Thursday, October 8, 2009

දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ; අපි නොවේ...




දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ;
අපි නොවේ...


දකුණු දිග ආකාහේ- නිල්වලා ගං වැලිතලේ -ගිංගඟේ දිසි මායිමේ
අහස මැද සුදු සළු වසා- වළාකැටිති ද ඔප වෙලා- හරිත වන පෙත එලි වෙලා
ලිය ගොමුව සඳකැන් පෙරී -රැය ද පිබිදෙයි යලි යලි -භෘංග සේනා යලි වඩි
වසත් සම යලි පීදිලා -උයන් ගොමු හැම වී මුලා- දසත හමවයි නවනුරා
නිල් ලප‍ල්ලේ වැදි සරා -සිකර මුදුනත වී සැඩා -හිරැද හිනැහෙයි වී පබා
ගොල්ල මත වූ නිදි කිරා- අසත් ගී මුව මී පුරා- ඇසෙත් අමයුරැ ගී සරා
මිහිමත බට ඒ සුරලියා -අමතමින් ඇත ගොවි දනා -රුපුන් නැති සිය ඔද වඩා
මිහිතලයම ඇත වී සුභා...අනඟහස මුව මුව පුරා -දනන් තුටු සිත් පිපිරිලා -සතුට උතුරයි සියොළඟා
වරණ දීමෙන් දෝ පුරා- ඇතෙක් බර වස්තුව ලෙසා -දී බහක් ඈ මුවපුරා-සිටියි සිරිකත මිහි වැඩා...

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
081009

Tuesday, October 6, 2009

කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...


කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...

මිනිසා ශබ්දය රස විඳින්නට ගත් උත්සාහය ඉතාම ප‍්‍රාථමික මට්ටමේ සිට ශබ්ද ප‍්‍රතිනිෂ්පාදනයට විදුලිය දායක වූ දිනයේ සිට වර්තමානයට එද්දී, එය මිනිස් සංජානන අවකාශයේ උපරිමය දක්වා ගමන් කර ඇතැයි යන්න නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් සුලබ වීමෙන් තහවුරු වේ. මීට දශක කීපයකට පෙර තනි ස්පීකරයකින් මොනෝ ක‍්‍රමයට සවන් දුන් මියැසි රාවය ස්ටීරියෝ ක‍්‍රමයට පරිවර්තනය වී දෙසවන් හි පිහිටුමේ ස්වාභාවික බවත් සංගීත තරංග වල අවකාශීය පැවැත්මේ ගුණාංගත් එකට ගෙන වඩාත් සජීවි අවකාශ තලයකට ගෙන ඒමෙන් සරවුන්ඞ් ශබ්ද පද්ධති ලෙස අද වඩාත් ප‍්‍රචලිත නිවාස තුල අත්විඳිය හැකි තියටර් පද්ධති දක්වා ද විකාශය වී ඇත. මෙනයින් ශබ්දය කණ කරා ඒමේ යාන්ත‍්‍රණය ස්වාභාවික ශබ්දයේ සජීවි බව ප‍්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය හරහා වඩ වඩාත් ලං වන්නේ මිනිස් සංජානනය ස්වාභාවික ලෝකයෙන් කෘතිම ලෝකය මායිම් කළ බාධා බිඳ හෙලීමයි. එනමුදු සංගීතයේ සප්ත ස්වරය වෙනස් වූයේ නැත. ශබ්දය කණ කරා ගමන් කිරීමේ අවකාශය පමණක් ස්වාභාවිකත්වයට වඩාත් ලං වී ඇත. මේ උදාහරණය මා ගෙනෙන්නේ කවියේ වර්තමාන අවකාශීය සැකසුම ශිලා ලේඛනයෙන් පුස්කොල පත් ඉරුවෙන් කඩදාසියටත්, ඉන් නොනැවතී පික්සල් අංශු මතට පොලා පැනීමේ කවියේ රිද්මය බස සහ ආකෘතිය ආලෝකයේ වේගය ලබාගත් අයුර පැහැදිලි කරගැනීමට ය.

