Thursday, March 14, 2013

අනේ ඇල්බට් නොදුටි මොක් පුර!


අද ඇල්බට් අයින්ස්ටයින්ගේ උපන් දිනය යි.

අයින්ස්ටයින් ගැන ඔහුගේ සාපේක්ෂතාවාදය ගැන අද වන විට ලංකාවේ භෞතික විද්‍යාව දන්නා අය අතර ඇති ඔවුන්ගේ දන්නා ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ලංකාවේ සාපේක්ෂතාවාදය අඩුම තරමින් කතා කරන්න අවශ්‍ය මට්ටමටවත් දන්නා අය වෙත් ද? ඒ අය කොහෙද ඉන්නේ?

මට නම් මේ ගැන කිසිදු අදහසක් නැත.

මා දන්නා තරමින් ආලෝකයේ ප්‍රවේගයෙන් දර්පණ අරගෙන යන අය හෝ අතේ තියෙන විදුලි පන්දම්වලින් නිකුත්වන ආලෝකය හැසිරෙන විදිය හෝ ඒවා රැගෙන යන අයගේ වයස් වෙනස් වන හැටි හෝ කාල උමං තුළින් ගියාම සිදුවන දේවල් ගැන හෝ තේරවිලි කියමින් තෙපර බාමින් "අපි සාපේක්ෂතාවාදයේ කෙල පැමිණියවුන්" ලෙස සංවාද- සාකච්ඡා පවත්වන කිසිම අයෙක් අඩුම තරමින් අයින්ස්ටයින් නිර්මානය කළ සමීකරණය ඇස් දෙකෙන් දැකවත් නැති තක්කඩියන් බැව් නිර්භයව කිව හැකිය.

අනෙක් අතට අතිශය සංකීර්ණ විශයයන් ලෙස තම තමන් හඳුන්වා ගන්නා යම් යම් ක්ෂේත්‍රවල උගතුන් තම දැනුම ලෙලවමින් ලිඛිත අලිඛිත වාග් සංග්‍රාම මෙහෙයවන උදවිය, සාපේක්ෂතාවාදය වැනි සරල ගණිතමය සිද්ධාන්ත මත ගොඩනැගුනු සංකීර්ණ සංකල්පයක් දුටු විට  පවසන්නේ ඒවා තමන්ට අදාල නැති බවයි. එය උගෙනීමෙන් ඵලක් නොමැති බවයි. එනමුත් ඔවුහු නොයෙක් විට සාපේක්ෂතාවාදයේ එන සංකල්ප තම තමන්ට උචිත ලෙස වෙනස් කොට භාවිතා කරන්නට උත්සුක වෙති. සමහර අය කියන්නේ උතුර නිසා දකුණත් අඳුර නිසා ආලෝකයත් හට ගන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිසාවෙනි කියාය. ඊට වඩා දෙයක් එහි නැති බවත් උදක්ම කියනා පිරිස් ද වෙති.

බොහෝ අය සාපේක්ෂතාවාදය පිළිගත නොහැකි සිද්ධාන්තයකැයි කීමෙහි පවා නිර්භය වන්නාහු එහි දිගක් පළලක් හෝ උඩක් පල්ලක් නොදන්නාහු වෙති. වර්ෂ 2005 දී ද කිසියම් අයෙක් විශාල ප්‍රචාරයක් පුවත්පත් හරහා දෙමින් පවසා සිටියේ සාපේක්ෂතාවාදය වැරදි බවයි. මා එකල තූෂ්ණිම්භූතව බලා සිටියේ එය න්‍යායිකව පෙන්වා දෙන අයුරු කියවා බලා ගන්නටය. එබන්දක් කවර කලෙකවත් නොදුටිමි. ඊට හේතුව වචන සංග්‍රාම කොතරම් කළ ද ගණිතමය වශයෙන් බොරු කිරීමට නොහැකි බැවින් එම ගණිතමය භාෂාව හැසිරවීමේ අසමර්ථ ඔවුනට යන එන මං නැති වෙන හෙයිනි.

