Sunday, November 28, 2010

සර්පයාගෙන් ඉගෙන ගනිමු

සර්පයාගෙන් ඉගෙන ගනිමු


සර්පයා හෙවත් කේ. කේ. සමන් කුමාර අලුත් වැඩක් පටන් අරගෙන. එනම් නිර්මාණශීලි ලේඛන කලාව ගැන ඉගැන්වීමයි. ඔහු ලේඛකයෙක්, ගීත රචකයෙක්, පරිවර්ථකයෙක් මෙන්ම ඉතා දුර්ලභ ගනයේ චින්තකයෙකුද වේ. යමකු නිර්මාණශීලි වීමට නම් ඔහු සමාජයේ සිදුවන දේ අපූර්වත්වයකින් දැකිය යුතුය. වයසින් මුහුකුරා ගිය සර්පයා සතුව ඉගැන්වීම සඳහා බොහෝ මෙවලම් ඇත. නූතන ලේඛනයේ විවිධ ධාරාවන් ලෝක ප්‍රවණතා, විචාර මතවාද, රසවින්දනය, පැරණි සාහිත්‍ය, ජන සාහිත්‍යයේ උරුමයන් පමණක් නොව ස්ත්‍රීවාදය ගැන, මනෝවිශ්ලේෂණය ගැන, මාක්ස් ගැන, පශ්චාත් නූතනවාදය ගැන, වාමාංශික හැදෑරීම් වල ලංකාවේ මෑතකාලීන භාවිතයන් ගැන, ලංකාවේ උත්තාරාරෝපිත බුදුදහම ගැනත් අනන්‍යතා දේශපාලනය ගැනත් ව්‍යුහවාදය අධිතාත්වික වාදය දෘශ්‍යකලා සිද්ධාන්ත, පශ්චාත් මාක්ස්වාදය, බෝද්‍රලාල්, සෝෂියර්, හෙබර්මාස් ,ගැඩමර් ඩෙරීඩා ගැනත් ලැකාන් ගැනත් සර්පයාගෙන් අහගන්නට පුළුවන. ඔහු යමක් දන්නා පුද්ග‍ලයෙකි. මේ සියල්ල සමග ඔබට ඔබ ගැනමත් ඉගෙන ගැනීමට සර්පයා දකින්න අවස්ථාවයි මේ.


අමතන්න
0778 661 654 කේ. කේ. සමන් කුමාර



සර්පයාගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය පළ වන්නේ 1984 දීය. එය "සර්පයකු හා සටන් වැද" නම් වේ.

සර්පයාගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන "එසඳ මම බලා සිටියෙමි (1995)" කෘතියෙන් උපුටා ගත් "ඕ නගරයට පැමිණියාය‍" කෙටිකතාව පාඨක ඔබගේ රසාස්වාදනයට මෙහි තබමි.


ඕ නගරයට පැමිණියාය‍.


ප්ලොරසන්ට් පහන දෙකොනෙහි පන ගැහෙමින් තිබිණි. ඒ සීතල එළියේ ඈ විලි පහරමින් උන්නාය. ගැබ දරා සිටියාටත් වඩා විලි පැහැරූ කාලය දිගින් වැඩිය. මේ මොහොත වන විට ඈ විලි පහකරමින් සඳින් සඳ ගෙවා හිරු රාශියක ඉක්මවන්නට ද ළඟය.


කිහිප වතාවක් ඇගේ මේ අරුම පුදුම ගැබ පලා බලන්නට දොස්තරලා කුහුලින් යුතු වුවත් ඒ හැම විටකම තවත් අරුම පුදුම යමක් සිදුවිය.


ඔන්න නිර්වින්දන බේත අහන්නෙ නැතිව ගියා මුලින්ම. චුට්ටක් එහෙට වුනොත් සදාතනිකව සියළු වේදනයන්ගෙන් මුදා හරින තරම් බලගතු ඒ බේත දහ ගුණයකටත් වැඩියෙන් විද්දහම තමයි ඇහැව්වෙ. ඊට පස්සේ අතට ගන්න කොට ඇස් නිලංකාර වෙන ගානට දිස්නෙ ගහපු සැත්කටු ඇගෙ නැඹට පහළින් යොමු වෙද්දි මලකඩ වලින් බරිත වෙලා ගියා. තත්පර ගානකට කලින් ජීවානුහරණය කරපු කතුරු අක්‍ෂු බක්‍ෂු විදගෙන පනුවො එකා දෙන්නා එළියට ඇවිත් එවායේ කෑල්ලක්කත් ඉතුරු නොවී එහෙමිපිටින්ම පනුකූඩු වෙලා සර සර ගාල බිමට හැළුනා. ඉතින් ඔය විදියට එ වැඬේ අත් ඇරලා දාන්න උනා.


අන්තිමේ රෝහල ඇතුලෙයි, ඒ අවටයි තියන සේරම බන්ධන අඩස්සි නිදහස් කරන්න වෛද්‍යවරු තීරණේ කළා. ගෙවල්වල දොර ජනෙල් ඇරලා දැම්මා. අල්මාරි, පෙට්ටගම්, සෙප්පුවල පියන් ලාච්චු ඇරලා දැම්මා. කුස්සිවල හට්ටි මුට්ටි ඇරල දැම්මා. බාල්දි වලින් කඹ පොටවල් ලිහල දැම්මා.


