Thursday, December 2, 2010

හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero


කිසියම් අගයක් සහිත පුද්ගලයෙකුට [1] නිකම්ම නිකං කිසි වටිනකමක් නැති හිස් මිනිස්සු [0] එකෙක් දෙන්නෙක් එකතු වුනාම ඒ සමස්තයට කොයිතරම් ඉහල වටිනාකමක් එනවද කියල හිතා ගන්න පොළඹවන අයිරනි නාමකරණයකින්ම ඇරඹි මේ "වැඩේ" දී අර එක වගේ ඉන්න පරිපූර්ණ ඒකක පුද්ගලයා කවුද-කින්ද-මන්ද කියන එකත් යට වෙලා යන තරමට දැං "වැඩේ" සංවර්ධනය වෙලා "වැඩේට" එකතු වුන සියල්ල ම සමපිළිගැනීමට ලක්වෙලා තියෙද්දියි මේ සටහන ලියන්නේ. ඇත්තටම විය යුත්තේ පුද්ගලයන් ඉස්මතු වීමට වඩා කණ්ඩායම් ප්‍රතිඵල ඉස්මතු වීමයි. එතන දී අර මූලිකත්වය ගත් පරිපූර්ණ හෝ අපරිපූර්ණ හෝ මොංගල් හෝ වේවා, පුද්ගලයා හෝ පුද්ගලයන් වැදගත් වන්නේ නැහැ. මේක අපේ රටේ දී අලුත් අත්දැකීමක්. කොහොමටත් ඕනම දේක මූලිකත්වයක් ගන්න අයෙකු අවශ්‍ය වුවද කාලයත් සමග එය පුද්ගල ප්‍රපංචයක් ඉක්මවා යන ඊට ව‍ඩා විශාල දෙයක් බවට පත්වීම, මාධ්‍ය සහ නිර්මාණකරණ ලෝකයේ සුලභ අත්දැකීමයි. ශ්‍රම විභජනය යනුම සූරා කෑමේ සංවර්ධිත අවස්ථාවකි. සාහිත්‍ය, කලා, මාධ්‍යය නිර්මාණ ක්ෂේත්‍රයේදී ආශිර්වාදයකි.

තවත් අතකට මේ අයිරනි කෙ‍රුවාව මේ විදියට ද විකේතනය කර ගත හැකිය.

එක [1] කියන්නේ හරියට ශරීරයක් නම් බින්දුව [0] කියන්නේ ඔලුවක් නම් ඔලුවක් නැති ශරීරයකට, ශරීර නොමැති ඔලු එකක් දෙකක් සම්බන්ධ වීමෙන් හට ගන්නා අලුත් ප්‍රපංචය මේ වන් සීරෝ සීරෝ [100] වෙබ් අඩවිය ලෙසද දැක්විය හැකිය.

ඔලුවක් නැති ශරීරයක් විය හැක්කේ කාලා- බීලා තර වෙච්ච, අධිපෝෂණයට ලක් වූ දෙයක්. බත් ගූ කරන මැෂිමක් හා සමාන ජීවියෙක්. ඒ වගේ ශරීර මේ කාර්තුවේ ඕනම පෙදෙසකින් සොයා ගන්න පුළුවන්. ශරීරයක් නැති ඔලුවක් විය හැක්කේ සැප සම්පත් අවම වුවද තම ඥාන වර්ධනයට කාලය කැප කළ කැම්පස් කොල්ලෙක් වැනි හැඟවුමක්. කැම්පස් වෙන්නම ඕනත් නෑ. සබුද්ධික එවුන් ඕන තරම් මේ ඉන්නේ...

අයිරනි විකේතනය එතකින් නවතමු.

මෙවර රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම වෙබ් අඩවිය ලෙස One|Zero|Zero සම්මානිත වී ඇති බැව් සටහන් කරන්නේ, අනෙකාගේ ප්‍රමෝදයෙන් උතුරා යන අංශුමාත්‍රයක් මගේ ප්‍රමෝද අතිරික්තය බවට පත් කරගෙනය.

විශේෂයෙන් මෙම වෙබ් අඩවිය ගැන සටහනක් තබන්නේ ද එය සුවිශේෂි "දෙයක්" බැව් මා කලකට පෙර සිටම නිරීක්ෂණය කරමින් සිටි බැවින්මය. මෙතැනදීත් කලින් සටහන් කළ ආකාරයේම විවිධ රසඥතා සහ හැකියාවෙන් ප්‍රමුදිත සහෘද රැහැනක් වෙති. 

