Saturday, November 6, 2010

"වෙනස් වෙමු" උපත සහ "බූන්දිය"

අද උදෑසනම කවි පොතකුත් කවියකුත් රැගෙන මා වෙත ආවේ බන්දුල පියන්කාරගේ සහෘදයාය. මේ දෙකම දැකුම මගේ විඩාබර ඇස් දෙකට ඈත තරු දෙස ඝණ අඳුරු රැයක හෙළු බැල්මක මෙන්ම සිහිලක් ද සියුම් උණුසුමක් ද ගෙන දුන්නේ ය.

බන්දුලගේ කවියේ අත්පිටපත මා ලද්දෙන් එයම මෙහි බහාලන්නට උත්සුක වූයෙමි.


කැළණි මැර වරුන!


ගණංකාරයෝය!
දෙදෙනාම
සිල්වාවරුය!
ආචාර්යවරුය!
ගණිතාචාර්ය -මැර ආචාර්ය
දෙදෙනාම කඩේ යන්නේ
අපේ රජ්ජුරුවන්ටමය!
එකෙකු සරසවිය තුළ
අනෙකා ඉන් පිටත
ඇතුළත පිටත
වෙනස්කම් -සීමා මායිම්
බොඳ කරනු ලැබ ඇත


නේපියර් -පෛතගරස්
ඉයුක්ලිඩ්
තුම්මුල්ලේ පද්මේ
මරදානෙ චොප්පේ
එන්න
අලුතින් ඉගෙන ගන්න
ගණිතයෙ මැරකම ද
මැරකමේ ගණිතය ද


පියන්කාරගේ බන්දුල ජයවීර
2010/11/01


ඔහු ‍රැගෙන ආ කවි පොත "වෙනස් වෙමු" කවයේ "අකුරු ඔබ දෙස බලා සිටී" ය.




මේ කෘතියේ නිමාව, ආකෘතිය මෙන්ම එහි ග්‍රන්ථ නාමය මට සිහි කළේ 2008 වසරේ බූන්දියේ එකල අපි බොහෝ වැර වෑයමින් පළ කළ "අක්ෂර සෙනග" සාමුහික කවි පොතයි.

එම සොඳුරු ශ්‍රමයේ අතීත නටබුන් කීපයක් මෙලෙස සටහන් කළ මැනවැයි මගේ සිත ඇණවුම් කෙළෙන් මේ සටහන් එම "අක්ෂර සෙනග" කෘතියෙන් උපුටා දක්වමි.

"අක්ෂර සෙනග- බූන්දි විඳීම් සංග්‍රහය" මෙලෙස අරුත් ගන්වා තිබුණි.

අක්ෂර සෙනග නමින් ඔබ අතට පත් වන මේ කෘතිය එහි නමින්ම හැඟවෙන පරිදි අකුරු විශ්වාස කරන වඩා යහපත් ලොවක් බිහි කර ගැනීම වෙනුවෙන් අකුරු අවි මෙන් යොදා ගත යුතු බව අදහන මිනිස් සමූහයක සාමුහික ප්‍රයත්නයකි.අක්ෂර‍ සෙනග හුදු නිර්මාණ සංග්‍රහයක් නොව අප හඳුනා ගත් අරමුණු සමාජගත කිරීමේ වෑයමකි.

අක්ෂර සෙනග නිර්මාණ සංග්‍රහය මෙලෙස පිදුම් කොට තිබුණේය.

"වැලිපිල්ලේ -සෙල් ලිපියේ සිට ගල් ලෑල්ල -හෝඩිපොත පසුකොට පරිගනක තිරය දක්වා සිතුවිලි අකුරු කරන, අනෙකා වෙනුවෙන් ලියන විඳින විඳවන අකුරු විශ්වාස කරන ඔබට ආදරයෙන්."

බූන්දිය පෙරවදනක් මෙලෙස ලියා තිබුණේය. එහි කොටසක් මෙහි උපුටමි.

බූන්දි සඟරාවකි! හරියටම කිවුවොත් සයිබර් සඟරාවකි. එය අච්චු ගසන්නේත් බෙදා හරින්නේත් අන්තර්ජාල අවකාශයේය. කවි කෙටිකතා ලිපි සහ සාහිත්‍ය කලා'ශ්‍රිත බොහෝ දෑ බූන්දිය සමග ඊ තැපැල් පෙට්ටියෙන් පෙට්ටියට හුවමාරු වෙයි. බූන්දිය බෙදා හැරීම සාමූහික වැඩකි. "මිතුරන් අතරේ බෝ කරන්නැ"යි අප කරන ඉල්ලීමට ප්‍රතිචාර දක්වන බූන්දියේ පාඨකයෝ කියවීමෙන් පසු එය තම තමන්ගේ මිතුරු මිතුරියන්ට යවති. එනිසා බූන්දිය ඇමීබාකාරව ගුණනය වෙමින් ලාංකික පරිශීලකයන් සොයා යයි‍.


මාධ්‍ය මගින් පිදුරු සහ පුනක්කු ගිල්ලවා පිටට තට්ටුවක් දැමීම ප්‍රකෘතිය ලෙස වැරදියට තේරුම් ගත් අවකාශයක අපි "පිදුරු" වෙනුවට "බූන්දි" කෑම යෝජනා කරන්නෙමු. බූන්දිය "බොඩි බිල්ඩිං කිරීම" වෙනුවට "ඔළු බිල්ඩිං කිරීම "යෝජනා කරයි. "ආමාෂය" වෙනුවට "හදවත" විශාලනය කරගැනීම යෝජනා කරයි. මීඩියා පඹයන්ට සහ වෙළඳ ඒජන්තයන්ට එදිරිව සිතුවිලි අකුරුවලට අමුණන අකුරු විශ්වාස කරන ලියන්නන් උත්කර්ෂයට නංවයි.


ලිවීම යනු තමන්ගේ ආත්මය කිති කවා ගැනීමට කරන වැඩක් නොව අරමුණු සහගතව කරන කිසිවක් බව බූන්දිය විශ්වාස කරයි. "සෙට් වීම" යන ජනප්‍රියවාදී වදනින් හැඟවෙන සහෝදරත්වය සහ සාමුහිකත්වය බූන්දිය ඉදිරියට තල්ලු කරන අධි බලැති එංජිමයි! එය "බදාගෙන කෑම" වෙනුවට "බෙදාගෙන කෑම" දිරි ගන්වයි. බූන්දිය කිසිදු මූල්‍යමය අරමුණක් හෝ මුදල් බවට පෙරළිය හැකි සංකේත වටිනාකම් බිහිකර ගැනීමේ අරමුණක් සහිතව පවත්වාගෙන යන සඟරාවක් නොවේ. අප උපයන අතිරික්ත වටිනාකම බූන්දිය සමග එක් වීමෙන් ඔබ අත අතර ඇති වෙන සුහද බවයි. එය ද අපේ සාමුහික අරමුණු ඉටු කර ගැනීම සඳහා නැවත නැවතත් ආයෝජනය කෙරේ.


