Wednesday, July 6, 2011

කවියක් සහ එගැන ගෙතුමක්-[කවියක පුරා විද්‍යාව..] හෂිත අබේවර්ධනගෙන්

පීතෘ භුමිය


හිරු රැසින් නැහැවුන මිටියාවත
කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි
ගීත ගයමින් ගලා යන ගංගා
සියොතුන් පියාඹන නිල් අහස
වීය අප සැමගේම පොදු වස්තුවක්

කිසිවෙකුට අයත් නොවූ භුමිය
වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක්
සැමදෙනා සමගිව සිටියෙමු
භුමියේ වැඩෙන ගස් වැල් ලෙස

කාලයක් මෙලෙස ගිය විට
ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම්
බෙදා වෙන්කර ගනිමින්
මගෙයි මගෙයි කියමින්

භූමියට කුරිරු ලෙස වධ දී
උපයාගත් රන්මසු වලින්
මිලට ගත්තෝය වහලුන්
කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ

බෙදා වෙන්කරගත් භුමියේ
පහල විය නීති රීති
ගරු කල යුතුයි දේපලට
අසල්වැසියාගේ

නීතිය කැඩුවන්
කුදලාගෙන ගියහ නිරී සතුන් සේ
සින්දෝය ඇතැමෙකුගේ අතපය
තියුනු අසිපත් වලින්

අහසින් කඩා වැටුනෝය පැලැන්තියක්
පූජකයන් කියාගත්
පෙන්නා දෙව්ලොව අපට
සින්දෝය උන් අපගේ සාක්කු

කූඩැල්ලන් මෙන් ගිජුව
සාරය උරාගත් භුමිය
දෙවියන් විසින් අපටම තිලින කල
භූමියක් බව ඇතැමෙකු කීහ

සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය
දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ
භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව
තරයේ අවධාරණය කළහ

පීතෘ භුමිය ආරක්ෂා කරනු
ඔවුන් අපට විධාන කළහ
බයිනේත්තු ඇමිණු තුවක්කු අතට ගෙන අප
පීතෘ භුමියේ සතුරන් සොයා ගියෙමු

මඩ වතුර පිරුණු අගල්වල
අප සතුරන් දුටිමු
ඔවුනටද කවා තුබුණි විස
අපව දුටු තැන නසන්නට

වෙන බසක් කතා කල
වෙනත් නිල ඇඳුමක් ඇන්ද
අප වැනිම මනුෂ්‍යන් කොටසකගේ ශරීර වලට
ඇන්නෙමු බයිනේත්තු වලින්
ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක්

දසත ගලා ගිය
මිනිස් රුධිරය
එක්විය ගංගා වලට
එකෙහින්ම නිල් ජලය රත් පැහැ විය
දේව ශාපයක් සේ

කාලතුවක්කු දුමාරයෙන් පිරී ගිය අහස
ඇද වැටුණු මහා වෘක්ෂ
නිසලවූ මිනිස් සිරුරු වැතිරුණු භූමිය
මිනිස් විෂ එකතු වුනු ගංගා
මැව්වේ අමු සොහොනක දසුන්ය

කුමක් වී ද ඒ රම්‍ය භූමියට
මිනිස් ගිජු බවේ සාපය වැදුණු
දියඇලි සිඳුනි මැලවුනි ගස්වැල්
හැර ගියහ සියොතුන් ශාපලත් භුමිය

අවසානයේදී සිදුවූයේ කුමක්ද
කිසිවෙකු නැත දැන සිටියේ
කියා දෙන්නට අවසන් ජවනිකාවේ රඟ
නොවීය පනැති කිසිවෙකූ එම භුමියේ

වෛද්‍ය රුවන් එම් ජයතුංග

කවියක පුරා විද්‍යාව...
හෂිත අබේවර්ධන

මිනිස් ඉතිහාසය සූත්‍රගත කිරීම සියලු දාර්ශනිකයන් හා ආගමික නායකයන් මුහුණ දුන් අභියෝගයකි. 'ඒ කෙසේ විනිද ස්වාමිනී?' නම් ගැටළුව මිනිස් වග සදා පෙලයි. අපි කොයිබින් ආමු ද? කොයිබ යන්නමෝද? යන අගාධ අනෝම ගැටළු විධිමත් ව ලිහීමට උත්සාහ දැරූ අවස්ථා මිනිස් ඉතිහාසයේ දුලබ නැත, සුලබ ද නොවේ. රුවන් ජයතුංග පීතෘ භූමිය නමින් 'කවියක' මේ ගැටළු දෙක බහා ලයි.

