Wednesday, June 12, 2013

අතුරුදන් වී

අනාගතයෙන් ඇවිත්
මා ඉපදෙන්නට නියමිතව තිබූ
කාලයට පෙර
අතීතය ට ගොස්
ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ
ශුක්‍රාණුව උගුලා දමා
ගියා නම්
මා
සැනින්
අතුරුදන්
වේ!

අප මේ ජීවත් වන වකවානුව
ඒ තරම්ම පුදුම සහගතයැ
මේ අප අතර හිටි මිනිසුන්
හිටිගමන් අතුරුදන් වී යයි
ඔවුන් කෑ-බී-ගමන් ගිය-හැසිරුනු
සියලු තැං හිස්ව යයි
කිසියම් දිනයකට පසු
කිසිවෙකුත් ඔහු දුටු බව නොකියයි
කිසිවෙකුත් ඔහු දැක නැති බව කියයි

අනාගතයෙන් ඇවිත්
අප ඉපදෙන්නට නියමිතව තිබූ
කාලයට පෙර
අතීතය ට ගොස්
ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ
ශුක්‍රාණුව උගුලා දමා
ගියා නම්
අපි
දැං
මෙතන
නැත!

ඉතිං තාම
කාල තරණ යන්ත්‍ර
හදා නැතැයි
කියන්නේ කවුද?