කවියේ මූලික සංඝටක පද්ධතිය භාෂාවයි. භාෂාව නිර්මාණය වන්නේ සංඥා පද්ධතියකිනුයි. සංඥා නිර්මාණය වන්නේ ශබ්ද සහ අර්ථ ආශ‍්‍රයෙනුයි. ශබ්දයේ පරමාණුක අවස්ථාව මාත‍්‍රාවයි. මාත‍්‍රාවක් ලෙස පෞරාණික අර්ථ දැක්වීම ඇසි පිල්ලමක් හෙලන්නට ගතවන කාලයක උසුරුවන ශබ්දය යි. මාත‍්‍රා අතර වෙනසින් රටා උපදියි. මාත‍්‍රා රටා අනුව ඡුන්දස් ලෙස ගැනෙන ආකෘති බිහි වෙයි. මාත‍්‍රාව ද්විමය ශේණියක් බැවින් එනම් ශබ්ද සහ නිශ්ශබ්ද අතර පරතර මතින් ගොඩනැගෙන්නක් බැවින් මාත‍්‍රා විෂයය පරිපූර්ණ ලෙසම ද්විකෝටික වේ. මෙය කෙටි ශබ්ද සහ දිග ශබ්ද ලෙස නොහොත් ලඝු සහ ගුරු ලෙස නාමකරණය වී ගණිතානුකූලව ද්විමය සංඛ්‍යා පද්ධතියක් බවට පත්වේ. පරිගණකයේ් පරමාණුක ක‍්‍රියාකාරිත්වය ද්විමය කේතනය හා සමපාත වේ. එනම් විද්‍යුත් ආරෝපණයක් ධන සහ සෘණ යන ධ‍්‍රැවීකරණය වීමේ ගුණය මත ක‍්‍රියාත්මක වේ. මෙනයින් ශබ්ද විද්‍යාවේ මූලයන් හා පරිගණක තාක්ෂණයේ මූලයන් එකම භාෂාවක වෙනස් යෙදුම් ලෙස හැඳිනිය හැකි වේ. වඩාත් නිවැරදිව ඉතිහාසය තුල ස්ථානගත කලොත්, කවියේ මූලික සංකල්ප පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප වල මුතුන් මිත්තන් ලෙස හැඳිනිය හැකි වේ. පරිගණක තාක්ෂණය මිනිසා හසුරුවන්නට බොහෝ කලකට පෙර ශබ්ද විද්‍යාව හරහා එම යාන්ත‍්‍රික භාෂාවේ මූලයන් සියවස් කීපයකට පෙර ඉන්දියාවේ උපත ලබා ඇත. ඡන්දස් ශාස්ත‍්‍රය බයිනරි විෂයයක් වන්නේ පරිගණක බයිනරි ක‍්‍රමය උපයෝගි කරගන්නට බොහෝ කලකට පෙර ය. කවිය පරිගණක හරහා සයිබර්ගත වීම යනු එහි තිඹිරි ගෙය කරා යලි යෑමකට නොදෙවෙනි ගමනකි.

ශබ්දයේ වෙනස් කම ද්විකෝටිකව උච්ඡුාවචනය වීම තුල ලඝු ගුරු මාත‍්‍රා උපන්නේ යම් සේ ද ඒ අයුරින්ම ඡුන්දස් ශාස්ත‍්‍රය උපත ලබා ඇත්තේය. මේ සඳහා කදිම උදාහරණ ”එළු සඳස් ලකුණ” විමසා බලා සොයා ගත හැකිය. එළු සඳස් ලකුණේ නෂ්ටප‍්‍රත්‍ය සෙවීමේ ක‍්‍රමය යනුවෙන් දක්වා ඇති මාත‍්‍රා ප‍්‍රස්ථාරයක කිසියම් ලඝු ගුරු සංයෝජනයක් සොයා ගැනීමේ ක‍්‍රමය යනු කිසියම් දශම සංඛ්‍යාවකට අදාල ද්විමය සංඛ්‍යාව සොයා ගැනීමේ ගණිතමය ක‍්‍රමය ම වේ. මෙනයින් කවියේ ප‍්‍රාග් අනුභූතිය ගණිතයේ මූලික සංකල්ප හා අවියෝජනීයව සමපාත වේ. මේ කතා කරන පරිගණක තාක්ෂණයේ මූලික සංකල්ප සමග අතිශය සූක්ෂම ලෙස ඒකාත්මික වේ.

කවියේ යුග ගැන සලකා බලද්දී ප‍්‍රාදේශීය වශයෙන් ද යුග වකවානු වශයෙන් ද බෙදී කාලයට එදිරිව විවිධාකාර වූ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික සහ ආගමික වර්ණයන්ගෙන් වෙනස්කම් ඇතිව සංවර්ධනය වෙමින් ද අවවර්ධනය වෙමින් ද එන ඓතිහාසිකත්වය වර්තමානයේ පිය තබන්නේ සයිබර් යුගයට යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. කවිය චිරාත් කාලයක් ද්විමාන තලයක ජීවත් ව එය වත්මනේ අන්තර්ජාලයට ඇතුළුව ඇත්තේ සිය තෙවන මානය සයිබර් අක්ෂය ලෙස තෝරා ගෙනය. මෙම සයිබර් අක්ෂය තුල විරාජමාන වන නව කවිය සුලභ කාව්‍ය කතිකාවන් තුල ගොඩ නැගෙන චිරාත් කාලීන වාද ප‍්‍රතිවාද සහ සංවාද උඩුයටිකුරු කරමින් ශාබ්ධික ගතිගුණ සහ අර්ථ භාව පිළිබඳ පාරභෞතිකයන් විශද කරමින් නැගී එන්නේ පික්සල් මතින් මැවෙන දෘශ්‍යමය ඡුන්දසකට විවරයක් සදමිනි. නොවිරිත් වැකි බහුල එනමුත් දෘශ්‍යමය ප‍්‍රයෝගයෙන් අනූන නූතන සයිබර් කවිය හද බසට ඔබ්බෙන් වන තාක්ෂණික බසින් විද්‍යාවේ මූලිකාංග ප‍්‍රතිකථනය කරන්නට සමත් ද්වීතියික භාෂාවක් ලෙස සිය හැඩරුව වඩවා ගනිමින් සිටී. මාතර යුගයේ කවීන් බහුල ලෙස භාවිත කළ කාව්‍යෝචිත බස්වහර වෙනුවට සිය පාණ්ඩිත්‍ය හුවා දැක්වීමේ අභිලාෂය වැනිම යුග ධර්මතා හේතුවෙන් මේ නැගෙන සයිබර් කවි රළ ජන හද නමැති වෙරළ ඛාදනය කරන්නට වුව සමත් වන්නේ යැයි කීම විවාදාත්මක ය.

