Thursday, December 9, 2010

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම


සිංහල නවකතාව හුදු මධ්‍යම පාන්තික ස්ත්‍රී මනෝ ලිංගික අඳෝනාවල් සාහිත්‍ය බවට පරිවර්තනය කරන්නට දරන උත්සහයෙන් අවර්ණ වී ඇති යුගයකි මේ. අනෙක් අතට නව කතාවක් නැති නවකතා කළු අදහස් (සල්ලි) සුදු අදහස් (සල්ලි) කරන සූදු බිමක ආකාරයක් ගෙන ඇත. එවැනි සන්දර්භීය ලෙස වෙනස් ව්‍යාපාරික වස්තුමය දෙයක් බවට නවකතාව පත්වෙමින් පවතින මේ යුගයේ ඊට ප්‍රතිපක්ෂව හෝ පටිසෝතගාමී වෘතයෙන් නවකතා රචනයේ යෙදෙන්නන් ද ඉඳහිට හමුවේ. ඒ අතිශය අල්ප වශයෙනි. අලුත් ශෛලීන් සහ පුපුරුවා හැරීම් කරමින් නිර්මාණකරනයේ නැවුම් ආශ්වාදයෙන් ඔව්හු ඔත්පල වී ඇත. මංජුල වෙඩිවර්ධන "බත්තලංගුණ්ඩුව" හරහා ද ලියනගේ අමරකීර්ති "අටවක පුත්තු" හරහා ද කීර්ති වැලිසරගේ "මායා තීර්ථ" (මේ ගැන එතරම් කතා බහක් ඇති වී ඇත්දැයි මම නොදනිමි) හරහා ද ඒ කියූ පටිසෝතගාමී නිර්මාණාත්මක කැරලි ගැසීම් සිදු වී ඇත. මේ පුරුෂ නවකතාකරුවන් දෙතුන්‍ දෙනාගේ පහසින් සිංහල නවකතාව කිසියම් වර්ණයක් ලබමින් සිටිද්දී ය ජයතිලක කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" අප වෙත එන්නේ.

පසුගිය කාලවකවානුව පිරික්සා බලද්දී සිංහල නවකතාවට වැඩිම දායකත්වයක් දී ඇත්තේ ස්ත්‍රී පාර්ශවය යැයි කීමෙ පුනරුත් දෝශයක් නැත. නොඑසේ නම් වැඩිම සම්මානිත හෝ ජනප්‍රිය හෝ වැඩියෙන් විකිණෙන නවකතා හෝ කෙටිකතා සංග්‍රහ ලියා ඇත්තේ ස්ත්‍රීන් යැයි කීමේ වරදක් ද නැත. සුමිත්‍රා රාහුබද්ධ-සුනේත්‍රා රාජකරුණානායක-කැත්ලින් ජයවර්ධන-ශාන්ති දිසානායක මේ සමහර අය වෙති. ලිංග භේදයකින් තොරව වුවද සිංහල සාහිත්‍ය දෙස නෙත් යොමන්නෙකුට මධ්‍යම පාංතික කුටුම්භ දිවියේ පුරුෂ අතරමැදි වීම දෙස ඊඩිපල බැඳුම් හරහා කරන ලද ගවේෂණ විසින් කුළු ගැන්වූ විපරිත සාහිත්‍යය යැයි සැලකිය හැකි ලියවිලි රාශියක් මේ අය අතින් බිහි වී ඇත. මේවායේ සැලකිය යුතු සාහිත්‍ය රසයක් නොවූවද ඔවුහු මනෝ ලිංගික කේන්ද්‍රයන් නවකතා වස්තුවිෂය ලෙස ගැනීමට නොපැකිලව ඉදිරිපත් වීම එක්තරා ආකාරයක සමස්ත ලාංකීය සමාජය අද පත්ව ඇති න්‍යෂ්ටික පවුල නම් වූ ඒකකයේ දෙදරා- පුපුරා යාම පෙන්වා දෙන කැඩපතක් ලෙසද දැක්විය හැකිය. මේ මනෝ ලිංග කේන්ද්‍රීය විපරිත කතා උත්කර්ෂයෙන් කියවන ප්‍රජාව කුමක්දැයි නිවැරදිව සොයා ගත හොත් ඉල්ලුමට හරියන විපරිත සාහිත්‍ය සැපයුමේ රහස් අනාවරණය කර ගත හැකි වනු ඇත. මෑතක උපුල් ශාන්ත සන්නස්ගල ලියූ "ආදරේ තරම් ම යසෝදරා" ද මේ මනෝ ලිංගික විපරිත කතා කුලකයට වැටේ. එය එක්තරා අන්දමකින් කැත්ලින් ජයවර්ධනගේ "තඹර විල" සහ "අග්නි චක්‍ර" ආකාර වූ යිං යෑං විපරිත ලෝකය උඩුයටිකුරු කර දමන්නට සන්නස්ගල විසින් සිතාමතා කරන ලද ප්‍රතිනවකතාවක් යැයි ද කියා කිසිවෙකුට සිතෙන්නටත් පුළුවන. ඒවා කාලානුවර්තව මුද්‍රණද්වාරයෙන් ඒමට පෙර සිටම කතිකාවන් ලෙස එකට ගැට ගැසී ඇත්තේදැයි සිතීම හිතළුවකි. හිතළුවක් වුවද ඒවා අතර සම්බන්ධයක් ඇතැයි මට නම් සිතේ. සන්නස්ගලට අනුව කැත්ලින්ගේ හිස්ටෙරික මනස් දුව ඩිමෙන්ෂියා (මනෝභංග) රෝගිනියක වී පොදු පුරුෂයාගේ අවජාතක දරුවා නොස්ටැල්ජික දාරක ප්‍රේමයේ අවතාරමය වස්තුව ලෙස භාර ගනී.

