Monday, March 11, 2013

"වසර 50යි. නිහාල් ඇවිත්."

නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල දී ගත් කැසට් පට තුනකුත් සමග බැව් මට මතකය.

එම කැසට් පට තුන තවමත් මගේ සිතේ ඇඳේ.

එකක් ප්‍රියා සූරියසේන ගේය. අනෙකක් රුක්මණී දේවී ගේය. ඉතිරි එක නිහාල් නෙල්සන් ගේය. මා හට  ප්‍රියා සූරියසේනගේ කැසට් පටය හොඳින් මතක ඇත්තේ එය ඔහුගේ ඡායාරූපයකින් ද සමන්විත ඔහුගේම ගීත පමණක් අඩංගු, මතක හැටියට, තරංගා ලේබලයෙන් යුත් කැසට් පටයක් ලෙසය. අනෙකුත් කැසට් පට දෙක මාගේ පියා විසින් නම් කරන ලද ගීත පමණක් තෝරා පටිගත කරවන ලද්දක් බැවින් ඒවායේ විශේෂ පිට කවර පිළිබඳ මට මතකයක් නොමැත.

කෙසේ වුව ද මා වඩාත් ප්‍රිය වූයේ නිහාල් නෙල්සන් ගේ ගීත ඇසීමටය.

ඉන්පසු සති කීපයක් ගෙවී යන්නට මත්තෙන් තාත්තා විසින් මොහිදීන් බෙග්-අමරදේව-ජිප්සීස් යනාදී වූ එකල බොහෝ ජනප්‍රියත්වයට පත් ගායකයන්ගේ කැසට් පට මිල ට ගෙන තිබූ බැවින් ඒවායේ පැමිණීම හෝ රස විඳීමේ පිළිවෙල මට මතක නැත.

අමරදේවයන් ගායනා කරන "රෑ දුරු රට මේ..." යන ගීතය එකල මා වඩාත් සිත්ගත් ගීතය විය. එය අසද්දී මට ඉතා ඈත දුරක සිට කවුදෝ අමතන්නා වැනි හැඟුමක් ඇති වුනා විනා අන් යමක් පද රචනා ඔස්සේ වටහා ගැනුමෙහි මා අසමත් විය.

"සන්නාලියනේ" ගීතය අසද්දී මට වචනයෙන් කිව නොහැකි භීතියක් හටගත් බැව් නොකියාම බැරිය. එම ගීතය වාදනය වන සෑම අවස්ථාවකම අම්මා හෝ අක්කා අසල දැවටීමට තරම් මට ඒ ගීතය භයානක චිත්තරූප සමූහයක් මවා දුන් අයුර මට තාමත් මතක තියේ.

ගීතවල වචන ඔස්සේ එම ගීතවලට කිසියම් තේරුමක් ඇතැයි යන අදහස මා හට ඇති වූයේ ඊටත් බොහෝ කලකට පසුවය. ස්පාඤ්ඤ ගී තනුවකට අනුව ගැයුනු, වර්තමානයේ කීර්ති පැස්කුවල් ගායනා කරනා ගීතයක් මට හොඳින් මතක ඇත්තේ තාත්තා විසින් පවත්වනු ලබන මධු සාදවල දී තාත්තාගේ මිතුරන් ඒ ගීතය ඉතාම ලස්සනට ගායනා කළ බැවිනි. ඒ මුල් ගීතය ගායනා කරන්නේ කවුදැයි මා දැන සිටියේ නැත. ඒ නිහාල් නෙල්සන් යැයි මා සිතා සිටින්නට ඇත්තේ ඒ ගීතය ද අන්තර්ගත වූයේ නිහාල්ගේ ගීත අඩංගු කැසට් පටයේම වීම නිසා විය හැකිය.

