Thursday, February 10, 2011

Monday, February 7, 2011

ඊජිප්තුවේ අසාමාන්‍ය සිකුරාදාවක්

ඊජිප්තුවට මා පැමිණියේ පසුගිය ජනවාරී 23 වැනිදාය. එදින මට දැනුණ ඊජිප්තුව පිළිබඳ සිතුවිලි ලංකාවේ ජීවත් වන ඕනෑම කෙනෙකුගේ මනසේ ඊජිප්තුව පිළිබඳ ඇති අදහසට වැඩි වෙනසක් නොවීය.

ඊජිප්තුවේ පොලිසියට නිවාඩු දිනයක් ඇත. ඒ සෑම මසකටම විසිපස්වැනිදාය. එදිනට ඔවුහු සාමාන්‍ය රාජකාරියෙන් සමුගෙන විවේකීව ගත කරති. එදිනට රාජ්‍ය විරෝධි අරගලයක් සැළසුම් කරගැනීම පහසුය. මන්ද යත් රටේ සිවිල් නීතිය මොහොතකට අතුරුදන් බැවිනි. එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය. රටේ ජනතාව කයිරෝ නුවර ස්ථාන කීපයක එරට ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් ඉවත් විය යුතු බවට උද්ඝෝෂණය කරන්නට ජනවාරි විසිපස්වැනිදා තෝරා ගත්හ. ඉන් දින තුනකට පසු එළඹුනු විසි අටවෙනි සිකුරාදා දවස මා ගත කරන්නට සැළසුම් කළ හැටිත් එදින ඇත්තටම ගත වුනු හැටිත් පිළිබඳ කෙටි සටහනක් මා එදින රාත්‍රි යේ තැබුවෙමි. එම සටහනයි මේ...

28 වෙනිදා මට තිබුණේ නිවාඩු ගන්නයි. සිකුරාදා දවස ගල්ෆ් හැම රටකම නිවාඩුයි. ඊජිප්තුවේ ද මහා මාර්ග ජනයාගෙන් පිරී යන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලයි. අනෙකුත් දවස්වල නිද්‍රාශීලි සැන්දෑව උත්කර්ෂවත් වන්නේ සති අන්තයේදීයි. විශේෂයෙන් නයිල් නදිය ආශ්‍රිත බෝට්ටු සවාරි සහ උත්සව අවස්ථා සුලබ වීමෙන් සංක්‍රමණික ජනයා මෙන්ම ස්වදේශිකයෝද සිය විවේකය උදෙසා නයිල් නදී තීරයත් අනෙකුත් නගරාන්තර අවන්හල් ද සැණකෙලිමය ස්වරූපයකින් වෙස් ගෙන කෑම බීම සුවඳින් ඉතිරී පැතිරී යන බැව් මගේ මිත්‍රයා මට පවසද්දී මට මතක් වූයේ ඩුබායි නගරයේ ඒ උත්සවශ්‍රීයමයි. වෙනසකට ඇත්තේ ඊජිප්තුව සංක්‍රමණිකයන්ගේ අච්චාරුවක් ව නොපැවතීම පමණක් යැයි මට සිතේ.

මමත් මගේ ඊජිප්තු මිත්‍රයාත් උදෑසන නවයට මා නැවතී හුන් පර්ල් හෝටලයෙන් නික්ම මහ මගට අවතීර්ණ වූයෙමු. අහමඩ් මූසා රතු ජැකට්ටුවකින් සැරසී සිටියේ ඔහුගේ තාරුණ්‍යයට උචිත සක්‍රිය බවක් ප්‍රදර්ශනය කරමිනි. මා හට සීත සමයේ ඇඳීමට උණුසුම් ඇඳුම් නොවූයෙන් කාර්යාලයට අඳින අත්දිග කමිසයට උඩින් එහි දුඹුරු වර්ණයට ගැලපෙන හරස් ඉරි සහිත ටී ෂර්ට් එකක් ඇඳ ගැනීමෙන් පසු මාගේ හිසරදය අවසන් විය. බැලුබැල්මට අලුත් විලාසිතාවක් යැයි පෙනෙන තරමට මගේ ඇඳුම් ආයිත්තම අනෙකුන්ට විසිතුරක් පෙන්වීය. මා ද ඊජිප්තු සුපුරුද්දෙකු සේ සැහැල්ලුවෙන් මූසා සමග ගමන් කරන්නට වූයේ කිසිවෙකුත් එතරම් මා කෙරෙහි උනන්දුවක් නැති බැව් මගට බට පළමු මිනිත්තු කීපයේ දීම වැටහුණු හෙයිනි.

