Tuesday, November 16, 2010

එරික් ඉලයප්පාරච්චිගේ රෝස්බඩ් රහස හෙවත් "ඉන්දියාව ශූන්‍ය සෙවීම"

එරික් ඉලයප්ආරච්චිගේ "රෝස්බඩ්" රහස හෙවත් "ඉන්දියාව ශූන්‍ය සෙවීම"

එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‍දේශාටන සටහන් ඉක්මවා යන සිය ඉන්දියානු චාරිකාවේ මතක ශේෂ පත්‍රයේ ලිඛිත පඨිතය සිංහල පාඨකයන්ට අමුතුම අත්දැකීමක් ‍වනු නොඅනුමානය.

"ඉන්දියාව ශූන්‍ය සෙවීම" නම් වූ මේ කෘතිය තුළ එරික් යථා ලෝකයේ ඉන්දියානු මිනිසුන් ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ඔවුනගේ පරිසර සන්දර්භ තුළම තබා විචිත්‍ර ලෙස පඨිතයක් බවට පරිවර්තනය කරන්නේ හුදෙක් සංචාරක සටහනක මාන වලට ඔබ්බෙනි.

ඉන්දියානු ඉතිහාසයේ සැඟවුනු ගුප්ත පෙදෙස් වලට ඉහලින් සැණෙලි දල්වා එම විචිත්‍රයෝ ඊට උචිතම ආඛ්‍යානයකින් ලියා ඇත්තේ යැයි සපථ කරනු රිසි ඇති තරම් උදාහරණ සැපයීමට හැකි කෘතියකි ඉන්දියාව ශූන්‍යය සෙවීම.

සරල බස් වහරකින් ලියැවී ඇති හෙයින් ඒකාකාරී කියැවීමකට එදිරිව එම අත්දැකීම් වඩාත් විනෝදාත්මක කතන්දර ස්වරූපයක් ලෙසත් ප්‍රායෝගික ලෝක තතු හා පටලමින් බහු විධ හැඟවුම් ඔස්සේ වියන්නට වැය කළ ශ්‍රමය ඵල දරා ඇති වගකි. මෙහි එන පරිච්ඡේද 28 වෙන වෙනම කෙටි කතා ස්වරූපයක් ආකාර වූ සටහන් විශේෂයක් යැයි ද ලියා තැබීම එතරම් වරදක් යැයි නොපෙනෙන තරමටම එම කොටස් ‍එකිනෙකින් ස්වායත්තව කෘතිය තුළ තම පැවැත්ම රඳවා ඇත.

කෘතියේ එන සියළු පරිච්ඡේද නව්‍ය වූ මාතෘකා වලින් සුපෝෂිතය.

නියාමන ඉන්දියාව-පළමුවෙනි පාඩම-තුර්කි කුමාරි සහ සිහින කුමාරයා-ගොල්කොණ්ඩාවේ විද්‍යුත් ටීකාව-අරුම පුදුම ඉන්දු ලංකා සිතියම-එළදෙනුන් මැද බීතෝවන්-නේරුගේ දරුවෝ-විල මැද බුදු රුව-තෙළිඟු කටුගේ සහ නිදහසේ බසය යනාදී වූ ‍මාතෘකා 28 ක් විසින් කුළු ගැන්වෙන පරිච්ඡේද එකකට එකක් රසාලිප්ත බවින් තරගකාරීය. සෑම පරිච්ඡේදයකම අවසන් වැකි කීපය පඨිතයක තිබිය හැකි සුරතාන්තයක් වෙතොත් එයින් පරිසමාප්ත ය.