කලින් මා සඳහන් කළ අයුරින්ම සංගීතය එහි නිම් වළලූ තාක්ෂණයේ ව්‍යවහාරයෙන් කර්ණ-ශංඛය කරා ගමන් කළ පථය අවකාශ ගත වීමෙන් සිදු වූ ප‍්‍රාතිහාර්යය වෙනුවට කාව්‍ය සයිබර් අවකාශගත වීමෙන් උපනති වූ සාධනීයත්වය පිළිබඳ අති විශාල අභියෝගයන් වත්මනට විවරව ඇත්තේ ය. විචිත‍්‍ර වූ භාෂා භාවිතයේ සහ රසවත් සංකල්පනා එලි දැක්වීමේ භාෂා ප‍්‍රවීනත්වය මතින් මැඩුනා වූ සාහිත කලා විහීන මානසිකත්වයන් දරන අල්පභාෂීන් ජාතක වීමේ සමාජ සංස්කෘතික අවනතිය පසුගිය දශක ගණනාවක් තුල සමස්ත සමාජ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුලම පිලිකා ලෙස වර්ධනය වී ඇත්තෙන් මේ තාක්ෂණික පසුබිමට ඇතුලූ වුවන් තුල ඓතිහාසික සාහිත්‍යාවලිය පිලිබඳ ඇති භින්න රුචික බව සහ දුර්වල හැදෑරීම් මෙන්ම සතත අභ්‍යාස විරහිතභාවයෙන් සයිබර් කවියේ ගුණාත්මක පක්ෂය ගැන ධනාත්මකව යමක් සඳහන් කිරීම උගහට ය. එමෙන්ම එබඳු විමසුමක් මේ ලිපියේ සීමාව ඉක්මවා ද යයි. ඒ සඳහා විධිමත් හැදෑරීමක් සහ එය විචාරය කිරීමේ නිර්ණායක ද පොදුවේ එකඟ විය හැකි පදනමකින් සම්භවයක් ලබා තිබිය යුතුය. දැනට සයිබර් කවි නොවන වෙනත් අනෙක් සාහිත්‍ය ක්ෂේත‍්‍රවල පවා විධිමත් සාධනීය සහ නිර්මාණශීලි විචාරයක් පවතින්නේ යැයි කීම ද අසීරු හෙයින් මේ අදහස වඩාත් සංකීර්ණ වේ.

සයිබර් අවකාශය ආලෝකයේ කම්පන සංඛ්‍යාතයෙන් කම්පනය වේ. ආලෝකයේ වේගයෙන් සංසරණය වේ. එහි පරමාණුක ඒකකය ද්විමය සංඛ්‍යා පද්ධතියයි. එම ද්විමය සංඛ්‍යා භටයන් ගරිල්ලා සටනක යෙදෙමින් සිය සන්නද්ධ භාවිතය තුල මිනිස් වර්ගයාට ආදරය යලි සොයා ගැනීමට තරු සිතියමක් සහ මාලිමාවක් තනමින් සිටී. මේ මාලිමාව රුගෙන මනුෂ්‍ය සංහතියට පාර කියන්නට වෙබ් අඩවියක් පුරෝගාමී වේ. ඒ බුන්දි වෙබ් අඩවියයි. (http://www.boondi.lk/) ලොව පුරා විසිරී සිටින හුදකලාව නිර්මාණකරණයේ යෙදී හුන් සුවහසක් නිර්මාපකයින් එක සෙවණක් යටට ගාල් කර ඔවුනගේ සයිබර් කවි සමුච්චය ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට අක්ෂර සෙනඟ නමින් ග‍්‍රන්ථාරූඩ කෙරුනේ බූන්දි වෙබි අඩවිය ආරම්භයත් සමගයි. ”ගොඩනැගෙන්නේ ගොඩනගන්නාය” යන සංකල්පයට ප‍්‍රතිපක්ෂව බූන්දිය විසින් ගොඩ නැගූ පුද්ගල ප‍්‍රතිරූප හෝ ප‍්‍රතිරූපයක් නොමැත. එය හුදෙක් නව කවියේ හෘද සාක්ෂිය වෙනුවෙන් කැප වූ කණ්ඩායම් ව්‍යායාමයක ප‍්‍රතිඵලයකි.

මේ එලඹෙන්නේ අක්ෂර සෙනග ඩිජිටල් සොල්දාදුවන් හා ඒකාබද්ධ හමුදාවක් ගොඩනගා කවියේ ගමන් මග එලිපෙහෙලි කරන මොහොතය. සයිබර් කවි අවකාශයේ බාධා නැත්තේ ද නොවේ. හැල හැප්පීම් නැත්තේ ද නොවේ. වාද විවාද ගැටුම් නැත්තේ ද නොවේ. එනමුදු සයිබර් කවිය පෙර කිසි කලෙකත් සාහිත්‍ය අම්බරයේ නොදුටු තාරාකාවන් නම් කරමින් ඉදිරියට ඇදෙන්නේ මිනිසාගේ හෘද සාක්ෂිය ගවේෂණය කරමින් ඈත ආලෝක වර්ෂ ගණනකට ඔබ්බෙන් වන අපේ මුතුන් මිත්තන් සොයා යන අහස් නැවක් ලෙසිනි.

