළ නැඟේ රුවට

හෂිත අබේවර්ධන
12-09-2011

Friday, September 9, 2011

මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීම

ප්‍රිය සහෘදය,

මුහුණු පොතේ කවි එකතුවක් "පොතක්" ලෙස කලඑළි දැක්වීමට අපි තීරණය කර ඇති බැව් ඔබ සැම වෙත ඉමහත් සතුටින් දන්වා සිටිමු.

මේ සඳහා කවි තෝරා ගැනීමට කවි ලියන අයට තමන්ගෙ නිර්මාන පෝස්ට් කිරීම සඳහා මුහුණු පොතේ "සත්කාර" නමින් ගෘප් එකක් නිමවා ඇත.

එම ගෘප් එකේ පළකරන ඔබගේ නිර්මාන සඳහා එහි ඇඩ්මින්වරු විසින් ප්‍රකාශ කරනු ලබන චන්දවලින් බහුතරයක් ලබන කවි එම උක්ත කවිපොතට ඇතුලත් කර ගන්නට ක්‍රමවේදයක් සකසා ඇති බැවින් ඔබට දැනෙන තමන්ගේ ප්‍රශස්ත නිර්මාන එහි පෝස්ට් කිරීමෙන් ඒ සඳහා සහභාගි විය හැකිය.

මේ කවි පොත සඳහා ඔබ සියල්ලන්ගේම එකදු කවියක් හෝ අන්තර්ගත කරන්නට උත්සහ කිරීම අපගේ බලාපොරොත්තුව බැවින් ඊට සහභාගි වන ලෙස මුහුණු පොතේ කවි නිර්මානයේ යෙදෙන සැමට කෙරෙන කාරුණික ආරාධනය යි මේ...

මෙම කාව්‍ය සංග්‍රහය ලබන ඔක්තෝබරයේ පළ කරන්නට බලාපොරොත්තු වන බැවින් ඔබ සියල්ලන්ගේ සහභාගිත්වය කඩිනමින් අපේක්ෂා කෙරේ.

මෙම දැන්වීම සහෘදයන් අතරේ ප්‍රචාරය කිරීම අගය කරමු.

09/09/2011

Friday, September 2, 2011

Tuesday, August 30, 2011

"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"

තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හෙයින් ඒ දෙකම එකට ගෙන සටහනක් ලියන්නට සිතුවෙමි.

විමුක්තිය පිළිබඳ සදාකාලික සිහිනයෙන් උජ්වලිත වන මේ නිර්මානකරුවන් අපට කියන්නේ කුමක් ද?

මේ කවි දෙකම මරණය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති අයුරු පැහැදිලිව පෙනේ. තුෂාරි "මැරුණු පැතුමක්" ගැන කියද්දී සුභද්‍රා "මියෙන්නෝ භාග්‍යවන්තයෝයැ" යි කියන්නීය. මේ නිර්මාන දෙකම අතීතකාමයෙන් උපන් චිත්ත රූප සහ වස්තු එහා මෙහා කරමින් සිහිනමය ආකෘතියෙන් වැඩ අරගෙන ඇත. දෙකේම පොදු ලක්ෂණය වන්නේ මරණය පිළිබඳ ගෙනෙන අපූරු උත්කර්ෂය යි.‍

කවිය මතුපිටින් නොකියැවෙන දේ කුමක්දැයි සොයා යමු.

නිර්මානයකට අවිඥානිකව ඇතුලත් වූ මේ මරණයේ සංකේතීය ප්‍රකාශණය යනුම මරණ හඹා යාමේ පෙළඹුම ලෙස වෙනත් ලෙසකට කියවා ගැනුමට ඇවැසි කෙනෙකුට නිදහස ඇත. නමුත් මරණ හඹා යාම යනු ග්‍රාම්‍යාර්ථයෙන් මරණය කරා එළඹීම පිළිබඳ ෆැන්ටසික ඛණ්ඩාංක නිමවා ගැනීමක් නොවේ. ඩෙත් ඩ්‍රයිව් යනුම ජීවිතය (අන්ඩෙඩ්) අමරණීය තත්වයක පවත්වා ගැනීමට අවිඥානිකව එළඹීමයි. මෙය පැහැදිලි කරගැනීමට ෆ්‍රොයිඩියානු සංකල්පයක් වන ආංශික වස්තු (partial object) වෙත ගමන් කිරීමට සිදු වේ.



ආංශික වස්තු යනු මොනවා ද?

අපි ස්ලාවෝ ජිජැක් ගේ ද පර්වර්ට්ස් ගයිඩ් ටු සිනමා (The Pervert's Guide to Cinema)නම් වූ වීඩියෝ පටයේ එන ඔහුගේ අදහස් දැක්වීමකට යමු.

The fascinating thing about partial objects,
in the sense of organs without bodies,

is that they embody
what Freud called "death drive".

Here, we have to be very careful.
Death drive is not kind of a Buddhist
striving for annihilation.

"I want to find eternal peace. I want..."
No. Death drive is almost the opposite.

Death drive is the dimension of what
in the Stephen King-like horror fiction

is called the dimension of the undead,
of living dead,

of something which remains alive
even after it is dead.

And it's, in a way, immortal in its deadness itself.

It goes on, insists. You cannot destroy it.

The more you cut it,
the more it insists, it goes on.

This dimension,
of a kind of diabolical undeadness,

is what partial objects are about.

Slavoj Zizek-Pevert's Guide to Cinema

"ආංශික වස්තුවල ඇති විශේෂත්වය නම් ඒවා ශරීර විරහිත අවයව වී ඩෙත් ඩ්‍රයිව් Death Drive (මරණය හඹා යෑම) තුළ ඇසිරී තිබීමයි. මෙතැන දී අප ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. මරණය හඹා යාම යනු අතිශය පරිශ්‍රමයකින් කෙලෙස් මූලෝත්පාටනය කරන බෞද්ධ විදිය නොවෙයි.

මට මගේ අභ්‍යන්තර විමුක්තිය සොයා ගන්න ඕන-මට විමුක්තිය සොයාගන්න ඕන...
නැහැ. ඩෙත් ඩ්‍රයිව් යනු එහි සමස්ත විලෝමයයි. ප්‍රතිවිරුද්ධාර්ථය යි.

ඩෙත් ඩ්‍රයිව් යනු ස්ටෙෆන් කිං ආකාරයේ හොල්මන් ප්‍රබන්ධයක හැඳින්වෙන ආකාරයේ අන්ඩෙඩ් (මිය නොගිය) මානයයි නැතහොත් ජීවත් වන මළකඳ යි එනම් යමක් මියගිය පසුවද ජීවයෙන් පැවතීමයි. එනම් එය එක්තරා අයුරකින් මෘත කලේබරයක අමරණීයත්වය යි. එය සදාකාලිකව පවතිනවා. ඔබට එය විනාශ කළ නොහැකියි. ඔබ එය කපන්න කපන්න විනාශ කරන්න කරන්න එය වඩාත් තහවුරු වෙනවා. ස්ථිරත්වය ට පත්වෙනවා.

මෙම මානය එක්තරා පාපිෂ්ඨ ආකාරයක නොමළ තත්වයක් පවත්වා ගැනීමට ආංශික වස්තු යන ව්‍යවහාරය භාවිතා වෙනවා."

අපට ආංශික වස්තුවක් ලෙස බුදු පි‍ළිමය හඳුනා ගත හැකිය. එය සංකේතීයව අප වෙනුවෙන් භාවනාවේ යෙදී ජීවිතයේ විමුක්තිය පිළිබඳ අභ්‍යාසයේ නිමග්න බැවින් අපට ඕනැ තරම් අපරාධ කරමින් ලෞකික ජීවිතය ගත කළ හැකිය. ඒ මන්ද යත් අප වෙනුවෙන් ඒ පිළිම සංකේතීයව සදාකාලිකව විමුක්තිය සොයමින් තැංතැංවල භාවනානුයෝගීව සිටීමයි. අපට කළ හැකිව ඇත්තේ හෝ කිරීමට ඉතිරිව ඇත්තේ මාසයකට වරක් හෝ අවම වශයෙන් රිචුවල් ආකාරයෙන් පූජාකර්මයක් ලෙස පන්සලකට හෝ බුද්ධ ප්‍රතිමාවකට මල් පහන් හඳුන්කූරු පිදීම පමණි. ඉතිරි කොටස එනම් අපගේ විමුක්තිය වෙනුවෙන්- අපගේ අභ්‍යන්තර විමුක්තිය පිළිබඳ ඇති ක්ෂුද්‍ර ආශාවේ වස්තුව වෙනුවෙන් එම ප්‍රතිමාව විසින්- මරණය හඹා යාමේ මානයක අපට නොපෙනෙන අවිශය වන ඉසව්වක ශ්‍රමයක් වගුරා ඉටු කර දෙනු ඇතැයි යන අවිඥානික විශ්වාසයෙන් අප තෘප්තිමත් වෙමු. අපගේ අභ්‍යන්තර විමුක්තිය පිළිබඳ ඇති ආශාව හෝ තණ්හාවේ බෞද්ධ තත්‍ය ස්වරූපයට පටහැණි මෙම ආශාව ද්‍රව්‍යමය ස්වරූපයක් අත්කර ගන්නේ බුද්ධ ප්‍රතිමාව ලෙසය. එනම් බුද්ධ ප්‍රතිමාව යනු සංකේතීය ලෙස අමරණීයත්වයට පත් මරණයකි.

Perhaps the ultimate bodily part

which fits this role
of the autonomous partial object

is the fist, or rather, the hand.

-ස්ලාවො ජිජැක්

අප දෑත් එකතු කර වැඳීමෙන් දෙහොත් මුදුන් තබා වැඳීමෙන් කරනු ලබන්නේ මෙම ආංශික වස්තුවල ඒකාග්‍රතාවයක් ඉටු කිරීමයි. බුද්ධ ප්‍රතිමාවක දෑත් ද තව දුරටත් ආංශික වස්තුවල දිගු ලෙස ක්‍රියාකරන බැවින් ඒවායේ අනුයුක්ත විවිධ සංකේතීය ප්‍රකාශන ද වේ. ඒවා මුද්‍රා ලෙස අපි හඳුනා ගන්නෙමු. මේ දෑත් වලින් නිමැවුනු අභිනය යනුම ජිජැක් පවසන ආකාරයේ ආංශික වස්තුවල සංකේතීය කූටප්‍රාප්තියයි.

අතක් ඉහලට ආනතව ඔසොවා බලය පිළිබඳ සංකේතීය ව්‍යාපෘතිය සමාජයට මුදා හළ හිට්ලර් මෙන්ම අහිංසාවාදී මුද්‍රාවෙන් සමාජය වෙත විමුක්තියේ සංකේතය සංනිවේදනය කරන බුද්ධ ප්‍රතිමාව ද ආංශික වස්තු ලෙස අපගේ විමුක්තිය පිළිබඳ කිසිදා සංකේතීයව අත් නොවන ආශාවේ වස්තුව සඟවා ගෙන සිටියි.

"There is only one object of desire, OBJET PETIT A, and this is represented by a variety of partial objects in different partial drives. The OBJET PETIT A is not the object towards which desire tends, but the cause of desire. Desire is not a relation to an object, but a relation to a LACK."

"මේ ආශාවේ වස්තුව යනු ඒකීය පැවැත්මක් වන ආශාවේ ක්ෂුද්‍ර වස්තුවයි. මෙය විවිධාකාර වූ ආංශික වස්තු ලෙස ආංශික පෙළඹවීම් ඔස්සේ සංකේතීයව ප්‍රකාශ වේ. ආශාවේ ක්ෂුද්‍ර වස්තුව යනු ආශාවේ නැඹුරුතාවය දිශානතිය පෙන්වන දෛශිකයක් නොවේ. එය හුදෙක් ආශාවේ හේතුවම ය. ආශාව යනු වස්තුවකට ඇති සම්බන්ධයක් නොවේ. එය කිසියම් අඩුවක් හා බැඳී ඇති දෙයක් පමණි. "

පිටුව 38-An Introductory Dictionary of Lacanian Psychoanalysi

අපගේ ආශාවෝ සියල්ලම කෘත්‍රිම වෙති. අපි නැවතත් පර්වර්ටස් ගයිඩ් ටු සිනමා (The Pervert's Guide to Cinema) ආරම්භක දසුන් පෙළ වෙත යමු.

There is nothing spontaneous,
nothing natural, about human desires.

Our desires are artificial.

We have to be taught to desire.

Cinema is the ultimate pervert art.

It doesn't give you what you desire,
it tells you how to desire.

THE PERVERT'S
GUIDE TO CINEMA

"මනුෂ්‍ය ආශාව පිළිබඳ කිසිවක් ස්වයංජාත නැත-ස්වභාවික නැත. අපගේ ආශාවන් කෘත්‍රිම ය. අප ආශා කළ යුත්තේ කෙසේදැයි අපට ම ඉගැන්විය යුතුය. සිනමාව යනු අවසන් විපරිවර්තිත කලාව යි. එය ඔබ ආශා කරන දෙය නොදෙයි. එය ඔබට ආශා කළ යුත්තේ කෙසේදැයි කියයි. "

දැන් කිව යුත්තේ කවිය යනු ඔබගේ ආශාව නොවෙයි. එය ඔබගේ ආශා වස්තුව දෙනු වෙනුවට කවිය ඔබට ආශා කළ යුත්තේ කෙසේදැයි කියා දෙයි යනුවෙනි.

