Thursday, July 26, 2012

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ



ලංකාවේ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු ලියා පළ කරන බොහෝ නවකතා කෙටිකතාවලට පාදක වන්නේ ඔවුනගේම විශ්ව විද්‍යාල අභ්‍යන්තර අත්දැකීම්ය. ඒ හේතුවෙන් චින්තක රණසිංහ අතින් ලියැවුණු මේ නව කතාවේ ද ඇත්තේ විශ්ව විද්‍යාලයට පිටින් සිටිනා අප වැන්නවුන් නොදන්නා ඔවුනගේම විත්ති කාරණා ඇතුලත් කතාවකි. මෙබඳු උසස් අධ්‍යාපන කේන්ද්‍ර යේ ඇති පුළුල් චරිත පිටුපස ඇති අප්‍රසිද්ධ ‍- ඇසීමට දැන ගැනීමට නොසුදුසු -එම වෘත්තීයට නොගැලපෙන යථ ඇසුරෙන් කතා නවකතා සහ වාර්තා ලියා පළ කොට ඇත්තේ චින්තක රණසිංහ පමණක් නොවේ.

වර්තමානයේ සැබැවින්ම උසස් අධ්‍යාපනය නැතිනම් විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගත් ගුරු බල ඇණි විසින් නියාමනය කරනු ලබන සමස්ත අධ්‍යාපනය උදෙසා වූ අරගලය උත්කර්ෂයට නැංවී ඇති මොහොත අභිමුව ඔවුනගේ සටන දුර්මුඛ කරනු වස් මෙබඳු සාහිත්‍යාංග මතුකර දක්වන්නෝ ද මතු විය හැකිය. මේ එබඳු ප්‍රයාමයක් නොවන මුත් ප්‍රබන්ධයත් යථාර්ථයත් අතර මායිම් රේඛා මැකී ගොස් ඇති බව යලි යලිදු පවසන්නට ඇවැසි බුද්ධිමය ප්‍රජාවක් මේ මොහොතේ මේ මහ පොළව මත ඇතැයි කල්පනය කිරීම නුනුවණ කමකැයි මම සිතමි. පරිකල්පනය ඔස්සේ කළ නිර්මානයක යථ සෙවීම අතාර්කික ය. එනමුත් යථෙන් තොර පරිකල්පනයක ඇති අර්ථයක් ද නැත. එනයින් නවකතාව යනු යථ නොවන බව ද එනමුත් යථෙන් පරිබාහිර යමක් ද නොවන බවද සිත් හි තබාගෙන එය විමසීම අරුතක් ඇති ව්‍යායාමයකි.

අනෙක් අතට අනෙකා විනෝද වන විදිය සොයා වාර්තා කිරීමේ සාහිත්‍ය වර්තමාන පාඨක ලෝකයට කොතරම් ගැලපේද යන්න ද වැදගත් කාරණයකැයි නොසිතමි. එනමුත් අනෙකාගේ විනෝදයට තමන් ගැට ගැසෙන ආකාරය ද විශද වන නිර්මානයක අවශ්‍යතාවය ඊට වඩා පුළුල් ව්‍යායාමයකැයි මම සිතමි. නොඑසේ නම් නිර්මානයේ දී තමන් අයත් නොවන එසේ නොමැති නම් තමන් මේ ලොව යථාර්ථයට අයත් නොමැති ශ්වේත ජීවියකුගේ කේන්ද්‍රයට වී අනෙකාගේ අශ්ලීලත්වය පින්තාරු කිරීම අමු ව්‍යාජයකි. සැබෑව නම් එම යථාර්ථයේ අවිච්ඡින්න කොටසක් ලෙස තමන් ද අන්තර්ගතයැයි තමන්ට නොපෙනෙන ලෙස හැසිරීමයි. කෙනෙකු විනෝද වන්නට තෝරා ගන්නා ස්වරූප තීරණය කොට ඇත්තේ හුදෙක් ඔහු තුළ වන අභ්‍යන්තර කාරණා විසිනැයි යන්න උත්කර්ෂයට නැං වෙන ආකාරයේ සාහිත්‍යයකින් ඇති ඵලය කිමැයි යන්න එහි සැබෑ වැදගත් කාරණය යි.

