Wednesday, June 24, 2009

කවුළුවක්...-සුසන්ත ජානක-ප්‍රේමයේ වාස්තවික සබැඳියාව ගැන වචනයක්

කව්ළුවක්...

පොලොවට ගොඩක් දුර
කව්ළුවක් ලග හිද
අප එදා නැරඹුවා
ඇතුලත සිටම
පිටත

දුටු මතින් ඔබ දෙනෙත
බදා ගත්තා වැලද
පල මලින් සැරසි
උදාරමි තුරු සිරස

මම දුටිමි ඒ හා සමව
නිපදනු පිනිස මල් පල
මහ පොලව මත වැතිර
දහදුක් විදින මුල් පෙල

ගස පිලිබද මතක
කව්ළුවක් වී මහද
කියා දුන්නා මටම

ඔබ මලක් උනත්
මම මුලක් බව
එතැන් සිට
ඇරඹුනා
මියයන්න
මුල, මල යාකරන කඳ
සුසන්ත ජානක

මට මෙ කව මුලින්ම හදා දුන් රූපාවලිය වූයේ ගුවන් යානයක ගමනක යෙදෙමින් සිටින තරුණයකු එබඳුම ගමනක යෙදෙමින් සිටිනා තම නෙත සිත ගත් තරුණියක කෙරෙහි උපන් ආකර්ෂණය පිලිබඳ කරන්නා වූ පසු කියවීමක් ලෙසය. ප‍්‍රථමයෙන් කියැවෙන පේලි කිහිපය මට ඇගවූයේ එබඳු සිතුවමකි.
දෙවනි වර කියවද්දී මට දැනුනේ සිය මනෝකායේ සැරිසැරීමක අත්දැකීමක් සනිටුහන් වීමක් ලෙසය. කෙසේ වුවද කාව්‍යයක සරල බවින් මිදී පේ‍්‍රමය පිළිබඳ සංකූල සංකල්පනා හරඹයක් ලෙස ද මම මෙ නිර්මාණය දකිමි.
පිටත දුටු මතින් ඔබ දෙනෙත
බදා ගත්තා වැලද
පල මලින් සැරසි
උදාරමි තුරු සිරස මම දුටිමි ඒ හා සමව
නිපදනු පිනිස මල් පල
මහ පොලව මත වැතිර
දහදුක් විදින මුල් පෙලගස පිලිබද මතක


මෙම වචනාවලිය ඇගවුම් කරන්නේ තම සිතැඟි රෑබරිය මලක් මෙන් වැලඳ ගත් හෙතෙම මහ පොලව මත වැතිරී ඇති මුල් පද්ධතියක් මෙන් පසෙහි පෝෂණය උරා මල් ඵල නිපදවීමෙහි යෙදී ඉන්නා සේම ඇය සුරකින පෝෂණය කරන අයුර පිළිබඳවය.
මෙතන හරියටම මතක කවුළුව යන යෙදුමින් ඉස්මතුවන අරැත මෙ නිර්මාණ පසුබිමෙ මට ගලපා ගත නොහැකි වූව ද එය අතීතාවර්ජනයක් හා සමපාත අරැතක් ලෙස උපකල්පනය කළ විට කවියේ ආත්මය හසුවේ.

දැන් මෙ කවියේ ද්වන්ධාත්මය නොහොත් විරෝධයන්ගේ සමාකලනය හෝ පරස්පරය ගැටෙන තැනට එමු.
මතකයේ රැඳුනු පේ‍්‍රම චින්තාවලිය තුල ඇය සිහිගැන්වූ යථාව නම් ඇය මලක් වද්දී කවියා මුලක් වී ඇය පෝෂණය වන ආකාරයත් එය සදා ලෝක ධර්මය වන බවත්ය.
එනමුදු මල සහ මුල යාකරන කඳ මියෙන්නට පටන් ගැනුම යනු පූර්වාපර සබැඳීම දෙදරවන්නකි. පූර්වයෙන් අපට අධිනිශ්චය වන්නා වූ ලෝකායත ප‍්‍රාර්ථනයත් අපරව කවිය විසින් මතු කරන සදාකාලික ලෝකෝත්තර දැනීම් මාත‍්‍රයත් වෙනස් මගකින් එම සබැඳියාව විලෝපනය කරමින් සිටියි.

පේ‍්‍රමයේ වාස්තවික සබැඳියාව හුදෙක් ආශාව පිළිබඳ ගතිකයන් ඉක්මවා යන්නක්ද යන උභතෝකෝටිකය මතු කරන්නා වූ මෙම නිර්මාණය සාමාන්‍ය පෙම්කවක් මූලෝත්පාඨනය කර විශද කරයි.

මා තවමත් නොදන්නා, එනමුත් වචනරැුත් ඔස්සේ දත නොහැකි මෙ යථාව ලිහා පෙන්වන්නට මෙ කව සමත් වන්නේ යැයි අනුමානයක් මා තුල වේ.

අරුන්දතී රෝයි ගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා-සංවාදය/කියැවීම-නුගේගොඩ සරසවිය

Sankha Ranadheera Vithana Reported on 19/06/2009

කට්ටියක් නුගේගොඩ සරසවි එකේ දෙවෙනි තට්ටුවේ අයිනකට වෙලා බිම ඉදගෙන පොතක් ගැන කතා කරන්න සෙට් වුනා.

පොතේ නම සන්තියාගෝ නම් සැරිසරන්නා,

පාව්ලෝ කොයියෝගේ The Alchemist නම් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ චූලානන්ද සමරනායක. ඔහු තමන්ගේ අදහස් බෙදාගන්න එතනට එකතු වුනා.

සතිදෙකකට වතාවක් බ‍්‍රහස්පතින්දා හවස 5.45ට සරසවියට ඇවිත් පොතක් ගැන කතාකරන්න එකතුවෙන්න ඔබටත් ආරාධනා.

ඊළග පොත අරුන්දතී රෝයි ගේ සුළු දෙය ඇසුරු කළ දෙවියා.
තැන එතැනමයි......24 බදාදා සවස 5.45ට නුගේගොඩ සරසවිය.

අවසාන වශයෙන් අපිත් විශ්වාස කරන චූලාඅයියා කිව්ව කතාවක් මේ....

”අකුරුවලට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් ශක්තියක් ‍තියෙනවා කියලා මම තාම විශ්වාස කරනවා”

(එදා වැඩසටහන පටිගත කරන්න නොහැකි වීම ගැන කණගාටුයි. ඒත් ඊළ`ගට ඒවා අනිවාර්යෙන්ම පටිගත කරනවා විශේෂයෙන් අපේ විදෙස්ගත සහොදර සහෝදරියන් වෙනුවෙන්.)

Sankha Ranadheera Vithana