නවකතාව හෝ අනෙකුත් සාහිත්‍ය කලාවන් නිර්මාණකරුවන්ගේ චිත්තාභ්‍යන්තරයන් සකම්පනය කරවන යුගයේ සැබෑ තතු මතුපිටින් ලුහුටා එන උපවිඥානමය ගොඩනැංවීම් බැව් අත්නොහළ හැකි සාපේක්ෂ සත්‍යයකි. ලේඛකයාගේ අවිඥානය හෝ විඥානය යනු ම එම නිර්මාණය යි. ඔහු අකුරු- වචන- වාක්‍ය බවට පෙරලා ඇත්තේ ඔහුගේම හෝ ඇයගේම විඥානය බැවින් මේ බොහෝ ලියැවිලි වලින් ගත හැකි නිගමනය අතිශය කම්පනය දනවන සුළුය. පරිකල්පනය යනු ද විඥානයේම අත්තකි. සිහින ගොඩනැගෙන්නේ යම් අනුභූතික මනස් වස්තු විසින්ද ඒ හා සේම පරිකල්පිත සියල්ලද විඥානය තුළින්ම අමුද්‍රව්‍ය වෙති.

අයින් රෑන්ඩ් [Ayn Rand] නම් වූ සුප්‍රසිද්ධ ලේඛිකාව- දාර්ශනිකාව (දාර්ශනික ස්ත්‍රිය) පැවසූ ආකාරයටම නිර්මාණය යනු හුදෙක් තම උපවිඥානයේ රිදවුම්- පිපිරීම් තුළින් සන්තතිකව ගලා එන්නා වූ භාෂාත්මක හැඟවුම් පිළිවෙලට ලියා භාෂා ආර්ථික සඵලතාවයකින් ඒවා නැවතත් පිළිසකර කර පාඨකයා වෙත පිළි ගැන්වීමකි.මෙය නවකතාව අරභයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ ආකාරය ඇය සිය ඇන්තම් [Anthem]නම් වූ නවකතාවේ පෙරවදන තුළ කීප විටක් වුවමනාවෙන්ම සටහන් කර තබන්නීය. ඇන්තම් නවකතාවේ 1995 මුද්‍රණයට හඳුන්වා දීමේ සටහනක් ලියන ඇයගේ සමීපතම ලේඛක සහකරුවකු වන ලෙනාඩ් පීකොෆ් [Leonard Peikoff]එම මුද්‍රණයට අයින් රෑන්ඩ් විසින් ෆැක්ස් මගින් ඔහුට එවා තිබූ මුළු නවකතාවේම ඇගේම අත් අකුරින් සටහන් කළ වෙනස්කම් ද සම්පූර්ණයෙන්ම අමුණා ඇත. එමගින් ලෙනාඩ් මතු කර දක්වන්නේ නවකතාවක වදන් ආර්ථික විද්‍යාව කුමක් ද යන්න ආධුනිකයන් ට මෙන්ම ප්‍රවීණයන් ට ද වටහා ගැනුමට සහ අධ්‍යයනය කිරීමට කරන සිහි කැඳවුමක් ලෙසය. අනිත් අතට අයින් රෑන්ඩ් ලේඛන කලාව පිළිබඳ සිය දෙසුම් තුළින් පවා එළිදරවු කරන්නට වන්නේ මේ සංවිධිත බව ගොඩනගා ගැනුමේ මානසික ව්‍යායාමය පිළිබඳවයි.

ජයතිලක කම්මැල්ලවීර සිය වදන් ආර්ථික විද්‍යාව මනා ලෙස පරිහරණය කරමින් කෙටිකතාකරණය තුළින් විශාල සාහිත්‍යමය වැඩ කොටසක් කළ ලේඛකයෙකි. ඔහුගේ කෙටි කතා ශෛලීන් තුළ විමර්ෂණය කෙරෙන රසාලිප්ත සිදුවීම් ගොඩනැංවීම් හෝ භාෂාත්මක ආකෘති පෙළහර පෑමක් චුම්බන කන්දේ දකින්නට ඇත්තේ මඳ වශයෙන් බව මගේ වැටහීමයි. එය කෙටිකතා  සහ නවකතා අතර නිර්මාණකරුවකු අත පත් වන අභියෝගය ද විය හැකිය.