බූන්දියේ මැදිහත් වීම මෙලෙස අංකුර කවියන් ලෝකයා වෙත පෑමෙන් පමණක් නොනවතී. එය ලාංකීය කවියේ පුරෝගාමීන් ගේ සතපතල ඓතිහාසික නිමැවුම් ද දේශදීපංකර වල පොතක් පතක් සොයා ගැනීමේ දුෂ්කරතා මධ්‍යයේ සතත අභ්‍යාසයේ යෙදෙන්නන් වෙත උපුටා දැක්වීම ද කරයි. අන්තර්ජාලයේ කිසි වියමන් ඉඩක් නොලද ලාංකීය කවියේ හැඩරුව පෝෂණය කළ කිවිසුරුවන්ගේ නිර්මාණද සිංහල යුනිකේත හරහා නැවත ලියැවී ආලෝක වේගයෙන් දසත පැතිරවීම ද අතිශය තීරණාත්මක මෙන්ම භාරදූර කාර්යයකි. මේ අවකාශය විදග්ධ කවීන්ගේ නිර්මාණ තවදුරටත් ප‍්‍රචලිත කිරීමේ කාර්යභාරය ද බූන්දියෙන් ඉටුවන බව එහි ඉතිහාසය බැලූවිට පෙනී යයි. සිංහල කවියේ සඟරාමය යුගයන් කොළඹ කවියේ ප‍්‍රවණතා මෙන්ම නූතන කාව්‍යකරණයේ මං පෙත් විවර කළ ගුණදාස අමරසේකර, රත්න ශ‍්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, සිරි ගුනසිංහ, දයාසේන ගුණසිංහ, කේ කේ සමන් කුමාර, ලක්ෂ්මන් කහටපිටිය, මංජුල වෙඩිවර්ධන, ජනක මහබෙල්ලන, චන්ද්‍ර කුමාර වික‍්‍රමරත්න, එරික් එලයප්ආරච්චි, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, සමන්ත හේරත්, සෙනරත් ගොන්සල්කෝරාල, නිලාර් කාසිම්, විමල් දිසානායක, මහගම සේකර, තනුජා ධර්මපාල යනාදී මෙකී නොකී අප‍්‍රමාණ ශක්‍යතාවෙන් සිහල කවි කෙත පෝෂණය කළ කවි කිවිඳියන්ගේ නිර්මාණ සුවහසක් සයිබර් සහෘද ලෝකයට පිටපත් කිරීම ද බූන්දිය මෙහෙය වන අනභිබවනීය සේවයකි. එමෙන්ම නූතන සයිබර් කවි අවකාශයේ නොතිත් කැප වීමෙන් වෙබ් අඩවි බ්ලොග් අඩවි නඩත්තු කරමින් බූන්දියට උපදේශනයෙන් ද සිය වටිනා කාලය විදෙස් හි සිට ආයෝජනය කරන සුනිල් ගෝවින්නගේ, රසික සූරියආරච්චි සහ ජගත් ජේ් එදිරිසිංහ ද මෙහි නම් වශයෙන් සඳහන් කළ යුත්තේය.

සයිබර් නිර්මාණකරණයේ යෙදී ඉන්නා පරම්පරාව කුමක් ද? මේ පරම්පරාව සුසැදෙන්නේ කාලිදාසයන්ගෙ සිට ෙහෙඩෙගර් සහ ඉන් ඔබ්බට ද මිනිස් සංහතිය තුල සිය ප‍්‍රඥාව දිය කර ගවේෂණයෙන් වෙළුම් වශයෙන් ලියා තබා ගිය කවියේ මනෝ ගතික ස්වභාවයන් ගැන ලූහුඩින් කියවා ගත් පරිඝණක අක්ෂර පුවරු මත සිය අතැඟිලි මොට කරගත් පික්සල් තිරමත සිය දෙනෙත් අලවා අඳ කර ගත් නූතන පරම්පරාවකි. මේ තත්වය සයිබර් කවියේ වර්ධනය ට ඉමහත් බාධාවක්ව ඇති වග මගේ පෞද්ගලික විශ්වාසය යි. සයිබර් කවියෙන් තම සමාජ සංස්කෘතික දේශපාලන හෘද සාක්ෂිය සොයා යන්නන් විරල වීම මීට සමාන්තර යි. මේ කාරණාවන් සිතියම් ගත කර ඊට දුෂ්කර මාවත් මග හැර සුමට මගක් සොයමින් ඉන්නේ බූන්දි වෙබ් අඩවිය යි. බූන්දිය ගෝලීයකරණයේ සිතියම සොයා යන්නෙකු මිස ගෝලීයකරණයේ අවජාතකයක් නොවේ.

බොහෝ විට පරිගණක ආශ‍්‍රිත රැකියාවල නියුක්තිකයන් සිය සහෘදයන් සමග වෛකල්පිත සමාජ වෘත්තයන් සාදා ගැනීමේ සහ බොහෝ විට විදේශගතව හුදකලාවට පත් එනමුත් අන්තර්ජාල පහුසුකම් ඇති හෙයින් අදහස් හුවමාරු කරගැනීමේ පදනමින් ජාලගතව උනුනගේ විනෝදය උදෙසා කවියක් වැනි යමක් ලියා ග‍්‍රැෆික් වලින් හැඩකර එහාට මෙහාට යැවීමෙන් ඇරඹෙන මේ කාව්‍යකරණය සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියා ගිය අයවලූන් වත්මනට දායාද කලා වූ සේ යමක් අනාගතයට ඉතිරි කරන්නට සයිබර් කවියන් සමත් වන්නේ ද යන්න කුකුසට හේතු වේ.

බොහෝ විට මෙබඳු දේ සිදු වුවත් සයිබර් කවියේ වර්ධනයට මේ සියලූ දේ දායක වන බව අමතක නොකල යුතුය. පුංචි පැලේ ගස වෙනා න්‍යායෙන් මේ සියලූ දේ ඉවසා ගත යුතු වන්නේ එහෙයිනි. මේ සියළු අභ්‍යාසයන් අනාගතයේ උපදින දේශසීමා මායිම් නැති අභිනව කවියේ චන්ද්‍රෝදයට පාර කපනු ඇත.