අග්ගඤ්ඤ සූත්‍රය විසින් අපි කොයින් ආමු ද? යන ගැටළුවට දුන් පිළිතුර ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හා ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් විශ්වශුක්‍රයක [Panspermia] න්‍යාය ලෙස නූතන විද්‍යාවට අනුගත කළහ. වාසෙට්ඨ හා භාරද්වාජ දෙනම වෙත තථාගතයන් ගෙන පෑ පිළිතුර සිංහල කවියෙහි මුල් වරට යොදා ගත්තේ මහගම සේකර යි. ඔහු ප්‍රබුද්ධ හි වික්ටර් වෙත මුල ප්‍රශ්නය පැහැදිලි කරනු වස් අග්ගඤ්ඤ සූත්‍රය යොදා ගනී.


.......
වාසෙට්ඨය!
ඉක්බිති ඒ සත්ත්වයෝ
ඇල් වී බෙදා ගත්හ
මායිම් තනා ගත්හ

[ප්‍රබුද්ධ දෙවන මුද්‍රණය 1980, පිට 93]

රුවන් ඔහුගේ කවියේ මුල් අඩ අග්ගඤ්ඤ-එංගල්සියානු මුහුමකින් වියයි.

කිසිවෙකුට අයත් නොවූ භූමියෙහි විසූ ආදි ගෝත්‍ර; පොදු වස්තු සහිත, සියල්ලන්ට සම අයිතීන් වූ, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර මල්ල-ලිච්ඡවී ගණයන්ට බඳුව පැවතුනු බව ඒ ආශ්‍රයෙන් රුවන් රූපණය කරයි.රුවන් ට ප්‍රතිපක්ෂව චර්යාවිද්‍යාවන් නැගී සිටියි, ඉම් සළකුණු කිරීම බොහෝ සතුන් කරති. මිනිසා සිය රංචු අතර ගැටෙමින් රංචුව ඇතුළත පොදු බව ආරක්ෂා කළ බව එංගල්ස් හා ඔහු අනුයමින් 'වොල්ගා සිට ගංගා තෙක්' ලියූ රාහුල සංස්කෘත්‍යායන අපට ඉඟි කරති. අග්ගඤ්ඤ සූත්‍රයේ මුල කොටස ද ඉඟි කරන්නේ මිනිස් නොවන අවධියක ආලෝක ශරීර සහිත ජීවීන් වර්ගයක් 'රසාතලයක්' අනුභව කරමින් හුන් යුගයක් දෙස විය යුතුය. [ආචාර්ය සිරිල් පොන්නම්පෙරුම මේ රසා තලය 'ආදී සූපය' නමින් බෞතීස්ම කර ජීවයේ 'ස්වයංසිද්ධ ජනනය' සූත්‍රගත කළේය.]

ප්‍රාග් ඉතිහාසය හා ඉතිහාසය අතර ඇත්තේ මහා වියවුලකි. මිනිස් වර්ගයා අවසාන වන තුරු මේ වියවුල ලිහා ගත නොහැකිවනු ඇත. ශිෂ්ටත්වය යනු ලෝක නීතියකින් මිනිසා බැඳී යාමය. එහි හොඳ නරක තිබියදී ලෝක නීතිය පිළිගැනීම ශිෂ්ට බවයි. මිනිස් වර්ගයා අතර ස්වමාංශ භක්ෂණය පිළිකෙව් කිරීම එබඳු එක ලෝක නීතියකි.

ඉන්දියාවේ ප්‍රකට දලිත් ලේඛකයෙකු වන ආචාර්ය කන්චා ඉලයියා ට අනුව ජෛනයින් හා බෞද්ධයින් පොදු දේපල අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. [God as a Political Philosopher –Budhdha’s Challenge to Brahminism,132 පිට]. බුදුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලා අභියෝගයට ලක් කරන්නේ එතෙක් පැවති මහා මිත්‍යාවකි. සතර වර්ණයන් බඹුගේ මුවෙන් ඇරඹි පා දක්වා උස්මිටි භේද සහිතව ලොවට උත්පාද වන බවට වූ මිත්‍යාව ඔවුහු සුණු කර දමති. බමුණාද ශුද්‍රයාද එකසේ ස්ත්‍රී යෝනියෙන් උපදින බව මතක් කර දෙති.

