Sunday, August 23, 2009

කවියක් සහ විසිරැනු අදහස්

සුනිල් ගෝවින්නයන්ගේ කවි සරණිය වන පර්ත් කවි බ්ලොග් සටහනින් මෙම උපුටා දැක්වීම කාගෙත් විමසුමටය.
පර්ත් කවි බ්ලොග් සටහන


Monday, August 17, 2009

පිටකොටුව - 2007 දෙසැම්බර්

නැත පෙර ලෙස ඇත මහළුව
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත

කුණු කඳු පිපි කානු අතර
ගැවසෙති යාචක දහසක්
රටක දුකක් මට පවසා
පොඩි දරුවෙකු සිඟා වදියි

සිඟමන් නැති රටක වෙසෙන
තව මිනිසෙකි කඳුළු රඳන
හදක රැඳුණු දුක මකමින්
අබිසරු ලිය ඉඟි පාවේ

විසිතුරු බඩු රට සනසන
වේ ය නිබඳ ඩොලර්වලට
ගෙන යන දුක් මුහුණු පමණි
සිත රැඳි මා මතක අතර

Posted by Black Australian at 5:27 AM
6 comments:

Ganithaya said...
නැත පෙර ලෙස ඇත මහළුව
සඟවා යුගයක් නැති වුණු
බෝ ගස යට අරුම අතර
බුදු හඬ සුළඟට මුසු වෙත

මට කවි තේරැම් ගන්න අමාරැ ඇයි කියල කෙටි සටහනක් දාන්න අවසරයි...

මගේ වැඩ සේරම ද්විකෝටික තර්කය මත පිහිටන නිසා සුළු වශයෙන් සිදුවන විවේකයට හුස්ම නැවතීමක් පවා අර්ථ වටහා ගැනීමට බාධා කරනවා කීවොත් කවුරැ පිළිගනී ද?

දැන් මේ ඉහත පැදියේ පළමු පේලිය මගේ එක හුස්මක අතර ප්‍රාන්තරයෙ නැවතුම සලකුණු කරන තැන අනුව වෙනස් වෙන හැටි පෙන්වන්නයි මේ සූදානම.

නැත- පෙර ලෙස ඇත මහළුව-----A

නැත පෙර ලෙස- ඇත මහළුව-----B

දැන් A වැකියේ නැත කියන තැනින් නැවතිලා ඉතිරි ටික කියවද්දී එන්නේ මේ අර්ථය නොවේ ද?

දැන් මේ දකින දේ පෙර කළ දකිද්දී තිබ්බ මහළුවෙන්ම දකින්නට ඇත.

ඊළඟට දෙවෙනි විදියට B හුස්ම අල්ලා වාක්‍ය කියෙව්වොත් එන අරැත මෙයාකාර නොවේ ද?

දැන් මේ මා දකින දෙය පෙර ලෙස නැත එනමුදු මහළුව ඇත.

මේ අවස්ථා දෙකේදීම පෙර තිබූ තත්වය සහ මේ අත්දකින තත්වය අතර පැහැදිලි වෙනස්කම් ඇති අවස්ථා දෙකක් නිරෑපණය වේ. කොයික ගත්තත් අරැත මහ ලෙස වෙනස් නොවුන ද මේ පැහැදිලි උභතෝකෝටිකයකි.

දෙවැන්නට යමු.

සඟවා යුගයක් නැති වුණු

මේ වාක්‍ය මට දෙයාකාරයකට නවත්වා කියවා ගත හැකිය.

සඟවා -යුගයක් නැති වුණු-----C

සඟවා යුගයක්- නැති වුණු-----D

C මුලින් ඇති කරන අරැත නම් මේ විශය සඟවා ඇති බවත් නැති වූ යුගයක් ගැන තමා මෙනෙහි කරන බවත්ය.

D දෙවෙනි පෙළ දක්වන අදහස නම් යුගයක් සඟවා ඇති නමුත් පෙර එය නැති වුණු දෙයක් ය යන්නය. නැති වුණු යුගය ද සඟවා ඇත්තෙය.

දෙවෙනි අරැත් ගැන්වීම ගණිතානුකූල වුවද අර්ථානුකූල නොවන වග දැනෙයි.

මේ ලෙසින් සියළු වාක්‍ය පේලි හරහා යද්දී විවිධ සංකරණ සහ සංයෝජන[permutation and combinations] හමු වන බැවින් කවියක් යනු අපරිමිත අරැත් මැවිය හැකි සුවිශේෂි භාෂා භාවිතයක් ලෙස ගණිතයාට හඳුනා ගත හැකිය.

කෙසේ වෙතත් ගණිතයාට කවිය අරැම අරැත් උපදවන්නා වූ අපූරැ ශබ්ධ කුලකයක් බව සඳහන් කරන්නට කැමැත්තෙමි.