අද ලෝකයේ භ්‍රමණ අක්ෂය වන්නේ අධි පරිභෝජනවාදය යි. එහි නියත කරකැවිල්ල නරුම දෘශ්ටිවාදය යි. මේ ප්‍රවනතා විසින් පුපුරුවා හැර නැති දෙයක් නොමැති තරමට සියල්ල සිය විශිෂ්ට තල වලින් විතැන් කර ඇත. එනයින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පමණක් ආවේණික වූ ද බාහිර සමාජයේ නිවසන්නන්ට නොමැති වූ ද අමුතු ගැට‍ළුවක් ලෙස නරුමත්වය මතුකර දැක්වීමේ හදිසි සාහිත්‍යාංගයක් ප්‍රභල ලෙස සමාජගත කරන්නේ ව්‍යාජයක් ය යන්න මගේ අදහසයි. කෙටියෙන් පැවසිය යුත්තේ අපි කවුරුත් ඔය වගේ තමයි යන්න යි. මිනිසාගේ භෞතික පැවැත්මේ නරුම මානය සදය උපහාසයට හෝ උත්ප්‍රාසයට නැංවීම සාහිත්‍යකරණයක් විය හැකි නමුත් ඉන් විශේෂිත තත්වයක් මවා පෑම අවංක ප්‍රයාමයක් නොවේ යන්න මගේ අදහසයි. ඒ නවකතාවේ කේන්ද්‍රීය චරිත අරභයා ඇති වන පළමු වටයේ අදහස යි.

විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට නවකතාවක් වෙනුවෙන් වැය කළ හැකි ශ්‍රමය කොතරම් ද යන්න නිමානය කළ හැකි ක්‍රමවේදයක් නොමැත. එනමුත් මේ කෘතිය උදෙසා කතෘගේ කැපවීම හෝ වැගිරූ ශ්‍රමයක් පිළිබඳ කිසිදු ඉඟියක් එහි අන්තර්ගතය ඔස්සේ පළ වන්නේ නැත. (මා මතු කරන්නේ ලිවීමට ගිය ශ්‍රමය ගැන නොවේ.) මින් මා අදහස් කළේ මිනිස් ජීවිතය පිළිබඳව හෝ මිනිස් චර්යා ධර්ම වෙනුවෙන් කළ ගැඹුරු අධ්‍යාත්මික ගවේෂණයක් හෝ මනෝ විශ්ලේෂණාත්මකව අධිනිශ්චය වන  හෝ ප්‍රමාණාත්මකව ග්‍රහණය වන ප්‍රපංචයක් මෙහි අන්තර්ගත නොවේ. හුදෙක් සිංහල විෂයේ පාරප්‍රාප්ත දේශකයෙකුගේ දෛනික සටහන් හෝ දේශන විලාසයන් ඇසුරෙන් ලියැවුනු සාහිත්‍ය උපුටනයන් පැතිරුනු නවකතාවකින් සාමාන්‍ය පාඨක ලෝකය කුළු ගැන්විය හැකි යමක් අවසානයේ ශේෂ වන්නේ නම් එය "අප ද අර පැරණි සාහිත්‍යාංග කියවා රස විඳින්නට පෙළඹිය යුතුය" යන්නක් වැනි විනා ඉන් ඔබ්බට දිගු වූ ජීවන සත්තාවක ගැඹුරු සංස්පර්ෂයක් නොමැත. පැරණි සාහිත්‍යාංග කියවා රස විඳීමේ පණිවිඩය පාඨක ලෝකයට ගෙන ඒමට මෙතරම් සාහිත්‍ය ඉඩක් ම නැති නාස්ති කළ යුතුදැයි මා අසන විට "එය එසේ ම යැ"යි පවසන්නට බොහෝ අය ඉදිරිපත් වනු ඇතැයි මට සිතේ. එනමුත් සංසන්දනාත්මකව මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව වැනි නවකතාවක කතෘ ශ්‍රමය වැගිරූ ස්වරූපය බැලූ කල එහි අන්තර්ගත සන්දර්භය උදෙසා සැබෑ ලෙසම ධීවර ජන ජීවිතය අළලා කෙරෙන යථාර්ථමය හෝ අධියථාර්ථමය (බයිබලය සමග ඒකාග්‍රවන) එළඹීම ම එම ශ්‍රමයේ පරිධිය කොතරම් ද යන්න මතු කර දැක්වීමට උචිතම උදාහරණයකැයි මම සිතමි. ඒ ඇසුරෙන් ගත් කල විශ්ව විද්‍යාල ඇදුරෙකුට තම ක්ෂේත්‍රය තුළම මතුවන චරිත හැදෑරීමට අමුතුවෙන් ශ්‍රමය වැගිරීමක් ඇවැසි නොවේ. එය ලාභදායි එළඹුමකැයි මම සිතමි. කෙසේ වුව ද ලංකාවේ නවකතා රචකයන් බහුතරයක් කරකැවෙන්නේ අල්ප අත්දැකීම් නිසාවෙන් ලියා ගන්නට දේවල් නැති එනමුත් අනෙකාගේ විනෝද ස්වරූපය කිමැයි කුහුලෙන් ජීවත්වන ව්‍යාකරණවේදයේ සහ ගද්‍ය-පද්‍ය ඉතිහාස ක්ෂේත්‍ර තුළ පාරප්‍රාප්තිකයන් බැවින් මෙය ද නවකතාවක් ලෙස පිළි ගැනීමට පාඨක අපට සිදු වේ. නවකතාවක් රචනය උදෙසා කතුවරයෙකු විසින් අනිවාර්යෙන්ම විශාල ශ්‍රමයක් වැගිරිය යුතු යැයි නියමයක් ඇත්තේ දැයි මම නොදනිමි. එනමුත් නිර්මානයක් පරිශීලනය කිරීමේ දී එබඳු දැවැන්ත ශ්‍රමයක් වගුරා මතු කරගත් යමක් එහි වෙතැයි යන්න සංඥා වීම පාඨකයාගේ අමන්දානන්දයට හේතුවනු නියතයැයි මම සිතමි. විශ්ව විද්‍යාල ආචර්යවරයෙක්-පත්තරකාරයෙක්-ගණිකාවක්-හිස්ටරික ලාක්ෂණික ගැහැණියක් යන සූත්‍රයෙන් ඔබ්බට ගිය වඩාත් දුෂ්කර මාවතේ නවකතාවක් කා අතින් හෝ ලියැවෙන තුරු බලා සිටිමි.

Tuesday, July 24, 2012

"අර මිහිරි සීනු නාදය" සහ ක්ලයින් බෝතල සූත්‍රය

"අර මිහිරි සීනු නාදය" නම් වූ ලියනගේ අමරකීර්තිගේ කෙටි කතා සංග්‍රහය ඒ ආරේ අමුතුම කතා සංග්‍රහයක් වන්නේ එය තුළම අන්තර්ගත එක් කෙටි කතාවක එන සූත්‍රයකින් එම කෘතියත් සමස්ත මාධ්‍ය ලෝකයත් එකිනෙක නිරාවරණය කර ගන්නා බැවිනැයි මට සිතේ.

එම සුවිශේෂී කෙටි කතාව "යතුරු සිදුරක" ලෙස වේ. එය විසින් ගෙන එන සූත්‍රය "ක්ලයින් බෝතල සූත්‍රය" යැයි මම හඳුන්වමි.

