Saturday, October 17, 2015

යන්නං චන්දරේ-ටිම්රාන් කීර්ති

ටිම්රාන් කීර්ති විසින් පළ කරන ලද සිය දෙවැනි නිර්මාන සංග්‍රහය වන යන්නං චන්දරේ රස විඳුමට ලැබුණි. 

ටිම්රාන් කවි ලියා ඇත. ඒ ගැන සතුටු විය හැකිය.

එපා වන තරමට, ඇසේ වැදී - ඇඟේ වැදී - පුකේ වැදී යන කවි මුහුණු පොතේ දෛනිකව පාචනය වන බැවින්,  කවිත්-ඒවා ලියන එවුනුත්-සාහිත්තෙත් සමස්තයක් ලෙස එපා වී චොර වී ඉද්දී මේ පොත අතට ලැබීම සැනසුමකි.

කඩතොලු

තට්ටු පිට තට්ටු ඇති

කතාවක විස්තරය
කෙට්ටු කාමර දෙකෙත්
හැම තැනම පත්තරය
ජීවිතේ ඔතෑනිව
ඇදෙන ඉබි ගමනකය
කටුව මත බොඳ ව යන
නොරිස්සුම් ගුලු කුඩුය

සදා වේදනා දෙන
නාට්ටාමී කොන්ද
කවද දිග හරින්නද
බිම තියල පොත් කන්ද
උට්ඨාන වීරියෙන් සිටියි
පොත් රාක්කේ
බිත්තියට තද කරන්
වාරු නැති පිට කොන්ද

මල් පිපුණ සපු සුවඳ
කල් පැනපු තන පට ද
සැහැල්ලුවේ ඩෙනිම් බර
දරාගත් බඳ පටි ද

කනින් කොන එල්ලගෙන
හැඟුම්බර ඇඳුම් වැට
රකී කඩමලු දහම
නොතක කකුලක අඩුව

ප්‍රේම සංචාරෙකදි
වීදියේ කඩ පිළෙන්
ආදරය හෙට්ටු කර
ගණන් බස්සල ගත්ත
ප්‍රේම් එක පළුදු වුණ
ඉසුරුමුණි පෙම් යුවළ
දැකුළුමල් යාය මැද
බැලූ අත බලාගෙන...

ඔතාගෙන රෑ රෙද්ද
සොයන විට දී නින්ද
මිතුරු මෝසම් වැස්ස
හිටි අඩියෙ ඇවිල්ලා
නොකිය එන නෑ ගමන!

අතු වහලෙ සිදුරකින්
ලණු ඇඳේ නෙත්තියට
බිඳෙන් බිඳ වක්කරයි
හැඟුම් දිය සීරාව

හිරිකඩින් මිදෙන්නට
අතරමැදි පොරෝනය
උදව් ඉල්ලන විටෙක
අහක බැලුමට තරම්
උණු නොවන හිත් වේද?

අසෙනි ඝෝසා මැද්දේ
විදුලි එළි උණුහුමට
මකුළු දැල් පොරෝනය
ඉරුණෙ නැත්නම් පුදුම!!

මෙතෙක් රැකි ගොළු මන්ත්‍ර
බිඳෙන මෝසම් වැස්සෙ
ඉසුරුමුණි පෙම් යුවළ
මකයි කඩතොලු පරණ


 ඒ මගේ සඳයි...

ඇතත් නැතත් ළඟ තනි තරුවක්
වක ගැහුණු දාට
ඉරි ගසා බෙදන්න ද කාට කාට
සඳ එන්න ඉතින් අහසට
අරඹන්න පයුරුපාසානම

අහසටම බැන්ද ඉණමග සේ
බෝ උසයි පල්ලියේ කොන්තේ
ඇමිණිලා පැළෙයි උඹෙ හර්දේ
වංගුවක් දමාපන් මිතුරේ

හේඩෑව අස්සෙ ලැග්ගා සේ
රුප්පාව උඩට නැග්ගා සේ
නෑ කියා හිතනවද මිහිරක්
ඉස්ලාම් නගරයත් කවියක්

ඇවිළිච්ච දවස අකුළන්න
මිහිරි මතක අවුළන්න
එපා දොළේ කිමිදෙන්න
තැළවිල්ල අතැර පැන එන්න

රාමලාන් දවසට වෙස් බැඳගන්ඩ
අඩ සඳ පළුව තනි තරුවට ඈදන්ඩ
හඳේ රහස් ඉඳහිටවත් පාදන්ඩ
කුලී ගෙදර මුදුනට හඳ පායන්ඩ

පෙමක මුනිවර මුහුණ

"මොනවද ඔයැයිලට
ගේන්නේ කෑමට?"
අසයි වේටර් කොලූ
නැඹුරුව අපේ මේසෙට

"මං කහටෙකක් බොන්නං
ගෙදර ගිය ඉඩවරේ
බත් කටක් කෑහැකිනෙ
උඹයි කෙල්ලයි දෙන්න
මොනව හරි කාහල්ල
මඳි වෙන්නෙ නෑ පුතේ
මාරු තියෙනවද හැඹිලියේ..."

යාබදව අසුන් ගත්
තුරුණු පෙම්වත් යුවළ
ඉසියුම්ම දෙනෙත් හී මානමින්
බිඳෙන් බිඳ තොල ගායී
කූල් කෝලා දෙකක්!

යටි හිතෙන් හිනා වෙනවැති අපට
ජීවිතේ විසල් බර දැනේයෑ
ළපටි ආදරයකට...

"ඉස්පිරිතාලෙ ඉඳලම
මටත් පිරියක් නෑ ඒයි
බඩ හෝදලත් දවසනෙ
ඔයා පව්! උදේටත් කාල නැතුවැති
ඉතිං කන්නකො අනේ
මං ළඟත් කීයක් ද තිබුණා"

සෙල් පිළිමයක් මෙන්
නොරිස්සුම් බැලුම් ලයි
කැහැටු වේටර් කොලූ...

"ගේන්නකෝ ප්ලේන්ටී තුනක්!"
කෙඳිරුවෙමි වේටර්ට
ඉඟිලුනා ඔහු සැණින්...

ඉකි හඩක් ගිලගන්න
සිහින් සුසුමක් බිඳුණි යාබදින්

දයාවේ මුදු බැලුම් අප වටා දවටමින්
තුරුණු පෙම්වත් යුවළ මිදෙනු බැරි
තැවුලකින්
අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන
තමන්ගේ ලෝකයේ පැළ කරන
ළපටි පෙම්වන්තයිනි මනු තැවුල් ඉව කරන
මා හදේ රාමුවිණ පෙමක මුනිවර මුහුණ


ගිනි ගත් රැයක්

ජීවිතේ අමු කට්ටක්
බැරිම තැන හොයාගෙන ජොබ් කට්ටක්
එල්-එස්-ඕ වුණා කමලක්කත්
ගාමන්ට් එකේ රහස් කසුකුසු
"සිකුරුටි එකට ඇවිදින්
මරු කලට්ටක්!"

පරණ 'මධුරස' පත්තර
ඔපිස් බෑගයෙ සුරකින
ප්‍රාණවත් වෙන දවස එනකල්
තැපෑලෙන් බේත් බොන
ඉන්චාජ් සමයවර්ධන
එකපයින් වැඩට ගත්තේ
තලඑළලු කමලක්කව....

එදා ෆැක්ටරියේ රෑ වැඩ දවසක්
එකසීරු වැහි මැද්දේ
මුර කුටියෙ දූපතක්
බේත් මත ඉහට ගහලා
රහස් නිදි පොළක හිටියේ
සමයවර්ධනත්

යාංතං නොතෙමිච්ච
බංකු පොඩියේ කොනක
ගෑවිගෑවී ඉද්දි
ඇයමයි වචන දම්වැල ඇමිණුවෙත්

නෙක ලතාවන් අතරමං වන
ගහක් නැති මංතලාවක් මත
වැලකි ඇය දරු බරද උහුලන
තුරක් වූ හිමි මලේ මෑතක

ඊට පසු ගල් වළක මෝලක
එහෙම නැත්නම් රබර් වත්තක
කීවා යටගිය දවසෙ විස්තර
පැළුණ අතැඟිලි මවෙත දික්කර

ඇගෙ දෑත මගෙ දෑත සමවිණ
රළු තැනින් ආදරේ ඉපදිණ
ඇගෙ මුවද මොහොතකට ගොළු විණ
වචන හිඟ වී කොපුල් රතුවිණ

ඇගෙ දෙතොල් මත දෙතොල තබමින්
උරා බිව්වෙමි ඇගේ දුක්ගිනි
දුකේ ගිනි කාරමේ රස්නෙට
ඇයත් එක්කම මාත් ඇවිළිණි...

"නිදි වදින්නද පඩි ගෙවන්නේ!!"

සමයවර්ධනගේ හඩ අකුණක්ව පිපිරුණා
ගිනි පුළිඟු ඇස් දෙකේ පිරිමිකම ඉස්සුණා
උන්න තැන් අමතකව මගෙ පපුව ගැස්සුණා
කමලක්ක තනපටත් හදං සන්සුන් වුණා

ආයෙමත් ඇගෙ මුහුණ බලන්නට බැරිවුණා
පාන්දර බස් එකට කමලක්ක ගොඩවුණා...