සංකේත ඔස්සේ යථාර්ථය සෙවිය නොහැකි යැයි කෙටියෙන් පවසා සාපේක්ෂතාවාදය නිසරු දැනුමකැයි ප්‍රකාශ කොට ධ්‍යාන වඩා සියලු සත්‍ය එක රැයින් දැනගන්නෙමුයි කියා ආරණ්‍යගත වන සත්‍ය ගවේෂකයෝ ද වෙති. ඔවුහු බොහොමයක් යන ආරණ්‍යයක් ද නැත. එනමුත් ඔවුහු බොහෝ අයට භෞතිකය එපා කරවන්නට වැඩ කිරීමෙහි නිරත වෙති. අන්තිමේ දී ඔවුනට අනුව බටහිර ක්‍රිස්තියානු භෞතිකයත් පෙරදිග බෞද්ධ අධ්‍යාත්මික සුවයත් යන දෙකම නැති මොට්ටයන් බවට පත්ව සිංහ නාද පවත්වති.

නොයෙකුත් විශයයන් වෙනුවෙන් අධිගෘහිත අයිතිකාරයන් සිටියත් සාපේක්ෂතාවාදය කෙරෙහි කිසිවෙකුත් තමං බලපුළුවංකාරයෙකැයි ප්‍රසිද්ධියේ කීමට ඉදිරිපත් නොවෙති. ඒ මත පිහිටා දේශපාලන ව්‍යාපෘති ගොඩ නොනගති. දාර්ශනික මැදිහත් වීම් පවා නොකරති. ඒ මන්ද යත් එය දන්නවා යැයි කී විගසින් එහි ගණිතමය මූලධර්ම ඔස්සේ හැරෙන්නට වෙන අන් ක්‍රමයකින් බහුබූත දෙඩවීමේ ක්‍රමයක් නැති නිසාවෙනි. සාපේක්ෂතාවාදයේ ගණිතය ලංකාවේ බහුතරයක් අවිද්‍යා චක්‍රවර්තීන්ට අවිශය වේ.

අනෙක් අතට ලංකාවේ සංවාද තල වල සිටින්නේ විදග්ධ ලෙස ප්‍රශ්න අසන්නන් පමණි. ඔවුහු ප්‍රශ්නය අසා පිළිතුරක් ලදත් නොලදත් තමන් අනෙකා ගේ පුක බිම ඇනෙන්න ප්‍රශ්නය ඇසුවා නේදැයි ස්වයං තෘප්තියට පත්ව ගැලරිය ද සංතුෂ්ටියට පත් කරවති. ඔවුහු ප්‍රශ්න අසන්නේ දැනුම සොයා ගැනුමට නොවෙතත් දැනුම වෙනුවෙන් වෙහෙසෙන එකෙකු හෙම්බත් කරවන්නට ය. ඌට, ඌවම එපා කරවන්නට ය. නො එසේ නම් තමන්ට ද කල්පනා කොට සොයා බලා දැනුම හාරා අවුස්සා පිළිතුරු සොයාගත හැකි ප්‍රශ්න ප්‍රසිද්ධියේ  හෝ අප්‍රසිද්ධියේ ඇසීමට ඉදිරිපත් වන්නට කාරණයක් තිබිය යුතුය.

අයින්ස්ටයින්ගේ උපන්දිනය සමරන, ලංකාවේ  භෞතිකය ප්‍රතික්ෂේප කොට සිය අධ්‍යාත්මික දියුණුවේ හිනි පෙත්තේ සිටිනා අයට මතක් කළ යුතු දේවල් අතර මට මේ වෙලාවේ සිහියට එන්නේ එපමණි.

Monday, March 11, 2013

"වසර 50යි. නිහාල් ඇවිත්."

නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල දී ගත් කැසට් පට තුනකුත් සමග බැව් මට මතකය.

එම කැසට් පට තුන තවමත් මගේ සිතේ ඇඳේ.