මෙහි කතෘ ඉන්දියාවට යැවුනේ ජාත්‍යන්තර වැඩමුළුවකට සහභාගි වීමට බැවින් ඔහු ඇතුළු පිරිස බෙල්ලා විස්ටා නම් වූ ඉන්දියානු ප්‍රභූ මන්දිරයක දී එකතු වේ. එම ප්‍රාරම්භක සිදුවීම් වල දීර්ඝ විස්තර මගහැරයි මේ උපුටන්නේ. ඔවුනගේ පාඨමාලාවේ සමායෝජකයා වූ ආචාර්ය ගෞතම් ගෙන් පිරිස අතර වු අයෙකු ඇසූ පැණයකට දෙන පිළිතුර පාඨකයා මුල්වරට ක්ෂතිමය අත්දැකීමකට පත් කරන්නේ යැයි කෙසේ නොපවසම් ද?

"ඩොක්ටර් ගෞතම් ඉන්දියාව හින්දු රටක්. ඇයි ඔබ ක්ෂේත්‍ර චාරිකාවට බෞද්ධ වන්දනා ගමනක් ලෑස්ති කළේ? හුඟක් වටින හින්දු සිද්ධස්ථාන ඇති බලන්න... කෛලාස කූටය... කුරුක්ෂේත්‍රය."

"අපි කාජුරාහෝ ටෙම්පල් යමු." යි තවකෙකු පැවසූවේ වත්ස්‍යායනගේ කාම සූත්‍රය සියැසින් දකින බලාපොරොත්තුවෙනි.

ආචාර්ය ගෞතම් ගේ මුහුණින් මතු වුණ අංග චලනය නිසා ‍ඔහුගේ දෑසේ රැඳී තිබුණු උපැස් යුවළ දෙකම්මුල දක්වා පහළට වැටුණේය.

"බුඩිසම් කියන්නේ අපේ ඉතිහාසය...ඒක එම්පරර් අශෝකගේ මෞර්ය ඉතිහාසය... අපි ශතවර්ෂ ගණනාවකට කලින් අපේ බුඩිසම් ශ්‍රී ලංකාවට යැව්වා. ඊට පස්සේ පාලි පිටක ටිකත් අපි අර්හත් මහින්ද අතේ ශ්‍රී ලංකාවට යැව්වා. දැන් අපි නිදහස්. අපි දැන් අපේ හනුමන් එක්ක වාසය කරනවා."

-පිටුව 21

මේ ලියැවිල්ල තුළ අන්තර්ගත වන ව්‍යංගාර්ථ සිංහල බෞද්ධයකු ‍ඉන්දියාවේ අන්ධ භක්ත්‍යාදරයකින් වන්දනාවේ යාමකට වඩා බොහෝ දුර පාඨකයා කැඳවා යයි. විටින් විට හමුවන ඉන්දියානු ඉතිහාසයේ තැනින් තැන විග්‍රහයන් ද ඒවා කාලීන තතු සමගින් ඒකාබද්ධ කර ගොඩනැංවෙන නැවුම් සංලක්ෂ්‍යයන් ද කියවන්නා වඩාත් නිදහස් සිතුවිලි තුළට කැඳවා යන්නට සමත් වෙයි. හුදෙක් අන්තගාමී ආස්ථාන තුළ කැටි ගස්වා ඇති විඥානවාදී ලෝක දැක්ම නම් වූ ලිං මැඩියා හුදෙක් ද්‍රව්‍යවාදී මේසයක් මත තබා කපාකොටා මතු කරන ප්‍රායෝගික දාර්ශනික අතුණුබහන් ද මෙම ලියැවිල්ලේ වටිනාකම බහුගුණ කරයි.

මේ ෆූකෝගේ භාරතය  පරිච්ඡේදයේ ඇරඹුම යි.