එනම් වඩාත් දීර්ඝ ලෙස පැහැදිලි කළහොත් එය මෙයාකාරය.  "යතුරු සිදුරක" අන්තර්ගතය වන්නේ කිසියම් විද්යුත් මාධ්‍යකරුවකු රටේ පවතින ලිංගික අපහරණ සිදුවීම් අළලා රූපවාහිනි වැඩසටහන් නිර්මානය කරමින් එය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම කැඳවා යාමයි. දෙවනුව කරලියට එන්නේ එම වැඩසටහනින් විනෝදය හෝ සංතෘප්තිය ලබන්නට එහි ප්‍රෙක්ෂකයන් ඇබ්බැහි වීමෙන් එවැනි වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටින්නට සිය දායකත්වය නොපිරිහෙලා පුද කරන්නට තරුණ තරුණියන් පෙළඹෙන ආකාරයත් ය.

කොටින්ම සමාජය දැනුවත් කිරීම ඔස්සේ ස්ත්‍රීන් සමාජයේ අගතීන් නිසාවෙන් විඳිනු ලබන ලිංගික පීඩනයන් ඛේදවාචකයන් පිළිබඳ කතිකා ගොඩනැගීම කෙසේ වෙතත් ඒවා මාධ්‍ය ඔස්සේ දිග හැරෙන ප්‍රවෘත්තිමය වටිනාකමත් ඒවායේ සංදර්ශනීය භාවිතාවන් ද හේතුවෙන් වඩාත් ලං වන්නේ පුරුෂ සංකේත ලෝකය පිනවීමේ උපකරණ බවට පත්වීම බව මේ කෙටි කතාවෙන් හැඟවුම් වේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙබඳු රූපවාහිනී වැඩසටහනක් නැරඹීමටත් වඩා එවැනි වැඩසටහනක කොටස් කරුවකු හෝ කාරියක වන්නට තරුණ තරුණියන් වලිකෑමේ උත්ප්‍රාසය යි.

කතන්දරය අවසානයේ මෙම වැඩසටහන් නියමුවා නවීන රූපවාහිනි සේවාවක අධ්‍යක්ෂ ධූරයට පත්වද්දී ඔහු කරගෙන ආ වැඩසටහනේ තිර පිටපත පමණක් ඔහු අතින් නිමවද්දී අනෙකුත් ස්වේච්ඡා තරුණ බලමුළුවක් විසින් එම වැඩසටහන වඩාත් ලාභදායක ලෙස කරගෙන යෑමට උත්සුක වෙයි.

අප මේ ජීවත් වන නරුමත්වය කේන්ද්‍රීය දෘශ්ටිවාදය වූ සමාජයේ මීටත් වඩා දැකිය හැකි පොදු ධර්මතාවක් කෙටි කතාවකට තේමා විය හැකි නම් ඒ මේ උත්ප්‍රාසාත්මක කෙටි කතාවට බොහෝ පහලින් යැයි මට සිතේ. මුල් වටයේ දී ජුගුප්සාජනක ලෙස ප්‍රතික්ෂේප කරමින් අවිඥානිකව රස විඳින සියළු තේමා අවසානයේ මිනිසුන්ම නිර්මානය කරමින් එහිම ගැලීම වටහා ගැනීමට බරසාර සිද්ධාන්ත අවශ්‍ය නොවේ.  ("යතුරු සිදුරක" කෙටි කතාවේ තේමාවම අයත් වන්නේ විපරිත (PERVERSION) ක්ෂේත්‍රයට ය. ඒ ගැන විග්‍රහ ලිවීම මනෝ විශ්ලේෂනය නම් වූ විශයට අයත් වන බැව් පමණක් සඳහන් කරමි. )

