Thursday, July 2, 2009

ජායිපූර් - රෝස පුරවරය [වාස්තුවේ ආලෝකයෙන් දැකීම]

ජායිපූර් - රෝස පුරවරය
නිමිත්ත - ඉන්දියාවෙ ප‍්‍රථම සැලසුම්ගත නගරය වන ජායිපූර්හි සියලුම ගොඩනැගිලි රෝස පැහැති නිසා රෝස පුරවරය නමින්ද හැදින්වේ

මන්දිර, සදළුතල
පියගැට මෙන්ම පටුමං
සියල්ලම රෝස පැහැයෙන්
සිහින නුවරක් ලෙස;
සියල්ල වසා පැතිරිනු
මේ ගුරු රෝස පැහැය
උඩින් උඩින් උඩු ගුවනින් හැලුනාදෝ
බිමින් බිමින් මහපොලොවෙන් ඉනුවාදෝ
හිමින් හිමින් මද සුලගින් පැමිනියෙදෝ
කොයි අතකින් කොයි ලෙසකින් ආවාදෝ
අතීත දුර්ග මං පෙත මත
දිනූ රන් කරඩුවක් ලෙස
මුද්‍රාගත වුවද මේ පුරවර
සුපසන් ඉතිහාස පොතමත
ඒ සියලු මුද්‍රාමත
නොරැුදවු
දසදහස් මිනිස්
ජීවිත සිහින සහ
ලේ මස් ඇට නහර
සංමිශ්‍රීතව ඇත
වියලි ගුරු පොලොවට
එකට; දෙකට; තුන අනුපාතිකව
අධිපති රාජ බල බමනයකට හසුව
ඉතින් මේ ගුරු රෝස පැහැය
සිහිනමය වර්ණයක් නොව
සැම නුවරකටම පොදු
සංයෝග වර්ණකාරක වු
මිය ගිය සිහින වල නොඋපන් කාන්තියයි
ලේ මස් ඇට නහර වල පීඩිත ජීවයයි
මේ මහපොලොවෙම අපරිමිත ශක්තියයි
සැගවූ සැබැවක රහසිගත ස්වරයි

සුසන්ත ජානක

නිවාස යනු ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස ලේ කබුසි [Le Corbusier] පැවසුවෙය. ලේ කබුසි නූතනත්වයට පත්වූ වාස්තු විද්‍යාවේ පුරෝගාමියෙකු වේ. ඔහු විසින් සැළසුම් කොට නිමවා ඉන්දියාවේ ඇති චන්ඩිගාර් නගරය නූතන ඉන්දියාවේ ප‍්‍රථම සැළසුම්ගත නගර නිර්මාණයයි.

සුසන්තගේ මෙ නිර්මාණය මා දුටු පළමු මොහොතේ මසිත උපන් සිතුවිලි අතර ලේ කබුසි ගැන මතකය ඇවිස්සී ගියෙනි ඒ ඔහු ගැන සටහනකින් මෙ කෙටි ලිපිය අරඹන්නට සිතුනේ.
සිටිස් ඔෆ් ඩිස්පෙයාර් [City of Despair] නමින් ඔහු ලියූ නූතන වාස්තු විද්‍යාව පිළිබද කෘතියක වූ සටහනක් මම මෙසේ උපුටා තබමි.
නගරය ප‍්‍රසාරණය වෙනවා.
නගරයේ වීථි ජුගුප්සාජනක යි.
ශබ්ධයෙන් දූෂිත යි.
දූවිල්ලෙන් පිරිලා.
භයානකයි.
මනුෂ්‍යයන් පදික වෙදිකාවල ගාල් කරලා.
ඔවුනොවුන් එකෙකාගේ ගමනට හරස් වෙලා.
එකෙකාගෙ කරේ නැගලා වගෙයි.
පැත්තෙන් පැත්තට මාරු වෙවී ඇවිදින්නට වෙලා.
සමස්ත දර්ශනයම මහා විනාෂයක් වගෙයි.
වාතය දූෂණය වෙලා දුහුවිලි සහ දුම් වලින්.
මාවත් පුරා පැතිර ඇත්තේ මරණයේ ශාපයයි.
ජීවත් වීමෙ ගුණාත්මක සාධක මනුෂ්‍යයකු අත් විදින්නේ කොහොම ද?
කාට හරි මෙහෙම ජීවත් වන්නට පුළුවන් ද?