ටැක්සියකින් යමුදැයි මා ඇමතූ මූසාට අපි මෙට්රො එකේ යමු යැයි මම යෝජනා කළෙමි. ඔහු මදක් විමතියටත් සතුටටත් පත් විය. විමතිය නම් මා මෙට්රෝව වැනි පොදු ගමනාගමන පහසුකමක් මේ ගමන සඳහා තෝරා ගැනීම විය හැකිය. මන්ද යත් ඔහුට මගේ හාම්පුතා මුදල් දී තිබුණේ හැකි පමණ මා හට පහසුකම් සළසා ඊජිප්තු සවාරිය අවසන් කරන්නට පැය දොළහකට අතිකාල දීමනාද ඔහු වෙත පිරිනමමිනි. අනෙක් අතට ඔහුගේ සතුටට හේතුව වන්නේ ඓතිහාසික කාරණයකි. ඊජිප්තු වැසියන් මෙට්රෝව සළකන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ඔවුනට දායාද කළ දුම්රිය පරිවහන පද්ධතියට ආසන්න වශයෙන් වසර අසූවක් ගත වූ පසු ඊජිප්තු රජය විසින්ම නිපදවා ගත් නගරාන්තර දුම්රිය මගී ප්‍රවාහන පද්ධතිය බැවින් එහි ඇති අභිමානය ඔවුනට විශාල ගෞරවයක් ගෙනෙනා බැවිනි. ඔවුහු මෙ‍ට්රෝව ගැන උදම් අනති. සැබැවින්ම මෙට්රෝ දුම්රිය සේවාව දිනකට මිලියන දෙකක ජනතාව ඊජිප්තුවේ කයිරෝ නගර‍යේ කිලෝ මීටර සියයක පමණ දුරක් නැවතුම් ස්ථාන පණහකට අධික ප්‍රමාණයක් ඉහළ පහල ගමනාන්ත විශාල ප්‍රමාණයක් කළමණාකරනය කරමින් ජනතාවට ගමනාගමන පහසුකම් සැලසීම අතිශය දිරිගන්වන සුළු සංවර්ධන ව්‍යාපෘතියකි.

මා නැවතී සිටි හෝටලයේ සිට මිනිත්තු තුනක පා ගමනින් මෙට්රෝ ස්ටේෂම කරා ළං විය හැකිය. මදාර් නම් වූ අප පෙදෙසින් ඇර‍ඹෙන අපේ ගමන අවසන් විමට තිබු‍ණේ කයිරෝවේ සුපතල කෞතුකාගාරය පිහිටා තිබූ එල් කාසස් නම් වූ උප නගර මෙට්රෝ නැවතුම් පො‍ළටයි. මෙම නැවතුම් පොළ පොලවෙන් යට පිහිටා තිබූ අතර එහි අභ්‍යයන්තරය පුහු ආටෝපවලින් තොර මිනිස් පරිවහන පද්ධතියක යටිබිම් නැවතුමක තිබිය යුතු සියළු අංගෝපාංගයන්ගෙන් සමන්විත අතිශය සරල වාස්තු විද්‍යාත්මක සැළසුමින් යුත් ස්ටේෂමක් විය. විදුලි දුම්රිය ධාවක පර්යන්තයක තිබිය යුතු ආරක්ෂාව මෙන්ම භාවිතාවේ ඇති සරල බවින් මේ ස්ථානය ඉහළ අගයක් ගන්නා බැව් මට පෙනුණි. මිල දී ගන්නා ටිකට් පත යන්ත්‍රයකට ඇතුළු කොට එහි ඇති කැරකැවෙන අඩු තුනකින් යුත් මුදාහැරීමේ හරස් පොල්ලක් විවෘත වීමෙන් ටිකට් පත්‍ර පරීක්ෂාව යාන්ත්‍රිකව කෙරුණු හෙයින් ප්‍රමාදයකින් පෝලිමකින් තොරව මගීන්ට ස්ටේෂමෙන් නිදහස් වී බාහිරට පැමිණිය හැකි විය.