ස්ත්‍රීන් ලිංගික අපහරණයට ලක්වීම මාධ්‍ය වාර්තා කරන්නේ ඒවා පුරුෂ සමාජයේ අවිඥානික ආශ්වාදයට හේතු වන බැවිනි. එමෙන්ම එය වඩාත් වර්ණ ගන්වා විද්‍යුත් මාධ්‍ය විසින් ග්‍රැෆික මායා තාක්ෂණයන් ඔස්සේ සජීවි රූ සටහන් රඟා පෙන්වූ විට එහි ශෝකාන්තය හෝ ඛේදවාචකය ගිලිහී ආශ්වාදනීය තැනකට විතැන් වේ. ඉන්පසු එය "අනේ අපොයි" කියා තලුමර රස විඳින දෙයක් බවට පත්වෙයි. කොටු දමා හෝ ඇස් වසං කර හෝ පෙන්වන සිරුරක නොපෙනෙන දේ මනසින් දැකීමට උදව් කරන එහෙන් මෙහෙන් එල්ලූ අඩනිරුවත් හෝ නිරුවත් ග්‍රැෆික රූප සමස්තයෙන් පුරුෂ ඇස ජුගුප්සාජනක ආශ්වාදයක් ලබයි. මේ වෙළඳ ලෝකය මාධ්‍යය ඔස්සේ ස්ත්‍රී ලිංගික අපහරණය වාර්තා කිරීම ඔස්සේ විකුණන් කෑමේ කූට උපක්‍රමය යි. එබඳු මාධ්‍ය කලාවක සිදු විය හැකි සහ සිදුවෙමින් පවතින තිරයෙන් පිටුපස කතාවේ අංශුමාත්‍රයක් යතුරු සිදුරක කෙටි කතාව ඔස්සේ නිරාවරණය වී ඇත්තේ අද දවසේ සිදු විය යුතුම මාධ්‍ය සංවාදයක මුල් පිරුමක් ලෙස ද විය හැකිය.

මෙම උත්ප්‍රාසාත්මක ආකෘතිය අපගේ සමාජ කතිකාවන් වෙත යොදා බැලූ විට එය විද්‍යුත් මාධ්‍යයට හෝ ස්ත්‍රී ලිංගික අපහරණයට පමණක් නොව වෙනත් ඕනෑම සන්නිවේදන පසුබිමෙන් යුත් සමාජ ප්‍රපංච හෝ වෙනත් නිර්මාන උදෙසා ද ගැලපිය හැකි බැව් පෙනේ. වඩාත් භෞතික උදාහරණයක් ගෙන කීවොත් එම ක්‍රියාවලිය ක්ලයින් බෝතලයක් මෙන් පිටත ඇතුලත හා සන්තතිකව සම්බන්ධ වන අයුර දැක ගත හැකිය. (කල්යින් බෝතලයට දියරයක් දැමූ විට එය නැවත පිටතට ගලා යයි. බෝතලයක් මෙන් පෙනුන ද එය බෝතලයක් නොවේ. නමුත් බෝතලයක අන්තර්ගත විය හැකි සියලු පෙනුම ක්ලයින් බෝතලය සතු බැව් භෞතිකව වටහා ගත හැකිය.)

