කඩු පත් බඳු අත්-නන්දන වීරසිංහ

කඩු පත් බඳු අත්

සෝදා පාළු බිම පෙත
පුරවා ලොකු මහත් කළ
ගල් ඇඳි නෙරා ආ බෑවුම්
වෙර වඩා දමනය කළ
පියවරුන් ගේ උද්දාම සිනාහඩ අරගෙන
පහන් දොරින් එන සුළග
අලුත් හුස්මෙන් පුරාලයි ඇගපත

පණු කැලක් සේ ඉල්පුණු
පෑදුනු නහර ගැවසුණු
කොළපු බඳු අත පයෙන්
බෑවුම් හීලෑ කරන
වෙදනා මුහුණ සගවා
සැහැල්ලු ව හිනැහෙන
නෑ සියන් ගේ පැතුම් සහගත කටහඩ
පිරී ගනවෙයි
හේන් යායේ උදැහැන

හෙට දොරට වඩම්මන
බිලිඳු පා පොඩිවලට
ගල් කුළු වැඩෙන මුඩු බිම
මෙළෙක් යහනක් කරමින

දරු මුණුබුරන් වාගේ
දුක් කරදර වඩා ගෙන නළවන
නැති බැරි කම් ඇකයේ ඔබාගෙන
ඇති දැඩි කරන අත් ම ය බලගතු

දුක් මිදුණු මෙ දෙගංබඩ
මල බැඳුණු අවි විලස මොට වුණු
සියල් සිත් ඇතුළත පැහැසර ය
කැටපත් විලස ඔප වැටී
දිලිහෙන දවස නුදුරුය

කපා පෙරළා සරු කරන
පොළෝ පස් මත පඳුරු ලා වැඩී
ඔජස උරා බොන පිළිල
උදුර උදුරා ගිනිලන්ට
ඔප වැටුණු හිත් වලින්
යුගත් කඩු පත්වලට පණ පෙවෙන

නව දිවියක බිජුවට
ඒ අත්වලින් වැපිරෙන
හෙට උදෑසන සිහි කර
සතුටු කඳුළක් පුදන්නෙමි
මෙ හේන් බිම මතුපිට

නන්දන වීරසිංහ
කිරි සුවඳැති රාත‍්‍රිය 1990 උපුටා ගන්නා ලදී.මෙම පද්‍ය සංග‍්‍රහය 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේය.

இ ஏ டொசன் ப்ரேதி

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්