අප ගමන් ගත් මාර්ගවල වෙනදාට වඩා පාළුවක් සහ අවිනිශ්චිත බවකින් පිරී ඇති බැව් මූසා මට කීප වතාවක්ම මතක් කරන්නට විය. මා මේ මංමාවත්වල ඇවිද යන්නේ සිහිනෙන් මෙන් බැවින් මේ කියන්නා වූ වෙනස්කමක් මට නො‍දැනෙන්නට විය. මා මග දෙපස වූ ඉපැරණි ගස් සහ ඒවායේ පසුබිමෙන් වූ ඊජිප්තියානු වාස්තු කර්ම දෙස ඒවයේ ඇති පෞරාණික ලක්ෂණ දෑසින් විනිවිදිමින් සිටියා මිස නගරයේ ඇති අසාමාන්‍ය නිස්කලංක බව ගැන නිනව්වක් නොවීය. මූසා කීප වරක්ම කීවේ වෙනදාට මේ මංමාවත්වල හැඩරුව පවා දැක ගන්නට නොහැකි තරමින් වාහන සහ මිනිසුන් ගැවසෙන බවයි. මම සතුටින් සිටියේ එබඳු ජන සන්නිපාතයක් මේ වනතුරුත් වීදි කරා අවතීර්ණ නොවී තිබුනෙන් මේ අනපේක්ෂිත හිස් බව මා හට නගරසිරිය රිසිසේ විඳගන්නට ලැබුණ දුර්ලභ අවස්ථාවක් විය හැකි බවය. මේ අප ගමන් ගන්නා මග දෙපස තැනින් තැන පොලිසිය කිසියම් වැටලීමකට හෝ ක්‍රියාන්විතයකට සූදානම් වන අයුරක් මට කෙමෙන් වැටහී යන්නට වූයේ පොලිස් නිලධාරීන් පුරවා ගත් දැවැන්ත වාහන එක පෙළට හන්දිගානේ නවතා තිබූ දසුන් කීපයක් ඇස ගැටුමෙන් අනතුරුවය.

මූසා සමග මගේ පාගමන අවසන් වීමට නියමිතව තිබුණේ කෞතුකාගාරයෙන් වුවද අප ඒ වෙත ලංවද්දී දුටුවේ ‍දැවැන්ත මුරකාවල් විසින් එදින කෞතුකාගාරය අවට මුරකාවල් යොදා ඇතුල්වීම තහනම් කර ඇති බවකි. දැඩි සේ දුර්මුඛ වූ මූසා මගෙන් කීප වරක් සමාව අයදිමින් කියා සිටියේ මේ අසාමාන්‍ය තත්වයක් බවත් සාමාන්‍යයෙන් සිකුරාදා උදේ නවයේ සිට සවස හය වනතෙක් කෞතුකාගාරය විවෘතව පවතින බවත් එ නිසා මා කැඳවා එන්නට තමන් සැළසුම් කළ බවත් මේ අනපේක්ෂිත තත්වය කුමක් නිසාදැයි තමන් හොඳින්ම දන්නා බවත් ය. මෙයින් අන්දුන් කුන්දුන් වූ මා ඔහුගෙන් විමසා සිටියේ ඒ කුමන කාරණයක් නිසාවෙන්දැයි යනුවෙනි. මා ඊජිප්තුවට පැමිණියේ විසිතුන් වැනිදාය. විසිපස් වනදා රාත්‍රියේ කිසියම් ආණ්ඩු විරෝධි සටන් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ බව මට මගේ හාම්පුතා පැවසුවද ඒ කුමක් දැයි සවිස්තරව කීමට තරම් ඔහු උනන්දු නොවූ අතර කෙටියෙන් කීවේ ඊජිප්තුවේ ඒකාධිපති රාජ්‍ය නායක හොස්නි මුබාරක් ගෙදර යවන්නට රට්ටුන්ට අවශ්‍ය වී ඇති බවකි. මේ කාරණය වසර තිහක් තිස්සේ ඊජිප්තුව පාලනය කරමින් අත්තනෝමතික ඒකාධිපති පාලනයක් ගෙන යන හොස්නි ගැන මා දැන සිටියේ විකිපීඩියාවෙන් ඊජිප්තු ඒමට පෙර එහි පසුබිම් සටහන් සොයා බලමින් සිටි අවදියේය. එනමුත් ඊජිප්තුවේ පොලිසියට නිවාඩු දිනයක් ඇති බවත් එදින සෑම මසකම විසිපස්වැනිදා බවත් එදිනටම රාජ්‍ය විරෝධීන් සිය විරෝධය සාමකාමීව ප්‍රකාශ කරන්නට යොදා‍ගෙන ඇති බවත් ජනවාරි විසිපහෙන් ඇරඹුනු මේ විරෝධතාවය හොස්නි මුබාරක් ගෙදර යවා මිසක් නතර නොවන්නක් බවත් මූසා මට කැඩිච්ච ඉංගිරිසියෙන් දිගින් දිගටම පැහැදිලි කරන්නට විය.