කෙසේ වෙතත් ඉතා කුඩා කාලයේ දීම අමරදේවයන්ගේ ගීත ශ්‍රවණය කරන්නට මා හට ලැබීම හේතුවෙන් වර්තමානයේ දී පවා ඒ ගීත අසද්දී එම අතීතයට මා කැඳවා යන්නට සමත් වන්නේ යැයි මට සිතේ. එපමණක් නොව රුක්මණී දේවී ගේ හෝ නිහාල් නෙල්සන් ගේ ගීත පවා ඇසෙද්දී මගේ මතකය ඒ අතීතය කරා ඇදී යනු මට දැනේ. එකල සිංහල අලුත් අවුරුදු කාලයේ දී මුලු දවසේම ගීත ධාවනය කරමින් පැවැත්වෙන මධුසාදවල මේ සියළු ගීත ගැයුනු වැයුනු හැටි මට මතක තියේ. ඒ නාගරික ජීවිතයේ එක්තරා කඩඉමක් කැසට් සංගීතයත් සමග මුහුව ගලා ආ බැවිනැයි මට සිතේ. (තවත් අඩක් චිත්‍රකතා පත්තර සමග ගලා ආ බවක් මා මීට පෙර සරත්මධු ගැන ලියූ අතීතාවර්ජනයක සටහන් කර තිබේ.)

නවසිය හැත්තෑ ගණන්වල මා ජීවත් වූයේ ද ගාලු පාරේ කඩකාමරයක සොල්දරයක බැවින් එකල සමාජ වටපිටාව ගැන මා සිතේ මැවුනේ ද නිහාල් නෙල්සන්ගේ බහුතරයක් ගීත විසින් එලිදරව් කරන්නා වූ නාගරික සමාජ තීරුවල හැසිරීම මය.

හැත්තෑ ගණන්වල මගේ මතකයේ ඇති කාලයේ දී නම් මාතර නගරයේ විවිධ චණ්ඩි අයියාර්සී කාරයන් මෙන්ම බේබද්දන් ද ගැවසුනේය. අප නිවැසි ගාලු පාර අයිනේ පවා හොර අරක්කු විකුණන්නන් මෙන්ම බූරු පොලවල් ද රහසිගතව පැවැතුනි. ඒ සියල්ල අභිබවමින් මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාවට ඇදී යන සිනමා ප්‍රේක්ෂකයන් ගෙන් ගාලු පාර පිරී පැවතුනේ සැන්දෑ යාමයේ දී පමණක් ම නොවේ. එකල සිනමා ශාලාවල ගුටි බැට රණ්ඩු සරුවල් නිතිපතා සිදු විය. ඒ කාලයේ ම ජනප්‍රිය වූ "ගුණෙ අයියගේ කාමරේ" ගීතය ද මෙම සමාජ හරස්කඩ මැනවින් පිළිබිඹු කළේ යැයි මට දැන් සිතේ.

මට ඒ දවස්වල "ගුණෙ අයියා" යනු "මැන්ඩිස් අප්පු" ලෙස ප්‍රකට හොර අරක්කු විකුණන්නා බැව් මෙහි සඳහන් කළ යුතුය. ඔහු පරණ යකඩ බඩු කඩයක ස්වරූපයෙන් හොර අරක්කු විකිණීමෙහි නියැලුනි. ඔහු ගැන මා සිතේ මැවෙන ඇවිස්සෙන මතකයන් බොහෝ බැවින් එතෙකින් නවතිමි.

වෙසක් උත්සව කාලය වන විට සෑම තැනකම ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගායනාවන් මය. මා එකල බෙග් මාස්ටර්ගේ නොඇසූ ගීතයක් නැති තරමට ඒවා වෙසක් කාලයේ දී ගාලු පාර පුරා ඇසෙන්නට සලස්වන්නේ කවුදැයි මට සිතා ගත නොහැකිය. ලවුඩ් ස්පීකර ලයිට් කණුවල බැඳ, රතු කළු වයර් දිගින් දිගට ඇද එම ගීත එකම තැනකින් ගාලු පාරේ තොරන් ඇති සෑම තැනක් දක්වාම, නල ජලය පොම්ප කරන්නා සේ පොම්ප කරන්නේ කවුදැයි මා කුතුහලයෙන් සිතමින් සිටියා මට හොඳට මතකය.