සංඝරත්නය වැඩමවා අංගුලිමාලය කිව්වා. කෝලංකාරයො ගෙනල්ල බඩදරු කෝලම නැටෙව්වා. කෝලම්කාරය සබේ පිරිම්න්ට බඩෙන් ගගහ එලවනකොට අපේ ආතුරයා හිනාවෙවී අත්පුඩි ගැහැව්වා.


මේ සේරම අහවර වුනාත් ඈ විලි පහකරමින් උන්නා. අන්තිමේ දොස්තරලා කිව්වා ඇගෙ බඩේ ගෙඩියක් කියල. කියල කට ගන්න කලින් ඇගෙ රහසඟ දෙතොල් විවට කරගෙන ජල පටලය විනි විදගෙන කෙහෙ රොදක් පේන්න නොපෙනෙන්න ගත්තා. වදන වාට්ටුව දෙදරන්න ගත්තා. ඈ එල්ලී හුන් විලි රැන කඩන් වැටෙන්න ඔන්න මෙන්න කියලා හිතෙන තරං වුනා. ඒ අස්සෙ තමයි ඊළඟ අරුම පුදුම දේ සිද්ධ වෙන්න ගත්තෙග විලි රැන කෙමෙන් දැඩි වෙමින් නොවෙමින්, තත්පරෙන් පංගුවෙන් පංගුව ගෙවෙමින් නොගෙවෙමින්, කියන්න හැකි නොහැකි රූප අරූප කාල අකාල විපිරියාස වෙලා යෝධ අංග ජාතයක් ඉතිරි වුණා. ඈ අපුලින් අත් අත හැරිය. එත් අත ඇරුනෙ නැති වුනාම අත් ගසා දම්මා. ඒත් දෑඟිලි ඒ වටා අඩස්සි වෙලා තිබුණා. බියෙන් ඈ ඇකිලෙන පැකිලෙන සැණෙහි ඒ අංග ජාතය කෙලවරින් තවත් දික්වෙමින් සර්පයෙක් වගේ ඉව අල්ලමින් ඇගෙ දෙතොලෙහි දැවටුනා. අම්මගෙන් බිවු කිරි කලෙ ඉඳන් උගුරෙන් පහළ ගිය හැම දේම ඈට ඔක්කාරෙට ආවා. ඒ අව් අස්සෙ අංග ජාතය පුරුක් ඇදෙමින් දික්වෙමින් පහළ බැස ඇගෙ පියවුරු තුඩු වල දැවටීගෙන ගොස් දෙකලවා වටා දරණලා ගත්තා.


විලි රැනේ එල්ලී හෑල්ලු නොවු කුසින්ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළ කඳට අයිති කාරයෙක් හොයන් එන්න. තාර පාර දෙපැත්තෙ යෝධ අංග ජාතයන් මුදුනෙන් මෝචනය වුණු එළිය දිගේ ඈ ඇවිද්දා. අහසත් පොළවත් රති කෙළියෙ යෙදිල හඳ එළිය මෝචනය වෙන රැ සියක් ගෙවමින් ඈ හෙව්වා.


මේ අතරෙ නගර සභාවෙන්, ඒ වෙනකොටත් විලි පහකරමින් තිබ්බ ඇගෙ මළ කඳ කබරයන්ගෙන් ඈත් කළා. ඉළුක් කොලයක් හොයාගන්න බැරි වෙච්ච නිසා අගේ බඩ පලා ඈව කුසින් හෑල්ලු කරන්න ඔහුන්ට පුළුවන් වුනේ නෑ. මුළු මහත් නගරයේම ඉතිහාසය වෙනස් කළ මේ කතාව මා ලියා අවසන් කරතත් එහි මුල්ම ජේදය ලිවුවෙ කවුරුත් නම් ගම් නොදන්න නගර සභාවෙ කසල ශෝධකයො දෙන්නෙක්.


එක්තරා රැයක නගරයෙ අස්සක් මුල්ලක් නෑර තිබු සියළු කොඩි ගස් මුලින් සිඳ දමා තිබුණා. සිඳ දමා තිබු තැන් වලින් ලේ වෑහුනා. ආයි හයි කරපු හැම වතාවකම ඒ දේම නැවත නැවතත් සිද්ධ වුණා.


රාත‍්‍රියට සුදු ඇඳගත් ගැහැනියක්ව තනි මං ආ පිරිමින්ව නවත්වා දරුවකු අතට දි අතුරුදහන් වුණා. මේ විදියට ලැබිච්ච දරුවෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරුව ගියා. හැමදාමත් තුන්වෙනි යාමෙට අද්භූත සතෙක්ගෙ ලතෝනියක් ඇහෙන්න ගත්තා ඔය අතරෙ. ගමෙන් නගරෙට ආපු වයසක උදවිය ගමේ හුරු පුරුදු සද්දයක් ඇහීමෙන් උද්දාම වුණා. ඒ අයගෙ ලොඹු කටවල් වලට කාලෙකින් පන ඇවිත් කෙලවරක් නැති කතාන්දර දෙසා බාන්න ගත්තා.