චුම්බන කන්ද එක්දාස් නවසිය හැත්තෑ එකේ කැරැල‍්ලේ සිට වර්තමානය දක්වා දිවෙන රේඛීය කතාවකි. එහි තරුණ කැරැල්ලට ගොස් එහි එක්තරා ලක්ෂ්‍යීය අවස්ථාවක දී එකිනෙකාගෙන් වෙන්ව යන තිදෙනෙකු ගේ රේඛීය කාල අවකාශය විදහා දැක්වීමකට එහා දෙයක් අන්තර්ගත නොවේ. නමුත් මෙම ‍පුද්ගල ත්‍රිත්වය සංකේතීය ලෙස විදහා දක්වන්නේ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයට අනුව මිනිස් සිතෙහි අධිකාරිත්වය දරන්නාවූ ආකෘතිමය සාධක ත්‍රිත්වය බැව් සියුම් ලෙස බැලූ විට පෙනී යයි. මනසේ ප්‍රධාන කොටස් තුන ලෙස සැලකෙන සුපිරි අහම (සුපර් ඊගෝ Super Ego) - අහම (ඊගෝ Ego) සහ ඉඩ්/ඒක (ඉඩ් Id) යන කොටස් තුනට මෙහි ප්‍රධාන චරිත තුන බෙදී යන බව පෙනී යයි. සමස්ත නවකතාව කතුවරයාගේ සමස්ත විඥානය නොහොත් දැනුමේ අවිඥානිකයෙන් හකුලුවා ගත් කාලාවකාශීය කැබැලිති එකතුවක් භාෂාත්මකව ප්‍රක්ෂේපිත ප්‍රකාෂණය ලෙස ගත් විට එහි සුපර් ඊගෝව -ඊගෝව සහ ඉඩ් ක්‍රියාත්මක වන අයුරු එහි චරිතවල හැසිරීම් ඔස්සේ මනා ලෙස වටහා ගන්නට ද හැකිය. මෙය නවකතාවක ආකෘතිමය වශයෙන් අසම්ප්‍රදායික කියැවීමක් වුවද මෙම න්‍යාගත කිරීම හරහා කියවන්නාට මනෝවිශ්ලේෂණ සිද්ධාන්තවල කිසියම් ප්‍රායෝගික අභ්‍යාසයක යෙදීමට අවකාශයක් උදා වන්නේ යැයි මට සිතේ.

සුප්‍රකට මනෝ විශ්ලේෂක/සංස්කෘතික විචාරක ස්ලාවෝ ජිජැක්, සයිකෝ [Psycho] නම් වූ ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ සිනමා කෘතිය විග්‍රහ කරන්නේ එහි ප්‍රධාන චරිතයේ මවගේ වාසස්ථානය වූ තෙමහල් මන්දිරය යනුම මිනිස් මනසේ ත්‍රිත්වාකාර වූ ෆ්‍රොයිඩියානු සැකසුමේ රූපකාර්ථවත් සංඥාව බවයි. මෙම අදහස ජිජැක් ගේ පර්වර්ට්ස් ගයිඩ් ටු සිනමා [Pervert's Guide to Cinema] නම් වූ සිනමා පටයේ දැක්වේ. සයිකෝ සිනමා පටයේ දැක්වෙන එම සංකේතීය නිවස මහල් තුනකින් සමන්විතය. බිම් මහලට උඩින් වූ ඉහල මහලක් ද බිම් මහලට යටින් යටි බිම් මහලක් ද වේ. එයට බේස්මන්ට් යනුවෙන් ඉංගිරිසියෙන් කියන්නේ එය පිහිටා ඇත්තේ බිම් මහලට යටින් එහි පාදමට වන සේ බැවිනි. මෙනයින් සිතෙහි ගැඹුරු පෙදෙස වන ඉඩ් යනු මෙම යටි මහල බවත් එදිනෙදා ජීවන දත්ත හසුරුවන තැන බිම් මහල හෙවත් අහම බවත් මනසේ ඉහළම ස්ථරය හෙවත් අහංකාර අධිකාරිත්වය හෙවත් අණ දෙන්නා ලෙස පවතින සුපිරි අහම මතු මහල බවත් සංකේතීය තල වෙන් කොට ජිජැක් පෙන්වා දෙයි. සිනමා පටයේ අපූර්වත්වය නම් නෝමන් බේට් (ප්‍රධාන චරිතය) ගේ මිය ගිය මව ජීවත් වන්නේ යටි බිම් මහලේය. ඇත්ත වශයෙන්ම ඇය මිය ගොස් වසර දහයක් වුවද නෝමන් විසින් ඇගේ මළ සිරුර සංරක්ෂණය කර යටිබිම් මහලේ රහසිගතව මමියක් අකාරයට ජීවත් කරවයි. ඔහු රාත්‍රියේ දී තවත් ගැහැණියක් තම මොටලයට කාමරයක් ගෙන පැමිණි විට මවගේ සිරුර මතු මහලට රැගෙන ගොස් ඇය හා රණ්ඩු වන ආකාරයක් මවා පාමින් තම මව තමන්ට දක්වන අවධානය සහ ඇගේ අණට නතු වී ජීවත් වීම සංදර්ශනය කරන්නේ මවගේ හඩින් කතා කරමිනි. ඔහු සැබැවින්ම කතා කරන්නේ තමන්ටමය. එනමුත් කාමර කුලියට ගෙන එන තරුණියක් සිතන්නේ නෝමන් බේට් සිය මුරණ්ඩු මව සමග ඒ තෙමහල් ගොඩනැගිල්ලේ ජීවත් වන බවයි. සැබැවින්ම ජිජැක්ට අනුව අපගේ මිය ගිය මතක සහ හොල්මන් භූතයන් වාසය කරන්නේ සිතෙහි පතුලෙහි වූ මෙම ඉඩ් නම් වූ යටි බිම් මහලේය. මිය ගිය මව ජීවත් වන්නේ ද එතැනයි.