August 18, 2009 2:29 AM

Black Australian said...
ගණිතයාට-'කාව්‍ය රසය තුළින් අප සත්‍ය අවබෝධ කර ගන්නේ වස්තූන් කපා කොටා ඒවායේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරන්නා වූ චිකිත්සකයකු ලෙස නොවෙ. භාවනානුයෝගීව සත්‍යය සමස්ථයක් ලෙස ස්පර්ශ කරන්නා වූ සාධු සිත් ඇත්තකු මෙනි.'

අයාලේ ගිය සිතක සටහන් පෙරවදනින්
තිස්ස අබේසේකර

August 18, 2009 4:10 PM
Ganithaya said...
කවිය කපා කොටා අරැත් විමැසීම නම් ප්‍රඥාගෝචර නැහැ. ඒක මම පිළිගන්නවා. නමුත් මට පුරැදු විදියට මේවා දිහා බලද්දි මට දැනෙන දේවල් ලිවීම ‍වරදක් කියල හෝ නුසුදුසු දෙයක් කියල හෝ මම හිතන්නේ නැහැ.

අනික

තිස්ස අබේසේකරයන්ගේ මේ අයාලේ ගිය සිත නිසා මගේ මේ නිශ්චිත මාර්ගයක යන සිතෙන් උපදින අදහස් සංස්කරණය කරන්න මගේ හිත මට කියන්නෙත් නැහැ.

කොහොම නමුත් මම සාධු සිත් ඇත්තෙකු ද නොවෙයි. මේ සකලංකෘත වටපිටාව මා සාධු සිත් කරණයෙන් බොහෝ සේ ඈත් කොට නිරන්තර සංකාර සහ සංකර චිත්තාපරවස ව ගෙවන්නට සලස්වා ඇති හෙයිනි. ඒ හින්දා කවි ‍කපල කොටල බලන්නම වෙනවා.

ආචාය්‍ය්‍ර්‍ මකුළුදූවේ පියරතන ස්වාමිපාදයන් වහන්සේ ගේ සංස්කරණයෙන් ලියැවුනු ගුත්තිල කවෙ 1956 මෙහෙම සඳහනක් තියෙනවා.

"යමෙක දොසක් දක්වන්නාහු විසින් කළ යුත්තේ එහි නිදොස් ක්‍රමය පෙන්වා දීමයි. නිකම් ම දොස් කීවාට එය ආධුනිකයනට නොවැටහේ."

මේ ආදී වශයෙන් යන එතුමාගේ ලිපියේ පරිදි මා දැක්වූයේ පද බෙදීම හා අරැත් බැඳෙනයුරැ උදාහරාණාශ්‍රිතව පෙන්වා දීම සහ ගණිතානූකූල සාධනයක් හරහා එබඳු බහු අරුත් ගණනාවක් ව්‍යුත්පන්න වන අයුරැයි.

මේ කවියේ දොස් දැකීමක් නොවේ. සාධුතර මනස් නැතිවුන් අල්පතර වූ ඥාණයෙන් හොත්තේ වෙයිද එබන්දන් සාර කවි වුවද නිසරැත් ගත් කවි යැයි නොමග යන්නාවූ ක්‍රමවේදයන් විචක්ෂණය කිරීමයි.

ඔබගේ අදහස් ද ගරැ කරමි.

August 18, 2009 8:30 PM
ඩෝසන් said...
තිස්ස අබේසේකරයන් මෙහි මතු කර ඇත්තේ සත්‍යාවබෝධය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස කවිය භාවිතා කළ යුතු අයුරක් යැයි මට සිතේ.

නො‍එසේ නම් සත්‍යාවබෝධය පිණිස අතිශය දුරව‍බෝධ අභිධර්මය සරණ යාමේ පළක් නොවනු ඇත්තේ කවියෙන් සත්‍යාවබෝධය ලද හැකි යැයි මිථ්‍යා මතයක් ගොඩ නැගෙන හෙයිනි. අභිධර්මය එනමින් හැඳින්වෙන්නේම එය කාව්‍ය රසෝත්පත්තිය හා සබැඳුනු බුද්ධිමය ප්‍රතිභාව ඉක්මවා හැදෑරිය යුතු ගාම්භිර සහ ගැඹුරැ ධර්ම සත්‍යයන් එතුල ගැබ්ව ඇති හෙයිනි.

කෙසේ වුවද කාව්‍ය රස හා සත්‍යාවබෝධය අතර පරතරයක් ඇත.

නො‍එසේ නම් සත්‍යාවබෝධය යනු කුමක් දැයි විග්‍රහ කර ගත යුතුය.

බුදු දහමට අනුව සත්‍යාවබෝධය පිණිස කවි රස විඳුම ගලපා ගත නොහැකිය.

August 18, 2009 11:23 PM
Black Australian said...
ඩෝසන් සබඳ,

තිස්ස අබේසේකරයන් මෙහි මතු කර ඇත්තේ වැදගත් අදහසකි.

