Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Monday, August 9, 2010

නොසිදුවීමක සිදුවීමක්


(මෙම කෙටි කතාව ඇසුරින් නිෂ්පාදනය කොට 2008 සැප්. 5 දින රංගගත කළ කෙටි නාට්‍යයෙන්. සේයා- තුෂාර ධර්මවික්‍රම)

එය මෙසේ ද සිදුවිය හැකි ය.

ශාන්ත බමන හිසින් අවන්හලෙන් පිටතට බඩ ගා ගත්තේය.
කාක්කෝ කුණු කඳු මත සිය ගොරහැඩි හොට ඔබමින් ඔබ මොබ සරන්නට වූහ.
රුපියල් පනස් දාහක්...
ශාන්ත යමක් මතක් කරගන්නට උත්සාහ කරමින් වැනෙන්නට විය.
රුපියල් පනස්දාහක්...? මදි මදි... පනස් දාහක් මදි... මගේ ගාන එකයි පනහක්... ඒක තමයි අන්තිම... නැත්නම් වෙන අතක් බලා ගන්න මුදලාලි තරහ වෙන්න එපා...
එකයි පනහ වැඩියි නේ ශාන්ත ... කරන්න තියෙන්නෙ සුළු වැඩක් නේ... ඇසිඩ් පාරක් විතරනේ...
ඒ ඉස්සර... දැන් ඒ ගානට බැහැ මම කීවෙ වෙන අතක් බලන්න...
ශාන්ත මේක ලොක්කගේ වැඩක්!
ශාන්ත රූබන් මුදලාලි දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නට වන.
අරක්කු වඩිය කටට හලා ගත් ශාන්ත මුදලාලි අත වූ ඡායාරූපය උදුරා ගත්තේ ය.
කොහෙද මෙයා... ලොක්කගේ ස්පෙයා වීල් එකක් ද ?
නැහැ නැහැ එහෙම සීන් එකක් නොවෙයි...
මොකක් වුනත් කමක් නැහැ මට හැත්ත පහක් ඕන... දන්නවනේ මුදලාලි මේකේ ගාන කීයද කියලා ?
හරි හරි... හෙට වරෙන් ලලිත එකට...
වෙන පින්තූරයක් නැද්ද?
වෙන මුකුත් පින්තූර නැහැ... වීඩියෝ එකක් තියෙනවා...
වැලක් ද ?
නැහැ යකෝ... නිවුස් වලට ගිය එකක්!
අමමට සිරි... මේක බුල්ජන්ස් සයිස් ගේමක් ද ? එහෙනම් ඒ ගානට බැහැ...
නැහැ නැහැ... පොඩි කේස් එකක්... හෙට ආවම කියන්නම්... හෙට දහයට හරිද ?

(*****)

විමලෙ...විමලෙ...විමලේ... කාංචනා...කාංචනා...කාංචනෝ...
පොඩ්ඩක් ඉන්ඩෝ... මම අඳිනවා......
හා... උඹ ඇඳ ගනින්... කෝ විමලේ... විමලසිරි ?
අන්න පාරට ගියා... මේ දැන් ගියේ ... දුමක් දාන්න කියලා...
අනේ ඔය සිගරැට් ඉරිල්ල බැරිද ඕගොල්ලන්ට නතර කරන්න? ගඳේ බෑ... අනේ මන්ද...

(*****)

මචං මොකද මේ... උඹ අප්සට් එකේද ඉන්නේ ?
ආහ්... උඹ ඊයෙනෙ එනවා කීවෙ...? මම බෝතලයක් එක්ක නිදි මැරුවා උඹ එනකං... අන්තිමට ඒක තනියම ගහල බුදිය ගත්තා... දැන් නැගිට්ටෙ... ඊයෙ මොකෝ වුනේ ?
මචං වැඩක් සෙට් වුනා... දන්නැද්ද බං පිස්සු වගේ... අරහෙ චම්ප හෙණ ගේමක් දෙනවා පොඩි එවුන් ටික ඉස්කෝලෙ යවන්නයි ගෙදර වැඩ බලන්නයි අම්මගේ වැඩයි අරකයි මේකයි මගේ අතේ සත පහක් නැහැ බං ...
මචං මෝදරටම කෝඩෙ බං... අන්න අයිස් මෝල වහල දැම්මා... උගේ අම්... ...ඕන... බලපං කීදෙනෙක්ගෙ බඩෙ පාර ද...?
හරි හරි ඒකනේ ශාන්ත මල්ලි ඇවිල්ලා ඉන්නේ... මචං වරෙන් යන්න ලලිත එක පැත්තට...
මචං උඹ දන්නවනේ... අරකි බඩිං... දැන් මාස හතරක් වෙනවා... මහ උළු ගෙදර යන එක නොවෙයි ගේම... ආපහු එළියට එන එක... උඹ බලා ගන්නෝන මචං!
බං මම ඒවා බලා ගන්නම්... ලොක්ක ගෙ වැඩනේ මචං, ඒව නොකර බෑනේ මස්සිනේ...
කීයද ගාන ? කාගෙද බඩු ? සප්ලයි කරනව ද ? නැත්නම් හයර් කරනව ද ?
නෑ මචං මේක පීචං ගේමක්...
ඒ කිවුවෙ උස්සන්න ද ?
එහෙමත් නොවෙයි පොඩි සද්දයක් දාන්න...
පොඩි සද්දයක්... ? මොකද ලොක්කගෙ කුලී ගෙදරකට අපේ එකෙක් රිංගල ද ?
වරෙන් යන්න... අන්න ඇන්ටන් අයියා ආවා... ආාාා... ඇන්ටයියේ දාං පලයන් අපිවත් ඔය හංදියෙන්...

(*****)

මචං අර සෙනග අස්සේ ඉන්න බඩුව ද ?
ඔවු අර ලා නිල් සාරිය...
හරියට ඩයල් එක වැටෙන්නෙ නෑ බං...
හොඳට බලා ගනිං ආයෙම බලන්න වෙලාවක් වෙන්නෙ නෑ... හෙට උදේ සෙට්... දන්නවනේ හවස නිවුස් වල බඩු යනකම් ඇඩ්ඩාන්ස් එක විතරයි...
මට හරියට පේන්නෑ බං... මොකද කරන්නේ ?
එහෙනම් හවස යමන්... සංස්ථාව ගාවට, මතකනේ එක පාරෙන් බලං එන්නෝන, මේක හදිස්සියි... හෙට වැඩෙ ක්ලෝස් වෙන්නෝන...
මචං මෙ ගෑනි හරි වැදගත් සයිස් මොකද මේ ගේම...??
මන් දන්නෑ බං... ලොක්කට මොකක් හරි අරියාදුවක් ඇති... ඒව අපිට වැඩක් නැ බං......

(*****)

දූ... අනේ දුවේ ඉක්මනට මේ ටයි එක දාගන්න කෝ ... අනේ මේ බලන්න මේ ළමයා තාම මේස් දාගෙනත් නෑ... අම්මේ... අනේ පුතේ ආච්චිට කියල මෙ කොණ්ඩෙ පීරගන්න රත්තරන්... වෑන් එක මග එනවත් ඇති ..... කෝ මේ රත්නෙ... කෝ ලන්ච් බොක්ස් එක... අනේ බලන්න මෙක හෝදල නැහැනේ... අයියෝ පිලූුං ගඳේ බෑ... කෝ ඔක්කොමල බබාලනේ...
මෙ... අද හවස මම පරක්කු වෙයි... ගේට්ටුව ඇරල තියන්න... මම යනවා... තාම හෝදනව ද ඕක... කමක් නැහැ මම කෑම එකක් ගෙන්නං කන්නම්... ඔයාගෙ වැඩ කරගන්න... චූටි පුතේ ... මම යනවා අද ඔයාගෙ නැටුම බලන්න තාත්ති එනවා... හැබැයි පුතේ මම ඉක්මනට යනවා... මට ඉවර වෙන කං ඉන්න වෙන්නේ නෑ... පුතා ලස්සනට නටන්න ඕන... මතකනේ... පුංචි සු... ර... ං... ග ... නා... වී......
අනේ තාත්ති... ඉන්නකෝ ඉවර වෙනකම්... චමලි කීවා ඒ ගොල්ලෝ ඔක්කොම එකට ඉඳල ෆොටෝ ගන්නෝන කියල... මගේ ඇඳුම හැඩ නිසා එයා කීවා අපි ඔක්කොම එකට ඉන්න ෆොටෝ ගන්න ඕන කියල... අනේ තාත්ති ඉන්න ඕන ඉවර වෙනකම්...
අනේ පුතේ මමත් ආසයි පුතාලගෙ කොන්සට් එක ඉවර වෙනකම් ඉන්න... ඒත් පුතේ හදිසි වැඩ ගොඩක් හින්දා... මම ඉක්මනට යන්නේ... ඉතිං පුතේ තාත්ති එනවනේ පුතාගේ නැටුම බලන්න......
පුතේ නංගිත් එක්ක යමු පාරට
අම්මී... හිහි හිහි හී ඔන්න මූනේ පවුඩර් වැඩියි...
ආ... නේ පණ්ඩිත කෙල්ල... අම්මේ... අපි යනවා දොරවල් වහගන්න... පුතේ ආච්චිට වැන්ද ද?

(*****)

මචං මම වෝඩ් ප්ලේස්...
යකෝ කෝල් කරපං එතනට ගිහිං මම බඩු අරං එනවා
හරි හරි උදේ කෙල වුනොත් හවස හරිද...?
හවස ? උඹට පිස්සුද එතකොට නිවුස් හෙට නෙ බං?
ඉතිං...
බූරුවො... එතකොට සල්ලි අනිද්ද උදේ !
හරි මම උපරිම ගේම... මචං මිස් වුනොත් හවස බඩු දෙනවා ෂුවර්...
මචං සල්ලි අතට ගන්නෝන... දන්නවනේ ගෙදර කන්න බොන්නවත් නැහැ ...
බලමු...

(*****)

අර වැඩේ කොහොමද තාම මුකුත් වෙන්නෙ නැහැනේ ?
මම ඒක බාර දීලා තියෙන්නෙ සර්...
කවද ද... ඉක්මනට වෙන්න ඕන නේ ?
ඔක්කොම හරි සර්... අද රෑ නිවුස්වලට යයි...
එතකොට අනිත් වැඩෙ... අර පත්තරකාරයා ගේ ?
ඒකත් හරි සර්...
හරි හරි කියල වැඩක් නැහැ... මහ තැන කල්පනාවෙන් ඉන්නේ...
අද රෑ පළවෙනි එක සර්... තව දවස් දෙක තුනකින් ඊ ළඟ එක... ඔක්කොම ප්ලෑන් කරල තියෙන්නේ ඇක්සිඩන්ට් විදියට සර්...
ඉක්මන් කරනවා හොඳයි... පහු පහු වෙනකොට... කොහු කොහු වෙනවා... සතියක් කියන්නේ නිවුස් ගොඩක්... අපිට අවාසියි...
හරි සර් ... මම ඔක්කොම බලා ගන්නම්...

(*****)

ශාන්ත
මුදලාලි...
අද හරිනේ ? මම ආයෙම කතා කරන්නේ නැහැ
ඔක්කොම හරි මුදලාලි... සල්ලි කෝම ද ?
ඒව වෙලාවට එයි... බුකියෙ චන්ද්‍රෙ ගාව තුන්ඩුවක් දාලා තියපන්... වැඩේ ඉවර වුනාම ජොකිය වින් කරල තියෙයි... ගිහින් සල්ලි ගනින්...
එලකිරි! මුදලාලි... එහෙනම් සැප !!... තිවුවා

(*****)

චම්පා ඇයි ෆෝන් එක ගත්තෙ නැත්තෙ?
අනේ... මම අම්ම ගාව හිටියේ... අන්න ලොක්කි කීවා හවස ඉස්කෝලෙ උත්සවෙට එන්නම ඕන කියල!
මොන උත්සවේ ද? මට යන්න වෙන්නේ නැහැ... මම කීවා කලින්ම ඔය බඩකඩිත්තු ඉස්කෝලෙට කෙල්ල දාන්න එපා කියල... පේනවනේ ? මල වද තියෙන්නේ...
අනේ... එහෙම කියන්න එපා... මම යන්නම්... අම්ම ගාව චතුරි නංගිව තියලා...
මම දන් නෑ... ඔය ළමයගේ ඉස්කෝල වියදමටම මම හම්බ කරන ටික මදි චම්ප...
අනේ... දැන් ඇති... මට මුකුත් ඕන්නැ... අපේ අම්මලට බනින්න එපා... ඒ අය අඩු තරමෙ උන්ගෙ අනාගතය ගැන හිතනවා... ඒකත් මට ලොකු දෙයක්... ශාන්ත ... අද රෑට උයන්නත් මුකුත් නැහැ...
අද රෑට බුරියානි කමු... මම අරන් එන්නම්...
ඒ ... ??!!??

(*****)

විමලෙ
මචං...
මෝඩයෝ... ඔතන ඕනවට වඩා ඉන්න එපා... වැඩේ කෙලවෙනවා... ඕක හයි සිකුරුටි සෝන් එක...
මචං... ඒ ගෑනි මම දැක්කා... මේක මචං මාර සිරා ගේමක් බං...
ඇයි මොකද?
මචං...
කියපන් ? උඹ ඕක ඉවරයක් කරනව ද? නැද්ද? මොකද අවුල?
මචං මට හිතෙන්නෙ නෑ බං මෙ වැඩෙ......
බූරුවා... ඔහොමම වරෙන් ගෝල් ෆේස් එකට... හිටපන් මම එනවා ටාජ් එක ඉස්සරහට... බඩු ගල් කරපන්... දන්නවනේ කොතනද කියලා... ...තිවුවා

(*****)

උඹට මොකද යකෝ වෙලා තියෙන්නේ ???
මචං ඒ ලේඩි පොඩි දුව එක්ක ගියේ බං... උඹේ ලොකු එකී විතර ඇති... පවු බං...
විමලෙ... උඹ කියන දේ මට තේරෙනවා... ඒකනේ බං අපි මේක සද්දයක් දාන ගානට කරන්නේ... මට හිතෙන්නෙ ලොක්කට ඕන පොඩ්ඩක් උන් සෙට් එක බය කරන්න... අපි ගේම ෆුල් දෙන්නේ නෑ නේ මචං...
මට සල්ලි එපා බං... මේක ෆුල් අවුල් මචං... මම මාරු වෙනවා...
අඩො! උඹ පිස්සු කෙලින්න එපා... මට සල්ලි ඕන යකෝ... මෙන්න පන්දාහක් ! මේක ගනින්... හිත හදා ගනින්... අපි ඒ ගෑණි මරන්නේ නෑනේ ...
මට බැහැ මචං මේක පීචං ගේමක්...
උඹ දැල්ලා ගෙනාවද?
ඔවු ?...?
දියන් ඒක මට... මම කරන්නම්... මටයි සල්ලි ඕන... උඹ බම්බු ගහපන්...
ශාන්ත දැලි පිහිය රැගෙන අතුරුදන් විය.