චුම්බන කන්දේ ප්‍රධාන චරිතය වන්නේ සිංහයා ය. ඔහු සැන්ඩ්විච් කර තවත් චරිත දෙකක් ඇත. පහලින් පියල් ද ඉහළින් පොඩි විජේද යනාකාරයෙනි.

දැන් අපට චුම්බන කන්දේ එන මනස් පුත්‍රයන් කිසියම් ආකාරයක චරිත සැසඳීමක් හෝ සංකේතීය කොටු කිරීමකට ලක් කළ හැකිය. චුම්බන කන්දේ ප්‍රධාන චරිත ත්‍රිත්වය දෙසට අවධානය යොමු කළ විට හමු වන්නේ එහි ප්‍රධාන චරිතය වන අහම හෙවත් ඊගෝව හෙවත් සිංහයා මැදි කොට පහලින් ඉ‍ඩ් හෙවත් යටිබිම් මහල හෙවත් පියල් ගේ චරිතයත් සිංහයාට ඉහලින් සුපිරි අහම හෙවත් සුපර් ඊගෝව හෙවත් අණ දෙන්නා හෙවත් පොඩි විජේ වාසය කරන බවත්ය.

මෙම තිදෙනාගේ ක්‍රියාකාරකම් කම්මැල්ලවීර ඉදිරිපත් කරන්නේ කොතරම් සූක්ෂමභාවයකින් ද යත් එය ෆ්‍රොයිඩියානු ප්‍රොටෝටයිපයක් ලෙස මැනවින් සමපාත කරන්නට හා එහි ගතිගුණ හදාරන්නට පසුතලයක් සපයයි.

චුම්බන කන්දේ 19 වන පිටුවට අපි මෙතැනින් රිංගා යමු.

උපුටනය ඇරඹුම.

සගයන් පිළිබඳ ඔහුගේ විශ්වාසය තහවුරු කරමින් හිරු රැස්වලට උණුසුම එක්වන්නට පෙර ඔවුන් එන බව ඇසිණ.

"අර ඉන්නේ" ඒ පියල්ගේ කටහඩයි.

"හරි තුවාල වෙලා තමයි" ලොකු විජේ කියයි.‍

"කොහෙද හිටියේ" ඒ වන විට උඩු කය ඔසවා වාඩිවීගෙන සිටි පොඩි සිංහයා ඇසුවේය.

"මේ ළඟම තමයි අපිත් ඉඳල තියෙන්නේ. සහෝදරයට නැගිටින්ඩ බැරිද?" ලොකු විජේ තුවක්කුව ගල්තලාව මත අතහැර පොඩි සිංහයා ළඟ දණ ගැසුවේ ය.

"උස්සගෙන ටිකක් එහාට ගෙනියමු. මෙතන ඉන්න එක හොඳ නෑ."

ලොකු විජේ පොඩි සිංහයා ඔසවා කරට ගත්තේය. ඒ එසවූ එසවිල්ලට තුවාල කකුලෙන් මහත් වේදනාවක් දැනුණ ද පොඩි සිංහයා දත්මිටි කාගෙන වේදනාව දරා ගත්තේය.

"මෙතන වතුර තියෙනව." ඔහු හෙමින් කියනු සගයන්ට ඇසිණ.

"හරි පස්සේ පුළුවන්. පියල් තුවක්කුව." සගයා කර තබා ගෙන මුල් පියවර තබන ලොකුවිජේ ඒ මොහොතේ තිදෙනාගේ කණ්ඩායමේ නායකයා නොහොත් අණ දෙන්නා බවට පත් විය.

පියල් ඒ අණ පිලිපදිමින් තුවක්කුව අතට ගත්තේය.