එනමුත් නව කවියේ හැඩතල ඇඳෙන මතුපිට ඇති දිශාව සුපැහැදිලි ලෙස ම දිගුව ඇත්තේ මේ නව අවකාශය දෙසටම ය. එම දිශානතිය හේතුවෙන් නිර්මාපකයෙකු සිය නිර්මාණය බෙදා හදා ගතයුතු මොහොත මේ යැයි තීරණය කළ නැකතින්ම එයට ලැබිය හැකි සහෘද ප‍්‍රතිචාරය ක්ෂණිකව ලබා භුක්ති විඳීමේ ආලෝක වේගය හේතුවෙන් නිර්මාණකරනය වෙන කවරාදකවත් නොතිබි තරමින් මනරංජන සජීවි අත්දැකීමක් බවට ප‍්‍රක්ෂේපනය වී ඇති වග ස්ථිරය. සයිබර් කවිය ආලෝකයේ වේගයෙන් සහෘදයන් කරා ඇදේ. සහෘද ප‍්‍රතිචාර ද ආලෝකයේ වේගයෙන් වයර් මතින් හඹා ගොස් පික්සල් තිරමත වැටී නිර්මාණකරුවන් පුබුදයි. මේ සයිබර් කවියේ ගතික ස්වභාවය යි.

සයිබර් කවියේ නියමුවන් නොමැති වයර අවකාශයේ බූන්දිය නිර්මාණශීලි අංකුරයන් සමග අත්වැල් බැඳ ලෝකය එකම කවියායක් බවට පත්කිරීමේ වයර් දිගේ දුවන ඒකාත්මික පාරභෞතිකයක බැඳී වෙලී සිටියි. කලින් සඳහන් කළ ආකාරයෙන්ම සිංහල කවියේ වර්තමානය සහ අනාගතයේ සුභාවිතය වෙනුවෙන් සිංහල කවියේ අතීතය හැදෑරීමේ බලවත් අවශ්‍යතාවය සහ චිරාත් කාලයක් ඉහල පහල යන සම්මුතීන් විමසා විනිසා ගැනීමට ඇවැසි නූතන දැනුම සොයා යාමේ නොසිඳි උද්යෝගයෙන් ද එකට බැඳුනු පිරිසක් බූන්දියේ දිවා රෑ සිය වටිනා කාලය මිඩංගු කරමින් සිටියි. සයිබර් අවකාශයේ ඉමක් නැති අහුමුළුවල රස්තියාදු වෙමින් හුන් කවි කිවිඳියන් මහ පොලවට ගැට ගසා දැමීමේ ඓතිහාසික කාර්යය 2008 දී අක්ෂර සෙනග පද්‍ය සංග‍්‍රහය එලි දැක්වීමත් සමගම සිදු විය. මේ එළඹෙන සැප්තැම්බරයේ සයිබර් අංකුර කවියන්ගේ ශ‍්‍රම විභජනයෙන් සිය වර්ෂපූරණ සැමරීම හා සමාගාමීව එළි දක්වන්නට යෙදෙන කාව්‍ය ග‍්‍රන්ථ සයකින් මෙම ගමනේ තවත් සැතපුම් කනුවක් සලකුණු කරනු නොඅනුමානය.

කවියේ හැඩරුව කාලයෙන් කාලයට වෙනස් වෙමින් පැමිණි මේ ගමන ඡුන්දසින් ඡුන්දස වෙන්වී එනමුත් ඡුන්දස් ගතිගුණ ඡුායාමාත‍්‍ර ලෙස දරා ගෙන නිර්ඡුන්දස් යැයි හැඳින්විය හැකි නිදහස් සහ සංයුක්ත කවි හරහා ?පමය භාවිතාවෙන් සහ මතු දිනෙක බහුවිධ මාධ්‍ය අනුකලනයෙන් විවිධාංගිකරණයට එළඹෙන්නට නියමිත සයිබර් කවිය දක්වා පැමිණ ඇති මේ ගමන තව කොපමණ විවිධාංගයන්ගෙන් සමලංකෘතව මිනිස් සමාජයේ හෘද සාක්ෂිය සොයා සහෘද ජන කොටස් ආමන්්ත‍්‍රණය කරන්නට එළඹෙන්නේද යන්න විවාදාභිමුඛ ය. ස්කන්ධයක් ආලෝකයේ වේගයට ලං වූ විට අපරිමිත ලෙස සිය ස්කන්ධය වැඩි කර ගනී. එබන්දකට ඉන්පසු චලනයක් විය නොහේ. භෞතික විද්‍යාත්මකව එය එසේ යැයි කීවද එය ගණිතානුකූල විනිශ්චයක් පමණි. කිසිවකු එය සාක්ෂාත් කරනු ඇත්දැයි නොසිතේ.

කවියේ වේගය දැං ආලෝකයේ වේගයට ලං ව ඇත.

ඊ.ඒ. ඩෝසන් ප‍්‍රීති
2009-09-08 (ලංකා)

Sunday, October 4, 2009

සූදු අන්තුවා-සකුණි රෑපසිංහ


සූදු අන්තුවා

දුටු පමණින්
රක්ත වර්ණ හදවතක්
සූදුවට ලොල්ව මම
ඒ තුලම ගිලුණ විට
අමතක උනා මට
ප්‍රේමයට ඔට්ටු ඇල්ලුවාට
සින්න වෙන්නේ මගේ
මුලු ජීවිතයම වග...