භාරත භූමියේ ධනය සහ බලය අතරට අධ්‍යාත්මිකත්වය ද ඇතුළත් වෙයි. ස්පිරිචුවැලිටි [Spirituality] එහි ප්‍රධාන බල සාධකයකි. ගංඟා නදිය පවා බල ප්‍රවාහයකි. එහි ජලය සහ ඉවුරු යනු බලය යි. එය ජීවත්වන්නවුන් සහ මළවුන් දෝවනය කරමින් ගලා බසියි. ලක්ෂ සංඛ්‍යාත බැතිමත්තු වන්දනා ගමනෙහි යෙදෙති. වාර්ෂික උත්සවවලට සහභාගි වෙති. යෝගීහු හිමාලයේ දරුණු ශීතල දරා ගෙන සිටිති. ආගමික ප්‍රතිමා මල් වැල්වලින් වැසී යයි. කිරෙන් සේදෙයි. රුක් කඳන් වටේ රතු නූල් බැඳෙයි. ක්‍රිෂ්ණා රාමා වැනි චරිත රඟ පෑ නළුවෝ දේශපාලන සිනමාවේ ජය කෙහෙළි නංවති. සාමාන්‍ය ඉන්දියානුවා තිලකය නිසා බල සාධකයක් බවට පත්වේ. ඔහු සහ අනෙකා අතර බල සම්බන්ධතාවක් ගොනැංවේ. කතාබහ ගරුසරු වෙයි. නෝබොඩි [Nobody] සම්බොඩි [Somebody] වෙයි.

-පිටුව 134

ෆූකෝ ගේ භාරතය හරහා එරික් අපව සෝසරියානු සෙමියෝටික වපුරා ඇති පෙදෙස්වල පවා දෙපා තබන්නට ආරාධනා කරයි.

ඉන්දියානු මිනිසාගේ පසුබිමේ වන දේව සන්දර්භය සමාජ ආර්ථික යථාවක් ලෙස වියමන් කරන එරික්, එය එබඳු ප්‍රායෝගික යථාවක් වීමේ භාෂාත්මක ඇබ්බැහිවීම් ලියා දක්වා ඇති ආකාරය සිත් කා වදින සුළුය. එම කටයුත්තම මහාචාර්ය හජිමෙ නකමුර විසින් නවසිය හැටගණන් වල ආසියානු සංස්කෘතියේ මූලයන් කෙරෙහි බල පෑ භාෂාත්මක චින්තන විධි ගැන ගැඹුරින් හදාරා ලියා පළ කර ඇත. 


ඉන්දියානු දෙවිවරු තාපසයෝ හෝ මුනිවරු හෝ නොවෙති. ඔවුහු ලෞකික කටයුතුවලට මැදහත් වෙති. ඔවුන් කායික වශයෙන් ද අතිශයින්ම ප්‍රසාදජනකය. සුන්දරය.පිරුණු ලොකු පයෝධරවලින් පමණක් නොව උල් තන පුඩුවලින් ද යුතුය. බැතිමත්තු මුදලින් හා රනින් දෙවියන් පුදති. ප්‍රසිද්ධ තිරුපති දේවාලයේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 කට වැඩි බව වර්මා කියයි.


ඉන්දියානුවා දෙවිවරුන්ට දක්වන්නේ ඥාති හා ප්‍රභූ ගෞරවයකි. දෙවිවරුන්ගේ පුරාවෘත්ත හා ඔවුන් විසූ ස්ථාන ඉන්දියානු පොළවේ සහ භූමි දර්ශනයේ කොටසකි. වෘන්දා වනයේ සිට කෛලාස කූටය දක්වා ස්ථාන භාරත සිතියමේ ලකුණු කළ හැකිය. දෙවියකුගේ හෝ සෘෂිවරයකුගේ හෝ නමක් ගිනි පෙට්ටියක, ගෑස් සිලින්ඩරයකට, ගුවන් සේවයකට දැම්මා ට ඉන්දියාව පමණක් නොව නොව නේපාලය වුවත් කලබලයට ‍පත්‍‍ නොවේ.


-පිටුව 136

ඉන්දියාවේ ගුණාගුණ සමබරව ලියා තබන එරික් කිසිදු ස්ථාවරයක තදින් නොඇලී සුපේෂල- ශික්ෂිත- සෘෂිවරයෙකු සේ දිය මතුපිටින් ඇවිද යන්නා සේම, දිය යටින් ගින්දරක් වුවද ගෙන යා හැකි ආකාර වූ ශෛලිය තුළින් ලිඛිත මේ ඉන්දියානු අත්දැකීම මතුපිටින් පළ කරන ව්‍යංගාර්ථයට වඩා ගැඹුරු තැනකින් විශද කරනු ලබන්නේය යන්න මගේ අදහසයි.

ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පතුන් ය. අකුරු නොදන්නවුන් ය. ජනගහනයෙන් අඩක් මන්ද පෝෂණයෙන් පීඩා විඳිති. ග්‍රාමීය ප්‍රදේශවල නිවාස දහයෙන් නවයකට වැසිකිලි නැත.

මෝඩි කියන්නේ ඒ දුප්පත්කමට ප්‍රධාන හේතුව රජයේ නඩත්තු වියදම සහ පාලක පංතීන්ගේ සුඛෝපභෝගී ජීවිතය බවයි. ඉන්දියානු නයි පෙට්ටියේ විෂඝොර සපුන් තිදෙනෙකි. කුලවාදය, වර්ගවාදය සහ දූෂණය ඒ විෂ සර්පයෝ වෙති. නිදහස් ඉන්දියානු රාජ්‍ය තුළ ඒ සර්පයෝ හිස ඔසවති.

-පිටුව 43

ඉන්දියාවේ ශූන්‍ය සොයා එරික් ගිය ගමනේ සැබැවින්ම ඔහු අතපත් ශූන්‍ය කුමක්ද? මේ ලිපි මාලාවේ ඇති හැඟවුම්කරණයේ ලාභය සුළුපටු යැයි කිව ‍නොහේ. නූතන සන්දර්භය තුළ වියමන් විසින් අත් කරගන්නා හැඟවුම්කරණයේ ආධිපත්‍යය කුමනාකාරදැයි විග්‍රහ කරගත හැකි මනා නිදර්ශකයක් ලෙස මෙම කෘතිය පරිශීලනය කළ හැකි බැව් මගේ විශ්වාසයයි. මහාචාර්ය පී බී මීගස්කුඹුර විසින් පරිවර්තනය කරන ලද ජපන් ජාතික මහාචාර්ය හජිමෙ නකමුර විසින් විරචිත පෙරදිග මිනිසුන් ගේ චින්තන විධි නම් වූ සුවිසල් ග්‍රන්ථයේ එන භාරත‍ය පරිච්ඡේදයේ සෛද්ධාන්තික කාරණා අතිශය ලිහිල් බසින් ලියැවී ඇති සාහිත්‍ය කෘතියක් ආකාරයකට ද මේ ප්‍රයත්නය නැවතත් හඳුන්වා දිය හැකිය.

ඉන්දියානු සංස්කෘතියේ මංමාවත් වල පොත් රාක්කයක් බැඳ ගත් කරත්තයක් පදවා යාමක් සේ එහි අර්ථපූර්ණ සියළු සංසිද්ධි තම නිරීක්ෂාක්ෂියෙන් සෙමින් සෙමින් අවලෝකනය කිරීමේ සාහිත්‍යයික ක්‍රීඩාව මෙබඳු යැයි මට සිතේ. එයාකාර වූ "සිනේබ්ලිට්ස්" සඟරාවෙ නම ගැන සටහන අපූරු විග්‍රහයකි. එය සඳහන් වන්නේ 12 වැනි පිටුවේය.