"සාහිත්‍ය සේවනය" යනු දූවිලි බැඳනු ඕල්ඩ් ෆැෂන් වැඩක් නොව වින්දනාත්මක වැඩක් බවට පොදු සමාජ පිළිගැනීමක් බිහි විය යුතු බවත් එය පුද්ගල ස්වයංවින්දන සීමාවෙන් එළියට ගෙන මානව ප්‍රගමනයට යොදා ගත යුතු වැඩක් බවත් බූන්දිය විශ්වාස කරයි. ඒ සඳහා නව මං සෙවීම අපේ අරමුණයි.

උපුටා ගැනීම එතැනින් අවසන් කළ ද මේ ආකාරයෙන් බූන්දියේ අතිමහත් සමාජගත බලාපොරොත්තු මිටින් ගෙන "අක්ෂර සෙනග" කෘතියේ උත්පාතයත් මෙම පෙරවදනේ ඉතිරි කොටස හරහා දිග හැරෙයි. මේ 2008 වසරේ සැප්තැම්බරයේ බූන්දියේ ආස්ථානය යි.

2009 වර්ෂයේ දී බූන්දිය අලුත් කවි පොත් 6ක් එළිදැක්වීය.

ඒ තරුණ කවි කිවිඳියන්ගේ කුළුඳුල් නිර්මාණ මෙන්ම එසේ නොවන නිර්මාණ සංග්‍රහයක් ද ව‍ශයෙනි.

නිරෝධා තුෂාරි නානායක්කාරගේ "රිදී මුතු ඇටය සහ රත්තරන් හදවත"
උපුල් සේනාධිරිගේ ගේ "සියොතුනට එනු පිණිස"
ඩී එම් ටිම්රාන් කීර්ති ගේ "සාදය සූදානම්ය"
ශක්තික සත්කුමාරගේ "වෙඩි වැදුණ පන්හිඳ"
ඉසුරු ප්‍රසංග ගේ "පරාග"
රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත"

මේ කෘති 6ම බූන්දි ප්‍රකාශන වශයෙන් 2009 සැප්තැම්බරයේ සරල සංස්කෘතික සහ ප්‍රසාංගික උත්සවයකින් කලඑළි දැක්විණි.

රෝහණ පොතුලියද්ද පළ කළ "අහස හැඩි වී ඇත" කාව්‍ය සංග්‍රහය කේන්ද්‍ර කරගෙන "වෙනස් වෙමු" කවයේ ප්‍රථම සාකච්ඡා වැඩමුළුව කොළඹ පූර්වාරාම පන්සලේ ඇරඹුණ බැව් අපි සියල්ලන් දැන සිටියෙමු. පසුගිය සතියේ 2010-10-28 බ්‍රහස්පතින්දා දිවයින පුවත්පතේ වටමඩලට සංවාදගත වන කැළුම් සහ සම්පත් ඔවුන්ගේ "වෙනස් වෙමු" කවයේ ඉතිහාසය සඳහන් කරද්දී ඒ බැව් සඳහන් කර තිබීම "එකල බූන්දියේ අපි" අතර සිටි මා හටද සියුම් සතුටක් ඇති කළ බැව් මෙහි සටහන් කළ යුතුය.

දිවයින පුවත් පතේ සංවාද සටහනේ ආකාරයට "වෙනස් වෙමු" කවය විසින් පුරවා දමන ලද අලුත් හිස් අවකාශයක් පිළිබඳ හැඟවුම හිතා මතා බූන්දිය විසින් එතුවක් කරගෙන ආ කවිය අරභයා වූ මැදිහත් වීම අමතක කර දැමීමක් මෙන්ම එය යට ගසා දැමීමක් බැව් ද කනගාටුවෙන් මෙහි සටහන් කරමි. එනමුත් ඒ ලෙසින් ඉතිහාසය විකෘති කළ ද බූන්දියේ පූර්වජයෙකු ලෙස එහි කිසියම් අල්ප කටයුතු ප්‍රමාණයකට දායක වූ මා හට මෙහිදී නිහඩව සිටිය නොහැකි බැවිනි මේ මතු කිරීම.

කෙසේ වුවද "වෙනස් වෙමු" කවයේ කටයුතු මගේ අතිශය සතුටට හේතු වන අතර ඔවුන් විසින් වඩාත් නිරවුල් ලෙස තම ඉතිහාසය නැවත ප්‍රතිස්ථාපනය කර ගැනුම එම ව්‍යාපෘතියේ යහ කල් පැවැත්මට ආශිර්වාදයක් වනු ඇත.

කෙසේ කවරක් කා අතින් ගිලිහී ගියද, අමතක වුවද, නව කවියේ උන්නතිය වෙනුවෙන් දහඩිය- ශ්‍රමය-ශ්‍රමයෙන් ඉපයූ මුදල් -ජීවිතය වැය කළ "වෙනස් වෙමු" කවයේ සහෘදයන්ට මගේ හෘදයංගම ප්‍රණාමය පුද කරමි. ඒ ගැන මෙනෙහි කර සියුම් සතුටක් අත් විඳිමි.

රෝහණ පොතුලියද්දගේ කවි පොත ප්‍රකාශයට පත් කරමින් එකල බූන්දිය විසින් කළ එම දැල්වීම නොවන්නට "වෙනස් වෙමු" කවය ලාංකීය පොළවේ ප්‍රාදූර්භූත වීම කල්පමා වන්නට ද ඉඩ තිබුණු හෙයිනි, ඒ සියුම් සතුට.

Thursday, November 4, 2010

පැපරාසියා: කලා සාහිත්‍ය කුණු බක්කි හරහා විනෝද කළු කුහරයට ඇද වැටීම

පැපරාසියා: කලා සාහිත්‍ය කුණු බක්කි හරහා විනෝද කළු කුහරයට ඇද වැටීම

සේපාල් අමරසිංහගේ සංස්කරණයෙන් සහ ලේඛනයෙන් සමන්විත පැපරාසියා නම් වූ මාසික සඟරාවේ මංගල කලාපය මේ ඔ‍ක්තෝබරයේ පිට වී ඇත. මෙම සඟරාවේ බහුතර ලිපි ප්‍රමාණයක් වෙන් වී ඇත්‍තේ සංස්කාරක සටහනේ පරිදිම එම කතු මඩුල්ලේ ඒකායන පරමාර්ථය වූ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ සිදුවන ගසා කෑම් -නොමග යැවීම් -ලිංගික වංචනික ක්‍රියා සහ පාවාදීම් එලිදරව් කිරීමයි. වෙනත් විකල්ප හෝ දේශපාලනික පුවත්පත් සඟරා විසින් දේශපාලකයන්ගේ දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කරන්නා සේම සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල සිදුවන නොපනත්කම් එලිදරව් කිරීමේ රික්තක මාධ්‍ය අවකාශය පිරවීමයි. ඒ සඳහා ඔවුහු පැපරාසියා යන නමේ මූලාශ්‍රමය වශයෙන් වෙනසක් සිදු කොට භාවිතාවට ගන්නා බවත් මෙමගින් පුවත්පත් ලෝකයේ හිදැසක් පුරවා ලනු ලබන බවත් සපථ කර ඇත.


"ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ කරන තරමක් වැරදි වැඩ ජඩ වැඩ කුණු වැඩ කරන්නේ රටේ දේශපාලනය කරන එවුං කියල යි. ඒත් අපේ තියෙන අත්දැකීමේ හැටියට කලාව කරන එවුනුයි ජනමාධ්‍ය කරන එවුනුයි විශ්වවිද්‍යාලවල ඉන්න එවුනුයි ඊට වැඩිය දහස් ගුණයකින් වැඩි ජ‍ඩයො. කුහකයෝ පෙරේතයෝ අපරාධකාරයෝ හොරු මංකොල්ලකාරයො. ඒ හින්දා අපි මේ සඟරාව ඇතුළේ දේශපාලනය කරන එවුං විවේචනයට වැඩි ඉඩක් වෙන් කරන්නේ නෑ. වැඩිම ඉඩ වෙන් කරන්නේ කලාව පත්තර කලාව කියලා පල් බොරු කරමින් ජනතාව ගොනාට අන්දවන්න හදන එවුං විවේචනය කරන්නයි. ඒ විදිහ විවේචනයක් පත්තරවලින් කරන්න අමාරුයි. මොකද විමල් වීරවංශගෙ ගෙයි ප්ලෑන් එක පවා අරගෙන පත්තරේ දාන පත්තරකාරයන්ට සුනිල් ආරියරත්න තමන්ගේ පඩියෙන් බොල්ගොඩ ගං ඉවුරේ අසපුවක් හදන්නේ කො‍හොමද කියන එක අදාළ නෑ. නමුත් ඒක අපට අදාළයි. විමල් වීරවංශ පවුල එක්ක පිටරට සවාරි යන එක ගැන ලියන පත්තරකාරයන්ට තිස්ස කාරියවසම් කිසිම සූදානමක් සාහිත්‍ය අංශයෙන් නැතුව සාහිත්‍ය කමිටුවල සභාපතිකං කරන්නේ. විනිශ්චය මණ්ඩලවල දිගින් දිගට ම ඉන්නෙ කොහොමද කියන එක අදාළ නෑ. ඒත් ඒක තමයි අපට අදාළ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒවා වගේ දේවල් යන තව තවත් දේවල් ගැනයි."

සේපාල් අමරසිංහ-සංස්කාරක

මෙම සඟරාව විසින් දියත් කොට ඇති මෙහෙයුම පොදුවේ සමාජය ඉල්ලා නොසිටි ‍හෝ උනන්දුවක් නොදැක්වූ වපසරියක් සමාජයේ ඉල්ලුමක් දක්වා වර්ධනය කිරීමේ උත්සාහයක ඇරඹුමක් ලෙසද දක්වා සිටිය හැකිය. බොහෝ වර්තමාන කලා -සාහිත්‍ය සහෘදයන් නිර්මාණ දෙස නිර්මාපකයාගෙන් ස්වායත්තව එම නිර්මාණ විඳ ගැනීමේ හෝ පරිශීලනය කිරීමේ නූතන එළඹුමක පැවතියත්, ඔවුන්ගෙන් ගිලිහී යන මෙම මාෆියාමය මානය සමාජගත කිරීමේ අවදානම් කාර්යය සිය වගකීම කරගැනීම, මෙම සංස්කාරකත්වය තුළ පෙනීයන වැදගත් ලක්ෂණයයි. උදාහරණයක් ලෙස සුනිල්-නන්දා සුසංයෝගයක් ලෙස ස්ථාපිත නිර්මාණාත්මක සිමියුලේක්‍රමය අවස්ථාව සුණුවිසුණු කිරීමට සිරස මාධ්‍ය වැනි සමාජයේ උඩු ව්‍යුහය මාධ්‍යමය බලහත්කාරයෙන් හයිජැක් කරගත් දැවැන්තයන් ද එකපෙළට තබා අවුලුවන්නට ගෙන ඇති පඨිතමය සංග්‍රාමය මෙහිදී සැළකිල්ලට ගත හැකිය. මෙබඳු මාතෘකා කෙරෙහි ස්වභාවයෙන් නිහඩ වෘතයේ සිටින සහෘදයන් පත්තු කර එම නව රික්තකය නිර්මාණය කර ගැනීමට දරා ඇති වෙහෙස එතුවක් එබඳු ආත්මීය සබඳතා ඔස්සේ වාණිජකරණය කරගත් කලා සාහිත්‍ය භූමිකාවන් ට සිය අභ්‍යන්තර ගැටුම් විනිවිද ලෙස දර්පණගත කරවා, ආත්ම පාපෝච්චාරණ ට එළඹෙන තත්වයකට ඇද හෙලන්නට දරන උත්සාහය, මේ කාර්තුවේ කලාව සහ සාහිත්‍යය තුළ මානවීය ක්‍රියාකාරකම වඩාත් පාරදෘශ්‍ය කිරීමේ පටිසෝතගාමී ගමනක තවත් පියවරක් ලෙස දැකිය හැකිය. මෙබඳු අතිශය සංවේදී කාරණා අරභයා වඩාත් මනෝවිශ්ලේෂණාත්මක විග්‍රහයන් විසින් ඇති කරන ලද සෙලවීම, වඩාත් සරල ආඛ්‍යානයක පිහිටුවා ජනතාකරණය කරන්නට දරන තැතක් ලෙස ද මේ උත්සාහය දැකිය හැකි මුත්, මෙබඳු හාරා ඇවිස්සවීම් හරහා පොදුවේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ ඇති විය හැකි සංගායනාත්මක ප්‍රතිඵලය කුමන දිශානතියකින් යලි උපදින්නේ දැයි පෙර දැකීමට කිසිවෙකුට හෝ හැකියාවක් නොමැතිය‍. කෙසේ වුවද පැපරාසියා එක්තරා අයුරකින් සමාජයේ දුර්වල ස්ථරයක් තෝරා‍ගෙන ඔවුනට උඩ දමා පහර දීමට අරඅඳින්නේ යැයි ද කියා කිසිවෙකුට හෝ හිතෙන්නේ නම් එහිද වරදක් දැකිය නොහැකිය. මෙම මංගල කලාපයේ බොහෝ දුරට පඨිතමය ප්‍රහාර එල්ල වී ඇති අය සලකා බැලූ විට, ඔවුන් සත්‍ය වශයෙන්ම කරමින් සිටිනා සාහිත්‍ය -කලාමය දූෂණ ක්‍රියා බලපවත්වන්නේ රටේ අතිශය සුළුතරයක් වන පොත්පත් කියවන දැනුම පිළිබඳ නිත්‍ය ගවේෂණයේ යෙදෙන ක්ෂුද්‍ර ජන කොටසකට පමණි. නමුත් ඔවුහු සමස්ත සමාජයේ හැඩය- වර්ණය තීරණය කරන්නා වූ දෘශ්ටිමය දිශානතීන් ගොඩනගන්නෝ වෙති. එනයින් ඔවුනගේ අතිශය ස්වල්ප වූ පාවාදීම් -දූෂණ සමස්ත ක්‍රියාවලියේ දැති රෝද වේගය සහ දැඩිබව දරා සිටින්නවුන් යැයි ද සැළකිය හැකි බැවින්, ඔවුනගේ සාපේක්ෂ චලිතයන් සමස්ත සමාජය වෙත් වඩාත් පළල් ලෙස බලපාන්නේය. මේ නයින් කලාකරුවන්ගේ පාරදෘශ්‍යභාවය සමාජ උන්නතිය කෙරෙහි සෘජුව දායක වන්නේ යැයි උපකල්පනය කළ හොත් පවතින සමාජ ආර්ථික ව්‍යුහයන් තුළ මොවුන්ගේ මාධ්‍යමය භූමිකා අත්‍යන්ත වශයෙන් දෘශ්ටිවාදාත්මක ලෙස ස්ථානගත නොවුන හොත් ඔවුනගේ අනුගාමිකත්වයෙන් පෝෂණය වීමට නියමිත සමාජ නිර්මිතයන් ද විශාල ව්‍යසනයකට නිරාවරණය වීම වැලැක්විය නොහැකිය. දැනට අප අත් විඳින්නේද එබඳු විශම මාධ්‍ය සත්කාරකයකට බැව් අවිවාදිතය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුළ ඇතැයි කුප්‍රකට අයුතු ක්‍රියාකාරකම් මෙන්ම සිනමා -ටෙලි ක්ෂේත්‍රවල කාලයක් තිස්සේ පවතින විවිධ ලිංගික සහ අනෙකුත් වංචාකාරී ක්‍රියාත්මක වීම් ද එකම සටන් පාඨයක් ඔස්සේ පෙළ ගැස්වීම, එක්තරා ආකාරයක සමාජ සංශෝධන මහා ව්‍යාපෘතියේම තවත් එක චූල මානයක් බැව් වටහා ගත යුතුය. පුවත් පත් කලාව තුළ සිදුවී ඇති කල්ලි ගැසීම් සහ දේශපාලනික ධ්‍රැවීකරණය හරහා සිදුවන සමාජ බලපෑම, එක් එක් පුද්ගල කෝන්තර හරහා හෝ එලදරවු කරන්නට දරන තැත හුදෙක් ලක්ෂීය ලෙස ඕපදූපමය හෝ කුණු ඇවිස්සීම් මතින් පමණක් සමාජයේ "විනෝදය" සංග්‍රහශීලි ලෙස ඒකාබද්ධ කිරීමට පමණක් සීමා නොවී, එම තතු පඨිතයේ සීමා අතික්‍රමණය කර පුළුල් සමාජගත වැඩපිළිවෙලක් දක්වාම වර්ධනය වී, සමාජ දේහයේ විපරිත සහ අනර්ථකාරී ඇබ්බැහියන් මූලෝත්පාඨනය උදෙසා පෙරගමන් ගත යුතු යැයි ද, එය සමාජය විසින් ඉල්ලා සිටින ප්‍රායෝගික දේ බවත් මේ සඟරාව වහා වටහා ගත යුතුය.