උපුටනය අවසන් 19

මෙහි අප වටහා ගත යුතු පැහැදිලි කාරණා දෙකක් ඇත. එකක් නම් සුපිරි අහම ක්‍රියාත්මක වන ආකාරයයි. එය අණ දෙන්නා ලෙස නොහොත් මේ ත්‍රිත්වයේ නායකයා බව හැඟවෙන්නේ එම අවස්ථාවේ නෛසර්ගික පිහිටුම නිවැරදිව සළකා බැලීමෙනි. එනයින් සුපිරි අහම ඇවැසි අවස්ථාවේ මනසේ ක්‍රියාකාරිත්වය අත්අඩංගුවට ගන්නා අතර ඉන් ඔබ්බට එහි අණ දෙන්නා බවට අවිඥානිකව ක්‍රියාත්මක වේ. මේ එම අවස්ථාවයි. අහම අසමත් වෙද්දි දෙපැත්තකින් ඔහුව ආණ්ඩුමාන්ඩු කරන්නට ආධාරක පැමිණෙයි. එනම් මෙම ත්‍රිත්වයේ සමතුලිතතාවය යනු නිරවුල් මනසේ පදනම බැවින් එය ස්වභාවික උත්සාහයේ වගකීමක් පවරා ගැනීමක් ලෙසද හදුනා ගත හැකිය. එනම් එම සමතුලිතතාවය රැක ගැනීමේ ආරක්ෂණ යාන්ත්‍රණයට පිවිසිම යනු එහි ස්වභාවයයි. නොඑසේ නම් එය මානසික අසමතුලිතතාව ඔස්සේ එලියට පනින කතිකාවෙන් පිට පැනිමක් වේ. සැබෑ ජීවිතයෙන් පීලි පැනීමක් වේ. සරලව කීවොත් උන්මත්තක ස්වභාවය ප්‍රදර්ශනය කිරීමක් බවට පත් වේ. දෙවැන්න නම් ඉඩ් ස්ථරයේ ක්‍රියාකාරිත්වයයි. ඉඩ් යනුම ෆ්‍රොයිඩියානු විග්‍රහයේ දී ආශාවේ සම්මුතීන් හෝ සතුටු මූලධර්මය (pleasure principle) අනුව "සතුටු වීමේ අණ දෙන්නා" ලෙස දැක්විය හැකියි. එම සතුටු වීමේ අණට ක්‍රියාත්මක වන්නේ පිපාසය, බඩගින්න, ආරක්ෂාව සහ ලිංගික තෘප්තිය යනාදී මූලික දේ ය. එමෙන්ම ඔහුට අයත් ප්‍රධානම කාර්යය වන්නේ ද සමස්ත මනස් ක්‍රියාකාරීත්වයේම ජවය හෝ ශක්තිය (psychic energy)සැපයීමයි. ඉඩ් යන ස්ථරය මිනිසාගේ උපතේ සිටම පැවත වර්ධනය වෙමින් පවතින කේන්ද්‍රීය ප්‍රවාහය ද වේ. ඉඩ් තුළ අන්තර්ගත වන්නේ ද ප්‍රමූලික සහ නිසග (instinctive and primitive behaviors) ජීව පැවැත්මේ නිශ්ඨාවන් පිළිබඳ නීති සමූහය යි. මේ පෞරුෂයන් විනිවිදින උපකල්පිත හැසිරීම තුළින් පියල්ගේ භූමිකාව වටහා ගැනීම යනු ම අභ්‍යාසයකි. පියල් නියෝජනය කරන ඉඩ් ස්ථරය‍ සාක්ෂාත් කර ගැනීමේ තවත් උදාහරණ දෙකක් සළකා බලමු.

උපුටන ඇරඹීම

ලොකු විජේ තවදුරටත් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී අධ්‍යාපනය අතහැර ව්‍යාපාරයට එක් වූ තරුණයා නොව වියපත් වැඩිහි‍ටියෙකු වී සිටින්නේ යැයි පොඩි සිංහයාට සිතිණි.

ඔහු යලි පැමිණියේ කිසිවක් අතැතිව නොවේ. එහෙත් ඔහු වෙත සගයන් මවිතයට පත් කරවන ආරංචියක් විය. ඒ මේ කන්දේ වනාන්තරය තුළ චීවරධාරියකු ගැවසෙන බවය.

"දුඹුරු පාට සිවුරක් පොරව ගත්තු කෙනෙක් උඩහට ඇවිදිනව මම හොඳටම දැක්ක. අපි ආපු පාරට වඩා කෙටි පාරක් කන්දට තියෙන බවයි පේන්නේ."

"එහෙම නං අපි මෙතන ඉන්න එක නරකයි." පියල් වහා ම කීවේය.

උපුටනය අවසන් 31

මේ දැක්වෙන්නේ ඉඩ් විසින් තීරකය බවට පත්වන ආරක්ෂාකාරී යාන්ත්‍රණයයි. පියල්ගේ භූමිකාවේ මෙම ක්‍රියාත්මක වීම නවකතාවේ බොහෝ අවස්ථාවල නිරූපණය වේ. ඒ සෑම අවස්ථාවකම සුපිරි අහමේ නියෝගය විශ‍්ලේෂණය වන්නේ පියල් ගේ භූමිකාව විසිනි. මෙම අන්තර් සම්බන්ධය වඩාත් හොඳින් ෆ්‍රොයිඩියානු ත්‍රිත්වයේ ක්‍රියාකාරිත්වයට සමපාත වේ.

උපුටනය ඇරඹුම.

"පියල් දැන් ඉතිං කරන්ඩ දෙයක් නෑ. මේ සහෝදරයට හොඳටම අමාරුයි. අපි අහුවෙලා හිරේ ගියත් වෙඩි කන්ඩ උනත් කරන්ඩ දෙයක් නෑ මෙයාව ඉස්පිරිතාලෙකට ගෙනියන්ඩ ඕන."

"ඒක තමයි මමත් කියන්නේ අපි මිනිස්සු ඉන්න පැත්තකට යමු." පියල් දෙවරක් නොසිතාම කීවේය.