නමුත් නම් සඳහන් නොකරම බැරි පුද්ගලයන් ද මට අනුව මේ කණ්ඩායම තුළ සිය හැකියාවන් සියුම්ව ආයෝජනය කරමින් ඉන්නා බැවින්, ඒ අය මා දන්නා පමණින් කෘතඥතාපූර්වකව සඳහන් කිරීම මගේ යුතුකමක් යැයි සළකමි.

මේ "සීයේ වැඩේ"දී මට සිහිවෙනවා තුන් හතර දෙනෙක්. ඉන් දෙදෙනෙක් පමණයි මට මුණගැහිලා තියෙන්නේ සැබෑ ලෝකයේදී. ඒ ලසිත් බෙනරගම සහ රචින්ත ජයවර්ධන සහෝදරයන් පමණයි. අනෙක් කීප දෙනා නම් වශයෙන් කීවොත් ලීෂාන් සහ සඳුන්. මම ලසිත්, රචින්ත, ලීෂාන් සහ සඳුන්ගේ සාහිත්‍ය-කලා ඇම්ම ගැන අමුතුවෙන් කියන්න යන්නේ නෑ. ඒ අය සයිබරයට- නිර්මාණශීලි ලෝකයට ආශිර්වාදයක්. අපේ අනාගත බලාපො‍රොත්තු දල්වන්නෝ යැයි කට පුරා කිව හැකි සයිබර් වැඩ බිමේ පුරෝගාමී ගමනක යෙදෙන්නෝ. ඔවුන් සිව්දෙනා ඇතුළු One|Zero|Zero බ්ලොග් අඩවියේ සමස්ත ශ්‍රම දායකත්වයට ‍මේ සම්මානිත අවස්ථාවේ මගේ ගෞරවාදරය මෙලෙස පිරිනමමි.

ප.ලි.

ඇගයීමට ලක් වූ සියළු වෙබ් අඩවි පිළිවෙලින් මෙසේ ය. උපුටා ගැනීම w3lanka වෙබ් අඩවියෙනි. ජයග්‍රාහී සියළු වෙබ් අඩවි වෙත මාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමි.

හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව
හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය – හැකර්.lk
හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය – සංචාරකයාගේ බ්ලොග් සටහන
හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – සයිබර් යාය
හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3Lanka
හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය – ලිෂාන්ගේ බ්ලොග් රෝල
හොඳම සමූහ බ්ලොග් අඩවිය – විද්‍යාව.com
පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවිය – පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය
නැණසල අංශයේ හොඳම බ්ලොග් අඩවිය – අතීතයේ භාරතීය සමාජය පිළිබඳ තොරතුරු බිඳක්
හොඳම බ්ලොග් අඩවිය – One|Zero|Zero
ජූරියේ විශේෂ ඇගයීම් - SkyLK සහ නිකමට වගේ

1 කුළිය:

Unknown said...

one zero zero ආරම්භ වෙන්නෙ සයිබරයට උචිත ආකෘතියක් එක්ක...
ඒක Short and sweet අකෘතිය කිව්වොත් හරි. අපි අන්තර්ජාලයට පොත් ගැන බ්ලොග් ලියනවා, කෙටි කතා ලියනවා, කවි ලියනවා. මේක වෙනම වැඩක්. මොකද අපිට වචන සීයක් ලියන්න එක සිද්ධියක් ඇති. අභියෝගය තියෙන්නේ ඒක ලඝු කරගන්න එක. සමහරවිට වැඩිපුර වචන දාලා අලංකාර කරන්න වෙනවා. නැත්නම් වචන කපන්න වෙනවා. බර මදිනම් කේක් එක අයිසිං කරන්නත් වෙනවා බර වැඩිනම් අයිසිං අයින් කරන්නත් වෙනවා.. පිටු ගණන් ලියන විස්තර අන්තර්ජාලය එක්ක පෑහෙන්නෙ නෑ. මොකද බ්ලොග් බලන්නම අන්තර්ජාලට එන අය අල්ප නිසා.. මේ අළුත් දේ එක්ක සාහිත්‍ය කියන එකටත් සිද්ධ වෙනවා වෙනස් වෙන්න... ඒකෙ ඵලයක් විදිහට තමයි වන් සීරෝ සීරෝ එලියට එන්නේ.. ඔබ මේ වගේ සටහනක් දාපු එක ගැන ස්තූතිවන්ත වෙන අතරේ මේකට දායකත්වය දක්වපු හැමෝමවත් මතක් කරන්නම්..