බට නලා පිඹ පිඹ හිටපු සංගිතකාරයන්ව හමුවෙන්න මෝහිනී ආපු කතා වලින් පත්තර පිරිලා ගියා. සුදු දුහුල් සළු ඇඳගත්, බටහිර නිල් චිත‍්‍රටියක තරං සුන්දර ගැහැනියක් ඇවිත් ඒ වැයුමට රැඟු බවත්, ඒ රංගනය පරප‍්‍රාප්තියට යද්දි තමාට වයන්න නොහැකි වු බවත්, එවිට තමාට පිටුපෑ බවත්, ඇගේ පිට පෙදෙසේ බරු ගැසු වේ කුහරක් මෙන් සුඹුළුයෙන් යුතු නොයුතු බවත්, නැත්තං තමන්ව කැඳවාගෙන සොහොන් බිමකට ගොස් මිනී වලක් හාරා එහි වු අතුනු බහන් සියොලඟ ඔතාගෙන ආ බව, එසේත් නැත්නම් තවමත් පන ගැහෙන ලේ වෑහෙන මිනී මස් රන් බන්දෙසියක තබාගෙන වුත් පිළිගැන්වු බව හැමෝම කිව්වා.


එක එක ගාලු මුවදොර මුහුදට මානලා තියෙන කාල තුවක්කු ඒවායෙ බට මුලින්ම සිඳ දාල තිබ්බා. ඒවායෙන් වෑහිච්ච ලේ වලින් මුහුදෙ වතුර රතු පාට වෙමින් තිබුණා. වෙරළ අයිනෙ මිනී මෝරු පෙම් කෙලියා‍.


පදමට දාල බස්එක වැරදිච්ච පරණ වෘත්තිය සමිතිකාරයෙක් පාර දිගේ එමින් හිටිය. පස්සෙන් එක සීරුවට සද්දක් ඇහුණු නිසා ඔහු හැරිලා බැලුවා. පිදුරු මුට්ටයක් තමන්ට චුට්ටක් එහෑන් වැටිලා තියනවා ඔහු දැක්කා. පිදුරු මුට්ටෙට ඔලුව ගහන් ඔහේ නින්දක් දාල, ඇහැරුනාම මෙහෙම්ම වැඩට යනවා කියලා හිතල ළඟට යනකොට පිදුරු මුට්ටෙ එහෙට පෙරලුනා. එතන ඉදලා තමන් ආපු පාර දිගේ පිදුරු ගස් වැටිලා තියෙනව ඔහු දැක්කා. තිත්ත කුණු හරපයක් කියල ඔහු පිදුරු මුට්ටෙට පයින් ඇන්නා. එතකොටම අන්නාසි ගෙඩියක් පිටේ ඇතිල්ලෙනවා වගේ දැනුනා. ඔහු හැරෙන්න හැදුවත් කබැල්ලෑවෙක් වගේ යෝධ සතෙක්ගෙ අත් පා වල අඩංගුවට ඔහු අසුවුනා‍. උපන්තෙක්ට බීපු සේරම කකුල් අස්සෙන් වෑසෙන්න ගත්ත.


තමන්ගෙ කකුල් දෙක අස්සෙන් තමාව අල්ලන් ඉන්න මොකාගෙ හරි වල්ගෙ වක ගැහිලා එල්ලිල තිබුණ. ඒ වක ගැහිච්ච වල්ගෙ දිගෑ බලල ඔහු හිතුවා...


"මු තලගොයෙක් වෙන්න ඕනෙ. !!!.ම්......ම්! කිලෝ කීයක් ඇද්ද?......... තලගොයෙක්! රුසියාවට චෙච්ච දෙයි හැටියට ඕක මොකක් ද?....... මු තල ගොයෙක්! ?...... මු තල ගොයෙක්!... බයිට් එකට නං නියමයි. .... තලයගෙ දිව හොදයි අහල පහල පුංච් උන්ට කන්න දෙන්න."


ඔහු තලයව පිටේ තියාගෙන හති දදා වුනත් සන්තෝසෙන් සිංදුවක් කිය කිය කඩතොල්ලන් චෙච්ච කියත් දැති රටාවකට පාර පුර ගෙදර ගියා. මගදි තලගෙ නැට්ට දණිස් දෙකේ වැදෙන හින්දා ඔහු පාත් වෙලා බැලුව. එතකොට නැට්ට කොළ පාට වෙලා තිබුණා.


තැබෑරුංකාරය අත්තන දාල කියල යටි හිතින් බැන බැන ආපහු ගමන පටන් ගත්තා. මගදි තමන්ගෙ දැං කිසිම වැඩක් පලක් ගන්නෙ නැති අවයවේ වටේ මොකක් ද පැටලෙනවා දැනිලා ඔහු පහත් වෙලා බැලුවා. එතකොට ඔහු දැක්කෙ තලයගෙ නැට්ට රතුම රතු පාට වෙලා ඒකෙන් තමන්ගෙ අංග ජාතෙ වටේ ගැටයක් වැටීගෙන යනව. ඔහුට තමන්ගෙ මධු සමය මතක් වෙන්න වගේ ආවත් එතකොටම පිටේ තිබ්බ ග‍්‍රහණයත් බරත් නිදහස් වුණා. ඊට පස්සේ වෙච්ච කිසි දෙයක් ඔහුට මතක නෑ. පාන්දර බිරිද දොර අරිද්දි අතේ ගුලි කරගත්තු අංග ජාතයක් එක්ක ඔහු දොර කඩ වැටිලා හිට්යා.