(*****)

චමලි කෝ ඔයාලයි තාත්ති ?
තාත්ති එන්නේ නෑ... අම්මි විතරයි ...
අපේ තාත්ති ඇවිල්ලා ගියා... අම්මිට එන්න වෙන්නෙ නෑ...
ඇයි ඒ?
අම්මිට වැඩ... කෝ එන්න... අපි ෆොටෝ එකට ඉමු... අන්කල් අපේ ෆොටෝ එකක් ගන්නව ද??

(*****)

මෙන්න සැඳෑ පුවත්...
.....සංස්ථාවේ තවත් සේවිකාවකට.......

පල්පීය කතාවක්

පල්පීය කතාවක්

අරවින්ද විරාගී තරුණයෙකි. කුමාරි සරාගී පෙනුමැති නිරාලම්බන මනසින් ජීවත් වන්නියකි. අරවින්ද කොණ්ඩා මෝස්තර කරුවෙකි. කුමාරී වාස්තු විද්‍යාඥවරියකි. ඔවුන් දෙදෙනා හමු වන්නේ වීදුරුවක එක පසය. ඔවුනොවුන් නිරීක්ෂණය කළ දේ වීදුරුවේ දෙපසය. වීදුරුවේ එක පාර්ශවයක රසදිය ආලේප කොට තිබුණි. අනෙක් පස කුමාරිගේ නිද්‍රාගත මුහුණ ද කෙස් වැටිය ද විය.
රසදිය මතුපිට දෙදෙනාගේ බිඹු මුසු වී තිබුනි. රසදිය තලය මත රස පොලොව නිර්මාණය වෙමින් පැවතුනි.

අරවින්ද බසයේ නැගී මරදාන වෙත එමින් සිටී. අරවින්ද කුඩා කල දුටු ගොඩනැගිලි තවමත් ඒ ඒ තැන්වල වයෝවෘධව නැගී සිටී. ඔහු එකල නොදුටු කුඩා ගොඩනැගිලි රාශියක් පසුගිය අවුරුදු දහය ප‍හළව තුළ මරදාන මහ මාර්ගයේ දෙපස නැගී ඇත. එනමුත් දැවැන්ත උස ගොඩනැගිලි කිසිවක් ඉදිවී නැත. එම මාර්ගයේ පර්චසයක් දෙකක් මිළට ගෙන කුඩා බයිසිකල් පොම්පයක් වැනි උඩට විහිදුනු බම්බු ගොඩනැගිල්ලක් හදනු විනා පැතිරුන වාස්තුවක් ගොඩනැගෙන්නට තරම් ආර්ථික ශක්තියක් එම පෙ‍දෙසේ ව්‍යාපාරික අවස්ථාවක් වෙනුවෙන් අත පොවන කිසිම ව්‍යාපාරිකයෙකුට නොමැති බව කුමාරි සෙමින් මිමිණුවාය.

කුමාරි එක වරම මරදානේ අහසට නැගුනු ජරාජීර්ණ වෙමින් පැවති කලකට පෙර සෞභාග්‍යයෙන් සපිරි ගොඩනැගිල්ලක් දෙස බසයේ කවුළුවෙන් බලන්නට වූවාය.

"අරවින්ද, ඔයා දන්නවද පදාස මුදලාලිට මොකද වුනේ කියලා? දැන් ඒ ගොඩනැගිලි පාළු වෙලා ගිහින් කිසිම කලඑළියක් නැහැ. ඒ බිස්නස් වැටුනා නේද? ඇයි ඒ....?"

"නැහැ, මම දන්නේ නැහැ. මම කවදාවත් වැදගත් මිනිහෙක්ගේ කොණ්ඩයක් කපල නැහැ. හැමදාම ආවේ පළපුරුදු කට්ටියමයි. ආණ්ඩුවේ රස්සාවල් කරන මට වැඩිය ඩිංගක් පොහොසත් උදවිය. ඒ අයගේ එකම එක ස්ටයිල් එකයි කපන්න තියෙන්නේ. මට ඇස් පියන් ඒ කට් එක කපතෑකි. ගොඩක් අය ඩයි කරගන්න පුදුම උනන්දුයි. සීසී මහත්තුරු සේරම කොණ්ඩ කළු කරනවා..."

ඇය අරවින්දගේ කොණ්ඩා කතා අසන්නට හුරුවෙමින් සිටියාය. වරෙක ඔහු අතින් වැඩියෙන් කැපුනු උඩු රැවුලක් හේතුවෙන් දවස් දෙකක් වැඩට එන්නට බැරි වෙන්නට ගුටි කෑ බවත් ඔහු මරදානේ සාතං වත්තේ චණ්ඩිය‍කු බවත් පසුව ඔහු අරවින්දගේ හොඳම මිතුරකු වූ හැටිත් කියමින් ඔවුහු මහ හඩින් සිනා සෙන්නට වුහ. අරවින්දගේ ජීවිතේ ලද සියළු දේ කොණ්ඩා අතගාන අතරතුර ලද දේවල් බව කියද්දී කුමාරි ඔහුගේ දකුණතේ සුළැඟිල්ල සෙමින් මිරිකා ගත්තාය. කුමාරි අරවින්දගේ පැති පෙනුමේ නහය පරීක්ෂා කරමින් බසයේ කවුළුව තුලින්‍ මොහොතින් මොහොත වෙනස් වෙමින් පැවති දර්ශන අරවින්ද ගේ නාසයෙන් කැපී ගිලී යන අයුරු බලමින් සිටියාය. ලයිට් කණුවක් වරෙක නාසයෙන් කැපී නොපෙනී ගිය අතර ඊළඟ නිමේෂයේ දී කෙල්ලන් රොත්තක් නාසයෙන් කැපී ගියේය. ගොඩගේ පොත් සාප්පුව නාසයේ වදිද්දී එක වරම නා‍සයේ ඡේදනය වෙනුවට කම්මුලේ පෘෂ්ටයක් මතින් සියළු දේ කැපී යන්නට විය.

අරවින්ද කුමාරි දෙස හැරී බලා හිඳියි.

"මොනවද කල්පනා කරන්නේ? මේ බිල්ඩිං ගැන ද? "

කුමාරි කිසිවක් නොකීවාය.

"පදාස මුදලාලිට වුනේ මොකද්ද කියල ද ඇහුවේ? මට මතකයි එක කස්ටමර් කෙනෙක් ඕක ගැන දවසක් අපේ සැලුන් එකේ කතා කළා. එයා කියන්නේ මහ පුදුම කතාවක්. පදාස මුදලාලිගේ බිල්ඩිම කිට්ටුවම බස් හෝල්ට් එකක් තියෙනවා. ඒ හින්දා බොරැල්ල පැත්තෙන් එන බස් සේරම එතන කිට්ටුවෙද්දි අහන්නේ පදාස බහිනවද පදාස බහිනවද කියල. එතකොට මිනිස්සු කියනවා ඔවු පදාස බහිනවා පදාස බහිනවා කියල... දැං මේක හැම දවසකටම එක විදියට වෙනවානේ. ඉතිං හැම කෙනාම නොහිත අචේතනිකව කියන්නේ පදාස බහිනවා පදාස බහිනවා කියලා... ඕක දැං කටවහ වැදිලා ඇත්තටම පදාස මුදලාලිගේ බිස්නස් බැස්සා... ඉතිං ඔය වගේ බස්හෝලට් ගාව තියෙන විසාල බිස්නස් ගොඩකට ඔය වගේ කටවහ වැදිලා බිස්නස් බැහැලා නැති වෙලා යනවා කියල තමයි ඒ මහත්තයා කීවේ...ඇත්ත වෙන්නැති නේද?"

"එහෙම කතාවක් මම ඇහැව්වාමයි. හරි පුදුමයි නේ?"

කුමාරිගේ දෑස් අනපේක්ෂිත භීතියකින් වැසී ගියා සේ අඳුරු විය. ඇය නොඉවසිල්ලෙන් අරවින්දගේ මුහුණ දෙස බලන්නට වූවාය.

"මට නම් ඔහොම දෙයක් කවදාවත් හිතුනේ නැහැ. මම හිතන් හිටියේ ආණ්ඩු මාරු වෙනකොට බිස්නස්කාරයොන්ටත් ලාබාලාබ වෙනවා කියලයි. මොකද පදාස මුදලාලි‍ලා අර පැත්තෙනේ..."

"ඔව් එහෙමත් වෙන්න පුළුවන්. ආණ්ඩුවට සපෝට් කරන අයට තමයි හැම වරප්‍රාසදයක්ම ලැබෙන්නේ. අපේ බොස්තුත් ආණ්ඩුවට පොඩි සප් එකක් දීලා තමයි අර අලුත් අපාර්ට්මන්ට් බිල්ඩිං ඇතුලේ තියෙන පුංචි සැලොන් පටන් ගන්න අධිකාරියෙන් කඩකෑලි ගත්තේ...දේශපාලන බලය හැම තැනම විසිරිලා. ඒව එහෙම තමයි. එහෙම නැතිව කාටවත් පැවැත්මක් නැහැනේ...."

"ඔව් ගොඩනැගිලි කියන්නෙත් බල ව්‍යුහයක් තමයි. අපි ගොඩනැගිලි සකස් කරනවා. පස්සේ ගොඩනැගිලි විසින් අපව සකස් කරනවා.."

"ඔව් ඔව්...මම කොණ්ඩ සකස් කරනවා. පස්සේ කොණ්ඩ විසින් මිනිස්සු සකස් කරනවා."

"ඒකත් එහෙමද? "

කුමාරි කුතුහලයෙන් අරවින්දගේ මුහුණට එබී බලා සිටියාය.

"ඔව්. දැන් බලන්න ඔයා. ඔයාගේ ඔය කොණ්ඩය ඔය විදියට තියා ගන්න ඔයා සේරම වෙනස් කරගන්නවා‍ නේද? ඔයා අව්වේ යන්නේ අඩුවෙන්. නාන්නේ පරෙස්සමින්. නිදා ගන්නේ පරෙස්සමින්. ... හීනයක් දකින්නත් බයයි කොණ්ඩෙට මොනා හරි වෙයි කියලා..."

අරවින්ද මහ හයියෙන් හිනා වන්නට විය. කුමාරි ලැජ්ජාවෙන් ඉවත බලා ගත්තාය.

"මම ඔයාගේ කොණ්ඩෙට ආදරෙයි."

අරවින්ද ඇගේ කෙහෙරැල්ලක් සියුම්ව අතින් ගෙන ඇඟිලිතුඩුවල පටලා පිරිමදින්නට විය. එම කෙහෙරැලි තුළ කුමාරි ට වඩා දෙයක් සිරව ඇති බව ඔහු දැන ගත්තේය.

කුමාරිගේ ජංගම දුරකතනයේ බීට්ල්ස් ගීතයක් වාදනය වන්නට වූයෙන් ඇගේ කනේ තිබූ හෙඩ්ෆෝනයේ ඉතිරි අග්‍රය අරවින්දගේ කනට ඔබන්නට වූවාය.

try to see it my way
do i have to keep on talking till i cant go on?
while you see it your way,
run the risk of knowing that our love may soon be gone.
we can work it out
we can work it out
think of what youre saying...
you can get it wrong and still you think that it's right.
we can work it out and get it straigt, or say good night..
we can work it out..
we can work it out..
life is very short, and there's no time
for fussing and fighting, my friend..
I have always thought that is's a crime,
so i will ask you once again...
try to see it my way..

නිමේෂයක දී ඔවුන් සිටින්නේ මරදාන බසයේ බව අමතකව නොයන්නට නැවතත් බසයේ දෙදරීම් අතරින් කෑකෝ ගැසීම් අතරින් දූවිලි ගහන පරිසරයේ දෙපා ඔබමින් ඇවිද යන්නට ඔවුහු බසයෙන් බැස ගත්හ.

"අරවින්ද, ඔයාගේ සැලුන් එකේ ඔයාට හොඳට ගෙවනව ද? "

"හ්ම්ම්... ඒක මෙහෙමයි. මට තනිකඩයෙක් විදියට ජීවිත කාලයම ගෙවන්න පුළුවන් ආදායමක්...කසාදයක් බැඳලා ජීවත් වෙන්න නම් ප්‍රමාණවත් මුදලක් නොවෙයි. අනික මම තාම පොඩි එකෙක් නේ... "

අරවින්ද දෑස් කුඩා කර කුමාරි දෙස බලන්නට විය.

"ඔව්, ඔයා පොඩියි නම් තමයි. මට වයස විස්සක් කියලා හිතුවේ ඔයා නේ..."

"ඒක තමයි. මට වයස තිස්පහක් විතර කියල හිතුවෙත් ඔයා නේ..."

"වයස වැඩක් නැහැ."

"ඔව්, වයස වැඩක් නැහැ. ඔයාගේ කොණ්ඩෙට මම හැමදාම සාත්තු කරන්නම්."

කුමාරි අරවින්දගේ සුරත තද කර මොහොතකට පටලා ගත්තාය. මහ පාරේ පෙම්වත් වන්නට තරම් පරිසරයක් නොවීම ගැන කුමාරි කැළඹුනාය. ඇයට ඇගේ මොටෝරිය සිහි විය. ඈ එම රථයෙන් ගමන් බිමන් සැඳෑ කාලයට සීමා කරගත්තී අරවින්ද සමගින් බසයේ උදෑසන ගමන ඊට වඩා සුන්දර යැයි සිතූ දිනයේමය.

