Wednesday, January 28, 2009

Metamorphosis නොහොත් රූපාන්තරණය

Metamorphosis
නොහොත්
රූපාන්තරණය

මම උදෑසන පිබිදුනේ විද්‍යුත් චුම්බක තරංගයක් ලෙසිනි. මගේ සිරුර හරියටම අංශක අනූවකට ඉගටිය ලගින් දෙකට බෙදී තිබුනා. සිරුරෙ උඩ කොටස අධික වේගයකින් කම්පනය වෙමින් පහල කොටස සමග සාපේක්ෂ මාරාන්තික චලිතයක යෙදී තිබුනා. ඒත් මට හරි සතුටක් දැනුනා. විද්‍යුත් මාධ්‍යය තුලට රිංගා ගත හැකි වෙන කිසිම වැඩ පිලිවෙලක් මට තිබුනේ නැති නිසා මේ දුක කුමන සැපක්දැයි මටම හිතෙන්න පටන් ගත්තා.

අල්ලපු ගෙදරින්ම පටන් ගත යුතු යැයි සිතුනෙන් ඉක්මනට කලිසමක් දාගෙන අතට අහු උන සැඳෑ ගමනකට උචිත මගේ එකම වස්ත‍්‍රය ඇග ලා පාවී ගොස් කොස් ගහ මුදුනේ සුලගට පැද්දෙන කබල් ඇන්ටනාවෙන් ඔවුන්ගේ රූපවාහිනියට රිංගා ගත්තා.

"මෙන්න යකඩො අල්ලපු ගෙදර මනතුංගයා අද ටීවීයෙකේ "
"මොනවා මොනවා මනතුංග! මේ යකා කොහෙන් මේකට රිංග ගත්තද ? හප්පා මුගෙ ආඩම්බර කම උජාරුවට ඉන්න ලක !? කනක්කැහිලා ඉන්න ලැබෙන එකක් නැහැ ඔන්න අර වඩිගපටුනෙන් ! මහ කෝලම වැඬේම මහත්තයගේ පම්පෝරිය දිග ඇර ඇර ඉන්න එක... දැං ඉතින් මාසයක්වත් යනකං වැට අද්දර මල් පැල ටිකට වතුර දමයි උදේ හවස ..."

චැනලය මාරු කලෙන් මට කිසිවක් කර කියා ගත හැකි නොහී ආ පාරෙන්ම උඩුගුවනට සම්ප‍්‍රාප්ත වුනා... සැම්සන්ගේ ගෑනී නම් මහ සක්කරවට්ටමක් යැයි නිතර රංජනී කියන කතාව ඇත්තක් යැයි මට හිතුනා. ගිය අවුරුද්දේ සැම්සන් පවුල පොත් මාසේ බී එම්මයි සීයෙච්චෙකේ කරක් ගහපු තරමටයි පොත් පත් ගැන අපිත් එක්ක කියවන තරමටයි මම හිතාන උන්නේ අඩුගානේ ටීවීයෙකේ යන එකම සාහිත්‍ය වැඩ සටහන ඇස් දෙක ඉස්සරහ පේනකොටවත් බලනවා ඇති කියලයි. බලං ගියාම සැම්සන්ගෙ සාහිත්‍ය ඇල්ම මහ ප්‍රෝඩාවක්. හාමිනේ නිකං සර්පිනාවක්! මගෙ සිරුරෙ කම්පනය දෙගුණ වුනා සේ දැනුනා.

උඩු ගුවනට පේන තරම් විශාල ඇන්ටනාවක් තිබුනෙන් මම වහා පහත් වුනා අකුණක් වගේ එතනට. ඒක පෞද්ගලික නාලිකාවක්. වැඩසටහන් අධ්‍යක්ෂතුමා ඉදිරියේ කේඩෑරි කොලු ගැටයෙකුත් ඔවුන් දෙදෙනාම ඉදිරියෙ පත රූපවාහිනියකුත් තිබුනෙන් මම අත පය දිග හැර එම සිව්කොනසිව්දිග පැතිරුන තිරය මතට පතිත වුනා.
"මොකක්ද මේ?"
"ලෝ බජට් එකක් සර් නිකං දාමු හීතල බෙල්ට් එකක"
"අඃ අපි ඔය වැඩසටහන් කීපයක්ම කරලා ඇන ගෙන ඉන්නේ. සමීක්ෂණ වාර්තාවලටනේ අයිසෙ අපි වැඩසටහන් කරන්නේ...ඩිමාන්ඞ් තියෙන එවට තමා ඇඞ් එන්නේ. අනික සාහිත්‍ය...අනේ මන්දා...මොනවද තමුසේ ජන මාධ්‍ය කෝස් එකේ ඉගනගත්තේ? කරනවනං වැඩසටහනක් කොහොමත් මෙ ෆෝමැට් එකෙන් කරල වැඩකුත් නැහැ. අර බි‍්‍රජට් වගේ කෙල්ලක් දාලා පොඞ්ඩක් හීට් එකක් තියෙන විදියට කරන්න ඕන. "