පැපරාසියා යනු තවත් මඩ කුණුකන්දල් විකුණන මඩ සඟරාවක් නොවී සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ දියාරුව ගොස්- පීලි පැන -නශ්ටකාමයෙන් මුදල් සොයා යන මිනිස් පුත්‍රයන්ගේ විනය නිසිමගට ගන්නා තීරකයෙක් වනු ඇතැයි පාඨකයන්ගේ ප්‍රාර්ථනයයි.

පැපරාසියා සඟරාවේ අන්තර්ගත විචාර ලිපි ප්‍රමාණය සාහිත්‍ය සහ කලා යන දෙඅංශයටම යොමු විය යුතුය යන්න පාඨකයන්ගේ යෝජනාවයි. අප දන්නා පරිදි සේපාල් අමරසිංහ යන නාමය පවා කේන්‍ද්‍ර ගත වන්නේ දැනුම සමාජගත කිරීමේ ක්‍රියාවලියේ සක්‍රිය විචාරාත්මක ප්‍රවේශයකින් සිවිල් බලයක් තනා ගත් පුද්ගලයෙකු හැටියට බැවින්, ඔහුගේ දායකත්වය වඩාත් දිය යුතු වන්නේ සිය විචාරාත්මක දෘශ්ටිය ඔස්සේ කලා සාහිත්‍යයට ප්‍රාණය පිඹීමට මිස මඩ ආකාර තුන්වැනි පංතියේ පුවත්පත් සංස්කරණයට නොවේ.

සඟරාවකට කිසියම් පෞරුෂයක් ඇවැසිය. ලේඛනයේ දී පඨිතයට දැඩි පෞරුෂයක් නොමැත්තේ නම් එය දියාරු -ඕප දූපමය- තුට්ටුදෙකේ රසකාරක විසින් තෙම්පරාදු කළ, පෝෂක පදාර්ථ විරහිත කඩල ගොට්ටක් බව‍ට පත්වේ.

අප පැහැදිලිව දන්නා පරිදි සඟරාවක් මිළදී ගන්‍නා සාමාන්‍ය පාඨකයෙකුට සාහිත්‍ය- කලා ලෝකයේ යම් යම් වැඩ කටයුතු කරමින් ඉන්නා අය ඒවා හරහා තම තමන් ගොඩ නගා ගන්නා ආර්ථික ස්ථාවරය සහ ඒ සඳහා කරනු ලබන නොයෙකුත් පාවාදීම් හෝ දූෂිත ක්‍රියා ගැන දැනගැනීමෙන් සිදුවන දැනුවත් වීමක් හෝ සිය අන්තර් ඥානයේ සිදුවන කැළඹුමක් නැත. එය හුදෙක් අනෙකුත් පත්තර විසින් විවිධ අතිරේක හරහා නළු නිලියන්ගේ ගෙවල්වල පින්තූර සහ අනෙකුත් තුට්ටුදෙකේ ඕපාදූප විකුණන්නා සේ ඉන් ඔබ්බට දිග්ගැසුණු, ඔවුනගේ ආගිය කෑ බී හැටි සහ ඒ ඒ තැන්වල දෙකට තුනට නැවී හුන් හැටි කියවීම ද ඒ තරම්ම නීරස අභ්‍යාසයකි. එනමුත් යම් යම් එලිදරව් කිරීම් ඇවැසි මුත් ඒවා මුලාශ්‍රමය වශයෙන් පිළිගත හැකි සන්දර්භ මත පිහිටුවා ඉදිරිපත් කිරීම පාඨකයා තුළ විශ්වසනීයත්වය ගොඩ නගන බැව් අවධාරණය කරමි. සමහර දේ ඇසින් දුටුවා වැනි පට්ට කෙබර ගොතා කවුරුන් විසින් හෝ ලිවීමෙන් හෝ කීමෙන් සිදුවිය හැක්කේ ඊට පිළිතුරු වශයෙන් එවැනිම කෙබර ශ්‍රේණියක් තවත් පුවත්පත් තුළින් එලියට එමින් පාඨක කාලය සහ පත්තර පිටු කා දැමීම පමණයි. එබඳු තත්වයකට පත් නොවී කිසියම් විනයක් -රසයක්- ඇතුළක් -බරක් ඇති වැඩක් විදියට පැපරාසියාට දිගු කලක් වැජඹෙන්නට ඇවැසි සවිමත් පාදම ගොඩනගා ගන්නට, ඉදිරි කලාප තුළ පළ වන්නට නියමිත පඨිත තුළින් හැකියාව ලබා ගැනීම සේපාල් වැනි ඇසූ ‍පිරූ තැන් ඇති විචාරකයෙකු අතපත් අභියෝගය යි.