"සිනේ බ්ලිට්ස්" සඟරාවේ ආදර්ශ පාඨය අපූරු එකකි. "C to Z of Hindi Films-Everyone covers AB" -"මේ හින්දි සිනමාවේ සී සිට ඉසෙඩ් දක්වා කතා කරන සඟරාවයි. කොයි කවුරුත් ඒ බී ගැන කතා කරයි."  එය තේරුම් ගන්නට ටික වේලාවක් ගත විය. AB යනු අමිතාබ් බච්චන් ය. කව්රුත් ඔහු ගැන කරයි. ඒ නිසා සිනෙ බ්ලිට්ස් සඟරාව C සිට Z දක්වා කතා කරයි. C යනු අනර්කලී ,අප්නා ,සප්නා ආදි චිත්‍රපටවල රඟපෑ සෙලීනා ජෙට්ලි නම් Z යනු හරේ ක්‍රිෂ්ණා හරේ රාමා , සත්‍යම් ශිවම් සුන්දරම් ආදී චිත්‍රපටවල රඟපෑ සීනත් අමාන් විය හැකිය.
-පිටුව 12

මෙය අතිශය විචිත්‍රවත් විසංයෝජනයක් යැයි මට සිතේ. මට එක්වරම හිතුනේ CINEBLITZ යන සඟරාවේ ඉංග්‍රීසි නාමයේ මුලකුර සහ අගකුර C සහ Z වීමෙන් එය සඟරාවේ අන්තර්ගතයේ සීමාවන් ලෙස ගෙන C to Z of Hindi Films-Everyone covers AB ස්ලෝගන් එකට ගන්නට ඇතැයි කියාය. බාගවිට මූලික දේවල් ගැන කතා කරන බොහෝ සඟරා අතුරින් සිනෙබ්ලිට්ස් වඩාත් ගැඹුරින් දේවල් සාකච්ඡා කරන්නේ යැයි ද හැඟවුමක් මෙහි නැතැයි කීමට කාට හැකියාවක් ඇත්ද?


නේරුගේ දරුවෝ පරිච්ඡේදයේ ඇරඹුම මනෝහරය. එය සෝසරියානු භාෂා සිද්ධාන්ත සංචාරක සටහන් පොතට කැඳවන්නට සමත් වන්නේ යැ. ෆූකෝ ගේ භාරතය හමු වන්නේ 22වන පරිච්ඡේදයේදී ය. එරික් මිනිස් ඉතිහාසය තුළ සෙමියෝටික දැනුමේ ප්‍රභවය පිළිබඳ කදිම ඔටුනු  පුරෝගාමීත්වයක් ඉන්දියානුවන් වෙත පළඳවයි.


භෞතික සමාජයීය දේශපාලනික මානසික ඕනෑම දෙයක් පිළිමයක් පින්තූරයක් කර ගන්නට ඉන්දියාවට පුළුවන. ඉන්දියාවට දෙවිවරු බොහෝ ගණනක් සිටිති. සමහර දෙවිවරුන්ට අවයව බොහෝ ගණනක් තිබේ. තවත් සමහර දෙවිවරුන්ට ස්වරූප කිහිපයක්, ජීවිත කිහිපයක්, අවතාර කිහිපයක් තිබේ. දෙවිකු බිහිකර ගැනීමේ දී විරූපවීම නොගැලපීම, හාස්‍යජනක වීම, බහුරූපවීම ආදී නිරූපණ බාධා ඔහුට නැත. ඉන්දියානුවාට හඟවන [Signifiers] බොහෝ ගණනක් ද හැඟවුම් [Signifieds] බොහෝ ගණනක් ද තිබේ. හැඟවුම්කරණයේ [Signification] ග්‍රෑන්ඩ් මාස්ටර් ඉන්දියානුවාය.

පිටුව 54

සිටිසන් කේන් [Citizen Kane] නම් වූ ඇමරිකානු  සිනමා පටයේ කේන්ද්‍රය වන්නේ කෝටිපති මාධ්‍ය ව්‍යාපාරිකයකු වන චාල්ස් ෆොස්ටර් කේන් නමැති ප්‍රභූවරයා මිය යන මොහොතේ මුවින් පිටවන එකම වචනය වූ රෝස්බඩ් [Rosebud] යන්නෙහි රහස සොයා යන පුවත්පත් වාර්තාකරුවකු ගේ අත්දැකීම් ඔස්සේ කේන්ගේ ජීවිතය හාරා අවුස්සා බැලීමයි.