ඕලන්ද අහස

බිමට බර වුණු වළාකුළු මුහුණු
හඬන්නට ළං ව දෑල ඉවුරු වසා ගෙන
පරවුණු කුමුදු මල් පෙති-දෙපෙති අහුලා
සේපාලිකා පලස වියයි තිත්තාඳුරට ම
සුවඳ, ළය මත්තෙන් ඇද ඉහිරවා ගෙන

ඇහැරුණු අලුයම දෝතින් විදා ගෙන
සයුරු තෙර වැතිරෙන්නෙ
ඕලන්ද නිල් අහස කිරි ඉද්දමල් ඉහින

ක්ෂිතිජය වුවත් රවටන්නට ඇහැකි
රළ බිඳෙන තැන එ තැන ම නම්
විසල් පොළොවකට පවා ඉඳ හිට
ඉරු එළිය අඳුර ගෙන එනු නැති ද
හස රළ ලිහා හිත බිඳුණු තැන පිරිමැද
මන්ඳ අඳුරක දිලෙනු නැති ද

වකුටු වුණු අතැඟිළි අතර
තීන්ත අහවර පන්හිඳ රුවා ගෙන
වැරදුණු අකුරින් අකුර අමුණා
කඳුළකට මඟ කියන අතරමඟ නතර වුණු
කතා නොකරන කණස්සලු වීථියෙන්
යළි යළිදු මඟ අසන
අකීකරු ඒදණ්ඩක ඉස්මත්තට
හිතුවක්කාර වැහි සිත්තම් තව කුමට

මේ ඕලන්ද අහස යට
කැකෑරෙන හදවත පුරුද්දන
කිසිවෙකුත් නැති නිම්තෙරකි
අපමණ නෑයන් එහා මෙහා ගිය
පාලම වුව ද කැඩී බිඳී ගොස් ය

රළ වෙරළ සිප ගන්නේම නැත
නිල් අහස අමනාප වෙද්දැයි
සිත බිය ගන්නවා මිස
සිළිලාර හඬ නඟන්නේ ද නැත
රහසින් ඉකිබිඳිනු ඇසෙනු මිස
ලවනත සැඟවුණු ලවණ මුසු වුණු
මන්දස්මිතයක්වත් දකින්නට නැත

ඉතිං මේ දුරක් නෑගම් ආවාට
නෑයෙක් කියා කියන්නට කිසිවෙක්
හමු වුණු එකම උදෑසනක්වත් නැත
මනස්කාන්ත සැඳෑවෝ ය
කිළිටි උවනත වසා ගෙන
අහක දමන ආකහේ බදා ගෙන

අමනාප වුණු අමාවකත් පාරවන
රළු තිතකි
ඒ එකම තිත මත ම අභිමුඛව
දුනු හේවායෙකුට පුළුවනි ද
දඩයම හැර දුවන්නට
තෙතබරිත නෙතු සඟල ඉහද්දර රිදුණු
පිනි පොකුරු ඔය තරම් හඬන්නම ඕනි ද
අත්තල මත්තේ ම පා පතුල් දුක විඳින්නේ මන්ද
මැකී යනුයේ ඉතිං මැසිවිලි ද වැලපිලි ද

බලන්න හිස ඔසවා උස් ව
අහසකටත් හීන් කටහඬක් ඇත
සවන් පෙති ඉහත්තේ ඉකිබිඳින

පපු කුහර බිඳ දැම්ම හී පහර සැර නැද්ද
මඳ පවන ඇදෙන කොට හුස්ම තැවරුණෙ නැද්ද
පින්න අතගාන කොට කඳුළු දුටුවෙම නැද්ද
ඕලන්ද අහස යට මැරුණු පැතුමක් නැද්ද

-අහ්ක්ලම් [08.08.11]
තුෂාරි ප්‍රියංගිකා


ෆැන්ටසියේ පරික්‍රමණය
Traversing of fantasy

"... Bearing in mind that our capacity to desire involves the paradoxical structure of the forced choice (of the empty symbolic gesture of an offer to be rejected; of the gap between the explicit symbolic texture which guarantees the choice and the phan-tasmic obscene supplement which precludes it - that is, of the gap which separates the public symbolic space in which the subject dwells from the phantasmic kernel of his/her being), one can appreciate the radical character of'traversing the fantasy': by means of this traversing, the gap is closed, the structure of the forced choice is suspended, the closure of being is fully accepted, the hysterical game of'I offer you X (the opportunity to leave our community), on condition that you reject it', which structures our belonging to a community, is over. Once we move beyond desire -that is to say, beyond the fantasy which sustains desire - we enter the strange domain of drive the domain of the closed circular palpitation which finds satisfaction in endlessly repeating the same failed gesture.

Page 40- Slavoj Zizek: The Plague of Fantasies

"යම්කිසිවෙකුට ෆැන්ටසියේ පරික්‍රමණය පිළිබඳ රැඩිකල් ස්වභාවය ඇගයීමට - අපගේ ආශාවන් තෘප්ත කර ගැනීමේ ධාරිතාවය බලහත්කාරයට පමුණුවන ලද කැමැත්තේ පැරඩොක්සීය හෙවත් විරුද්ධාභාෂී ව්‍යූහය සමග බැඳේ.

මෙම පරික්‍රමණයේ ආනුභාවයෙන් හිදැස වැසී -බලහත්කාරී කැමැත්තේ ව්‍යූහය අවලම්බිත වන අතර පැවැත්මේ සංවෘත තත්වය සම්පූර්ණයෙන් ම පිළිගැනෙන අතර හිස්ටෙරික ක්‍රීඩාවේ මම ඔබ වෙත එක්ස් නම් වූ දෙය ප්‍රදානය කරමි (ඔබට අපගේ සමාජ වෘතය හැර යාමේ අවකාශය නිදහස් කර) නමුත් එය ඔබ විසින් ප්‍රතික්ෂේප කළ යුත්තේ එමගින් අපගේ සමාජ වෘතයට අප පමණක් අයිති බැව් සාක්ෂාත් වීම අවසන් වන බැවිනි. අප අපගේ ආශාවන් ගෙන් ඔබ්බට චලනය වන විට එනම් ෆැන්ටසිය එනම් ආශාවේ පැවැත්මෙන් ඔබ්බට යද්දී අප ඇතුළු වන්නේ ඩ්‍රයිව් වල (එළඹුම් හෝ පෙළඹවීම් වල ) අරුම පුදුම විමානයට ය. එනම් එක දිගටම චක්‍රීය ලෙස එල්ල හිස් බැල්මකින් තෘප්ත වන්නට සිදුවන සංවෘත අවකාශයට ය." (Translator's note: විදේශයක ජීවත් වීම ම මෙවැනි තත්වයක් විඳීම ය.)

එනම් වඩාත් පැහැදිලිව කියන්නේ නම් අපට ආගන්තුක සමාජයක් තුළ හෝ පිටස්තරයකු ලෙස එහි ඇතුළු වී ජීවත්වීමට හැකියාව උපදින්නේ ම ඔවුන් විසින් අපව එම සමාජයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීමට කරනු ලබන ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙනි. මේ අනුව ඔවුහු වඩාත් ප්‍රගිතිශීලි ලෙසින් අපට ඔවුන්ගේ සමාජයේ කොටස්කරුවන් වන්නට ආරාධනා කළ ද එය හුදෙක් සංකේතීය ආරාධනයක් පමණි. එය ඔබ ප්‍රතික්ෂේප කළහොත් පමණි ඔබට එහි රැඳී සිටිය හැක්කේ. අනෙක් ආකාරයෙන් ඔවුනට ඔබව ඔවුනගේ සමාජයෙන් පිටමං කළ හැකි අතර එය අමානුෂිකත්වයක් වන බැවින් ඔවුහු වඩාත් මානුෂික ලෙස ඔබව සමාජයෙන් පිටමං කරන්නේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නට මං පෑදීමෙනි. මේ අනුව මෙම ආරාධනා ප්‍රතික්ෂේප කිරීම ම යනුම ආශාවේ අතෘප්තිය පවත්වා ගෙන යාමේ උපක්‍රමයකි. මෙම ආශාව එක්තරා ආකාරයකින් ඕලන්ද අහස ලෙස හෝ මරණයේ ධාවකයේ ආංශික වස්තු ලෙස හෝ නිර්මානයක ගැබ් ගනී. එය ඉන්පසු හඹා යන්නා වූ විමුක්තියක ක්ෂුද්‍ර වස්තුවක් බවට පත් වී අප වෙනුවෙන් විමුක්තිය සොයන කවියක් බවට පත් වී අමරණීයත්වයට පත්වේ. ලංකාවේ විමුක්ති අරගලයේ කොටස්කරුවන් වෙනත් සමාජ තුළ කොටු වී සිය විමුක්ති අරගලය පිළිබඳ ගොඩනැංවෙන නිර්මාන තුළ සැඟවුනු මරණයේ මානය කොතරම් අවිඥානික වුව ද එය පොළෝ ගැබ පලා එන ලෝ දිය දහරක් සේ නිතින් සිය මනස තුළ බුබුළුලමින් ඇති බැව් මේ නිර්මාන අපට රහසේ කොඳුරයි....

"This closure of drive, of course, is not to be confused with the domain of pre-symbolic animal bodily instincts; crucial here is the basic and constitutive discord between drive and body: drive as eternal-undead' disrupts the instinctual rhythm of the body. For that reason, drive as such is death drive: it stands for an unconditional impetus which disregards the proper needs of the living body and simply battens on it It is as if some part of the body, an organ, is sublimated, torn out of its bodily context, elevated to the dignity of the Thing and thus caught in an infinitely repetitive cycle, endlessly circulating around the void of its structuring impossibility. It is as if we are not fit to fit our bodies: drive demands another, 'undead' body. The Unputrefied Heart', a poem by the Slovene Romantic poet France Preseren, perfectly expresses the partial object of drive which is libido: years after a poet's death, his body is excavated for some legal reason; all parts of his corpse are long decayed, except the heart, which remains full of red blood and continues to palpitate in a mad rhythm - this undead organ which fellows its path irrespective of the physical death stands for the blind insistence; it is drive itself, located beyond the cycle of generation and corruption. One is tempted to subtitle this poem 'Preleren with Stephen King': is not such an undead partial organ one of the archetypal motifs of horror stories? Does it not index the point at which sublime poetry overlaps with repulsive horror?

Page 42- Slavoj Zizek: The Plague of Fantasies

සිහිනය

සිහින කාලකණ්ණිය
බිය ගන්වන සුලු ය
හැමදාම අඳුර තුළ
උපරි විඥාණයට තැනක් නැත

රාස්සි‍ගෙ අව්ව ට
පත් සෙමින් සෙලැවෙන
රබර් වත්තට ගොඩ වෙමි
මේ අපේ ඉඩම් යැයි උදම් ඇනූ
ආච්චි ගෙ වැඩවසම් ආදරය
නුරුස්සන හැඟීමක් ඇති කරයි

රබර් ඇට වසාගත්
චන්ඩ කෝෂය බිදිමි
එකින් එක ගණන් කර
පන් මල්ල පුරවමි
ඊට පසු ඉහිරෙන්න ඉඩ හරිමි

බඳ රිඳන විට ගසා පිහි පහර
හැඬූයෙන් සැදි ඔට්ටපාලුය
රබර් ගඳ ඉවසමින්
ප්‍රත්‍යස්තතාවයට හිස නමමි
වැඩවසම් අයිතිය කෙලවරේ
පුවක් ගස් තනි පයින් වැඩමවයි

කරුංකා රන් බවට හරවමින්
ආච්චී දුන් කණක පළඳනා
නො පළඳින මට කුමට
රබර් මුල් කාල මංජුසාවකි
මිටි මෙළ වූ අත ලිහා නිදන් ලමි

ආදෙරන් වැළඳ ගෙන මුදුන් මුල්
ගස වැටෙන්නට නොදී ඇය නිදයි

යථා වාරී වහා පූරං
පරිපූරෙන්තු සාගරං
සාගරය වන් හැඬුම් මතකය
බෝරිච්චි හැට්ටයට රැළි වැඩිය

විශ්වයක සුමධුර ම ස්වර රැගත්
ධ්වනිය නින්නාද දී මට ඇසෙයි
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උප කප්පතී

ආච්චී ආදෙරන් අත වනයි
ඇගේ උණුහුම ලඟින්
මගෙ දිගට පළල ට
යහන සදමින් වරෙන් යැයි කියයි

මියෙන්නෝ භාග්‍යවන්තෙයෝ ය
මක්නිසා ද, නො විඳවීම ඔවුන්ගේය

සුභද්‍රා ජයසුන්දර
අගෝස්තු 2011

අවසානයේ අජිත් සී හේරත් විසින් 1994 දී හිරු පුවත්පතේ නිම්තෙරට රචිත පහත දැක්වෙන කවිය මම රතු බූන්දියෙන් උපුටා ගනිමි.

මරණයට පත් වූ මිත්තණියත් ඇගේ කතන්දර සිය සුපිරි අහමේ මිය ගිය සංකේතීය අණක් බවට පරිවර්තිතව අජිත් සී හේරත් මීට වසර දහ හතකට පෙර අකුරු කළ මේ කව ඉහත වත්මන් තතු යටතේ ලියැවෙන මරණයේ ධාවකයේ ආංශික වස්තු හා ප්‍රතිසම වීම මෙන්ම තීවෘර බව නොකිව මනාය.

වික්ෂිප්ත සංක්ෂිප්තය

තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.

මග දිගේ වපුළ මළ කඳන්
ගණන් කරමින් ඇවිද
ආපසු බෝඩිමට පැමිණි විට
සොල්දෙරෙන් බැස ආ
අඟුටු මිටි මිනිස් රූ
බෝල කූඩුවේ එල්ලී මැරී තිබිණි.

අවසාන බෙහෙත් පෙත්තද ගිල දමා
නිදාගන්නට හදන විට
හැමදාම වසන්නට අමතක වන ජනේලෙන්
කොහෙදි හෝ දැක පුරුදු කවුරුදෝ
හිස පුරා ලේ තැවැරි වෙළුම් පටි ඔතාගෙන
අද රෑත් හෙමින් එබිකම් කරයි.