විශේෂයෙන් තිස්ස අබේසේකර අනුස්මරණය අරභයා මතු කර ඇති එම කතිකාව මෙන්ම පොත් මුදලාලිලාගේ සහ සරත් විජේසූරිය ගැටුම වැනි ලිපි තවත් සාරගර්භ වූයේ නම් සමතුලිත අදහස් ගොනු වන්නටත් ඒ කතිකා කිසියම් ඵලදායි තැනකට ගොනු වන්නටත් හොඳ විභවයක් තිබුණේ යැයි මට සිතේ. දිවයින පුවත් පතේ රවීන්ද්‍ර විජේවර්ධන කේන්ද්‍ර කරගත් එම සංලාප ලිපිය වෙනස්ම ආකෘතියක් තුළින් සංස්කරණය වීම අලුත් අත්දැකීමකි. එබඳු සංවාදාත්මක සංලාප ලිපි ෂානරයක් අනෙකුත් පුවත්පත් වලට ද බලා‍පොරොත්තු ඇති කරවන සුළු ආදර්ශයක් ලෙස අගය කරමි. එය සම්ප්‍රදායික ප්‍රශ්න ඇසීමේ කලාව වෙනස් අපර මාර්ගයක යවා ඇති කදිම පර්යේෂණයකි.

සන්නස්ගලගේ දේශපාලනික පුරාවෘතයක් පැපරාසියා හි පඨිතගත වීම මේ ලිපි අතර කුමන සංඝතික බවක් නිමවන්නේ දැයි අප්‍රකටය. එම ලිපියේ තවත් ඉදිරියට ගලා යාමක් ඇත්තේ යැයි ඉඟි පළව ඇති නමුදු සඟරාවේ දෛශිකයන් සමග ඒ ලිපි පෙළේ ඇති සබඳතාව කුමක්දැයි මංගල කලාපය වටා රොද බැඳුනු පාඨකයන් ට පැහැදිලි නැත. එය ඕනවටත් වඩා ඔසොවා තබා ඇති පුද්ගල ප්‍රතිරූපයක් තව තවත් ඔසොවන්නට දරණ තැතක් දැයි පැහැදිලි නැත. කෙසේ වුවද ඔසවන්න ඔසවන්න ‍මහ පොළොවට නැවත ඇද බැඳ තබා ගත හැකි ගුරුත්ව බලය හීන වන බැවින් විටෙක වියෝග ප්‍රවේගයෙන් අභ්‍යාවකාශගත වන්නට ද ඉඩ තිබිය හැකි බැවින් මේ ඉස්සීම ප්‍රවේශමින් කළ යුත්තකි.

අනෙක් අතට අතිශය සිනමාත්මක ලෙස අසාර්ථක අතුල ලියනගේ ගේ බඹර වළල්ල ගැන අතුල ලියනගේගේ හිත නොරිද්දා බටර් ගෑමේ ශෛලියකින් ලියැවී ඇති සටහන් ද පාඨකයා කැඳවා යන්නේ කුමන කේන්ද්‍රීය දැක්මක් වෙතටදැයි වැටහෙන කිසිවෙකුත් මේ මංගල කලාපය කියවීමේ යෙදී ඇත්දැයි කුකුසකි. පෙනෙන පරිද්දෙන් නම් ගෙවා පළ කළ වෙළඳ දැන්වීමක් බඹර වළල්ලෙ ප්‍රචාරක මෙහෙයුම් අංශයෙන් සඟරාවට ලැබී ඇත. අනෙක් අතට සඟරාවේ පළව ඇති වෙළඳ දැන්වීම්වල නොපුරුදු ක්ෂුද්‍ර සටහනක් ද ඇත. එනම් මෙය මුදල් ගෙවා පළ කරන ලද දැන්වීමකි -Mohan ads යැයි ජංගම දුරකතන අංකයක් සටහන් කිරීමය. සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීමක් ලෙස දේශපාලනික පක්ෂ සම්බන්ධයක් ඇති දේකට හැරුණු විට මෙබඳු සටහනක් දැමීමේ දී අභිලාෂය විය හැක්කේ එම මුදල් ලද ආයතනයේ අදහස් මෙම මාධ්‍ය ආයත‍නයේ මතවාද හා සමපාත වීමක් නොමැති බැව් ප්‍රසිද්ධ කිරීමය. කොටින්ම අපක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කිරීමය. මෙය පාඨක සමාජය ඉදිරියේ එක්තරා විදියකට නව පාරදෘශ්‍ය බවක් සඟරාවට ඇති කරගැනීමට ඇති උනන්දුව ප්‍රකට කිරීමක් ද විය හැකිය. කෙසේ වෙතත් සන්නස්ගල මෙන්ම බඹර වළල්ල ගැන පඨිතයන් ද මෙම සඟරාවට ගෙන එන ආලෝකයක් නැති වග ඉඳුරාම පවසමි.ෂෝට් ඊට්ස් ගැන නම් කනගාටු වෙමි. ඒවා මෙලෝ රහක් නැති ශෛලියකින් ලියැවී ඇත්තේ හදිසිය නිසා දෝයි මට සිතේ. රාවය පත්තරේ විමලනාත් ගේ වැඩේ සම්බන්ධව මතුකර ඇති දේම කවදා හෝ ෂෝට් ඊට්ස් ගැන මතුකරන්නට ඉඩ නොතබන්නට උනන්දු විය යුතුය. ජනතාවට විනෝදය සැපයීමට දේශපාලනික හැළහැප්පීම් භාවිතා කොට අයිරනි ලියා නැවත දෙවෙනි වරටත් ඒවා ජනතාවට විකුණන්නට සලස්වන පුවත් පත් කොලම් ලිපි එකතු ග්‍රන්ථාරූඨ කිරීමේ කලාව කොතනින් නවතින්නේ දැයි සිතීමට වඩා, ඒවා තම හොලොග්‍රමික අනන්‍යතාවය සොයා යාමේ ගමනේ ‍සැතපුම් කණු  බවට පත් කිරීම ගැන නැවතත් සිතා බැලිය යුතුය. ජනතා මතය මෙහෙයවමින්, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය යනු හුදෙක් ජනතාව පෙළ ගස්වන පෙරටුගාමීත්වයේ දෘශ්ටිවාදය දඩමීමා කරගත් භාණ්ඩ ‍හා සේවා ලෙස මුදලට හුවමාරු වන වෙළඳ පොළ නිර්මිතයේ ගිලී, නොපෙනී යාමට "පටන් ගැනුමේ" ආරම්භයෙන් විමලනාත් මෙන්ම සේපාල් ද වහා අත්මිදිය යුතුය.