"බිල්ඩිං...බිල්ඩිං...හතරවටේම බිල්ඩිං කිසිම පිළිවෙලක් නැති. මේ පාලම් කොයිතරම් කැතද නේද? වාහන තදබදේ...දුම්...දූවිලි...කිසි හාංකවිසියක් නැති මිනිස්සු හැම පැත්තෙම...එහෙට යනවා මෙහෙට යනවා...අපි කොයිතරම් අසරණද මේ ලෝකේ අරවින්ද? "

"ඔව්, මේ කිසි කෙනෙක් කොණ්ඩෙ ගැන සැලකිල්ලක් නැහැ. කොණ්ඩයත් කලා භාණ්ඩයක්...කලා කෘතියක්...කිසි කෙනෙකුට කිසි තැකීමක් නැති...ඒත් කොණ්ඩය කොටටම කපලා ඒක හිසින් අත් හැරපු තරුණයෝ කොච්චර ද? කොණ්ඩය මහ බරක් වෙලා ... ජෙල් ගාන්න නඩත්තු කරන්න මිනිස්සුන්ට කාලයක් නැහැ. වුවමනාවක් නැහැ. ඒකාකාරී කොණ්ඩ හැම තැනම පේන්නේ... කිසි ‍පිළිවෙලක් නැහැ. මේ බිල්ඩිං වගේමයි..."

කුමාරි ඇගේ කාර්යාලයට ආසන්නව සිය ගමන මන්දනය කරන්නට වූවාය.

"ඔයා හයට එන්න චැරියට් එක ගාවට...මම කාර් එක අරන් එනවා... අපි හවස කොහේ හරි ගිහින් රෑට කෑම කමු. "

"මම එන්නම් හයට. එහෙනම් මම මෙතනින් එහා පැත්තට යනවා. ඔයා පරිස්සමින් යන්න."

අරවින්ද අසල ගොඩනැගිල්ලේ වීදුරු මුහුණතින් ඔහුගේ රුවත් කුමාරි පිටු පා යන සුරූපි ලාලිත්‍යයත් දුටුවේය. ඔහු කොණ්ඩය අතින් සකසා ගත්තේය. වීදුරුවේ දෙපස අරවින්ද සහ කුමාරි මොහොතින් මොහොත ඈත් වී බොඳ වෙයි. ඇය වීදුරු දොර තුලින් රසදිය නොපැතිරුනු ගොරෝසු වීදුරු බිත්ති අතරින් නොපෙනී ගියාය.

2010.07.05

ඩෝසන් ප්‍රීති

Monday, July 20, 2009

සූරිය කාන්තා


සූරිය කාන්තා
”තරුණයා...! නුඹ විසින් දේවත්වයකින් සැලකිය යුතු කරඩුවක බහා පුද දුන් නොඉදුල් ආලය... අවමානයක් බවට පත් වීම කෙසේ නම් භුක්ති විද ගන්නෙම් ද...? අනෙක... නිමක් නැති පුරුෂ ඇසුරට ගිජු වූ ඇයගේ රතී රසය නුඹ වැන්නෙකුට තරම් වේද...? තුන් කල් ළගා කර ගත යුතු නැති... මෙවන් ස්ත‍්‍රීහු කිසිදු පෙම්වතෙකුට... කිසිදු ස්වාමිපුරුෂයෙකුට අනිවාර්යය අපකීර්තිය හා අභාග්‍යය ළගා නොකරන්නේ ද... ? එපමණක් ද... ? තරුණයා...! මේ දේ හොඳ හැටි... සිත තුළට ගනින්... මේ ලෝකයෙහි මිනිසුන් අතරේ අත්හැර දැමීමට නොහැකි කරදරකාරී පුරුදු දෙකක් තියෙනවා...එකක් පිරිමින්ගේ සූදුව...අනෙක ගෑණුන්ගේ වේසකම...”

ගුණරත්න වික‍්‍රමගේ-පළමු හාදුව-ගිනි කූර කෙටි කතා සංග‍්‍රහය

”එක්ස් කියුස් මී කවුද සිල්වියා කියන්නේ?”


”මම තමයි සිල්වියා -එච් ආර් ඇසිස්ටන්ට් -කරුණාකරල මෙතනින් වාඩි වෙන්න ”


සිල්වියා මට මුණගැහෙන්නේ මා රැකියාවට පැමිණි පළමු දිනයේම මගේ පෞද්ගලික ලිපිගොණුව සකස් කරන්නට ඇයට සිදුවූ නිසාය.

කාර්යාලයේ නවීනතම පරිඝණක උපාංග අතර දිලිසෙන වීදුරු ක්‍යුබිකල් අස්සෙන් ඇය කඩිසරව ගමන් කරයි.

ඇගේ සියුමැලි සිරුරේ පාණ්ඩු පැහැයත් කෙසඟබවත් මගේ සිත් ගත්තෙන් ඇයට දුටුමතින් පෙමින් බැඳී ඇගේ පසුපසින් වැටී හුන් මා සිතුවිලි දෛවයේ තවත් කඩඉමකට මාව රැගෙන යන්නට හරිමින් මෙ රැකියා මාරුව ගැන චිත්ත ප‍්‍රීතියෙන් පිනා යමින් උන්නෙමි.

ඈ පිලිපීන ජාතික කෙල්ලක් වුවද මට ඈ පෙනෙන්නේ පී‍්‍රටි සින්ටා සේය.
ඇ ගතින් මොකද්දෝ අමුතු නුහුරු සුවඳක් විහිදේ .
ඈ මා පසු කර යන හැම විටෙකම ඒ සුවඳ මා කිති කවයි .
ඒ සුවඳ අතීතයේ කිසියම් කාලවකවානුවක් සිහිකරයි- ඒ කුමක්දැයි මට පැහැදිලිව නොහැ‍ඟෙයි.
මා තුල කස්තුරි සුවඳ ගැන සිතිවිලි යලි යලි ඉපදේ -ඒත් මෙබදු සුවඳකැයි මට සිතෙයි.

ඒ මේ සුවඳ විය යුතුමයි.

888888

මගේ අතීතයේ මා සිතින් පෙම් බැඳි සියල්ලන් කෙසඟ කෙල්ලන්ය.
සිහින් ඇඟපත ඇතියවුන් කෙරෙහි මගේ ආකර්ෂණය කවදා කවර ආකාරයකින් හිත තුල රෝපණය වී දැයි මට සිහි කළ නොහේ.
කුඩා පියයුරු වැසීගිය ඇගේ කහ පැහැති බ්ලවුසය මතුපිට කිසිදු ස්ත‍්‍රී බවක් නොරැඳුනි.
එනමුදු එම දැකුම මසිත පුබුදුවයි .
මම ස්වාභාවික ජීව විද්‍යාවට ප‍්‍රතිපක්ෂ ජීවියකුදැයි මට මෙබදු සියලු අවස්ථාවන්හිදි සිතේ.
දරුවන් වැදීමට හැදීමට උපතින් ලද ඝණ පිරිපුන් පියයුරු මඩලින් ද පුළුල් උකුලින් ද යුත් පුෂ්ටිමත් කතුන් කෙරෙහි මා සිත ඇදී නොයන්නේ කවර හේතුවක් නිසාදැයි මට නොතෙරේ.

වෙළදපොළ ආර්ථිකය විසින් ඔසොවා තබන ලද ස්ලිම් බොඩි සංස්කෘතියේ ගොදුරක් බවට මා පත් වී ඇති වගත් මගේ මනසේ ආශාවන් ප්ලේබෝයි සඟරාවල ව්‍යාජ අප්සරාවන් විසින් පැහැරගෙන ඇති වගත් මට කවුදෝ සරදමට කී වගක් මතකයේ රැඳී ඇත.

දිගු කේෂකලාපයක් හෝ ළපනොමවන් සඳවත පරදන මුහුණක් හෝ ඇයට නොවීය.
ඇය කොටින්ම කවියක් නොවීය -ගීතයක් නොවීය- සිත්තමක් නොවීය-පිලිරුවක් නොවීය.
කිසිම කාම රසෝත්දීපනයෙහි සමත් ශරීරාංගයක් ඇය වෙත නොවීය.
සකල කලාවටම හෙන ගැහී අත පය කැඞී ගිය මහ මුහුදේ ගැඹුරු අගාධයකින් මතුව ආ වීනස් ප්‍රතිමාවකට මම ලොබින් බැඳෙමින් සිටිමි.

එනමුදු ඈ කාර්යශූරය -කඩිසරය -දල්වාගත් මුවින් සිනහ සලමින් සිය රාජකාරි කළාය .
සරුංගලයක් වැනි සැහැල්ලුවකින් ඈ කාර්යාලය පුරා ටෝර්නාඩෝවක් මෙන් ලහි ලහියේ කැරකෙමින් ගිනි සිළුවකින් මෙන් බැබලවීය.
ඒ ගිනි සිලෙන් උපන් මගේ පේ‍්‍රම දාහයෙන් මා දැවී යන්නාක් මෙන් මට හැගුනි.

ප‍්‍රථම දිනයක නොසිදු විිය යුතු බොහෝ දේ මෙ ප‍්‍රථම දිනයේ සිදු වීම මට අහ්ලාදයකි.
තව කාලය බොහෝ සේ ඉතිරි වී ඇත්තේ මගේ ඉතිරි ජීවිතයේ පළමු දිනය අදයැයි මට ඒත්තු ගන්වමිනි.
මගේ පරාජිත පේ‍්‍රමාලිංගන ලෝකයට නව විජයග‍්‍රහණයක මග ලකුණු වැටෙමින් ඇති වග මට දැනේ.
ඇයගේ තුනී ලෑලි සිරුරේ මොකද්දෝ දෙයක් සැඟව ඇත.

එය සොයා මසිත වෙහෙසෙයි.

888888

සිල්වියා බැඳල ද?

නෑ ඇයි ?

නිකං ඇහුවෙ

ඔයාට ආයෙම ඉන්ක‍්‍රිමන්ට් එකක් - ඇවිල්ලා දවස් කීයද -අම්මා-- ඔයා නම් මෙතන ලොක්කෙක් වෙනවා ළගදීම

ඇය සුමුදු දසන් පා සිනාසේ -ඈ ලස්සනය

ආ මම දන්නේ නෑනේ- මම නම් මුකුත් ඉල්ලුවෙ නැහැ...

ආ මට කියන්න අමතක වුනා- මෙවා මට කියන්න තහනම් -ඒත් ඔයාට කියන්න හිතුනා -ඔයාට ලියුමක් ලැබෙයි- එතකන් ඉන්න සද්ද නැතිව...

කමක් නැහැ- ගොඩක් ස්තුතියි සිල්වියා-මට කවුරුවත් නැහැ ඔවා කියන්න.

888888

සිල්වියා සහ මම කිට්ටු වුනා හිතූ තරම් අපහසුවකින් තොරවම.
ප‍්‍රථම දිනයේම ඇගේ නෙත සිත සොරා ගන්නට මට හැකි විය.
මම ඇයට එදා හවසම පෙන්ඩන්ට් එකක් තෑගි කළෙමි.
එය මිලදී ගන්නට මට හවස් වරුවෙ කාර්යාලයෙන් පැන ගොස් පැය බාගයක් සාප්පු ගානේ රස්තියාදු වන්නට සිදු විය.
ඇය නැවත හමු වන්නට ඇගේ කාර්යාලයට යන්නට රියැදුරකු සොයා ගන්නට සිදුවීමෙන් ඔහු ඉදිරියේ රාජකාරි බැරෑරුම් බවක් මවා ගෙන ඉන්නට සිදුවීම හැරුණු කොට චිත්තාභ්‍යන්තරය ප‍්‍රමෝදයෙන් ඉපිලෙමින් පැවතිනි.
මෙ සීඝ‍්‍රගාමී පෙම් වෘතය ඇයට දරා ගත නොහැකි තරම් විය.

ඇය වික්ෂිප්ත වන්නී තුටු සිතින් එය භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළාය.

ඇගේ ජංගම දුරකතන අංකය ලබා ගැනීමට ඒ වියදම ප‍්‍රමාණවත් වීය.

කෙසේ හෝ ඇය වැඩ ඇරී යන අවස්ථාවේ පෙන්ඩන්ටුව ඇගේ අත් බෑගය තුලට දමාගන්නට හැකි වූයේ අප දෙදෙනාටම රාජකාරි හමාර කර යන්නට ගමන් පහසුව සලසා තිබුනේ එකම රථයක හේතුවෙනි.

ඇය උපතින් බුද්ධිමත් වීමත් තීක්ෂණ වීමත් මම උපතින්ම කාන්තාවන් එසේ නොවේ යැයි සිතන්නට පුරුදු වීමත් හේතුවෙන් මට බොහෝ වියදම් ද ඇයට බොහෝ ආදායම් ද මෙ ඇසුරින් උපත ලද බව නිශ්චිතය.

ඊට ප‍්‍රතිදාන වශයෙන් ඇය සියළු කල්හිම මට ඇගේ ආහාරයෙන් කුමන හෝ කොටසක් ලැබෙන්නට සැලැස්සුවාය.
සමහර විට පාං පෙත්තකින් භාගයක් රැගෙන කාර්යාල සහායකයා මවෙත පැමිණේ.
එනමුදු ඇය එය එවන්නේ මවිසින් තෑගි දුන් ස්වර්ණාභරණයක් දමා දුන් කුඩා බෑගයකය.
කාර්යාල සහායකයා පාං පෙත්ත මවෙත ගෙනෙන්නේ දියමන්තියක් ගෙනෙන්නා වූ පරෙස්සමිනි.

ඉඳහිට ආයතනයේ ආරක්ෂක සේවයේ නියුතු තලතුනා මිනිසෙක් ඇයට යෝජනා ගෙනෙන බව ඇය මට දුරකතනයෙන් පවසා සිනා සේ.
ඇය දිනාගන්න තරම් සුන්දර වස්තුවක් දැයි සමහරු පවසන බව මම දනිමි.
මා පමණක් දන්නා පේ‍්‍රමනීය ලිංගික විද්‍යාවක් තුල ඇය ක්ලියෝපැට්රා මෙන් බබලන්නීය.
අනිත් අයට ඇය නිකම්ම සිල්වියාය. කෙට්ටු සිල්වියා ය.

මා දකින සුන්දර ගැහැණිය වෙනකෙකු සුන්දර ලෙස නොදැකීම මගේ ජීවිතය සරල කරන්නට හේතු වන්නේ යැයි මට සිතේ.
එනමුදු සිල්වියා ගැන මගේ ප්‍රේමය හුදු භෞතික සිරුර ඉක්මවා යන්නක් බව මම නිතර මෙණෙහි කරන්නට වීමි.