මාගේ කෞතුකාගාරය නැරඹීමේ ආශාව එතෙකින් වාෂ්ප වී‍ ගොස් අද දිනයේ කයිරෝ නගරයේ ඇති මේ භයංකර මිනිස් පෙළ ගැස්ම පිළිබඳ රහසිගත සංඥා අවටින් මා වෙත ගලා එන්නට වූයේ ඒ ඇසීමෙන් අනතුරුවය. නගරයේ හැසිරීම මා එතුවක් දුටු සාමකාමී බවට යටින් දිව යන ප්‍රචණ්ඩත්වයක සේයා සඟවා මද සිනහ නගනා යක්ෂයෙකු මෙන් ඒ මොහොතේ පටන් මට පෙනෙන්නට වූයෙන් මූසාට මා යෝජනා කළේ අප වහා නගරයෙන් පිටතට ගොස් පිරමිඩ ආශ්‍රිත පෙදෙසට ගමන් කරන්නට ඇත්නම් හොඳ බවය. එනමුත් ඒ වන විටත් ගමනාගමනය පාලනයට ලක්වෙමින් පවතින බවත් පිරමිඩ පිහිටා ඇති ගීසා පෙදෙසට යාම දුෂ්කර බවත් බැලු බැලූ අත මුරකාවල් තත්පරයෙන් තත්පරය ඉහල යන ආකාරයත් දුටුවෙන් පොත් කඩසාප්පු ඇති පෙදෙසකට මා කැඳවා යනු මැනවයි මූසාට මම යෝජනා කළෙමි. ඔහු මා සමග නයිල් නදියට උඩින් වැතිරී ඇති දැවැන්ත පාළමෙන් ‍එගොඩට ඇවිද ගොස් පොත් සාප්පු පිරි අතුරු මාවතකට අවතීර්ණ විය. එම පොත් සාප්පු කොළඹ ගාමිනි සිනමා ශාලා පෙදෙසේ පවත්වා ගෙන යන ආකාරයේ පිළිවෙලක් නැති පොත් අට්ටි ගසා ඇති කුඩා පොත් සාප්පු විශාල ප්‍රමාණයකින් සමන්විත විය. කිසිදු පොතක් සොයා ගැනීම පහසු නැති එම සාප්පුවල අතිශය වටිනා පොත් ද බිම දමා ගොඩ ගසා තිබෙනු මම දුටුවෙමි. මා සෙවූ කිසිදු පොතක් එහි බැලු බැල්මට සොයා ගත නොහැකි වුවද විවිධ විශයයන් ආවරණය වන විශ්ව විද්‍යාල අධ්‍යාපනික පොත්පත් ද පරිගනක කළමනාකරණ වෛද්‍ය විද්‍යා ගණිත ‍යනාදී විවිධාකාර අලුත් ඉංගිරිසි පොත් සුලභ විය. පසුව මා මූසාට යෝජනා කළේ අප යායුත්තේ විශාල පොත් සාප්පුවකට බවයි. එවිට මා හට ඇවැසි පොත් පරිගනක දත්ත ගබඩා ආශ්‍රයෙන් සොයා ගැනීමට පහසු වන බැව් ඒත්තු ගැන්වූයෙන් ඔහු එබඳු මිල අධික පොත් සහිත යැයි ඔවුන් විශ්වාස කළ එයාකාර වූ පොත් සාප්පු සංකීර්ණයක් කරා යාමට මා සමග මෙට්රෝ යටිබිම් හරස් මග හරහා නැවත ගමන් කරන්නට පටන් ගත්තේය.