Tuesday, November 2, 2010

නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය-ඩී තිලක පියදාස

අහඹු ලෙස සුභ මොහොතක උපදින දරුවන් ද නැත්තේ‍ නොවේ. කල් තියා සුබ මොහොතින් සිසේරියන් සැත්කමින් උපදවන දරුවන් ඒ අතර සුවිශේෂී වේ. අනෙක් සියලු දරුවන් උපදින්නේ කල් ඇතුව දන්නා සුබ මොහොතකින් නොවන වග අපි දනිමු. එනමුත් දරුවකු උපන් පසු ඒ උපන් වේලාව බලා බොහෝ විට නැකැත්කරුවන් පවසන්නේ සුබ මො‍හොතක උපන් කුමර හෝ කුමරිය ලෙසිනි. එය සම්ප්‍රදායික ලෙස කේන්දරය සාදා පින්වත් කුමර හෝ කුමරිය ලෙස ලියා දක්වන පුරුද්දේම කොටසකි. එනයින් උප්පත්තියේදී බොහෝ විට දරුවකු සුබ ජීවිතයක් ලබා උපන් බවට හෝ වාසනාවන්ත ජීවිතයක් ලද්දෙක් ලෙස පිළිගැනීමට දෙමව්පියන් මෙන්ම නැකැත්කරුවන් ද ‍පෙළඹේ. පස්මහ බැලුම් බලා උපදින්නට ද සාමාන්‍ය මනුස්සයින් ට හැකියාවක් නැති හෙයින් සුබ මොහොතින් ඉපදුමද සිතාමතා කළ නොහැක්කකි. මේ සමාජය වසා පවතින මෙබඳු මිථ්‍යාමය සහ ආගමික පුරාණෝක්ති අනුසාරයෙන් එම සමාජයේම යථාව එළිදක්වන්නට දරණ උත්සාහයක් පහත කවියෙන් හඩ නැගේ.

සුබ අසුබ

පස්මහ බැලුම් නොබැලුවත්
(බැලුවා නම් ඉපදුමත් සැකයි)
ඉපදුනෙමි සුබ මොහොතක
එහෙත්
ඉඳුල් කට ගෑවෙමි...
අසුබ මො‍හොතක!

මේ කව විසින් හැඟවුම්කරණය කරන්නේ වත්මන් පාරිභෝගික ජීවන රටාව තුළ මිනිසා ලබන පීඩනය යි. එනමුත් මෙහි ඇත්තේ අප සුභ මොහොතක් සොයා බලා ඉපදුනද ජීවන කොන්දේසි විසින් අපගේ ජීවිතය ගෙන යන දුෂ්කර තත්වය ගැන ව්‍යංගයෙන් කීමයි. මේ ආකාරයෙන් කවිය විසින් ලක්ෂීය ලෙස විදහා දක්වන්නේ වත්මන් තතු යටතේ මිනිස් ජීවිතය තීරණය වන්නේ උපතින් ලබන කොන්දේසි විසින් නොව භෞතික ජීවිතය තුළ ආර්ථික හා සමාජ සන්දර්භ විසින් බවයි. ඉඳුල්කටගෑම සාමාන්‍යයෙන් දරුවකුගේ වයස මාස නවයක් වෙද්දී දෙමව්පියන් විසින් චාම් උත්සවයකින් නැකතක් බලා කරනු ලබන චාරිත්‍රයකි. එතුවක් කිරි ආහාරවලට පුරුදු වී සිටි දරුවා ඉන්පසු ඉඳුල් ආහාරයට එනම් මස් මාළු බිත්තර යනාදී දේ සමග ආහාර ගන්නට පටන් ගන්නා දිනය ලෙස හැඳින්විය හැකිය. එනමුත් වර්තමානයේ වෛද්‍ය සමීක්ෂණ වාර්තා පවසන්නේ මාස හය ඉක්මවූ දරුවන් මොළයේ වර්ධන අවශ්‍යතා හේතුවෙන් ඉඳුල් ආහාර පටන් ගත යුතු බවකි. කෙසේ වතුදු මාස නවයෙන් ඉඳුලේ දමන රීතිය කුමන පදනමක් මත සිදු වුවද එය විද්‍යාත්මක ලෙස නිවැරදි නොවන වග ඒ පිළිබඳ ණැනවත් පුද්ගලයෝ ප්‍රකාශ කරති. කෙසේ වුවත් ඉඳුලේ ලූ නැකතින් හෝ උළුවස්සේ වැඩ සිටින සීවලි මහරහතන්වහන්සේ ගේ ආනුභාවයෙන් ගෙදර බත නොවරදී යන්න අද දවසේ කෙතරම් වලංගු වන්නේදැයි සොයා බැලිය යුත්තේය.

ගිනිගත්හේනේ ඩී තිලක පියදාස විසින් රචිත "නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය" කාව්‍ය සංග්‍රහයෙනි ඒ සංක්ෂිප්ත කවිය උපුටා ගන්නා ලද්දේ. ඔහුගේ කවි පොත ගැන කුඩා සටහනක් තැබීම මේ ලිපියේ අරමුණයි.

තිලක‍ගේ කවි ආකෘති අනුව පුළුල් පරාසයක පැතිරෙයි. කෙටි මෙන්ම එපිග්‍රම ආකාර වූ නිර්මාණ මෙන්ම සම්ප්‍රදායික සඳැස් හා නිසඳැස් කවි ද ඒ කිසිවකට යටත් නොවන නිර්මාණ ද වශයෙන් ඒවා වර්ග කළ හැකිය. කෙටි කවි කීපයක් අතිශය ලක්ෂීය අරුත් නිමවා සහෘදයා ක්ෂතිමය අත්දැකීමකට පෙළඹවයි. මේ සඳහන් කළ කවිය එයාකාර වූ කෙටි නිර්මාණයකි.