හඳ එළිය විසුළ බඩවැටි අතර
ගී ගයන සිනාසෙන දුව පනින
ළමා අවතාර හා පියාඹන්නට සිතමි.
එහෙත් උන් එක්වරම මා අතැර
මහ හඬින් හඬාගෙන
වල් වැදුණ සොහොන් කොත් අතර සැඟවෙයි.

පාන්දර අවදි වී වේලාව බලන විට
බිත්ති ඔර්ලෝසුවේ තැනූ
ගේ කුරුළු කූඩුවේ මිනී ඔළු
ආහාර අයැද මුව විවර කර
කුරුළු හඬකින් කෑගසයි.

හොඳ මිනිසුන් නොමියන
අවසනදී හැම දෙනා සතුටින්
බොහෝ කල් වෙසෙන
එකමත් එක රටක් ගැන
එකම එක කථාවක් අසා ගන්නට
ආත්තම්මා එන තෙක්
සියවස් පහක පරාජය හිස දරාගෙන
මිහින්තලේ පහළම ගල් පඩියේ
වාඩි වී බලා සිටියෙමි.

එහෙත්
විසි වසක් පමා වී පැමිණි
විදුලි පුවතකට අනුව
දැන් ආත්තම්මාද මිය ගොස්ය.

-නිම්තෙර [හිරු- 1994 දෙසැම්බර් 25]
අජිත් සී හේරත්

නැවතත් ස්ලාවො ජිජැක් දක්වන අදහසකින් මේ ලිපිය සමාප්ත කරමි.

And the lesson is clear.

The only way for me
to get rid of this autonomous partial object

is to become this object.

-from The Pervert's Guide to Cinema

"දැන් අපට පාඩම පැහැදිලිය. මට අනුව (ස්ලාවො ජිජැක්ට) මේ ස්වතාන්ත්‍රික ආංශික වස්තුවෙන් මිදීමේ එකම මග නම් එම වස්තුව බවටම පත්වීමයි." -ස්ලාවො ජිජැක්

මේ මොහොතේ දී, විදෙස්ගතව අනෙකාගේ විමුක්තිය පිළිබඳ සිරගත සිතුවිලි අකුරු කරන අයට කළ හැක්කේ මෙබඳු රහසිගත පණිවිඩ කවි තුළ ඔබා අප වෙත එවීම පමණි.

Friday, August 26, 2011

ගමන හැඩයි!!!

කල්පනා ගෙ "මේ නිහඩ වෙරළට එන්න" කවි පොතත් හිනිදුම සුනිල් සෙනෙවි ගෙ " 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් " කාව්‍ය විචාර කෘතියත් එළිදක්වන්නට සැප්තැම්බර් මස තුන්වෙනිදා හවස තුනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට මගේ සුභ පැතුම් එකතු කරමි.

එදින බූන්දියට ද තෙවර්ෂයක් පූර්ණ වේ.




විස්තරය මෙතැනින්

සූරියෑවේ හන්දිය සහ සුසා

සූරියෑවේ හන්දිය…


ඔහෙත් එනවැයි යන්න
වුල්ප් උන්නැහේ ගෙ උදවිය
ආයෙමත් ඇවිදින්
නඩු අහන සියඹලා ගහ යට
පිට්ටැන්නකුත් හදාගෙන
පන්දු කෙළියට

කුරක්කන් ගානට
ඉලක්කන් දාන පෝරුව යට
ආරච්චිගේ නෑ කට්ටිය
ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව

ඒ කාලේ වාගේ නෙවෙයි
කාට නං මතකක් ඇද්ද මීගහජඳුර
ඕං දැං සූරියෑවේ හන්දිය
සෙයිලම වාගේ ලොකුවට
රෑ මද්දහන වෙනකං
ලැයිට් පන්දං පත්තු කරගෙන

සිළිඳුට වැහුනු යක් දෝසය
ගිරිස් ඇඟ පුරා ලාගෙන
පිළිකණු ගානේ යනවලු
ගෑණු බය කර කර

2011-08-26
හෂිත අබේවර්ධන

හෂිතගේ මේ කවිය මට මීගහජඳුර මතක් කළා. මවුආර ව්‍යාපෘතියේ ගත වුණු සොඳුරු කාලය යලිත් මතකයට නැගුණා. "මවු ආර" ඔලුවට එන හැම වේලෙම මතක් වෙන අනිත් සංකේතය තමයි "ඒ ඩී එස්"!

ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මවුආර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ.

"ඒ ඩී එස් මහත්තයා" එහෙම නැත්නම් "වතුර මහත්තයා" දැක්කම දුරක සිටම අපි සේරම ගල්භීත වෙනවා. "ඒඩීඑස්" කියන්නේ යක්ෂයෙක් වගෙයි ඒ කාලෙ අපි හැමෝටම දැනුණේ. ඒ 1998 දී විතර...

ඒඩීඑස් මහත්මයා යක්ෂයෙක් වගේ අපට පෙණුනට එතුමා තරම් දක්ෂ- නීතිගරුක- අවංක රාජ්‍ය සේවකයෙක් ඊට පස්සේ අපට කවදාවත් මුණ ගැසුනෙ නෑ. වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ එතුමා ප්‍රසිද්ධ වෙලා හිටියෙ සත පහක් වංචා නොකරපු එකම නිලධාරියා හැටියට ඒ කාලෙත්...මේ සේරම "මීගහජඳුර" - "සූරියවැව" - "කිරිඉබ්බන් ආර" යන වචන ඔස්සේ හිතේ ඇවිලෙන මැවෙන දේවල්...

හෂිතගෙ මේ කවිය අතීත "ග්‍රීස් යකෙක්" වර්තමාන ග්‍රීස් යකෙක් දක්වා රැගෙන එනවා වගෙයි මට දැනෙන්නේ. සමාජය හරහා රගර් ක්‍රීඩයෙකු සේ මිනිසුන් පෙරලා ගෙන පැන දුවන මේ "ග්‍රීස් යක්කු" අපට බිය වන්නට යමක් සපයනවා විය හැකියි.

මංජුල වෙඩිවර්ධනගේ කවියකුත් ලැබුණා. ඒ කවියෙත් ඉන්නවා "යක්ෂයෙක්"...හැබැයි වෙනත් ආකාරෙක යක්ෂයෙක් ...ආදරය කරන්න හිතෙන ජාතියේ යක්ෂයෙක්.

සුසා

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් - තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා--------

ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ “එරන්වන් පතෙක“ තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඩ කවියක හඩක

කක්ෂපුට ජීවීතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් ඛෙදුව
“යක්ෂයා“ උඹ ය දෙවියන් පවා ගරු කෙරුව

ඈත ඇමතුම් ලැඛෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්‍රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා

මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැඛෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙනෙ අඩනතුරු
වේදනා උහුලගමු සුසා.................

පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා

මංජුල වෙඩිවර්ධන
අගෝස්තු 24, 2011

පොළව පලා ගෙන මතුවෙන යක්ෂයො පින්තූරය ගත්තෙ මෙතැනින්.

Wednesday, August 24, 2011

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

"මිලි ග්‍රෑම් දහසේ
ඩොලිප්‍රෑන් පෙත්ත"*
උගුරෙන් පහල ඇදී යද්දි
ආමාෂය වෙත

මට දැනුනා
මගේ බර තුන්කාලකින් අඩු වුණු බව!

දෙපා තැබූ සේ
සඳ මත
කවුළුවෙන් එපිට අහසෙ
යම්තමින් බැබළුනු...

පෙණ කැටි දහසක්
කාබන්ඩයොක්සයිඩ්
ගොර ගොර ගා උගුරට එද්දි

සඳ වත
මා කුස තුළ
දියව ගියා...

ඔන්ලයින් ආ කිසිවෙක්
සේලයින් දිගේ ආවෙ නැති
දිගු අන්ධකාර රාත්‍රියේ

සෙත් කවි මුමුණන්නට ආ
මැලේරියා මදුරුවාට
අත දිග හැර චප්ප වෙන්න
පහරක් දී ගත නොහැකිව

ඇඳ මත දපා සිටියෙමි
සඳ ගිලගත් රාහු සේ...

නිමිත්ත
* මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය.

ප.ලි.

1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබු‍ණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්වවිද්‍යාල සහෘදයකු වන අරවින්ද සේනාධීර සතු කර ගත් බැවින් මට ඒ සටහන් පොත අහිමි විය. ඔහු ඒ කොපි පොත සුරක්ෂිතව තබා ඇතැයි වරක් විදේශයක සිට ලංකාවට නිවාඩුවකට පැමිණි කල මා හට පැවසීය.

රූප සටහන උපුටා ගැනුම

Sunday, August 21, 2011

ආලෝකය මියෙන සහ උපදින තැන

ඇස
සෙමෙන් සෙමෙන්
විවර වුණා...
ඇසි පිල්ලම් චාප ලෙසින්
එක පෙලකට ඉනි සිටවූ
කටු කම්බි වැටක සිරියෙන්
සෙමෙන් සෙමෙන්
විවර වුණා....

ඇස මතුපිට සුදු ගෝලයේ
නිල් පාටින් ඇඳි වීදුරු
අවානෙන් දිලිසි විසිරුණු
ආලෝක කැබැලි කැබැලි
දියමන්තියක හැඩපළු
මතුකර තාලෙට කැරකී

තෙතට තෙතේ
නිල් දිය පිරි නොගැඹුරු විල
සියුම් කුනීතය දිස්නෙන්
ආලෝකය හැරී ගොසින්
ආත්මයට එබෙනු පිණිස
කවුළු පියන් පත් ඇරුණා

වීදුරු රේඛා මත්තෙන්
තැනුණු මකුළු දැලක හැඩෙන්
ඇසේ කුනීතය ට යටින්
දියර කාචයේ වක් බව
හෘද ස්පන්දන කම්පනයේ
රා අනුරා දෙනු දුටුවා...

සිහින් කෙඳිති ආලෝකය
දුර ඈතක අනන්තයෙන්
සමාන්තරව කිරණ දරණ්
උඩුයටිකුරු වෙමින් නිතින්
ඇසේ අඳුරු අගාධයේ
පතුල සොයා ඇදී ගියා...

ඇස
සෙමෙන් සෙමෙන්
වැසී ගියා...
අවසන් ආලෝක දහර
යන එන මං අවහිර වී
මනසේ ඝණ සාරය වූ
සෛල පටල පටක මැද්දේ
ඝණීභූත වුණා


ග්‍රැෆික උපුටා ගැනුම ට්‍රාන්ස්පෝටර් 3 සිනමා පටයෙනි.

Thursday, August 18, 2011

ගොතික් නවකතාව අගෝස්තු 21 ඉරිදා

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව-හෂිත අබේවර්ධන

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විනෝද සුරපුරයක් බව
සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විඳවන සුරපුරයක් බව
සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් එල්ලෙන සුරපුරයක් බව
සිහිනය සිහිනය සිහිනෙන් කියනුව සිහිනය බිඳුමට ඉඩ නොලැබෙන බව

හෂිත අබේවර්ධන
18/08/2011

What follows from these precise distinctions is that, for Lacan, superego "has nothing to do with moral conscience as far as its most obligatory demands are concerned" [2]: superego is, on the contrary, the anti-ethical agency, the stigmatization of our ethical betrayal. So which one of the other two is the proper ethical agency? Should we - as some American psychoanalysts proposed, relying on a couple of Freud's ambiguous formulations - set up the "good" (rational-moderate, caring) Ego-Ideal against the "bad" (irrational-excessive, cruel, anxiety-provoking) superego, trying to lead the patient to get rid of the "bad" superego and follow the "good" Ego-Ideal? Lacan opposes this easy way out - for him, the only proper agency is the fourth one missing in Freud's list of the three, the one sometimes referred to by Lacan as "the law of desire," the agency which tells you to act in conformity with your desire. The gap between this "law of desire" and Ego-Ideal (the network of social-symbolic norms and ideal that the subject internalizes in the course of his or her education) is crucial here. For Lacan, the seemingly benevolent agency of the Ego-Ideal which leads us to moral growth and maturity, forces us to betray the "law of desire" by way of adopting the "reasonable" demands of the existing socio-symbolic order. The superego, with its excessive feeling of guilt, is merely the necessary obverse of the Ego-Ideal: it exerts its unbearable pressure upon us on behalf of our betrayal of the "law of desire." The guilt we experience under the superego pressure is not illusory but actual - "the only thing of which one can be guilty is of having given ground relative to one's desire," [3] and the superego pressure demonstrates that we effectively are guilty of betraying our desire.

මේ කවියත් පසුව දැක්වෙන ඉංග්‍රීසියෙන් ලියැවුනු කොටසත් දෙකම මට ලැබුණේ හෂිත අබේවර්ධන ගෙනි. ඒ දෙක දෙයාකාරයකට ලැබුණ ද මම ඒ යුගල එකතු කොට මෙහි රැඳෙව්වෙමි. මේ දෙවන කොටසේ දැක්වෙන ලියැවිල්ල ලැකාන් කොම් වෙබ් අඩවියේ එම ලින්ක් එකෙන් දැක්වෙන ජිජැක්ගේ ලිපියයි.

Nothing forces anyone to enjoy except the superego. The superego is the imperative of jouissance - Enjoy! Slavoj Zizek

Friday, August 5, 2011

තානාපතිවරු සහ අන්ධ බිංදුව

තානාපතිවරු සහ අන්ධ බිංදුව
[සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම]


මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත.

"තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ The Ambassadors (1533) නමින් වූ ලෝ ප්‍රකට සිතුවමයි. අන්ධ බිංදුව නම් ඇසේ දෘශ්ටිවිතානය මත පිහිටි රූප සංඥා මොළයට සම්බන්ධ කරන ස්නායු රැහැන් ඇරඹුම් ලක්ෂ්‍යය යි. එතැන ඇති සුවිශේෂත්වය නම් එම කුඩා පෙදෙසෙන් ඇසට පෙනීම නමැති සංවේදනය ඇති නොකිරීමයි. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එම කුඩා පෙදෙස ඇස තුළ ඇති අන්ධ පෙදෙසක් වීමයි.

හෑන්ස් හෝල්බින්ගේ ලෝ ප්‍රකට තානාපතිවරු සිතුවමේ ඇති හිස් කබලේ විරූපිතය [ANAMORPHOSIS] සිතුවම දෙස සාමාන්‍ය ලෙස බැලූ විට නොපෙනී යන දෘශ්‍ය වස්තුවකි. අප සාමාන්‍ය යෙන් සිතුවමක් දෙස බලන්නේ එයට අභිලම්බකව ඇති දෘශ්‍ය රේඛාවක ඇස තබා බැව් අප ඉතා හොඳින් දන්නා කාරණයකි. එබඳු දෘශ්‍ය රේඛාවක් හරහා අපට මෙම සිතුවමේ ඇති විරූපිත හිස් කබල අප ප්‍රත්‍යක්ෂ කරගන්නා දැක්ම නමැති ක්‍රියාවලියේ අත්දැකීමක් ලෙස දැක ගැනීමට නොහැකිය. එම විරූපිත හිස් කබල දැක ගැනීමට අපගේ දෘශ්‍ය රේඛාව වෙනත් කෝණයකට විස්ථාපනය කරන්නට සිදු වන්නේ ය. මෙම අවස්ථාව සාමාන්‍ය දෘශ්‍ය රේඛාව අතික්‍රමණය කිරීමට කරනු ලබන නියෝගයකි. පෙළඹවීමකි. මින් අදහස් වන්නේ අපට ලෝකය දැකීමට ඇත්තේ එකම දෘශ්‍ය පථයක් නොවන බවයි. සමහර විට අප එදිනෙදා දකින බොහෝ දේ තුළ පවා විරූපිතයන් සැඟව තිබෙන්නට ඉඩ ඇත. අපගේ දෘශ්‍ය රේඛාවේ සාමාන්‍ය භාවිතය හේතුවෙන් එම සැඟවුනු දෘශ්‍ය වස්තූන් අපගේ දැක්මෙන් ගිලිහී යන්නට ද ඉඩ ඇතැයි යමෙකුට සිතෙන්නට ගත්තොත් එහි ඇති වරදක් ද නොමැත්තේ යැයි පැවසිය හැකිය.

අනෙක් අතට අපගේ ඇස තුළ පිහිටා ඇති අන්ධ බිංදුව අපට සාමාන්‍ය අවස්ථාවල දී ප්‍රත්‍යක්ෂ නොවේ. එය ද අපගේ ඇස විශේෂ අවස්ථාවකට දෘශ්‍ය රේඛාව පිහිටුවා බැලූ විට පමණක් එම අන්ධ බිංදුවේ ප්‍රායෝගික ඵලය අත්දකින්නට ලැබෙන්නේය. මේ ආකාරයෙන් බාහිරින් පවතින විරූපිතයක් යළි දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම අප ඇස තුළ ඇති විරූපිතයක් ලෙස දැක්විය හැකි අන්ධ බිංදුව දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය ද එකිනෙකට ප්‍රතිසම එමෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙකක සම්බන්ධයක් ඇති බැව් දැන් පෙනී යා යුතුය.

විරූපිතයක් දෙස අප බලන්නට සුවිශේෂි ලෙස දෘශ්‍ය රේඛාව හසුරුවා ගන්නට සිදුවනවා සේම අපගේ ඇස තුළ ඇති අන්ධ බිංදුව දැක ගැනීමට ද අපට අපගේ දෘශ්‍ය රේඛාව කිසියම් සුවිශේෂි ඉලක්කයක් කරා ගෙන යාමට සිදු වේ. මේ අවස්ථා දෙකේ දී ම අප අත්දකින්නේ අපගේ දෘශ්‍ය පථයේ පවතිද්දී ද අපට ගෝචර නොවී පවතින යමක් නැවත ගෝචර වන ආකාරයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියයි.

දැන් අපට මෙම ද්විත්ව දෘශ්‍ය ක්‍රියාකාරකමේ ඇති පරස්පර සබඳතාවය පැහැදිලි වුව ද පැණයක් ඉතිරි වේ. එනම් අපගේ ඇසේ නෛසර්ගිකව පිහිටා ඇති මෙම අන්ධ බිංදුව අපට සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාකාරිත්වය තුළ දී බාධාවක් නොවන්නේ මන්ද යන්නයි. ඊට ප්‍රධාන හේතුව අපගේ දෘශ්‍ය පද්ධතිය ද්විප්‍රකාර වූ දෘශ්‍ය සංඥා මොළයට ගෙන යන ආකාරයටත් ත්‍රිමාන ව්‍යූහයන් මනසේ ප්‍රතිනිර්මානය කර ගැන්මට උපකාරී වන ලෙසත් සකස් වී තිබීම නිසා එක ඇසකින් බාධාවන අන්ධ බිංදු කොටසේ දෘශ්‍ය ඡායා ඌණතාවය අනෙක් ඇසෙන් පිරිමසා එය සූචනය කර ගන්නට ඇවැසි දත්ත මොළය කරා නිරන්තරයෙන්ම යැවෙන බැවිනි. මේ හේතුවෙන් අපට එක ඇසක අන්ධ බිංදුවේ හිස් තැන අනෙක් ඇස විසින් අනුපූරක ලෙස පුරවා දමන බැවින් සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාවලියේ දී ඉන් බලපෑමක් ඇති වීම වැළකී ඇත. එනමුත් එක ඇසකින් පමණක් ලෝකය දකින අයෙකුට නිරන්තරයෙන් මෙම අන්ධ බිංදුවේ හිස් තැන අත්විඳින්නට වනු නොඅනුමානය. එනම් ඔහුට නිරතුරුවම තම දෘශ්ටි පරාසයේ කිසියම් තැනක් මග හැරෙනු ඇත. එනමුත් අපගේ ඇස් නිරන්තර චලිතයේ යෙදෙන බැවින් මෙම ස්ථානය ගතික විය හැකිය. එබඳු ගතික පරාසයක අංශුමාත්‍ර ගිලිහී යාමක් තනි ඇසක් විසින් මොළයට සංඥා කරවන්නට තරම් සූක්ෂම වීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම හිස් තැන ඌණනය වන්නේ මනසේ අවිඥානික කොටසට විය යුතුය. අප නොදකින දේ දකින්නට සමත් වන්නේ අපේ අවිඥානය පමණි.

අනෙක් අතට කැමරාවකට ඇස තබා ඡායාරූපයක් ගන්නා සෑම අවස්ථාවකම එම කැමරාව ක්‍රියාත්මක කරවන්නා නොදකින යමක් කැමරා පටලය තුළ සටහන් වේ. එය නිරීක්ෂකයාගේ දෘශ්ටි පරාසයේ අන්ධ බිංදුව වුව ද කැමරාවකට අන්ධ බිංදුවක් නොමැති හෙයින් එය සවිඥානිකව ගිලිහී ගිය ලපය ඡායාරූපයේ අවිඥානිකව සටහන් වීම කැමරාකරුගේ හෝ නිරීක්ෂකයාගේ සවිඥානයට ඔබ්බෙන් තම පැවැත්ම සටහන් කරගන්නා දෙයක් බවට පත්වේ. ඡායාරූප මිනිස් සවිඥානික දෘශ්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බේ වූ යමක් නිරතුරුව සටහන් කරන බැව් මින් ගම්‍ය වේ. එනමුත් මේ කුඩා ලපය බිංදුවක් ලෙස අප නාමකරණය කර ඇත්තේ ද එය නොසළකා හැරිය හැකි තරම් කුඩා පෙදෙසක් වීම වුව ද සත්‍ය වශයෙන්ම එය පරිමිත වර්ගඵලයක පවතින දේකි.

අපට දැන් නිරීක්ෂණය නම් වූ ක්‍රියාත්මක වීම ගැන වඩාත් ආදර්ශීය මොඩලයක් ඇත. අන්ධ බිංදුවක පැවැත්මෙන් පීඩාවට පත් වූ දෘශ්‍ය රේඛාව හැසිරවීමේ සමස්ත ක්‍රියාවලියට නිරීක්ෂණය යැයි නැවත නම් කළ හැකි නම් එම නිරීක්ෂණය විසින් අපගේ සංජානන අවකාශය විරූපනය කරත හැකිය යන්න මින් ගම්‍ය වේ. භාග්‍යයකට මෙන් මෙම විරූපණය විසින් අපගේ සවිඥානික අන්තර්ඥානයට සිදුවන බලපෑම මගහරවා ගන්නට අවිඥානික අනුපූරක ක්‍රියාදාමයක් අතරමැදි වේ. එනම් එක ඇසකින් මග හැරෙන දෙය අනෙක් ඇසෙන් වසා දැමීමයි. අපට ඇස් දෙකක් තිබීමේ අරුමය නිසාවෙන් නොවන්නට අන්ධ බිංදුව අපගේ දෘශ්‍ය විද්‍යාවේ ප්‍රමූලික රංගනයක් අත් කර ගන්නවා නිසැකය. කෙසේ වුවත් මෙම අනුපූරක ක්‍රියාදාමය දෘශ්‍ය සංජානනය පිළිබඳ ස්වාභාවික මවා පෑමක යාන්ත්‍රණයක් පමණි. අපට යමක් නිරතුරුවම දෘශ්‍ය පථයෙන් ගිලිහෙයි.

පැහැදිලි ලෙසම දෘශ්‍ය පරාසය තුළ අපගේ සංජානනය අත්කර ගත නොහැකි පරිපූර්ණත්වයක් ලෙස මෙලෙස පැහැදිලි කර ගත හැකිය. අපට කිසි විටෙකත් ඇස දකින පරිපූර්ණ චිත්‍රය මනසට ගොඩනගා ගත නොහැකිය. එහි හිදැසක් නෛසර්ගිකව පවතී. එම හිදැස පුරවා ගන්නට එදෙස බලන විට වෙනත් පෙදෙසකට එම හිදැස විතැන් වෙයි.

අපගේ සංජානන අවකාශය විරූපණය කළ හැකි ක්‍රියාවලියක එනම් නිරීක්ෂණයේ ඊටම අයත් ප්‍රතිලෝමය කුමක් විය හැකි ද? අප දේවල් දෙස බලද්දී ඒවා අප දෙස බලත් ද? නොඑසේ නම් ඒවා අපට ප්‍රතිචාර දක්වයි ද? එම ප්‍රතිචාරය අපගෙන් සඟව ගන්නා අන්ධ බිංදුව කුමක් විය හැකි ද? අප ආත්මීය ලෙස භාහිර ලෝකය නිර්වේෂණය කරන විට අපගෙන් ගිලිහෙන ආත්මීය පැල්ලම අපව වස්තුවක් ලෙස අප දෙස බලන වස්තුවක් විසින් ගිලිහෙනු ලබන එම දේම අපගේ ආත්මීයත්වයෙන් ගිලිහෙන දේ හා ප්‍රතිසම ද? කෙටියෙන් අපට ගිලිහෙන දේම අප දකින වස්තවේ දෘශ්ටි පථයෙන් අප දෙස බලද්දී ද ගිලිහෙන්නේ ද?

මේ ප්‍රශ්නාවලිය අපව කැඳවා යන පෙදෙස් නම් එක් අතකින් මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ ගොඩ නැගෙන බැල්ම [GAZE] නම් වූ සංකල්ප ක්ෂේත්‍රය සහ අනෙක් අතට මනෝ විශ්ලේෂණයට පරිබාහිරින් පවතින පදාර්ථයේ ප්‍රමූලික න්‍යාය වන ක්වොන්ටම් යාන්ත්‍රිකයේ නිරීක්ෂණය යන සංකල්පනයන් වෙතය.

එක්තරා විග්‍රහයක දී ඇසේ අන්ධ බිංදුව වනාහි දැක්ම සංවිධානය කරනු ලබන මධ්‍ය කේන්ද්‍රයයි. අන්ධ බිංදුව ජීව විද්‍යාත්මකව ඇසේ සියළු සංඥා මොළය කරා ගෙන යන ස්නායු රැහැනේ ආරම්භක ලක්ෂ්‍යය යි. එම සන්ධිය දෘශ්ටිවිතානය මත නොවන්නට කිසිදු දෘශ්‍ය සංඥාවක් මොළය කරා යාමනය නොවන්නේය. ඒ ආකාරයෙන් ගත් විට අන්ධ බිංදුව අපගේ දෘශ්ටි සංඥා සංවිධානය කොට සංවේදනය පරිපූර්ණ කිරීමේ අත්‍යාවශ්‍ය සේවාවේ පැවැත්ම තහවුරු කරන ස්ථානයයි. එනම් එම අන්ධභාවය තුළ සියලු දෘශ්‍ය සංඥා සංවිධානය වේ.

දැක්ම සංවිධානය වන ආකාරය ගැන මෙහි වැදගත් ලක්ෂණයක් ගම්‍ය වේ. එනම් එය කිසියම් හිස්තැනක් වටා ඒකරාශී වන බවයි. මෙය ජීව විද්‍යාත්මක ආරම්භක ලක්ෂ්‍ය යේ ස්වභාවය වුව ද මෙය පරිභාහිර ලෝකය අන්තර්ඥානය කරවන විට අදාල වන්නේ දැයි යන්න පැටලිලිසහගත ය.