උපුටනය අවසන් 32

චුම්බන කන්ද පඨිතයට ප්‍රථමයෙන්ම ශෘංගාර සංකේතය හෝ ලූබ්ධිය (Libido) රැගෙන එන්නේ ද පියල් විසිනි. ඒ අවුරුදු හයකට පසුව සිරගෙදරින් නිදහස් වන මේ තිදෙනගෙන් පියල් පමණක් සිංහයාට සිය ලිපිනය දී තිබීමෙන් ඔහු හමු වී අතීතාවර්ජනයකට කරන ඇරඹුමින් චුම්බන කන්ද වෙත ගිය ඔවුන් දෙදෙනාගේ ගමනේ අවසානයේ දීය. නැවතත් උපුටමු.

උපුටනය ඇරඹුම.

"අද අපි මෙතන ඉඳල හෙට උදේ ගෙදර ආපහු යමු."

"පිස්සුද මම අදම ආපහු යන්ඩ ඕන." පියල් කීවේ සගයා දෙස රවා බලමිනි.

"ඇයි ඔය තරම් හදිස්සි? බයද?" සගයා සිනාසෙයි.

පියල් පොඩිසිංහයාගේ මුහුණ දෙස ටික වේලාවක් බලා හිටියේ රැවිල්ලේ සැර බාල කරමිනි. එහෙත් පොඩි සිංහයා පෑ ළෙන්ගතු සිනාවෙන් ඔහු නිවුණේය.

"මම බය නෑ සහෝදරය. මම දැන් සංවිධානයක නෑනෙ. ඒක නිසා මම ඇත්ත කියන්නං. මම ළඟදිම කසාද බඳින්ඩ ලෑස්ති වෙලා ඉන්නේ. හෙට උදේම මම විජිතව හම්බ වෙන්ඩ ඕන."

"ආ එහෙම ද? හෙට අනිද්දා මනමාලයෙක් වෙන්ඩ ඉන්න මිනිහෙක් කොහොමද කැලෑ වදින්නේ නේද? එහෙම නං යමු."

උපුටනය අවසන් 42

ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ සිද්ධාන්ත අනුව අහමේ සහ ඉඩ් අතර ගොඩනැගෙන ඉටු නොවු ආශාවන් සහ අවශ්‍යතාවයන් නිසා හට ගන්නා ආතතීන් සමනය කිරීමේ ක්‍රියාවලිය ද්වීතීයික ක්‍රියාදාමය (Secondary Process) ලෙස හැඳින්වේ. ඉඩ්ගේ ප්‍රාථමික ක්‍රියාදාමය (Primary Process) ඔස්සේ මනසේ ගොඩ නැගෙන කිසියම් වස්තු ප්‍රතිබිම්බයක් අහම වෙත ප්‍රක්ෂේප කර එම වස්තුව යථාව තුළ හඹා යාම මෙම ද්වීතියික ක්‍රියාදාමය විසින් පාලනය කෙරේ.

මෙය චුම්බන කන්දට දේව සංකල්පය ප්‍රාදූර්භූත වන තැනින් මනාලෙස වටහා ගත හැකිය.

සිංහයාට කැළයේ දී ආගන්තුකයෙකු මුණ ගැසෙයි. හෙතෙම දඩයමක් අතැතිව වණ රොද සරද්දී මුහුණට මුහුණ හමුවේ. මෙම හමුවීම සිංහයාගේ වණරොද තුළ ආධිපත්‍යය අභියෝගයට පත් කරන අතරම එයට පිළියම ලෙස ඔහුගේ දෑතින් තැනූ මැටි දේව රූපයක් කන්ද පාමුල නිර්මාණය කොට එය හරහා කන්දට ඇතුළු වන්නන් ට සිය ආධිපත්‍යය පතුරන්නට තීරණය කරයි. මේ අවස්ථාව පියල් විසින් බැහැර කරන ලද පියල් ගේ හුදෙකලා පැවැත්ම එනම් ඔහු යුගදිවියට ඇතුළුවීම සිංහයාගේ අහම වෙත කළ ආතතිමය යෝජනාවක් සේ වටහා ගත හැකිය. එම ආතතිය ද්වීතියික ක්‍රියාදාමයක් ලෙස ක්‍රියාත්මක වී සන්සිඳුවනු වස් එහි සංකේතීය ප්‍රතිබිම්බය ලෙස විකෘති දෙවියකු කන්ද පාමුලට ලැබේ.

අනෙක් අතට සිංහයා විසින් නියෝජනය කරන අහම එහි ශක්තිය  [Ego Power] විසින් සුපිරි අහම, ඉඩ් සහ යථ විසින් කරනු ලබන යෝජනා යථාර්ථවත් කර ගැනීම වෙනුවෙන් වැය කරයි. මෙයම ව්‍යවහාරයේදී අහංකාරකම හෝ උද්ධච්චභාවය ලෙස හෝ හමු වන ශක්තිය යි. එය කිසියම් මට්ටමක් ඉක්මවූ විට සිතැඟි දේ යථාර්ථවත් කර ගැනීමේ උග්‍ර අරගලයකට යමෙකු තල්ලුවන අතර එම ශක්තිය ඌණ වූ විට කිසි‍වක් කෙරෙහි තරගයක් නොදී දියාරු ලෙස ක්‍රියාත්මක වීම ද අපේක්ෂිතය. මේ අන්ත දෙකෙහි සමතුලිත අවස්ථාව පවත්වා ගැනීම සායනික මෙහෙයුමක එක් අභිමතාර්ථයකි.