එකක් ප්‍රියා සූරියසේන ගේය. අනෙකක් රුක්මණී දේවී ගේය. ඉතිරි එක නිහාල් නෙල්සන් ගේය. මා හට  ප්‍රියා සූරියසේනගේ කැසට් පටය හොඳින් මතක ඇත්තේ එය ඔහුගේ ඡායාරූපයකින් ද සමන්විත ඔහුගේම ගීත පමණක් අඩංගු, මතක හැටියට, තරංගා ලේබලයෙන් යුත් කැසට් පටයක් ලෙසය. අනෙකුත් කැසට් පට දෙක මාගේ පියා විසින් නම් කරන ලද ගීත පමණක් තෝරා පටිගත කරවන ලද්දක් බැවින් ඒවායේ විශේෂ පිට කවර පිළිබඳ මට මතකයක් නොමැත.

කෙසේ වුව ද මා වඩාත් ප්‍රිය වූයේ නිහාල් නෙල්සන් ගේ ගීත ඇසීමටය.

ඉන්පසු සති කීපයක් ගෙවී යන්නට මත්තෙන් තාත්තා විසින් මොහිදීන් බෙග්-අමරදේව-ජිප්සීස් යනාදී වූ එකල බොහෝ ජනප්‍රියත්වයට පත් ගායකයන්ගේ කැසට් පට මිල ට ගෙන තිබූ බැවින් ඒවායේ පැමිණීම හෝ රස විඳීමේ පිළිවෙල මට මතක නැත.

අමරදේවයන් ගායනා කරන "රෑ දුරු රට මේ..." යන ගීතය එකල මා වඩාත් සිත්ගත් ගීතය විය. එය අසද්දී මට ඉතා ඈත දුරක සිට කවුදෝ අමතන්නා වැනි හැඟුමක් ඇති වුනා විනා අන් යමක් පද රචනා ඔස්සේ වටහා ගැනුමෙහි මා අසමත් විය.

"සන්නාලියනේ" ගීතය අසද්දී මට වචනයෙන් කිව නොහැකි භීතියක් හටගත් බැව් නොකියාම බැරිය. එම ගීතය වාදනය වන සෑම අවස්ථාවකම අම්මා හෝ අක්කා අසල දැවටීමට තරම් මට ඒ ගීතය භයානක චිත්තරූප සමූහයක් මවා දුන් අයුර මට තාමත් මතක තියේ.

ගීතවල වචන ඔස්සේ එම ගීතවලට කිසියම් තේරුමක් ඇතැයි යන අදහස මා හට ඇති වූයේ ඊටත් බොහෝ කලකට පසුවය. ස්පාඤ්ඤ ගී තනුවකට අනුව ගැයුනු, වර්තමානයේ කීර්ති පැස්කුවල් ගායනා කරනා ගීතයක් මට හොඳින් මතක ඇත්තේ තාත්තා විසින් පවත්වනු ලබන මධු සාදවල දී තාත්තාගේ මිතුරන් ඒ ගීතය ඉතාම ලස්සනට ගායනා කළ බැවිනි. ඒ මුල් ගීතය ගායනා කරන්නේ කවුදැයි මා දැන සිටියේ නැත. ඒ නිහාල් නෙල්සන් යැයි මා සිතා සිටින්නට ඇත්තේ ඒ ගීතය ද අන්තර්ගත වූයේ නිහාල්ගේ ගීත අඩංගු කැසට් පටයේම වීම නිසා විය හැකිය.

කෙසේ වෙතත් ඉතා කුඩා කාලයේ දීම අමරදේවයන්ගේ ගීත ශ්‍රවණය කරන්නට මා හට ලැබීම හේතුවෙන් වර්තමානයේ දී පවා ඒ ගීත අසද්දී එම අතීතයට මා කැඳවා යන්නට සමත් වන්නේ යැයි මට සිතේ. එපමණක් නොව රුක්මණී දේවී ගේ හෝ නිහාල් නෙල්සන් ගේ ගීත පවා ඇසෙද්දී මගේ මතකය ඒ අතීතය කරා ඇදී යනු මට දැනේ. එකල සිංහල අලුත් අවුරුදු කාලයේ දී මුලු දවසේම ගීත ධාවනය කරමින් පැවැත්වෙන මධුසාදවල මේ සියළු ගීත ගැයුනු වැයුනු හැටි මට මතක තියේ. ඒ නාගරික ජීවිතයේ එක්තරා කඩඉමක් කැසට් සංගීතයත් සමග මුහුව ගලා ආ බැවිනැයි මට සිතේ. (තවත් අඩක් චිත්‍රකතා පත්තර සමග ගලා ආ බවක් මා මීට පෙර සරත්මධු ගැන ලියූ අතීතාවර්ජනයක සටහන් කර තිබේ.)