මෙම පැටලිල්ල ලිහා ගැන්මට දෘශ්‍ය අවකාශයේ පවතින මෙම නොපෙනෙන පෙදෙස හෝ සැමවිටම දැක්මෙන් ගිලිහෙන මේ පැල්ලම තුළට තවත් ගැඹුරට කිමිදෙමු.  මෙම ඇසට අවිශය වන හෝ සවිඥානිකව මග හැරෙන ලපය හෝ දෘශ්‍ය අන්ධ වස්තුව කුමක් ද? එය දැක්ම සංවිධානය කරන්නේ කෙසේ ද?

ලැකාන්ට අනුව බැල්ම හෝ දැක්ම යනුම විශය කෙරෙන් අත්කරගත නොහැකි එනමුත් වස්තුව හෝ අනෙකා විසින් අත් කර ගන්නා වූ විශය කෙරෙහි බැල්මයි.

"the gaze becomes the object of the act of looking, or, to be more precise, the object of the scopic drive. The gaze is therefore, in Lacan’s account, no longer on the side of the subject; it is the gaze of the Other."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

එනම් වඩාත් නිවැරදිව තානාපතිවරු සිතුවම දෙස ඔබ බලා සිටිනා විට ඔබගෙන් ගිලිහෙන දේ විසින් ඔබව නිරීක්ෂණය කිරීමයි. එනිසාවෙන් ඔබට එම ගිලිහෙන දෙය බැලීමට වෙනත් ස්ථානයක් වෙනත් ඉරියව්වක් හෝ දෘශ්‍ය රේඛාවේ විතැන් කිරීමකට හුවමාරු වන්නට සිදුවීමෙන් වස්තුවේ අණට කීකරු වන්නට සිදු වේ. එනම් වස්තුව සමග දෘශ්‍ය රීතිමය සමපාත වීමකට තල්ලු වේ. මේ යනු ඔබ විසින් දැක්ම සංවිධානය කරගනු නොව වස්තුව විසින් හෝ නොපෙනෙන අන්ධ බිංදුවක් විසින් ඔබව සංවිධානය කරනු ලැබීමයි. බැල්ම යනු හුදෙක් බැලීමට ඔබ්බෙන් ඔබව වස්තුවේ නීති පද්ධතිය තුළට බලහත්කාරයෙන් හසුරුවා ගැනීමයි. අනෙකා යනුම මෙහි ඔබව මෙහෙයවන පද්ධතිය යි.

හුදෙක් දෙයක් දෙස බැලීම විසින් එම වස්තුව ඔබගේ පිහිටුම හෝ හැසිරුම බලහත්කාරයකට ලක්කර ගනු ලබයි. මෙහි ප්‍රතිලෝමය හමු වන්නේ ක්වොන්ටම් නිරීක්ෂණය තුළ ය. ඔබගේ දැක්ම විසින් ක්වොන්ටම් අංශුවේ පිහිටුම හෝ තත්වය තීරණය කරනු ලබන්නේ වඩාත් සංකීර්ණ සමීකරණමය අවශ්‍යතා රාශියක ප්‍රතිඵලයක් ලෙස වුව ද දැක්ම තුළ වන අනේකත්වය කෙරෙහි ඔබගේ බලපෑම ඉන් සාක්ෂාත් වේ.

මේ ආකාරයෙන් තානාපතිවරු මෙන්ම අන්ධ බිංදුවේ දැක්ම සංවිධානය ලැකානියානු භාෂාවෙන් ආශාවේ ක්ෂුද්‍ර වස්තුව හා සමපාත වීම වටහා ගත හැකිය.  ක්ෂුද්‍ර වස්තුව [OBJECT PETIT a ] සංකේතනය හසු නොවීම හේතුවෙන් නිරන්තරයෙන් අපගේ දැක්ම සංවිධානය කරනු ලබන අන්ධ බිංදුව භාෂාව තුළ අනේකත්වය තුළ සිරව ඇත.

"When the subject looks at an object, the object is always already gazing back at the subject, but from a point at which the subject cannot see it.
This split between the eye and the gaze is nothing other than the subjective division itself, expressed in the field of vision."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

සරසවි බැල්ම ලද්දෝ කිවියෝ වම්හයි කව්සිළුමිණේ සඳහන් වේ. මේ බැල්ම අනෙකාගේ බැල්ම නොවන්නේ නම් එය මිනිසෙකු කිවියෙකු කරන්නේ කෙසේ දැයි පැණයක් දැන් නොනැගේ.

සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ


අර්ථය: සරස්වතියගේ මඳ බැලුමෙකිනිදු ජනයා කිවිහු වෙත්වා. කාව්‍ය යෙහි රස හා භාව විඳියහැක්කාවූ අය නම් ඉතා දුර්ලභයහ.
[කව්සිළුමිණ දෙවන පැදිය]


සටහන්

Gaze:
1. Look at with fixed eyes
2. A long fixed look

ANAMORPHOSIS :
A distorted projection or perspective; especially an image distorted in such a way that it becomes visible only when viewed in a special manner. By playing with the conventions of seeing, both trompe l'oeil and anamorphosis should remind us that what you see has a great deal to do with where you are looking from.
ආශ්‍රිත ග්‍රන්ථ සහ වෙබ් අඩවි
1 An Introductory Dictionary of Lacanian Psychoanalysis
2 The Real Gaze- Film Theory after Lacan BY Todd McGowan
3 Blind Spot Test
4 Anamorphosis
5 කව්සිළුමිණ දෙවන පැදිය උපුටා ගත්තේ සුබස වෙබ් අඩවියේ පොත් ගුලෙනි.
6 Hans Holbein’s The Ambassadors (1533)

විශේෂ ස්තුතිය
පෞද්ගලික පොත් ගුලෙන් දුර බැහැරක වෙසෙමින්, සිංහල පැරණි කාව්‍ය ග්‍රන්ථ සොයා ගැනීමේ අපහසුවෙන් පීඩා විඳි මා හට එම ඇවැසි කෘති කීපයක් සොයා ගැනුමට මග පෑදුනු මුහුණු පොතේ "සුබස වෙබ් අඩවිය" පිළිබඳ ඔත්තුව තබා ලූ සමර විජේසිංහ වෙත.

Thursday, August 4, 2011

කුළ මත රැඳි අත

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

ඝණ අඳුරු වන පෙත
සිසාරා දෙදරවමින
මරු වැල් විදුලි රේඛා තලා
ලුහු බැඳ ආ මා පසු පස

ශ්‍රී නද දුන්
මාර තෙම
කන් අඩි කොකියවා
ගුගුරුවයි නුබ ගැබ

කාම ගින්නෙන් ඇවිලුනු මා
දිය සෙවෙළ තනපට ඉරා
පාෂාණ පියයුරු විවරයෙන්
මුව තබා තන පුඩුව මත
වැටී දෙදණින් කුළ බඳ
උරමි අවසන් හිස්කම ගිජු ලෙස

මරු නගන ඝෝර සිනහව
ඇසෙන සඳ දෝනාවකින්
සර්පිලාකාර ලෝකාන්තේ
ඇරඹුම් ලක්ෂ්‍ය යෙන්
වෙනස නොදැනෙයි
ශිලා පියයුර බෝර ලූ දැයි
මා සියුම් තොල් පෙති මතින්
එසැණෙන අශ්ලීල ලෙස

නිවි නිවි දිලෙන
හෘද එළිය
කනමැදිරි පරිභ්‍රමණ
මැද්දෙන් පෙනි පෙනි

රාගයේ කෙන්ද
ආත්ම රැහැණින්
කිටි කිටියේ ගැට පුපුරුලන හඩ
මරු හඩ යටකර නැගෙන සඳ

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

  
පින්තූරය ගත්තෙ මෙතැනින්.

දුරස්ථකරණය, අල්පෝක්තිවාදය සහ සමෝධානීකරණය- අගෝස්තු 7

Monday, August 1, 2011

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!



චින්තක කොඩිකාර මිනිස් සංහතියට වැඩක් කරන්නට ඉපදුන මනුස්සයෙකැයි සිතිය හැකි දුර්ලභ චරිතයකැයි මට සිතේ.

ඔහුට අපගේ උපකාරය ඇවැසි වී ඇත. ඒ ස්වභාවයෙන් ලද ශ්‍රව්‍ය ආබාධයෙන් සමුගන්නට ය.

ඔබටත් යමක් ඔහු වෙනුවෙන් කළ හැකිදැයි සොයා බලන්නට කරුණාවෙන් ආරාධනා කරමි.

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!

චින්තක කොඩිකාර ගැන වැඩි විස්තර කියවා ගන්නට මෙතැනට යන්න.

Thursday, July 28, 2011

පමාදෝ මච්චුනෝ පදං!

ඩුබායිවල
මුහුද ගොඩ කර
ලස්සන දූපත් මතුකර ඇත දිලිසෙන
මේ අරුම කෘත්‍රිම දූපත්
මිළ දී ගන්නට යුරෝපීයෝ ද පොර කත්!
සමහර දූපතක්
ලෝක සිතියමක රටක හැඩය ගත්
අත්කර ගැනුමට රටක් නමටවත්
සමහරු සිය ධනය යොදවත්

"තෙල් රටවල
තෙල් ඇති-මොළ නැති"
කලකට පෙර කවුරුත් කීවේ...
දැන් දැන් ප්‍රඥාවෙන් අණූන
ලෝක වැසියෝ ද
ඩුබායි වෙත ඇදී එති
සල්ලි මළු හිස්කර-නැවත ගෙදර යති
පොටෝ ඇල්බම කිහිලි ගන්නති 
අනෙකාගේ ධනය
තමන්ගේ සාක්කුවට
දමා ගන්නට
කැස කවන ක්‍රම සහ විධි පිරි රටක;
අත්කර ගත නොහැකි
එනමුත් අතපත ගා විඳිය හැකි
සියළු ඉඳුරන් පිනවන
උපකරණ-සූක්ෂමතා-මේලා
රජකරවන රටක;
පරමාදර්ශය
සුසමාදර්ශය
ඩුබායි!

විනෝද වන්නට "සෆාරි" යන්නෙත්
වැලි කතරට-අඳෝමැයි!
නැත
නෙත සනසන දසුනක්
මනස්කාන්ත දිය ඇල්ලක්
පඳුරක්-කූටයක්
බදා ගත හැකි රුක් බඳක්
අතට අහු වන අතීතයක්
කටුගෙට ලෑ සෞභාග්‍යයක්..!

ලෝක උරුමයක් ඇතුළට
ජුරාසික් උද්‍යානයට යන්නා සේ
සංචාරක "සෆාරි" යත හැකි වෙතොත්
කදිම ධන උල්පතකි
සැබෑව!
එබන්දක් තිබුණි නම් එරට
නොවේ මෙතරම් මහන්සියක්
මහ මුහුදු ගොඩ කරන්නට...
අහස උස කුළුණු තනන්නට...

විකුණන්නට හැකි දෙයක්
හිතට ගතට හුවමාරු වන කලට
අරුම පුදුම සැපක් ලෙස
විකිණිය යුතුය එසැණින
කර උඩ තියං-කරමින් සංරක්ෂණ
හිටියට භාණ්ඩාගාරය පිරෙන්නේ නම් නැත!

වරහන් ඇතුළේ!
සමාධි පිලිමයෙන් වුව
ලැබිය හැකි නියම ආදායම‍
තවම අප ලබා නැත!

පරමාදර්ශයටත් එහායින් යමක් ඇති බැව්
අපි ලොවට පෙන්වමු!

ලේඛනයේ ක්ෂණික මෝචනයට පිළියම්!

Saturday, July 23, 2011

Thursday, July 14, 2011

මනස ක්වොන්ටම් සීනො ආචරණයේ ප්‍රතිඵලයක් ද?

4.2 Stapp: Quantum State Reductions and Conscious Acts

4.2 ස්ටාප් ආකෘතිය-ක්වොන්ටම් ඌණිත තත්වයන් සහ සිහියේ ක්‍රියාකාරකම

ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතයේ ඇති තීරණාත්මක සංසිද්ධියක් වනූයේ කිසියම් භෞතික රාශියක් මැන ගැනීම පිළිබඳව ඇති විවාදාත්මක ස්වභාවයයි. එම ගැටළුව දශක හතක පමණ කාලයක් තුළ ක්වොන්ටම් සන්දර්භය තුළ සාකච්ඡා වී ඇත. වොන් නියුමාන් 1955 සිය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතමය පදනම ගැන ලියූ තිසීසය තුළ මෙසේ සඳහන් කළේය. එනම් ක්වොන්ටම් මිනුම වූකලී අසන්තතික -හේතුඵල සම්බන්ධතාවයෙන් විනිර්මුක්ත වූ-තත්සම සහ අප්‍රතිවර්ත්‍ය ගතිගුණයෙන් යුක්ත වූ ක්‍රියාවක් ලෙසින් කිසියම් ක්වොන්ටම් තත්වයක පරිවර්තනමය අගයක් ලෙස එහි අයිගන් තත්වයේ අගය මිනිය හැකි නිරීක්ෂකයක සම්භාවිතා අගයක් ලෙසිනි. (එනම් ෂ්‍රෝඩිංගර් සමීකරණයේ කිසියම් විචල්‍යයක් කිසියම් ක්වොන්ටම් ගතිගුණයක එනම් ගම්‍යතාවය වැනි දෙයක මිනුමක් ගත හැකි රාශියක අයිගන් අගයක් ලෙස පරිවර්තනය කොට එම අගයේ වර්ගයෙන් එම සිදුවීමේ මිනුමේ අගය පැවතිය හැකි සම්භාවිතා අගයක් ලෙස ගණනය කළ හැකිය යන පරිවර්තනමය එකඟතාවය යි) මෙම පරිවර්තනීය තත්වය සමහර විට මිනුම්කරණයේ දී තරංග සමීකරණයේ බිඳ වැටීම හෝ ඌණිතය ලෙසද හැඳන්වේ. මෙය සන්තතික -ඒකීය (ප්‍රතිවර්ත්‍ය) ෂ්‍රෝඩිංගර් සමීකරණයේ පරිනාමය හා ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් ගැනීමකි. (ෂ්‍රෝඩිංගර් සමීකරණය ව්‍යුත්පන්න වී ඇති ස්වභාවය අනුව එය මතින් විසඳුම් ලෙස ලැබෙන සංකීර්ණ නමුත් සන්තතික විසඳුම් ආකාර ගත් තරංගයෝ කිසි විටෙකත් මෙබඳු ගතිගුණ නොපෙන්වන බැවිනි. ඒවා කිසියම් සන්තතික සහ ඒකීයත්වයකින් යුත් තරංග සමීකරණ විශේෂයක් පිලිතුරු ලෙස ලබා දීමට සමත් බැව් එම ෂ්‍රෝඩිංගර් සමීකරණයේ ගණිතමය ගතිගුණ විසින් එනම් දෙවැනි පෙළේ අවකල ගතිගුණ විසින් සනාථ කරන බැවිනි.)
වොන් නියුමාන් ඔහුගේ ලියැවිල්ලේ හයවන පරිච්ඡේදයේ පෙන්වා දෙන පරිදි නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය පිළිබඳව හා ඒ අතර ඇති සංකල්පීය වෙනස්කම් අවබෝධය තුළ ඇති වෙනස සාක්ච්ඡාවට බඳුන් කරයි. එම සන්දර්භය තුළ 1 සහ 2 ඔහු යොදන්නේ මිනුම් කළ හැකි වස්තු පද්ධති ලෙස සාමාන්‍යකරණය කළ අවස්ථා:
(1) මිනුම්කරණයට ලක් කළ හැකි රාශිය
(2) මිනුම් උපකරණ
(3) මිනිස් නිරීක්ෂකයා (හෙවත් මිනිස් මොළය)