ජෙරී තොම්සන් නම් වූ මෙම වාර්තාකරු විසින් හඹා යන කේන්ගේ ජීවි‍තයේ සමීපතමයන්ගේ අතීතාවර්ජන හරහා කේන්ගේ මේ මුවින් පිටවූ වචනයේ තේරුම සොයා වෙහෙසී, පසුව එය හුදෙක් ඔහුගේ ජීවිතයේ නොලද එකම එක දෙයක් විය හැකියැයි උපකල්පනයෙන් එය සෙවීම නිෂ්ඵල ව්‍යායාමයකැයි අතහරින මොහොත දක්වා ගමනේ සිනමාත්මක වියමනයි.

පසුව සිනමා පටයේ එම රහස අනාවරණය වන්නේ ඉතාම ගුප්ත ආකාරයකටය. සැබැවින්ම ඔහු රෝස්බඩ් යැයි පවසන්නේ ළමා කාලයේ හිම මත ලිස්සා යන්නට භාවිතා කළ ලෑල්ලකටය. එම ලෑල්ල කේන්ගේ මරණයෙන් පසු ඔහු පරිහරණය කළ භාණ්ඩ සහ එකතු කළ නොයෙකුත් ද්‍රව්‍ය තෝරා බේරා නොවටිනා දේ පුළුස්සා දමන අවස්ථාවක එම ගින්නට දමා විනාෂ කර දමන අයුරු ප්‍රේක්ෂකයාට දැක ගත හැකි වනු ඇත්තේය.

කේන් සිය ජීවිත කාලය තුළ ඇමරිකානුවකු විසින් එම නිරූපණය වන කාල ප්‍රාන්තරය [40's] තුළ ඇමරිකන් පොළව මතුපිට අත් කර ගත හැකිව තිබූ බොහෝ දේ හඹා යන්නෙකි. මාධ්‍ය ව්‍යාපාරය හරහා මිනිසුන්ගේ සිතුම් පැතුම් නතු කර මෙල්ල කර දේශපාලන බලය ගොඩනගා ගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ ලේලියක විවාහ කරගන්නා ඔහු ඉන්පසුව මුහුණ දෙන විවිධාකාර සමාජ කුමන්ත්‍රණ තුළ ගිලී ඒ සියල්ලේ ගැටී හැපී සිය ධනයේ ගිලී අවසානයේ ඇතුළු වීම තහනම් යැයි ලෑල්ලක් එල්ලූ දැවැන්ත මන්දිරයක හුදෙකලා ජීවිතයකට තල්ලු වී අවසානය කරා ගමන් කරයි. ඔහු මෙලොව පුද්ගලයෙකු සතුව ඇති අති සුඛෝපභෝගී නිවාඩු නිකේතනයද නිමවා යුරෝපය පුරා සංචාරය කර එම රටවල දී මිල දී ගත් විවිධ ප්‍රතිමා මූර්ති සංරක්ෂණය කරමින් තම ගුප්ත ලෝකයක හුදෙකලාව විඳිමින් ද අසාර්ථක විවාහ දෙකකින් මැඩී අතිශය අතෘප්තිකර ජීවිතාවසානයක් උදා කරගන්නෙකි. ඔහුගේ මරණමංචකයේ මුවින් පිටවන රෝස්බඩ් යන වචනය අසන්නෙකු සිනමා පටයේ නම් දකින්නට නොහැකි වුවද එය කිසියම් අයුරකින් ඔහුගේ මුවින් පිටවූ අවසන් වචනය ලෙස අපට දැක ගන්නට සිනමාකරු සලස්වා ඇති හෙයින් මුළු කතාවේ කේන්ද්‍රීය දෙය බවට එම වචනය පත්වේ.



සිටිසන් කේන් මෙම ලියැවිල්ලට ඇතුළු වන්නේ එරික්ගේ පොතේ 77 වන පිටුවෙනි.