නවසිය හැත්තෑ ගණන්වල මා ජීවත් වූයේ ද ගාලු පාරේ කඩකාමරයක සොල්දරයක බැවින් එකල සමාජ වටපිටාව ගැන මා සිතේ මැවුනේ ද නිහාල් නෙල්සන්ගේ බහුතරයක් ගීත විසින් එලිදරව් කරන්නා වූ නාගරික සමාජ තීරුවල හැසිරීම මය.

හැත්තෑ ගණන්වල මගේ මතකයේ ඇති කාලයේ දී නම් මාතර නගරයේ විවිධ චණ්ඩි අයියාර්සී කාරයන් මෙන්ම බේබද්දන් ද ගැවසුනේය. අප නිවැසි ගාලු පාර අයිනේ පවා හොර අරක්කු විකුණන්නන් මෙන්ම බූරු පොලවල් ද රහසිගතව පැවැතුනි. ඒ සියල්ල අභිබවමින් මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාවට ඇදී යන සිනමා ප්‍රේක්ෂකයන් ගෙන් ගාලු පාර පිරී පැවතුනේ සැන්දෑ යාමයේ දී පමණක් ම නොවේ. එකල සිනමා ශාලාවල ගුටි බැට රණ්ඩු සරුවල් නිතිපතා සිදු විය. ඒ කාලයේ ම ජනප්‍රිය වූ "ගුණෙ අයියගේ කාමරේ" ගීතය ද මෙම සමාජ හරස්කඩ මැනවින් පිළිබිඹු කළේ යැයි මට දැන් සිතේ.

මට ඒ දවස්වල "ගුණෙ අයියා" යනු "මැන්ඩිස් අප්පු" ලෙස ප්‍රකට හොර අරක්කු විකුණන්නා බැව් මෙහි සඳහන් කළ යුතුය. ඔහු පරණ යකඩ බඩු කඩයක ස්වරූපයෙන් හොර අරක්කු විකිණීමෙහි නියැලුනි. ඔහු ගැන මා සිතේ මැවෙන ඇවිස්සෙන මතකයන් බොහෝ බැවින් එතෙකින් නවතිමි.

වෙසක් උත්සව කාලය වන විට සෑම තැනකම ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගායනාවන් මය. මා එකල බෙග් මාස්ටර්ගේ නොඇසූ ගීතයක් නැති තරමට ඒවා වෙසක් කාලයේ දී ගාලු පාර පුරා ඇසෙන්නට සලස්වන්නේ කවුදැයි මට සිතා ගත නොහැකිය. ලවුඩ් ස්පීකර ලයිට් කණුවල බැඳ, රතු කළු වයර් දිගින් දිගට ඇද එම ගීත එකම තැනකින් ගාලු පාරේ තොරන් ඇති සෑම තැනක් දක්වාම, නල ජලය පොම්ප කරන්නා සේ පොම්ප කරන්නේ කවුදැයි මා කුතුහලයෙන් සිතමින් සිටියා මට හොඳට මතකය.

නිහාල් නෙල්සන් ගේ ගීත ගායනාවන්ට වසර පණහක් පිරෙන්නට තව දින කීපයක් ඇති බැව් මා ඊයේ දැනගත්තේ රූපවාහිනි සේවාවක් විසින් ඔහුව කැඳවා කරන ලද සාකච්ඡාමය වැඩසටහනක දී ය. එම වැඩසටහනට ටෙනිසන් කුරේ ද කැඳවා තිබුණි. ටෙනිසන් කුරේ අපූරු පුද්ගලයෙකු ලෙස මාගේ මතකයට ඇතුළු වන්නේ පෙරලිකාරයෝ චිත්‍රපටයේ ඔහුගේ රංගනයන් නිසාවෙනි. මා පෙරලිකාරයෝ චිත්‍රපටයත් එහි හින්දි ඔරිජිනල්-කොපියත් නැරඹූවේ 1986 දී පමණ ය.