ඔහුගේ නිගමනය වන්නේ නිරීක්ෂිතය හා නිරීක්ෂණ පද්ධතිය අතර ඇති සීමාව ස්ථානගත වන්නේ (1) සහ (2) & (3) අතර ද එසේ නැතහොත් (1) & (2) අතර ද යන්නෙන් කිසිවිටෙකත් බලපෑමක් නොවන බවයි. එනම් මින් ගම්‍ය වන්නේ නිරීක්ෂකය හෝ මිනිස් මොළය යනුවෙන් ද්විත්වාකාරයක් නොපවතින බවත් එය එකම එකක් ලෙස අවසාන විග්‍රහයේදී සමපාත වන බවත් ය.

වොන් නියුමාන් විසින් ඉතා සියුම් ලෙස වරනගන මෙම විසංසන්දනාත්මක ආස්ථානය ලන්ඩන් සහ බවර් 1939 විසින් වඩාත් දුර සංවර්ධනය කළ බැව් සඳහන් කළ හැකිය. එනම් ක්වොන්ටම් මිනුමක් සම්පූර්ණ කරනු ලබන්නේ මිනිස් විඥානය විසිනි යනුවෙනි. මේ ආකාරයේ අතරමැදි වීමක් තුළින් ක්වොන්ටම් මිනුම පිළිබඳව අවබෝධය කෙරෙහි මිනිස් මනසේ සහභාගිත්වය තීරණාත්මක පෙදෙසකට රැගෙන යනු ලබන්නේ සත්‍ය වශයෙන්ම රැඩිකල් ස්ථාවරයකට ය. 60 ගණන්වල දී විග්නර් 1967 ඔහුගේ යෝජනා අතර ඉතා ප්‍රකට විග්නර් මිතුරා ලෙස හැඳින් වූ අදහස විය. වොන් නියුමාන්ගේ ප්‍රක්ෂේපන පිළිබඳ අදහස ඉදිරියට ගෙනෙමින් එය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ (නිරීක්ෂිතයක් හා බැඳුනු අයිගන් ස්ථාවරයන් පිළිබඳ සම්භාවිතා ආකෘතිය) ක්වොන්ටම් මිනුමක් යනු යථමය ගතිකයන්ගේ අප්‍රතිවර්ත්‍ය ක්‍රියාවලියක් ලෙස දක්වා විග්නර් යෝජනා කළේ කිසියම් රේඛීය නොවන අරේඛීය සංශෝධනයක් ලෙසිනි.

1980 ගණන් වන තුරුම ස්ටාප් ඔහුගේම මතවාදයක් ලෙස සංවර්ධනය කරන්නට වෑයම් දරණ ලද්දේ නියුමාන් සහ විග්නර් විසින් ගෙනෙන ලද යෝජනා පසුබිම් කරගෙන ය. සුවිශේෂි ලෙසම ඔහු විඥානයේ විශේෂ ගතිගුණ අවබෝධ කරගන්නට ක්වොන්ටම් සිද්ධාන්තයේ උපයෝගීතාවය විමසයි. වොන් නියුමාන්ගෙ යෝජනාවෙන් ප්‍රහර්ෂය ලබන ස්ටාප් බොහෝ නිදහස් ලෙස නිරීක්ෂිතයේ සහ නිරීක්ෂණයේ පද්ධතිය අතර මුහුණත නිරීක්ෂකයාගේ මොළයේ පිහිටුවනවා. හෙතෙම වත්මන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සිද්ධාන්ත කෙරෙහි කිසිදු සංශෝධනයක් යෝජනා නොකොට (විශේෂයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හිල්බර්ට් අවකාශයේ නිර්වේශනාත්මක පොදු පිළිගැනුමට එරෙහි නොවී) එනමුත් සද්භාවාත්මක ආකෘතියට ප්‍රමූලික අන්තර්නිර්වේශනාත්මක දිගුවක් එකතු කරනු ලබයි.

ස්ටාප් ඔහුගේ මුල් කාලයේ හයිසන්බර්ගේ තත් සහ විභවීය වෙනස පිළිබඳ අදහස් [potential and the actual] (Heisenberg 1958) තුළින් ඇරඹී ක්වොන්ටම් යාන්ත්‍රිකයේ කෝපන්හේගන් අන්තර්නිර්වේශනයන්ගෙන් [Copenhagen interpretation of quantum mechanics] ඔබ්බට කැඳවා යන්නට සමත් වෙයි. හයිසන්බර්ග්ගේ මිනුම පිළිබඳ යථාර්ථය [actual] කෝපන්හේගන් එකඟතාවයන් හා මනාව සබැඳේ. කෙසේ වෙතත් හයිසන්බර්ගේ විභවය [potential] හෝ පෙළඹුම පිළිබඳ සංකේතනය මිනුමට පෙර තත්වය හා සබැඳෙන්නේ මිනුමකින් ස්වායත්තව යථාර්ථය අචලව පවතී යන කල්පනය ඔස්සේය. කිසියම් ව්‍යක්තිකරණයක් [actualization] තත්සම ක්ෂණයකින් නැවතත් එබඳුම ව්‍යක්තිකරණයක් උදෙසා පෙළඹුමක් ඇති කරන්නේ අනෙක් සත්‍ය සිදුවීමක් කෙරෙහි ය යන්න ඉන් ගම්‍ය වේ. එනයින් සිද්ධි නිර්වචනයෙන්ම උභයාර්ථ [ambiguous] වේ. එනම් අපැහැදිලි ද්විත්වාර්ථ වේ. ස්ටාප්ගේ එළඹුම අනිවාර්යෙන්ම හයිසන්බර්ගේ තත්‍යවාචී සිද්ධි සහ අනුභූතිමය අත්දැකීම කෙරෙහි එකිනෙක අන්තර්සම්බන්ධය ව්‍යක්තිකරණාත්මක ලෙස ගලපා ගනියි. දෙවැන්න ඔහු ප්‍රකාශ කරන පරිදි එම සිද්ධියේ හැඟවුමකි. එමෙන්ම එය සත්‍ය සිද්ධියේ නෛසර්ගික තත්‍යත්වය පිළිබඳව ගෙනෙනු ඇති තත්වාරෝපිතයක් ලෙස ද සැළැකිය හැකි බැව් පිළිගැනේ.

එම සිද්ධි තුළ පවත්නා එළඹීමේ ශක්‍යතා පිළිබඳ සැළකුව හොත් එය ව්‍යුත්පන්න වන්නේ (B) කොටසේ දැක්වූ (2) ආකාර වූ ප්‍රතිසමතාවයක් ඔස්සේය. මෙය සෘජුවම වයිට්හෙඩ් විසින් ප්‍රකාශිත සද්භාවාත්මක විචාරාකෘතියට සමපාත වේ. එනම් මානසික සහ භෞතික ධ්‍රැවයන් තත්‍ය අවස්ථා ලෙස නිර්වචනය වන යථාර්ථයේ මනෝවිද්‍යාත්මක සහ භෞතික අරමුණු ලෙසයි.

එම තත්‍ය අවස්ථාවන්හි විභවය පුරවගතතාමය [antecedents] ලෙස මනෝභෞතමික උදාසීන වන අතර එම ද්‍රව්‍යමය සහ මානසික අවියෝජනීයත්වය පවත්වා ගන්නා මාදිලියක් ලෙස සාක්ෂාත් කරයි. [The potential antecedents of actual occasions are psychophysically neutral and refer to a a mode of existence at which mind and matter are unseparated.]

දෙමුහුම් සාරාර්ථවාදය [hybrid ontology] ලෙස ස්ටාප් සංකේතනය කරන්නේ ද මෙම අදහස් ආකර වූ සහ ද්‍රව්‍ය ආකාර වූ සහ විකසනයේ අනුවපූරකතා මාදිලි ලෙස ගන්නා වූ මේ මුහුම් වීමයි. මේ අයුරින් ද්විප්‍රකාර විශය එළඹුම් (B) පැහැදිලි ලෙස වටහා ගත හැකිය.

මෑතක ස්ටාප් ගේ සම්මුඛ සාකච්ඡාවක ඔහු පැහැදිලි කළේ තමාගේ සද්භාවාත්මක එළඹුම් සමහරක් පිළිබඳ වයිට්හෙඩ්ගේ ආස්ථානය වූ යථාර්ථයේ මූලිකාංග ලෙස ද්‍රව්‍ය සහ මනස ට වඩා තත්‍ය අවස්ථා පිළිබඳ ප්‍රවාදය වඩාත් උත්කර්ෂයට නැංවෙන බවයි. අදහස් උපත ලබන්නේ සාරාත්මක සද්භාවයකට වඩා ක්‍රියාදාමයකට ලංව බවයි. ස්ටාප් මින් ස්ථාපිත කරන්නේ තත්‍ය අවස්ථාවල ප්‍රමූලික ක්‍රියාදාමාත්මක ස්වභාවය භෞතික ක්‍රියාකාරකමක මෙන්ම අවස්ථා ඌණිත ආකාර ලෙස මනෝවිද්‍යාත්මක අභිමතාර්ථයන් හා සහසම්බන්ධිත බවයි.

ඔහුගේ එළඹුමේ තවත් අතිශය වැදගත් ප්‍රතිඵලයක් වීමට වැඩි අහඹුතාවයක් ඇති අදහසක් වන්නේ කෙනෙකුගේ සිහියේ අභිමතාර්ථමය උත්සාහයන් විසින් මොළයේ ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි බවයි.

scheme (A) of Sec. 2 හි දැක්වෙන අනුප්‍රකාර ඔහු වඩාත් සියුම් ලෙස සිය විග්‍රහය ඉදිරිපත් කරන්නට සමත් වී ඇත්තේ සෘජුව අන්තර්ක්‍රියාවකට එළඹීමේ වැරදි ආකාර වූ අවස්ථාවකට ප්‍රතිපක්ෂවය. මානසික සහ ද්‍රව්‍යමය තත්වයන් ගේ විපාකයන් හෝ ප්‍රතිඵලයන් තත්‍ය අවස්ථාවන් ගේ ප්‍රතිසමතාවයන් ගේ අවැසිතාවය එනම් ඒවා අතර සහසම්බන්ධනය මනෝවිද්‍යාත්මක අභිමතාර්ථ ක්‍රියාවට යාවේ. එනම් අන්තර්ක්‍රියාත්මක වීමේ සංකේතනය මනස සහ ද්‍රව්‍ය අතර සහසම්බන්ධනයේ සංරෝධනය මගින් ආදේශ වේ.

විඥානයේ සිහි අවස්ථා සහ ද්‍රව්‍යමය මොළයේ අවස්ථා වෙන් කර හඳුනා ගැනීමෙන් පසුව විඥානයේ සෑම අවස්ථාවක්ම ස්ටාප් ට අනුව භෞතික ප්‍රතිරූපකය ක්වොන්ටම් අවස්ථා ඌණිතයක් ලෙස පවතින්නේ විඥාන අත්දැකීම උදාසීන ලෙසින් සහසම්බන්ධතාවයක් පවත්වා ගන්නා අතරම එම ක්‍රියාවන්ගේ රටාව හඳුනාගත හැකි ලෙසය.

