Tuesday, December 25, 2012

කින්ඩලීකරනය


මා බොහෝ ඉංගිරිසි පොත් කියවන්නේ පරිගනකයෙනි. ඊට හේතුව ඒවා වියදමකින් තොරව අන්තර්ජාලයෙන් එකතු කර ගත් ඒවා වීමත් එම මුල් කෘතිවලම මුද්‍රිත කෘති ලංකාවේ දී මිළට ගැනීමට නැති වීමත්ය. කියවීමට වේලාව වෙන්කර ගැනීමේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දෙන මට ලැප්ටොප් යන්ත්‍රයේ පවා කියවීම දුෂ්කර වන අවස්ථාවන්ට නිතරම මුහුණ දෙන්නට සිදු වීමෙන් කාලය නිකරුනේ ගෙවන්නට වන අවස්ථා ද බොහෝ විය. මුහුද ආශ්‍රිත මගේ අලුත්ම රැකියාව මේ සියළු කියවීමේ බාධක නිර්මානය කර ඇත.

අයිපෑඩ් එකක් හෝ එබඳු කියවීමේ උපකරණයක ඇවැසි බව මට හදිසියේ මතක් වී දැන් මාස හතරක් පහක් ගෙවී ඇත. අයිපෑඩ් එකක ඇත්තේ මට අවශ්‍ය මූලික දේ ඉක්මවා යන්නා වූ අංගෝපාංගයන්ගේ එකතුවක් බැවින් එය මගේ තේරීමක් නොවුනි. වෙනත් බොහෝ අය මෙන් යන යන තැන ඊමේල් බලා එවෙලේම පිළිතුරු සැපයීමේ හදිසියක් මට නැති බැවින් සහ යන එන තැන සිතියම් වලින් දැක බලා දේශාංෂ හෝ අක්ෂාංශ බලා ගැනීමේ ව්‍යාජ අවශ්‍යතාවන් ද මට නැති බැවින් එබඳු සාටෝප අංගෝපාංගයන්ගෙන් පිරුණු අයිපෑඩ් එකක් ළඟ තබා ගැනීම ද මට ඉමහත් අපහසුතාවයක් බැව් දැනී තිබුණි.

වැදගත්ම කාරණය නම් මට කරගැනීමට අවශ්‍ය මූලික කටයුත්ත වන පීඩිඑෆ් (PDF)  ෆයිල් කියවීමට සුදුසු උපකරණයක් සොයා ගැනීම හැර අන් කිසිදු පහසුකමක් පිළිබඳ මගේ කිසිදු උනන්දුවක් නොවීමත් ඒ අනවශ්‍ය පහසුකම් වෙනුවෙන් මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නොවීමත් ය.

අතීත කතාවක්

මා කැමරූන් හි සේවය කළ කාලයේ මොරොක්කෝව හරහා යවුන්ඩේ ගුවන්තොටුපලට එන ගමනේ දී මා අත්දුටු එක්තරා අයුරක චමත්කාරජනක දෙයක් නම් යුරෝපීය මගීන් බහුතරයක් ගල්ලෑල්ලක් බඳු සරල කියවීමේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ආධාරයෙන් කියවමින් ගමනේ යෙදෙන බවය. මා ලැප්ටොප් යන්ත්‍රයේ කියවමින් සිටිද්දී මේ අය ඉතා පහසුවෙන් අත්ල මත තබා ගත් මේ සරල උපකරණයෙන් කියවද්දී මට ද එවැන්නක් ඇත්නම් කොතරම් පහසුවක් දැයි සිතුණු වාර අනන්තය.

ඔවුන් ඒ පාවිච්චි කළ සරල උපාංගය කින්ඩල් නම් වූ ඇමසන් වෙබ් අඩවිය විසින් වෙළඳ පොලට හඳුන්වා දුන් උපකරණය බව මා අන්තර්ජාලයෙන් දැන සිටියත් ඒවා සැබැවින්ම මා දුටුවේ කැමරූන් දේශයට ඊජිප්තුවේ සිට මොරොක්කෝව හරහා යමින් සිටිද්දී ය. ලංකාවේ දී මා කින්ඩල් උපකරණයක් දැක තිබුනේ නැත.

වර්තමාන කතාව

මේ ළඟදි හදිසියේ හෂිත අබේවර්ධන මා වෙත එවූ ඊමේලයක සඳහන් වූයේ ඔහුගේ බිරිඳගේ බාල සහෝදරයා වන ජගත් පනාවල එංගලන්තයේ සිට ලංකාවට නිවාඩුවට එන බවත් ඔහු ලවා කින්ඩල් එකක් ගෙන්වා ගන්නට ඔහු ලක ලැහැස්ති වන බවයි.

ඔහු ට මා ද එක් විය.

දැන් "ස්ටේට් ඔෆ් ද ආර්ට්" කියවන්නෙක් බවට මම පත්වී ඇත්තෙමි.



ප.ලි.

මා නිතර කියවන්නට සිතමින්, තවමත් කියවන්නට නොහැකිව එකතු කර තබා ගත් පොත් දහසක් පමණ දැනටමත් කින්ඩලයට ගොඩ ගසා ඇති අතර ඒවා මගේ ඉතිරි ජීවිත කාලයම මිඩංගු කළ ද කියවා අවසන් කළ නොහැකි බැව් ද දනිමි. මා නොකියවා සිටිය ද මා වෙනුවෙන් මගේ අලුත්ම කින්ඩල් යන්ත්‍රය ඒ පොත් කියවනවා ඇතැයි සිතමින් සිටීම ද මට සතුටකි.