Saturday, April 18, 2009

සියළු ඇනෝනිමස්ලාට ආදරෙන්

සියළු ඇනෝනිමස්ලාට ආදරෙන්
To Anonymous with love

පික්සල් පලාගෙන එන අදිසි නමක්
නන්නාඳුනන තුවක්කුකරුවෙක්
ඇනෝනිමස්
anonymous

මිනිසත් භවයේ නවතම ආත්ම
බහු ආත්මික මිනිසුන්ගෙන්
ඔව් උනට ආත්ම ගොඩයි
ඇනෝනිමස්

කෙලෙස හඳුනා ගන්න ද මෙ
භූමිකාව සබඳ; ඇනෝනිමස්

බසයක නන්නාඳුන ගැහැණියකට හේත්තු වූවා වැනි
දිගට හරහට තවයිසිත ගත
උරයි මනසින් ඇගේ රොනවුල්
නන්නාඳුනන ගැහැණියක් ඇය
කෙලෙස හිරි බිය නැති කළ ද කම් නැත
නන්නාඳුනන ගැහැණියකි ඇය

ඈ මගේ මව නොවෙයි;
ඈ මගේ සොයුරිය නොවෙයි;
ඈ මගේ මිතුරියක නොවෙයි;
ඈ මගේ ඥාතියකු නොවෙයි;
ඈ මගේ කිසිවකු නොවෙයි;
ඉතින් කම් නැත
ඒ ඇගට හේත්තු වූවාට
එය යුද පිටියක බටයකු අතට පත්
තවත් එක් සතුරු සන්තකයක් පමණි
රිසි සේ එය හසුරුවන්නට
අයිතිය ඇත- ඇය ඇයට හිමි නැත

ඇය හඩ නොනගයි
මුනිවත ඉවසයි
ඈ සිතින් ශාප කරයි
එය නුඹට නෑසෙයි

බසය නොව සයිබරය
ගැහැණු නොව බ්ලොග්වලට
ඉව කරන සලෙළන් ද
මෙ අලුත් ඇනෝනිමස්?

ආත්මයක් නැති
නිර්නාමික; ශරීර නැති

ඒ බඹ ලොව නොව මෙ සයිබරය
මෙ අපි සැරිසරන සයිබරය!
බඹලොව පරදන නම මිස කය නැති
සිත නැති කුස ඇති රහසග නැති

අංගය සිඳ ගත් අනංගලා
ඇනෝනිමස් ලෙස
ජැක් එක නැතිව
ගැහැණුන්ට ජැක් ගහන!
තම සිතැගි පුපුරුවා ලන
ඇනෝනිමස්
බඹලොව පරදන නම මිස කය නැති
බ්ලොග් අස්සේ ජැක් ගහන
ජැක් එක නැති
ඇනෝනිමස්

සබඳ ඇනෝනිමස්
අපි සපථ කරමු
නුඹලාගේ නැතිවුන රහසග
සොයා දෙන්නට
එතකන් බ්ලෝග් අස්සේ
ජැක් ගැහැව්වා යැයි තුටින්
කල් යවනු මැන

ඇනෝනිමස්
anonymous



ඩෝසන් ප‍්‍රීති
200904

Tuesday, April 14, 2009

උපකල්පිත සුබ නව වසරක් !

නව වසරක් ලැබූ බව ද උපකල්පනය කර
එම නව වසර සුබ යැයි ද උපකල්පනය කර
එම 'සුබ' යයි උපකල්පිත දෙය
'සුබ අලුත් අවුරුද්දක්' යැයි කියා ප‍්‍රාර්ථනා කිරීමෙන්
එය කියන්නාගෙන් අසන්නා වෙත ද

අභිපේ‍්‍රරණය වන්නේ යැයි උපකල්පනය කර
එනම්
මට සුබ යැයි උපකල්පිත නව අවුරුද්ද
එලෙසම ඔබට ද සුබ වීමට

මගේ ප‍්‍රාර්ථනය දායක වන බව
උපකල්පිතව

ඔබට මම

'සුබ නව වසරක් වෙවායි ප‍්‍රාර්ථනා කරමි '

ඩෝසන් ප‍්‍රීති

200904

Sunday, April 12, 2009

රතු බිලක් වත්?

අදත් වෙනදා වගේම
ජනෙල් මිට්ටම උඩ ඉර!
හීතල ජීවිතයකට
උණුසුම අරන්

පාර වැරදිලා ද කොහෙද
හැමදාමත් වගෙ
නුහුරුයි මෙ ළගක ඉඳලා
සැකයි උඹෙ ගමන!

බිලක් අරන් එන්නේ නැද්ද
ගෙදර අයිති ගෑණි වගේ?
තැපෑලෙන්වත් එවන්නේ නැද්ද
විදුලි බල මණ්ඩලේ වගේ?

හැමදාමත් පාර වැරදිලා
මටත් ඉර එලිය
ටිකක් දීලා යනව ද?
කිරි කාරයා පත්තර කාරයා වගේ
නැද්ද මාසේ අග
බිලක් එවන්නේ ?

අඩුම ගානේ හිත සැනසෙන්න
රතු බිලක් වත්?

ඔහොම නොකිය නොහඩ ඉඳලා
එක පාරට බිල් එවයි ද?

අන්න හඳටත් දඩ ගහලා
මෙච්චර කල් ණයට ගත්
උඹෙ එලිය වෙනුවට
බයයි මට කියන්නත්
රනින් හැදුවත් යතුර
ඇරියෙ වැරදි දොරක්නිසා
අන්න යතුරු වඩුවත්
දැන් හිරෙ!

නැද්ද මාසේ අග
බිලක් හෙම එවන්නේ ?
නැද්ද බදු හෙම
ගනන් ගන්නේ ?

අඩුම ගානේ හිත සැනසෙන්න
රතු බිලක් වත්?
ඔහොම නොකිය නොහඩ ඉඳලා
එක පාරට බිල් එවයි ද?

හිර ගෙදර මූසලයි
බදු ගෙවුම සැපක් ... !


ඩෝසන් ප‍්‍රීති
200904