අසූව දශකයේ සිට ඉන්දියාවේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විප්ලවයක් දියත් වෙමින් තිබේ. බටහිර බොහෝ රටවල පුවත්පත් අර්බූධයට යමින් මුද්‍රණය නතර වන විට ඉන්දියානු පුවත්පත්වල අලෙවිය විශාල වශයෙන් ඉහළ යයි. පත්තර සඟරා සංඛ්‍යාව ද වැඩි වෙයි. ඉන්දියාව මුද්‍රිත මාධ්‍යයේ විප්ලවයකට සූදානමින් සිටින බවත් හින්දි හැඩරුව ඇති සිටිසන් කේන් කෙනෙකු වුවමනා වී තිබෙන බවත් රොබින් ජෙෆ්රි පවසයි.


"ඔර්සන් වෙල්ස් නිපද වූ ජාතියේ සිටිසන් කේන් චිත්‍රපටියකට සුදුසු අමුද්‍රව්‍ය ඊනාඩු පත්තරය පසුබිමේ ඇති කථාවේ ඇතුළත් වී තිබේ. සමහර විට අරුන්දතී රෝයිගේ නවකථාවේ මෙන අච්චාරු ෆැක්ටරියක් ද ඊට එකතු විය යුතුය. ඊනාඩු පත්තරේ පටන් ගන්නට වුවමනා ධනය රාමෝජ් රාඕට ලැබුණේ ද අච්චාරු ෆැක්ටරියකිනි."


තෙළිඟු භාෂාවෙන් පළ වන ඊනාඩු මිලියන 70 ක් වූ තෙ‍ළිඟු ජනතාවගේ පත්තරයයි.එය ප්‍රංශයේ ජනගහනයට වැඩි ප්‍රමාණයකි. අද ස්වභාෂා 100 කින් පමණ එවැනි පුවත්පත් පළ වේ.

පිටුව 77

ඉන්දියාවේ මුද්‍රිත මාධ්‍ය අතර පවතින ගැටුම් මෙන්ම එහි නොයෙකුත් මතුපිට කැළඹිලි මෙන්ම අභ්‍යන්තර කැළඹිලි ද එරික් හසු කර ගන්නා ආකාරය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පරිච්ඡේදයේ එයි.

චාල්ස් ෆොස්ටර් කේන් අවසාන මොහොතේ අත වූ වීදුරු බෝලය අතින් ලිහී බිමට පතිත වද්දී ඔහු මුවෙන් පිටවන අවසන් වචනයේ අරුත සොයා ජෙරී තොම්සන් ගියා මෙන්ම එරික් ඉන්දියාවේ ශූන්‍යය සොයා ගොස් පැමිණ ඇත.

සැබැවින්ම රෝස්බඩ් රහස ඔහු අනාවරණය කර ඇද්ද?

6 කුළිය:

Sujeewa Kokawala said...

you gave me interest to read. will see

හෂිත said...

ඔබට ඉන්දියාව හා ආදරයෙන් නො-වෙලී සිටීමට නොහැකිය... මේත් ඒ වගේ පෝස්ට් එකක්... [කුළිය ගෙවීමට සරිලන ධනයක් මා සතුව නැත]

කාන්චනා අමිලානි said...

අගේ ඇති කියවීමකට යොමු කළාට ස්තූතියි ඩෝසන් මහතාණෙනි.

Sithumini Rathnamalala said...

තවම මේ පොත කියවන්නට නොහැකි වුණා....හඳුන්වාදීමට බොහෝ තුති ඩෝසන්...

LishWish said...

පොත ගැන සිතා බලන්නට ඉතාම අගේ ඇති හරස් කඩක් සපයලා..! ස්තූතියි..!!

ඩෝසන් said...

ලිපිය කියවූ සැමට තුති‍.

එරික්ගෙ පොත සරසවි ප්‍රකාශනයක්. මිල රුපියල් දෙසිය අසූවයි. රුපියල කොතරම් බාල්දු වුවත් මේ පොතේදී එය කණපිට ගැහෙයි.
:)