පරිවර්තනය , උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි

මේ අයුරින් දහනව වන සියවසේ පුනරුදයේ මුල් අවදියේ නගර නිර්මාණය විකාරයක් ලෙස දුටු කබුසි මිනිසාගේ වාසස්ථාන පිළිබද නව කියැවීමකටත් එම වාසස්ථාන සංගෘහිත වන මාර්ග පද්ධති සහ පහසුකම් පද්ධති සදහා වෙනස්ම කියැවීමක් මත පිහිටා කටයුතු කරන්නට ගත්තෙන් වාස්තු ලෝකය පැරණි රෝම- ඊජිප්තු- ගී‍්‍රක සම්ප‍්‍රදායන්ගෙන් බිදී ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස පුනර්කථනය වන්නට විය.

මේ අනුගමනයෙන් සිදු වූ වාස්තුවෙ පෙරළි හේතුවෙන් ෆැක්ටරි හෝ වැඩ බිම් නැවත ප‍්‍රතිසංවිධානය වූයේ ඒවායේ කි‍්‍රයාදාම ද මිනිස් කි‍්‍රයාදාම මෙන්ම වඩාත් උචිත ලෙස වඩාත් පෘථුල ලෙස කම්කරුවන් සූරා කෑමට ඉඩකඩ සලසන අයුරිනි.
එනයින් කබුසිගේ වාස්තුව එදා දවසේ සූරා කෑමට ලක්ව හුන් කම්කරුවන් ගේ ජීවන කොන්දේසි කෙරෙහි ධනාත්මකව බලපාන්නට වන්නේ ය.
වඩාත් මානවවාදී වූත් සූරාකෑමෙ යාන්ත‍්‍රණයකට මානුෂික මුහුණක් දීමට කබුසි සමත් වූයේ එහෙයිනි.
කෙසේ වුවත් කබුසිගේ අදහස වූයේ මිනිස් ක‍්‍රියාකාරකමට අනුව වාස්තුව අදාල වනසේ වෙනස් විය යුතු වගයි. එය අද පළල් අරුතින් වාස්තු විදුදරුවන් ක‍්‍රියාවෙ යොදවන සිද්ධාන්තයකි. [Form Follows Function] ඔහුට පෙර රෝහල්- පාසල් -කර්මාන්තශාලා -උසාවි -දේවස්ථාන යනාදී සියළු ගොඩනැගිලි එකම වාස්තු ලක්ෂණ පෙන්වීය. එය නිවැරදි නොවන වග වාස්තුවට දැනුමක් ලෙස ගෙන එන්නේ කබුසිය.

දැන් මෙ රෝස නගරය ගැන ද කිව යුත්තේ එබදුම නූතනත්වය හරහා පුනර්ජීවය ලද නගරයක් ය යන්නම වෙ.

සුසන්ත නුතනත්වය හඹා යන නගරය ගැන මානවීය මතවාදයක් එකතු කර කවියක් ලිවීම සුවිශේෂි කාරණයකි.

රෝස වර්ණය බිත්ති මත ඇතිරීම අහම්බයක් නොවේ. එමෙන්ම කවියේ පද අතරින් වෑස්සි එන්නා වූ මානවීයත්වය ද ඊට හේතු නොවේ. එම මානවීයත්වය කවියා විසින් ගොඩනැගිලි මත තැවරූවක් මිස එහි යථාව සමග ඓන්ද‍්‍රීය සබැදියාවක් නොවෙ. එම ඓන්ද‍්‍රීය සබැදියාව සොයා යන්නට අපට වර්ණ සහ මිනිසා අතර ඇති ආලෝක විශයෙහි පවත්නා සබැදියාව ට ඔබ්බෙන් ඇති වර්ණ හා බැදුනු මනෝ විශ්ලේෂණ න්‍යායන්හි තෙරකට යා යුතු වන්නේය. එනමුදු සරල හේතුන් මත අධිනිශ්චය වන්නා වූ ජායිපූර් රෝස කතාව මද වෑයමකින් විවරණය කරගත හැක.