කාටත් අවශ්‍ය වන තාලයේ කෙල්ලක් මට අවශ්‍ය නැත.
කාටත් ඔන නැති කෙල්ලක් මගේම කරගැනීම මගේ නිස්කලංක ජීවිතයට පහසුවකි.
නැත්නම් සැක සංකා මෙන්ම ඇය පරිස්සම් කිරීමෙ මෙහෙයුම් දියත් කරන්නට වීම මගේ නිදහස විනාෂ කරන්නේ යැයි මට සිතේ.

ගැහැණියක් පිරිමියකුගෙන් බලාපොරොත්තුවන්නේ ආදරය සහ ආරක්ෂාව බව මම අදහමි.
ඒ සෑම දෙයක්ම මා ලඟ නොඅඩුව ඇත.

අපි බොහෝ ඉක්මනින් පෙම්වතුන් වුනා.

888888

අපි පෙමින් වෙලුනු ගිවිසුම් දිනය ඉතාම කෙටි ඇසුරකින් උදා වුනා.
එහෙම දවසක් ගැන ඇය සිහින මවන බව මම දැන සිටියෙන් ඊට කල් ඇතුව සූදානම් වීමට මා උත්සුක වුනා.
අපි දෙන්නම රාජකාරි අවසන්ව රාත‍්‍රී භෝජන ශාලාවක දී මතු අනාගතය උදෙසා පේ‍්‍රමයෙන් වෙළෙන කැදැල්ලකට පියඹා යන නිශ්චිත වැඩපිලිවෙලක් සහිත සමාජානුගත ප‍්‍රමිතීන් අනුව යමින් පෙම්වතුන් බවට පත් වුනෙමු.
ඈ මා වෙත යොමු කළ බොහෝ ප‍්‍රශ්ණ සාර්ථකව පිලිතුරු සපයන්නට හැකි වීමෙන් ද
මට ඈ සම්බන්ධව කිසිදු ප‍්‍රශ්ණයක් මතු නොවීම ද හේතුවෙන් සියල්ල සිහිනයක් මෙන් සුමටව සිදු විය.

ඇය දසවතාවක් පමණ ඇසූ පැණයක් මගේ සිතේ ගැඹුරට කා වැදුනි.

ඔයා ඇයි මාවම තෝරා ගත්තේ ?

ඒ ප‍්‍රශ්ණයේ ඉතිරි ටික බොහෝ විට - මම ලස්සනත් නැහැ -මට ලොකු පඩියක් ඇත්තෙත් නැහැ -මන්දා මම ඔයා තරම් ඉගෙන ගෙනත් නැහැ-මට තේරෙන්නේ නැහැ ඔයා ඇයි මා ගැන මෙ තරම් උනන්දු කියලා...

මම ඇයට කීවේ, ඒ කිසිවක් මා ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවූ වගත් වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් විසින් මා මෙහෙය වනු ලබන බවත්, සිත බැදුනේ නම් ගණිකාවක වුවද මා විවාහ කරගන්නට නොපසුබට වන බවත්ය.

මම ඒ අවස්ථාවලදී ප‍්‍රකාෂ කරන දේවල් ගැන මට කිසිදු නිනව්වක් නැත.

එනමුදු ඇගේ දෙනෙත් දීප්තියෙන් බැබලෙන අයුරින් පවත්වා ගැනීම උදෙසා සෑම වදනක්ම නොමසුරු ලෙස හසුරුවා ගන්නට මම උත්සාහ කළෙමි.

වරෙක මම ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා - කොලරා කාලේ ආලේ පොත ඇයට තෑගි දුන්නෙමි.
ඈ වෙනුවෙන් අවුරුදු දෙසීයක් වුව ද කල් බලන්නට මම සූදානම් බව ද කීවෙමි.
ඈ දෑස් ලොකු කරගත්තාය.

ඇය කිසිම දිනෙක ලතින් ඇමරිකානු සාහිත්‍යය කියවා තිබ්බේ නැත.

සිල්වියා වෙනුවෙන් තවත් ෆ්ලොරෙන්තීනෝ අරීසා කෙනෙක් උපද්දවන්නට තරම් අකාරුණික නොවන ලෙස ඇයට පහදා දීමෙන් පසු ඇය කෙදිනකවත් ෆර්මිනා දාසා කෙනෙක් නොවන්නට දිවුරා පොරොන්දු විය.

එනමුදු උර්බිනෝ කෙනෙක් ගැන හාංකවිසියක් මට නොවීය.

කෙසේ හෝ ඇයගේ විශ්වාසය තහවුරු කරගැන්ම මගේ එකම අදිටන විය.

සිල්වියා මදෙස කිසිවක් නොකියා දල්වා ගත් දෙනෙතින් බලා සිටින්නට විය.

ඔයා ගණිකාවක් වුනත් බදින්න ද හිටියේ ?

ඔව්, මම කැමතියි එහෙම කෙනෙක් උනත් බැඳලා එයාගේ ජීවිතේ වෙනස් කරන්න ලැබෙනව නම්- මට ගැහැණියකගේ පිරිසිදුකම කියන්නේ භෞතික දෙයක් නොවෙයි -ඒක අධ්‍යාත්මික දෙයක්.

ඔයා හරිම හොඳ කෙනෙක් -ඔයා හරිම පුදුම කෙනෙක් -ඔයා ගොඩක් වටින මනුෂ්‍යයෙක්-ඔයා... ඔයා... ඔයා...

ඉන් පසු අපි වෙන කවරදාටත් වඩා තෑගි බෝග හුවමාරු කරගත්තෙමු.

ඈ වසන නිවෙසේ වෙසෙන ඇගේ මිතුරු මිතුරියන්ට රාත‍්‍රී භෝජන සංග‍්‍රයක් ද පවත්වා අපි දෙදෙනාම ඔවුනොවුන්ගේ මිත‍්‍ර සන්තවයන් හදුනා ගත්තෙමු.

නොබෝ දිනකින් සති අන්තයක අවන්හලක රාත‍්‍රී භෝජනය අවසන් කළ අපි නගරයේ අවහිර බාධාවකින් තොර ලැගුම් හලකට වැදී දින දෙකක අඛණ්ඩ මධුසමයක් අවසන් කර අනාගතය ගැන බොහෝ සුභ සිහින මැව්වෙමු.

සිල්වියා වන් -සිල්වියා ටූ- සිල්වියා ත‍්‍රී වශයෙන් අපි සිහින දූවරුන් තිදෙනෙක් ගැන ප‍්‍රථමයෙන්ම සිතන්නටත් ප‍්‍රීති වන්නටත් පටන් ගත්තේ ඒ දවස්වලමය.

ඇගේ කෙසඟ සිරුර සිල්වියා වන්වලින් හෙම්බත් වනු ඇතැයි මට අනන්ත වාරයක් සිතුනේය.

888888

රාජකාරි ඇරඹුමට පෙර සහ අවසන් කර ඇයත් මමත් අප නිවෙස් වෙත රැගෙන යන වෑන් රිය තුල ගෙවෙන පැය තුන අපගේ දෛනික හමුව සිදුවන කාලපරිච්ඡේද දෙක විය.

උදෑසන එකිනෙකාට තුරුලුව වැඩට ඒමත් හැන්දෑවේ එකිනෙකාට තුරුළුව වැඩ අවසන් කර ගෙවල්වල යෑමත් බොහෝ සෙයින් දෙදෙනාගේම ජීවන සංතෘප්තියට හේතු විය.

ඇය මවෙත යොමුවන්නට පෙර පෙම් සබදතාවයකින් වෙන් වී ඇත්තේ මීට මාස හත අටකට පෙරය.
ඒ පෙම් පුවත වසර දහයක් තිස්සේ පැවත ආවකි.
දැන් ඒවායේ මතකයන්වත් ඈ තුල නොවන වග මට දැනේ.

ඇගේ කලින් පෙම්වතා ඇගේ හොදම යෙහෙලියක හා පැවැති රහස් සම්බන්ධතාවයක් හේතුවෙන් ගැබ් ගෙන දරුවකු ද සමගින් හුදකලා වීමත් සමග සියල්ල හෙලිදරව් වීමෙන් ඇගේ හොදම මිතුරිය වෙනුවෙන් ඇගේ පෙම්වතා පරිත්‍යාග කරන්නට ඇය තීරණය කලෙන් ඈ ද මෙසේ හුදකලා වී ඇත්තේය.

මා හමුවීමත් මගේ බලවත් පෙරැත්තයත් හේතුවෙන් ඇය මා හා බැදෙන්නට තීරණය කරන්නී ඉමහත් සංකාවෙනි.

ඇය මා වෙනුවෙන් මෙ ලොව ජනිතව ඇති වග ඇයට ඒත්තු ගන්වන්නට මට හැකි වී ඇත.
ඇය ද ඇගේ ජීවිතයේ අරමුණ මෙතුවක් කල් නොලද බවත් මා ලද්දෙන් සියළු සිහිනයන් වෙත තටු ලැබී ඇති වගත් ඈ මට කොඳුරයි.

ඇගේ අනාගතය සංතුෂ්ටිදායක සැබෑවක් කිරීමෙ පරම චේතනාවෙන් මැඩුනු මා හට ඇයට පිළිසරණක් වීමටත් හැකි වීම ඇගේ අමන්දානන්දයට හේතු විය.
ඇයට අලුත් සිහින- මට අලුත් පහස- අපි දෙදෙනාම නැවුම් ලොවකට වැදුනෙමු.

ඇගේ ප‍්‍රථම පේ‍්‍රමයේ නටබුන් අතරින් ඈ කිසි දිනෙක කිසිවකු නොපැතූ වග එකහෙළාම කියන්නී ඇගේ සිත මෙළෙක් වීමට බලපෑ මගේ ඉඟිබිඟි නොවන්නට ඇය හුදෙකලා ජීවිතය තෝරා ගන්නීය.

දේව නිර්මාණය සම්පූර්ණය. මම දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් විය යුතු වගට තිරසාරව සිතන්නට පටන් ගති.

888888

අපි එකට වාසය නොකරන හේතුවෙන් රාතී‍්‍ර භෝජනය ගැනීමෙ අවස්ථාව පමණක් අපට රොමැන්තික ලෙස ගත කරන්නට ලැබෙන එකම අවස්ථාව බව මම ඇයට පහදා දී තිබුනෙන් රාත‍්‍රී භෝජනය ඉතාමත් වැදගත් අවස්ථාව ලෙස ඇය ද සලකන්නට විය.

සිල්වියා අද අපි කොහෙන් ද රාත‍්‍රී කෑම ගන්නේ ?- වෙනද නොයන තැනකට යන්න ඕන...

මම උදෑසනම ඇයට මතක් කරන්නේ අපගේ හැන්දෑව ගෙවී යන විදිය කල් ඇතුව සැළසුම් කරන්නටය.

අපි අද මරිනා එකට යමු- මම කවදාවත් එතනට ගිහින් නැහැ- ටිකක් ගණන් වැඩියිලු ඒත් අදට විතරනේ -අනික හරිම රොමැන්ටික් ලු එතන...

ඇය දුරකතනයෙන් විකසිත වෙයි.

හරි අපි අද මරිනා යමු.

සිල්වියා ගේ කැමැත්තක් ඉටු කිරීමෙන් මම ඉමහත් තෘප්තියක් ලද්දෙමි.
ඈ බොහෝ ආසා කරන දේ මිළ අධිකය -සුඛෝපභෝගීය- එනමුදු ඇය වෙනුවෙන් නොකලහැකි දෙයක් මා වෙත නැත.

ඇයට ඇවසි වන්නේ අතීත තුවාල ඉක්මනින් සුව කරගැනීමෙ ශාන්ති කර්මයයි.
මම ඒ සදහා උපරිමයෙන් ඇයට උපකාර කරමි.
ඇය අතීතාවලියෙන් මිදෙන්නට අලුත් තැන් සොයන්නීය.
අලුත් ආහාර පාන- අවන්හල් සහ එළිමහන් සොයන්නීය.
ඇයට සියල්ල මා සමග අලුතෙන් පටන් ගැනීමෙ ආශාවක් ඇත්තේය.

අපි අප දෙදෙනා ගැනම කතා කරමින් මාස හතරක් ගත කළෙමු.

ඒ කාලය තුල අප විසින් පසු බිම් ලෙස තබා ගත් ඡායාරූපයකට හසු නොවූ ගොඩනැගිල්ලක් හෝ අවන්හලක් හෝ වතුර මලක් හෝ වාස්තු විද්‍යාත්මක අනිභිබවනීය නිර්මාණයක් නගරය තුල ඉතිරි නොවුනි.
අපි ප‍්‍රථමයෙන් හදුනාගත යුත්තේ අපි අපිම වග ඉදුරාම අවබෝධ කර සිටියෙමු.

ඇගේ ප‍්‍රථම ප්‍රෙමයේ මංසන්ධි සියල්ලේම නොසගවා- විවෘතවම -සෘජුවම අපි දෙදෙනම අතිනත් පටලගෙන ඇවිද ගොස් දැක- දැන සියළු රහස් -අවුල් නිරවුල් කර ගත්තෙමු.

මගේ ප‍්‍රථම විවාහයේ සියලු අක්වක් වූ තැන්හි සිල්වියා සමග කතාබහ කොට අහවර කර දමන්නට හැකි වීම ද එලෙසම වීය.

උර්බිනෝ අපේ ජීවිත වලට ගැටගැහෙන්නේ කොතනින්දැයි විපිලිසර වන්නට මා පටන් ගත්තේ ඉන් පසුවය.

කෙසේ නමුදු අප දෙදෙනාම එකිනෙකා කෙරෙහි අවංකාදරයකට පසුබිම් සදාගත්තෙමු.

අපට තවත් රහස් නොවුනෙන් අපි නුදුරේදීම එකම වහලක් යට වාසයට සැළසුම් කෙරුවෙමු.

මගේ ජංගම දුරකතනයේ වූ සියලුම ගණිකාවන්ගේ දුරකතන අංක මකා දැමුවෙමි.
මනෝරි ගැන පුවත ද ඉඩ ලද අවස්ථාවක කියා දැමීමෙන් ළය සැහැල්ලු කරගතිමි.

ඇයට මා ආශ්චර්යයක් වූයේ මා සියලු පවත් නොවලහා ඇයට කීමෙන් මා තුල වූ අවංක අධ්‍යාශය එලිදරව් කළ බැවිනි.
ඇය ද ඇගේ පවත් මා වෙත පවසා පාපොච්චාරණය කරන්නට වන්නේ තරගයකට වැදි අසරුවන් දෙදෙනකු මෙනි.