ඔබ කියන පරිදි බුදු දහමට අනුව සත්‍යාවබෝධය පිණිස කවි රස විඳුම ගලපා ගත නොහැකිය. එහෙත් පැරණි තේර තේරී ගාථා ගැඹුරින් පරිශීලනය කරන්නේ නමි, තත්කාලීන බික්ඛු බික්ඛුණියන් සත්‍යාවබෝධය පිණිස, කවිය තුළින් ආත්ම ගවෙෂණය කළ අයුරු වටහා ගත නොහැකි ද?

August 20, 2009 2:57 AM
ඩෝසන් said...
සුනිල් කිවිසුරාණන්ගේ අදහස කදිමයි. ථෙර ථෙරී ගාථා ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කළ පරාක්‍රමයන්‍ ‍‍ගේ රශ්මි කාව්‍යාකරය ද එසම නිර්මාණයකැයි දකිමි.

කාව්‍ය, ධර්ම අංශු මිනිස් මනස් තුලට පරිවහනය කිරීමේ මහගු යානයකි. මම ද එකඟ වෙමි.

එනමුදු කාව්‍ය රස විනිස් චිත්ත සමාධියට බාධා කරන්නේ යැයි හෝ ඉන්ද්‍රිය පීනනයේ යෙදෙන්නේ යැයි ද එය කරණ කොට බාහිර අරම්මණයන්හි සිත ඇලෙන සත්තාවට අනුගත වීමෙන් සත්‍යාවබෝධයෙන් නොමගට හෝ බාධාවට හේතුවන්නේ යැයි ද බුද්ධ ධර්මාණුකූලව මා සිතනා බැවින් කාව්‍ය රසාස්වාදනය එක්තරා තැනකින් ඔබ්බට කැඳවා යා නොහැකි දෙයකි.

මෙනයින් භෞතික ලෙස අප ගොඩනගන්නා වූ දැකුම් හා විඥාණවාදය මුසු කිරීමක් මා විසින් කරන ලද්දේ යැයි නොසිතනු මැනවි.

බුදු දහම විඥාණවාදයක් හැටියට දියුණුතම දර්ශණ ප්‍රවාහය ලෙස මම දකිමි.

ථෙර ථෙරී ගාථා ගැන වැඩි දුර උනන්දු අයවලුන් වෙනුවෙන් පහත වෙබ් අඩවිය පෙන්වා දෙමි.


ථෙර ථෙරී ගාථා වෙබ් සටහන්

පර්ත් කවි බ්ලොග් සටහන


August 20, 2009 9:33 PM

මගේ සටහන:

"අද්වෛත වේදාන්තය වනාහි භාරතීය දර්ශනවාදයේ අග්‍රඵලය යයි බො‍හෝ දෙනා සිතති. එය අඩියෙන් අඩියට තර්කානුකූලව ගොඩ නගා ඇති අයුරැ මෙනෙහි කරන දාර්ශනිකයන් තුළ එහි කතෘභූත ශංකාරාචාර්ය්‍යයන්ගේ විශද බුද්ධිය කෙරෙහි මහත් ගෞ‍රවයක් උපදී. ඔහු ප්ලේටෝ, කැන්ට්, හේගල් ,ලයිබ්නිට්ස් ආදීන්ට සමකළ හැකි ලෝකයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගෙන් කෙනෙකු බව නොපැකිළ කිව හැකිය.
කිසියම් දර්ශනවාදයකින් ලැබිය හැකි එක්තරා ඵලාගමයක් නම් එය යම් උපන්‍යාසයක් හෝ උපන්‍යාස සමූහයක් මත පිහිටා එම උපන්‍යාසයෙන් හෝ උපන්‍යාස සමූහයෙන් ගම්‍යමාන වන හැම අරැතක්ම විදහා දක්වා [එනම් තර්කානුකූලව නිගමනය කොට] පියවරින් පියවරට ගොස් අවසාන නිගමනය තෙක් ගොඩනගා ඇති ආකාරය බලා විඳින චමත්කාරය ය. මේ චමත්කාරය අප තුළ ජනිත වන්නේ එම දර්ශනවාදයේ අවයව සංස්ථානය හේතු කොටගෙනය. කලා නිර්මාණයකින් ලබන ආස්වාදය සේය. වෙනස නම් කලා නිර්මාණයක අවයව සංස්ථානය භාවමය ක්ෂේත්‍රයට අයත් වන අතර දරශනවාදයක අවයව සංස්ථානය බුද්ධිමය ක්ෂේත්‍රයට අයත් වීමය."

පිං ඇති සරසවි වරමක් දෙන්නේ
එදිරිවීර සරච්චන්ද්‍ර

ඉහත උපුටනය දක්වන්නට ‍හේතු වූයේ නිර්මාණ රසවිනිස උදෙසා බුද්ධිමය සහ භාවමය මැදිහත් වීම කවරාකාර හැඩ රැවක් ගන්නේද යන්න මහැදුරැ සරච්චන්ද්‍රයන් දුහුනන් වන අප වෙත ලියා තබා ඇති ආකාරය තව දුරටත් බෙදාහදා ගැනුමටය.

ඩෝසන් ප්‍රීති
23-08-2009