වඩාත් නිවැරදි ලෙස මෙම ක්‍රියාකාරිත්වයේ රටාවන් අභිමතාර්ථය පිළිබඳ කිසියම් කේතනයන් සඟවා තබා ගත හැකි අතර ඒවා ක්‍රියාකාරිත්වයෙ අතුරුමුහුණත් හෝ අච්චු ලෙස ද පෙනී සිටිය හැකිය. [An intentional decision for an action, preceding the action itself, is then the key for anything like free will in this picture.] කිසියම් අභිමතාර්ථසාධනය උදෙසා උපදවන තීරණයක් එම ක්‍රියාත්මකවීම එහිම පැවැත්මක් ලෙස ඉන්පසු ස්වතන්ත්‍රභාවය පිළිබඳ වන්නා වූ දෙයක් කරා යොමු වූ යතුරක් ලෙස මේ විග්‍රහයේ දැක්වේ.
[As to the quantum aspect of a template for action, Stapp argues that the mental effort, i.e. attention devoted to such intentional acts can protract the lifetime of the neuronal assemblies that represent the templates for action due to quantum Zeno-type effects.] ක්වොන්ටම් අභිමතාර්ථය අච්චුවක් ලෙස ක්‍රියාත්මක වෙද්දී ස්ටාප් තර්ක කරන්නේ මානසික පරිශ්‍රමය එනම් එවැනි අභිමතාර්ථසාධනය කෙරෙහි යොදන උත්සාහය නියුරෝන එකලාසයන් කෙරෙහි එහි ක්වොන්ටම් සීනෝ ආචරණය වැනි ප්‍රපංචයන් වෙත කාලය දිග්ගැස්සිය හැකි ලෙස ඉඩ ලබා දෙන අච්චු ස්වරූපයෙන් හැසිරිය හැකි බවටය.
[Concerning the neurophysiological implementation of this idea, intentional mental states are assumed to correspond to reductions of superposition states of neuronal assemblies.] මෙම සංකල්පයේ නියුරොභෞතවේදී ක්‍රියාත්මකවීම් සැළකූ විට නියුරෝනමය එකලාසයන් තුළ සිදුවන අධිස්ථාපන ඌණිතයන්ගේ තත්ව හා අභිමතාර්ථමය මානසික තත්වයන් එකිනෙක අනුරූපවන බැව් උපකල්පනය කළ හැකිය. [For further progress, it will be mandatory to develop a coherent formal framework for this approach and elaborate on concrete details.] වැඩිදුර උන්නතිය උදෙසා මෙම එළඹුම් ආකෘතිය වඩාත් සංගත ප්‍රාථමික රාමුවක් දක්වා සංවර්ධනය කළ යුතු බව අවධාරිතය.
[For instance, it is not yet worked out precisely how quantum superpositions and their collapses are supposed to occur in neural correlates of conscious events. Some indications are outlined in a recent article by Schwartz et al. (2005).]
උදාහරණ වශයෙන් අභිමත ක්වොන්ටම් අධිස්ථාපනයන් සහ ඒවායේ බිඳ වැටීම් සිහියේ සිදුවීම් සමග නියුරෝනමය තත්වයන් අතර සබඳතා ගැන නිවැරදි හැදෑරීම් තවමත් සිදු වී නැත. සමහර මේ ආශ්‍රිත හැඟවුම් ෂ්වාර්ට්ස් 2005 ගේ ලියැවිලි තුළ සඳහන් වී ඇත. [With these desiderata for future work, the overall conception is conservative insofar as the physical formalism remains unchanged.] මෙබඳු පාදක තොරතුරු අනාගත ක්‍රියාකාරිත්වයන් කරා ද භෞතික ආකෘතිකවාදී ලෙස සැබෑ සංස්ථිතික වෙනස් නොවීමක් ද සහතික කරයි.
[However, it contains a radical conceptual move insofar as quantum measurement is understood to involve a conscious act in addition to a physical process.]
කෙසේ වුවද භෞතික ක්‍රියාවලියක් ලෙස ක්වොන්ටම් මිනුම අවබෝධ කරගැනුමට ඔබ්බෙන් මානසික ක්‍රියාත්මක වීම ගැන සංකල්පීය ලෙස රැඩිකල් චලනයක් කරා මේ දැනුම යොමුවන බැව් පෙනේ.

පරිවර්තක සටහන:
හෙන්රි පී ස්ටාප් ගේ [Henry P Stapp] මයින්ඩ්ෆුල් යුනිවර්ස් Mindful Universe [2007] නම් වූ ආන්දෝලනාත්මක කෘතිය කියැවීමට මෙතැනින් පුළුවන. මෙම ලිපියේ අන්තර්ගත සියළු කාරණා පිළිබඳ අතිශය දීර්ඝ පැහැදිලි කිරීම් එම කෘතියේ අන්තර්ගතය.

මෙම ලිපි පෙළේ

පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය
තෙවැනි ලිපිය: විඥානයේ ක්වොන්ටම් ආකෘති

Wednesday, July 13, 2011

Wednesday, July 6, 2011

අධිසත්තාවාදය-ජුලි 10 ඉරිදා

කවියක් සහ එගැන ගෙතුමක්-[කවියක පුරා විද්‍යාව..] හෂිත අබේවර්ධනගෙන්

පීතෘ භුමිය


හිරු රැසින් නැහැවුන මිටියාවත
කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි
ගීත ගයමින් ගලා යන ගංගා
සියොතුන් පියාඹන නිල් අහස
වීය අප සැමගේම පොදු වස්තුවක්

කිසිවෙකුට අයත් නොවූ භුමිය
වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක්
සැමදෙනා සමගිව සිටියෙමු
භුමියේ වැඩෙන ගස් වැල් ලෙස

කාලයක් මෙලෙස ගිය විට
ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම්
බෙදා වෙන්කර ගනිමින්
මගෙයි මගෙයි කියමින්

භූමියට කුරිරු ලෙස වධ දී
උපයාගත් රන්මසු වලින්
මිලට ගත්තෝය වහලුන්
කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ

බෙදා වෙන්කරගත් භුමියේ
පහල විය නීති රීති
ගරු කල යුතුයි දේපලට
අසල්වැසියාගේ

නීතිය කැඩුවන්
කුදලාගෙන ගියහ නිරී සතුන් සේ
සින්දෝය ඇතැමෙකුගේ අතපය
තියුනු අසිපත් වලින්

අහසින් කඩා වැටුනෝය පැලැන්තියක්
පූජකයන් කියාගත්
පෙන්නා දෙව්ලොව අපට
සින්දෝය උන් අපගේ සාක්කු

කූඩැල්ලන් මෙන් ගිජුව
සාරය උරාගත් භුමිය
දෙවියන් විසින් අපටම තිලින කල
භූමියක් බව ඇතැමෙකු කීහ

සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය
දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ
භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව
තරයේ අවධාරණය කළහ

පීතෘ භුමිය ආරක්ෂා කරනු
ඔවුන් අපට විධාන කළහ
බයිනේත්තු ඇමිණු තුවක්කු අතට ගෙන අප
පීතෘ භුමියේ සතුරන් සොයා ගියෙමු

මඩ වතුර පිරුණු අගල්වල
අප සතුරන් දුටිමු
ඔවුනටද කවා තුබුණි විස
අපව දුටු තැන නසන්නට

වෙන බසක් කතා කල
වෙනත් නිල ඇඳුමක් ඇන්ද
අප වැනිම මනුෂ්‍යන් කොටසකගේ ශරීර වලට
ඇන්නෙමු බයිනේත්තු වලින්
ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක්

දසත ගලා ගිය
මිනිස් රුධිරය
එක්විය ගංගා වලට
එකෙහින්ම නිල් ජලය රත් පැහැ විය
දේව ශාපයක් සේ

කාලතුවක්කු දුමාරයෙන් පිරී ගිය අහස
ඇද වැටුණු මහා වෘක්ෂ
නිසලවූ මිනිස් සිරුරු වැතිරුණු භූමිය
මිනිස් විෂ එකතු වුනු ගංගා
මැව්වේ අමු සොහොනක දසුන්ය

කුමක් වී ද ඒ රම්‍ය භූමියට
මිනිස් ගිජු බවේ සාපය වැදුණු
දියඇලි සිඳුනි මැලවුනි ගස්වැල්
හැර ගියහ සියොතුන් ශාපලත් භුමිය

අවසානයේදී සිදුවූයේ කුමක්ද
කිසිවෙකු නැත දැන සිටියේ
කියා දෙන්නට අවසන් ජවනිකාවේ රඟ
නොවීය පනැති කිසිවෙකූ එම භුමියේ

වෛද්‍ය රුවන් එම් ජයතුංග

කවියක පුරා විද්‍යාව...
හෂිත අබේවර්ධන

මිනිස් ඉතිහාසය සූත්‍රගත කිරීම සියලු දාර්ශනිකයන් හා ආගමික නායකයන් මුහුණ දුන් අභියෝගයකි. 'ඒ කෙසේ විනිද ස්වාමිනී?' නම් ගැටළුව මිනිස් වග සදා පෙලයි. අපි කොයිබින් ආමු ද? කොයිබ යන්නමෝද? යන අගාධ අනෝම ගැටළු විධිමත් ව ලිහීමට උත්සාහ දැරූ අවස්ථා මිනිස් ඉතිහාසයේ දුලබ නැත, සුලබ ද නොවේ. රුවන් ජයතුංග පීතෘ භූමිය නමින් 'කවියක' මේ ගැටළු දෙක බහා ලයි.

අග්ගඤ්ඤ සූත්‍රය විසින් අපි කොයින් ආමු ද? යන ගැටළුවට දුන් පිළිතුර ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හා ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් විශ්වශුක්‍රයක [Panspermia] න්‍යාය ලෙස නූතන විද්‍යාවට අනුගත කළහ. වාසෙට්ඨ හා භාරද්වාජ දෙනම වෙත තථාගතයන් ගෙන පෑ පිළිතුර සිංහල කවියෙහි මුල් වරට යොදා ගත්තේ මහගම සේකර යි. ඔහු ප්‍රබුද්ධ හි වික්ටර් වෙත මුල ප්‍රශ්නය පැහැදිලි කරනු වස් අග්ගඤ්ඤ සූත්‍රය යොදා ගනී.


.......
වාසෙට්ඨය!
ඉක්බිති ඒ සත්ත්වයෝ
ඇල් වී බෙදා ගත්හ
මායිම් තනා ගත්හ

[ප්‍රබුද්ධ දෙවන මුද්‍රණය 1980, පිට 93]

රුවන් ඔහුගේ කවියේ මුල් අඩ අග්ගඤ්ඤ-එංගල්සියානු මුහුමකින් වියයි.

කිසිවෙකුට අයත් නොවූ භූමියෙහි විසූ ආදි ගෝත්‍ර; පොදු වස්තු සහිත, සියල්ලන්ට සම අයිතීන් වූ, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර මල්ල-ලිච්ඡවී ගණයන්ට බඳුව පැවතුනු බව ඒ ආශ්‍රයෙන් රුවන් රූපණය කරයි.රුවන් ට ප්‍රතිපක්ෂව චර්යාවිද්‍යාවන් නැගී සිටියි, ඉම් සළකුණු කිරීම බොහෝ සතුන් කරති. මිනිසා සිය රංචු අතර ගැටෙමින් රංචුව ඇතුළත පොදු බව ආරක්ෂා කළ බව එංගල්ස් හා ඔහු අනුයමින් 'වොල්ගා සිට ගංගා තෙක්' ලියූ රාහුල සංස්කෘත්‍යායන අපට ඉඟි කරති. අග්ගඤ්ඤ සූත්‍රයේ මුල කොටස ද ඉඟි කරන්නේ මිනිස් නොවන අවධියක ආලෝක ශරීර සහිත ජීවීන් වර්ගයක් 'රසාතලයක්' අනුභව කරමින් හුන් යුගයක් දෙස විය යුතුය. [ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මේ රසා තලය 'ආදී සූපය' නමින් බෞතීස්ම කර ජීවයේ 'ස්වයංසිද්ධ ජනනය' සූත්‍රගත කළේය.]

ප්‍රාග් ඉතිහාසය හා ඉතිහාසය අතර ඇත්තේ මහා වියවුලකි. මිනිස් වර්ගයා අවසාන වන තුරු මේ වියවුල ලිහා ගත නොහැකිවනු ඇත. ශිෂ්ටත්වය යනු ලෝක නීතියකින් මිනිසා බැඳී යාමය. එහි හොඳ නරක තිබියදී ලෝක නීතිය පිළිගැනීම ශිෂ්ට බවයි. මිනිස් වර්ගයා අතර ස්වමාංශ භක්ෂණය පිළිකෙව් කිරීම එබඳු එක ලෝක නීතියකි.

ඉන්දියාවේ ප්‍රකට දලිත් ලේඛකයෙකු වන ආචාර්ය කන්චා ඉලයියා ට අනුව ජෛනයින් හා බෞද්ධයින් පොදු දේපල අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. [God as a Political Philosopher –Budhdha’s Challenge to Brahminism,132 පිට]. බුදුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලා අභියෝගයට ලක් කරන්නේ එතෙක් පැවති මහා මිත්‍යාවකි. සතර වර්ණයන් බඹුගේ මුවෙන් ඇරඹි පා දක්වා උස්මිටි භේද සහිතව ලොවට උත්පාද වන බවට වූ මිත්‍යාව ඔවුහු සුණු කර දමති. බමුණාද ශුද්‍රයාද එකසේ ස්ත්‍රී යෝනියෙන් උපදින බව මතක් කර දෙති.

මේ කවර වූ යුගයක්ද, අජාසත් හා කෞටිල්‍ය විසින් කුඩා ගණ ගෝත්‍රයන් සිය අණසකට ගනු පිණිස මන්ත්‍රණ, කුමන්ත්‍රණ, භේද, වාද හා ගැටුම් ඇති කරමින් පැවති යුගයකි. වෙදුන්, නිළියන්, ගණිකාවන්, සේනාපතියන් මතු නොව සන්‍යාසීන්, පරිබ්‍රාජිකාවන් ආදීන් ද කුමන්ත්‍රණයන්ගේ උපකරණ වූ යුගයකි. ගණ නායකයන් බිඳවිම ඔවුනගේ රාජකාරිය විය. ලිච්ඡ්වීන් විෂය කොට අපරිහානීය ධර්මයන් දේශනා කිරීමට බුදුන් උත්සුක වන්නේ එබඳු දේශපාලන සංදර්භයක කිසියම් පිළිවෙලක් ඇති කරනු පිණිස විය යුතුය. ස්ත්‍රියට මහණ වීමට ශික්ෂා පද පනවන්නේ පරිබ්‍රාජිකාවන්, නිළියන්, ගණිකාවන් හා අනෙකුත් පුර ස්ත්‍රීන් ඝාතනය වන, දූෂණය වන යුගයක මෙහෙණි සංඝය එයින් හැකිතාක් දුරට ඈත් කර තැබීමට විය යුතුය.