බිරිද "තුහ් නොදකින්" ළමයි නැගිටල එන්න කලින් අංග ජාතෙ කෝටු කෑලි දෙකකින් ඇදල අරන් බලු පොව්වා ළඟට තල්ලු කළා. ඌ ඒක බස ගාල ගිලල දාල අතෘප්තියෙන් දොරකඩ දිහෑ බැලුවෙ හප හපා ඉන්න මස් කට්ටක් ලැබේදෝ කියලා.


වෙනදට නිතර දකින්න නැති එකේක මෝස්තරේ කටුස්සො කොල්ලෝ කුරුට්ටන්ගෙ සෙල්ලමක් වෙන තරං වසංගතයක් වුනා. කොල්ලො උන්ගෙ නැට්ටෙන් අල්ලල කරකල උඩ විසි කළා. මේ සෙල්ලමෙන් පරෙයියන්ට යන එන අතක් නැති වුණා. කටුස්සන් මරා දැමීමට විරුද්ධව වයසක උදවිය කොච්චර දේවල් කිව්වත් ඇන්ටෙනා උඩ රැස්වීම් තිය තිය හිටපු කටුස්සන්ව බිම වට්ටවලා ගල් වලින් තලා දාන එක රස්සා නැතුව හිටි තරුණයන්ගෙ රස්සාවක් වුණා. ඒත් හැම ලේ පැල්ලමකටම හත් දෙනා ගානෙ, උන්ගෙ ලේ පැල්ලම් වලට තව හත්දෙනා හත්දෙනා ගානේ කටුස්සෝ උපන්නා. උන්ගෙන් ඇන්ටෙනා වැහිල ගිහින් රූපවාහීනි විකාශනය අපහැදිලි වූණා. මුර කාවලට වැට්ච්ච පොලිස් භටයෙක් ඒ භයංකාර සද්දෙ ආ අතට වෙඩි තිබ්බා. පහු වෙන්දා හොයන් ගියාම ඒ අහ කටුස්සෙක් මැරිලා උන්නා‍.


මපට් කණ්ඩායම් නා නා ප‍්‍රකාර කටුස්සන්ගෙ මපට් හදාගෙන වීදිවල සංදර්ශන පැවැත්තුවා. වයසක උදවිය කියන මිත්‍යා කතන්දර මේවායින් නිරුපනය වුණා.


කෙල්ලන් වලලන්
කොල්ලන් ගොඩගන්


කියන සලාද සිංදුව කොච්චර ජනප‍්‍රිය වුනාද කිව්වොත් කටුස්සන්ගෙ නැට්ටෙන් කරකවල උඩ අරින කොල්ලො එවලෙට කිව්වෙත් ඒක.


සෙල්ලං බත් උය උය ඉන්නකොට දිව දික්කලැයි කියලා අක්කෙක් මලයගෙ දිව කඩා දාල. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්. දිවෙන් ලේ බේරෙනව. දෝස්තර ජංගිය පාත්කරල බැලුවා. කොලුවගෙ නම නොකියන තැන මොකුත්ම නෑ. කෙල්ලව මග්ගොනට යවන්න තිරණේ වුණා. ගෙනියන්න හදද්දි කෙල්ල මල්ලි ළඟට ඇවිත් ගවුම උස්සල පාල හු හු කිව්වා. කෙල්ලගෙ නම නොකියන තැන ජුන්ඩෙක් ඉන්නවා කොලුව දැක්කා එතකොට.


නගරෙ උන්නු පිරිමි අපි හැමෝටම මහ නරක දසාවක් ලැබුවා. ගබ්සාවෙන් පස්සෙ මාස කිහිපයක ලිංගික තහංචියක් තියන නිසා අන්තිම මොහොතෙ සතුටක් ලබාදිම යුතුකමක් හැටියට කළ දෝස්තරලා ගෙන් , පෝලිමේ ඉන්න ලෙඩුන්ගෙ නොම්මර කියෝන එක විනෝදයක් කරගත්ත ගෑනු වාට්ටුවල පුහුණුවට වැට්ච්ච වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන්, ඇඟලුම් කම්හල් ළගින් හැන්දෑවට ජුන්ඩො එළියෙ දාන් එහෙට මෙහෙට යනවුන්ගෙන්, මිනී එම්බාන් කරන්නන් ගෙන් පටන්ගත්ත මේ නම නොකියන එක අතුරුදහන් විම තොටිල්ලෙ ඉන්න පොඩි එකාගෙන් අහවර වේවි කියල අපිට හිතුන.


රබර් මිශ‍්‍රිත පුරුෂ ලිංග නිෂ්පාදනයට මේ අතරෙ සමාගමක් ඉදිරිපත් වුණා. කම්කරුවන්ට වඩා සමාගමට මෝස්තර නිර්මාණ ශිල්පියෝ අවශ්‍ය වුණා වෙනස් වෙනස් රුචිකත්වයන් සපුරන්න. නගර ශෝභනීන්ට බඩ වියත රැක ගන්න විදියක් නැතුව ගිහින් ඔහුන් හිගමනට බැස්සා‍. වයසක මහල්ලොත් කිසිම වැඩක් නැති වුණත් තමන්ගෙ ජුන්ඩො පරිස්සම් කරගන්න උත්සාහ කළේ තමන්ගෙ ජිවිතේ අතීත සැමරුම් සේරම ජුන්ඩගෙ සටහන් වෙලා වගේ.