කෙටි කවි මෙන්ම ගීතවත් බවින් අනූන සඳැසකට බර නිසඳැස් ආරේ යැයි සැලකිය හැකි නිර්මාණද එම කෘතියේ ඇත්තේය. සමාජයේ පරිධියේ ස්ත්‍රියකගේ ජීවන තතු විදාරණය කරන මේ පහත දැක්වෙන කවි විසින් හඩනගන්නේ ඔවුන්ගේ ජීවිත පුරුෂාර්ථ ඉදිරියේ දියාරු වන ඛේදයයි. මෙහිදී පුරුෂාර්ථ යනු ම ඔවුනගේ ජීවිත හැඩ රුව සකස් කළ පුරුෂ කේන්ද්‍රීය ලෝකයයි.

පරමල

පිල වටකර දොර වටකර
මත් බඹරුන් ඇදුනා
කෙහෙරැළි වට ගෙළ වටකර
රළු අතැඟිලි රැඳුනා
මල වටකර රැඳි බඹරුන්
ගුමු ගුමු හඩ නැගුවා
නෙත වටකර නිරතුරුවම
උණු කඳුලැලි ගැලුවා

අම්බලමට නිරන්තරෙන්
සුපින්වතුන් වැඩියා
එපින්වතුන් සනහන්නට
පින්තාලිය පිරුණා
ජීවිතයට වැඩි තරමට
සුපෙම් වදන් ඇසුනා
ඒ තරමට වැඩියෙන් තව
නින්දා බස් ඇසුවා.

ගණිකාවන්ගේ ජීවන තතු විදහා දැක්වෙන තවත් කවියක් එම කවි සංග්‍රහයෙන්ම.

අම්බපාලියක නොවන මම

දිරාගිය වහලයේ තහඩු අතරින්
වැටුනා වැහි බිංදු එක එක
බේසම් වළං තිය තිය එතැන්වල
හැදුවේ මොනව බේරන්ඩ ද හැබෑටම

චිරි චිරියෙ වහින වැස්සට
හොඳක් කියන්නෙත් ඉතිං කොහොමද
එදා වේලටම වින කරන

හිරිකඩ වැදි වැදිත් පිල් කඩටම වී...
හිටියෙ ගෙට යන්ඩ කම්මැලිකමට
ඩිංගක් තෙමුනාට මේ කුණපය...
දියවෙයිද කිය කියා නොවෙද හිතුවේ...

එකම එක කාමර කෑල්ලට
නම් ගොඩක් තිබුණා හැබැයි
සාලේ කුස්සිය කෑම කාමරේ....
නාන කාමරෙත් ඒකමයි මේ වැස්සට

පකිස් පෙට්ටියයි මහා ඇඟලුම් ගබඩාව
වළං කෑලි දෙක තුන කවදාක
වළඳා ඇත්ද රස මසවුළු
සිරියහන ගැන ඉතින් කතා කුමට?
කුලියටම යහන්ගත වෙන!

සිහිවුනේ පපුතුරේ හංගන්ඩ
බූරු ඇඳ ඉහත්තාවෙන් අරන්
එකම එක නිල් කොළය විතරයි
කුණපය මිළකර ගත්තු ඊයේ හවස
නිවාගන්නට සුදහ ගින්දර

ගැහැණියගේ සැබෑ ඉරණම මිනිත්තු කීපයකින් වෙනස් විය හැකි බවට ඉංගිත සපයන කවියා එහිම ප්‍රතිරෝධය පුරුෂ ඇසකින් මෙසේ කවි කර ඇත.

නාඳුනන පෙම්වතා

ප්‍රේමය නාඳුනන
දළ ගොරහැඩි සිතැති
නරුමයෙකැයි කියා
ඇමතුවේ මටමය....

මලක සුවඳවත් නාඳුනන
රොන්සුණු අතරෙහිද නොගැවසුණු
බිඟු ගීයක්වත් නොඇසූ
අයෙකු වූයේද මම මය

සොඳුරු අවන්හලක හිඳ
පංචකළ්‍යාණියක අස
මියුරුබස් තෙපලන
සුපෙම්වත් කු‍මරෙකු
නුවූයේද ඉදින් මම මය

විරතියම අගයන
දුක්ඛ සත්‍යයම වළඳන
ගන්ධබ්බ දිවි රස බලන
මානවකයා ද ඉදින් මම මය

ජීවිතයෙහි ගැඹුරු පත්ළෙහි කිමිද
මුතුකැට සොයන්නටම
වෙර දරණ...
කිසිවෙකුට නොඇසෙන්නට
කඳුල ලඟ ඉකිබිඳින
තනිකඩ අසපුවෙහි හිඳ...
අසෙනි කුසුමක්ම පතන
නාඳුනන පෙම්වතා ද මම මය...

මේ ‍නාඳුනන පෙම්වතා නම් ජීවිතයෙහි ගැඹුරු පත්ළෙහි කිමිද මුතුකැට සොයන්නටම වෙර දරණ දාර්ශණිකයෙකි. ඒ අතර ඔහු නොයිඳුල් කන්‍යාවක ද සහේට ප්‍රාර්ථනා කරයි. ඔහු රූපවාහිනි තිරයකින්වත් තුනුවඟ දැක්කේ නොවෙයි. රාගනීශ්‍රිත කිසිදු මංපෙතක පා නගා නැති තනකඩ අසපුවෙහි වසන අසෙනි කුසුමක්ම පතන ප්‍රේමවන්තයෙකි. අසෙනි කුසුම යනු අර්චනීය පුෂ්පය හෝ විළඳ හෝ වෙයි. අර්චනීය යනු පිදුමට සුදුසු යන අරුතයි. එනම් පිදුමට සුදුසු මල් යන අරුතයි. මේ කවියේ පෙම්වතා පතන්නේ පිදුමට සුදුසු මලක් නම් ඒ ව්‍යංගාර්ථයෙන් ඇණවුම් කරන්නේ කන්‍යාවක් බව පැහැදිලිය. මේ කවේ ‍ගොඩනැගෙන පුරුෂ තෙමේ අතිශය සුපේශල ජීවිතයක් ගත කරනා අතර ජීවි‍තයේ මහ අරුත් සොයමින් සිය චිත්තය දාර්ශනික ‍දේ කරා ගවේෂණාත්මකව මෙහෙයවමින් කන්‍යාවක් ද පතන්නේය යන්න අදහා ගත නොහැකි පරස්පරයකි.

මෙබඳු පුරුෂයෝ වනාහි සමාජයටම ඉමහත් පීඩන කරන්නෝ බැව් මගේ විශ්වාසයයි. මොවුන් මතුපිටින් පුණ්‍යවන්තයෝය. නාඩි වැටෙන සියළු ස්ත්‍රී ප්‍රාණවල තුනුවිලට බසයේ දී හෝ අඳුරේදී අත දමා අමාදිය සොයන්නෝය. එනමුත් ඇතුළතින් කන්‍යාවන් පතන්නෝය. මෙබඳු අමුතු සත්ගුණවත් පුරුෂයන් හේතුවෙන් මීට ඉහත දැක්වූ කවි යුගලයේ එන ස්ත්‍රීහු බිහිවන බැව් සක්සුදක් සේ පැහැදිළිය. එම කවි යුගලයේ එන යන පුරුෂයෝද ඉමහත් සුපින්වතුහු වෙති. දහවලේ දී ගණිකාවන්ට නින්දා කරන‍්නෝ වෙති. කාරණය අතිශය පැහැදිලිය. තිලකගේ කවි තුළ මේ ආකාර‍යේ රහස් අනාවරණය කර ගැනුමට හැකි වීමම ඉමහත් ප්‍රහර්ෂයකි.