මට දරන්නත් බැරිතරමට මගේ කම්පනය ඉහල නගින බව දැනුනා. ඔවුන් රූපවාහිනිය කි‍්‍රයා විරහිත කරන්නට මත්තෙන් මම ක්ලාන්තව ගුවන් ගතවුනා. මගෙ ඇග පුරා සියුම් යකඩ කුඩු ඇලෙන්නට ගත්තේ හරියටම ඔය වෙලාවේ. චුම්බක ගතියත් වැඩිවෙලා කම්පනයත් එක්කම. මම හෙමිහිට බර නිසාම පාත් වෙලා දිසාපාමොක් නිවස්නේ යහන් ගබඩා රූපවාහිනී තිරයේ පතිත වුනා.
"ඒයි අන්න බලන්න අර අර..."
"හහා අරූ නේද? "
"ඔව්නේ... දැන් බලන්න මේ යක්කු කව්ද අනේ මේවට වැද්ද ගන්නේ? හරිම බෝරිං"
"වැඩක් නැ කතා කරල අපේ ගවමන්ට් එකක්ම එන්න ඕන... මුං පන්නල දාන්න. ඔය අලූගුත්තේරුවා තමා මගෙ ස්කොල් එකටත් කෙලියේ. මතකද ඕකා නේද අර පත්තරෙ පිටු පුරා තුන් ලෝකෙට වැඩක් නැති අලූත් කතිකාවද මොකක්ද ලියන්න පටන් ගත්තේ ?"
"මලමගුල්තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව ...අපි වගේ නේද?"

තිරයේ රැඳී ඉන්නටත් බැරි තරමට හාත්පස උණුසුම් වූයෙන් යකඩ කුඩු වමනේකරමින් එතනින් මගේ විද්‍යුත් චුම්බක තරංගය බේරා ගෙන ආලෝක වේගයෙන් ගුවනට මුක්ත වුනා.

"මෙන්න මචං අර මැන්ටලේ."
"අම්මට සිරි ඕකා මරු ටෝක් දෙන්නේ පොඞ්ඩක් බලපං"
"මාරු කරපං බාංංංං... බොලාට පිස්සුද ?"
"අර ටෙලිය පටන් ගන්නවා තව විනාඩිපහෙන්"
"...ඇත්තටම යසෝදා වැටෙන්නෙ කාටද අර බයික් කාරයටද නැත්නම් රන්ජන්ටද?"
"සොහාන් බඩුකාරයා බං"
"පලයන් ඩෝ යන්න... උඔ අද බබාට අහුවෙලා පඩ මල් වගයක් දීලා තියෙන්නේ වදින්නෑ බං මේවා "
"මට එක සතියයි මිස් වුනේ"
"ඇපෝරියාවක් මචං"
මගේ සරුවාංගය විද්‍යුත් බලයෙන් දැඩි ලෙස ආරෝපණය වන්නට ගත්තා. ඉන් ගිලිහී ගිය පුංජයක් අකුණක් බවට පත් වූයෙන් රූපවාහිනී යන්ත‍්‍රය අකර්මන්‍යවුනා. බලාපොරොත්තු විරහිත ලෙස සම්ප‍්‍රාප්ත වු වාසිටි නේවාසිකාගාරයෙන් බලාපොරොත්තු විරහිතවම අන්තර්ධාන වන්නටත් සිදු වුනා. එතනට කිට්ටු කොතනකවත් කිසිම ආකාරයක හෝ ලෝහ ඇන්ටනා නොවුයෙන් පයිබ ඔප්ටික් කේබලයකට අමාරුවෙන් රිංගා ගත්තා. ඒක ඇතුලේ වස්තරයක් ඇදන් හිටියේ මම විතරද කොහෙද. මම දැනගත්තා වැටිල තියෙන්නෙ හොඳ පොටකට නොවන වග...අන්තර්ජාලයට...එතන මගේ චුම්බකය තියා ලක්ෂපානෙම චුම්බක ගෙනාවත් සාහිත්‍ය පැත්තටඑකෙකුවත් හරවනු බොරු බව දැනුනෙන් විලියෙන් හිරිකිතව අධෝරක්තකිරණයක් සේ පරකාස තන්තුවෙන් තෝන්තු නොවී එලියට පැන ගත්තා. මම ඒ අසලම වු තවත් රැහැන් පද්ධතියකට ඇදී ගියේ හුස්මක් පිඔ ගන්නටත් මත්තෙන්. ඒ පාර මම දුරකථන රැහැන් පද්ධතියට ඇතුල් වී ඇති වග මට තේරුම් ගියා. ඩොලර් වලින් පටන් අනවශ්‍ය ගැබ් ගැනීම් හරහා බෝම්බ දක්වා වු සාරගර්භසාකච්ඡා වලට අදාල විවිධ තාරතාවලින් වු ශබ්ධ තරංගවල විද්‍යුත් චුම්බක තරංග අතර මම හෙම්බත් වුනා.
"අද නැගලා මස්සිනා මාරුකරනවනං බ්ලැක් මාකට් තව ගානක් වැඩිවෙයි. මොකද කියන්නේ?"
"යුරො අරන් දාමුද?"
"තාම උනේ නෑනෙ අනේ හරිනං පෙරෙදට තිබුනේ මට බයයි අනේ"
"හෙටත් බලමු නැත්තං ආයුර්වේද පොරක් ඉන්නවා රාජගිරියෙ අනිද්ද උදෙන්ම යමු බයික් එකෙන්ම. ගනංගන්ඩ එපා..."
"බ‍්‍රාවො බ‍්‍රාවො රොජර් ටේක් කෙයා"