ඒ අතරතුර මධ්‍යාහ්නය උදාවෙමින් පැවති බැවින් මුස්ලිම් ජාතිකයන් සලා කිරීමට තැන් තැන්වල පොදි ගැසෙනු දක්නට හැකි විය. පල්ලියේ යාඥා හඩවල් ද වටින්පිටින් නද දෙන්නට විය. අප ඒ අතරතුර අපගේ ගමන්මග වැටී ඇති කුඩා රෙස්ටොරන්ටුවකට රිංගා ගත්තේ ෂීශා බීමට මා කැමති යැයි පැවසූයෙන් මූසාට ඇති වූ සංතෝෂය හේතුවෙනි.

අපි ෂීශා බොන්නට ලකලැහැස්ති වූයෙමු. මා කැමති කුමන සුවඳකාරකයකටදැයි ඇසූ විට ඇපල් යයි කී මා හරිබරි ගැසී ඒ කුඩා රෙස්ටොරන්ටුවේ ආසනයකට බර වීමි. ෂීශා යනු මුස්ලිම් අය දුම්බීමට පාවිච්චි කරන පෞරාණික උපකරණයක් යැයි කීමේ වරදක් නැත. එහි ඇති විශේෂත්වය වන්නේ දුම් උරා ගැනීමට පෙර ජලයෙන් පෙරා බුබුලනය කරවීමේ යාන්ත්‍රණයක් එම උපකරණය සතු වීමෙනි. එනයින් එහි දුම ඉතාම මෘදුය. එමෙන්ම සුවඳින් යුත්තය. දුම්කොල නොවන වෙනත් කිසියම් ද්‍රව්‍යයකට සුවඳ කවා ඒවා මැටි ගොට්ටක පුරවා එහි මුදුනත දැල්වූ අඟුරු කැට තබා පහලින් වූ වෑල්වයකට සබැඳි ප්ලාස්ටික් බටයකින් උරා බොන ආකාරයේ මෙම උපකරණය දැකුමට ප්‍රියජනකය. අප‍ දෙදෙනා දෙපස දැන් එබඳු ෂීශා උපකරණ දෙකක් යුහුසුළුව සකස්වනු අපි සිනා සෙමින් බලා සිටියෙමු. මා ප්‍රථම දුම් උගුර උරා පිට කරද්දී සිනාසෙමින් මූසා කීවේ ඊජිප්තු ජාතිකයෙකු සේ මා දුම් පිට කරන බැවින් වහා ඡායාරූපයක් ගෙන තබා ගැනීම සුදුසු බවය. මම ඊට ඉඩ දී තව තවත් ෂීශා බොන්නට වීමි. එය එතරම්ම ප්‍රණීත දුම් බීමකි. වැඩි වේලාවක් අපට ප්‍රණීත ලෙස දුම් උරන්නට ලැබුණේ නැත. අපට ඉදිරියෙන් වූ වීදියේ හදිසියේම මිනිසුන් කැළඹී එහෙ මෙහෙ දුවන්නටත් අප ඉදිරියේ වූ දැවැන්ත වීදුරු ජනේල සහ දොරවල් වසා දමන්නටත් එලියේ වූ අවන්හලේ ප්ලාස්ටික් පුටු සහ මේස වහවහා ඇතුලට ගන්නටත් එහි සේවකයන් අධික කලබලයක් ඇති කළෙන් සිදු වන්නේ කුමක්දැයි බැලුමට මූසා එලියට ගියේ මා හට එහි ම රැඳී සිටින්නට අතින් සංඥා කරමිනි. අද උදෑසන මූසා පැමිණෙද්දී මගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන විත් තිබුණේ කැමරූන් කරා යාමට අවශ්‍ය වීසා ද සමගිනි. එම කවරය මාගේ කලිසම් සාක්කු‍වේ තෙ‍රපේ. මට එකවරටම සිහි වූයේ අප අද මේ ගමන නොපැමිණියේ නම් යහපත් බවයි. මන්ද යත් අප මෙතුවක් ගමන් කළ මග දෙපස රැඳෙමින් කල්මරමින් හුන් පොලිස් බලමුළු කිසියම් ආකාරයක