වර්ණ ගැන වර්ණාවලිය ගැන ගැලීලියෝ- නිවුටන් සිට මැක්ස්වෙල්- හෙල්ම්හෝල්ට්ස් හරහා අයින්ස්ටයින් -රෝලන්ඞ් බාත් දක්වා අදහස් දහරා ගලා එයි. ඒ ඒ අය තම තමන් අරක් ගත් විජිත වල දොර මුර කපොළු රකිමින් ආලෝකයේ භෞතිකය විග‍්‍රහ කරගත්තෝය. මිනිස් විශයෙහි මනෝ විශ්ලේෂණ න්‍යාය ෆ්‍රොයිඩියානු මතවාදයේ සිට ලැකානියානු මතවාද දක්වා ද සිය සිරුර වර්ධනය වද්දී ආලෝක විශයයෙහි යථාව මිනිස් මනසේ උත්තුංග ක්ෂේත‍්‍රයක් බවට පරිණාමනය වී ඇත්තේය.
ආලෝකය මිනිස් විශයෙහි අත්දැකීමක් ලෙස ප‍්‍රතිසංවිධානය වූ වර්ණ පිලිබද වාදය -වර්ණබේදවාදය නොවේ- වත්මන් දාර්ශණික කතිකාව තුල වියමනක් ලෙස හදුනා ගනිද්දී, රෝස නගරය ගැන යලි යලිදු කියවන්නට අපව පොළඹවයි.
රෝස පැහැය මිනිසා කෙරෙහි සායනික බලපෑම් ඇති කරන ප‍්‍රබල භෞතික සංඥාවකි. වෙනත් අනෙක් වර්ණයන්ට වඩා රෝස පොදුවෙ ස්ත‍්‍රී වර්ණයක් ලෙස ශිෂ්ඨාචාරයේ පිලිගැනීමට ලක්ව ඇත්තේය. රෝස පැහැය ව්‍යුත්පන්න වන්නේ රතු මූලික වර්ණයෙනි. රක්ත වර්ණය මිනිස් රුධිරයේ පැහැය යි. වික‍්‍රමයේ සංඥාවයි- අගහරුගේ පැහැයයි -වික‍්‍රමයට අධිපති කුජගේ වර්ණයයි. බොහෝ සත්වයින් ද රක්ත වර්ණ රුධිරය ලබා ඇත්තේ රසායනිකව ඔක්සිජන් සබැදි නිමවන හිමොග්ලොබින් නමැති රසායනයේ වර්ණය හේතුවෙනි. වර්ණවලට ස්වාභාවධර්මය නමැති මහ පොදු සාධකයෙන් ජීව විද්‍යාත්මකව -උද්භිද විද්‍යාත්මකව- රසායන විද්‍යාත්මකව යනාදී වශයෙන් ශුද්ධ විද්‍යාත්මක පදනම් වලින් විග‍්‍රහ ලැබෙන්නේය.

ජීවයට සම්බන්ධ වන රෝස පැහැය පුරාණෝක්තිවල පේ‍්‍රමය හා නුරාවෙ ලකුණක් ලෙසද ශෘංගාරාත්මක කතනයක ද යෙදේ. අලුත උපන් බිලිදුන් ලිංගිකව වෙන් කරගන්නට ද භාවිත වේ.
කෙසේ වුව ද රෝස පැහැය එම පැහැයට ඉතා සමීප කහ සහ රතු මිශ‍්‍රවීම් හරහා ගොඩ නැගෙන සියළු වර්ණ ස්වාභාවික කහට පැහැයෙන් යුත් ආගමික වක්තෘවරුන් ඇගලන ලෝගු සහ සිවුරු වල පැහැය බවට පත් වේ. ජායිපූර් නගර ගොඩනැගිලිවල සැබැවින් ඇත්තේ එම පැහැයයි. හින්දු ආගමික ප‍්‍රභවයන් තුල විරාජමාන වන වාස්තුව තුල පැහැදිලිව ම ආගමික බව හැර වෙනත් හැගවුමක් මෙම රොස වර්ණයේ ප‍්‍රබෙධයන් රෝස පුරවරයට නොගෙනෙයි.
එනමුදු කවියා විසින් එම ආධානග‍්‍රාහී පශ්චාත් ආගමිකකරණය ට නැවුම් අරුතක් ගෙන දීමට නැවත ආලේප කරන වර්ණය මෙ කවිය තුල විද්‍යමාන වෙ.
සාමුහික ජීවිතය සහ මිනිසාගේ අත්‍යෝත්තර මිය ගිය සිහිනය ගැන කරන්නා වූ පර්යාලෝකනයක් බවට මෙ කව මගේ සිත් ගනී.
මෙ කවිය මිනිසාගේ ජීවත් වීමෙ යන්ත‍්‍රයට නව පණක් පොවන්නේ එබැවිනි. Invisible Cities ලෙස ඉටැලෝ කැල්විනෝ [Italo Calvino] ලියා පළ කළ පෙනෙන නගරවල නොපෙනෙන නගර පිලිබද කෙටි සටහන් පොතේ ඉඩක් මෙ රෝස පුරවරයට ලැබෙන්නේ මෙ සුසන්තගේ කාව්‍යාත්මක අභිනන්දනය හේතු වෙන් යැයි මගේ සිත මට පවසයි.