දුරකථන තරංග එකිනෙක මත අධිස්ථාපනය වීමෙන් මහා කරච්චලයක් නිර්මාණය වූයෙන් නිස්කලංක සුවයක් සොයා මා පාවුනේ නොහිම් වෙහෙසකිනි.
"නාලිනී එන්න මල් පිපීදැයි බලන්න කඳුලක් නැගී නෙතග රිදුනත් ඉතිං එන්න" මට සුනිල් අයියා මුන ගැහුණා එෆ් එම් තරංග මාලාවක් අස්සේ දාඩිය පෙරාගෙන ගීතය එක දිගට ගයා ගන්න බැරුව අසරණ වෙලා.
මොකද අර පොඩිත්තං ඇම්බැට්ටි කෙල්ලෙක් එක දිගටම දුරකතන තරංග අස්සේපොරකන කොලු ගැටයන් එක්ක ගීතයට අදහස් අතෝරක් නැතුව එක්කාසු කරනනිසා.

"ඉතිං අයියෙ දැන් ඔයාගෙ අවස්ථාව"
"නංගි මට කියන්න තියෙන්නෙ මම ඒකෙ ආසම රිදුනත් ඉතිං එන්න... අන්න ඒකටතමයි - මම හැමදාම එයාට කියන්නෙත් ඒකම නිසා- මම කැමතියි මේ ගීතයටඇත්තමයි ඒ නිසා"
"එහෙම ඉතිං රිද්දන්න හොඳ නෑනෙ ඔයා එයාට ආදරෙනං..."
"නැ නැ මම කිව්වෙ ඒක නෙවෙයි..."

සුනිල් මා දිහා බැලුවා. මම මගේ කනගාටුව ප‍්‍රකාෂ කරන්න හැදුව විතරයි මහා ඝෝෂාවක් සමග වෙළඳදැන්වීම් තරංග රොත්තක් ඇවිත් මගේ තරංගයේ හැපීමත් සමගම සුනිලුත් මාත් ආගිය අතක් සොයා ගැනීමට බැරි තරම් ඈතට විසිව ගියා.

මම මගේ විද්‍යුත් චුම්බක තරංගය නැවත එකලස් කරගත්තේ බොහෝ කාලයක් ගත කරල... ඒත් අඩුපාඩු සහිතව. මගේ තරංග ස්වරූපය බොහෝ සේ විපරිතව තිබුනා කම්පන සීඝ‍්‍රතාවය බෙහෙවින් අඩුව තිබුනා...මා නැවත මගෙ නිවසට බොහෝ සෙමින් පාව එද්දී මග දෙපස දිරා ගිය සුදුකොඩිවලින් සැරසී තිබුනා

ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2007

0 කුළිය: