Saturday, May 22, 2010

බන්දුල ජයවීර 'තෝරාගත් කෘති' නිර්මාණ සංග්‍රහය




මා මිතුරු කිවි, පියන්කාරගේ බන්දුල ජයවීරයන් අනේක දුක් ගැහැට විඳ 'කවි පොතක්' පළ කොට ඇත. ඔහු අද මා හමුවන්නට පැමිණියේ ඔහුගේ 'අතීතකාමයෙන්' පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ 'තෝරාගත් කෘති' නම් වූ සිය නිර්මාණ සංග්‍රහයද සමගිනි.



2006 වසරේ සිට 'ගොඩගේ කාව්‍ය සහ ගීත ව්‍යාපෘතියේ' ප්‍රකාශනය සඳහා ගොඩගේ ව්‍යාපෘතිය විසින් තෝරාගත් මේ කෘතිය, ඉන් පසුව පොතක් ලෙස එලිදක්වන්නට වසර හතරක් ගත වූයේ මන්දැයි මම නොදනිමි. ඔහු ද එය තත්වාකාරයෙන් නොදනී. එනමුත් දැං එය පොත් රාක්කවලට පැමිණ ඇතිවා විය යුතුය. කෙසේ වුවත් කිසිදා පරණ නොවන කවි සැමදා සියතින් අකුරු ඇමිණෙන බන්දුලගේ සුරත මම සිප ගනිමි.

ඔහුගේ නිර්මාණ දිවියට සුභ පතමි!

මේ කෙටි සටහන ඔහුගේ 'තොරාගත් කෘති' ගැන විචාරයක් ලිවීමේ අදහසකින් නොවේ. ඔබ සියල්ලන්ට ද ඔහුගේ කවි පොත ඔහු වෙනුවෙන් මා දෝතින් පුදන්නටය.
කවිපොතේ අන්තර්ගතය යුග යුග වලට බෙදී ඇත. පිකාසෝගේ චිත්‍ර යුගවලට බෙදුවා සේම නිල් යුගය, රෝස යුගය හෝ ඝණික යුගයාකාරයෙන් බන්දුලගේ කවිද අතීතකාමී,පශ්චාත් අතීතකාමී,පශ්චාත් නූතන, පශ්චාත්- පශ්චාත් නූතන යනාදි වශයෙන් උත්ප්‍රාසවත් ආකාරයකින් බෙදා වෙන්කොට ඇත. එම යුග නිරූපණය වන කවි කිහිපයක් උපුටා දක්වමි.

අතීතකාමී යුගය- හත්වැනි කවිය-දහඅට පිටුව

මාළුවා වෙතටයි

ම නො කා මග හරින්නේ නම්
මාව කාපන් මාළුවෝ
නිරාහාරව මළත් දියඹෙන්
යන සිතක් නැත මාළුවෝ

දුකින් මළ මනු හද මාංශය
රස බලාපන් මාළුවෝ
මිතුරු රෑනක් එක්ක ඇවිදින්
මාව කාපන් මාළුවෝ

ඇමත් කාගෙන මාත් ඇදගෙන
මූදු පත්ලට මාළුවෝ
ගියත් නුඹ නම් අත් හරින්නට
හිතෙන්නෑමයි මාළුවෝ

සටහන: 'මහල්ලා සහ මුහුද' ලියා මගේ අන්තවාදී ප්‍රේම සිහිනයට දිරිය හා සවිය දුන් අර්නස්ට් හෙමිංවේ ස්තුතියි!

පශ්චාත් අතීතකාමී යුගය-දහනවය කවිය-තිස්හතර පිටුව

පෙම් පිම්ම

ඳ මත
ආම්ස්ට්‍රෝං තැබුවේ
දෙපය යි!
මා තැබුවේ
දෙතොලයි!!


සිරකරුගේ කවිය!