නිහාල් නෙල්සන් ගේ ගීත ගායනාවන්ට වසර පණහක් පිරෙන්නට තව දින කීපයක් ඇති බැව් මා ඊයේ දැනගත්තේ රූපවාහිනි සේවාවක් විසින් ඔහුව කැඳවා කරන ලද සාකච්ඡාමය වැඩසටහනක දී ය. එම වැඩසටහනට ටෙනිසන් කුරේ ද කැඳවා තිබුණි. ටෙනිසන් කුරේ අපූරු පුද්ගලයෙකු ලෙස මාගේ මතකයට ඇතුළු වන්නේ පෙරලිකාරයෝ චිත්‍රපටයේ ඔහුගේ රංගනයන් නිසාවෙනි. මා පෙරලිකාරයෝ චිත්‍රපටයත් එහි හින්දි ඔරිජිනල්-කොපියත් නැරඹූවේ 1986 දී පමණ ය.

"වසර 50යි. නිහාල් ඇවිත්."


මේ නිහාල් නෙල්සන් ගේ වසර පණහක් පිරෙන ගායනා දිවියේ සුලකුණ තබන්නට සංවිධානය කර ඇති  සංගීත සංදර්ශනය යි.  එම සංගීත ප්‍රසංගය පැවැත්වෙනු ඇත්තේ 2013 මාර්තු මස 15වැනිදා කොළඹ මියුසියස් විදුහල් පරිශ්‍රයේ දී ය.

පාදඩබව සරලව සුන්දරව සහ නග්නව සමාජය වෙත පෙරලා හරවා පෙන්වා දුන් ගායකයෙකුගේ අඩසියවසක ගමනකට සාක්ෂි වන්නට ලැබීම ද භාග්‍යයක් නොවන්නේ දැයි මම විමසමි.

නිහාල් නෙල්සන් එකල සංගීත වේදිකා මත ප්‍රාතිහාර්ය පෑ ගායකයෙකි යි මට සිතේ. සංගීත සංදර්ශන ගැන මෙනෙහි කරද්දී මාතර උයන්වත්තේ ක්‍රීඩාංගනයේ පැවැති සංගීත සංදර්ශන නරඹන්නට මා ගිය කාලය සිහිපත් වේ. ඒ නවසිය අසූ ගණන්ය. වේදිකා වටා තුංග ලෙස නැගුනු අති දැවැන්ත ශබ්ද නිපදවන ස්පීකර පෙට්ටි ඔස්සේ පපුවට කුළුගෙඩියකින් පහර දෙන්නා සේ නැගෙන බේස් හඩවල් මැද්දේ ඔහුගේ හඩ නිම්නාද දුන් අයුරු මට ඉතා හොඳින් මතකය. වයසින් මුහුකුරා නොගිය අපි ඒ නාදයට කරකැවෙමින් නැටූ හැටි මතක් වන විට අපූරු අතීතයක් සිහි වී මැකී යේ.

නිහාල් නෙල්සන් ගේ ගායනාවන් ගැන මෙන්ම ජෝතිපාල ගේ ගායනාවන් ද මාගේ මතකයේ කිසිදා මැකී නොයන ලෙස සටහන් ව තිබේ. සමාජයේ පාදඩ යැයි සම්මත තීරුවල මාගේ ළමා කාලය ගත වීම සහ ඒවා සමීපව ඇසුරු කරන්නට ලැබීම පිළිබඳ අද මා හට ඇත්තේ ගෞරවනීය හැඟීමකි.