"වසර 50යි. නිහාල් ඇවිත්."


මේ නිහාල් නෙල්සන් ගේ වසර පණහක් පිරෙන ගායනා දිවියේ සුලකුණ තබන්නට සංවිධානය කර ඇති  සංගීත සංදර්ශනය යි.  එම සංගීත ප්‍රසංගය පැවැත්වෙනු ඇත්තේ 2013 මාර්තු මස 15වැනිදා කොළඹ මියුසියස් විදුහල් පරිශ්‍රයේ දී ය.

පාදඩබව සරලව සුන්දරව සහ නග්නව සමාජය වෙත පෙරලා හරවා පෙන්වා දුන් ගායකයෙකුගේ අඩසියවසක ගමනකට සාක්ෂි වන්නට ලැබීම ද භාග්‍යයක් නොවන්නේ දැයි මම විමසමි.

නිහාල් නෙල්සන් එකල සංගීත වේදිකා මත ප්‍රාතිහාර්ය පෑ ගායකයෙකි යි මට සිතේ. සංගීත සංදර්ශන ගැන මෙනෙහි කරද්දී මාතර උයන්වත්තේ ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශන නරඹන්නට මා ගිය කාලය සිහිපත් වේ. ඒ නවසිය අසූ ගණන්ය. වේදිකා වටා තුංග ලෙස නැගුනු අති දැවැන්ත ශබ්ද නිපදවන ස්පීකර පෙට්ටි ඔස්සේ පපුවට කුළුගෙඩියකින් පහර දෙන්නා සේ නැගෙන බේස් හඩවල් මැද්දේ ඔහුගේ හඩ නිම්නාද දුන් අයුරු මට ඉතා හොඳින් මතකය. වයසින් මුහුකුරා නොගිය අපි ඒ නාදයට කරකැවෙමින් නැටූ හැටි මතක් වන විට අපූරු අතීතයක් සිහි වී මැකී යේ.

නිහාල් නෙල්සන් ගේ ගායනාවන් ගැන මෙන්ම ජෝතිපාල ගේ ගායනාවන් ද මාගේ මතකයේ කිසිදා මැකී නොයන ලෙස සටහන් ව තිබේ. සමාජයේ පාදඩ යැයි සම්මත තීරුවල මාගේ ළමා කාලය ගත වීම සහ ඒවා සමීපව ඇසුරු කරන්නට ලැබීම පිළිබඳ අද මා හට ඇත්තේ ගෞරවනීය හැඟීමකි.

නිහාල් ගැයූ සාර්ථකම ගීතය ලෙස මා සිතන්නේ "ගුණෙ අයියගේ කාමරේ" ගීතය ය. එය මා කොතරම් ඇසූවත් ඒ අසන සෑම වාරයකම තව තවත් වෙනස් නැවුම් රූප මවා දීමට අපූරු හැකියාවකින් යුතු ගීතයකැයි මට සිතේ.
"රෝස මලකුයි- නෙලුම් මලකුයි" ගීතය ද මා අතිශය ආශා කරන ගීතයකි. තවත් බොහෝ ගී ඔහුගේ විශිෂ්ට පද රචනාවෙන් ද සංගීතයෙන් ද අසදෘශ ගායනා විලාසය ද මුසුව සමාජයේ විවිධ කොටස් අතර දියව පදම්ව ගොස් ඇති සේය. එම ගී ද ඔහුගේ ගායනා පෞරුෂය ද අපගේ මනස් තුළ අචලව- ඝණීභූතව තවත් බොහෝ කාලයක් පවතිනු ඇත.

නිහාල් නෙල්සන්, ඔබ මාගේ ජීවිතයේ අහුමුල්ලක නොව එළිමහනක සැඟව ගත් යෝධයෙකි.

(ඡායාරූපය ගත්තේ 1 මෙතැනින්, 2 මෙතැනින්.)