දුටු මතින් ඇසූ මතින්
වැඩි දුරක් නොහිතාම
කොළ ටික බදාගෙන
අනාගත්තාට
නොදැක්කෙමි මම
රජුන් සඟවාගෙන සිටි
අසිපත...

නොදැනුනි
නික්ම යන තුරු
ආත්මයේ ප්‍රාණ වායුව
සිඳ ඇති බව මගේ ගෙල
නොදැනුවත්වම...

ඔට්ටු නැත දැං ඉතිං
තුරුම්පු ලැබුනාට
පණ ලැබිය නොහැක යළි
ආත්මය මිය ගොස්ය
ප්‍රේමයට මුලා වී
ගිලී මේ සූදුවේ
ජීවිතය
සින්න වී ගොස්
අවසන්ය ...

මලී
[සකුණි රෑපසිංහ]


සකුණිගෙ [මලී]
කවිය මම ඉස්සෙල්ලම කියවද්දී එක පාරටම සිහියට ආවෙ ජනක මහබෙල්ලනගේ රුයිත දහය. ඒ නමින්ම වු කාව්‍ය සංග‍්‍රය සහ ඒ කවිය. ඇස නොගැටුන අයෙක් ගේ කියවීමට මම එය මෙහි අමුණන්නම්.

රුයිත දහය

ඉලවු ගෙදර
පැට‍්‍රල් මැක්ස් එලියෙන්
මගේ දෑස තුලට
ගලා ආ
රුයිත දහය

කන්නට ගිය විට
මෙසය පුරා
විසිරුනු මල්
රුයිත දහය

නිදන්න ගිය විට
කාමරයේ පුරාත්
රුයිත දහය

ඇගෙ පියයුර
නිතඹ දනිස
වැසුනු ගවුම
රුයිත දහය

ඇගෙ පහස
ඇගෙ සුවඳ
ඇගෙ සෙනෙහස
රුයිත දහය

අවසන් වර
ඇගෙ දෙනෙතින්
මා දුටුවෙත්
රුයිත දහය

ජනක මහබෙල්ලන

මම මෙ කවියට අසාධාරණයක් කලා අත්තනෝමතිකව ඒ කුමක් ද යත් හල් සම කිරිලි සහ පිලිසම කිරිලි ඉවත් කර අපි සමෝධානයෙන් පිලිගත් භාෂා සම්ප‍්‍රදායෙන් ලිවීමෙනි. ජනක මෙ කවිය ලියා ඇත්තේ ඔවුන්ට අනන්‍ය වූ එනම් අජිත් තිලකසේන සහ ලියනගේ අමරකීර්තිලට ආවෙනික වු අසම්මත සිංහලෙනි. එයට ජනක ගේ සිත් තැවුල බලහත්කාරයෙන් ඉවසමි.ඔවුන් සිංහල භාෂාවට රිදවන තරම් අපි ඔවුන් ව නොරිද්දන බව ඉඳුරාම දන්නා බැවිනි.

කවියට එමු.

පිරිමින්ට පේ‍්‍රමය සූදුවක් වන විට ස්තී‍්‍රන්ට එය ජීවිතයකි. ස්ත‍්‍රීන්ගෙ ජීවිතය ස්ත‍්‍රීත්වය එල්ලා නොවැටෙනු පිනිස කරන ප්ලාස්ටික් සර්ජරියේ සිටම බහුබාණ්ඩිකය. ඒ බහුබාණ්ඩික ජිවිතය ඇරඹෙන්නේම පිරිමින් සමග පේ‍්‍රමාතුර වීමෙ මුල් අවස්ථාවෙ වු අල්පේච්ඡු රංගනයකිනි. පසුව එය පේ‍්‍රමයේ මෙරීමත් සමග කැඩිලැක් කාර් දක්වා දිග්ගැසෙන සුන්දර වරදකි. ඇවැසි විට ක‍්‍රීඩාව නතර කරන කුට්ටමකි.

අවසානයක් නැති පිරිම ආශාවත් ආශාවක් නැති ස්ත‍්‍රී හිස් කමත් අතර ඇවිලෙන සීතල ගින්නකි.

එකම කාසියක දෙපැත්ත මෙන් ස්ත‍්‍රියක් සහ පිරිමියෙක් තම රිදුම ගැන ලියැවුන කවි දෙකක හමු වීම මෙලෙස සටහන් කරමි.

වැඩි දුරටත්...

මම සූදුව පේ‍්‍රමය සහ කවියෝ යන මාතෘකාව තව ඩිංගිත්තක් ඉදිරියට ගෙන යන්නේ සකුණිගෙ නිර්මාණයෙන් ඇවිස්සී ගිය මසිත් බඹර වදය සනසා නැවත සන්සුන් කර ගැන්මටය. ඒ මී බිඳු මගේ නොවෙයි. කවි උයනේ නෙක තැන්වල පිපී සුවඳ හළ ඒ මී මෙලෙස අතුරමි. පළමුවෙන් මා කේ කේ සමන් කුමාරයන්ගෙ ජනක මහබෙල්ලන කෙරෙහි වන නිර්නායකත් දෙවනුව එහි නොපෙනී ගිය කලාපයකුත් ඉදිරිපත් කරමි.

කේ කේ සමන් කුමාරට අනුව ජනක මහබෙල්ලන...