අපේ ගෑණු අපිට හෑන්දෑවේ එළියට බහින්නවත් දුන්නෙ නෑ. සාලෙ කාමරේ තියා කකුස්සියෙවත් තනියෙන් ඉන්න දුන්නේ නෑ. මං ගැන කිව්වොත් මං ගෙදර ආපු ගමන් ගෑණි මගේ කලිසම පාත්කරලා ජුන්ඩ තියනවද බලල තමයි හුස්ම පිතට දැම්මෙ. මේ වෙනකොට හැමෝම බෝදිලියා , බෝදිලිමා කිය කියා තොරක් නැති නම් ගම් කිව්වා. ජිවිතේට ඉලපතක් දැකලවත් නැති මගෙ ගෑණි ඉලපතක් හදල පරිස්සමට තියලා තිබ්බා. ඒත් කවදාවත් ඒකෙන් අතූගෑවෙනං නෑ දවසක් මට එකෙ හොරේ අහුවුනා. වෙනදට කොණ්ඩෙ හැඩ කර කර සැපට වාඩි වෙලා චු කරපු එකී පිළිකන්නට ගිහින් ඉලපත බිමින් තියල, ගවුම කරට අරන් බිම වාඩි වුණා. චු බේරි බේරි ඉලපත අරන් දොර මුල්ලෙන් තිබිබා. ජාමේට බෝදිලිමා ඇඩුවා. ඈ ගිහින් ඉලපත අරන් අයි එකට චු කරල, දෙතුන් විඩේට දාපු මැහුං ටික පේන්න රෙද්ද කඩලා එතෙන්ට ටෝච් එකකුත් ගහන් එක අතකින් , තෝරතෝංචියක් නැතුව මොනවද කියන් ගියා. මං ළඟට කිට්ටු වුණා. පුක, තනේ , බි–ජ කියලවත් කියා ගන්න බැරුව හිටපු උපාසකී මෙන්න මං වත් නොදන්න , කුණු හරුපයි කියල ඒ ගොල්ලො කියන ඒව තොරක් නැතුව කියෝන කියෝන ගියා. ඊට පස්සේ ඉලපත දොර මුල්ලෙ හේත්තු කරල දොර වහමින් කිව්වා!!!.


"උන්දෑ දිව්වා දිවිල්ලක් ආයි පළාතෙ එන එකක් නෑ"


දවසක් ගෑණි මගෙන් ඇහුවා මං බෝදිලිමව බලන්න ආසද කියල. මං පැන්න ගමන් ඔව් කිව්වා. ඉතින් එයා බුලත් කොළ ටිකකුයි පොල් තෙල් පානකුයි කණ්ඩියක් උඩින් තිබ්බා. බලන් ඉඳල බලන් ඉඳල කළුවරේ, පොල් තෙල් පානෙ එළියෙන් අපි දැක්කා බඩ දරුවන් ගෑණියෙක් හෙලු වැල්ලෙන්, කෙඳිරි ගාගෙන, බඩ ගාගෙන එනව. දාඩියෙන් තෙත බරි වෙලා තිබ්බ තරමට පොල් තෙල් පාන නුනත් අහසෙ තරු නුනත් ඈව දකින්න තිබ්බා. ඇගෙ කොන්ඩෙ හැඩ ගෙතිල, මුනට වැටිල. ඒ හැඩපලු වලින් මුන පුරා හෙවනැලි එක්ක හැලෙමින් , පද්දාවැටෙමින් තිබුණා. ඇ බුලත් කොළයක් අරන් ඒකෙ පොල් තෙල් තවරාන දැල්ලට අල්ලලා රත් කළා. එහෙම කර කර ඈ බඩ තවා ගන්න වුණා. මම කිව්වා අපි ඈට උදව් වෙමුයි කියල. ගෑණි අර ඉලපත අරන් මගෙ මුනෙ අතුල්ලල පිටට දෙකක් ගැහුව්වා. එදායින් මෙදායින් මං අපේ ගෑණිත් එක්ක බෝදිලියා ගැන වචනයක්කත් කතා කරතන්න ගියේ නෑ.


සත්වවේදින් මේ අරුම පුදුම අවතාර සතා පිළිබද එකේක මත පල කළා. අපට මහා රාත‍්‍රියට ඇසෙන මේ හඩ උකුසු පවුලේ සතෙකු බවත් ඔවුන් කිව්වා. මේ මිත්‍යවන් නිසා කටුස්සන් වදවිමේ තර්ජනයට මුහුණ පානු ඇතැයි ඔහුන් සඳහන් කළා. ගුවන් විදුලි නිවේදකයකු ඇසු හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම කණ්ඩායමේ නායකයා කීවේ දැනට මිනිසෙකු ග‍්‍රහණය කර ගත හැකි තරම් විශාල කටුසු වර්ග ජිවත් නොවන බවයි. ඔවුන් කියන දෙවල් කවුරුත් ගණන් ගත්තෙ නෑ. හැමෝම ඇහුන්කන් දුන්නෙ මෙච්චර කල් මායිං නොකරපු වයසක උදවියගෙ දැනමුතුකම්වලට. බෝදිලිමා පිටේ එල්ලුනොත් කමිසය ගලවා දැමිය යුතුබව මාත් තදින්ම සිතට ගත්තා ඔවුන් කිව්වාහම.