ඇය ගත කළ අවුරුදු දහයක කාලය තුල තෙවරක් ගැබ් ගෙන ඇති වගත් ඒ තෙවරම ඔවුන් සාකච්ඡා කර ගබ්සා කළ වගත් ඒ සෑම අවස්ථාවකම විවාහ වීමෙ අවශ්‍යතාව ඇය මතු කළ ද දෛවෝපගත ලෙස එය වැලැකුනු බවත්,
ඒ දෛවෝපගත හේතුව දැන් ඇය දන්නා බව පවසත්ම මසිත ඔකඳ වේ.

මා විවාහ වූ දිනේ සිට දරුවකු පැතූ වගත් එය අවුරුදු හතක් තුලම ඉටු නොවුනෙන් දික්කසාද වූ වගත් නීතියෙන් සර්වසම්පූර්ණයෙන්ම වෙන්වී මා නිදහස් තනිකඩයෙකු බවත් එකිනෙකාට විස්තර කිරීමෙන් අපට තවත් එකිනෙකාගෙන් වසන් වූ අතීතයක් නොමැති බව තහවුරු විය.

එමෙන්ම මගේ පැවැත්මෙ හේතුව ද මම දන්නේ දැන් බව ඇයට පැවසීමි.

එක දිනක්, මට හරියටම මතක නැති ලුසී නම් වූ ගණිකාව විසින් එවන ලද කෙටි පණිවුඩය සිල්වියා සමග රාත‍්‍රී භෝජනය ගන්නා අතර හඩ නගමින් දිස් වූයෙන් ඇයට නැවත අරාබි නිසොල්ලාසය තරම් කතා කීමෙන් එම විචිකිච්චාව ද මුලිනුපුටා දමන්නට සමත් වීම මගේ ජයග‍්‍රහණයකි.

සත්‍ය වශයෙන්ම ගණිකාවන් ඔනම කෙනෙකුට එවන්නේ අයි මිස් යූ කියාය.

එය එතරම් බරපතල කාරණයක් නොවන වග මිහිපිට ස්වාමියෙක් සිය බිරියට පැහැදිලි කොට ඇත්නම් ඒ මා පමණක් විය යුතුය.
මම වුවද තවමත් ස්වාමි තත්වයේ නොවේ.
ඇයට මේ එකදු දෙයක් වත් දරාගන්නට නොහැකි තරම් විශාල දේවල් නොවීම මගේ සතුටට හේතු විය.

වැඩි කාලයක් අප අතරින් කාලය ගලා යන්නට මත්තෙන්---ඇය අනපේක්ෂිත ලෙස මගේ පෙම් දැහැනින් මැකී ගොස් දින දෙකකට පසු යථා පරිදි උදෑසනක සිය සුපුරුදු රියට ගොඩ වන ස්ථානයෙන් මතු විය.

මම ඇයව මා අසලින් හිදුවා ගතිමි.
අප එකට වාඩි වී පැමිණීම රාජකාරි ස්ථානයේ කිසිවකුටත් අමුත්තක් නොවීය.

ඇයි හදිසියේ දවස් දෙකක් මට කෝල් එකක් වත් දුන්නේ නැත්තේ? මම කෝල් කලා විසි තිස් සැරයක් ,ෆෝන් එකත් ඔ්ෆ් කරලා...?

මම ලෙඩ වුනා...

ඉතිං මට කියන්න එපැයි -මම මොනවා හරි කරනවා නේ -මට හරිම පුදුමයි ඔයා එක පාරටම සද්ද නොකර දවස් දෙක තුනක් ගත කළාම- මට ඇත්ත කියන්න සිල්වියා...

සිල්වියා කල්පනාවට වැටෙයි -ඇගේ දෙනෙත් සෝබරය -කියා ගන්නට බැරි යමක් ඇගේ මුහුණේ සටහන් ව ඇත- මට ඇගේ මුහුණ කියවිය හැකිය.

ඔයා ට කියන්නම ඕන දෙයක් සිද්ධ වුනා -නමුත් මට මෙක කෝල් කරල කියන්න බය හිතුන නිසායි මම අද වෙනකම් හිටියේ.

මොනවා මොකද්ද ඒ? මොකුත් ප‍්‍රශ්ණයක් ද?

ඔව් පෙරෙදා ටෝනි හදිසියේම මාව සොයං ආවා!

නෑහ්!?! ඉතිං මොකද වුනේ?

එයා ඇවිත් කීවා අපි බඳින්න ඔන කියලා...

මොනවා?

ඔවු එයා පල්ලියෙ කට්ටියත් එක්කමයි ආවෙ- එයා පල්ලියෙදි පිළි අරං එයා අතින් වැරැුද්දක් වුනා කියලා.

ඉතිං පල්ලියේ අය මොකද කියන්නේ?

පල්ලියේ අය සමාව දීලා ...

එතකොට අර දරුවා?

ඒක තමයි ඒ දරුවා නඩත්තු කරන්න වියදම දෙන්න පොරොන්දු වෙලා...

ඒක හරියන්නේ නැහැනේ ...දරුවෙකුට තාත්තා කෙනෙක් ඔන නේ...?

ඔව් ඒක ඇත්ත. නමුත් පල්ලිය කියන්නේ එයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඔන කියලා.

බැඳලා නැති නිසා එයා කසාද බන්දවන්නයි ඔන- ඒක තමයි හරි දේ...

ඔව් ඒක තමයි හරි දේ ...නමුත් ටෝනි කැමති නැහැ එයාව බදින්න...

ඒක හරිම පුදුම දෙයක්නේ ? එයා දරුවෙක් හදා ගත්තේ එයාට අකමැති නිසාද ?

ඒකත් ඇත්ත... නමුත් ටෝනි කියන්නේ ඒක වැරදීමක් කියලා- ඒ දෙන්න අතර ගැලපීමක් නැහැ කියලා...

ඔව් වැරදීමක් වෙන්නැති- ඒත් ඒක එක රැයකින් -දවසකින් වෙච්ච දෙයක් වෙන්න බැහැනේ ? -නොගැලපෙනව නම් ඒව දැනුම් තේරුම් ගන්න ඔන දේවල් වෙන්න කලින් නේ ?

ඔව් ටෝනි එයා එක්ක එකට ජීවත් වෙලා තියෙනවා- එහේ- මා එක්කල සම්බන්ධෙන් ඉන්න සමාන්තර කාලෙම -අනේ මම ඒ මොකුත් දැනං හිටියේ නැහැනේ -මම ටෝනි විශ්වාස කලා සෑහෙන්න.

ඉතිං දැං මොකද වෙන්න යන්නේ ?-එයා ඔයාගේ විශ්වාසයත් බින්දා - දැං?

අපේ අම්මලා කැමති මම ටෝනි බදිනවට- ඒ අය ටෝනිව දන්නවනේ ගොඩක් කාලෙක ඉදලා...

ඒ කියන්නේ ?

ඒ කියන්නේ ඒ අය කැමති නැහැ ඔයා බදිනවට - ටෝනි හොද හෝ නරක වුනත් ඒ අය එයාට කැමතියි එයා අපේ කෙනෙක් නිසා

මම කීවෙ කලින්ම -මම ආගම මාරු කරන්නම්...

ඒත් ඒ අය කසාද බදින්න ආගම මාරු කරනවට කැමති නැහැ නේ...හරිම අවුලක් අනේ...

ඒක යකාගේ කතාවක් නේ -මම ඔයාව බදින්න ඔන නිසා නොවේ නම් ආගම මාරු කරන්නේ නැහැ තමයි කවදාවත් !!!

ඒක ඇත්ත... නමුත් එහෙනම් ආගම මාරු කරල අවුරුදු දෙක තුනක් යනකම් අපිට බදින්න වෙන්නේ නැහැ -ඒ අයට දැන ගන්න ඔන ඔයා ඇත්තටම මට ආදරේද කියලා..

පුදුම වැඩක් ඒක!

ඔව්... අනිත් අතින් පල්ලිය කැමතිත් නැහැ!!

පල්ලියට බම්බු ගහන්න කියන්න... ඔයා පල්ලියට ඔන දේද කරන්නේ ?

අනේ එහෙම කියන්න එපා -මම අසරණයි -මෙක මගේ ෆේත් එක!

ටෝනි එදා ඇවිල්ලා එදාම ගියාද?

නැහැ

එයා කොහෙද නතර වුනේ ?

මගේ කාමරේ...

මොනවා???

ඔව්

එයා නිදාගත්තේ ...?

මගේ ඇ‍ඳේ ...

මොනවා සිල්වියා?!?

ඔව්

එයා ඔයා එක්ක ... ද ?

ඔවු !

මේක මහ විසාල අවුලක් සිල්වියා!

මට එයාට බැහැ කියන්න බැහැ නේ- මම කියන්න පුලුවන් තරමක් කීවා -එයා අතින් වරදක් වුන නිසා මම වෙන්වුනා මිසක් එයා නරක කෙනෙක් නොවෙයි නේ -මම එයාට ආදරේ නැහැ ඒත් ඒ දැන් නේ-මම ආදරෙන් හිටියා නේ එයා එක්ක -නමුත් මට එයාව ප‍්‍රතික්ෂේප කරන්න බැහැ -අපි අවුරුදු දහයක් ආදරය කළා- අවුරුදු දෙකක් එක කාමරේ ජීවත් වුනා නේ ...

ආදරේ නැත්නම් කොහොම ද ? මන්දා කොහොම ද ළමයෝ ලිංගිකව හැසිරෙන්නේ ?

මම දන්නේ නැහැ- මම ඒකට කැමති නැහැ -නමුත් එයාට ඕන මාව ප්‍රෙග්නන්ට් කරලා එයාට බැදගන්න!

මෙක මහ අවුලක් සිල්වියා- මට පිස්සු වගේ-අනිත් අතට ඔයාට ඔන මගෙන් ප්‍රෙග්නන්ට් වෙන්න-මෙහෙම ගියොත් කාගෙන් ප්‍රෙග්නන්ට් වෙයිද කියලා දෙයියො තමයි දන්නේ!

ඉතිං මම මොනවා කරන්න ද ඔයා කියන්න -අනේ මාව තේරුම් ගන්න- මම හිතලා කරන දෙයක් නොවෙයි මෙ-මම කැමති ඔයාගෙන් ප්‍රෙග්නන්ට් වෙන්න...

මට තේරෙන්නේ නෑ-ඔයා එයාව එලව ගන්න එපැයි -ඇයි ඔයා මට ආදරේ නැද්ද ?

මම ඔයාට ආදරෙයි- ඒත් මට ටෝනිව එහෙම එලවන්න බැහැ නේ -ඔයා තේරුම් ගන්න- එයා ගොඩක් අප්සට් එකෙන් ඉන්නේ -එයා අපේ ගෙදරට ඔයා ගැනයි අපි ගැනයි සේරම කියලා -අපේ අම්මා ලෙඩ වෙලා -ඒ අය කැමති නැහැ මම ඔයා වගේ ආගමින් ජාතියෙන් පිට කෙනෙක් බදිනවට -තාත්තා කීවා කෝල් කරල පණ නහගන්නවා කියලා කසාද බැදපු කෙනෙක් බැන්දොත්...

ඉතිං මම ඩිවෝස් වෙලානේ ඉන්නේ -කසාද බැදපු කෙනෙක් වෙන්නේ කොහොම ද ?

ඒක ඇත්ත- ඒත් ඒ අය හිතන්නේ වෙන විදියකටනේ- මම මොනව කරන්නද...මට ඒ අයට කියන්න බැහැ ඔයා නැතිව මට ජීවත් වෙන්න බැහැ කියලා. ඒ අය නාකියි. ඔයාට තේරෙනව ද? මට ඒ අයගේ හිත් නරක් කරන්න බැහැ...

හොඳයි අපි මෙ සම්බන්ධය නතර කරමු -මට වෙන කරන්න දෙයකුත් නැහැ-මට මෙවා දරාගන්නත් බැහැ -මම හීනෙන් වත් හිතන්නේ නැහැ මම ආදරය කරන කෙල්ල වෙන එකෙක් එක්ක නිදා ගන්නවා කියලා- මට මෙක දරන්න බැහැ

මට ඔයා කියන දේ තේරෙනවා- ඒත් මම අවංකවම මෙ දේවල් කීවෙ ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි.

මට බැහැ තවත් මෙ සිද්ධි වල කොටස් කාරයෙක් වෙන්න- මට බැහැ මම ඔයාට ආදරය කරනවා තමයි- මට ඔයා කොහොමත් එකයි- ඒත් තව මිනිහෙක් ඔයා පස්සේ වැටිලා මේ විදියට ජීවිතේ නාස්ති කරගන්න හදනවා නම් මට බැහැ ඒකේ පංගුකාරයෙක් වෙන්න...

හොඳයි... සමහර විට දරුවගේ අම්මා නඩු දාන්න ඉඩක් තියෙනවා ටෝනිට විරුද්ධව එහෙම වුනොත් එයාට මාව බදින්න වෙන්නේ නැහැ.

මම දන්නේ නැහැ- ඔවා කෙරෙන්න තව කාලයක් යනවා- ඒ අතරතුරත් ටෝනි එයාගේ බලය පාවිච්චි කරලා ඔයාව තුරුලට ගන්නවා- ඒක මට දරාගන්න බැහැ.

මම බලන්නම් එයාව නතර කරන්න- ඒත් මට මගේ අම්මා තාත්තා නතර කරගන්න බැහැ -ඒ අය ටෝනිට කියල තියෙන්නේ මාව බලාගන්න කියලා...

දෙයියන්නාන්සෙගෙ නාමෙට මෙ කතාව නතර කරමු දැං- මට මෙ සේරම එපා වෙලා ඉන්නේ!!!

මම ටෝනිට කීවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා -එයා ඒක විශ්වාස කරන්නේ නැහැ!

බම්බු ගහගන්න කියන්න ටෝනි ට!

අනේ මම බොරු කාරියක් වෙනවා -දැං මට ඔයත් මෙහෙම කළොත් ටෝනි ගෙදරට කියාවි මම ඔයාට රැවටුනා කියලා!

මම දන්නේ නැහැ සිල්වියා-මම දන්නේ නැහැ -මම මොනව කරන්න ද කියලා- ඇත්තටම ඔයාට මාව ඔනෙද කියලවත් මට තේරෙන්නේ නැහැ සිල්වියා!!!