Sunday, June 28, 2009

සිතක සරදම -කේ පී අචලා උත්පලා -පිලියන්දල -කවියේ රූපකාර්තවත් භාෂා භාවිතය

සිතක සරදම

නිපාතව ඇද හැළෙන
සුනිල මිණිකැට
මහ පොළොව මත ගලා යන අපූරුව.

වැහි දියෙන් තෙත බරිතව
ගතෙහි ඩා මුසුව ඇළලුණු
හැරමිටියේ වාරුවෙන්
දිවිගෙවන මිනිස් කය
නෙත් හෙළයි හිස් අහසට...

සිගිති ඇතැඟිලි පටලවාගෙන
ළා බිංදු පොද වැස්ස
රතදරින් සිඹ සිඹ
ප්‍රේමයෙන් වෙළී යන අපූරැව
ඔහු සමග ඈ...

දිරා යන කශේරැව සිරස් කොට
නෙත් යොමා හෙමි හෙමීට
කසට වුණු දත් පෙළෙන්
සිනහලයි මහලුකම
ප්‍රේමයෙන් ඔද වැඩුණු තරැණ සමයට...

කේ පී අචලා උත්පලා -පිලියන්දල

රිවිර 28-06-2009

මෙ කවිය මට හමුවුනේ රිවිරෙ අරුණැල්ල කවි පිටුවෙන්.

මෙ කවියේ රූපකාර්තවත් භාෂා භාවිතය පිළිබද ඉස්මතු කිරීමක් කළ යුතුයැයි හැගුණෙනි මෙ සටහන.

නිපාතව ඇද හැලෙන සුනිල මිණි කැට ලෙස වරුසාව රූපකාර්ථවත් කිරීම කොතරම් අපූර්වත්වයක් ජනනය කරන්නේ ද ? මා දන්නා පරිදි මහ සන්නිපාත වරුසා ගැන කොතරම් යෙදුම් ව්‍යවහාරයේ තිබුන ද නිපාතව ඇද හැලෙන වරුසාවක් ගැන කිසිවෙකුත් සදහනක් කර ඇත්දැයි මසිත කුකුස් දේ.
මෙ යෙදුමෙ සාරාර්ථය වැටහෙන්නේ කවියේ අවසානයේදී මනස ඔසොවා තබන්නා වූ චිත්ත රූපයන් සමෝධානවය.

සිය තරුණසමය ඉක්මවා ගිය වැඩිහිටියකු වැස්සේ තෙමෙමින් එනමුදු පේ‍්‍රමයෙන් ඔකදව යන තරුණ මදයෙන් ඔත් යුවලක් කෙරෙහි උපදින හැගුම විචිත‍්‍රව වදන් පෙළකට හික්මවා ගන්නට හැකි වීම මෙ කිවිදියගේ අපූර්වත්වයයි, කවියේ අපූර්වත්වයයි.

දිරා ගිය කෂේරුව සිරස් කර සෙමෙන් නෙත් යොමා තරුණ යුවල වෙත ඈතින් මැකී යන මහලුකම සිනහ සලද්දී පේ‍්‍රමයෙන් ඔද වැඩුනු තරුණ සමයට වැස්සක වුවද සැර පරුෂ බව නිවී යන්නා සේය

කොතරම් මනෝහර කාව්‍යයක් ද මෙය?