නැවත සිංහයාගේ හුදෙකලා ජීවිතය පුපුරුවා හරින ලූබ්ධික සංඥාව යථාර්ථයක් ලෙස වෙස්වලාගෙන පැමිණෙන්නේ අහිකුණ්ටික ගැහැණිය විලසිනි. එම අවස්ථාව විස්තර කරන සිංහයාගේ චිත්තාවේගය ඔහු විසින් නිර්මිත ව්‍යාජ දෙවියන් ගේ යථාර්ථයක් ලෙස හමු වන සැටි මෙන්න.

උපුටනය ඇරඹුම

ඇය ඉවත්ව ගිය පසුව ද සිංහයා වාඩි වී සිටි තැනම සිටියේ ය. සිදුවූයේ කුමක් දැයි ඔහුට වටහා ගත නොහැකි විය. අදහා ගත නොහැකි විය. විමතිය පමණක් ම ඉතිරිව තිබිණ. පියවි සිහිය එළඹෙන්නට වූ කල කිසිවකු තමා දුටුවේදැයි බලවත් ලජ්ජාවක් ඔහු තුළ හටගත්තේය. හිඳ සිටි තැනින් නැඟිට වටපිට බැලූ හෙතෙම පේනතෙක් මානයේ ඇති සෑම ගහක්ම සෑම ගලක්ම සෑම පඳුරක්ම තියුණුව නිරීක්ෂණය කළේය. කිසිවකු නැති බව සැක හැර දැනගත් ඔහු හෙමිහිට දේවාලය වෙත ගොස් පරීක්ෂා කර බැලුවේය. පාට හතක අලුත් මල් ගොඩවල් හතක් දෙව්රුව ඉදිරියේ විය. දෙවියන්ගේ මුහුණ බලා සිටින විට එය සිනාසෙන්නා සේ ඔහුට පෙනිණ. තමා සමඟ මෙසේ සිනා සෙන්නේ කලකට පෙර තමා විසින්ම හුඹස් මැටියෙන් නිර්මාණය කළ දෙවියා නොවේදැයි සිතන විට ඔහුගේ මුහුණේ ද සිනාවක් මතු විය.

උපුටනය අවසන් 61

චුම්බන කන්දේ ප්‍රධාන චරිත තුන වටා ගැට ගැහෙන ද්විමය ප්‍රතිවිරෝධ ලෙස ගැනිය හැකි චරිත තුනක් ඇති බැව් පළමුව පියල්ගේ විජිතා ලෙස ද දෙවනුව සිංහයාගේ අහිකුණ්ටක ගැහැණිය ලෙස ද තෙවනුව පොඩිවිජේ ගේ අනියම් බිරිය ලෙස එන මල්ලිකා ද යන ගැහැණුන් ත්‍රිත්වය යි. මේ අය විසින් එකිනෙකා අතිශය තීරණාත්මක අන්තයන් කරා තල්ලු කරන අතරම ඒ චරිත 6ම එකිනෙකාට දුරස්ථව හෝ සමීපව හෝ විවිධ බලපෑම් කරයි. ඒවා සියල්ල එකිනෙක බැඳී පවතියි. කොටින්ම එකිනෙකා ගේ ආශාවේ වස්තූන් විසින් එකිනෙකාගේ ජීවිත තර්ජනය ට ලක් වෙයි. පියල් කලකට පසු නැවත චුම්බන කන්ද වෙත පැමිණෙන්නේ එය භාවනා අසපුවකට පරිවර්තන කිරීමේ අවශ්‍යතාවය කාලය විසින් තමන් වෙත පවරාගත් වගකීමක් ලෙස නිර්මාණය කරගෙනය. සිංහයා චුම්බන කන්ද පාවිච්චි කරන්නේ සිය අධ්‍යාත්මය සංසිඳුවා ගෙන හුදෙකලා ජීවිතයේ සොහොන් බිමක් ලෙස එය පාවිච්චි කරන්නට ව්‍යාජ තපස් ජීවිතයක් රඟ පාමිනි. පොඩිවිජේ චුම්බන කන්ද වෙත එන්නේ ඇමතිවරයෙකු සේ භුක්ති විඳින සුපිරි අහමේ නිත්‍ය අණ කරන්නා සේ යථාර්ථයක් සිංහයා වෙත උත්තරාරෝපණය කරමිනි. පොඩිවිජේ ගේ සුරතාන්තය සේ සිය අනියම් බිරිඳගේ අහඹු මරණය නිසාවෙන් එම මෘත දේහය එම චුම්බන කන්දේ ම වළලන්නට සිදුවන්නේත් එම මරණයේ ඇටකටු පසු කාලෙක සිංහයාට දාව අහිකුණ්ටක ගැහැණියට උපන් දරුවා අතින් නැවත ගොඩ ගැනෙන්නේ ද ඒවා අතර ඇති අතිශය සංකීර්ණ මනෝගතිකයන් මතු කරමිනි. අප සැම තුළ සැඟව සිටින අප නොදන්නා යක්ෂයා යථක් ලෙස නිරන්තරයෙන් අප සමග සයිනාකාර චලනයක යෙදෙන බැව් තහවුරු කරමින් නැවත වරක් චුම්බන කන්දේ පස් යටින් මතුව එන්නේ යැයි මට සිතේ.