සමාජ උපරි ව්‍යුහය විසින් ඇතිකරන වර්ණ-ධර්මය පිළිගැනීම වරෙක ශිෂ්ටත්වය වනවා සේම ඒවායේ අඩුපාඩු, ප්‍රතිවිරෝධතාවන්ට එරෙහිව කවර හෝ තලයක ක්‍රියාකාරී වීම උතුම් බව පසක් කළේ ගෞතමයන් වහන්සේමය.

ශිෂ්ටත්වය මිනිසෙකු තමා අයිති වන ජන කොටස විසින් ඒ සඳහා කළ යුතු යුතුකම් කරනු පිණිස බැඳ තබයි. පීතෘ භූමිය නම් සංකල්පීය රූපය විසින් මිනිසෙකු ගැහැණියක සිය ආදි කල්පික සීමාවන් රකිනු පිණිස, තහවුරු කරණු පිණිස, පුළුල් කරණු පිණිස පොළඹවයි. මර්දනයේ, වහල් බවේ, පීඩනයේ කුරිරු කම් සියවස් තුන්සියයකට වැඩි කලක 'පොදු විඥානය' බවට පත් කොට ගෙන ඇති නිසා එකිනෙකා ගේ ගෙළ වෙත යොමු වූ දත් හා අත් ඇතිව ස්වයංඝාතක අභිලාෂයන් දක්වා කුළු ගැන්වුනු යුගයක් අපි ජීවත් වෙමු.

මෙබඳු යුගයක කවියාගේ භූමිකාව 'වණ්ණුපථ ජාතකයේ' මෙන් රවුමේ කැරකෙමින් සිටින සමාජ ජීවිතය අභාවයෙන් අභාවයට යාම වැළැක්වීමය [දොරමඬලාව, දයාසේන ගුණසිංහ 19 පිට]. සමාජ ජීවිතයට කෙවිටකින් තැලීමය.

රුවන් සිය කෙවිට වනා ඇත. මට රිදී ඇත.

Monday, July 4, 2011

විඥානයේ ක්වොන්ටම් ආකෘති

මෙම ලිපි පෙළේ
පළමු ලිපිය: විඥානය වෙත ක්වොන්ටම් එළඹුමක්..
දෙවන ලිපිය: පෙන්රෝස්ගේ නියුරෝ-භෞතවාදීමය විඥානයේ ආකෘතිය

4.1 Ways to Use Quantum Theory

4.1 ක්වොන්ටම් සිද්ධාන්තය භාවිතාවේ විධි

මෙතැන් සිට විඥානයේ ස්වභාවය පිළිබඳව ක්වොන්ටම් සිද්ධාන්තයේ යෙදුම් ආශ්‍රයෙන් අසම්පූර්ණව හෝ ගොඩනැගුන වඩාත් ප්‍රචලිත සංකල්ප සමහරක් ඉදිරිපත් කිරීමත් ඒවා පිළිබඳ සාකච්ඡා කිරීමත් සිදුවේ. මේ අරමුණ උදෙසා 2වන කොටසේ සාකච්ඡා කළ දාර්ශනික ආස්ථාන ද්වයක් A/B මෙන්ම 3වන කොටසේ දී සාකච්ඡා කළ ස්නායු-භෞතවේදයේ ආස්ථානයන් ද මාර්ගෝපදේශක ලෙස උපයෝගි කොටගෙන විධිමත් ලෙස ක්වොන්ටම් සිද්ධාන්තයේ එළඹුම් සාකච්ඡා කෙරේ. කෙසේ වුවද සමහර ප්‍රමූලික සුදුසුකම් සළකා බලද්දී ක්වොන්ටම් සිද්ධාන්තයේ විවිධාකාර වෙනස් එළඹුම් වල ඇති ශක්‍යතාවයන් ද පිළිගැනීමට ලක් වේ.

ශුද්ධ රූපකාත්මක (pure metaphorical ) ලෙස මූලික ක්වොන්ටම් සෛද්ධාන්තික සංකල්ප විඥානය පැහැදිලි කිරීම හා සම්බන්ධව භාවිතා කිරීම නොයෙක් විධිප්‍රකාරව යෙදේ. ක්වොන්ටම් සෛද්ධාන්තික පාරිභාෂික සංකල්ප වන පැටළුම (entanglement) , අධිස්ථාපනය (superposition), බිඳ වැටීම හෝ අභිපාතය (collapse), අනුපූරකතාවය (complementarity) සහ අනෙකුත් සංකල්ප භාවිතා කරන්නේ සුවිශේෂි සඳහනකින් තොරව ඒවායේ අරුත්දැක්වීම් කොතරම් දුරට නිරවද්‍යදැයි හෝ ඒවා කොතරම් දුරට යෙදෙන විශේෂ අවස්ථා කෙරෙහි ඖචිත්‍යදැයි යනු නොසළකා ය. උදාහරණයක් වශයෙන් මානසික ක්‍රියාකාරිත්වය හුදෙක් සංකල්පීය ලෙස විවරණය කරගන්නේ කෙසේ හෝ එය භෞතික මිනුමක් ලෙස ප්‍රතිසම භෞතිකාර්ථයක් ලෙස හෝ මනෝවිද්‍යාත්මක පද්ධතියකට සංකල්පීය ලෙස විවරණය වන භෞතවේදී පැටලිල්ලක් හෝ සහසම්බන්ධයක් ඇති ප්‍රපංචයක් ලෙසිනි. එබඳු ඇණවුම් කිරීම් විසින් මනස්කාන්ත විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය කරන්නටත් සමහර විට අතිශය වැදගත් සවිස්තරාත්මක ලෙස විග්‍රහයට ලක් කළ හැකි නැවුම් අදහස් උපදවන්නට ද හේතු විය හැකිය. එනමුත් එබඳු සවිස්තරාත්මක කාර්යයන් විසින් අනුමානගත රූපිකාර්ථයන් හෝ ප්‍රතිසමතාවන් ඉක්මවා නොයෙන්නේ නම් ඒවා විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රගමනයක් ලෙස නොසැළකේ. මෙම අවස්ථාවේ දී එබඳු වර්ගයේ එළඹුම් සාකච්ඡාවට නොගැනේ.

දෙවන ප්‍රවර්ගයක් ලෙස අන්තර්ගත වන්නේ වර්තමානයේ සංවිධිත ලෙස ගොඩනැගී ඇති ක්වොන්ටම් සිද්ධාන්තයේ භාවිතාවන් හරහා සවිස්තරාත්මක විග්‍රහයන් සිදුවන ස්නායු-භෞතවේදයේ හෝ ස්නායු-මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් ය. එබඳු එළඹුම් අතුරින් වඩාත් දීර්ඝතම ඉතිහාසයක් ඇති සංකල්පය වන්නේ වොන් නියුමාන් එක්දහස් නවසිය තිස්ගණන් වල ප්‍රාරම්භ කළ පසුව විග්නර් විසින් වඩාත් සංවර්ධනය කළ වර්තමානයේ ස්ටාප් විසින් උත්කර්ෂයට ලක් කළ ප්‍රවාදයකි. එය වඩාත් රළු ලෙස සංකල්පගත කරන්නේ නම් භෞතික තත්වයේ ඌණිත ස්වරූපයට නෛසර්ගික ලෙස මානසික තත්වයන් සහසම්බන්ධතාවය දක්වන්නේ යැයි කෙරෙනු ලබන යෝජනාවයි. ඊටත් මදක් පසු කාලීනව නවසිය හැටගණන් වල ප්‍රචලිත තවත් අදහසක් වන්නේ රිසියාඩි සහ උමෙසාවා (Ricciardi and Umezawa ) විසින් සූත්‍රගත කළ ක්වොන්ටම් ක්ෂේත්‍රෙය් රික්තක අවස්ථා (vacuum states of quantum fields) ලෙස මතක අවස්ථා ප්‍රතිසම බව හෝ මානසික අවස්ථා ප්‍රතිසම බව සලකමින් ගොඩනගාගෙන ආ ප්‍රවාදය යි. මෙම එළඹුමේ ප්‍රමුඛ යෝජකයෙකු ලෙස දැනට සැළකෙන්නේ විටීලෝ (Vitiello) ය. අවසන් වශයෙන් බෙක් සහ එක්ලෙස් (Beck and Eccles) එක්දහස් නවසිය අනූ ගණන්වල දී යෝජිත එක්සෝසයිටෝසිස් (exocytosis) පැහැදිලි කිරීම් හරහා සිනැප්ටික් පැල්මේ කටයුතු සෘජුවම මානසික චේතනා කෙරෙහි බලපෑ හැකි බවට කළ අදහස් දැක්වීමයි.

තුන්වැනි ප්‍රවර්ගයකට අයත් වන අදහස් සමූහයක් වන්නේ වත්මන් වැඩිදුර සංවර්ධනය කළ හෝ සාමාන්‍යකරණයට ලක් කළ ක්වොන්ටම් සිද්ධාන්තයට අයත් දේය. ඒ ඇසුරේ මූලිකත්වය ගන්නේ පෙන්රෝස් ඉදිරිපත් කළ ගුරුත්වයේ ඌනිත තත්වයන් විසින් පිරිහෙලන ක්වොන්ටම් තත්වයන් විසින් ප්‍රමූලික විඥානය ගොඩනැගෙන බවට කරන ලද යෝජනාවයි. අවසන් වශයෙන් මේ ප්‍රවාදය සනාථ වීමට අනාගතයේ ගොඩනැගෙන්නට නියමිත හෝ අභිලාෂිත ක්වොන්ටම් ගුරුත්ව සිද්ධාන්තය එනම් දැනට සංවර්ධනය වෙමින් පවතින අසම්පූර්ණ කොටස සම්පූර්ණ ලෙස ගොඩනැංවීමට ඇවැසි වේ. පෙන්රෝස් සමගින්ම හැමරෝෆ් ද තර්ක කරන්නේ මයික්‍රොටියුබියුලි වෙත අවධානය යොමු කළ යුත්තේ එබඳු ක්වොන්ටම් ඌනිත තත්වයන් පැවතිය හැකි යැයි සැළකිය හැකි නිවැරදි පෙදෙසක් ලෙසිනි.

අනෙකුත් ක්වොන්ටම් සෛද්ධාන්තික එළඹුම් අදාළ වන්නේ සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් සිද්ධාන්ත එනම් ක්වොන්ටම් භෞතිකය ඉක්මවා යන ස්වරූප ඔස්සේය. මේ මග ගත් ප්‍රවාදයන් මූලික වශයෙන් පදනම් වන්නේ කලෙක සිට පිළිගත් සංකල්ප වන අනුපූරකතාවය සහ පටලැවිල්ල (complementarity and entanglement) මානසික සහ ද්‍රව්‍යමය යනාදී වූ දෙයාකාර වූ පෙදෙස් හි සම ලෙස යෙදේ යන සංකල්පනය යි. සුවිශේෂී ලෙස ද්විප්‍රකාර වූ අභිමතාර්ථ උදෙසා මේ සම්බන්ධතා භාවිතයෙන් යථාර්ථයේ කඩතුරාව ඉවත් කළ හැකි බවට කෙරෙන සංකල්පනය යි. මෙම කල්පනය ස්පිනෝසා තෙක්ම ඇදී යන්නා වූ ප්‍රවාදයක් වන අතර විසිවන සියවසේ ප්‍රකට විද්‍යාඥයන් වූ බෝර්-පෝලි-බෝම්-ප්‍රිමාස්-ඩි එස්පැනට් සහ එමග ගත් අනෙකුන් වෙති. අවසාන වශයෙන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ හෝ ක්වොන්ටම් ක්ෂේත්‍රය නියමාකාරයෙන් සර්වප්‍රකාරයෙන්ම නොයොදා එතුළ මුල්කාලයේ සිටම භාවිතා වන අපරිවර්තිත කර්ම (non-commuting operations ) හෝ බූලියානු නොවන තර්කනය (non-Boolean logic) වැනි සංකල්ප යෙදෙන හා ක්වොන්ටම් සිද්ධාන්ත සමහරක් භාවිතා වන සාමාන්‍යකරණය කළ ක්වොන්ටම් එළඹුම් මගින් ද ශුද්ධ ලෙසම මනෝ විද්‍යාත්මක ප්‍රපංච විග්‍රහයන් හමු වේ. එවැනි සමහරක් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වන අතර ඒවා නියෝජනය කළ විද්‍යාඥයන් සමහරක් ඒට්ස්-ඇට්මන්ස්පැචර්-බ්‍රෑසා සහ බියුස්මේයර් යන අයවළුන් වෙති (Aerts, Atmanspacher, Bruza, and Busemeyer).

පරිවර්තක සටහන

ඉදිරි ලිපි සැකසෙනුයේ පහත දැක්වෙන පිළිවෙලින් එම විවිධ ප්‍රවර්ගයන්ට අයත් ආකෘති විස්තර කිරීම උදෙසාය.

4.2 Stapp: Quantum State Reductions and Conscious Acts
4.3 From Umezawa to Vitiello: Quantum Field Theory of Mind/Matter States
4.4 Beck and Eccles: Quantum Mechanics at the Synaptic Cleft
4.5 Penrose and Hameroff: Quantum Gravity and Microtubuli
4.6 Mind and Matter as Dual Aspects
4.7 Mental Quantum Features