"අර මිහිරි සීනු නාදය" කෙටි කතා සංග්‍රහයේ එන "නොනිදන අවදිය" නම් වූ කෙටි කතාව ඒ ආකෘතියේ මා කියැවූ විශිෂ්ටතම එකයැයි කීමට තරම් එහි ආකෘතියත් අන්තර්ගතයත් නැවුම් ය. වර්තමාන ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ පා ඇති තීරණාත්මක අභියෝග හමුවේ මෙම කතාවේ සංක්ෂිප්තයක් හෝ සංවාදගත කිරීම එම අරගල පසුබිම කෙරෙහි අවදානම් සහගත තත්වයක් නිර්මානය කිරීමයැයි මට සිතේ. විශ්ව විද්‍යාල බුද්ධි කේන්ද්‍රයේම හට ගන්නා මෙවැනි සාහිත්‍යමය ස්වරූපයේ "ගිනි පුළිඟු" හේතුවෙන් එහි ජ්වලන උෂ්ණත්වය වර්ධනය කොට සැබැවින්ම නිර්මානාත්මක අධ්‍යාපන ක්ෂේත්‍රයක් උත්පාත කර ගැනීමේ සම්‍යක් දෘශ්ටියෙන්, චේතනාවෙන් රචිත එම නිර්මානය වහා ඇවැසි පාත්‍රවර්ගයාගේ නිහඩ අවධානයට පාත්‍ර වේවායි ප්‍රාර්ථනය කරමි. කෙසේ වුවද එවැනි අභ්‍යන්තරික පුළිඟු හට ගැනීම අද දවසේ අත්‍යවශ්‍ය කාරියක් සේ මම දකිමි.

විශ්වය හටගත්තේ මහා පිපිරුමෙන් නම් ඊට පෙර තිබී ඇත්තේ ද කිසිවක් නැති දැඩි නිහඩ බවකි.

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ද ඊටත් වඩා නිහඩතාවයක ගිල්වා ඇත්තේ කුමන බලවේගයන් විසින් දැයි මහා පිපිරුමට පෙර සොයා බැලීමට හැකි වීම භෞතික විද්‍යාවේ යථාර්ථයට වඩා ප්‍රායෝගික සහ සරල දෙයකි.



" අර මිහිරි සීනු නාදය" වර්තමානය ස්පර්ශ කරමින් එහිම ප්‍රතිවිරෝධතා උත්ප්‍රාසාත්මකව මෙන්ම උපහාසාත්මකව ද එකිනෙකට මුසු කොට ප්‍රබන්ධිත නිර්මාන සංග්‍රහයකැයි මට සිතේ. එහි බහුතරයක් කෙටි කතා විසින් අන්තර්ගත සියුම් උත්ප්‍රාසාත්මක හැඟවුම් ඔස්සේ ධ්‍රැවීකරණය වී ඇති වර්ගෝත්තම සමාජ විඥානයත්, විශේෂයෙන් සිංහල බෞද්ධ අන්තයෙන් එයම විසංයෝජනාත්මක ආකෘතියකින් නිර්මාන තුළ පෙළ ගැසීමත්, පශ්චාත් යුද කතිකාව තුළ ජන මනස ඔඩු දුවා ඇති අන්ත දක්ශිනාංශික මිථ්‍යා ආකෘතින් සදය උපහාසයට ලක් කිරීමත් අතින් පෙරටුගාමී සාහිත්‍යකරනයක් ලෙස හඳුනා ගත හැකිය.

" මමත් බුදුවරයෙකැ"යි කියා ගන්නා අයවලුන් තැනින් තැන මතු වෙද්දී, රාවණා නැගිට එන තුරු කල් බලනා අයවලුන් හිස ගිනිගත්තවුන් මෙන් කටමැත දොඩවමින් සිටිද්දී, අලුත් ලංකාවක් අලුත් ලෝකයක් බිහිවෙමින් පවතී යැයි පුරසාරම් දොඩන්නවුන් අතට පත් කළ මේ කෙටි කතා සංග්‍රහය "පරණ ලංකාවත්" "පරණ ලෝකයත්" එහි න්‍යශ්ටියෙන් පුපුරුවා හැර ඇතැයි පැවසීම මිථ්‍යාවක් නොවන බව මෙහි ලියා තබන්නට උත්සුක වෙමි. අපට අඩු තරමින් කෙටි කතාවක් ඇතුලේ වත් එය කළ හැකි බැව් පෙන්වා දී ඇත්තේ මේ දීන මානසිකත්වයෙන් අංශුමාත්‍ර තන්ත්‍ර යාමයකට හෝ මිදීමට විය යුතුයැයි මට සිතේ.