චුම්බන කන්ද ෆ්‍රොයිඩියානු ‍මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය අප හමුවට ගෙන එන ප්‍රබන්ධයක් යැයි මා පවසන්නේ මෙබඳු සමපාතයන් බොහොමයක් විසින් එහි චරිත සහ සිදුවීම් නැවත කියවා ගැනීමට මා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි‍‍‍‍‍. මෙය එසේ ම විය යුතුයැයි මාගේ නිගමනයක් නොමැත.  


notes:

pleasure principle
Definition:

In Freud';s psychoanalytic theory of personality, the pleasure principle is the driving force of the id that seeks immediate gratification of all needs, wants, and urges. In other words, the pleasure principle strives to fulfill our most basic and primitive urges, including hunger, thirst, anger, and sex. When these needs are not met, the result is a state of anxiety or tension.

the primary process

Definition: In Freud's psychoanalytic theory of personality, the primary process works to resolve tension created by the pleasure principle. Rather than act on dangerous or unacceptable urges, the id forms a mental image of a desired object to substitute for an urge in order to diffuse tension and anxiety.

conscience

Definition:
In Freud's psychoanalytic theory of personality, the conscience is the part of the superego that includes information about things that are viewed as bad by parents and society. These behaviors are often forbidden and lead to bad consequences, punishments, or feelings of guilt and remorse.

preconscious

Definition: In Sigmund Freud's psychoanalytic theory of personality, the preconscious mind is part of the conscious mind and includes our memory. These memories are not conscious, but we can retrieve them to conscious awareness at any time.

unconscious

Definition:
In Freud's psychoanalytic theory of personality, the unconscious mind is a reservoir of feelings, thoughts, urges, and memories that outside of our conscious awareness. Most of the contents of the unconscious are unacceptable or unpleasant, such as feelings of pain, anxiety, or conflict. According to Freud, the unconscious continues to influence our behavior and experience, even though we are unaware of these underlying influences.

reality principle

Definition: In Freud's psychoanalytic theory of personality, the reality principle strives to satisfy the id's desires in realistic and socially appropriate ways. The reality principle weighs the costs and benefits of an action before deciding to act upon or abandon an impulse.

ego ideal

Definition: In Freud's psychoanalytic theory of personality, the ego ideal is the part of the superego that includes the rules and standards for good behaviors. These behaviors include those that are approved of by parental and other authority figures. Obeying these rules leads to feelings of pride, value, and accomplishment.

ego strength

Definition: In Freud's psychoanalytic theory of personality, ego strength is the ability of the ego to effectively deal with the demands of the id, the superego, and reality. Those with little ego strength may feel torn between these competing demands, while those with too much ego strength can become too unyielding and rigid. Ego strength helps us maintain emotional stability and cope with internal and external stress.

ආශ්‍රිත ග්‍රන්ථ,සිනමා පට සහ වෙබ් අඩවි:

1. චුම්බන කන්ද-ජයතිලක කම්මැල්ලවීර 2010 අගෝස්තු
2. ඇන්තම් [Anthem by Ayn Rand]අයින් රෑන්ඩ්
3. Pervert's Guide to Cinema-සිනමා පටය-ස්ලා‍වෝ ජිජැක්
4. Psycho-Movie by Alfred Hitchcock: සයිකෝ නම් වූ ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ සිනමා කෘතිය
5. හිස්ටීරියාව-දීප්ති කුමාර ගුණරත්න සංස්කරණය
6. psychology.about.com
7. බත්තලංගුණ්ඩුව [2007] මංජුල වෙඩිවර්ධන
8. අටවක පුත්තු [2007] ලියනගේ අමරකීර්ති
9. මායා තීර්ථ [2008] කීර්ති වැලිසරගේ
10. තඹර විල [2006] කැත්ලින් ජයවර්ධන
11. අග්නි චක්‍ර [2007] කැත්ලින් ජයවර්ධන
12. සත්‍යකාම [2009] කැත්ලින් ජයවර්ධන
13. කන්දක් සේමා [2009] සුමිත්‍රා රාහුබද්ධ
14. පොදු පුරුෂයා [2008] සුනේත්‍රා රාජකරුණානායක
15. රිදීතිරංගනාව[2000] සුනේත්‍රා රාජකරුණානායක
16. ආදරේ තරම් ම යසෝදරා [2009] උපුල් ශාන්ත සන්නස්ගල

3 කුළිය:

නෙරංජි | Neranji said...

ගොඩක් ස්තූතියි මේ ලිපියට.......මට වැදගත්..මගේ ඉගෙනුම් වැඩ වලට...පුළුවන් නම්...සමස්ත විචාරයක් ලියන්න...
චුම්බන කන්ද
කවිකඳුර ගැන...
සාධාරණ එකක්!!

Sithumini Rathnamalala said...

max..............!!!!!!

Anonymous said...

Yοur wrіte-up offers pгοven beneficial to me personally.
It’s quite informаtive and уou're simply clearly quite educated in this field. You possess exposed my personal eye to be able to different opinion of this particular subject matter using interesting and sound written content.

Also visit my blog: buy Xenical
Look at my page ... Xenical