මේ අතරෙ බෝදිලිමාගෙ කතන්දරෙන් චිත‍්‍රපට කීපයක් පෝලිමට එක්වුණා. මල්වතුවල චිත‍්‍රපටි කරපු කට්ටිය ත‍්‍රාසජනක චිත‍්‍රපට කරන්න අද්භූත දර්ශන තල හොය හොයා ඇවිද්දා. එයින් දැනට ප‍්‍රදර්ශනය වුණේ එක් චිත‍්‍රපටයක් වුනත් එන සියලුම ආදායම් වර්තා බිද හෙලුවා. කොටින්ම මේ ලියන මාත් බෝදිලියමට රඟපාන නිළියගෙ හෙලුවැල්ල බලාගන්නම හය හත් වතාවක්ම ඒ චිත‍්‍රපටිය බැලුවා. මේ චිත‍්‍රපටිවලට දක්ෂකම් පෑවෙ ගමෙන් නගරෙට ආපු දක්ෂ ගොල්ලො.


අර ප‍්‍රදර්ශනය වෙච්ච චිත‍්‍රපටිය පටන් ගත්තෙ උන හපුලුවෙක්- වවුලෙක් වගේ සතෙක් මහ රෑක ගහක එල්ලිල ඉන්න රූප රාමුවකින්. උගෙ දිව අර දිවෙන් කූඹි දඩයං කරන සතාගෙ තරං දිගයි. ඒ දිවෙන් කෙල වැක්කෙරෙනව. ඒ කෙල නිල් පාට පෙන කැටිති වගේ බිමට වැටෙනව. එතකොට එතනින් දුමක් නැගිල ඒ කෙල රතු පාට වෙනව. ඒ ලේ පැල්ලමෙන් කටුස්සො හත් දෙනෙක් උපදිනවා. එත් චිත‍්‍ර පටියෙ හුඟක් සිදුවීම් වගේම ඒකත් කතාවට කිසිම සම්බන්ධයක් නෑ. කතාව තියෙන්නෙ කොහෙද ගම් පළාතක බෝදිලිමා ගැන කියන ඒකක්. චිත‍්‍ර පටි තහනම් කරන්න කියලා කෑ ගහපු උදවිය ජන කතාව විකෘති කළා කියල කිව්වා මං නං ඒකට කැමතියි.


ඔන්න දේවාලයක් දාගෙන කපු ගෑනු කෙනෙක් ඉන්නව. ගෑණි හරි ලස්සනයි. දවසක් ගෑණි දෙව් පිළිමෙ ඉස්සරහට ගිහින් තිරෙ ඇරල පුජාසනේ උඩ නැඟලා ඇඳුං ගලෝල බිමට දානව. මේ අතරෙ පිළිමෙ සලුත් එකින් එක ගලවන් හැලෙනව. පිළිමෙට පන එනව. ඉතින් දෙන්න පුජාසනේ උඩ සංසර්ගයේ යෙදෙනවා. එදා ඉදන් හැමදාම හැම වෙලේම මේ ගෑණි දෙවියන් එක්ක සංසර්ගයේ යෙදෙවව.


අන්තිමේ මිනිස්සුන්ගෙ පුජාවලට වෙලා නැති නිසා දේවාලෙත් වහලා දානව. ගෑණි බඩ දරුවන් වෙනව. බඩ දරුවන් වෙලා ටික දවසකින් දෙවියො අතුරුදහන් වෙලා පිළිමෙ විතරක් ඉතුරු වෙනව. මේ ගෑණි තිඹිරි ගෙදර විලි පහරන ගමන් දෙයියන්ට සාප කරනවා අංග ජාතෙ කඩන් කනවා කියල. දායම්මා ආවතේව නවත්වල ගේ ඉස්සරහින් යන ගෑණු කෙනෙක්ට කියනව. පස්සෙ ගමේම මිනිස්සු ගල් මුගුරු අරගෙන ඇවිත් විලි පහරමින් ඉන්න ගෑණිව මරල වල දානව. ඊට පස්සෙ ගෑණි බෝදිලිමෙක් වෙනව.


චිත‍්‍රපටි කතාවෙ ඇත්ත නැත්ත කොහොම වෙතා තාමත් අංග ජාතෙ ඉතුරු වෙලා තිබ්බ, කොළ කැද මදන මෝදක පිහිට පැතුව අයත් ඇතුළු හැමෝගෙම ජිවිතවලට ඒක අමුතු ප‍්‍රබෝධයක් ගෙනාවා. බොහෝ පවුල් නගරය හැර යන්න ගියත් නගරයේ බොහෝ හොඳ දේවල් ටිකකුත් සිද්ධ වුණා මේ බෝදිලිමගෙ ආගමනයෙන්. එකක් බස්වල ගෑණුන්ට කරදරයක් නැතුව හිටන් යන්න පුලුවන් වුණා. සීට්වල බුරු ඇදන් දිග ඇරන් ගිය කට්ටිය ඒ ජුන්ඩ කෙලින් කරල පෙන්නන ඉරියව්වෙන් අයින් වුණා.