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20072009


Thursday, March 5, 2009

දුහුදු වැල් -ඩෝසන් ප‍්‍රීති

දුහුදු වැල්
මුනිදාස පුස්තකාලය වසන වෙලාව ආසන්න බැවින් දෛනික සටහන් පොතේ අවසන් ලේඛන වාර්තා තබමින් සිටියේ රාත‍්‍රී දහයට සිය පුත‍්‍රයා සමග අගනුවර ක්ලිනික් එකට යෑම ගැන කල්පනාවෙනි.


'අමලන්ත!'


'අමලන්ත!!'

'නැගිටින්න

මෙක නිදා ගන්න වෙලාවක් නොවෙයි

නිදා ගන්න තැනක් නොවෙයි

පුතා මෙක ඉස්කෝලේ !

ඔයා ඉක්මනට ගිහින් මූනේ වතුර ටිකක් ගාගෙන එන්න

මෙහෙම පංතියේ ඉන්න බැහැ නේ'

'අනේ මන්දා මෙ ළමයා රැට නිදි මර මර ටී වී බලනවා ඇති ඒකයි මෙ තරම් නිදා ගන්නේ...'


මුනිදාසගේ පුතු අමලන්ත ගේ පාසැල් වැඩ සීඝ‍්‍රයෙන් දුර්වල වීමත් නිතර නිදාගැනීමත් අලසව සිටීමත් හේතුවෙන් පාසැලෙන් නිතර පැමිණිලි ආවෙන් මුනිදාස සිය බිරිඳ සමග අමලන්ත මනෝ වෛද්‍යවරයකු වෙත ගෙන යාමට තීරණය කලේ මීට සති තුනකට පෙරය.

අද නොවැම්බර් දාහතය. ඒ ක්ලිනික් එකෙන් ලද දිනය වෙ. මානසික වෛද්‍යවරු හිග හෙයින් අගනුවර චිරප‍්‍රසිද්ධ වෛද්‍ය රුවන් රයිගම් කෝරලේ අල්ලා ගැනීමට මුනිදාස සිය පුස්තකාලයාධිපතිකම දිනකට වරා කොළඹ දැවැන්ත ක්ලිනික් එකක පෝලිමට වී සිටියේ රයිගම දොස්තර ගෙන් දිනයක් ගැනීමටය.

මුනිදාස වැනි තවත් බොහෝ අය සුවපහසු ආසනවල ඇන තියාගෙන සිටියේ තමන්ගේ අවස්ථාව එනතුරුය. සුපින්වත් පෙනුමැති සුන්දර සිනහවකින් මුව මඩල වසාගත් හෙදියක් දොර රෙද්දෙන් එලියට එබෙන ඒ ගාම්භීර කාමරයේ උළූවස්ස එහලින් රතු බල්බවලින් සැදි අටෙ ඉලක්කමක් ඊළගට එන රෝගියාගේ අංකය පෙන්වන්නේ සියල්ලෝ එදෙස සාවධානයෙන් බලා සිටියහ. මුනිදාස කල්පනා කලේ රටෙ මෙ තරම් මානසික රෝගීන් ඉන්නවාදැයි සිතා ගත නොහැකිවය.

'දවසම යනවා ඉතිං මෙවට ආවම' වයෝවෘධ පෙනුමැති කන්තෝරු මහතෙක් යැයි සිතෙන කෙනා මුනිදාසගේ අසල ආසනයේ තෙරපී වාඩි වූයේ රතු බල්බ අංක තහඩුවට කතා කරමිනි.

'දැන් මෙ මම ආවෙ හාමිනේට දිනයක් අරං යන්න'

මුනිදාස ඔහුට අවධානය යොමන්නට හරිබරි ගැහී වාඩිවී හුන් තැනම පැද්දුනේය. ඔහු ද මෙ රස්තියාදුව අනුමත කරන්නේ නැතිය යන වග මුවින් නොඅගවා නිසොල්මන් විය.

'අපේ හාමිනේ තනියම කියවනවා...විකාර මනස්ගාත... දැන් ටිකක් උග‍්‍රවීගෙන එනවා. '

වයෝවෘධ තැනැත්තා කොඳුරා මුනිදාසට කීවෙය.

'වයස කීයක් ද ?' මුනිදාස නිහඩතාවය බිඳීය.

'දැන් පණස් අටයි. මට දැන් හැට නවයයි. එයා ට කල්පනාව නැති වෙගෙන යනවා. ඒකත් එකට අපි දෙන්නට අපි දෙන්න විතරයි නිසා මටම තමයි මෙ සේරම බලන්න වෙලා තියෙන්නේ.'

'ඇයි අංකල් එහෙම කියන්නේ ලොකු ලමයි ඇතිනේ'

'ඉන්නවා... ඉන්නවා... ඒ අය සේරම පිටරටවල!'

'එහෙනම් මොකෝ රටක එක්කන් යන්න වුනත් බැරිය'

'මොන? උන් එකෙක්වත් පැත්ත බලන්නේ නැහැ. දැං කාලෙ එහෙම නේ. අපි ලමයි හැදුවා. දැං උං උන්ගෙ මතේ.'

'මම මෙ මානසික රෝග ගැන මෙලෝහසරක් දන්නේ නැහැ. අපේ පුතා ටිකක් පෙන්ව ගන්න ආවෙ මොකද එයාගේ ඉස්කෝලෙ වැඩ හොඳ නැහැ කියලා පංතිභාර ටිචර් කීප ගමනක් පැමිණිලි කරලා අපේ හාමිනේට. කියන්නේ මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න කියලා. '

'දැන් කාලේ පුංචි එවුවන්ටත් හැදෙන්නෙ මහ එවුවන්ට හැදෙන අසනීපමයි. අපේ කාලේ වගේයැ වස විස නෙ කන්නේ බොන්නේ බලන්නේ...ඒකනේ ... අපේ සීයගේ තාත්තා දූදූ ඇට තෙල් හිඳවපු වෙදෙක් ඒ කාලේ... ඒත් අපි දැං මෙ මෝස්තර බල බල ලත වෙනවා මුන්ගේ රට ඉස්පිරිතාලවල'

'මොනවද අංකල් දූදූ ඇට තෙල් කීවෙ...'

'ආ ඒක මෙ මොලේට ගුණ ඔෘෂධයක්...ඉපැරණි ආයුර්වෙද තෙලක්, බොහොම වටින...'

'සරණ සීල දල්පතාදු, සරණසීල මහත්තය ඉන්නව ද?'

'ආ ඔවුවොවු... මෙ ඉන්නවා ...මෙ ඉන්නවා...!.... මෙ.... පුතා මම යනවා.... අර නම කතා කරානේ....'

වයෝවෘධ තැනැත්තා දල්පතාදු නමින් ඔබ්බට කිසිවක් දැනගැනීමට ඉඩක් නොතබාම ඔහුගෙන් සමු ගන්නට වන් මුනිදාස කල්පනාවට වැටුනි.

'මුනිදාස මුනිදාස!!'

මුනිදාස ඉදිරියේ සෘජු කාය විලාසෙන් නැගී හුන් කාන්තාව කොහේ හෝ දැක පුරුදු තැනැත්තියකි. ඇය ඉමහත් පුදුමයෙන් සහ සතුටින් ඉපිලෙමින් මුනිදාස දෙස බලා හිඳී. හතර වටින් රෝගීන් සහ ඔවුනගේ භාරකරුවන් ගැහැණුන් පිරිමින් දරුවන් බඩ දරු අම්මලා මැද ඇය කෙලින් හිටවූ මොල් ගහක් මෙන් මුනිදාස හිඳ සිටි අසුන ඉදිරියේ වූවාය.

'කමලිනී නේ?' මුනිදාස හිට වුනේය.

ඇය මුනිදාසගේ දෑතම අල්ලා ගත්තාය. ඔවුනට මුලු ලොවම අමතක වූවා වැනි ආනන්දයක් වීය. මෙ කමලිනී මුනිදාසගේ ප‍්‍රථම පේ‍්‍රමයයි.

'ඇයි කමලිනී මෙහේ?'

'අනේ මම මෙ දුව එක්කන් ආවා, එයාව ඩොක්ටර් ට පෙන්නන්න... අනේ ඒක නොවෙයි, ඔයා ඉස්සර වගේමයි,... ඒ වගේමයි...'

මුනිදාස හිස පීරා ගන්නට මෙන් හිසට අත යැව්වෙ ලැජ්ජාවකින් වෙලෙමිනි.

'දැන් ඔයා කොහෙද වැඩ කරන්නේ ? මම දන්නේ මීට අවුරුදු දහයකට විතර උඩදි නම් ඔයා කෘෂිකර්මෙ ඉන්නවා කියලා... අනෝජා හමුවුන වෙලාවක කීවා ඒත් ඉතින් දැං ගොඩක් කල්...'

'ආ... මම කෘෂිකර්මෙන් මාරු වුනා, දැන් අවුරුදු හතරක් වෙනවා. දැං මම ඉන්නේ හල්දුම්මුල්ලේ'

'හල්දුම්මුල්ලේ ? එහේ මොනවයි කරන්නේ?'

'මම ඉන්නේ හර්බල් ගාඩින් එකේ. දැං එතන පර්යේෂණ අංශයේ ඇසිස්ටන්ට්...'

'අහන්නත් සතුටක්. ඉතින් ඔයානේ මටත් ඒ කාලේ නෝට්ස් දුන්නේ ... අපෝ ඒ කාලේ කොයිතරම් සුන්දර ද කමලිනී'

'අනේ මුනිදාස, අපි ටිකක් එලියට යමු... මට ඔයා... එක්ක ආසයි කතා කරන්න ගොඩාක් කාලෙකින් නේ දැක්කේ'

'එහෙනම් පොඩිත්තක් ඉන්න වෙයි , මෙ තුණ්ඩුව අරගෙනම අපි එලියට යමු. දැං ඔයා ආයෙම හල්දුම්මුල්ලේ යනව ද?'

'නැහැ නැහැ... මම අද යන්නෙ බලංගොඩ පුංචිලයි දිහා, හෙට උදෙන් යනවා හල්දුම්මුල්ලේ, මම ඉන්නේ එහේ ක්වාටස් වල'

* * *

'මගේ පුතාගේ මොලේ ආබාධයක්'

'නැහැ! නැහැ !! එහෙම එකක් නැහැ!!! ඔයා නිකම් හිතන දේවල්... '

'මම හිතන දේවල් නොවෙයි , ඒ දරුවා හැදෙන්නත් ඉස්සර මම දන්නවා උන දේවල්'

'ඒ කියන්නේ ඔගොල්ලෝ ඒ දරුවා...'

'ඔවු , අපි ඉස්සෙල්ලම මෙක දැනගත් වෙලාවෙ දරුවා නැති කරන්න ඔන කියලා තීරණය කලා... ඒ දවස්වල අපි දෙන්නම රැකියා විරහිත උපාධිධාරීන්...පාරවල් ගානේ බෝඩ් ලෑලි උස්සන් ඇවිදලම කාලය ගත වුනා. මට මෙ පුස්තකාලේ රස්සාව ලැබිලා දැන් අවුරුදු හතරක් වෙනවා. ගංගා නම් ගෙදරට වෙලා ඇඳුම් මහනවා. ශිෂ්‍යත්ව පංතිවල ලමයින්ට උගන්නනවා. ජීවිතය පුදුම අමාරුයි කමලි...'

'මට හිතා ගන්න පුළුවන් මුනිදාස, ඒත් මෙ දරුවගේ ප‍්‍රශ්ණය කවදාවත් එහෙම එකක් කියල නම් හිතන්නවත් එපා. ඒක ගැන හිතීමත් පවක්...'

'දැන් කරන්න දෙයක් නැහැ, ඒ කාලේ එහෙම හිතුනා ...ඒක මහ මෝඩකමක් ...ජීවිතයට තිබ්බ බය නිසා වෙච්ච දෙයක්, අපි ඉගෙන ගත්තේ අකුරු ගොඩවල් විතරයි; ජීවිතය නොවෙයි. ඒකයි ඒ දේවල් එහෙම වුනේ, ඒත් මගේ දරුවා දැන් ලොකුයි ...එයාට දැන් වයස දොලහක්.'

'ඉතින් ඩොක්ටර්ස්ලා මොකද කියන්නෙ මුනි...'

'සිංගප්පූරු ගෙනියන්න ඔනලු , ලොකු වියදමක් කරන්න වෙනවලු , රුපියල් මිලියන පහක් ! දෙයියනේ!! එච්චර සල්ලියක් මම කොහෙන්... කවද සොයන්න ද කමලිනී....?'

කමලිනී සිසිල් බීම වීදුරුව වෙත දෑස් දල්වා ගෙන සිටියාය. ඒ කුඩා රෙස්ටොරන්ට් එකේ වීදුරු බිත්ති අතරින් ගිනි ගහන අව්ව හුළගක් මෙන් බටහිර අහසේ නිවෙමින් යන හැටි ඇය බලා සිටියාය. මුනිදාස ඔලුව බරකරගත් වනම මෙසය මත දබරැගිල්ලෙන් ලියන්නට තතනමින් සිටියේය.

'ඉතින් අපි මොකද කරන්නේ මුනි? මට ගංගව දකින්නත් ආසයි... ඒත් තාමත් එයා මා එක්කල අමනාපෙන් ද මුනි?'

'නැහැ නැහැ ...එයා දැන් ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ජීවිතය ගොඩක් දේවල් එයාට උගන්නලා ...'

'ඒ කීවෙ?'

'ගංගා දරුවා ගැනම සිහියෙන් ජීවත් වෙන්නේ. මම දන්නවා දරුවට මොනව හරි උනොත් මෙ ගෑනි වහ බොයි...'

'ඒක එහෙමයි මුනි , මට තේරෙනවා මම වින්ද්‍යාට කොයි තරම් ආදරෙද කියලා... ඒ දරුවා තමයි මගේ ජීවිතයම. මම ජීවත් කරවන්නේ ඒ දරුවා...'

'මම දන්නවා ඔයාගේ ප‍්‍රශ්නෙ , ඒත් දැං ඒවා ගැන හිතන්න දෙයක් ඉතිරි වෙලා නැහැ... දැං මෙ තියෙන දේවල් ටික ඉස්සරහට තල්ලු කරං යනවා ඇරෙන්න... අපි කවුරුත් දැං සමාජය ඉස්සරහ මහා වැඩිහිටියෝ... නේද කමලිනී?'

