මා කාලයක් මාතර නිව් සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නකු ලෙස පුහුණුවක් ලැබුවා. ඒ මා උසස් පෙළ අවසන් කර නිකරුණේ ගත කළ කාලයෙන් බිඳක් වැය කරන්නට සිතූ අයුරකි. ඒ දවස්වල සිනමා ශාලාවේ පැවැති බොහෝ සිනමාත්මක කටයුතු දැක බලා ගන්නට ද ප්‍රසිද්ධ නළු නිලියන් කීප දෙනෙකු ද නොයෙක් සිනමා නිර්මානකරුවන් ද උත්සවාකාරී අවස්ථා සඳහා ඉඳහිට පැමිණියෙන් ඔවුන් සැබැවින් දැක බලා ගැනීමට ද මට හැකි වුනි.
ඒ දවස්වල අදූර් ගෝපාලක්‍රිෂ්නන්ගේ සිනමා උළෙලක් ද මාතර පැවැත් වුනි. ඒ සිනමාපට සියල්ලම අඳුරු කුටියේ ජරමර සද්ද මැද සිනමා තිරය මතට යොමු වුන කවුළුවකින් අනෙක් ඔපරේටර්වරයාට නොදැනෙන සේ බැලීමට මම යොමු වූයෙමි.
සිනමාපටයක් ප්‍රොජෙක්ටරයකට ඇතුළු කර එය ධාවනය කරවීමේ පරිචය ලබන්නට වැඩි කාලයක් ගත නොවුනෙන් එම ඒකාකාරී පුහුණුවෙන් මම පළා ගියෙමි.
දැනුදු මාතර නිව් සිනමා ශාලාව ඇසුරේ අසූ ගනන් අග මතකය ඉඳහිට ඇවිලෙන්නේ අතීතය වසාගත් අමුතු අඳුරක් ද සමගිනි.
මේ සිනමා ප්‍රොජෙක්ටර සිදුවීම මගේ මතකයට යළි නැගුනේ අහම්බෙන් ගොඩවන්නට ලැබුණු කවි බ්ලොගයක දුටු නිර්මානයක් නිසාවෙනි.
ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය නම් වූ එම නිර්මානය කවි සෙවණැල්ල නම් වූ බ්ලොගයේ ඇත. එය ප්‍රියන්ත ෆොන්සේකාගේ වැඩකි. ඔහු ද සිනමා අධ්‍යයනයක සිටිනා අයෙකු බැව් සඳහන් ය.
අවසන් වශයෙන් ප්‍රොජෙකටර ආලෝකය දිගේ තිරය දෙසට ගොස් දිවි ගලවා ගත් එකම කුරුල්ලා මම දැයි සිතන්නට මගේ කලබල සිත දැඟලූ බැව් පමණක් ලියා තබමි.