සේරටම වැඩියෙන් කසාද බදිනකං කොල්ලො කෙල්ලන්ට නම නොකියන එක බලන්න තිබ්බ තහංචිය නැත්තට නැතිවෙලා ගියා. හැම අම්මා කෙනෙක්ම දුවට කිව්වෙ යාලුවෙච්ච කොල්ලගෙ ජුන්ඩ තියෙනවද කියල බලන්න හම්බවෙන හැමදාකම වරද්දන්න නං එපා කියල. ඉතින් කොල්ලො ජුන්ඩ පෙන්නුවෙ නෑ කෙල්ලො පෙන්නන කං.


මෙච්චර දේවල් වුනත් නගරෙ එක පිරිමියෙක්වත් හොයා ගන්න බැරුව ගියා ජුන්ඩ නැති වෙච්ච. ඒ කතාව හැමෝම දන්න රහසක් බවට පත්වුණා. හෝල් එකක් හෝල් එකක් නෑර, පල්ලියෙ මංගල්ලෙ උස්සන ආචාරීන්ගෙ රෝගෙත් තාම එහෙම්මම තමා. ඒක හරියන්න නං ජුන්ඩ මුදුනේ වෙඩික්කාරයෙක්ට ඉලක්ක වෙචිච කොකෙක්ම වහන්න ඕනෙයි කියලමයි මං කියන්නෙ.


ඉදල හිටල ඔෆිස් එකෙ කරන්න දෙයක් නැති වේචිච දවසට මං කළේ නගරයේ තැන තැන ඇවිදිමින් මුලින් සිද දමා තිබෙන තැන, ආකාරය, කොඩිය ජාතික කොඩියක්ද, මොන ආගමේද, මොන පක්ෂෙද, දකුණෙද , වමේ ද, වමේ නං මොන පිලේ ද යනා දී වශයෙන්.


මෙහෙම යන අතරෙ දවසක් මම දැක්කා ජාතික විරයෙක්ගෙ පිළිමයක් යට ඉන්නවා ගෑණියෙක්. ඈ විලි රුදායෙන් දඟලමින් සාප කළා. ඈ සාප කළේ ඒ කපුටන් පැහැරූ පිළිමයට සාදලමියි අංග ජාතය. ගිනි දවාලක දෙනෝ දහක් යනෙන මග, වතුර මලින් විභූෂණය වුණු වට රවුමකට මුහුණ ලා ගෑණියක් විලි පැහැරුවා. ඒත් නැත්තං මිනිසුන් අතැර ගිය නගරයක සොහොන් ගලක් උඩ උන්නා ගෑණියක් වදාගන්න බැරුව.


ඒ කාල යාත‍්‍රාවෙහිම එපුර කොනෙක සල පතල මලුවෙක, අතුල සුදු වැලි ද වගුල බෝ පත්ද කිදා ගිය මෝල් ගසෙක මුදුනට කටුස්සකු රූටෑවා. මෝල් තොලංග, අලෙව් කළ මතූල තෙල් සුඟෙහි වට මද්දහන් අව් කාස්ටකයෙන් තොංගල දිදුලෑවා. කටුස්සගෙ හිස මත වු හැන්දෙන් එ පුර වැස්සන්ගේ ඇස් ගෙඩි නිලංකාර වුනා. අව් කූටයට ඒ ගිනියං වෙද්දි ඌ නැගූ අම්මො’යි හඩ නගර ප‍්‍රකාරය ඇතුලස්සෙ දෝංකාර දුන්නා. ඌ මෝල් තොලංග- ඉහ තෙල් සීරු මාරු වන තෙක් බඩ වත එහි උලන්නට ගත්තා.


ලේ වෑහෙන වනයක්ව සයුරෙහි කිදෙන ඉර බෝලය මැද අංගාර කීලයක් සේ මෝලංගිරිය පේන්නට වුණා.

6 කුළිය:

wath said...

ඉතාම මැතකදි තමයි මට සර්පයා ලිවූ දේ කියවන්න ලැබුනේ...

හරි අමුතුයි... කොහොම මෙහෙම ලියන වද මන්ද?

Sujeewa Kokawala said...

සමහරවිට මගේ නොතේරුම්කම වෙන්න ඇති. ඒත් මටනම් සර්පයාගේ කලාවේ අගයක් දැනෙන්නේ නෑ. වාගාලාප ගොඩකට පූට්ටු කරපු පිළිකුල් ෆ්ලේවරයක්. ඒකත් බොහොම කෘතිමයි.

මෙයාගෙ කලාවත් හරියට අර ෆේස්බුක්, ඔන්ලයින්, නෙට් වගේ වචන ටිකක් පටලවා පේළි කීපයක් ලිව්වම කවියක් ලිව්වා කියා හිතන අය වගේ.