'ඔවු ... දරුවෝ නිසා අපි ජීවත් වෙනවා. ඒක නොවෙයි මුනි... අපේ මෙ දවස්වල රිසර්ච් එකක් යනවා... ඒක නම් මට හිතෙන්නෙ ඔයාට විසඳුමක් සොයන්න මුලක් වෙන්න පුළුවන් දෙයක් වෙයි. මගේ මෙ කල්පනාවට ආවෙ දැං...'

'රිසර්ච් එකක්? ඒ මොනව ගැන ද ? '

'ඔයා දන්නව ද ඉස්සර ආයුර්වෙද ඔෘෂධයක් තිබිල තියෙනවා මතකය දියුණු කරන...මොළයෙ වර්ධනය වැඩිකරන...'

'අපෝ මම ඔවා කොයිතරම් අහල තියෙද ...දැං කමලිනී කියන්නේ මගේ දරුවගේ මොලේ අසනීපයට ආයුර්වෙද බෙහෙත් කරන්න කියලද? මොලේ ෙසෙල විනාෂ වුනාට පස්සේ සක්කරයටවත් ආයෙම ඒවා රෙපෙයාර් කරන්න බැහැ, ඒවා විශෙෂ ෙසෙල ජාතියක් , මට ඩොක්ටර්මයි කීවෙ...හැබැයි මොලයේ යම් යම් කොටස් උත්තේජනය කරල කිසියම් සමතුලිතතාවයක් ඇති කරලා සමහර මානසික හැකියාවන් දියුණු කරන්න පුළුවන් ක‍්‍රමයක් තියෙනවලු. ඒකට තමයි අර තරම් වියදමක් ...'

'මුනි ඔයා වෙස්ටර්න් මෙඩිසින් තමයි මෙ ලෝකේ තියෙන එකම දෙය කියල හිතන්න එපා ..'

'නැහැ මම කියන්නේ ඒක නොවෙයි... ඒත් දරුවගේ රෝග තත්වය ඒ අය සොයාගෙන් තියෙනව නේ දැං... කරන්න තියෙන්නෙ ඒ ප‍්‍රතිකාර වලට යොමු වෙන එක විතරයි...'

'එහෙම කියන්න එපා, ආයුර්වෙද කියන්නේම ස්වාභාවිකම දේවල් වලින් අපේ රෝගාබාධවලට කරන පිළියම් ක‍්‍රමයක්... ඔයා මට වඩා ඒක ගැන දන්නවනේ මුනි... අපි නිකමට අපේ රිසර්ච් එකේ ප්‍රොෆෙසර් මුණ ගැහෙමු ද එයා ඉන්නේ බලංගොඩමයි. අද ? අපිට යන්න පුළුවන් එයාලයි ගෙදරම කෙලින්ම. දැං මෙහෙන් පිටත් වුනොත් හොඳටම වෙලාව ඇති...'

'කමලිනී ඔයා මෙ වැඩෙ ගැන මෙතරම් උනන්දුවක් දක්වන එක මට දරා ගන්නත් බැරිතරම් ... සල්ලි සොයන්න මම පත්තර කීපයකම උදවු ඉල්ලුවා ... ඒ අය විටින් විට මෙ ගැන පළ කළා...ඒත් තවම එකතු වෙලා තියෙන්නේ රුපියල් තිස්පන්දාහක් විතරයි ... මිනිස්සුන්ට කොහෙන්ද කමලිනී සල්ලි මෙවට දෙන්න?... මගේ අසරණ දරුවා ...'

මුනිදාසගේ දෑස් කඳුලින් පෙගී ගියේය.

'මුනිදාස දැන් ඔයා මා එක්ක බලංගොඩ යන්න එන්න ඔන... මෙ දැං! මට ලොකු විශ්වාසයක් තියෙනවා පො‍්‍රෆෙසර් ගැන. එයාට ආයූර්වෙද පුරාණ වෙද පොත් ගැන පුදුම දැනීමක් තියෙන්නේ. මෙ දවස්වල ඉන්දියාවෙන් මෙහෙ ආව ස්ටුඩන්ට් කෙනෙක් එක්ක දුහුදු පැළෑටි වලින් හිඳින තෙලක් ගැන පර්යේෂණ කරනවා...'

'මොන පැළෑටියක්? දූදූ ??'

'ඔවු දුහුදු කියලා , ඒක ඉස්සර ආයුර්වෙදෙ ඔසු හදන්න භාවිතා කරපු දුර්ලභ පැළෑටියක්. ඒක සංරක්ෂණය කරල තියෙන්නේ දැන් අපේ ගාර්ඩ්න් එකේ. හරිම අමාරුයි ඒ පැළෑටිය නඩත්තු කරන්න...හරිම ඉක්මනට මැරිල යනවා ...අපි පුදුම මහන්සියක් ගන්නවා ඒ පැළ ලොකු කරගන්න, ඒවා වැල් විදියට හැදෙන්නේ මුනි, ඒත් තවම අපි කවුරුවත් හොඳට හැදිච්ච වැලක් දැකල නැහැ, ඒ පැළවල මුල් වලින් තමයි අර මොලයට බලපාන ඔසුව හදාගන්නේ... ඒකටත් ගොඩක් වියදමක් යනවා...ඉස්සර නම් තෙලක් හිඳවලා තමයි මෙක අරන් තියෙන්නේ ඒත් දැං අපි ඒක වෙන් කරගන්න බලනවා වෙනම ඒකේ සංයුතිය සොයාගන්න ...සමහර විට පිලිකා සහ මොලයේ ආබාධවලට විශාල බලපෑමක් වෙන රසායනයක් අපට සොයාගන්න මෙකෙන් ඉඩ ලැබෙවි...'

'මම දන්නේ නැහැ කමලිනී පුතාගේ ඩයග්නෝස් කාර්ඩ් එක බලල පො‍්‍රෆෙසර්ට වැඩක් වෙද ...නැත්නම් පුතා එක්කම අපට යන්න පුළුවන් වෙන දවසක...ඇයි කමලිනී අපි හදිසියෙ යන්න ඔන?'

'හදිසියේ යන්න ඔන වෙන මොකුත් නිසා නොවෙයි , හෙට හවස ප්‍රොෆෙස යනවා ඉන්දියාවට. ඒ ගිහිල්ලා එන්නේ මාසයකින්. ඉතින් මෙ ගැන යන්න ඉස්සර කතා කරගන්න ඔන. මුනි මම කියන දේ කරන්න දැං ප්ලීස්.'

'එහෙනම් යමු, මම ගංගාට කෝල් එකක් දීලා එන්නම්'

* * *

අඳුර හතරවටින් ගලා එද්දී කමලිනී සහ මුනිදාස බලංගොඩ බසයකට නැග ආසන මත වාඩි ගත්හ. ඔවුනොවුන් ගමනාන්තය තෙක් සිය විශ්ව විද්‍යාල ජීවිතයේ මතක සටහන් අනුස්මරණය කරමින් යන්නට වන. වරෙක සොම්නසින් ද වරෙක දොම්නසින් ද සිය කතාවල ඇලී ගැලී ගිය ඔවුන් සිය ජීවිතවල කඩා වැටීම් හට ගත් අයුරු විවිධ කෝණවලින් විග‍්‍රහ කරන්නට ද වන.
ඔවුන් බලංගොඩ බසිද්දී මැදියම ඉක්මවා පැය දෙක තුනක් ගතවී තිබිණ.

'මට කියන්න බැරි වුනා, අද මට වයසක කෙනෙක් මුණ ගැහුනා ඇපලෝ එකේ දි, මට මතකයි එයා කියනවා ඔය දුදු වැල් ගැන, එයාගේ සීයලා ඔයා ඔය කීව දුදු වැල් වලින් තෙල් හිඳපු අයලු....'

'නැහ් ...!! එහෙම කීව ද ? අපි සොයා දැනගත් විදියට ඔය තෙල් හිඳපු පරම්පරා එකකවත් ජීවත් වෙන කිසිම කෙනෙක් අපට සොයාගන්න බැරිවුනා නේ..?'

මුකලං බස්සෙක් ඈතින් හිඳ නගන හඩක් ඉඳහිට මොවුනගෙ දෙබසට බාධා කරයි. ඝණ අඳුරෙම ඔවුහු ගල් පඩි වලින් නැග ගෙන කඳු ගැටයක මුදුනේ වූ මහාචාර්ය සිරිමෙවන් කුලතිලකගේ නිවස බලා ඇදේ.

'හැබෑද එහෙනම් ඒ මනුස්සයා පුදුම වටින මනුස්සයෙක් නේ ...පුදුමය කියන්නේ ඒ මනුස්සයත් අදම මුණගැහුන එකනේ... හරියට ඔයා මුනගැහුනා වගේම... මහ පුදුමයක්. බලන්න; ඔයා මට අන්තිමට මුණගැහුනේ අපේ කොන්වකේෂන් එකේදි , නේද ? එතකොට ඔයා කසාද බැඳලා සමරතුංග එක්කමනේ ආවෙ බීඑමයි සීඑච්.'

'ඔවු මුනි... එදා ඔයාගේ දුක්බර මූණ අද වගේම මතකයි මට. මට සමාවෙන්න මුනි. මම ඔයාට දෙ‍්‍රාහි වුනේ නැහැ. ඔයා දන්නවා ඒ සේරම වුනේ කොහොමද කියලා. ඔයාට ඔයාගේ ජීවිතයම නැති වුනා කියලා එදා මට හිතුනා. ඒත් ඔයා ආයෙම ජීවිතය දිහා සුභවාදීව බලන්න ගත්ත එක මට පුදුම සතුටක් වුනා මුනි. මම කවදත් හිටියේ ඒ ඔක්කොම වුනාට පස්සෙත් ඔයා ගැන සෙවිල්ලෙන්. ගංගා එක්ක පශ්චාත් උපාධියට කැළණි යනවා කියලා ආරංචි වුනාම මට හරිම සතුටක් ඇති වුනා...ඒත් ඔයා කසාද බැන්දට පස්සේ ආගිය තැනක් සොයා දැනගන්න බැරිවෙලා පහුගිය ගතවුන කාලයම මට මහා දුකක්. ඒත් අද මම ඔයා දැකලා මුණගැහිලත් ඒකත් මට දුකක් වෙලා මොකද ඔයාගේ මෙ පුතාගෙ ප‍්‍රශ්ණය නිසා...ජීවිතේ කියන්නේ මහ පටලැවිල්ලක් මුනි...'

'ඔයාට බය නැද්ද කමලිනී මෙ මහ රාත්තිරී මෙ වගේ ගමනක් යන්න? මට හිතා ගන්නත් බැහැ. ඔයා ඒ කාලෙත් එහෙමනේ. සමහර වෙලාවට කරන කියන වැඩ කොල්ලො දහයකටත් එහා නේ. මතකද අර ආයුර්වෙද ප‍්‍රශ්නෙ වෙලාවෙදි අපි වික‍්‍රමාරච්චියෙ ඉදන් ආව පෙලපාලියෙදි ඔයා පොලිස් පොලු පාරකින් බෙරිච්ච බෙරිල්ල? මතකද අපේ උපවාසයට පොලිසියෙන් ගහපු දවසේ අපි දිව්ව දිවිල්ල... ඔයයි මමයි ගහල ගාලක හැංගුනා මතක ද? මට නම් දැං මතක් වෙන කොටත් ඇග හීතල වෙනවා...'
'අපෝ ඒකටත් එකට දැං ඉන්න එවුන් ... උන් හොඳයි වැට ඉනි වලට තියන්න ... ඒ කාලේ කෙල්ලො වෙලත් අපි කොයිතරම් සටන් වලට ගියා ද? අපි මොනතරම් දේවල් දිනා ගත්ත ද? අත්දැකීම් ලැබුවද ??'

'කෝ තව දුර ද කමලිනී? '

ඝණ අන්ධකාරය තුල කමලිනී සහ මුනිදාස ඉදිරියටම යන්නට විය. ඈතින් පෙනුන මද එලියක් නිසාවෙන් කමලිනී මුනිදාසට කීවෙ තමන් මහාචාර්යතුමාගේ නිවසට කිට්ටු කර ඇති වගයි.

'මුනිදාස ඔයා ගංගට ආදරෙ ද?'

මුනිදාස සිනාසුනි.

'ඇයි කමලිනී? ඔයා තාමත් මට ආදරෙ ද?'

'ආදරය කියන්නෙ ශක්තිය වගේ දෙයක් ඒක ඇති වෙන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ ඒක පරිවර්තනය වෙනවා විතරයි...'

'ඒ කියන්නෙ ඔයා මට තිබ්බ ආදරෙ දැං සමරතුංගට තියෙන ආදරය දක්වා පරිවර්තනය වෙලා ... එහෙම ද?'

'සමහර විට එහෙම වෙන්නත් පුළුවන් ... ඒත් මට වෙලා තියෙන්නෙ ඒක නම් නොවෙයි...'

'ඒ කීවෙ?'

'මම තාමත් ඔයාට ආදරෙයි. මම ඔයාගෙන් වෙන් වුනාට මම ඔයාව මගෙ ආදරයෙන් වෙන් කලේ නැහැ..'

'ඒක මට තේරෙන්නෙ නැහැ කමලිනී. ඒක මට එදා තේරුනෙත් නැහැ. ඔයා මට ආදරය කළා නම් ඇයි ඔයා සමරතුංගව කසාද බැන්දේ?'

'මම සමරතුංග කසාද බැන්දේ එයා එක්ක අපේ ගෙදර අයට ගනුදෙනුවක් තිබ්බ නිසා. මට එහෙමයි ඒ සිද්දිය අද පේන්නේ...'

'එතකොට ඔයාලයි ගෙදර එක්ක මට තිබ්බ ගනුදෙනුව මොකද්ද?'

'මුනිදාස ඔයා ඉස්සර වගේමයි... ඔයාට හැම දේකටම හේතු ඔන. ඒත් අහේතුක දේවල් වලිනුයි මිථ්‍යාවෙනුයි ලෝකය පිරිලා. අපිට දැනෙන ලෝකයට වඩා මහා විසාල ලොකයක් අපට දැනෙන්නේ නැතිව පවතිනවා. මම එදත් ඒක ඔයා ට කීවා මම දන්න විදියට. ඒකම අදත් මම කියනවා...'

'කමලිනී... ඔයා වචන අස්සේ දේවල් හංගනවා... ඉස්සරත් එහෙමයි'

'නැහැ මම කිසි දෙයක් හංගලා නැහැ මුනි...'

'කමක් නැහැ... ඒවා දැං ඉවරයි කාලය හැම දෙයක්ම අවසානයට ගෙනැල්ලා..'