සොඳුර නොනිදා ඉන්න කවියේ ද ඇත්තේ මේ හා සමාන කුටුම්භ ජීවිතයේ සැක සංකාවන් ඔස්සේ ඉමහත් පීඩාවෙන් පෙම් කරන පෙම්වතකු ගේ ෆැන්ටසික භ්‍රාන්තීන් පෙළ ගැස්මකි.

සොඳුර නොනිදා ඉන්න

නුඹෙ නවාතැනට එන
මග කියාදෙන්න මට
මිතුරු කණමැදිරි එලි
දැල්වේවි මග දෙපස

අප වැනිම සුවහසක්
පෙම්වතුන් වෙනුවෙන්ම
හිරුද සැඟ වී යාවි
ළසඳ පායා ඒවි

සොඳුර නොනිදා ඉන්න
අඳුර තුළ කිමිදෙන්න
සොඳුරු සඳ එලිය මැද
කවුලු හැර සැනසෙන්න

මදපවන රැගෙන එයි
නුඹ වෙත මඑන පුවත
කඩුපුල් ද සුපිපේවි
ඒ සොඳුරු මොහොතටම

සොඳුර නොනිදා ඉන්න
සෝ සුසුම් නොහෙලන්න
යහන්තල මත ලකළ
මඳලසින සැනසෙන්න

දැල්වේවි නුඹෙ කුටියෙ
සිවුරැසින් පහන් නෙක
දෙහද තුළ බැඳි සෙනෙහෙ
නොනිවෙනසෙ මතු ඉදින

මේ පෙම්වතා සිතා සිටින්නේ තම පෙම්වතිය නොනිදා ඔහු එනතුරු අඳුරු තුළ කිමිදෙමින් සොඳුරු සඳ එලිය දැකුමට කවුලු හැරතියා සිටිය යුතු බවයි. මේ යථාවෙන් ගැලවී ගිය ෆැන්ටසිකමය අවශ්‍යතාවයකි. කවි බසින් ලියැවුන ද ව්‍යාජයකි. අද සමාජයේ ගැහැණියකට කවුළු හැරතියා නිදියන්නැයි කියන පෙම්වතුන් නොවේ. ඇයට නිදිවරා ඔහු එනතුරු මග බලා ඉන්නැයි කියන්නෝ සිටිත්දැයි සැක සහිතය. මේ නම් ඇය නින්දට වන්‍ නොත් දැකිය හැකි ඇගේ ෆැන්ටසිකමය සිහිනය මග හරවන්නට මෙම බොළඳ පෙම්වතාගේ උපායකැයි සිතාගනු හැර වෙනත් පිළිගත හැකි මගක් නැත්තෙය. මේ අද සමාජයේ පුද්ගල ආත්මික ක්‍රීඩාවේ අප්‍රකට යථාර්ථය කියැවීමකි. අද දවසේ භෞතිකව වෙන්වූ පෙම්වතුන් ලංකර තබන්නේ ජංගම දුරකතනයේ පිහිටෙනි. ඒ මිනිත්තුවෙන් මිනිත්තුවට කෙටිපණිවුඩ හුවමාරු කරගනිමිනි. අවසානයේ ජංගම දුරකතන යුවල විද්‍යුත් තරංග ඔස්සේම යහන්ගත වී සුරතාන්තය ද ලබති. මේ කාලාවකාශ වක්‍රයේ ස්ත්‍රී පුරුෂ ඛණ්ඩාංක විසින් අත්කරගෙන ඇති ෆැන්ටසික ප්‍රතිලාභමය දුරස්ථබවයි. ඔවුහු දුරින් සිටින විට වඩාත් ප්‍රේමනීය වෙති. ඔවුනට කායික පහස ලැබීමේ සිමියුලේක්‍රමය දත්ත අනවරතව සැපයිය හැකි තාක්ෂණික මෙවලම් ඇති හෙයින් කැමරාවෙන් දකින රූප ද ස්පීකරයෙන් ඇසෙන ශබ්ද ද මයික්‍රොෆෝනයෙන් අනෙකා කරා යන ශබ්ද ද යන සංඥා සියල්ලෙන් පසිඳුරන් රැවටිය හැකි ඉන්ද්‍රිය සංඥා සිමියුලේක්‍රයක් විද්‍යුත් චුම්බක තරංග ඔස්සේ ප්‍රතිනිර්මාණය කර දෙන බැවින් සජීවි සෛල වලට කිරීමට ඉතිරිව ඇත්තේ මොළයෙ අදාළ තැන්වෙත එම සංඥා ප්‍රවාහනය කිරීම පමණි. මේ ෆැන්ටසික තත්වය ඇට මස් ලේ නහර තුළට කා වැදුනු විට පෙම්වතාට ඇවැසි වන්නේ පෙම්වතියක් නිදි වරා ඇඳට වී සිටීම පමණි. ඔවුනොවුන් පරිසරයේ කර්කෂ බවින් මිදී ඩිජිටල් දැහැන්ගතව අචින්ත්‍ය වූ ප්‍රේමයට විඩියො සහ ඔඩියො දුම්මල අල්ලමින් අනුරාගික බන්ධනය පවත්වා ගනිති. ඉතින් සොඳුර නොනිදා ඉන්න යැ කියන පෙම්වතුන් අද සුලබය.

තවත් බොහෝ කවි කියවා ගැනීමට ඇති කාව්‍ය ග්‍රන්ථයක් ලෙස නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය හැඳින් විය හැකිය.

එබඳු කවි ලියූ තිලක පියදාස නරුමයෙකුගේ සුන්දර රාත්‍රියේ පසුවදනේ මෙසේ කියයි.

"සංවේදි සිත් ඇති මා දයාබර සබඳිනි ඔබ සැමගේ ළෙන්ගතු සිත මට මගේ කව් පද සිය දහසකට වඩා අගනේමය."

ඒ ළෙන්ගතු බව කියා පාන්නට ඔහුගේ දුරකතන අංකය මම මෙහි සටහන් කර තබමි.

අවසාන වශයෙන් තවත් එපිග්‍රමික නිර්මාණයකින් මේ සටහන අවසන් කරමි.

ඩිම්බයක් කී කවියක්

ඒයි ශුක්‍රානුවා
යෝනි මාර්ගෙට
ඇතුල් වුනාට කමක් නෑ...
ඒත් එන්ට එපා
යුක්තානුවක් හදන්ට හෙම
තාම හම්බවුනේ නෑ
විවාහ සහතිකේ!