ක්මනට සෙනසුරාදා එන්න!
සතියේ දවස් නීරසයි එන්න!!
කන්තෝරු හිරගෙදර දුක් විඳින
සිතට සිහිලසක් අරගෙන එන්න

ජීවිතය පැය අටක් නො වන වග
දින දෙකක් දිවි ගෙවා දැනගන්න
රළු කටුක දවස් පහ විසුණු කර
ඇවිත් යන්නට වුණත් ඔබ එන්න

දූපතක ගෙවී යනමුත් දවස
ජිවිතය මහාද්වීපයක් බව
හතරවට මූදු වෙරළෙන් එපිට
ලෝකයක් තිබෙන බව දත යුතුය

පඩියකින් පඩියකට පනින විට
හැමදා ම කොන්ද කැඩුණැයි හඩන
ණය බරින් පෙළෙන දිවි ගිම් නිවන
මෙඟක් කොහි හෝ තිබිය යුතු නොවෙද?

සඳුදාට ඇස් අරින උදෑසන
ගෙවූ දෙ දින සිහිනයක් දැයි හඟින
දින පහක් විය ගඟට ගෙල පුදන
දෙපා-අම්බරු සකිය! පිබිදෙන්න!!

පශ්චාත් නූතන යුගය-විසිහත කවිය-හතලිස් අට පිටුව

පටු වචන හා විසල් ජීවිතය

ලොකු පුතා
'ලොකු පුතා' වූයේ
පොඩි පුතා
ඉපදුණ පසුවයි
පොඩි පුතා
'පොඩි පුතා' වූයේ
ලොකු පුතා
එවකටත්
ඉපැදී සිටි නිසයි
උපතින්ම කිසිවෙකුත්
ලොකු නොවී
පොඩිත් නොවී!
වදන් ලෝකය
මිනිස් සිරුරත
‍යොදන බලයෙන්
එහා ඇත්තේ
වචනයෙන්
ලියා හෝ කියා
අවසන් නො වෙන
සැබෑ ආදරයයි
සැබෑ ජීවිතයයි
ආදරය වචනයකි
වචනයට වැඩි යමකි!
හැඟුම් ලෝකය
වචනයට ගෙනා සැණ
ජීවිතය (ආදරය)
කූඩුවක සිරවෙයි



පශ්චාත් පශ්චාත් නූතන යුගය-විසිඅට කවිය-පනහ පිටුව

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට

මාක්ස්, එංගල්ස්
ෆ්‍රොයිඩ්, ෆූකෝ
ලකාන්, ඩෙරීඩා
කොටා දියකර
බී, එයින් මත් වී
වනා කගපත හතරතේ
'පිටිය සුද්ධයි'
(Ground Clear)
කියා තුටු වී
කුටියකට වැද...

"මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!"
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක "දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි"


කියූ මුවගින්
"එක ම මල මම"
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම්දැයි
අසන ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
"මට වුණේ කිම්දැයි
‍දැනගන්ට තොපි
සතුටු නම්...
මා සොයාගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය)
මගේ අභිමානය
එයයි!"

"පෙම් ලොව දී දුටු ඔහු ම ද මේ!
ඔහුට ද මා අන්ධ වු‍ණේ!!"

'හිස්ටීරියාවෙන් සයිකෝසියාවට' කවිය ගැන කෙටි‍ සටහනක් තැබිය යුතුමය. මට මෙය කියවූ ගමන් දැනුනේ 'ඇල්ජීරීයාවෙන් ආසියාවට' වැනි හැඟුමකි. ජනක මහබෙල්ලන මෙන්ම බන්දුල ජයවීරද දීප්ති කුමාර ගුණරත්නට කවියකින් ඇන දමා ඇති බව පෙනේ. ඔවුන්ගේ කෘති තුල එක කවියක් දීප්ති වෙනුවෙන් වෙන්වීම දැන් දැන් සම්ප්‍රදායක් බවට පත් වී ඇතැයි මට සිතේ.