මේ කවර වූ යුගයක්ද, අජාසත් හා කෞටිල්‍ය විසින් කුඩා ගණ ගෝත්‍රයන් සිය අණසකට ගනු පිණිස මන්ත්‍රණ, කුමන්ත්‍රණ, භේද, වාද හා ගැටුම් ඇති කරමින් පැවති යුගයකි. වෙදුන්, නිළියන්, ගණිකාවන්, සේනාපතියන් මතු නොව සන්‍යාසීන්, පරිබ්‍රාජිකාවන් ආදීන් ද කුමන්ත්‍රණයන්ගේ උපකරණ වූ යුගයකි. ගණ නායකයන් බිඳවිම ඔවුනගේ රාජකාරිය විය. ලිච්ඡ්වීන් විෂය කොට අපරිහානීය ධර්මයන් දේශනා කිරීමට බුදුන් උත්සුක වන්නේ එබඳු දේශපාලන සංදර්භයක කිසියම් පිළිවෙලක් ඇති කරනු පිණිස විය යුතුය. ස්ත්‍රියට මහණ වීමට ශික්ෂා පද පනවන්නේ පරිබ්‍රාජිකාවන්, නිළියන්, ගණිකාවන් හා අනෙකුත් පුර ස්ත්‍රීන් ඝාතනය වන, දූෂණය වන යුගයක මෙහෙණි සංඝය එයින් හැකිතාක් දුරට ඈත් කර තැබීමට විය යුතුය.

සමාජ උපරි ව්‍යුහය විසින් ඇතිකරන වර්ණ-ධර්මය පිළිගැනීම වරෙක ශිෂ්ටත්වය වනවා සේම ඒවායේ අඩුපාඩු, ප්‍රතිවිරෝධතාවන්ට එරෙහිව කවර හෝ තලයක ක්‍රියාකාරී වීම උතුම් බව පසක් කළේ ගෞතමයන් වහන්සේමය.

ශිෂ්ටත්වය මිනිසෙකු තමා අයිති වන ජන කොටස විසින් ඒ සඳහා කළ යුතු යුතුකම් කරනු පිණිස බැඳ තබයි. පීතෘ භූමිය නම් සංකල්පීය රූපය විසින් මිනිසෙකු ගැහැණියක සිය ආදි කල්පික සීමාවන් රකිනු පිණිස, තහවුරු කරණු පිණිස, පුළුල් කරණු පිණිස පොළඹවයි. මර්දනයේ, වහල් බවේ, පීඩනයේ කුරිරු කම් සියවස් තුන්සියයකට වැඩි කලක 'පොදු විඥානය' බවට පත් කොට ගෙන ඇති නිසා එකිනෙකා ගේ ගෙළ වෙත යොමු වූ දත් හා අත් ඇතිව ස්වයංඝාතක අභිලාෂයන් දක්වා කුළු ගැන්වුනු යුගයක් අපි ජීවත් වෙමු.

මෙබඳු යුගයක කවියාගේ භූමිකාව 'වණ්ණුපථ ජාතකයේ' මෙන් රවුමේ කැරකෙමින් සිටින සමාජ ජීවිතය අභාවයෙන් අභාවයට යාම වැළැක්වීමය [දොරමඬලාව, දයාසේන ගුණසිංහ 19 පිට]. සමාජ ජීවිතයට කෙවිටකින් තැලීමය.

රුවන් සිය කෙවිට වනා ඇත. මට රිදී ඇත.

2 කුළිය:

You Know Who said...

මිනිසාගේ ඇතුලාන්තය ගැන ඔබේ කියැවීම විශිෂ්ඨය.., මම ඔබට ආචාර කරමි!

සොඳුරු සිත said...

ගොඩක්ක්ක් දුර ඈත කාලෙ දි , වර්ෂ ගණනාවක් එක දිගට වැහැපු වැස්සෙන් ,වැහි බින්දුවක් වත් පොළවට වැටුනෙ නැති යුගයක් තිබුනලු. මොකද , ඒ තරමට පෘථිවිය ගිනි ගොඩක් , වැටෙන මුරුගසන් වැස්ස මඟදිම වාෂ්ප වෙනවා.

එහෙම වැහැල වැහැල තමයි , අන්තිමට පෘථිවිය සිසිල් වුනේ.ඒ සිසිල් වුන පෘථිවිය මත, සාගර , ඟංගා ,දිය ඇලි , කඳූ හැදිලා , ජලයෙන් ජීවය ඇරඹීලා , මේ කවියෙ මුල තියනව වගේ ලස්සන පෘථිවියක් ඇති වුනා ලු.

ඒත් ආයෙමත් , පෘථීවියෙන් ඇති වුන ඒ ලස්සන ජීවය නැති වෙන්නෙත් , ඒ මත ඉන්න සොඳුරුම ජීවියා අතින් කියලා මේ කවිය කියවපු මට හිතුනා.