Tuesday, July 13, 2010

කඩදාසි හීනයක් ...


අපැහැදිලියැ මට නුඹ
කවුරු වුනත්.
මට නොසිතෙයි ඒ මා යැයි,
අනෙකෙකි, බොහෝ වෙනස්!

අඳුරට වැසී ගිය
නුඹ රුව නොපෙනේ හරියට.
දාර මැකී ගිය මීදුමකි පොලොව මත.
අවුරයි හැඳුනුම; අඥාත වෙයි විශ්වයම.


කඳුලක හැඩයක් දිස්නයක්
ඈතට දිසෙයි, වෑස්සෙයි එලිය ඉරබටු තරුවක.
කඳුළු කැට වුව- කාච වෙස්ගනී ඇස මත,
ඉසියුම්ව බෙදයි පැහැ ඉරි- මතුකර ඝණ අඳුරු සෙවණැලි.
වෙලෙයි ආලෝකය-ඉරා අඳුරේ අන්ධ තිරපට
මතුවෙයි- ගිලෙයි, නැවත මතුවෙයි
අඳුරු දෑසත් -රුදුරු අරුතත්.

පුළුස්සයි පොත් පත් ලියුම් කඩදහි
දවාලයි අතීත සටහන්
ඇවිද ගිය මං පෙත්
තැබුනු පියවර
ඉතිරි නොකරම කිසිදු අකුරක්...

දැවී යයි බැරලයක් තුළ
ගිනි දළුද නැග එයි කරකැවී දුම්රොටු
පිළිස්සුණු කඩදාසි සැහැල්ලු වී
අඟුරු වර්ණයෙන් පියඹයි
ඡායාවේ හිසට ඉහලින්
පියාපත් ලද සිතුවිලි වෙසින්....

මුමුණයි රහසින්
එද මා සවන් කළතයි
නොඇසූ රාවයකි
ඇසුමද අග්නි ජාලාවකි
තබයි කන් පෙති මත ලැව් ගිනි

"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයක්
තටු ලබන්නට මතුයම් දිනෙක ඒ සිතුමන් "


07/2010