සර්පයාගේ ගැළපීම් හා flow එක ඉතාමත් ම නිර්මාණත්මකයි. ඒත් හරය, රසය වගේ දේ ගැන මට නම් කියන්න තියෙන්නෙ මෙලෝ රහක් නැති බවයි.

නිර්මාණයක් වෙනස් වූ පමණින්ම එය උසස් වෙයිද?

ඩෝසන් said...

ස්තුතියි වත්.

සුජීවගේ ප්‍රතිචාරය සමන් කුමාර වෙත යොමු කරමි.

මගේ අදහස නම් සිංහල ලේඛන කලාව තුළ ඔහු ලකුණු කළ ශෛලිය සහ ආකෘතිය සුවිශේෂි බවයි. ඔහුගේ සමාජ දේශපාලන දැක්ම පිළිබඳ යම් යම් ගැටළු තිබුයේ වුවද ලේඛනයේ දී ඔහු භාවිත කරන උපක්‍රම නූතන සිංහල ප්‍රබන්ධ ලේඛනයේ ප්‍රගමනයට දායක වූ බැව් මගේ විශ්වාසය යි.

ස්තුතියි සුජීව.

Anonymous said...

බොහෝම ස්තුතියි මිතුරේ මේ ලිපිය දැම්මාට. අර රිලේටඩ් පෝස්ට් එක කියෙව්වාම හිතුවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒකේ රිලේටඩ් පෝස්ට් එක වෙච්චි මේක දැක්කහම හිතුනා ඒ පැත්ත පලාතේ යන්නේවත් නැහැ කියලා. හැබෑට ම මොකද්ද මේ හරුපේ? නොතේරෙන සිංහල ටික කියෙව්වා. බැරිද ඔහේටවත් තේරෙන සිංහලෙන්, ඒ කිව්වේ මේක ඔහේටවත් තේරුණා නං, මේ කථාව අපට කියලා දෙන්ඩ.

කොහොම වුනත් ඔහේගේ සූත්තරේ හොඳට වැඩ කරයි. ත‍ව බොහෝ ම දෙනෙක් මේ ලිපි ‍ය දැක්කාට පසු ඔහේගේ හිතවතාගේ පංතිය පැත්ත පලාතේවත් යන්නේ නැතුව ඉන්ඩ හිතා ගනියි.

ඕන් ඕවාට තමයි කියන්නේ දිය යටින් ගින්දර ගෙනියලා, ආප්ප වාටියෙන් බෙල්ල කපනවා කියලා.

ඩෝසන් said...

@anno

මේ කෙටි කතාව සමන් කුමාර 1995 දි ලියාපු එකක් බව මම සඳහන් කරල තියෙනවා.

වර්තමානයට එද්දී ඔහුගේ නිර්මාණාත්මක රචනා සහ විචාර අතිවිශාල ලෙස සමාජගත වෙලා ඉවරයි. මේ කෙටිකතාව කියවලා ඔහුව විනිසන්නට යන්නේ නම් එය දැඩි දෝෂ සහිත එළඹුමකි. එබන්දක් මේ දැන්වීම කියවන සබුද්ධික කිසිවෙකුත් කරන්නේ යැයි මගේ කල්පනයක් නොවූ බැවිනි මේ විදියට එම කතාව ප්‍රසිද්ධ කළේ.

මා මෙම කෙටිකතාව ටයිප් කර බොහෝ කලක් ප්‍රසිද්ධ නොකර සිටියේ ඊට සුදුසු මොහොතක් උදා වන තුරුයි.

තවත් කෙටිකතා දෙකක් ම විසින් සූදානම් කර ඇතත් ඒවා නිසි කලට මෙහි පළ කරන්නට මම අදහස් කරමි.

සමන් කුමාර ට දිය යටින් ගේම් දීමට හෝ ආප්ප වාටිවලින් එබන්දක් කිරීමට මගේ කැමැත්තක් නැත.

කෙසේ වෙතත් ඔහුගෙන් ගුරුහරුකම් ගන්නට සූදානම් වන අයෙකුට ඇවැසි තොරතුරු එම දැන්වීමේ ප්‍රමාණවත් ලෙස සඳහන් වී ඇත.

ප්‍රතිචාරයට ස්තුතියි.

ගෝතයා said...

ඩොසන් මාච්චාන් මමත් මෙ ස්ටයිල් එකට කෑමති ගොතයෙක්...හෑබයි අවුලකට තියෙන්නේ කතාව තුලින් ප්‍රකාශනය කරන්න හදන දේ හරියටම තෙරුම් ගන්න බෑ....මම කේ.කේ.සමන් කුමාර ගෑන දෑනගෙන හිටියට.කිසිම නව කතාවක් කියවලා නෑ,...මම සිරස රුපවහිනි වෑඩසටහනින් තමා සර්පයා නව කතාව දෑනගත්තේ එකට බොස් ඉන්ටව් කලේ කීන්ස්ලි.... පස්සේ බ්ලොග් බලනකොට තමා පොඩඩ පොඩඩ කියවන්න ලෑබුනේ එකට ඩොසන් උඹටත් ස්තුතියි....
පස්සේ තමා මගෙත් පොලොව පලාගෙන සර්පයා උඩට මතු උනේ...............
ඩොසන් මට කියන්න පුලුවන්ද සන්ෂිප්ථ අදහස මෙ කෙටි කතාවෙ....