විරොධතා කණ්ඩායම් මර්දනය කරන්නට කොයි මොහොතක හෝ සැහැසි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි යන ඉවක් මා තුළ වූ බැවිනි. දැං එය සිදුවෙමින් පවතී. මූසා පැමිණියේ ඇස්වල කඳුළු පුරවා ගෙනය. විරෝධතාකරුවන් මර්දනය කරන්නට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බැව් සැණෙකින් මට වැටහුණි. මූසා කීවේ තමන් ජිවිතයේ පළමුවරට මේ අත්දැකීමට මුහුණ දුන් බවයි. ඔහු එනමුත් මා තැතිගැන්මෙන් වළක්වනු පිණිස සිනහ මුසු මුහුණින් මුහුණ පිසින්නටත් මගේ ආරක්ෂාව වෙනුවෙන් කළ හැකි දේ ගැන උපදෙස් ගැනීමට සිය ජංගම දුරකතන සාක්කුවෙන් එලියට ගත්තේය. ඔහු ගේ මුහුණ අඳුරු වූයෙන් මම වික්ෂිප්ත වීමි. ජංගම දුරකතන ජාල අක්‍රිය කරල යැයි මූසා කීවේ විශාල කරගත් දෑසිනි. ඔහුට ද තත්වයේ බරපතල කම නොදැනුවත්ම එළිදරව් වෙමින් පැවතුනේ යැයි මට සිතු‍ණි. අප අසල බිත්තියේ වූ දැවැන්ත රූපවාහිනි තිරයේ අතොරක් නැතිව ඊජිප්තුවේ හදිසි අවස්ථාවක් හටගෙන ඇති බැව් අරාබි බසින් අඛණ්ඩව ප්‍රචාරය වෙමින් පැවතුන බැව් දුටුවේ අප ඉන්නේ ඒ සියල්ලටම මැද්දෙන් බැව් වටහා ගන්නට අපට වැඩි වේලාවක් ගත නොවුනි. අප මීට පැය බාගයකට පමණ පෙර පාගමනින් පසු කර ආ සියළුම තැන් දැං රූපවාහිනි ති‍රයේ දිග හැරෙන්නේ පොලිසියේ ප්‍රහාරවලින් පිරී යන විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය ද දිස් වෙමිනි. මා හට දෙනෙත් අදහා ගත නොහැකි විය. මීට හරියට පැය බාගයකට පමණ පෙර යාඥා කරමින් මග දෙපස හුන් පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස් බල වළලු පෙරලමින් ඉදිරියට ඇදෙනු බලා සිටීම විශ්මයජනක විය. මූසා මට රූපවාහිනි තිරයේ පෙනෙන හැම දසුනකටම මේ අපි අර හැරුණ තැන මේ අපි අර පාර මාරුවුන තැන ...මේ අපි අර දුවල ගිය තැන යනාදී වශයෙන් කියද්දී අප ඒ පසුකර ආ සියළු තැන් දැං යුධ පිටි බවට පත් වී ඇත. මගේ ඇඟ සීතල වී ගොස් දෙතොල් වියලෙද්දී ෂීශා බටය මුවින් රුවා මේසය මත ඇතිරුවෙමි.

අප ෂීශා බොමින් සිටි අවන්හල වටා වූ පාරවල් ත්‍රිත්වයේම මිනිසුන් මුහුණු කට රෙදිකඩවල් වලින් ආවරණය කරගෙන හිස් ලූ ලූ අත දුවනු මට පෙනුණි.

මිලියන අසූවක් වූ ජනතාවකට ඒකාධිපතයෙක් එලවා දමන්නට පාරට බැස උද්ඝෝෂණ කරන්නට වසර තිහක් ඉවසන්නට සිදු වී ඇත‍.