'දැං අපි දොරට තට්ටු කරමුද? වෙලාව නම් පාන්දර තුනහමාරයි... කූද්දන්න හොඳ වෙලාවක් නම් නොවෙයි නේද? '

'අපි එහෙනම් මෙහෙම වාඩිවෙලා ඉමු. තව පැයක් දෙකක් ... කොහොමත් දැං එලිවෙලා නේ...'
'හා අපි වාඩිවෙලා ඉමු'

'ඇත්තටම කමලිනී මට මෙ ගමනින් වැඩක් වෙයිද? පුතාගේ අසනීපයට ප්‍රොෆෙසර් ගේ උදවුවක් ලැබෙවිද ??'


* * *

'නම කියන්න'

'ගංගා සූරියආරච්චි'

'රොගියගෙ කවුද? '

'වයිෆ්'

'දැං මෙයා මෙ කියන දරුව ඉන්නේ කොහෙද?'

'මොන දරුවද ඩොක්ටර්?'

'අමලන්ත '

'අමලන්ත?'

'ඔවු අමලන්ත'

'අපට දරුවො නැහැ ඩොක්ටර් ... මෙයා බලංගොඩ ඉන්නවා කියල පොලිස් මැසේජ් එකක් ආවා අද දවල්... ඒකයි මම ආවෙ... දැං ඩොක්ටර් මෙයාට ආයිම කරන්ට් අල්ලනව ද?'


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/03


Wednesday, January 28, 2009

Metamorphosis නොහොත් රූපාන්තරණය

Metamorphosis
නොහොත්
රූපාන්තරණය

මම උදෑසන පිබිදුනේ විද්‍යුත් චුම්බක තරංගයක් ලෙසිනි. මගේ සිරුර හරියටම අංශක අනූවකට ඉගටිය ලගින් දෙකට බෙදී තිබුනා. සිරුරෙ උඩ කොටස අධික වේගයකින් කම්පනය වෙමින් පහල කොටස සමග සාපේක්ෂ මාරාන්තික චලිතයක යෙදී තිබුනා. ඒත් මට හරි සතුටක් දැනුනා. විද්‍යුත් මාධ්‍යය තුලට රිංගා ගත හැකි වෙන කිසිම වැඩ පිලිවෙලක් මට තිබුනේ නැති නිසා මේ දුක කුමන සැපක්දැයි මටම හිතෙන්න පටන් ගත්තා.

අල්ලපු ගෙදරින්ම පටන් ගත යුතු යැයි සිතුනෙන් ඉක්මනට කලිසමක් දාගෙන අතට අහු උන සැඳෑ ගමනකට උචිත මගේ එකම වස්ත‍්‍රය ඇග ලා පාවී ගොස් කොස් ගහ මුදුනේ සුලගට පැද්දෙන කබල් ඇන්ටනාවෙන් ඔවුන්ගේ රූපවාහිනියට රිංගා ගත්තා.

"මෙන්න යකඩො අල්ලපු ගෙදර මනතුංගයා අද ටීවීයෙකේ "
"මොනවා මොනවා මනතුංග! මේ යකා කොහෙන් මේකට රිංග ගත්තද ? හප්පා මුගෙ ආඩම්බර කම උජාරුවට ඉන්න ලක !? කනක්කැහිලා ඉන්න ලැබෙන එකක් නැහැ ඔන්න අර වඩිගපටුනෙන් ! මහ කෝලම වැඬේම මහත්තයගේ පම්පෝරිය දිග ඇර ඇර ඉන්න එක... දැං ඉතින් මාසයක්වත් යනකං වැට අද්දර මල් පැල ටිකට වතුර දමයි උදේ හවස ..."

චැනලය මාරු කලෙන් මට කිසිවක් කර කියා ගත හැකි නොහී ආ පාරෙන්ම උඩුගුවනට සම්ප‍්‍රාප්ත වුනා... සැම්සන්ගේ ගෑනී නම් මහ සක්කරවට්ටමක් යැයි නිතර රංජනී කියන කතාව ඇත්තක් යැයි මට හිතුනා. ගිය අවුරුද්දේ සැම්සන් පවුල පොත් මාසේ බී එම්මයි සීයෙච්චෙකේ කරක් ගහපු තරමටයි පොත් පත් ගැන අපිත් එක්ක කියවන තරමටයි මම හිතාන උන්නේ අඩුගානේ ටීවීයෙකේ යන එකම සාහිත්‍ය වැඩ සටහන ඇස් දෙක ඉස්සරහ පේනකොටවත් බලනවා ඇති කියලයි. බලං ගියාම සැම්සන්ගෙ සාහිත්‍ය ඇල්ම මහ ප්‍රෝඩාවක්. හාමිනේ නිකං සර්පිනාවක්! මගෙ සිරුරෙ කම්පනය දෙගුණ වුනා සේ දැනුනා.

උඩු ගුවනට පේන තරම් විශාල ඇන්ටනාවක් තිබුනෙන් මම වහා පහත් වුනා අකුණක් වගේ එතනට. ඒක පෞද්ගලික නාලිකාවක්. වැඩසටහන් අධ්‍යක්ෂතුමා ඉදිරියේ කේඩෑරි කොලු ගැටයෙකුත් ඔවුන් දෙදෙනාම ඉදිරියෙ පත රූපවාහිනියකුත් තිබුනෙන් මම අත පය දිග හැර එම සිව්කොනසිව්දිග පැතිරුන තිරය මතට පතිත වුනා.
"මොකක්ද මේ?"
"ලෝ බජට් එකක් සර් නිකං දාමු හීතල බෙල්ට් එකක"
"අඃ අපි ඔය වැඩසටහන් කීපයක්ම කරලා ඇන ගෙන ඉන්නේ. සමීක්ෂණ වාර්තාවලටනේ අයිසෙ අපි වැඩසටහන් කරන්නේ...ඩිමාන්ඞ් තියෙන එවට තමා ඇඞ් එන්නේ. අනික සාහිත්‍ය...අනේ මන්දා...මොනවද තමුසේ ජන මාධ්‍ය කෝස් එකේ ඉගනගත්තේ? කරනවනං වැඩසටහනක් කොහොමත් මෙ ෆෝමැට් එකෙන් කරල වැඩකුත් නැහැ. අර බි‍්‍රජට් වගේ කෙල්ලක් දාලා පොඞ්ඩක් හීට් එකක් තියෙන විදියට කරන්න ඕන. "

මට දරන්නත් බැරිතරමට මගේ කම්පනය ඉහල නගින බව දැනුනා. ඔවුන් රූපවාහිනිය කි‍්‍රයා විරහිත කරන්නට මත්තෙන් මම ක්ලාන්තව ගුවන් ගතවුනා. මගෙ ඇග පුරා සියුම් යකඩ කුඩු ඇලෙන්නට ගත්තේ හරියටම ඔය වෙලාවේ. චුම්බක ගතියත් වැඩිවෙලා කම්පනයත් එක්කම. මම හෙමිහිට බර නිසාම පාත් වෙලා දිසාපාමොක් නිවස්නේ යහන් ගබඩා රූපවාහිනී තිරයේ පතිත වුනා.
"ඒයි අන්න බලන්න අර අර..."
"හහා අරූ නේද? "
"ඔව්නේ... දැන් බලන්න මේ යක්කු කව්ද අනේ මේවට වැද්ද ගන්නේ? හරිම බෝරිං"
"වැඩක් නැ කතා කරල අපේ ගවමන්ට් එකක්ම එන්න ඕන... මුං පන්නල දාන්න. ඔය අලූගුත්තේරුවා තමා මගෙ ස්කොල් එකටත් කෙලියේ. මතකද ඕකා නේද අර පත්තරෙ පිටු පුරා තුන් ලෝකෙට වැඩක් නැති අලූත් කතිකාවද මොකක්ද ලියන්න පටන් ගත්තේ ?"
"මලමගුල්තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව ...අපි වගේ නේද?"

තිරයේ රැඳී ඉන්නටත් බැරි තරමට හාත්පස උණුසුම් වූයෙන් යකඩ කුඩු වමනේකරමින් එතනින් මගේ විද්‍යුත් චුම්බක තරංගය බේරා ගෙන ආලෝක වේගයෙන් ගුවනට මුක්ත වුනා.

"මෙන්න මචං අර මැන්ටලේ."
"අම්මට සිරි ඕකා මරු ටෝක් දෙන්නේ පොඞ්ඩක් බලපං"
"මාරු කරපං බාංංංං... බොලාට පිස්සුද ?"
"අර ටෙලිය පටන් ගන්නවා තව විනාඩිපහෙන්"
"...ඇත්තටම යසෝදා වැටෙන්නෙ කාටද අර බයික් කාරයටද නැත්නම් රන්ජන්ටද?"
"සොහාන් බඩුකාරයා බං"
"පලයන් ඩෝ යන්න... උඔ අද බබාට අහුවෙලා පඩ මල් වගයක් දීලා තියෙන්නේ වදින්නෑ බං මේවා "
"මට එක සතියයි මිස් වුනේ"
"ඇපෝරියාවක් මචං"
මගේ සරුවාංගය විද්‍යුත් බලයෙන් දැඩි ලෙස ආරෝපණය වන්නට ගත්තා. ඉන් ගිලිහී ගිය පුංජයක් අකුණක් බවට පත් වූයෙන් රූපවාහිනී යන්ත‍්‍රය අකර්මන්‍යවුනා. බලාපොරොත්තු විරහිත ලෙස සම්ප‍්‍රාප්ත වු වාසිටි නේවාසිකාගාරයෙන් බලාපොරොත්තු විරහිතවම අන්තර්ධාන වන්නටත් සිදු වුනා. එතනට කිට්ටු කොතනකවත් කිසිම ආකාරයක හෝ ලෝහ ඇන්ටනා නොවුයෙන් පයිබ ඔප්ටික් කේබලයකට අමාරුවෙන් රිංගා ගත්තා. ඒක ඇතුලේ වස්තරයක් ඇදන් හිටියේ මම විතරද කොහෙද. මම දැනගත්තා වැටිල තියෙන්නෙ හොඳ පොටකට නොවන වග...අන්තර්ජාලයට...එතන මගේ චුම්බකය තියා ලක්ෂපානෙම චුම්බක ගෙනාවත් සාහිත්‍ය පැත්තටඑකෙකුවත් හරවනු බොරු බව දැනුනෙන් විලියෙන් හිරිකිතව අධෝරක්තකිරණයක් සේ පරකාස තන්තුවෙන් තෝන්තු නොවී එලියට පැන ගත්තා. මම ඒ අසලම වු තවත් රැහැන් පද්ධතියකට ඇදී ගියේ හුස්මක් පිඔ ගන්නටත් මත්තෙන්. ඒ පාර මම දුරකථන රැහැන් පද්ධතියට ඇතුල් වී ඇති වග මට තේරුම් ගියා. ඩොලර් වලින් පටන් අනවශ්‍ය ගැබ් ගැනීම් හරහා බෝම්බ දක්වා වු සාරගර්භසාකච්ඡා වලට අදාල විවිධ තාරතාවලින් වු ශබ්ධ තරංගවල විද්‍යුත් චුම්බක තරංග අතර මම හෙම්බත් වුනා.
"අද නැගලා මස්සිනා මාරුකරනවනං බ්ලැක් මාකට් තව ගානක් වැඩිවෙයි. මොකද කියන්නේ?"
"යුරො අරන් දාමුද?"
"තාම උනේ නෑනෙ අනේ හරිනං පෙරෙදට තිබුනේ මට බයයි අනේ"
"හෙටත් බලමු නැත්තං ආයුර්වේද පොරක් ඉන්නවා රාජගිරියෙ අනිද්ද උදෙන්ම යමු බයික් එකෙන්ම. ගනංගන්ඩ එපා..."
"බ‍්‍රාවො බ‍්‍රාවො රොජර් ටේක් කෙයා"

දුරකථන තරංග එකිනෙක මත අධිස්ථාපනය වීමෙන් මහා කරච්චලයක් නිර්මාණය වූයෙන් නිස්කලංක සුවයක් සොයා මා පාවුනේ නොහිම් වෙහෙසකිනි.
"නාලිනී එන්න මල් පිපීදැයි බලන්න කඳුලක් නැගී නෙතග රිදුනත් ඉතිං එන්න" මට සුනිල් අයියා මුන ගැහුණා එෆ් එම් තරංග මාලාවක් අස්සේ දාඩිය පෙරාගෙන ගීතය එක දිගට ගයා ගන්න බැරුව අසරණ වෙලා.
මොකද අර පොඩිත්තං ඇම්බැට්ටි කෙල්ලෙක් එක දිගටම දුරකතන තරංග අස්සේපොරකන කොලු ගැටයන් එක්ක ගීතයට අදහස් අතෝරක් නැතුව එක්කාසු කරනනිසා.

"ඉතිං අයියෙ දැන් ඔයාගෙ අවස්ථාව"
"නංගි මට කියන්න තියෙන්නෙ මම ඒකෙ ආසම රිදුනත් ඉතිං එන්න... අන්න ඒකටතමයි - මම හැමදාම එයාට කියන්නෙත් ඒකම නිසා- මම කැමතියි මේ ගීතයටඇත්තමයි ඒ නිසා"
"එහෙම ඉතිං රිද්දන්න හොඳ නෑනෙ ඔයා එයාට ආදරෙනං..."
"නැ නැ මම කිව්වෙ ඒක නෙවෙයි..."

සුනිල් මා දිහා බැලුවා. මම මගේ කනගාටුව ප‍්‍රකාෂ කරන්න හැදුව විතරයි මහා ඝෝෂාවක් සමග වෙළඳදැන්වීම් තරංග රොත්තක් ඇවිත් මගේ තරංගයේ හැපීමත් සමගම සුනිලුත් මාත් ආගිය අතක් සොයා ගැනීමට බැරි තරම් ඈතට විසිව ගියා.

මම මගේ විද්‍යුත් චුම්බක තරංගය නැවත එකලස් කරගත්තේ බොහෝ කාලයක් ගත කරල... ඒත් අඩුපාඩු සහිතව. මගේ තරංග ස්වරූපය බොහෝ සේ විපරිතව තිබුනා කම්පන සීඝ‍්‍රතාවය බෙහෙවින් අඩුව තිබුනා...මා නැවත මගෙ නිවසට බොහෝ සෙමින් පාව එද්දී මග දෙපස දිරා ගිය සුදුකොඩිවලින් සැරසී තිබුනා

ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2007