මෙ උපුටනය සිය නගා මැරූ අල නිර්මාණ සංග‍්‍රහයේ ජනක මහබෙල්ලන උද්ධෘත වන සිහිපත් කිරීම තුල වූ සඳහන් කිරීම සහ ජනක අමතන කාව්‍ය නිර්මාණයකි.

සිහිපත් කිරීම්

නූතනවාදී සිංහල කවියේ හැඩය නිර්මාණය කළ

සිරි ගුණසිංහ
සේකර
අජිත් තිලකසේන
ආරියවංශ රණවීර
ජනක මහබෙල්ලන

ධනේෂ්වර ලිංගික විප්ලවයේ කාව්‍යමය ප‍්‍රකාශණය
දෝන ඉසබෙලා කොරනේලියා
හෙවත්
පානං පත්තුවෙ ඩිංගිරි අම්මා
හෙවත්
ගජමන් නෝනා


දැන්කවියකට යොමු වෙමු...

පේ‍්‍රමය සහ වෛරය

ඒත් සිගරට් දුමාරය සුන්දරයි පේරාදෙණි.

අනවතප්ත විලෙහි දකුණින් පටන් ගන්නා සිත්නමැතිආකාශ ගංගාවෙ මා තනි කර ඉතාම අඳුරු කුටියක වෙනත් මිනිහෙකුට තුරුළු වෙන්න පෙරාදෙණි. නුඹට ක්ෂීර පථය තරම් මහේක්ෂ කෝ‍්‍රධයක් මා තුළ ජනිත කළ හැකි නම්. එතරම්ම මා ශ්‍රේෂ්ඨයකු ද වෙනු ඇත. නුඹ මට ආලය නොකරන තාක් මා මොනවා හෝ ලියනු ඇත. එහෙයින් මට ආලය නොකරන්න. සදාකාලයටම.

-ඊඩින් උයන
දීප්ති කුමාර ගුණරත්න

පිළිකුල් කරවන්න මට මාවම
දුක හිතවන්න මෙලෙස මට
මා ගැනම
එවිට ජනිත කළ හැක ඔබට
වෛරය මා තුළ
සාපයක් බව ආදරය
පසක් කරවන්න මට මෙලෙස
ආදරය යැයි ඔය කරනා පාජාව
පිළිගත හැක මටත් ඒවිට

ඔය මුඩුම ආදරය
අභිෂේක කරන්න දෙවොලක
ඒත් රිද්දන්න එපා
ජීවිතය හිගා කන
ආදරවන්තයන් මිස
දිවි පරදු කොට ජීවිතය දෙන්නත්

එදා ට තේරුමක් නැති වෙවි
ආදරය කියනා
හැගීමටත්

කේ කේ සමන් කුමාර


හොර මුලක් හදමු අපි

ජනක
මචො
අපි දෙන්නා එක්කම
හොරකං කරමුද කවියක්
මෙන්න
ඒ කවිය

Did you know that old nylons never die ?
they just take on new lives. They:
strain jam, soup , paint or port
stuff teddy –bears and raggy dolls
make long sausage –dog draught -stoppers
get threaded through jumpers to hang on
the washing line.
cover hair –rollers at night in bed (charming)
make stocking caps under pantomime
dame's wigs
help boost your bra
help boost your fan-belt …..in an emergency
climb dangerously between tall sticks for
runner beans to rest on
cut in strips they make bands for parcels
cut up rough they make rag rugs
hold bulbs to dry in the potting shed
are used as masks when robbing banks
and my aunt uses them, much holed, as bird –feeders
and I bet you know dozens more INGENIOUS uses….

(මෙ කවිය ලිවුවෙ Rosemery awthrone නෙමෙමයි.

This poem by ජනක මහබෙල්ලන & කේ කේ සමන් කුමාර

-author's of

-knickers

-bras

-stockings & suspenders)


ජනක අපි පටන් ගම්මු
කවි හොරකං කරන්න
මං කොල්ල කන්න
මාෆියාවක්
මළා!
මං දන්නෑනේ.

ඒක හදලා හුගක් කල්?
ෂික්!

ජනක මචං
අපි
කවි හොරකං කරමුද
නැත්තං තනපටයි
ජංගියි හොරකං කරමු ද?
එහෙමත් නැත්නං
අපි
Triump international
එකේ රස්සාවල්හොයා ගම්මු ද?
1999

තව කවියක් කේ කේ ගෙම...


සූදුව

ඇගෙ ජීවිතය කාඩ් අතකි
උන්ට
කුට්ටම අනා ඇති පදම්
තුරුම්පු ගසමින් උන්
සූදු කෙළිති
ඇගෙ ජීවිතය හා

සූදු අන්තුවකු අත ඇනුණු
තම ජීවිතය
දුහුනකු අත තාවර වන විට
ඈ සිතයි

ආදරය යැයි

සූදු අන්තුවන්ගෙත් සූදු අන්තුවෙක්
විය හැකි බව හේ ඈ නොදනී

සබඳ මෙ ක‍්‍රීඩාවෙ හැටි එහෙමය

මම
පසෙක සිට බලා සිටිමි
ක‍්‍රීඩාව දෙස
මම අතට නොගනිමි කුට්ටම
නොඇනීමි
තුරුම්පු නොගැසීමි
සී සී කඩ විසිරුණු කොල
එකතු කළා මිස

එහෙත්
සූදු අන්තුවාගේ
අණක් ගුණක් නැති නීතිවල
මා සිත පැටලේ
සූදු පොළක අහලක උන්න ද
එහෙමය
අතින් නොගත්තත්
මා
සිතින්
කාඩ් කුට්ටම දරා සිටිමි