නිහාල් ගැයූ සාර්ථකම ගීතය ලෙස මා සිතන්නේ "ගුණෙ අයියගේ කාමරේ" ගීතය ය. එය මා කොතරම් ඇසූවත් ඒ අසන සෑම වාරයකම තව තවත් වෙනස් නැවුම් රූප මවා දීමට අපූරු හැකියාවකින් යුතු ගීතයකැයි මට සිතේ.
"රෝස මලකුයි- නෙලුම් මලකුයි" ගීතය ද මා අතිශය ආශා කරන ගීතයකි. තවත් බොහෝ ගී ඔහුගේ විශිෂ්ට පද රචනාවෙන් ද සංගීතයෙන් ද අසදෘශ ගායනා විලාසය ද මුසුව සමාජයේ විවිධ කොටස් අතර දියව පදම්ව ගොස් ඇති සේය. එම ගී ද ඔහුගේ ගායනා පෞරුෂය ද අපගේ මනස් තුළ අචලව- ඝණීභූතව තවත් බොහෝ කාලයක් පවතිනු ඇත.

නිහාල් නෙල්සන්, ඔබ මාගේ ජීවිතයේ අහුමුල්ලක නොව එළිමහනක සැඟව ගත් යෝධයෙකි.

(ඡායාරූපය ගත්තේ 1 මෙතැනින්, 2 මෙතැනින්.)

8 කුළිය:

රතු රජරට said...

ගුණෙ අයියගෙ කාමරේ මස්කට් පැණි බූන්දි තියෙන්නේ ඇයි?

කතන්දර කාරයා said...

මස්කට් පැණි බූන්දි කන්නේ මල් බොන ගමන් නේද?

කතන්දර කාරයා said...

ෆිෆ්ටියක් ගහනවා කියන්නේ නැල්සන් සින්දු කියන්නට පටන් අරං තියෙන්නේ 1963 දී නේ.

මං හිතන්නේ පොරට ඔන්ණං හැටක් ඇති නේද? ඒ කියන්නේ ළමා පිටියේ ගායකයෙක්ද?

Anonymous said...

මල් බොන්නෙ නෑ කතන්දර. මල් ගහනව හෝ මලක් අදිනව. පොලවෙ පය ගහල ජේවත් වෙන්න.

itnishantha said...

මටත් නිහාල් නෙල්සන්ගේ සින්දුවක් ඇහෙන කොට මගේ ළමා කාලය නිතැතින්ම මතක් වෙනවා. මගේ තාත්තාත් නිහාල්ගේ හොඳම රසිකයෙක්. තව ජෝති මිල්ටන්, ප්‍රියා,බෙග්. ශේහ් ඒ කාලයේ තිබුන සංගීත පිස්සුව.

ඉන්දික උපශාන්ත said...

නිහාල්ගෙ මයික් උඩ දැමිල්ල, එමෙස්ගෙ වැලමිට නවන් කරන නැටුම, මැක්ස්වෙල්ගෙ ඇට සැකිලි ප්‍රසංගෙ, අමතක නොවෙන ඒ කාලෙ එළිමහන් වේදිකාවෙ සොඳුරු අවස්ථා...

නිහාල් කියන්නෙ ගව මස් නොකන ඒ වෙනුවෙන් කතා කරන කෙනෙක්. මිනිහගෙ "එපා එපා මස් කන්නට" කියන එකත් අර උඩ ලැයිස්තුවට එකතු උනානම් වටිනව.

තිසර said...

නිහාල් නෙල්සන්ගේ 'ගුණෙ අයියගෙ කාමරේ' වැනි ගීත එකල සමහරවිට අපේ වැඩිහිටියන් අපට අසන්නට නොදෙන්නට ඇති. මොකද මට ඔහුගේ ගීත වලින් හිතේ රැඳිලා තියෙන්නේ "කිරි දුන්නේ දරුවන්ටයි", "ලස්සනට පිපුණු වනමල්", "කරුණා සුවඳ තවරාලූ" වැනි ගීත කීපයක් පමණයි. ඉන්දික කියලා තියනවා වගේ, වැඩියෙන්ම මතකයේ රැඳුනේ ඔහුගේ මයික් උඩ දමා මාරු කිරිල්ල තමයි.

ඉන්දික උපශාන්ත said...

කකා,

නිහාල් නෙල්සන්ගෙ පළමු ගීතය ලස්සනට පිපුන වන මල් ගල්. ඒ කියන්නෙ මිනිහට අඩු ගානෙ මේ වෙනකොට හැත්තෑවක් වත් ඇති.