මා විනිසුරකුදැයි ක‍්‍රීඩකයකු දැයි
යන්න නොදනිමි
එහෙත් අවසානයේ
කොලෙ ඉරුණු ජීවිතයක
වග උත්තරකරුවා වන බව
දනිමි

සදා කාලෙන් සදා කාලෙට
අතින් අත ඇනී යන
කුට්ටමක් බවට පත් වන්නට
ජීවිතයට ඇගෙ
ඉඩ දී බලා සිටිනවාද
ඩැහැ ගන්නවාද එය
අත දිගු කොට

එද
ඉන්ම
මාද

සිත් පිත් නැති
කාඩ් කුට්ටමක් බවටම
හෙළනවා නොවෙමි ද

තම දිවිය ගැන
තීරණ
ගත යුතුය ඈම
නැතොත්
තව තව ද සූදු පොළවල
සූදු අන්තුවන් අත
ඇනි ඇනී යනු ඇත
ඈ දිවිය

ආදරවන්තයකු යනු
තොරා ගන්නකු මිස
ස්වයංවරයෙන්
තමාව ඩැහැ ගන්නාවත්
අතෙ තැබු විට ගන්නා කෙනෙකුවත්
නොවන වග
වටහා ගත යුතුය ඈ
දැන්වත්


ඒ කේකේ ගෙ කවිය.

කේ කේ ට අනුව ජනක එසේ වෙද්දී දීප්ති කුමාරට අනුව ජනකයන් මෙසේ වෙති.
මා දැන් මෙතෙක් දිය ඇදි කළය පොලවෙ ගසා ලමි. සියල්ලන් කමත්වා.

කවිය විශ්ලේෂණය කරන චින්තිකාවො එය මූලධර්ම දෙකක් ගුරු කොට විමර්ශණය කරති. එක් කොටසක් කවිය අදහසක් දෘශ්ටිවාදයක් අරමුණක් නව භාෂාවක් වෙනුවෙන් පෙනී සිටිතැයි විග‍්‍රහ කිරීමය. තවත් කොටසක් කවිය යනු වචන බව වචන පමණක් ම බව ප‍්‍රකාෂ කිරීමය. ලංකාවෙ සියලුම කවීන් අජිත් තිලකසේන හැර ඉහත වර්ගීකරණයට අනුව අයත් වන්නෙ පළමු කාණඩයටය. ස්ටීවන් මලාමෙ නම් ප‍්‍රංශ කවියා ජනක මහබෙල්ලනගේ පහත කවිය කියවූයේ යැයි නිගමනය කරන්න.

පුර හඳ ගෙන ලෙවකමි මම
හරිම රසයි කිරි මුට්ටිය

මලාමෙ විසින්ඉහත කවිය ගැන ප‍්‍රති කවියක් මෙලෙස රචනා කරයි.

බල්ලොත්
නොකන
කිරි මුට්ටිය

මහා සිංහලේ තවත් ශ්‍රේෂ්ඨ කවියෙක් ලෙස හැඳින්වෙන ආරියවංශ රණවීරගෙ කවියක්ජර්මන් ජාතික පෝල්සෙලාන් කියවූයේයැයි සිතන්න.

වෙහෙසයි හඳට හැබෑවට
කන් දී පෙම්බස්වලට
පිට පිට

සෙලාන් විසින් ඉහත කවිය ගැන ප‍්‍රතිකවියක් මෙලෙස රචනා කරයි.

දැන් කාලේ කොහෙන් ද
පෙම්බස් හඳ යට
හඳ දන්නෙත් නෑ
පෙම් බස් කිව්වට

කවියෙක් විසින් තවත් කවියෙකුගෙ කවි සංකල්පනාවක් විකට රූපයක් බවට පත් කරවන යථාර්ථය කුමක් ද
කවියා තවත්කවියෙකුට ගරු නොකරනනේ ඇයි
මා දන්නා තරමින්ජනක මහබෙල්ලන යනු හොර තක්කඩියෙකි. ජනපි‍්‍රය වීම සඳහා ඔ්නෑම කැත වැඩක් කරන්නෙකි. තමන්ගෙ අධ්‍යාත්මික විරූපි මුහුණ පත්තර කඩමාළුවල පළකර ගැනීමට වෙහෙසෙන්නෙකි. ආරියවංශ රණවීර ජනඝාතක යුද්ධය මෙහෙය වූ ආරක්ෂක අමාත්‍යංශයෙ හිටපු උසස් නිලධාරියෙකි. මෙවැනි අය කවියන් වුවහොත් කෙවැනි ද එම කවි මගින් කිසිවෙකුට කිසිවක් සිදුවන්නේ නැත. අමරසේකරගේ මතයට අනුව නම් අධ්‍යාත්මික මරණය යනු එයයි.

ඒ උපුටනය පේ‍්‍රමය සමට ඩොක්සාවට එරෙහිව -නදී වාසලමුදලිආරච්චි නිර්මාණ සංග‍්‍රහයේ දීප්ති කුමාර ගුණරත්නගෙ පෙරවදනිනි.

මෙ සියලු දේ මෙසේ උපුටා දක්වන්නේ කවියක් සහ එය විසින් කුලුගන්වන දේශපාලනය පිලිබඳ අංශුමාත‍්‍රයක් එලිදැක්වීමටය. වෙනස් නුපුරුදු රටා මතුකර පෙන්වීමටය.

12/25/08